Showing posts with label Sinhala Song Stories. Show all posts
Showing posts with label Sinhala Song Stories. Show all posts

Friday, August 14, 2020

පිපුණු මලේ රුව ...

පිපුණු මලේ රුව එ මල දනී දෝ

මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා

නැති බැරි කම මුතු මාල හතක් වී

කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා

කටු මැටි බිත්තිය හැඩකර අඳිනා


රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ

නොතළන් හිත මා ආදර දියණියනේ

පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ


ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ

එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ

නොතළන් හිත මා ආදර දියණියනේ


පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ


ගායනය - නන්දා මාලිනී 

පදරචනය - ලූෂන් බුලත්සිංහල 

සංගීතය - ඩන්ස්ටන් සිල්වා


පිපුණු මලේ රුව එමල දනීදෝ’ ගීතයට අත්දැකීම වුණේ මගේම දුව. මගේ දුව එතකොට හරිම චූටියි. එයා කණ්ණාඩියෙන් මූණ බල බලා ඉන්නකොට ආපු හැඟීමක් තමයි මේ ගීතයට පදනම් වුණේ.

මං පුංචි කාලේ මට ඒ වාගේ කණ්ණාඩි තිබුණෙ නැහැ. මට හොඳට මතකයි අපේ ගෙදර බිත්තියේ එල්ලා තිබුණෙ කැඩුණු කණ්ණාඩියක කෑල්ලක්. මගේ දරිද්‍රතාව ඒ තරමටම දරුණුයි. ඒත් මගේ දුවට ඒ ප්‍රශ්නය තිබුණෙ නැහැ. ඒ නිසයි හැඩරුව නෙමෙයි වැදගත් වෙන්නේ කියලා මා මේ ගීයෙන් ඇයට කියන්නේ"ලූෂන් බුලත්සිංහලයන් විසින් එසේ පවසා ඇත.

පන්ති සහිත සමාජයක සමාජ පීඩනය වස්තු කර ගැනීමේදී බොහෝ කවියන් මෙන්ම ගීත රචකයෝ ඌණ ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කරති. ඒ නිර්මාණාත්මක ගුණය වෙනුවට වාර්තාමය කෘත්‍රිම බවක් නිර්මාණයට ආරෝපණය වන බැවිනි. මේ අභියෝගය ජයගැනීමට ජන්ම ප්‍රතිභාවක් සතතාභ්‍යාසයත් පැවතිය යුතුමය. ලූෂන් බුලත්සිංහලයන් ඒ ද්විත්වය නොමඳ ලබාගත් රචකයකු බව පැහැදිලිය.

"පිපුණු මලේ රුව එමල දනීදෝ

මලකි දුවේ නුඹ

හැඩරුව බලන්නෙපා

නැති බැරිකම මුතු මාල හතක් වී

කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා"

කලාව වූ කලී සත්‍ය හා කල්පිතයයි. මේ කල්පිතය තුළ එක්තරා දිළිඳු මවකගේ සිතුවිලි හා හැසිරීම් රචකයා රසිකයා හමුවේ තබයි. තමාගේ රුව තමාට නෙපෙනීම සැබෑවකි. එසේම මලක් සේ පිපෙන තම දියණිය රූ ශෝභාව පිළිබඳව මව තුළ ඇතිවන්නේද එබඳු හැඟීමකි. එහෙත් ඇය කැඩපත අසලට වී හැඩරුව බලද්දී මේ මවගේ හදවත තුළ ජනිත වන්නේ විශාල වේදනාවකි.

අතට කරට පැලඳීම යනු නව යෞවනයට පාතබන ඕනෑම යුවතියකගේ සිහිනයකි. මේ දියණියට අතට කරට පැලඳීම වූ කලී සිහිනයක්ම පමණක් වෙයි. දිළිදු බවේ පතුලටම කිඳා බැස සිටින ඔවුන් වෙත මුතු මාල හතක් වී පැමිණෙන්නේ නැති බැරිකම පමණි. මෙබඳු රූපකාර්ථි නැංවීම වූ කලී කලාතුරකින් ගීත රචකයකු තුළ හටගන්නා ප්‍රතිභාවකි. මෙහිදී රචකයා තවත් කල්පිතයක් ගොඩනඟනු ලබයි.

එනම් මේ මව නිවසේ එකම වීදුරු කැඩපත බිඳ දමයි. මෙයින් රචකයා ප්‍රදර්ශනය කරනුයේ තම දියණිය දුකට පත්වනු බලා සිටීමට මව තුළ ඇති අකැමැත්තයි. එසේ තමන්ට උරුම වී තිබෙන දරිද්‍රතාවෙන් ගැලවීමට ඇති නොහැකියාවයි. දයා කරුණාබරිත මවක තුළ මෙබඳු සුසුමක් ඇතිවී ස්වාභාවිකය. සමාජ විෂමතාව පිළිබඳව සියුම් කම්පනයක් මේ කල්පිත සිද්ධිය තුළින් ජනිත වේ.

නිවසෙහි දැන් වීදුරු කැඩපතක් නොමැතිය. එහෙත් මේ මව නැවත දකින්නේ කුමක්ද? හිමිදිරියේම නිසසල ජලය ඇති ළිඳට ඇය එබී සිටින ආකාරයයි. කණකර ආභරණ නොමැති අගේ වත ඇයට ඇස ගැටෙනු ඇතැයි මව බියට පත් වෙයි.

"ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ

එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ

නොතලන් සිත මා ආදර දියණියනේ"

මේ සිදුවීම් කල්පිත සිදුවීම් ඔස්සේ සමාජ විෂමතාවය මානව සමාජයට ගෙන දෙන විවිධ දුක් පීඩා හොඳින් ස්පර්ශ කිරීමේ අවස්ථාව රචකයා විසින් උදා කරගනු ලබයි.

"පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ"

තම දියණියට දුකක් නොදැනීමට ඈ මේ උත්සාහය ගත් නමුත් ඇය පරාජිත වන ආකාරය රචකයා ඉදිරිපත් කරන්නේ අපූර්වත්වයෙන් යුතු කාව්‍යෝක්තීන් භාවිතා කරමිනි.

"කටුමැටි බිත්තිය හැඩකර අඳිනා

රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ

නොතලන් සිත මා ආදර දියණියනේ"

කැඩපත බිම දැමීමෙන් ඇගේ යෞවනය සඟවන්නට නොහැකිය. කුප්පි ලාම්පුවේ එළිය ඇගේ හෙවණැල්ල කටුමැටි බිත්තියේ අඳින මොහොතක, ඈ ඒ හෙවණැල්ල දෙස බලාගෙන හිස පීරයි. රචකයා මවන පරිසරයෙන් මොවුන් මුහුණ දෙන දරිද්‍රතාව සංකේතවත් වෙයි.

මේ සිදුවීම් රචකයා යොදාගන්නේ මේ දිළිදු මව ලබන කම්පාව වඩවඩාත් රසිකයාට සන්නිවේදනය කරනු පිණිසයි.

සමාජය තුළ ඇත්තේ පාරිභෝගික සමාජයකි. වැඩවසම් සමාජයේ මෙන් නිල් වරළ මල් වලින් සරසා නෙළුම් දඬු මාලයක් ගෙල පලඳින්නට වර්තමාන පාරිභෝගික සමාජයේ නොහැකිය. කඩසාප්පු පිරී පවතින්නේ නේකවර්ණ සළුපිළි හා පලඳනා වලිනි. යොවුන් වියට පත් අනික් කුමරියන්, කසීරට සළු වලින්, ගාන්ධාරයේ විලවුන් වලින් හා සිව්සැට බරණින් සැරසෙද්දී ඒ අහිමි යෞවනියක තුළ වේදනාවක් ඇතිවුණු නිසැකය. තම දියණියට හැඩට රුව අඳින්නට පලඳින්නට ලබා දෙන්නට නොහැකි වන මවක තුළ ඇතිවන වේදනාව ඊටත් වඩා ප්‍රබල වේ. මෙවැනි තේමාවන් වස්තු කරගැනීමේදී නිරන්තරයෙන් ලූෂන් බුලත්සිංහලයෝ තම පරිකල්පන ශක්තිය මැනවින් විදහා දක්වති.

(උපුටා ගැනුම - සිළුමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.)




Thursday, August 13, 2020

ඉගිලෙන්න තහනම් නම් දුරක් ...

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌

ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌

මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌...


පෙම්වන්ත හිතටත් යට ඉඳන්

පෙන්වන්න අවියක්‌ ඔබ අරන්

මට ගන්න හැකි ඉර හඳ උනත්

ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//


ඉගිලෙන්න තහනම්.....


හැමදාම මල්පෙති ළංකළත්

දැනුනේම නෑ සුවඳැති බවක්‌

නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌

සාධාරණයි අපි වෙන් කළත්.....//

ඉගිලෙන්න තහනම්.....


ගායනය - නිරෝෂා විරාජිනි 

පදරචනය - චන්න ජයනාත්

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ 

ආදරයෙන් එක්‌වූ දෙහදකට වෙන් වෙන්න සිදු වුණොත් දෙදෙනා එකිනෙකාට මොනතරම් ආදරය කළත් අදහස්‌ එකිනෙකට නොගැලපේ නම් වෙන්වීම හැර වෙන කුමක්‌ කරන්නද? විවාහ වූවන් නීතියෙන් වෙන්වෙනවා. ප්‍රේමවන්තයන් හදවතින් වෙන් වෙනවා.

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌

ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌

මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌

අසම්මත වූ ආදර බැම්මක්‌ දෙදරා යන අවස්‌ථාවක්‌. විවාහක ගැහැනියකගේ හදවත ඉකිබිඳින ආකාරය ඇගේ හදවතේ ඇතිවන විලාපය මේ ගීයෙන් අර්ථගැන්වීමට ගී පද රචකයා ගෙන ඇති උත්සාහය ඉතාමත්ම සාර්ථකයි.

මට ඉගිලෙන්න අත්තටු දෙකක්‌ දුන්නේ ඔබයි. ඒත් මට උවමනා දුරකට ඉගිල යන්න තහනම්. ඇයි එහෙ නම් ඔබ මට අත්තටු දෙකක්‌ දුන්නේ. අපි දෙන්නම එකතුවෙලා ලස්‌සන කවි දෙකක්‌ ලියුවා. ඒත් මේ කවි දෙකේ එක පේළියක්‌ විතරක්‌ මගේ වෙන්නෙ කොහොමද?

චන්න ජයනාත් මේ ගීයේ පද රචකයා. මේ ගීය ගැන ඔහුගේ අදහසයි මේ...

මම මේ ගීය ලියුවේ මගේ හෝ වෙන කිසිවෙකුගේ අත්දැකීමක්‌ මත නොවේ. මගේ සිත තුළ ඉපදුනු සංකල්පනාවක්‌ අනුවයි මේ පද පෙළ ලියුවුණේ.

චන්න එසේ කීවත් අද බොහෝ දෙනෙකු විඳින අත්දැකීමක්‌ තමයි මේ ගීයෙන් කියෑවෙන්නේ. 

පෙම්වන්ත හිතටත් යට ඉඳන්

පෙන්වන්න අවියක්‌ ඔබ අරන්

මට ගන්න හැකි ඉර හඳ උනත්

ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්

ආදරය, ප්‍රේමවන්ත බව ඔබේ හිතේ තිබෙනවා. ඒත් ඊට යටින් ඔබ මට අවියකුත් පෙන්වනවා. ප්‍රේමනීය හිතට යටින් දිස්‌වන්නේ ඔබේ කුරිරු බවයි. මතුපිටින් ආදරය පෙන්නුවත් හිත යටින් ඔබ මට ආදරයක්‌ නැහැ. ඒත් මම ශක්‌තිමත්. ඉරහඳ උනත් හිමිකර ගැනීමේ තත්ත්වයකයි මම ඉන්නේ. ඒ බව ඔබ නොදන්නවා වෙන්න ඇති. 

ඇය පතන දේ ඔහුගෙන් ඇයට ලැබී නැහැ. අසාර්ථක ජීවිතයක්‌. මල් පෙති කොතරම්සුවඳද. ඒ වගේම සුවඳ නැති මල් කොතරම්ද. ආදරේත් ඒ වගේ. ඔබ හැමදාම මේ මල්පෙති නැති නම් ආදරය මාවෙත සමීප කරනවා. ඒත් මට ඒවායේ සුවඳක්‌ දැනෙන්නේ නැහැ. මගේ ජීවිත ගමනට ඔබෙන් ලද සහායක්‌ ඇත්තෙම නෑ... ඒ නිසා අපි වෙන්වෙමු. එය අසාධාරණ ඉල්ලීමක්‌ නොවේ.

හැමදාම මල්පෙති ළංකළත්

දැනුනේම නෑ සුවඳැති බවක්‌

නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌

සාධාරණයි අපි වෙන් කළත්

මේ ගියේ පළමු කොටස බලන්න ඉගිලෙන්න තහනම් නම් දුරක්‌ එහි එක ළඟ "නම් නම් යනුවෙන් දෙවරක්‌ කියෑවෙනවා. මෙය ප්‍රශ්නයක්‌ වේවි කියා සංගීතඥ රෝහණ වීරසිංහට ප්‍රශ්නයක්‌ මතුවුණා. ඒත් නිරෝෂා එය ඉතා දක්‌ෂ ලෙස ගායන කළා. මා රචනා කළ සියලුම ගීත නිල්වලා ලේබලය යටතේ වෙළෙඳ පොළට නිකුත් කළා. මේ ගීයේත් වචන දිහා බලලා රෝහණ වීරසිංහයන් මනරම් තනුවක්‌ නිර්මාණය කළා. නිරෝෂා ඉතා ඕනෑකමින්, හැඟුම්බරව මේ ගීය ගායනා කළා... මෙහිදී නිල්වලා අධිපති දේශමාන්‍ය උපුල් ජයසිංහවත් ආදරයෙන් සිහිපත් කරනවා.

චන්න ලියූ මේ ගීයේ අරුත එය ගයන ගායිකාවටද ඉතා සමීප අත්දැකීමක්‌ යෑයි කීවොත්. ඇය ඒ පිළිබඳ අමනාප නොවනු ඇති. නිරෝෂා මේ ගීය වඩාත් හොඳින් ගයන්නේ ඒ නිසාම වෙන්නත් පුළුවන්. එහෙත් චන්නගේ පදමාලාව කාන්තා හඬකින් ගයන නිසා මෙය ගැහැනියකගේ හදවත ඉකිබිඳින ආකාරය බවට අර්ථ ගැන්වූවද මේ අත්දැකීම ගැහැනු පිරිමි දෙපක්‌ෂයටම පොදු වූවක්‌ යම් හෙයකින් මේ ගීය පිරිමි හඬකින් ගැයුවා නම් මෙය වෙන්වීම පිළිබඳ පුරුෂයකු ලද අත්දැකීමක්‌ ලෙස අර්ථ දැක්‌වීමටත් පිළිවන.

(උපුටා ගැනීම දිවයින - මීවිත) 





Wednesday, August 12, 2020

හිතින් යන ...

වසන් වන සඳ වලාකුළකට..

හඬා වැටුනට තාරකාවක්

ආයේ එන්නේ නෑ…

හිතින් යන – අය අතින් අල්ලා

නවත්තන්නට බෑ…

හිතින් යන අය – අතින් අල්ලා

නවත්තන්නට බෑ…


මවා දී තරු රටා අහසේ..

සිනා සී වුන් තරු කිනිත්තෙන්..

මලානික වූ පුංචි තරුවක්..

පොලෝ තලයට කඩා වැටුනා..

සරා සඳකට දරාගන්නට බෑ..


හිතින් යන – අය අතින් අල්ලා

නවත්තන්නට බෑ…

හිතින් යන අය – අතින් අල්ලා

නවත්තන්නට බෑ…


නිවී යන තරුවක කතාවේ..

බිඳී ගිය මතකයේ සැමරුම්..

හිතේ ගැඹුරුම තැන තියාගෙන..

ආදරේ ඉකි බිඳුම් ඇසුනා..

මලානික ඇස් හිනාවෙන්නේ නෑ…


හිතින් යන – අය අතින් අල්ලා

නවත්තන්නට බෑ…

හිතින් යන අය – අතින් අල්ලා

නවත්තන්නට බෑ…


වසන් වන සඳ…


ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක, සංඛ දිනෙත්

පද රචනය : දිල්ශාන් පතිරත්න 

සංගීතය : සංඛ දිනෙත්

ආචාර්ය වික්ටර් රත්නායකයන් සමඟ සංඛ දිනෙත් ගායනා කළ මේ ගීතය හරිම ජනප්‍රියයි. සිරස සුපර් ස්ටාර් ප්‍රසංගයෙන් කලඑළි බැස්ස සංඛ දිනෙත් මේ වන විට සංගීත දිවියේ යම් දුරක් ගිහින්. මේ ගීතය අතිශය ජනප්‍රිය වීමත් සමඟම මෙහි පසුබිම ගැන කතා කරන්නට අපි හිතුවා. ඒ ගැන අපි මුලින් ම කතා කළේ සංඛ දිනෙත් සමඟ.

සිතින් යන අය ගීතය ඇත්තටම මට ලොකු ආලෝකයක් වුණා. එහෙම වුණේ වික්ටර් රත්නායක මහත්මයා නිසා. ඔහු වගේ කෙනෙක් මම වගේ පුංචි කොල්ලෙක් සමඟ මේ ගීතය ගායනා කරන්න හවුල් වීම ගැන මගේ ගෞරවය පුද කරනවා. ඔහු මීට පෙර සහාය ගායනා කරලා තියෙන්නේ, අමරදේවයන්, සිසිර සේනාරත්නයන් වගේ ප්‍රවීණයන් සමඟයි. මේ ගීතය 2018 දී ජනප්‍රිය ගී අතරට එක් වුණා. අද මම කොහේ ගියත් මේ ගීතය රසිකයන් ඉල්ලනවා.

මේ ගීතයේ පද රචනය ගැන කීවොත්...

ඩිල්ෂාන් පතිරත්න මහත්මයාගේ. ඔහු නීතිඥවරයෙක්. ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක්. කලියුගය කියන පොතක තිබුණු පද පේළියක් ඇසුරින් තමයි ඔහු මේ ගීතය ලියලා තියෙන්නේ. මේ ගීතයට තනුවක් යොදලා ගායනයට උදව් වෙන්න කියලා මම වික්ටර් සර්ට ආරාධනා කළා. මට කවුරුත් නොකරන විදිහේ උදව්වක් කළා එතුමා. මම අහලා තිබුණේ ඔහු තරුණ පරපුර සමඟ විසංවාදයි කියලා. ඒත් ඔහු හොඳ කෙනෙක් කියා මා තේරුම් ගත්තා. මම ගීතයේ ස්වර ප්‍රස්ථාරය හදලා තිබුණේ. ඔහු මට කීවා සංඛ මේ ගීතය ලියන්න කියලා. මම කීවා සින්දුව ලියලනේ තියෙන්නේ සර් කියලා. ගීතය සංගීත භාෂාවෙන් ලියන්න කීවා. මට ඔහු ඇසුරේ හුඟාක් දේ ඉගෙනගන්න ලැබුණා. මේ ගීතය පටිගත කරන්න අපිට හෂිනි මිස් හරියට සහාය වුණා. වික්ටර් රත්නායකයන්ට හරි හරියට සත්කාර කරලා හැමෝටම ගීතය ගායනා කරන්න හොඳ මූඩ් එකක් හැදුවෙ හෂිනි මිස්. ප්‍රථම වතාවට මට තේරුණා වික්ටර් සර් හා හෂිනි මිස් ගැන සමාජය තුළ තිබුණු කතාව නෙමෙයි ඇත්ත කියලා. ඒ දෙන්නා අතර මොකක්දෝ මහා විශාල බැඳීමක් මා දුටුවා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි එකක්.

මේක ප්‍රේම ගීතයක්, ඔබල‍ාගේ ජීවිතවලටත් සම්බන්ධද?

මේක මගේ, ඔබේ, වික්ටර් සර්ගේ අපි කාගේත් කතාව නේද?

අපේ හිතින් කවුරු හරි කැඩිලා බිඳිලා වෙන්වෙලා ගියොත් නැවත ආපහු ආවත් ඒ තත්ත්වය නැහැ නේද?

කැඩුණු වීදුරුවක් ආයෙත් පෙර විදිහට හදන්න කොහොමත් බැහැනේ. ඒ විදිහ තමයි සිතත්. ඒ විදිහට හැරදාලා ගිය කවුරු වුණත් ආයේ ආවට ඉස්සර තැන නැහැනේ.

ඩිල්ෂාන් පතිරත්න මේ ගේය පද රචනය ගැන අදහස් දක්වමින් 

මේක අපි හැමදෙනාමගේම කතාව. අහිමිවීම, අතහැරීම බුදුදහමේදී අපට උගන්වන කාරණයක්. හිමිවීම තුල ඇති සතුටට යටින් ඇත්තේ අහිමි වීමේ වේදනාව.ඒක අපිට විතරක් නෙමෙයි සොබාදහමටත් එකසේ වලංගු දෙයක්.

වසන් වන සඳ වලාකුළකට         

හඩාවැටුනට තාරකාවක් ආයෙ එන්නෙ නෑ

හිතින් යන අය අතින් අල්ලා

නවත්තන්නට බෑ

මෙතැනදී හඳ වලාකුලකින් වැසුන නිසා ඒ දුකට ඒ අහිමි වීමට කඳුළු සලන්නේ තාරකාවක්. ඒ සඳ අහිමි වීම දරාගන්න බැරි නිසා.

මවාදී තරු රටා අහසේ           

සිනාසී උන් තරු කිනිත්තෙන්         

මලානික වූ පුංචි තරුවක්           

පොලෝ තලයට කඩාවැටුනා 

සරා සඳකට දරාගන්නට බෑ       

හිතින් යන අය අතින් අල්ලා 

නවත්තන්නට බෑ  

දෙවැනි කොටසින් අර පලමුවෙන් කියපු කතාවේ අනිත් පැත්ත පෙන්වනවා. තරු රටා මවලා පුංචි පුංචි ඉද්ද මල් වගේ මුළු අහසම ලස්සන රටාවලින් හැඩ කරපු තාරකා ගොන්නෙන් එක තරුවක් කඩා වැටෙද්දී මේ වෙන්වීම, මේ හැරයාම සඳට දරා ගන්නට බෑ. තරුවේ වෙන්වීමේ විප්පයෝගයෙන් සඳ තනිවෙනවා රහසේම හඬනවා.

මේ ගීතයේ විශේෂත්වය වන්නේ අන්න එයයි.අහිමි වීම සහ අත් හැරීම කියන්නේ අපි සියළුම දෙනාගේ සදාතනික උරුමයන් බවයි.

ගීතයේ අවසාන කොටස ගැන කියන්න කලින් ඩිල්ෂාන් ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් විස්තර කලා.

"වෘත්තීමය නිතීඥයෙකු විදිහට මම වැඩියෙන්ම කතා කරලා තියෙන්නෙ දික්කසාද නඩු දවසක් මම මගේ හිතවතෙකුගේ දික්කසාද නඩුවකට පෙනී සිටියා.නඩුව අවසානයේ මම ලඟට ආ හිතවතා මෙහෙම කිව්වා මේ දේවල් අපේ කෙනාටත් කියන්න වෙයි.මෙතැනදී ඔහු අපේ කෙනා කියලා හැදින්වුයේ ඔහු දික්කසාද කල බිරිඳවයි මම මගේ හිතවතාට මෙහෙම කිව්වා. අද දහවල් 1න් පස්සේ අපේ කෙනා කියලා කෙනෙක් නෑ. ඒ කතාවට ටික වේලාවක් කල්පනා කරපු ඔහු,ඊලඟ මොහොතේ ඇස්දෙකේ කඳුළු පුරවාගෙන අඬන්නට ගන්නවා.."

නිවීයන තරුවක කතාවේ            

බිදීගිය මතකයේ සැමරුම්            

හිතේ ගැඹුරම තැන තියාගෙන           

ආදරේ ඉකිබිදුම් ඇසුනා              

මලානික ඇස් හිනාවෙන්නේ නෑ

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

අපි අපේ ජීවිතයේ ඇති තරම් සම්බන්ධතා තුල වෙන්වීම් සහ හැරයාම් සිදුවීම් වෙන්න ඇති. නමුත් ඒ වෙන්වීම සිදුවන මොහොතේ අපිට දැනෙන අපිට හිතෙන ඔහු හෝ ඇය සමඟ බැඳුනු අතීත සැමරුම් සහ මතක වෙන්වූ පසු අපිව අවුස්සනවා, වද දෙනවා. එතැනදී අපි හැමොම අඬනවා වෙන්වීමක ආරම්භයේදී හැම දෙනාගේම සිත් තුලින් මතකයන් එක්ක විප්පයෝගයක වේදනාව උපදිනවා.

මේ කාරණාව ගැහැනු පිරිමි දෙපක්ෂයටම පොදුයි. හැමදෙනාගේම මතක තුල අපිට අඬන්න හිතෙන තරම් දුක වෙන්වීමක් තියනවා.


(උපුටා ගැනීම - සිළුමිණ)



 

Tuesday, August 11, 2020

මතකය ඇසුරින් ...

 මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි

මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමී

අම්මා

අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමී

පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී


ඉස්සර දවසක උදැසනක ඔබ මා නළවන්න ඇතී

මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී

මගෙ හිස පිරි මැද මගෙ ගත පිරි මැද මුව සිප ගන්න ඇතී

ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී

අම්මා

අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමී

පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී //


ගායනය - ඉන්ද්‍රානි පෙරේරා

පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන

තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

මල්ලිකා - ඉන්ද්‍රානි - අයිරාංගනී කියන මේ අපූරු සොයුරියන් ‘ති‍්‍ර සිස්ටර්ස්. නමින් ගොඩනැෙඟනවා. ඒ ඇරඹුම කෙසේද කිව්වොත්?

අපි තුන්දෙනාම පාසල් කාලයේ තමයි මේ හැමදේටම යොමු වුණේ. ඔය කියන කාලෙ අක්කා ගායනයට යොමු වෙලා ඉවරයි. අමරදේවයන් ළඟ සංගීතය ඉගෙන ගත්තා. මම උඩරට නැටුම් ඉගෙන ගත්තා. නංගි නර්තන කලාවේ ඉහළටම ඉගෙන ගත්තා. ශේෂා පලිහක්කාර,සීතා ගමගේ, මිරැන්ඩා හේමලතා කියන ශිල්පිනියන් යටතේ. මම ඒ කාලේ මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම එක්ක ‘වන දෙව්ලිය තුරුලේ.” ‘දිල්හානී දුවනී. යන කියන ගීත දෙක කරලා ගොඩක් ජනපි‍්‍රය වුණා. ඊට පස්සෙ ‘සීගිරියේ. ගීතය කළා. ඒ තැටි හොඳට අලෙවි වුණා. ඉතින් අපේ දක්ෂකම් දැකලා තාත්තා කිව්වා ඔය තුන්දෙනා එකතු වෙලා සිංදු කිව්වොත් නරක ද කියලා. තාත්තගෙ යෝජනාවක් අනුව තමයි එදා ‘තී‍්‍ර සිස්ටර්ස්. බිහි වුණේ.

‘මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමී. ඔබ ගයන ඉතා සංවේදී ගීතයක්. එය ඔබේ ජීවිතයට සම්බන්ධයි කිව්වොත්?

ඔව්. ඒ සම්බන්ධය තමයි අපි පුංචි කාලෙම තමයි අපේ අම්මා ජීවිතයෙන් සමුගත්තෙ. ඒක අදටත් අපිට අමතක කරන්න බැරි සිදුවීමක්. නමුත් එදා ඒ අඩුව දැනෙන්න අපේ තාත්තා ඉඩ තිබ්බෙ නෑ. ¥වරු තුන් දෙනෙක් වුණාට ඔහු අපේ හැම ඕන එපාකමක්ම සොයා බලාගෙන යාළුවෙක් වගේ තමයි අපිත් එක්ක හිටියෙ. අම්මා නැති වුණාට පස්සෙ අපිට අම්මයි තාත්තයි දෙන්නම වුණේ අපේ තාත්ත. ඇත්තටම මම සමහර අවස්ථාවල තාත්තට දසමාසේ උරේ කත්වා කියලත් වැඳල තියෙනවා. ඔහොම ඉන්න කොට තැටි නිෂ්පාදකයෙකුගෙන් මට අවස්ථාවක් ලැබුණ ක්ලැරන්ස් විජේවර්ධනයන් ලවා ගීත හතරක් කරන්න. ඒ වෙද්දි ඔහු දැනගෙන හිටියා මගේ මව ජීවතුන් අතර නැහැ කියලා. ඔහු මා වෙනුවෙන්ම ඒ ගීතය නිර්මාණය කළා. ගායනා කළාට පස්සෙ එහි තියෙන සංවේදී බව නිසාම රසිකයො ඒක ඉතා ඉහළින් පිළිගත්ත. විශේෂයෙන්ම මවු සෙනෙහස අහිමි වූ අය.

(දිවයින)




    



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...