Monday, November 9, 2020

මහ වරුසාවට ...

මහ වරුසාවට පසුව නැගෙන සඳ

වෙනදාටත් වැඩියෙන් එළියයි

නෝක්‌කාඩුවට පසුව ඔබේ වත

ඒ එළියට වැඩියෙන් එළියයි


ඇළ දොළ පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොඳුරු සෙනේ

අද නොදකින ඔබ හෙට දකිනාතුරු

මඟ බලමින් මා සිත ලතැවේ


ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවඳයි

විටකදි නැගුනත් සැක බිය ශෝකය

පිවිතුරු සෙනෙහස හද උතුරයි


පදමාලාව - සුනිල් සරත් පෙරේරා

තනුව - රෝහණ වීරසිංහ

ගායනය - සෝමතිලක ජයමහ


ආදරය කරද්දී පෙම්වතුන් එකිනෙකා අතර සැක සංකා ඇතිවීම සාමාන්‍ය දෙයක්‌. ඒත් දෙදෙනා හොඳ අවබෝධයෙන් යුක්‌ත නම් සැක සංකා සබන් බෝලයක්‌ බඳුයි... සැණෙකින් බිඳී විසිරී යනවා.


මහ වරුසාවට පසුව නැගෙන සඳ

වෙනදාටත් වැඩියෙන් එළියයි

නෝක්‌කාඩුවට පසුව ඔබේ වත

ඒ එළියට වැඩියෙන් එළියයි


මහා වර්ෂාවකට පස්‌සේ පායන හඳ වෙනදාට වඩා වැඩියෙන් ලස්‌සනයි. එළියයි. පායන හඳ කවදත් එකයි. සඳ සඳක්‌මයි වෙනසක්‌ නෑ. ඒත් ගී පද රචකයා සුනිල් සරත් පෙරේරා මේ හඳ දකින්නේ වෙනස්‌ විදියකට. වැස්‌සට පසු පායන හඳ ඔහුට ලස්‌සනයි. වැස්‌සෙන් වට දිය බිඳු ගහ කොළ මත පතිතවෙලා... හඳ එළිය ඒ මත වැටෙද්දී ඉපිදෙන ආලෝකය ගීත රචකයා දකින්නේ හඳේ අලුත් එළියක්‌ විදිහටයි.

ඒ වගේ තමයි මේ පෙම්වතියත්. අමනාපයෙන් පසුව ඇගේ මුහුණ අර හඳ එළියටත් වඩා වැඩියෙන් ලස්‌සනයි.

මම රාජ්‍ය පරිපාලනයේ වැඩ කරද්දී අසූ ගණන්වල සුනිල් සරත් පෙරේරා ආවා අපේ ඇමැතිතුමා හමුවෙන්න. ඒ ඇවිත් යන ගමන් මාවත් හමුවුණා. අපි හත්වැනි තට්‌ටුවේ තියෙන කැන්ටිමට ගියා තේ එකක්‌ බොන්න. තේ එක බිබී ඉඳිද්දි සුනිල් සරත් කිව්වා "තව ගමනක්‌ යන්නත් තියෙනවා" කියලා. මම "කොහේද" කියා අසද්දී සිංදුවක්‌ ලියුවා. කෙනෙකුට දෙන්න යනවා ඔහු පැවසුවා. මම ඒ සිංදුව ඉල්ලාගෙන කියවා බැලුවා. ඒක ආයෙත් ඔහුට දෙන්න මට හිතුණෙ නෑ.. "මේක මම ගන්නවා" කියලා බලහත්කාරයෙන්ම සිංදුව මම අරගත්තා. දින කීපයකට පස්‌සේ ගීයට රෝහණ වීරසිංහ තනුවක්‌ දැම්මා. සරල ගී වැඩසටහනට ගීය ගැයුවා. පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා. ගීය ගයන සෝමතිලක ජයමහ අපේ ප්‍රධාන ශිල්පියා පැවසුවා.

ඇල දොළ පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොඳුරු සෙනේ

අද නොදකින ඔබ හෙට දකිනාතුරු

මඟ බලමින් මා සිත ලතැවේ


අපේ දෙහදම ආදරයෙන් බැඳිලා. ඒක සුන්දර ආදරයක්‌. ඒත් ඒ ආදරය හරියට ඇල දොළ ළඟ ගොලු වූ ගීයක්‌ වගේ. ඔයාව දවසක්‌ දැකගන්න බැරිවුණොත් ඊළඟ දවසෙ දකිනතුරු මට ඉස්‌පාසුවක්‌ නෑ. මම මගේ හිත ලතවෙමින් මඟ බලා ඉන්නවා. ඔයාගේ දසුන නෙත් හමුවට එනතුරු.

මේක විරහ ගීයක්‌ම නොවේ. විරහවක්‌ නැත්තෙම නෑ. තම හිතේ තියෙන ප්‍රේමය ගැන තියෙන අවිනිශ්චිතතාව තමයි මේ ගීයෙන් කියන්නේ. ප්‍රසාංගික වේදිකාවේදී රසිකයන් මගෙන් නිතරම ඉල්ලන අනිවාර්ය ගීතයක්‌ තියෙනවා. ඒ සැඳෑ අඳුර ලොව. ඉන් පස්‌සේ වැඩියෙන්ම ඉල්ලන්නේ මේ ගීයයි.

ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවඳයි..

විටකදි නැඟුනත් සැකබිය ශෝකය

පිවිතුරු සෙනෙහස හද උතුරයි....


ඔහු ඇය නිතර හමුවුන මල් මාවත හරිම සුන්දරයි. සුවඳින් පිරිලා ඒත් අද වෙනදාටත් වඩා වැඩියෙන් සුවඳක්‌ දැනෙනවා. හරියට අර වැස්‌සට පස්‌සෙ පායන හඳ වගේ. ඒත් ඇය අහිමිවේවි කියන බියක්‌ සැකයක්‌ ඔහුගේ සිත තුළ උපදිනවා. අවිනිශ්චිත බවක්‌ දැනුනත් ඒ ටික වෙලාවයි. ඉන් පස්‌සේ ඔහුගේ හදවත තුළ ඈ කෙරෙහි උපදින ආදරය උතුරා පිටාර ගලනවා.

මේ ගීය එදත් අදත් ජනප්‍රියයි. ඊට හේතුව පදමාලාවේ තිබෙන සාර්ථකත්වය, සෝමතිලකයන්ගේ ගායන ලීලාව වගේම රෝහණ වීරසිංහයන්ගේ තනුව. මේ තුන එකට එක්‌ වූ කල මිහිරි ගීයක්‌ නිමා වී තිබෙනවා.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...