Tuesday, September 1, 2020

නිවන් දුටු හිමි ...

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්

දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්


ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන

ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා

එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්


මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට

මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට

මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ


නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්

දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්

ගායනය - වික්ටර් රත්නායක

පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය - වික්ටර් රත්නායක

බුදුන් වහන්සේගේ අසම සම කරුණා ගුණය මූර්තිමත් කෙරෙන මෙම ගීතයට ගායනය සහ සංගීතය සපයන්නේ විශාරද ආචාර්ය වික්ටර් රත්නායකයන්ය. ගී පද වැල් ප්‍රේමකීර්ති ද අල්විස් ගේය. මේ ප්‍රතිභා පූර්ණ කලාකරුවන් දෙදෙනාගේ සුසංයෝගය ගීතයේ සාර්ථකත්වයට මනා පිටිවහලකි.

සම්බුදු පිළිරුවෙහි කාරුණික දසුන ඇදී යන්නේ සැදැහැවත් බොදු ශ්‍රාවකයාගේ මනසෙහිය. ඒ දෙස බලා සිටිනා ඔහුට බුදුන් වහන්සේගේ මහා කරුණාව මතකයට නැංවෙන අවස්ථා අපමණය. බුදුන් වහන්සේ සෑම දිනකම අලුයම පිබිදී ලෝක සත්වයා දෙස බලන්නේ මහා කරුණා සමාපත්තියට සම වැදීමෙනි. උන් වහන්සේ කවුරු කොතැනක සිටියත් එක් වරක් හෝ තනියම හෝ ශ්‍රාවකයන් සමඟ යොදුන් ගණනින් ගම් නියම් ගම් වෙතපා ගමනින්ම හෝ ඍද්ධියෙන් ම වැඩම කළේ අන්‍යයන්ගේ යහපත උදෙසාමය. අව් වැසි නොතකමින් ගස් යට, ගල් මත, සුන්‍යාගාර වෙත වාසය කරමින්, පිඬුසිඟා වඩිමින් අන්‍යයන් වෙනුවෙන්ම ඇප කැප වූ අයුරු අසම සමය. රාජ මහා අමාත්‍යවරු, සිටුවරු, කසළ ශෝධකයන්, මිනී මරුවන්, මැරවරයන්, යක්ෂයන්, බමුණු බැමිණියන්, දැසි දස්සන්, ගොවි, කම්කරුවන් ආදී අපමණ පිරිස් වෙත සම්බුදු දෙනෙත විවිර වුයේ මහා කරුණාවෙනි. ඒ ජීවමාන බුදුන් වහන්සේ අද දැකිය හැකි වන්නේ ත්‍රිපිටකය මනා ලෙස පරිශීලනය කිරීමෙනි.

ගීතයේ සඳහන් සේ සම්බුදු පිළිරුව දෙස බලා සිටින රසිකයා බණ පද අසා ඇත. එහෙත් ඔහුට බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ම බණ පද අසන්නට තරම් පිපාසයක් දැනෙන්නේ තම හදවත තෙමාලන බුදුන් වහන්සේගේ කාරුණාබර දසුනයි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව

පමණි අද මට ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇතිමුත්

ඇසූයේ හිමිගේ හඬින් නොව’

මෙම පැදි පෙළෙන් එය මනාව අනාවරණය වෙයි. මෙහි විශේෂත්වය වන්නේ අනේපිඬු සිටු පුතුට බණ දේශනා කළ අයුරින් ම බුදුන් වහන්සේට බණ දේශනා කරන ලෙස අයැදීමයි.

‘ අනේපිඬු සිටු පුතුට මෙන්

අනේ හිමියනි මට ද දැන්

දෙසා වදහළ මැනවි බුදුබණ

මහා කරුණාවෙන්...

මහා කරුණාවෙන්...

අනේ පිඬු සිටු පුතුට බුදුන් වහන්සේ බණ දේශනා කළේ කෙසේ ද? යනුවෙන් රසික සිත විමසිලිමත් වෙයි. ඒ පින්බර පුවත මෙසේ ය.

අනේපිඬු සිටුතුමා රජගහ නුවර බලා පිටත්ව ගියේ භාණ්ඩ රැගත් ගැල් පන්සියයක් සමඟය. එදා වෙනදා මෙන් තමා පෙර මඟ පිළි නොගත් රජගහ සිටුතුමා සිටුගෙදර කටයුතු කළේ බොහොම යුහුසුළුවය. එයට හේතුව විමසූ අනේපිඬු සිටුතුමාට දැනගන්නට ලැබුණේ, රජගහ සිටුතුමාගේ මැඳුරේ බුදුපාමොක් මහ සඟනට දානයක් සූදානම් කරන බවයි. බුදු කෙනෙකුගේ අග්‍රඋපස්ථායක වීමට පෙර සසරේ සිටම පැතූ අනේපිඬු සිටුතුමාට “බුදුන්” යන වදන ඇසීමෙන්ම ඇතිවූයේ බලවත් ප්‍රීතියකි. එතෙක් සිටුතුමා කිසි දිනක බුදු කෙනෙකුදැක හෝ අසා නැත. ඒ නිසාම ඔහු “ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමටට දැන් යා හැකි දැ” යි රජගහ සිටුතුමාගෙන් විමසුවේය. එහිදී ඔහු පැවසුවේ භාග්‍යවතුන් වහන්සේ දකින්නට සුදුසු මොහොත දැන් නොවන බවත්, හෙට දිනයේ සිටු ගෙදර දන් පිණිස වඩින බුදුන් වහන්සේ දැකිය හැකි බවත්ය. අනේපිඬු සිටුතුමා, ඒ අමා මෑණී බුදු පියාණන් වහන්සේ හෙට දිනයේ දකින්නට යමි’ යි සිතමින් නැවත තම මැඳුර වෙත ගොස් රාත්‍රියේ සැතපී ප්‍රථම යාමයේ නින්දෙන් අවදිවී සිහි කළේ තමා මෙතෙක් නොදුටු බුදුරදුන් ගැනය. බුද්ධාලම්භන ප්‍රීතියෙන්ම පිවිතුරු වූ සිතෙන් නැඟුණු ආලෝකයෙන් ඔහුට දැනුණේ රාත්‍රිය පහන් වී හිරු උදා වූවා සේය. ඔහු වහා යහනින් නැඟිට සඳළුතලය වෙත පැමිණියේ රැය පහන් වි ඇතිදැයි සිතමිනි. නැඟී ඇති සඳෙහි දසුනෙන් තවමත් රාත්‍රිය බව දැනගත් ඔහු නොඉවසිලිමත් සිතෙන් තෙවරක්ම අවධි වූයේ මෙතෙක් නොදුටු බුදුරදුන් සිහි කරගෙනය. බුද්ධාරම්මණයෙහි සමාධි වූසිතින් ඔහු නැවතඅවධි වූයේ පශ්චිම යාමයේ අවසාන භාගයේ දීය. ඔහුට බුදුරදුන් දැකීමට යන පින්බර ගමන උදා වූයේ සත්මහල් ප්‍රාසාදයේ දොරගුළු ඉබේම විවිර වීමෙනි. පිවිතුරු සිතින්ම නැඟුණු ආලෝකය හමුවේඔහු මැඳුරෙන් පිටතට නික්ම ගියද අමනුෂ්‍යයන්ගේ බාධා හමුවේ සිටුතුමා නැවත මැඳුර වෙත පිය නැඟීමට යුහුසුළු වූයේ බියට පත්වය. එය දුටු ‘සීවක’ දෙවියා සිටුතුමාට නොපෙනෙමින්, ඔහුට ඇසෙන සේ පැවසූ වදන් පෙළෙන් සිටුතුමාට ඇති වූයේ ඉමහත් ධෛර්යයකි. ඔහුට බුද්ධාලම්භන ප්‍රීතියෙන් නැවත ආලෝකය පහළ වුව ද මඳ දුරක් ඉදිරියට යද්දී නැවතත් අමනුෂ්‍යයන්ගේ බාධා ඇති විය. එහි දී ද ‘සීවක දෙවියා’ ඔහු නැවත බුදුරදුන් දකින්න යන ගමන උදෙසා උනන්දු කරන්නට ඇත්තේ සිටුතුමාගේ පෙර සසරෙ හි පිනෙහි මහිමය නිසයි. මෙසේ තෙවරක්ම පහළ වූ ආලෝකය හමුවේ සිටුතුමා, බුදුරදුන් වැඩ සිටි ශීත වනයට පිවිසියේ ඉමහත් ශ්‍රද්ධාවෙනි.ඔහු මෙසේ සිතීය. බුදුන් වහන්සේගේ ‘බුද්ධත්වය’ සැබෑ නම් කිසිදිනක නොදුටු, නොදන්නා මාගේ නාමයෙන් අමතනු ඇත යන්නය. සිටුතුමා දුර සිටම පැමිණෙන දුටු අසම සම බුදුන් වහන්සේ ‘සුදත්ත’ මෙහි එන්නැ’යි ඇමතීය. එයින් බලවත් ප්‍රසාදයට පත් ශ්‍රද්ධාවන්ත සිටුතුමා උතුරා ගිය බුද්ධාලම්භන ප්‍රීතියෙන් සම්බුදු පාද මූලයේ වැඳ වැටුණේ නමස්කාර පූර්වකවය.

එහි දී බුදුන් වහන්සේ, සිටුතුමාට දහම් දෙසා දාන කථා ආදියෙන් සිත සකසා, චතුරාර්ය සත්‍ය පහදා දුන් අයුරු අපූර්වය. මෙසේ සෝවාන් ඵල ලැබූ සිටුතුමා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් ව පසු දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ දනට ආරාධනා කළේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. ඔහු බුදුන් වහන්සේට වස් වැසීමටද ඇරැයුම් කර පහන් සිතින් කළ පරිත්‍යාගයද උතුම්ය. ‘ජේත කුමාරයාගේ’ උයනෙහි අටළොස් කෝටියක වියදමෙන් විහාරයක් කරවා බුදුපාමොක් මහ සඟරුවන වඩමවා අටළොස් කෝටියක වියදමෙන් කළ පූජෝපහාර ද ඉමහත්ය. මෙසේ සම්බුදු සසුන උදෙසා ඔහු පිදූ ධනය සිවු පනස් කෝටියක් බව ධර්මයේ සඳහන්ය.

ගීතයේ සඳහන් සේ අනේ පිඬු සිටු පුතුට දහම් දෙසුවා සේ තමාට ද දහම් දෙසන්නැ’යි බුදුන් වහන්සේට ඇරැයුම් කරන රචකයා විටක රළු කළු ගලකට ආරෝපණය වන්නේ සිතෙහි නැඟෙන ශ්‍රද්ධාව නිසාමය. තමා යකුළු පහරින් වෙන් වුණත් ඉවසා සිටින්නේ නෙළන කුළුණුබර බුදු පිළිම වහන්සේ උදෙසාය. තවත් විටක කුළුණු බර බුදු පිළිම වහන්සේ නෙළන්නට තරම් රළු කළු ගලක් කපා ඔපමට්ටම් කරන කලාකරුවා පෙන්වන දස්කම් විස්කම් සැබවින්ම විස්මිතය. ඒ උදෙසා කලාකරුවා මෙන්ම රළු කළුගලකට ආරෝපණය වන්නාගෙන් මතුවන ඉවසීමේ ගුණය මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් දුන් සන්සුන්පිළිවෙත සේය.

(උපුටා ගැනීම - බුදුසරණ පුවත්පත)







නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...