Wednesday, August 19, 2020

අද අපි ඉන්නේ විනෝදෙන්ම ...

 අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී

ඔව් මේ රෑ

කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී

එය හොද නෑ


මම නැළවෙන්නේ ඔබේ සිතේ හැංගී

ඔව් මේ රෑ

සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා

ඔව් මේ රෑ


සැනසෙමු නැළවෙමු නටා අපි

එකතුව රිසි ලෙස සිනාසිසී

පැද්දෙන පෙරළෙන රැගුම් බලා

පැද්දෙන පෙරළෙන රැගුම්


හැමටම එක ලෙස ආදරයයි

මම ඔබගේ පෙම් සාගරයයි

පෙම් ලොව සුරතලි මා ඔබේ

පෙම් ලොව සුරතලි මා


අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී

ඔව් මේ රෑ

කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී

එය හොද නෑ


ගායනය - මිනෝන් රත්නම්

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි/ ද ජෙට්ලයිනර්ස්

1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ඇතුලත් වූ ගීයකි.

"ජේම්ස් බොන්ඩ්" චිත්‍රපටි මාලාවේ පළමු කතා වස්තුව 1962 දී මුල්වරට තිරගත වු "Dr. No" චිත්‍රපටයේ එන "Under the Mango Tree" ගීයේ තනුවටයි "අද අපි ඉන්නේ" ගීය කරුණාරත්න අබේසේකරයන් විසින් නිර්මාණය කර තිබුණේ. 

Dr. No චිත්‍රපටයේ මෙම ඉංග්‍රීසි ගීය ගැයූ Diana Coupland මහත් ජනප්‍රියත්වයක් ලැබුවා. 

සත පනහ චිත්‍රපටයේ මෙම ගීතය රඟපාමින් ගායනා The Jetliners සංගීත කණ්ඩායම. ඔවුන් 60 දශකයේ මුල් කාලයේ ලංකාවේ ඉහළින්ම වැජඹුණු සංගීත කණ්ඩායමක් එහි කළමණාකරු වුනේ ටෝනි ප්‍රනාන්දු.කණ්ඩායමේ සාමාජිකයන් වුණේ මේ අය.

සොහාන් පීරිස්          - ගායනයෙන්

ලොරේටා කොච්      - ගායනයෙන්

ඉන්ද්‍රා රාජා               - ගිටාර්

ඇන්ටන් ගුණවිජය  - ගිටාර්

ෆීලික්ස් ප්‍රනාන්දු       - බේස් සහ ගායනයෙන්

හැරිස් ජුරම්පති        - ඩ්‍රම්ස්

මේ කණ්ඩායම වඩාත් දීප්තිමත්ව බැබලෙන්න පටන් ගත්තේ මිනෝන් රත්නම් කණ්ඩායමට එකතු වූවායින් පසුවයි.

මිනෝන් රත්නම් සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන අවධියේ සිට සංගීතයට විශේෂ දක්ෂතාවක් දැක්වුවා. ඇගේ මව සංගීත ගුරුවරියක්. ඒ නිසාම ඇය තුළත් ජන්මයෙන්ම ආ සංගීතයට නැඹුරුවක් තිබුණා. වයස අවුරුදු හතේදි ඇය ලංකා ගුවන් විදුලියේ (Radio Ceylon) කුසලතා පරීක්ෂණයකින් සමත් වුනා. පසුව ඉතා තරුණ වියේදීම ඇය The Jetliners කණ්ඩායම සමගින් එකතු වුණා. අනතුරුව ඇය කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන ගායිකාව බවට පත්වුණා.

ඇයගෙ සම්පූර්ණ නම Mignonette Malathi May Rutnam. නමුත් මිනෝන් රත්නම් ලෙසයි ඇයව බොහෝ දෙනා හඳුනාගත්තේ. මිනෝන් එකතු වුණාට පස්සේ The Jetliners ලෙසට වඩා Mignonne & The Jetliners යනුවෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා.

ඔවුන් මුල් කාලයේ ගාලු මුවදොර හෝටලයේ Coconut Grove රාත්‍රී සමාජ ශාලාවේ ඉදිරිපත් කිරීම් කරනු ලැබුවා. ඒ කාලයේ විශාල කීර්තිනාමයක් දිනා ගන්නට ඔවුනට හැකිවුණා. වර්නන් කොරයා මහතාගේ ඇසුර නිසා ගුවන් විදුලියේ ආසියානු සේවය ඔස්සේ ආසියාවේම කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස ප්‍රචලිත වන්නටත් පුළුවන් වුණා.

මිනෝන් රත්නම්ට ගායනයට එහා ගිය සංගීත කුසලතාවක් තිබුණ නිසා The Jetliners නාමය ජාත්‍යන්තරය තුළ බබලවන්න පුළුවන් වුණා.

කණ්ඩායමේ කළමණාකරු වූ ටෝනි ප්‍රනාන්දුගේ බිරිඳ මිය ගියාට පසුව මිනෝන් ටෝනි හා විවාහ වුණා.

ඉතා ප්‍රකට "බොම් බොම් බොම්, බොම්බෙ මෙරේ හායි" ගීය බිහිවෙන්නෙ The Jetliners බොම්බායේ කොන්ත්‍රාත්තුවකට එහි ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරද්දි. ඉන්පසු සිංගප්පූරුව හා හොංකොං වලත් ඒ අයුරින්ම ලොකු ගිවිසුම් සමග ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරනවා.

මිනෝන් රත්නම්ගේ "Love don't let me down" ගීය ජාත්‍යන්තර සංගීත උත්සවයකදී තානාපති සම්මානයක් (Embassy Award) දිනා ගැනීමට සමත් වුණා. ජපානයේ පැවති තවත් ජාත්‍යාන්තර තරඟයකදී මැත්සුහිතා සම්මානයෙන් සහ හොඳම ගී නිර්මානය හා ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ ජූරි සම්මානයකින් අගැයීමට ලක් වුණා.

ඇතන්ස්හී පැවති පස් වැනි ඔලිම්පියාඩ් සංගීත තරඟයේදී අවසන් වටයට තෙරෙන්නට The Jetliners කණ්ඩායමට හැකිවුණා. ඔවුන් ඉදිරිපත් කළ ඔබ නිසා නම් ගීය තුළින්.

ජපානයේ පැවති ලෝකයේ උත්කර්ෂවත්ම ගායන උත්සවයක රන් සම්මානයෙන් පිදුම් ලබන්නටත් The Jetliners කණ්ඩායමට හැකිවුනා. ලොව පුරා නම රැන්දූ සංගීත  කණ්ඩායමක් ලෙස The Jetliners හඳුන්වන්න පුළුවන්.


(උපුටා ගැනීම - ගී අරණ)




The Jetliners


   
Mignone Ratnam Fernando


නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...