Friday, July 10, 2020

කඳුළ ඉතින් සමාවෙයන් ...

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න

කළුවළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දැවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා සඳ පායා
සඳරැස්‌ යහනට වඩින්න 
සඳ එළියෙන් ඇගේ ගතේ
පෙති ගෝමර මල් දකින්න

මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්‌
ගෙපැල දොරින් හමා එන්න
ඉඩදීයන් වළාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න

ගී පද - ලක්‌මාලි කාරියවසම්
සංගීතය - සුරේෂ් ද සිල්වා
ගායනය - කීර්ති පැස්‌කුවෙල්

හිරිමල් යෞවනය කියන්නේ හිතපුරා පෙම්මල් පූදින කාලය පැණි වැහෙන කාලය කියලත් කියනවා. මේ වයසට නැඟෙන සිතුවිලි හරිම පෙම්බරයි. දැරියක්‌ ඉල්ලන කාලෙනෙ.... ඉලන්දාරි වයස කියලනෙ කියන්නේ තනි යහනෙ සිටිද්දී හිතෙන දේ..... හැඟීම්.... අපමණයි.... තනිකම සහකාරියකගේ වුවමනාව වැඩියෙන්ම දැනෙනවා. තමන් ගැනම දුකකුත් ඇතිවෙන අවස්‌ථා තියෙනවා. තනිකම වැඩියෙන්ම දැනුනාම ඇසට කඳුළකුත් එනවා.

කඳුළු ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න

මෙතරම් කාලයක්‌ තනි යහනේ සිටි මේ තරුණයා තනියට හිටි කඳුළට දුකට සමුදෙනවා. ඔහු කඳුළෙන් වෙන්වෙන්නේ සමාව අයදමින්. ඒ ඔහුගේ ගෙපැල එළිය කරන්න. යහනේ තනිකම මකන්න කෙනෙක්‌ කැන්දාගෙන එන නිසා.

මේ ගීතය ලියුවේ ලක්‌මාලි කාරියවසම්. ඒත් ගීය ගැන අහන්න ඇය ලංකාවේ නැහැ. ලක්‌මාලි පදිංචි වී සිටින්නේ ඔස්‌ටේ්‍රලියාවේ... ඒ නිසයි ගීයේ උපත ගැන ලක්‌මාලි කිව යුතු දැ ගීය ගයන කීර්ති පැස්‌කුවෙල්ගෙන් අසා දැන ගත්තෙ.

මම ලක්‌මාලිව හඳුනාගෙන හිටියේ නැහැ. සංගීතය සැපයූ සුරේෂ් ද සිල්වා මගේ මිතුරෙක්‌. සුරේෂ් වෙළෙද දැන්වීම් වලට සංගීතය සපයන කාලේ ලක්‌මාලිත් එතකොට ලංකාවේ වෙළෙඳ දැන්වීම් ඒජන්සියක වැඩ කරන කාලෙ. ඇය සුරේෂ්ට මේ ගීය ලියා දීලා. සුරේෂ් තනුවක්‌ හදලා මට දුන්නා. මම අහලා බලලා පස්‌සේ ප්‍රයෝජනයට ගන්න පැත්තකින් තිබ්බා. ඒ අනූ අටේදී, මම දෙදාහේ විදේශගත වුණා. දෙදාස්‌ හතරේදී ආයේ ලංකාවට ආවා. එතකොට සුරේෂ් ස්‌ටුඩියෝ එකක්‌ දාලා තිබුණා. මේ ගීයට ට්‍රැක්‌ එකකුත් හදලා තිබුණා. මට කිව්වා වොයිස්‌ දාන්න කියලා. මම ඉතින් දවසක්‌ ස්‌ටුඩියෝ එකට ගිහින් වොයිස්‌ කළා. එක පාරින්ම කළා. සතියකට පස්‌සේ සිංදුව සුරේෂ් මට දුන්නා අහලා බලන්න කියලා. මම ගෙදර අරන් ආවා. එදා නීලා වික්‍රමසිංහත් ගෙදර ඇවිත් හිටියා. සින්දුව අහලා නීලා කිව්වා ලස්‌සන සිංදුව චැනල් වලට දෙන්න කියලා. සිරසෙ නිහාල් වික්‍රම එදිරිසූරියට දුන්නා. පළමුව සිංදුව ජනප්‍රිය වුණේ සිරසෙන්. පසුව ටොරානා එකෙන් සීඩි එකකුත් කළා.

කළුවළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දැවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා සඳ පායා
සඳරැස්‌ යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පෙති ගෝමර මල් දකින්න

ඇය කැන්දාගෙන එන්න කලියෙන් ඔහු පැලක්‌ හදලා. බිමට ගොම ගාපු ගමන් ඒ නිසා හැන්දැවට ගඟට උඩින් කළුවලාවක්‌ ආවොත් වැහි වසීවි. එතකොට අලුත්පිට බිම ගෑ ගොම සේදිලා යාවී.

යහනට සඳ රැස්‌ වඩිද්දී එහි සැතපී ඉන්නා පෙම්බරියගේ ගතපුරා තිබෙන පෙතිගෝමර දැක ගන්න පුළුවන්. ඒ සඳ එළියට ඒ පෙති ගෝමර පෙනෙන්නේ යහන පුරා පිපී ඇති මල් වගේ...

මේ තරුණයාගේ සිතිවිලි හරිම නාඹරයි. ඔහු බොහෝ දේ සිතනවා. බලන්න මේ ගී පද රසිකාවිය, කිවිඳිය ව්‍යංගයෙන් බොහෝ දේ පවසන ආකාරය.

මම මේ පද රචිකාවිය දැක තිබුණේ නෑ. ඒත් මගේ කීර්ති ගී ප්‍රසංගයට ඇය ඇවිත් සිටින බව දැනගත්තා. මම ඇයට ආරාධනා කළා ප්‍රේක්‍ෂකාගාරයේ සිට වේදිකාවට එන්න කියලා. ඒ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. ඇය වේදිකාවට ආවා. මම පළමුව ඈ දුටුවේ ඒ අවස්‌ථාවේදීය. කීර්ති පැස්‌කුවෙල් පද රචිකාවිය හැබැහින් දුටු ආකාරයත් විස්‌තර කළා.

මල් දෙවැටේ වතු සුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්‌
ගෙපැළ දොරින් හමා එන්න
ඉඩදීයන් වළාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න

මේ තරුණයා නැවත හිතනවා ඈ එද්දී ඈ පිළිගන්නට දෙවැටේ වතු සුදුමල් පිපේවි. ඒ මල් පරදින තරමටම ඇගේ කොපුල් තල වලින් ඔමරි සිනා ඉපදේවි. ඒ විතරක්‌ද ඔහු තවත් දුර ගිහින්. ගෙපැළ දොරින් හමා එන සුළඟට බිළින්දෙකුගේ කිරි සුවඳත් මුසුවෙලා. අනේ වළාකුළේ... අයින් වෙලා සඳරැස්‌ වලට ඉඩදීපන්. මගේ හීනය හැබෑවෙන්න ඉඩ දීපන්.

මල් ගී රැල්ලත්, පන්සල් ගැන ලියූ ගී රැල්ලත් හමායන කාලෙක තමයි කීර්ති මේ ගීය ගායනා කළේ. ඒත් මල් ගීවලට, පන්සල් ගැන ගැයුණු වෙළඳ ගී රැල්ලට කඳුළ යට වුණේ නැහැ. කඳුළ ජයගත්තා. ලක්‌මාලිගේ වෙනස්‌ ආරක ගී පද මාලාවත් හැඟුම්බර ලෙස ගැයූ ළයාන්විතයාගේ හඬත් ඊටම ගැලපෙන ලෙස නිර්මාණය වූ ගී තනු නිර්මාණයත් අවරගනයේ නිර්මාණ රැල්ලට අභියෝග කරන්නට සමත්වුණා.

(මීවිත)



දෙව්රම් වෙහෙරේ ...

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...

දෙව්රම් වෙහෙරේ...//

ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

දෙව්රම් වෙහෙරේ...//

ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ඇත්තෙන්ම වික්ටර් රත්නායක ගැයූ ගීත වැඩි හරියක පද රචකයා වූයේ ද ඔහුමය. එබැවින් වික්ටර්ගේ සාර්ථකත්වය පසුපස පේ‍්‍රමකීර්තිගේ සෙවනැල්ලද තිබේ.

‘‘කොහොමද වික්ටර් අයියාට පේ‍්‍රමකීර්ති මුණගැහුණේ?’’ අතීතය රසවත් වන බැවින් මම ඇසුවෙමි.

මම සිංදු කියන්න පටන්ගත්තේ 1964 අවුරුද්දේ ඒත් පේ‍්‍රමකීර්ති ගීත ලියන්න පටන්ගත්තෙ ඊට අවුරුදු හත අටකට විතර පස්සෙ. ඒ වෙනකොට කේ.ඞී.කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග වගේ අය මම ළඟින්ම ඇසුරු කළා. ඔය අතරේ පී.එල්.ඒ සෝමපාලත් හිටිය. මෙයා තමයි සන්ධ්‍යා සේවය බාරව සිටියේ.

‘‘වික්ටර් මට සන්ධ්‍යා සේවයට විතරක් පාවිච්චි කරන්න සිංදු හතරක් ඕනෙ’’ දවසක් දා සෝමපාල කිව්වා කාට කියලද මේ සිංදු ටික ලියාගන්නෙ කියලා. මං එතකොට ඇහුවා

‘‘අපි පොඩි මාස්ටර්ට කියමු’’ කියලා යෝජනා කළෙත් පී.එල්.ඒ.මයි. ඔන්න එතකොටම කොට කලිසමකුත් ඇඳගෙන තරුණයෙක් ඒ පැත්තට ආවා. ‘‘පොඩි මාස්ටර්’’ කියලා පී.එල්.ඒ. කතා කළාම පේ‍්‍රමකීර්ති එතෙන්ට ආවා.

‘‘අඳුනනවද මෙයාව’’ කියලා පී.එල්.ඒ. ඇහුවා.

‘‘මොකද නැතුව, පාලයියේ මේ අපේ වික්ටර් රත්නායකනේ’’

ඊට පස්සෙ පී.එල්.ඒ කාරණාව කිව්වම පේ‍්‍රමකීර්ති සිංදු ලියල දෙන්න කැමති වුණා. මගෙ සරල ගී වැඩ සටහනකුත් තියෙනවා. ඒකටත් බොදු ගීයක් ලියාගන්න ඕනෙ කියලා මට කිව්වා. දෙව්රම් වෙහෙරේ පේ‍්‍රම් ලියපු මගෙ පළමුවැනි ගීතය බවට පත්වුනේ ඒ විදිහටයි.

70 දශකයේ මුල් භාගයේ දිනෙක ගුවන්විදුලි සංස්ථාවේදී ප්‍රේමකීර්ති මුණගැසුනා මට අද මෙන් මතකය. ප්‍රේම් දුක්මුසුව මට කීවේ ඔහුගේ අම්මා කොළඹ මහ රෝහලේ සැත්කමක් සඳහා රෝහල් ගතකර ඇති බවයි. “අම්මා බලන්න මම යනවා...උඹ ආවොත් අපේ අම්මා හුඟාක් සතුටු වෙයි” මා එක වරම කීවේ “ඔව්... අම්මා බලන්න අපි යමු” කියායි. අම්මාගේ ඇඳ ළඟට ගිය සැණින් ප්‍රේමකීර්ති අම්මාට මාව හදුන්වා දුන්නේ “අම්මේ... අර දෙව්රම් වෙහෙරේ සින්දුව කියන්නේ.... ඒ මේ වික්ටර් ” කියලයි. එසැනින් ප්‍රේම්ගේ අම්මා මගේ අතින් අල්ලාගෙන “මොන තරම් ලස්සනට ඒ ගීතය කියනවද පුතේ” කියල මගේ මූණ දිහා බලාගෙන හිටියා. ප්‍රේම්ගේ මව මා මුලින් හදුනාගත්තේද එදිනයි. මවගේ සුවදුක් බලා අපි බසයක නැගී ආපසු ගුවන් විදුලිය වෙත ආවා මතකයි. 



නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් ...

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //

ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම්
නමා නළල් තලේ

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්...

දෑගසවු රහත් බුදුන්
මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින්
මලින් බැතින් සදා

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්...

ආචාර්ය අජන්තා රණසිංහයන් සහ මහාචාර්ය සනත් නන්දසිරි අතර තිබුණේ ගහට පොත්ත වගේ බැඳීමක්. දෙදෙනාට දෙදෙනා ආමන්ත්‍රණය කලේ "මචං" යනුවෙන්. ඉතින් දවසක් සනත් නන්දසිරි මහතා විශ්වවිද්‍යාලයේ දේශන කටයුතු සඳහා පිටත් වීමට සූදානම් වන මොහොතේ, අජන්තා රණසිංහයන් රැකියාවට යන ගමන් එතුමාගේ නිවසට ගොඩ වදිනවා. "මචං මෙන්න මේක කියහං උඹේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට" යනුවෙන් මේ ගීතයේ පද මාලාව ලබා දෙනවා. සාමාන්‍යයෙන් මහාචාර්යතුමා පවසන පරිදි අජන්තා රණසිංහයන් එතුමාට ගීත ලබා දෙන්නේ "පොලිසියෙන් දෙනවා වගේ කියලා!!!" තරහට නෙමෙයි එහෙම කියන්නේ. අර මිත්‍රත්වය සහෝදරත්වය නිසා.

පදමාලාව බැලුවාම එතුමාට කිසිම ගීතවත් බවක් දැනිලා නැහැ. "මොකද්ද බං මේ? මේකේ කොහොමද ගීතයක් තියෙන්නේ" කියලා ඇහුවාම "මචං මේකේ වචන කැඩෙන්නේ මෙහෙමයි. නිර්වාණ-ස්වර්ණ-ද්වාරයෙන්..." ආදී වශයෙන් ගීතයේ ගමන් රටාව අජන්තා රණසිංහයන් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව තමා ගීතයේ තනුව නිර්මාණය වුණේ. ගී පද රචකයන් පවා ගීතයක් ලියන්නේ යම් හිතේ මැවුණු තනුවකටයි. එය තමා මෙහි ඇති විශේෂිත කරුණ.

තවත් රසකතාවක් තියෙනවා. මේ ගීතය ඇහුවාට පස්සේ සනත් නන්දසිරි මහතාගේ මෑණියන්, දෝන එමලින් කටුගම්පල මහත්මිය කියලා තියෙනවාලු "පුතේ මේ ගීතයේ ඔක්කොම වචන නම් මට ඇල්ලුවේ නැහැ. හැබැයි අර 'සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්' කියන කොටස නම් ලස්සනයි." කියලා. මොකද "නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්" කියන වචන වල තේරුම ඇයට තේරෙන්නේ නැහැ. නමුත් ඒ අම්මලා ආගමානුකූල දිවියක් ගත කල නිසා බුදුරජාණන්වහන්සේගේ පාද වන්දනා කරන එක ගැන තේරුමක් තිබිලා තියෙනවා.

බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණයත්, උන්වහන්සේ විසින් සුවහසක් සත්ත්වයා කෙරෙහි පතළ අනුකම්පාවෙන් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයත් , බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දහම් මඟ අනුගමනය කරන මහා සංඝ රත්නයත් අපගේ සිංහල බෞද්ධ සමාජයට ලැබුණ අගනා රත්න තුනක් ලෙස හඳුන්වා ඇත. මැණික් හෙවත් රත්න යන වචනය තුළ ඉතාම වටිනා යන අර්ථය අන්තර්ගත ව පවතී. බෞද්ධ සමාජයෙහි ත්‍රිවිධ රත්නය විෂයයෙහි උතුම් අර්ථයකින් සලකනු ලැබේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය හැර බෞද්ධයකුට වෙනත් සරණක් නැත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පතළ මහා විශ්වාසයෙන් බෞද්ධයෝ ත්‍රිවිධ රත්නය සරණ යති. මිනිස් සිත් සතන් තුළ පවතින විශ්වාසයට අනුව එය සිදු කෙරේ.

බෞද්ධ ගීත සාහිත්‍යය තුළ බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ගීත වෙන් වෙන් වශයෙන් දක්නට ලැබුණ ද, එකම ගීතය තුළ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන ගීත දක්නට ලැබෙනුයේ අල්ප වශයෙනි. නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන ගීතය බුද්ධ , ධම්ම, සංඝ යන තුනුරුවන් අන්තර්ගත වන ලෙස රචනා වී ඇත. 

ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචනා කළ නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන ගීතය ශ්‍රවණය වන තත්පරයක් පාසාම බුදුරජාණන් වහන්සේ ඡත්ත තරුණයාට දේශනා කළා වු යො වදතං පවරො මනුජේසු යන ගාථාත්‍රය සිහියට නැගේ. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ පිළිබඳව එම ගීතය තුළ සිහිපත් වේ.

නිර්වාණ ස්වර්ණද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්

ආදී සරල බෞද්ධාගමික වචන භාවිත කරමින් තුනුරුවන් වන්දනාමාන කරන උදාන ගීිතයක් ලෙස හැඳින්විය හැකි ය. මානව මනස කම්පනය කරන බෞද්ධාගමික භක්ත්‍යාදරයෙන් සිත් සතන් තැන්පත් කරන අර්ථවත් ගීතයක් ලෙස එම ගීතය දැකිය හැකිය. සිංහල බෞද්ධ ගීතාවලිය තුළ තුනුරුවන් පිළිබඳ මෙනෙහි කරන, අසන්නාගේ සිත් සතන් තුළ තුනුරුවන් ගුණ මතු කරන උතුම් ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය.



ඈත රන් විමන් දොරින් ...

මේ ගීතයේ පද රචකයා ප්‍රවීණ ගී පද රචකයකු වන ෂෙල්ටන් වීරරත්නය. ඔහු මෙම ගීතය රචනාකොට ඇත්තේ සැටේ දශකයේ අග භාගයේදී වන අතර ප්‍රථමයෙන් ම ගීතය පටිගත කොට ඇත්තේ 1967 අප්‍රේල් මාසයේදීය. එවකට ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ D මැදිරියේදී පටිගත කළ‍ මෙම ගීතය මුලින් ම ගායනා කර ඇත්තේ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමය. මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම ආරම්භ වී ඇත්තේ ද 1967 දීය. එසේ නම් මේ ගීතය ඔවුන්ගේ ප්‍රථම ගී එකතුව සඳහා එක් කර ගත්තක් වී ඇත. මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමේ එවකට ආරම්භක සාමාජිකයින් 04 දෙනෙකි. ඒ ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන, මොන්ටි වත්තලෙදනිය හා ධම්මික විජේසිංහය. ආරම්භයෙන් මාස කීපයකට පසු තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඊට ඇතුළත් විය. ඒ ෆෙරෝස් ඇස්මූන් සහ උපාලි උබේසේකරය.

ෂෙල්ටන් ඈත රන් විමන් ගීතය ලියා දී ඇත්තේ මූන්ස්ටෝන් කණ්ඩායමේ ක්ලැරන්ස් විජේවර්ධනය. එවකට එහි මුඛ්‍ය ගායකයා වී ඇත්තේ ඇනස්ලි මාලේවන වුවත් මේ ගීතය ගායනා කර ඇත්තේ ක්ලැරන්ස් විසින් වීම විශේෂත්වයකි. අනෙක් සුවිශේෂ ම කරුණ වන්නේ කණ්ඩායම් සංගීත ඉතිහාසයේ ප්‍රථම වතාවට ගීතයක් සඳහා සිතාරය යොදාගෙන ඇත්තේ මෙම ගීතය වෙනුවෙනි. මූන්ස්ටෝන් කණ්ඩායම අලුතින් එක්වූ උපාලි උබේසේකර මෙහි සිතාර් වාදකයා වී ඇත. ගීතයේ අන්තර් වාදනය සඳහා ගිටාර් වෙනුවට සිතාර් භාවිතා කර ඇත. එකල වෙළෙඳ සේවයේ බොහෝ ඉංග්‍රීසි වැඩසටහන් සඳහා මෙම ගීතය ප්‍රචාරය වී ඇති අතර ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත. ඉන් වසර 10 ට පමණ පසු එනම් 1977 දී ක්ලැරන්ස් විසින් මෙම ගීතය ප්‍රියා සූරියසේනට ගායනය කරන්නට ලබා දී ඇත.

“ඇත්තට ම ක්ලැරන්ස් මේ ගීතය ප්‍රියාට දෙනකොට මගෙන් ඇහුවා. මගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. ඒකට හේතුව මේක පොප් ගීත ආරේ එකක් නිසා මට හිතුණා ප්‍රියා ගේ හඬ මේකට නොගැළපෙයි කියලා. ප්‍රියා මේක 1977 දි gemtone OMF 1034 කියන තැටියට තැටිගත කළා. මේ ගීතයට ඉතාම විශාල රසික ආදරයක් ලැබෙන්න පටන් ගත්තේ 2001 වසරේදි. සිරස සුපර් ස්ටාර් ගායක අපිත් බණ්ඩාර මේ ගීතය ගායනා කළාට පස්සේ. ගීතයේ ඉතිහාසය ගැන මතක් වෙත්දි ‍‍මේක ලියන‍කොට මම පාසල් ශිෂ්‍යයෙක්. මගේ පළමු ගීතය. මම ක්ලැරන්ස් සහ යාළුවෝ කීපදෙනෙක් රුවන්වැල්ලේ තවත් යාළුවකුගේ ගෙදර ගිහින් ඉන්නකොට තමයි මේ ගීතය ලියැවුණේ.”

ඔහු ලියූ පළමු ගීතයම වසර 50ක් සපිරෙද්දී ඔහුගේ ගීත ලැයිස්තුව තුළ මෙරට ගීත ශ්‍රාවකයින් ගේ හදවත් පැහැර ගත් තවත් අපූරු ගීත රැසක් වන බව ඔබ නොදන්නවා වන්නට පුළුවන. සිය ගම්පළාත වූ රත්නපුරයේ අධ්‍යාපනය ලබන අවදියේ පටන් ම කලාවට සාහිත්‍යයට පෙම්බැඳි ෂෙල්ටන් මුලින් හොඳ කවිකාරයෙකි. ඉන්පසු ඔහු ගීත රචනා කලාවට එක් වී ඇත. සඳ එක් දිනක් (ක්ලැරන්ස්) නිසංසලේ අපි හමුවෙලා (ඉන්ද්‍රානි පෙරේරා) මා හා සෙනෙහස පාලා (මිල්ටන් මල්ලවාරච්චි) බාලේ පුංචි කාලේ වගේ (ග්‍රේෂන් ආනන්ද) පෙම්වන්තයින් සේ සිනාසේ (ජගත් වික්‍රමසිංහ) මේ කතාව මංමුලාව (චන්ද්‍රලේඛා) ඇතුළු ජනප්‍රිය ගී රැසක හිමිකරු වන්නේ ද ෂෙල්ටන්ය.

ඈත රන් විමන් දොරින්
පාට සේලයෙන් සැදී..//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...හහ හා හා හා හහ හා...

මේ ලොවින් එ‍හා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී..//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හා හා හහ හා...

ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී..//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

ඈත රන් විමන් දොරින්...//

ගායනය : මූන්ස්ටෝන්ස් හා ප්‍රියා සූරියසේන
පද රචනය : ෂෙල්ටන් වීරරත්න 
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන




රන්තරු පායන ...

රන්තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනූ ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගෙ ජීවය දැන්
කඳුළැලි හා ලත වෙන්නේ
සමාවෙයන් සොඳුරිය තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල බැඳ තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ...
කොහේ සිටන් කොයි බට මා යාවිද
මට නම් නෑ වැටහෙන්නේ...

පලා දෙපලු කළ හදවත දැන් නම්
කාට එකතු කළ හැක්‌කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුළ හැම වේලේ

පෙම්වතුන් අතින් එකිනෙකාට එරෙහිව වැරදීම් ඕනෑ තරම් සිද්ධ වෙනවා. මේ වැරදි සමහර විට දළුලා එන පෙම කැඩී බිඳී සුනුවිසුණු වෙන්නත් බලපානවා. ආදරවන්තයින්ගෙන් පමණක්‌ නොවේ විවාහකයන් අතින්ද තම බිරියට හෝ සැමියාට එරෙහිව වැරදි කෙරෙනවා. වරදකරු බොහෝ විට ඒ ගැන ලතවෙන අවස්‌ථා තිබෙනවා. ඒ තමන් අතින් ඇයට හෝ ඔහුට සිදුවූ වරද ගැන සිතමින්

රන්තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනූ ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයා ගිය මගෙ ජීවය දැන්
කඳුළැලි හා ලත වෙන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

සොඳුරියෙ... රන් තාරකා මල් පිපෙන අහස්‌ තලය දිහා බලාගෙන ඔයා තවමත් සුන්දර පැතුම් පතනවා. ඒ පැතුම් ගැන හිතමින් හිනාවෙනවා... මගේ ආදරය... දිනාගෙන සිටියේ ඔයා... ඒත් හදවතේ තිබූ මේ ආදරය අද වෙන කෙනෙක්‌ සතුකරගෙන ඔබ අතැර මම මිහිර සොයා ගියා... මිහිරක්‌ නොවේ දැන් මම ලතැවෙන්නෙ කඳුළැලි සාගරයක... මගෙ ප්‍රියාවිය මට සමාවෙන්න... මම වැරදිකාරයෙක්‌..... ඔබ අත නොවේ වරද මා අතයි.... මට සමාවෙන්න....

ඔහු මේ තැවෙන්නේ කා වෙනුවෙන්ද. මේ සමාව ඉල්ලන්නේ කාගෙන්ද. තම බිරිඳගෙන් විය හැකියි. තවත් කෙනකුට ආදරය කරන ඔහු මේ ගීය ගයන්නේ බිරියට වන්නට පිළිවන්. ඔහුට තම හිත පාලනය කර ගන්න බැහැ තැවෙනවා. කළ වරදට බිරියගෙන් සමාව ඉල්ලනවා.

අප සමාජයේ අදත් එදත් අත් විඳින තේමාවක්‌. ගීතය ලියුවේත්. සංගීතය නිර්මාණය කළේත් ස්‌ටැන්ලි පීරිස්‌. නැවත අප අතරට නොඑන ස්‌ටැන්ලි පීරිස්‌. ඔහු නැති නිසයි ගීය ගයන කීර්ති පැස්‌කුවෙල්ගෙන් පදමාලාවගැන විමසීමක්‌ කළේ.

මම පාසල් යන කාලේ මගේ අයියා පද්මසිරි පැස්‌කුවෙල් ෆොර්චූන් සංගීත කණ්‌ඩායමේ වාදනය කළා. ෆොර්චූන් නායකයා ස්‌ටැන්ලි පීරිස්‌. ඔහුගේ හඬ හරිම මිහිරියි. සංගීත කණ්‌ඩායම සමග ස්‌ටැන්ලි අයියා රන්තරු පායන ගීතය ගායනා කළා. බෑන්ඩ් එකට ගායනා කළත් ඔහු ගීය පටිගත කළේ නැහැ. මේ ගීයට මම ඉස්‌සර හරිම ආසයි.

කුඩා රුවල බැඳ තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයි බට මා යාවිද
මට නම් නෑ වැටහෙන්නේ...

මා සයුර මැද තනි වූ කුඩා රුවල් ඔරුවක්‌ වගේ. මගේ සිත අතීතයට යනවා දෙයියනේ. මහා සාගරයේ තනි වූ ඔරුවක්‌ කොහේ යාවිද. මගේ ජීවිතයත් ඒ වගේ. මට තේරෙන්නේ නෑ. මගේ ජීවිතේ ගමන් කරන්නේ කිනම් ඉසව්වකටද කියලා. අවසානයේ මට ඇයත් නැති වේවි.. ඔබත් නැති වේවි.

මේ ගීතය ගයන්න මම කුඩා කාලේ ඉඳලාම පුරුදු වුණා. අසූ තුනේදී මම මගේ පළමු කැසට්‌ පටය කළා. ස්‌ටැන්ලි අයියාගෙන් මම ඇහුවා මගේ කැසට්‌ එකට මේ ගීය ගයන්නද කියලා. ස්‌ටැන්ලි අයියා කැමැත්තෙන්ම සිංදුව මට දුන්නා. අපි ජෝ නෙත් ශබ්දාගාරයේදී ගීතය පටිගත කළා...

පලා දෙපලු කළ හදවත දැන්නම්
කාට එකතු කළ හැක්‌කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුළ හැම වේලේ...

මගේ හදවත දැන් වෙන් වෙලා. එක්‌ කොටසක්‌ ඔබ ළඟ හදවතේ අනෙක්‌ කොටස ඇය ළඟ. හදවතේ මේ පලු දෙක එකතු කරනවා නම් කළ හැක්‌කේ කාටද. ඔබටද ඇයටද. මම නම් දන්නේ නැහැ. ඒත් මගේ සෙනෙහස ඔබට පමණයි. හැම අවස්‌ථාවකදීම මගේ හදවතේ ඉන්නේ ඔබම තමයි...

මේ ගීය කීර්ති පැස්‌කුවෙල් ගයන අනෙක්‌ ගීතවලට වඩා වෙනස්‌ ඒ ගායන ශෛලිය වෙනස්‌ ගීය අසද්දී ඔබට කදිමට වැටහේවි..




දුරස් වන්නට මේ ලෙසින් ...

දුරස් වන්නට මේ ලෙසින් 
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින් 
මොටද අප ඉපදුනේ...//

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්...

අනාගතේ ගැන අහස් මාළිඟා 
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...

බොහෝ කාලයක් ආදරය කරලා එක්කෙනෙක් අනෙකාට රිදවලා වෙන්වෙලා ගියාම කොයිතරම් නම් වේදනාවක් දැනෙනවා ඇත්ද? මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේමඅත්දැකීමක්. එතුමා තම තරුණ කාලයේ එක්තරා තරුණියකට ආදරය කරලා තියෙනවා. එනමුත් පසුකාලීනව එම තරුණිය නොසිතූ විදියට එතුමාගෙන් වෙන්වෙලා ගිහින් තියෙනවා. ඒ වේදනාව දක්වමින් අජන්තා රණසිංහයන් මේ ගීතය රචනා කරලා තියෙනවා.

අපි කවුරුත් ඉතාම ආසාවෙන් රස වින්ද අදටත් ආදරේ කරන මේ ගීතයට තනුව නිර්මාණය වූ ආකාරය හරිම අපූරුයි. අජන්තා රණසිංහයන් මේ ගීතය රචනා කරලා දයාරත්න රණතුංගයන්ට දුන්නාම එතුමා කල්පනා කරනවා සෑහෙන්න. මේකේ කියවෙන්නේ වෙන්වෙලා ගිය පෙම්වතුන් යුවළකගේ පෙම්වතාට අතීතය මතක් වෙන හැටි. ඉතින් ඒක විරහ වේදනාවක්නේ. නමුත් දයාරත්න රණතුංගයන් කල්පනා කරනවා මේකෙන් සමාජයට යම් සේවයක් කරන්න ඕන කියලා. එතුමා සංගීත චිකිත්සාව (Music Therapy) හදාරපු අයෙක්. ඉතින් එතුමා කල්පනා කරනවා මෙවැනි ගීතයකින් වෙන්වුණ දෙදෙනෙක් නැවත එකතු කරන්නත් පුළුවන් නේද කියලා. ඒ නිසාම මේ ගීතයේ තනුවට එතුමා යොදාගන්නවා උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන"කලාවතී රාගය".

කලාවතී රාගය මෙතන දී යොදාගන්නට විශේෂ හේතුව තමා ඒ රාගයේ එන ස්වර සංගතිවලට පුළුවන් සිතේ තිබෙන අවුල් සහගත ස්වභාවය යටපත් කරලා නිවී සැනසෙන තත්ත්වයට පත්කරන්න. ප්‍රේමයක් අහිමිව ගිය කෙනෙකුගේ හිතට දැනෙන සිතුවිලි යටපත් කරලා සාමකාමී සිතිවිලි ඇතිකරවලා දෙන්න ඕන නිසා කලාවතී රාගයට එතුමා යොමුවෙනවා. කලාවතී රාගය සාමාන්‍යයෙන් අහන්න හොඳ රාත්‍රී 9 ත් මධ්‍යම රාත්‍රී 12 ත් අතර කාලය. නිකමට වගේ මේ ගීතය ඒ වෙලාවට අහන්න බලන්න.

අනික දයාරත්න රණතුංගයන්ගේ පරිකල්පනය එහෙම නැත්තම් Imagination එක කොහොමද කියන එක විමසන එක හරි වටිනවා. පරිකල්පනය ගත්තාම එක ක්‍රමයක් තමා Impulsive Imagination එහෙම නැත්නම් ආවේගාත්මක පරිකල්පනය. මෙතන දී එතුමා දුක දැනෙන පද වැලට තවත් දුක දැනෙන්න විදියට තනුව නිර්මාණය කලා නම් ඒක Impulsive Imagination වෙනවා. හරියට අඬන්න ඉන්න කෙනාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ. නමුත් එතුමා ඒ තැනට යන්නේ නැතිව Sentimental Imagination එහෙම නැත්නම් රසාත්මක පරිකල්පනය කියන තැනට යන්නේ. ඒ කියන්නේ වෙන් වුණ දෙන්නෙක් එකතු කරන්න පුළුවන් වෙයි කියන හැඟීමෙන් තනුව නිර්මාණය කිරීම.

ඒක යොදාගත් විශේෂ තැනක් හැටියට අපිට අන්තරා කොටස් වල එන "අත්වැල් බැඳගෙන මං මාවත් දිගඔහේ ඇවිද ගිය කාලය මතකද"සහ "අනාගතේ ගැන අහස් මාළිඟා අප දෙන්නා මැවූ කාලය මතකද" කියන කොටස් ගයලා යම් කාල පරාසයක සංගීත ඛණ්ඩයක් වාදනය කරන එක ගන්න පුළුවන්. ඒ සංගීත ඛණ්ඩය වාදනය කරන අතරෙ දී ඒ පෙම්වතාට ටිකක් කල්පනා කරන්න ඉඩ දීලා තියෙනවා. ඊට පස්සෙ ආයෙත් ඒ විදියටම ගයනවා. පැරණි රසවත් මතකය ආපහු ආවර්ජනය කිරීමට ඒ සංගීත ඛණ්ඩය යොදා ගැනීම සංගීත චිකිත්සාව හදාරපු ආචාර්යවරයෙකුගේ දක්ෂතාවක් නොවේද?

ගායනය - දයාරත්න රණතුංග
පදරචනය - අජන්තා රණසිංහ
තනුව - කලාවතී රාගය



සුමිහිරි පානේ ...

1944 අග භාගයේදී HMV තැටි සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධූරය බි. එස්. පෙරේරා මහතා වෙත ලැබුණු පසු ඔහු විසින් බයිලා ගීත රාශියක් ග්‍රැමොෆෝන් තැටි ලෙස නිකුත් කරනු ලැබීය. අදටත් අප අතර ජනප්‍රිය “ආයාම්මා කොතන ගියා” වැනි බයිලා ගායනා මුල් වරට නිකුත් කරන ලද්දේ බි.එස් පෙරේරා විසිනි. මෙහි සදහන් “සුමිහිරි පානේ” ගීතය අද අප අතර ප්‍රචලිතව ඇත්තේ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා විසින් පසු කාලීනව ගායනා කරනු ලැබූ ගායනාව ය. නමුත් "සුමිහිරි පානේ” මුල් ගීතයට දශක හතකට ආසන්න ඉතිහාසයක් ඇති බව පැවසුවොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය.

මෙම ගීතයේ මුල් ගායනාව 1940 දශකයේ බි.ඒ. ඩබ්ලිව් ජයමාන්න මහතාගේ “සැඟවුණු පිළිතුර“ නාට්‍යය (මෙය පසුව 1951 දී චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරන ලදී) වෙනුවෙන් එඩි ජයමාන්න මහතා සහ පිරිස විසින් ගායනා කරනු ලැබූ, හියුගෝ ප්‍රනාන්දු මහතා විසින් පද රචනය කළ බයිලා ගීතයයි. 1944 වසරේ “රුක්මණී“ නමින් නිකුත් කළ ගීත පොතක මෙම ගීතයෙහි පදමාලාව සදහන් වේ. කෙසේවෙතත්, ජයමාන්න මහතාගේ වේදිකා නාට්‍යවලට ඇතුළත් වුණු බොහෝ ගීත, පසු කාලීනව එකී නාටක පිටපතම, ඔහුගේ චිත්‍රපට සදහා යොදා ගන්නා අවස්ථාවන්හිදී භාවිත වුයේ නැත. එසේම, එම නාට්‍ය ගීත කිසිවක් ග්‍රැමොෆෝන් තැටිවලට 1940-46 වකවානුව තුළ පටිගත කෙරුණේ ද නැත. එබැවින්, මුල්ගීතයේ තනුව කෙසේ වීද යන්න නිශ්චය ලෙස සදහන් කළ නොහැකි ය. අවාසනාවකට මෙන් එඩී ජයමාන්න සහ පිරිස ගැයූ මුල් ගීතය කාලයත් සමගින් වියැකී ගොස් ඇත. 1944 මුද්‍රිත නාට්‍ය ගීත පොතේ ඇතුළත් එම මුල් නාට්‍ය ගීතයේ පදමාලාව, සේයාරුවක් සමගින් මෙහි ඉදිරිපත් කර ඇත.

නමුත් අද අප මෙහි ඉදිරිපත් කරනු ලබන්නේ ග්‍රැමොෆෝන් තැටියකට නැගුණු “සුමිහිරි පානේ“ මුල් බයිලා ගීතයයි. 1945 වසරේ මීගමුවේ ඩබ්ලිව්. ඩී .මර්සිලිනු ඇල්බට් මහතා විසින් රචනා කරනු ලදුව, බි.එස්. පෙරේරා මහතාණන් විසින් ගීත තනු සැපයු මේ ගීතය අඩංගු HMV තැටියේ (එව් 13) සඳහන් අයුරින් ගීතය ගායනය කරනු ලබන්නේ “HMV තාරකාවන්” විසිනි. බි.ඒ.ඩබ්ලිව් ජයමාන්න මහතාගේ ඇතැම් නාට්‍යවල ගේය පද රචකයෙකු ව සිටි මීගමුවේ ඩබ්ලිව්. ඩී මර්සිලිනු ඇල්බට් මහතා, එවකට අතිශය ජනප්‍රියවූ “සුමිහිරි පානේ“ නාට්‍ය ගීතය ඇතැම් විට සිය ග්‍රැමොෆෝන් ගීත රචනාව සඳහා පාදක කරගත්තේ යැයි සිතිය හැකි ය. නමුත් නාට්‍ය ගීතයේ සහ ග්‍රැමොෆෝන් ගීතයේ පදමාලාවන් එකිනෙක වෙනස් ය.

1945 දී තැටියට නැගුණු මුල් ග්‍රැමොෆෝන් ගීතයේ පදමාලාව පහත පරිදි වේ.

කන්ඩ බොන්ඩ ඕනතරම් තියෙනව සල්ලී 
යන්ඩ යමුකො ජොලි කර කර වත්තල් පල්ලී
පාරුවෙ නැඟලා -කිය කිය බයිලා
සුමිහිරි පානේ - පදමට ගහලා
කැලණි ගඟේ උඩහ වැහැල බොරදිය එන්නා
හැඩ පාරේ ඉන්න බැරුව මාළු පනින්නා
පොඩි පොඩි ඉස්සෝ -ලොකු ලොකු ඉස්සෝ
සුමිහිරි පානේ - පදමට ගහලා
ගත්ත නේද ඩාලිං ඒ විස්කි බෝතලේ
අඩිය නොගහ පැදල යන්න බැරිය සීතලේ
සුමිහිරි පානේ -පදමට ගහලා
සුමිහිරි පානේ -පදමට ගහලා
එගොඩ ගොඩේ බෙලි පඳුරේ බෙලි මල් පිපිලා
දෙන්නද මයි ඩියර්ට ඒ බෙලි මල් කඩලා
යමු හරවාලා -එගොඩට පැදලා
සුමිහිරි පානේ - පදමට ගහලා
සුළං වැදීලා වතුරේ රැල්ල නඟින්නා
අන්න අතන හැඩපාරේ සුළි කැරකෙන්නා
ගන්නඩකො ඩාලිං -මේ විස්කි බෝතලේ
සුමිහිරි පානේ - පදමට ගහලා
ඈත පෙනේ ගඟ පහළින් පාරු පදින්නා
හැඩපාරෙන් එන්න බැරිව කඹෙන් අදින්නා
හුළං ඇදෙන්නා - රුවල් වැනෙන්නා
සුමිහිරි පානේ - පදමට ගහලා
පරිස්සමෙන් පදිමු අතන ගලේ හැපේවී
අපොයි අපොයි ඩියර් අපිව ගඟේ වැටේවී
ගල බේරාලා - යමු යමු පැදලා
සුමිහිරි පානේ -පදමට ගහලා
කඳු උඩහින් බොහොම වැරෙන් එයි පීනාලා
ඔන්න ඩියර් අපිව ගිලියි එනවා කිඹුලා
ඉක්මන් කරලා - යමු යමු පැදලා
සුමිහිරි පානේ - පදමට ගහලා

1945 වසරේ නිකුත් වූ මෙම ගීතය ගායනා කළ “HMV තාරකාවන්” කවුරුන් දැයි ග්‍රැමොෆෝන් ගීත තැටි ලේබලයේ සදහන් ව නොමැත. එවකට මුද්‍රිත ගීත පොත් වල අඩංගු කරුණු සොයා බැලීමෙන් සහ ගායනයන්ට සවන් දීමෙන් තහවුරු වුයේ, ගීතය ගායනා කළේ එවකට ජනප්‍රිය HMV තාරකාවන් යුවලක් වුද, පසුව යුගදිවියට පිවිසුණා වුද, “ස්වර්ණ මන්ත්‍රී“ (විල්ෆ්‍රඩ් පෙරේරා) සහ “චිත්‍රලේඛා” (වී.පි.අනුලාවතී) ගායක යුවළ බවය. 1940 දශකයේ එම් . කේ වින්සන්ට් සමගින් ගැයූ “මාතා කුසයේ,” “ ප්‍රේමි මගේ ප්‍රේම හිමි මාගේ”, “ශ්‍රී සෙත් සාදයි මෝක්ෂපුරේ“, “ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ” ආදී ගීත වී.පී අනුලාවතී ගේ ජනප්‍රිය ගායනාවන් ය. ආනන්ද සමරකෝන් මහතා සමගින් බොහෝ ගීත ගායනා කළ වී. පී. ලීලාවතී මහත්මිය එතුමියගේ සොහොයුරිය යි. 1944 න් පසු සිය සැමියා වූ විල්ෆ්‍රඩ් පෙරේරා (ස්වර්ණ මන්ත්‍රී) සමගින් ගායනා කළ “සාර කෙතේහි ” සහ “කාන්ති දේ චන්ද්‍රා ලෝකේ“ ආදී ගායනා එම දෙපළගේ එවකට ප්‍රසිද්ධියට පත් වූ තවත් සුගායනයන් ය. වී.පී අනුලාවතී (චිත්‍රලේඛා) මහත්මිය එවකට ගුවන්විදුලි ගායිකාවක ලෙස ද, මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියා ය.
මෙම ගීතයේ සංගීතය ගැන වෙසෙසින්ම සදහන් කළ යුතුය. බටහිර වාද්‍ය භාණ්ඩ මුසුකර සිංහල සංගීතය නව මගකට යොමු කළ මුල්කාලීන සංගීතඥයින් අතුරින් බි.එස්.පෙරේරා මහතාට හමුවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෙම ගීතය සාමාන්‍ය බයිලා ගීතයක භාවිත කරන සංගීත භාණ්ඩ භාවිතයට වඩා සුසාදිත නිර්මාණ භාවිතයක් ප්‍රකට කරනු ලබයි. විශේෂයෙන් ක්ලැරිනට් වැනි වාද්‍ය භාණ්ඩයක් ප්‍රමුඛවත්, වයලීනය, ගිටාරය, වැනි බටහිර වාද්‍ය භාණ්ඩයන් ද, මෙම ගීතය සඳහා භාවිත කර ඇත. මෙම ගීතයේ පියානෝව වාදනය කළේ ද, බී .එස්.පෙරේරා මහතා විසිනි. තාල වාද්‍ය භාණ්ඩ භාවිතයක් මෙම ගීතය තුළ දක්නට නොලැබීම ද එක්තරා විශේෂත්වයකි. කාසියකින් බෝතලයකට ගසමින් තාලය සැපයීම ද, තවත් සුවිශේෂි ලක්ෂණ ලෙස පෙන්වාදිය හැකි ය. ගී තනුව ඉතා අවම ස්වර කිහිපයකින් නිර්මාණය කොට ඇති අතර අන්තර් වාද්‍ය ඛණ්ඩ ද, එක් තනුවක් ම පුනර් වැයිමෙන් ද, වැළකී සිටීම මගින් ගීතයේ කර්ණරසායනභාවය තීව්‍ර කිරීමට සමත් වී ඇත.

දශක ගණනාවක් කාලයේ වැලි තලාවෙන් මැකී ගිය, ශ්‍රාවක පරපුරු ගණනාවක් මෙම රසාලිප්ත ගීතයෙන් පිනැවූ සියලුම කලාශිල්පීන්ට අපගේ උපහාරය ම වේවා.

                    







නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...