Friday, July 10, 2020

එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ...

එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ  ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ
‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ       ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ 
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

මේ තොටියා යනු අන් කවරෙක්වත් නොව වියපත් වූ පිරිනිවන් පාන්නට සූදානමින් සිටින බුදුරජාණන්වහන්සේයි. ඩෝල්ටන් අල්විස් මහතා ඉතාම ඇලුම් කරපු සූත්‍රයක් තමා මහා පරිනිබ්බාණ සූත්‍රය. ඒ ඇසුරින් තමා මේ ගීතය රචනා වී තිබෙන්නේ. එතුමාගේ බොහෝ ගී පද රචනා හොඳින් නිරීක්ෂණය කලොත් වචන ඉතාම අඩුයි. හැබැයි තේරුම ඉතා ගැඹුරුයි. මේ පද මාලාවෙන් ඒ බව මොනවට ඔප්පු වෙනවා.

බෞද්ධ සාහිත්‍යයේ සංසාරය මහා සයුරකටත්, බුදුන් තොටියෙකුටත් සමාන කළ අවස්ථා ඕනෑ තරම් දකින්නට පුළුවන්. හොඳම උදාහරණයක් තමයි කෝට්ටේ රජ කළ සිරි පැරකුම්බා රජුන් විසින් ලියන ලද “රුවන් මල් නිඝණ්ඩුව” කියන කෝෂ ග්‍රන්ථය.

“නමවූ කුළුණින් බැස
බියකරු සසර සයුරේ
බමණ මුළු සත්වගසෙන්
කොළඹට අළෙ මහත්මා”“බිය ජනක සසර සයුරෙහි (වැටී) භ්‍රමණය වන්නා වූ සත්ත්ව සමුහයා, මහොත්තමයන් (මහත්මා – බුදුරජාණන් වහන්සේ) විසින් සෙත් ශාන්තිය නැමැති තීර්ථය  (කොළඹ) හෙවත් නිර්වාණය නැමැති නැව් තොටට පමුණුවන ලද්දේය”.

බෞද්ධ දර්ශනය වෙනත් සෑම ආගමකින්ම වගේම වෙනත් සෑම දර්ශනයකින්ම වෙනස් වන ප්‍රධානතම කාරණාව දැඩි අනම්‍ය නීති රීති කිසිවක්ම බෞද්ධ දර්ශනයේ දකින්නට නොහැකි වීම. ඒ නිසා බුදුන් කියන්නේ මග පෙන්වන්නකු එහෙමත් නැතිනම් සංසාර සාගරයෙන් එතෙර කරන්නෙකු මිසක් ප්‍රඥප්ති හෝ නීති රීති පනවන්නෙකු නෙමෙයි. ඔබ මේ මග ගියොත් මෙන්න මෙතැනින් ඔබේ ගමන කෙළවර වේවි, අනෙක් මාර්ගයෙන් ගියොත් අන්න අතනින් ඔබේ ගමන කෙළවර වේවි කියන අන්ත දෙක ඉතාම පුළුල්ව විග්‍රහ කරලා මාවත පෙන්වුවා මිසක් ඒ මගම යන්නට කියලා කිසිම බල කිරීමක් බුදු දහමේ කොතැනකවත් නැහැ. ඒ නිසාම බෞද්ධ දර්ශනයේ ඕනෑම තැනක් යළි යළි විමසා බලන්නට, ප්‍රශ්න කරන්නට (ඒහි පස්සිකෝ ගුණය) ආරාධනාව කරන්නෙත් වෙන කවුරුවත් නෙමෙයි ඒ දර්ශනය ලොවට පෙන්වා දුන්නු බුදුන්මයි. ඒ ප්‍රශ්න කිරීම පාපයක්වත් බෞද්ධ සම්ප්‍රදායට පටහැණිව යාමක්වත් විදියට නොසලකන තරමටම බුදු දහම විවෘතයි. නම්‍යශීලීයි. මේ නිසා කිසිදා පන්සලකට පා නොතැබූ කෙනෙකුට වුවත් ඉතා හොඳ බෞද්ධයෙකු වන්නට පුළුවන්. මේ ගීතයෙත් “පමා නොවන්නේ අඳුර වැටෙන්නේ – යනවා නම් එන්නේ” කියන පද මාලාව මේ කාරණාව ඉස්මතු කරන තැනක්. ඔබට මේ බියකරු සංසාරයෙන් එතෙර වන්නට ඕනෑ නම් අගුලට නැගිය යුත්තේ ඔබම මිස එය බලහත්කාරයෙන් ඔබ තුළ පැටවීම බුදුන්ගේ දහම නෙමෙයි. ඒත් පමා වුණොත් අන්ධකාරයෙන් වෙළා ගන්නේ ඔබේම ජීවිතයයි.

ගඟුල අනෝමයි – අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ – අගුලේ නැගිලා
එගොඩ මෙගොඩ යනවා

පරිනිර්වාණයට ආසන්න මොහොතේ ලෝකයා වෙත බුදුන්ගෙන් ලැබුණු අවසාන උපදේශයත් ‘අප්පමාදෝ අමතපදං’ කියන බුදු වදනයි. ඒ කියන්නේ පමා  නොවී කුසල් රැස්කර සංසාරයෙන් එගොඩ වෙන්න කියන ආරාධනාව. මේ තොටියාගේ මුවින් පිටවෙන්නේත් ඒ ආරාධනාවමයි. මේ සංසාරය හෙවත් ගංගාවේ කෙළවරක් නැහැ. අනෝමයි. ඒ වගේම මා දැන් මහළුයි, මහන්සියි. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. මට තාමත් පුළුවන් සංසාරයෙන් එතෙර කරන්නට, ඒත් ඒ ඔබ කැමැති නම්… “පමා නොවන්නේ අඳුර වැටෙන්නේ – යනවා නම් එන්නේ”.

මේ ගීතය සංගීතවත් කරමින් ගායනා කරන විශාරද ෂෙල්ටන් පෙරේරා මේ ගීතයට කොයි තරම් නම් සාධාරණත්වයක් ඉෂ්ට කළා ද කියනවා නම් ඔහුගේ ඒ කටහඬ වියපත් බුදුන් වහන්සේගේ වෙහෙසකාරී බව විතරක් නෙමෙයි, එහා ඉවුරේ සිට මෙහා ඉවුරට ඒ කියන්නේ මේ සංසාර සයුරේ ඔබ මොබ යන සෑම සියලු සත්වයන්ටම ඇහෙන තරම්. මේ ගීතය වෙනුවෙන් ෂෙල්ටන් පෙරේරා තෝරා ගත්ත ජන සංගීතයත්, පාරු කවිවල එන දීර්ඝ අන්තයන් සහිත ස්වර පරාසයන් මුහුවුණු තනුවත් නිසා සිංදුවේ කියැවෙන දාර්ශනික අර්ථය තොටියෙකුගේ ස්වාභාවික දින චරියාව එක්ක හරිම අපූරුවට පෑහෙනවා. ඒ වගේම ජල තරග ගැටෙන හඬත් එක්කම මුසුවන සෝබර සංගීත රාවයට දීර්ඝ ස්වර එක් කරන ෂෙල්ටන් පෙරේරාගේ වෙහෙසකාරී කටහඬ බුද්ධ චරිතයේ එක් අවස්ථාවක් සිහිපත් කරනවා…  “පිපාසයි ආනන්ද – ක්ලාන්තයි ආනන්ද”.

බුද්ධත්වයෙන් පසුව ගත වෙච්ච අවුරුදු 45ක කාලය බුදුන් අතින් සිදුවුණේ සංසාර ගංගාවේ ගිළුණු ලෝකවාසී සත්වයන් එගොඩට මෙගොඩ කිරීමයි. ඒ වගේම තමන් පවා මේ සංසාරය තුළ දී ඉපදෙමින් මැරෙමින් ඒ කියන්නේ එගොඩ මෙගොඩ යමින් මේ ගමන පැමිණි ආකාරය විස්තර කෙරෙන උන්වහන්සේගේ අවසන් සූත්‍ර දේශනාව වුණු මහා පරිනිබ්බාන සූත්‍රය අපට සිහිපත් කරන්නට ඩෝල්ටන් අල්විස් – ෂෙල්ටන් පෙරේරා සුසංයෝගය සාර්ථකව සිදු කර තියෙනවා.

‘If you meet the Buddha on the way, kill him’. ( ‘මහමගදී ඔබට බුදුන් හමුවුවහොත් ඔහු මරා දමන්න’) කියන යෙදුම සෙන් බුදුදහමේ බොහොම ජනප්‍රිය පාඨයක්. මේ යෙදුමෙන් අදහස් කරන්නේ ඔබ ගමන් කරන්නේ ධර්ම මාර්ගයේ නම් කිසිම කරුණක් සම්බන්ධයෙන් බැඳීමක් හෝ ඇලීමක් හෝ තබා ගන්න එපා කියන බොහොම ගැඹුරු ධර්ම කාරණාව. නිර්වාණය දක්වා යන ඔබේ ගමනාන්තයේ දී බුදුන් ගැනවත් එහෙමත් නැතිනම් ඔබේ ධර්ම ගුරුවරයා ගැන පවා තියෙන බැඳීමත් අත්හැර දාන්න කියන මේ කාරණාව මතුවෙන්නේ බෞද්ධ දර්ශනයෙන්මයි. ධර්මය කියන්නේ සසර ගමන කෙළවර කරගන්නට තියෙන පහුරක් මිසක් ඒ පහුර කර තබා ගෙන නොයා යුතුය යන බුද්ධ භාෂිතය බෞද්ධ දර්ශනයේම මිසක් වෙනත් කිසිම ආගමික සංස්ථාවක දකින්නට නැති අසහාය ධර්මතාවක්.

මේ ගීතයේ මතුවන තොටියා, ගංගාව, අගුල, අඳුර කියන සෘජු සංකේත වගේම ‘පමා නොවන්නේ’, ‘අදුර වැටෙන්නේ’, ‘ගගුල අනෝමයි’, ‘අද මට වෙහෙසයි’, ‘එගොඩ මොගොඩ යනවා’, ‘තව කවුරුද ඉන්නේ’ කියන මේ හැම යෙදුමක්ම බෞද්ධ සම්ප්‍රදායේ සහ බුද්ධ චරිතයේ අවස්ථා සහ සිද්ධීන් සිහිපත් කරනවා. එසේ නොවන එකම වචනයක්වත්, එකම යෙදුමක්වත් මේ මුළු මහත් පද මාලාවේම නැහැ. මේ හැම දේටම වඩා ප්‍රබල වෙන්නේ මේ ගීතයේ මතුපිටින් පෙනෙන අතිශය සරල බස් වහර.

මෙතරම් සරල බස් වහරකින් මෙතරම් ගැඹුරු දාර්ශනික අර්ථයක් දෙන්නට ඩෝල්ටන් අල්විස් හැරෙන්නට වෙනත් කිසිවෙක් සමත් වේවිද?

මේ ගීතය ෂෙල්ටන් පෙරේරාගෙන් පස්සේ ඔහුගේ පුතණුවන් වගේම තවත් බොහෝ ප්‍රවීණ හා ආධුනික ගායකයන්ගේ මුවින් අසන්නට ලැබුණත් ඒ හැම විටෙකම මතුවුණේ ඒ ගායකයන්ගේ මියුරු හඬ පමණක්ම කියන කාරණාව මෙහිදී සදහන් කරන්නේ ඒ විශිෂ්ට ගායකයන්ට අගෞරවයක් පිණිස නෙමෙයි. ඒත් ඩෝල්ටන් අල්විස්ගේ සරල බස් වහර හදවතටම උකහා ගෙන තමන්ගේම තනුවකින්, තමන්ගේම සංගීතයෙන්, තමන්ගේම වෙහෙසකාරී කටහඩින් ෂෙල්ටන් පෙරේරා ගයද්දී අප සිත් තුළ චිත්ත රූප මැවෙන්නේ පරිනිර්වාණයට ළං වූ ජීවමාන බුදුන්ගේ මිස ෂෙල්ටන් පෙරේරා නම් වූ ගායකයාගේ නම් නොවේ. එවන් පෙළහරක් පාන්නට ෂෙල්ටන් පෙරේරා හැර වෙනත් කිසිම ගායකයෙක් සමත් වේවිද?

මෙහි සංගීතයෙත් විශේෂත්වයක් තිබෙනවා. තොටගමගේ ෂෙල්ටන් පෙරේරා මහතා මෙහිදී බෙංගාලි ජන සංගීතයත් ශ්‍රී ලාංකීය ජන සංගීතයත් දෙකම මුසුකරමින් තමා තනුව නිර්මාණය කර තිබෙන්නේ. මේ ශෛලීන් දෙකම හාත්පසින්ම වෙනස්. නමුත් ඒ දෙකම එකවර යොදා ගැනීම විශේෂ හැකියාවක්.

බෙංගාල ජන සංගීතයේ විශේෂත්වය තමා බොහෝ විට ගංගාවක් ඇසුරු කරගෙන ගීත නිර්මාණය වීම. ඉන්දියාවේ ගංගා නම් නදිය මුහුදට ගලන්නේ බෙංගාල ප්‍රාන්තය හරහායි. ඉතින් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ දෙනා ජීවිකාව ගෙනයන්නේ ගංගා ගඟ ඇසුරු කරගෙනයි. ඒ නිසාම ගංගා ගඟ ඇසුරු කරගෙනම ඒ සංගීතය ගොඩනැගීම අමුතු කරුණක් නොවෙයි.

මෙහිදී තොටගමගේ ෂෙල්ටන් පෙරේරා විසින් එගොඩහ යන්නෝ.......... මෙගොඩහ යන්නෝ.................. ආදී වශයෙන් දීර්ඝ ලෙස මාත්‍රා යොදාගෙන තිබෙනවා. මුළු ගීතය පුරාම එය දකින්නට තිබෙන ලක්ෂණයක්. ඉතින් අපේ ජන සංගීතයෙත් එන පාරු කවිවලත් මෙය දකින්න පුළුවන්. එසේ දීර්ඝ ලෙස උච්චාරණය කරන්නේ ගඟේ එගොඩ සිටින අයටත් ඇසෙන අයුරින්. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය හැදෑරු ෂෙල්ටන් පෙරේරා මහතා මේ දෙකම අවබෝධ කරගත් හැටි අපූරුයි නේද?

එතුමාගේ තනු නිර්මාණ ගැනත් විශේෂත්වයක් තියෙනවා. බොහෝ තනු වල අන්තරා කොටස් verses ගත්තොත් පලවෙනි අන්තරා කොටසේ තනුවත් දෙවන කොටසේ තනුවත් හාත්පසින් වෙනස්. විශ්වාස කරන විදියට මේ pattern එක ලංකාවේ ආරම්භ කලෙත් මෙතුමා විය හැකියි. ඒ වගේම හින්දි බස ගැන මනා දැනුමක් එතුමාට තිබුණා. එතුමා විවාහ වුණේත් ඉන්දියානු ජාතික කාන්තාවක්. විවාහයෙන් පසුව ශෂී පෙරේරා නම් වූ ඇය මෙතුමා සමග ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවයේ නිවේදිකාවක් ලෙස කටයුතු කලා. එසේම ෂෙල්ටන් පෙරේරා මහතාත් කලක් හින්දි සේවයේ කටයුතු කල අතර එම සේවයෙන් ඉන්දියාව ඇමතූ ප්‍රථම ශ්‍රී ලාංකික නිවේදකයා ලෙස එතුමා වාර්තා අතරට එකතු වෙනවා.

බොහෝදෙනා නොදන්නවා නමුත් එතුමා දක්ෂ තබ්ලා වාදකයෙක්. ඉන්දියාවේ මොහොමඩ් රාෆි වැනි ප්‍රවීණයන්ට පවා තබ්ලා වාදනයෙන් පසුබිම් වාදනයෙන් දායක වූ අයෙක්. එතුමා ගැයූ ගීත සංඛ්‍යාව ඉතාම අල්පයි. සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි ගණනත් ඉතාමත් අඩුයි. දරුදුක, හදවත නැත්තෝ, සිංගප්පූරු චාලි, ඉවසන දනා යනු ඒවාට උදාහරණ කීපයක් පමණයි.

එතුමා ජීවත්වූ‍යේ වසර 47ක් පමණයි. එතුමාගේ මරණින් පසු ඒ අනන්‍යතාව ඉදිරියට රැගෙන ඒමට එතුමාගේ පුත් සතිෂ් පෙරේරාත් දියණිය වූ අනුරාධා පෙරේරාත් සහෝදරයා වූ ඩන්ස්ටන් පෙරේරාත් සමත් වූවා. පියාගේ ගීතවලට නව සංගීත ආරක් එක් කරමින් අපේ සිත් වසඟ කල සතිෂ් පෙරේරාත් අවාසනාවට අපට අහිමි වුණා.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...