Friday, July 10, 2020

තනිතරුවේ...

තනිතරුවේ ගීතය පේ‍්‍රමකීර්ති වික්ටර්ට ලියාදුන් තවත් අපූරු ගීතයකි. මේ ගීතය පේ‍්‍රමකීර්තිට ලියැවුණේ අහම්බෙන් බව කොහේදී හෝ අසා තිබිණි. ඒ ප‍්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට මේ කදිම මොහොත නොවේදැයි සිතිණි. මේ ප‍්‍රශ්නය වික්ටර් රත්නායකයන් හමුවේ තබමි.

‘‘මගේ ‘ස’ ප‍්‍රසංගයක් තිබුණා ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක. ප‍්‍රසංගය ඉවරවෙලා මදුවිතකින් එහෙම සන්තර්පනය වෙලා මමත් ජෙනරාල් සුනිල් තෙන්නකෝනුත් කතාබහ කර කරා හිටියා. ඔය වෙලාවෙ ඇහුණ කවුරු හරි මහ හයියෙන් තනි තරුවේ කියල කෑ ගහනවා. මං කිව්වා කව්රු හරි කෑගහනව කියලා.

මෙතන විජිත කියලා මගෙ මිතුරෙක් හිටියා. මම කිව්වා විජිතට ගිහින් බලන්න කියලා. බලන්න ගිය මිනිහා මෙන්න ගිය ගමන්ම ආපහු ආවා. පෑනකුයි කඩදාසියකුයි දෙන්න විජිත කිව්වේ කලබලෙන්. කව්ද කෑ ගහන්නෙ කියලා මං ඇහුවා.

පේ‍්‍රමකීර්ති. එයා ගල් තලාවක නිදාගෙන අහස බලාගෙන කෑ ගහනවා. මට කොලේකුයි පෑනකුයි අරගෙන එන්නලූ.

ජෙනරාල්ගෙ අතින් කඩදාසියකුයි පෑනකුයි අරගෙන ගිය විජිතට, පේ‍්‍රම් කියලා තනි තරුවේ ඔබත් ඔතන ඔහොම ඉන්න. මමත් මෙහෙම මෙතන ඉන්නවා කියලා. එච්චරයි. සිංදුවෙ ඉතිරි ටික ලියවුනේ කොළඹ ආවට පස්සෙ මම මේ සිංදුව පටන්ගත්තෙත් තනිතරුවේ කියලා කෑගහලා. මං ඒ ටික ගත්තෙ එදා පේ‍්‍රමකීර්ති කෑ ගහපු තාලෙටමයි.’’

තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
මගෙන් ඉවත බැඳිලා සැනසී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

තනිතරුවේ.................///

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

වචනයට යා හැකි දුර නතර වූ තැන උපදින්නේ සංගීතයයි . ඒ සඳහා තනි තරුවේ නම් වූ නිර්මාණය කදිම නිදසුනක් වේ. ප්‍රේමකීර්තිගේ වචන නිශ්චිත ඉලක්කයක් කරා එල්ල වන්නක් නොවේ. එහෙත් හදවත පසාරු කරගෙන යන පාළු වේදනාත්මක බවක් ශ්‍රාවකයා තුළ ඉතිරි කිරීමට මේ ගීතය සමත්වෙයි.

තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

කෙතරම් අපූරු චිත්‍රයක් ද? තරුව සිටින්නේ අහසේ ය. තමා සිටිනුයේ මහ පොළවේය. දුරස් වී එකිනෙකා දෙස බලා සිටිනු මිස වෙන කුමක් කරන්නද? තරුවක් තනිවී ඇත. ඔහුත් තනිවී ඇත. ඉතින් අපි දෙතැනක හිඳ එකිනෙකා දෙස බලා සිටින්නෙමු.

මේ තරුව කවුද? ඒ ප්‍රේමවන්තියක් හෝ බිරියක් විය නොහැකි ද? නමුත් ඇය තරුවක්ම ය. ජීවිත කාලය තුළ ඔහු ඇගෙන් එළිය බිඳක් හෝ ලබාගෙන තිබේ. ඇය අහසේ සිටියත් වෙන්වී දුරස් වුණත් ඇය තරුවක් ම ය. ඒ නිසා ඔහුට කෙසේවත් ඇයට වෛර කළ නොහැකිය. කළ හැක්කේ බලාසිටීම පමණක් මය.

”නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ....."

මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා වූ තරුවකි. ඔහුට ආදරය කළ තරුවකි. ජීවන ගමන්මඟ එළිය කළ තරුවකි. තනි නොවී සිටි තරුවකි. එහෙත් දැන් තනි තරුවකි.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...