Friday, July 10, 2020

සිනා මල් ගොඩක් ...

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ 
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ
කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ 
නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

සිනා මල් ගොඩක්... නෑ කඳුළු මල් ගොඩක්

බලන්න ආසයි බටහිර සැන්දෑ අහසේ 
ඉගිල්ලෙන්න ද  මම කුමාරියක් වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ

අහන්න ආසයි තුරු හිස කුරුළු ගී පිරේ 
අහුලා ගන්නද සවනට මිහිරියි  අම්මේ
අහුලා ගන්න ද ඒ ගී සවනට මිහිරියි අම්මේ
ගෙයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුළු පිරෙයි
ඒ  ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ...

සිනා මල් ගොඩක්... නෑ කඳුළු මල් ගොඩක්

ගායනය - නිර්මලා රණතුංග හා සෙව්වන්දි රණතුංග 
පදරචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන 
තනුව - විජේරත්න රණතුංග 

මේ ගීතය රචනා කලේ ප්‍රවීණ ගීත රචක රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා. එතුමා ගේ වචන වලින්ම මේ ගීතය රචනා වූ ආකාරය මෙසේ සඳහන් කරන්නම්.

"විශාරද විජේරත්න රණතුංග සහ විශාරද නිර්මලා රණතුංග කියන්නේ මගේ ජීවිතේ මට ගොඩාක් සමීප, ඒ එගේම ලෙංගතු ළබැදියන් දෙදෙනෙක්. මම ආධුනික ගීත රචකයෙක් හැටියට ඔවුන් හමුවෙන්න මිරිහානේ තිබු ඔවුන්ගේ නිවසට යන හැම වෙලාවකම ඔවුන් දෙපල මාව පිලිගත්ත සුහදශිලි භාවය මේ සටහන ලියන මොහොතෙත් මට සිහිපත් වෙනවා.

මා ගීත රචකයෙක් ලෙස කෙෂ්ත්‍රයේ ස්ථාවර වෙන්න ඒ දෙපලගෙන් ලැබුන සහය කියා නිම කරන්න බැහැ. ඒ කාලේ ඇයගේ (නිර්මලා රණතුංග) හැම සරල ගී වැඩසටහනක් සදහාම මගේ ගීතයකුත් තෝරගෙන ගයන්න තරම් ඇය නිහතමානි වුනා. මම ඇයට ආදරෙන් ආමන්ත්‍රනය කෙරුවේ නිම්මි අක්ක කියලයි. ඒ තරම් බැදිමක් අප අතර තිබුනා.

මම ඒ කාලේ රණතුංග නිවසට යන කොට සෙව්වන්දි දුවට වයස අවුරුදු 10 ක් විතර ඇති. බොහෝම හුරතල් කෙලි පොඩිත්ත. අම්මා තාත්තා වගේම සෙව්වන්දි දුවත් මට බොහෝම සමීප වුනා. ඇයටත් අම්මාගේ ගායන හැකියාව කුඩා කාලේ ඉදන්ම පිහිටා තිබුනා. ඒ කාලේ නිම්මි අක්කා ඇයගේ පළවෙනි කැසට් පටය සදහා සූදානම් වෙමින් හිටියේ. ඇය මට කිවුවා "මල්ලී මට දුවත් එක්ක කියන්න ගීතයක් ලියලා දෙන්න" කියලා.

ඒක ඇහුවම මට ලොකු සතුටක් දැනුනා. ඒ සතුටට එක හේතුවක් තමයි ඒ දෙන්නට යුග ගීතයක් ලියන්න ආරාධනා ලැබීම. දෙවෙනි කාරණාව තමයි කැසට් පටයකට ගීතයක් ලියන්න අවස්ථාවක් ලැබීම. මොකද ඒ යුගයේ ගායක ගායිකාවන්ගේ කැසට් පට වලට ගීත ලියුවේ ප්‍රේමකිර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල, කේ. ඩි. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ, දයා ද අල්විස් වැනි කේෂ්ත්‍රයේ අති දැවන්තයන්. ඉතිං මේ ලැබුන අවස්ථාව ආධුනිකයෙක් හැටියට මට මහමෙරක් තරම් වටිනවා.

නිම්මි අක්කා සහ සෙව්වන්දි දුව අම්මා - දුව වගේම හොද යෙහෙළියන් දෙදෙනෙක් වගේ තමයි ජීවත් වුනේ. දරු සෙනෙහස, මව් සෙනෙහස මම ඒ කලේ ඒ දෙදෙනා තුලින් උපරිමව දැක්කා. ඒ නිසා මට හිතුනා මේ අම්මගෙයි දුවගෙයි ජීවිතම ගීතයකින් නැවත් ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ කියලා.

ඒත් ඉතිං කාලයක් ගත වුනත් මගේ අතින් ඒ ගීතය ලියවුනේ නැහැ. හිතේ ලියන්න නිමිත්තක් තිබුනත් ගීතය ලියන්න හොද ආරම්භයක් ගන්න මට හැකිවුනේ නැහැ.

ඔය විදිහට ගීතය කොහොම ලියන්නද කියල හිත හිතා ඉන්නකොට එක දවසක් කියවමින් හිටපු සගරාවක තිබුන එක් රූපයක් මගෙ හිත ගොඩාක් චංචල කලා. මල් වත්තක තියෙන පාරක් දිගේ ඇවිද ගෙන යන අම්මා කෙනෙකුගෙයි පුංචි දුවෙකුගෙයි ජායාරූපයක් තමයි එ සගරාවෙ පල වෙලා තිබුනේ. ඒ රූපයේ හිටපු දුව පාරේ ඇවිදගෙන යන ගමන් මල් දිහාට අත දික් කරමින් ඉන්න ඉරියව්වක් තමයි ඒ ජායාරූපයේ සටහන් වෙලා තිබුනේ. ඔන්න ඕක තමයි මගේ හිතේ ඇදිලා තිබුන රූපය සහ ඔන්න ඕක තමයි මේ ගීතය ලියවෙන්න ආරම්භයත් වුනේ.

“සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ
කදුලු මල් ගොඩක් පාර දෙපැත්තෙ
නෙලා ගන්න එපා මගේ පුංචී මල් කුමාරියේ

සිනා මල් ගොඩක් - නෑ කදුලු මල් ගොඩක්"

ක්ෂණිකව ඔන්න ඔය පද ටික මගේ හිතට ආවා. ඒ මොහොතෙම මම කොලයක් පැනක් අරගෙන ඒ පද ටික ලියා ගත්තා. මුල් වචන ටික හිතට ආවත් එක්කම අර හිතේ තිබුන නිමිත්ත ක්ෂනිකව අකුරු වෙලා ගීතය ලියවිලා ඉවරත් වුනා. හිතන්න ලොකු කාලයක් ගත වුනත් මේ ගීතයත් මම බොහෝම කෙටි කාලයකින් ලියලා ඉවර කරපු ගීතයක්.

බලන්න ආසයි සෑන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ළියක වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයෙ රටාව තව නෑ දූ දන්නේ
සිනා මල් ගොඩක් - නෑ කදුලු මල් ගොඩක්

අහන්න ආසයි තුරු හිස කුරැළු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරි අම්මේ
ගැයෙනා මුතු කැට පදවැල් සීරේන විට කදුලු ගලයි
ඒ ගී උල්පත් ගැන නෑ මගේ දු දන්නේ

මට මේ ගීතය ඒ විදිහට බොහෝම කෙටි කාලයකින් අකුරු කරන්න පහසු වුනේ ඒ අම්මාගේ (නිර්මලා රණතුංග) සහ දුවගේ (සෙව්වන්දි) දරු සෙනෙහස සහ මව් සෙනෙහස මම උපරිමයෙන් අහල දැකලා තිබුන නිසා වෙන්න ඇති. ඒ වගෙම මේ ගීතය මට ලොකු වාසනාවක් ගෙනාපු ගීතයත් උනා. රත්මලේ බන්දුල ගුණවර්ධන කියන පුද්ගලයාට ගී පද රචකයෙක් විදිහට කෙෂ්ත්‍රයේ ස්ථාවර වෙන්න බලපාපු එක් ගීතයක් තමයි මේ ගීතය. ඒ වගේම සෙව්වන්දි රණතුංග කියන දියනිය ගායිකාවක් බවට පත් කෙරුවේත් මේ ගීතයයි.

මේ ගීතය බොහෝම ජනප්‍රියත් වුනා. ඒ වගේම අදත්, එදා වගේම එකසේ ජනප්‍රියයි. සැම මවු කෙනෙකුටම දියනියකටම අදාල ගීතයක්. එදා නිම්මි අක්කා සහ ඇගේ දියනිය මේ ගීතය ගැයුවා වගේම මම මේ ලගදි පත්තරේක දැක්කා සෙව්වන්දි ඇගේ දියනිය සමගත් මේ ගීතය ගායනා කලා කියලා.

මෙහි තනුව සහ සංගීතය නිර්මාණය කෙරුවේ විශාරද විජේරත්න රණතුංගයන්. මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි තාත්තා සංගීතවත් කරලා අම්මා සහ දුව විසින් ගායනා කිරිම. මේක රණතුංග පවුලේ නිර්මාණයක්. මම මේ ගීතයෙන් කියන්න උත්සාහ කෙරුවේ පවුලක අම්මා සහ දියණිය අතර කුමන සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතුද, කුමනාකාරයේ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුද කියන කාරණාවයි.

විශේෂයෙන් යෞවනෝදයට එළඹෙන වයසේ දුවක් සිටින අම්මා කෙනෙක් ඒ දුව සමග යෙහෙලියක සේ සිටිය යුතුයි. එහෙම ඉන්න අම්මා කෙනෙක් ලබන දුව ඇත්තටම වාසනාවන්තයි. ඇය හැම විටම ආරක්ෂිතයි. එහෙම අම්මා කෙනෙක් ලැබෙන දුවකට කිසි දාක වරදින්න හේතුවක් නැහැ. අන්න ඒ පණිවිඩය තමයි මම මේ ගීතයෙන් සමාජ ගත කරන්න උත්සාහ කෙරුවේ."



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...