Friday, July 10, 2020

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් ...

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //

ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම්
නමා නළල් තලේ

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්...

දෑගසවු රහත් බුදුන්
මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින්
මලින් බැතින් සදා

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්...

ආචාර්ය අජන්තා රණසිංහයන් සහ මහාචාර්ය සනත් නන්දසිරි අතර තිබුණේ ගහට පොත්ත වගේ බැඳීමක්. දෙදෙනාට දෙදෙනා ආමන්ත්‍රණය කලේ "මචං" යනුවෙන්. ඉතින් දවසක් සනත් නන්දසිරි මහතා විශ්වවිද්‍යාලයේ දේශන කටයුතු සඳහා පිටත් වීමට සූදානම් වන මොහොතේ, අජන්තා රණසිංහයන් රැකියාවට යන ගමන් එතුමාගේ නිවසට ගොඩ වදිනවා. "මචං මෙන්න මේක කියහං උඹේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට" යනුවෙන් මේ ගීතයේ පද මාලාව ලබා දෙනවා. සාමාන්‍යයෙන් මහාචාර්යතුමා පවසන පරිදි අජන්තා රණසිංහයන් එතුමාට ගීත ලබා දෙන්නේ "පොලිසියෙන් දෙනවා වගේ කියලා!!!" තරහට නෙමෙයි එහෙම කියන්නේ. අර මිත්‍රත්වය සහෝදරත්වය නිසා.

පදමාලාව බැලුවාම එතුමාට කිසිම ගීතවත් බවක් දැනිලා නැහැ. "මොකද්ද බං මේ? මේකේ කොහොමද ගීතයක් තියෙන්නේ" කියලා ඇහුවාම "මචං මේකේ වචන කැඩෙන්නේ මෙහෙමයි. නිර්වාණ-ස්වර්ණ-ද්වාරයෙන්..." ආදී වශයෙන් ගීතයේ ගමන් රටාව අජන්තා රණසිංහයන් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව තමා ගීතයේ තනුව නිර්මාණය වුණේ. ගී පද රචකයන් පවා ගීතයක් ලියන්නේ යම් හිතේ මැවුණු තනුවකටයි. එය තමා මෙහි ඇති විශේෂිත කරුණ.

තවත් රසකතාවක් තියෙනවා. මේ ගීතය ඇහුවාට පස්සේ සනත් නන්දසිරි මහතාගේ මෑණියන්, දෝන එමලින් කටුගම්පල මහත්මිය කියලා තියෙනවාලු "පුතේ මේ ගීතයේ ඔක්කොම වචන නම් මට ඇල්ලුවේ නැහැ. හැබැයි අර 'සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්' කියන කොටස නම් ලස්සනයි." කියලා. මොකද "නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්" කියන වචන වල තේරුම ඇයට තේරෙන්නේ නැහැ. නමුත් ඒ අම්මලා ආගමානුකූල දිවියක් ගත කල නිසා බුදුරජාණන්වහන්සේගේ පාද වන්දනා කරන එක ගැන තේරුමක් තිබිලා තියෙනවා.

බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණයත්, උන්වහන්සේ විසින් සුවහසක් සත්ත්වයා කෙරෙහි පතළ අනුකම්පාවෙන් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයත් , බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දහම් මඟ අනුගමනය කරන මහා සංඝ රත්නයත් අපගේ සිංහල බෞද්ධ සමාජයට ලැබුණ අගනා රත්න තුනක් ලෙස හඳුන්වා ඇත. මැණික් හෙවත් රත්න යන වචනය තුළ ඉතාම වටිනා යන අර්ථය අන්තර්ගත ව පවතී. බෞද්ධ සමාජයෙහි ත්‍රිවිධ රත්නය විෂයයෙහි උතුම් අර්ථයකින් සලකනු ලැබේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය හැර බෞද්ධයකුට වෙනත් සරණක් නැත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පතළ මහා විශ්වාසයෙන් බෞද්ධයෝ ත්‍රිවිධ රත්නය සරණ යති. මිනිස් සිත් සතන් තුළ පවතින විශ්වාසයට අනුව එය සිදු කෙරේ.

බෞද්ධ ගීත සාහිත්‍යය තුළ බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ගීත වෙන් වෙන් වශයෙන් දක්නට ලැබුණ ද, එකම ගීතය තුළ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන ගීත දක්නට ලැබෙනුයේ අල්ප වශයෙනි. නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන ගීතය බුද්ධ , ධම්ම, සංඝ යන තුනුරුවන් අන්තර්ගත වන ලෙස රචනා වී ඇත. 

ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචනා කළ නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන ගීතය ශ්‍රවණය වන තත්පරයක් පාසාම බුදුරජාණන් වහන්සේ ඡත්ත තරුණයාට දේශනා කළා වු යො වදතං පවරො මනුජේසු යන ගාථාත්‍රය සිහියට නැගේ. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ පිළිබඳව එම ගීතය තුළ සිහිපත් වේ.

නිර්වාණ ස්වර්ණද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්

ආදී සරල බෞද්ධාගමික වචන භාවිත කරමින් තුනුරුවන් වන්දනාමාන කරන උදාන ගීිතයක් ලෙස හැඳින්විය හැකි ය. මානව මනස කම්පනය කරන බෞද්ධාගමික භක්ත්‍යාදරයෙන් සිත් සතන් තැන්පත් කරන අර්ථවත් ගීතයක් ලෙස එම ගීතය දැකිය හැකිය. සිංහල බෞද්ධ ගීතාවලිය තුළ තුනුරුවන් පිළිබඳ මෙනෙහි කරන, අසන්නාගේ සිත් සතන් තුළ තුනුරුවන් ගුණ මතු කරන උතුම් ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය.



1 comment:

  1. බොහොම ස්තුතියි . යම් කරුණු ටිකක් අහුලා ගත්තා . දිගටම කරගෙන යන්න

    ReplyDelete

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...