Friday, August 21, 2020

රුක් අත්තන මල මුදුනේ ...

රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ

සැඳෑ අඳුර පියමං කර

කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන්

කවුරුද එන්නේ.............

මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ

පුතු සවනට රහස් කියා - පියමං කරලා..................

අප වෙනුවෙන් දවස ගෙවා

වෙහෙසී එන්නේ..................

පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ

පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ.........................

පුතුනි බලන් යොමා නුවන්

කවුරුද එන්නේ.............

රුක් අත්තන මල...

ගායනය හ සංගීතය: විශාරද නන්දා මාලනී

පද රචනය: මහින්ද අල්ගම

පවුල් ජිවිතයක තිබිය යුත්තේ සතුට සැනසුම සහ ආදරය. ආදරය ඇති විටෙක අනෙක් සියලුම දේ ඇතිවාක් මෙනි. මුදල් නොමැති විට ආදරය පස්සා දොරෙන් පළා යන බවක් කියවුණද සැබෑ තේරුම් ගැනිමක් සැබෑ ආදරයක් ඇති තැනෙක ඇති වන සියලුම දුක්ඛ දොමනස්සයන් සතුටු සිතින් හවුලේ විඳ දරා ගන්නා පවුල් ඒකක ඇත්නම් ඒ සුළු ප්‍රමාණයකි. නුතන අධි පාරිභෝජනවාදි රැල්ල විසින් වැඩියෙන්ම අර්බුදයට පත් කර ඇත්තේ නුතන පවුල් ඒකකයයි. න්‍යෂ්ටික පවුල ඒකකයක පැවැත්ම රඳා පවතිනුයේ මවු පිය දරුවන් අතර ඇති සරල සුන්දර ආදරය තුළයි. එකිනෙකා අතර ඇති බැඳීම විසින් ජීවිතයේ අනේක දුක් දෝමනස්සයන් අමතකව ජීවිතය සුන්දරව ගලා යාමට හැකියාව ලබා දේ.

රුපවාහිනිය ජනප්‍රිය නොවු යුගයක පවුලේ මව තම දරුවා සමග පියා එන තෙක් මග බලමින් සිටි සුන්දර යුගයක් අපිට තිබිණි. නුතනයේ මවට රැකියාවට යාම අනිවාර්යය කර ඇත්තේ සීමාවක් නැති පාලනයක් නැති මිනිස් ආශාවන් නිසාවෙනි. සරලව තර්ක කළහොත් අප විසින් නඩත්තු කරන ජීවිතයේ අපගේ සතුට සහ සැනසීම වෙනුවෙන් යයි සිතා අප සිදු කරන අනෙක විධ තාක්ෂණික උපකරණ වල වහලකු වීමත් හතර අතේ ණය වීමෙන් බාගෙට ගොඩ නඟන විශාල නිවසත් නිසා තම පවුලේ සතුට අහිමි කර ගැනීමකි. සමාජයේ කවර පන්තියක වුවද ආර්ථික ප්‍රශ්න නොමැති පවුලක් නොමැත්තේ අපට ළඟා කර ගත යුතු භෞතික දේවල් දිනෙන් දින වැඩි වීම හේතුවෙනි.

තමන්ගේ ආදරණීයන්ගේ කට හඬ ඇසෙන මොහොත දවසේ වෙහෙස වෙමින් ගෙදරට එන පියකුගේ වෙහෙස මොහොතින් නැති කර දමයි. ස්වාමියාගේ අඩි ශබ්දය ඇහෙන තෙක් නොවිසිලිමත්ව සැන්දෑව ගත කරන ආදරණීය බිරිඳක් සහ ඇයගේ අතේ සිටින සුරතල් දරුවකු පිළිබඳ කියවෙන රුක් අත්තන මල මුදුනේ බඹරු නටන සැන්දෑවේ ගීතය පිළිබඳ කතා බහක් ඇති කර ගැනීම සඳහායි කරන මේ උත්සාහය.

ගීතය ලියා ඇත්තේ මහින්ද අල්ගම මහතා වන අතර ගීතය සංගීතවත් කර ගයන්නේ නන්දා මාලනී ගායිකාවයි.

රුක් අත්තන මල මුදුනේ බඹරු නටන සැන්දෑවේ

සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ

පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ......

රුක් අත්තන මල යනු අවුරුද්ද පුරා කටුක පරිසරයක වුවද මල් පිපෙන මල් වැලකි. දුෂ්කර කටුක පරිසරයක වුවද මල් පුබුදුවන රුක් අත්තන වැල මඟින් සංකේතවත් කරන්නේ ආර්ථික ගැටලු මැද වුවද මේ නිවසේ ආදරයේ මල් පිපෙන බවයි. බඹරා යනු තම විශාල ශරීරය ඔසවාගෙන පියෑඹීම සඳහා තම අත්තටු ප්‍රමාණවත් නොවන හෙයින් අවකාශය පුරා උඩ පනිමින් තම ඉලක්කය කරා යන සතෙකි.

මෙහි දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද ආදරය පුබුදුවාලූ බිරිඳ රුක් අත්තන මලක් වන අතර ඉතා අසීරු‍ෙවන් ජීවිතය සමඟ පොර බඳිමින් ඉලක්කය කරා යන ස්වාමියා බඹරා තුළින්ද සංකේතවත් කර ඇති අතර මීළඟට උදාවන ආදරණීය මොහොත වල් රාශිය පිළිබඳ සුන්දර හැඟීම විසින් තම පුතුට පවසන්නේ සැඳෑ අඳුර පියමන් කර පැමිණෙන්නේ කවුරුද කියා බලන ලෙසයි. බහ තෝරන වයසේ සිටින දරුවකුට කතා කිරීමට පෙළඹවීමේදී නිරන්තරයෙන් අසන ප්‍රශ්න අත කවුද එන්නෙ කියල බලන්න යනුවෙන් දරුවාට පැවැසීම තුළ ඇත්තේ මව හඳුනාගත් තම ස්වාමියා කෙරෙහි තම දරුවාගේ අවධානය යොමු කරවීමයි. මෙම වචන පේලිය ගෙදරට පැමිණෙන ස්වාමියා පිළිගැනීම පිලිබඳව උපරිම සාධාරණයක් ඉටුවන මව පියා සහ දරුවාගේ ආදරය මුණ ගැසෙන සුන්දර තප්පරයකි. මෙම සුන්දර පිළිගැනීම එතැන් සිට ගොඩ නැඟෙන ආදරණීය පරිසරයේ ස්වභාවය පැහැදිලි කරයි. පළමු දැක්ම අවසාන දැක්ම ලෙස විස්තර කරන්නේ මෙයයි.

දරුවකුට පියා පිළිබඳ හැඟීම ඇති කළ යුත්තේ මව විසිනි. පියාගේ භූමිකාව සමබර පෞරුෂයක් ගොඩනැගිම සඳහා අනිවාර්යයෙන් තිබිය යුත්තකි. මවගේ ආදරයත් පියාගේ රැකවරණයත් සමබර පෞරුෂයක් සහිතව දරුවකු ගොඩනැගීමට හේතු වන බව මනෝ විශ්ලේෂකයින් පවසා ඇත. මේ රැකවරණය පිළිබඳ මවගේ ඉගන්වීමයි .

මුතු පිනිලැල් සැලෙන උදේ උදා දිමුතු හිරු එළියේ

පුතු සවනට රහස් කියා පියමං කරලා

අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ

පියා පිළිබඳ ආදරය මුසු ගෞරවයක් ගොඩ නගන්නට උත්සාහ ගෙන ඇති ආකාරය අපූරුය. උදෑසන හිරු පායනවාත් සමග පුතාට ඇති ආදරය නිසා පුතා ඇහැරවන්නේ නැතිව රහසින් යන බව කියා ගොස් අප වෙනුවෙන් වෙහෙසුණු පියා තමයි දැන් පැමිණෙන්නේ. මේ තප්පර කීපය තුළ පුතු සමඟ කරන සංවාදයෙහි පතොක් වැටිය අඩින් ඇඳී දිවයුරු මිය යන මොහොතේ

පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ

පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ

පියා සුර්යාට සමාන කිරීම සාමාන්‍ය දෙයක් වුවද පියා සඳකට උපමා කර ඇත්තේ ඇයි දැයි මෙතනදී ගැටලුවක් මතුවේ.

දිවා කල සුර්යාගේ වෙහෙස කර දිනය නිමා කර ඇත. ඒ පියා පමණක් නොව මව දරුවා පියාගේ සෙනෙහස රැකවරණය නොමැති වෙහෙසකර දිනය නිමා කර ඇත. දරුවාටත් මවටත් දැන් මේ මොහොතින් පසු එළඹෙන්නේ ආදරයේ සෞම්‍ය කිරණ වැටෙන රාත්‍රී යාමයකි. පියා රැගෙන එන්නේ හදවත පුරා ඇති ආදරයයි. එය සඳ එළිය සේ අචින්ත්‍යයයි. පාරිශුද්ධයි. සුරම්‍යයයි.

(උපුටා ගැනීම - සිළුමිණ වජිර කාන්ත)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...