Monday, December 28, 2020

හොඳ හොඳම වේය ලොව ...

ධර්මදාස වල්පොල නම් අසහාය ගායකයාණන් අභාවප්‍රාප්ත වී දෙසැම්බර් 25 වන අද දිනට වසර 37 කි. එතුමා 1983 දෙසැම්බර් 25 වන නත්තල් දින අප අතරින් සමුගන්නා ලදී. එතුමා විසින් ගායනා කරන ලද පළමු චිත්‍රපට ගීතය ඔහුට උපහාර පිණිස අද දින ඉදිරිපත් කරමි.


හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ ...//


බොහො ප්‍රේමෙ පුෂ්ප වියළේ

මව් පියගෙ ප්‍රේමෙ සුදිලේ

ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම් ....//


හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


මා ජීව අර්ධෙ ස්වාමී ස්වාමී 

මා ජීව අර්ධෙ ප්‍රේමී ප්‍රේමී ...//


මල්සරා මගේ ප්‍රේමා ප්‍රේමා

මා පතිනි පියුම් කාන්තා දේවී


ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම්


ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම්


හොඳ හොඳ ම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


හොඳ හොඳ ම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

පද - හියුගෝ ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)

1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.


ලතා, ධර්මදාස වල්පොල සමගින් චිත්‍රපටි යුග ගී ගායනයකට එක්වූ ප්‍රථම අවස්ථාව "ප්‍රේම තරඟය" චිත්‍රපටිය වේ. එපමණක් නොව ධර්මදාස වල්පොලගේ ප්‍රථම සිනමා පසුබිම් ගායනය ද එක්වන්නේ "ප්‍රේම තරඟය" චිත්‍රපටියටයි. 

(ධර්මදාස වල්පොල ලතා සමඟ විවාහ වන්නේ පසු කලෙකයි. මේ අවධියේ ලතා, ලතා වල්පොල නොව, මාතරගේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දුය. කලා ක්ෂේත්‍රයට ඇගේ නම ලතා ලෙස යෝග්‍ය බව කියා ඒ නම ස්ථාපනය වන්නේ සුසිල් ප්‍රේමරත්නයන්ගේ යෝජනාවකිනි.)


ප්‍රේම තරඟය චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන්, ඉන්දීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මුත්තුසාමි මහතා සම්මානයකින් පිදූ බව වාර්තාවේ. මෙම චිත්‍රපටියේ සියලු ගී තනු ස්වතන්ත්‍ර නිර්මාණ වේ.


මෙම ගීතය රචනා කර තිබුණේ හියුගෝ ප්‍රනාන්දුය. සංගීතය ආර්. මුත්තුසාමි මාස්‌ටර්ය. ඒ. බී. රාඡ්. අධ්‍යක්ෂණය කළ එස්‌. එම්. නායගම් නිපදවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටිය වෙනුවෙනි. මෙම ගීතය මුලින්ම ගායනා කරන්නට නියමිතව සිටියේ ධර්මදාස නොවීමද අපූරු කතාවකි. එය ගයන්නට සිටි අරුණ ශාන්ත නම් චිත්‍රපට නළුවා හදිසියේ අසනීප තත්ත්වයට පත්වීම නිසා චිත්‍රපට කණ්‌ඩායමට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය.

 

මුත්තුසාමි මාස්‌ටර්ගේ වාදක මණ්‌ඩලයේ තබ්ලා වාදනය කරමින් සිටි එම්. ආරියදාස ගැටලුවට විසඳුමක්‌ ලබා දුන්නේය. මාස්‌ටර් හොඳට සිංදු කියන්න පුළුවන් හාදයෙක්‌ ඉන්නවා. රේඩියෝ සිලෝන් එකෙත් "ලයිව් සෝන්ග්ස්‌" කියනවා.


කවුරු වුණත් කමක්‌ නැහැ. ඉක්‌මණට එක්‌ක එන්න. එවර කථා කළේ චිත්‍රපටියේ නිෂ්පාදක නායගම්ය. ආරියදාස හනි හනික කඳානේ සිට බස්‌රියක නැඟී මරදානේ සිටි ධර්මදාස සොයා ගියේය. වාසනාවකට ඔහු ගෙදර සිටියේය. "ධර්මෙ ඉක්‌මණට ඇඳ ගන්න. පොඩි වැඩකට කඳානට යන්න තියෙනවා." ආරියදාස කීවේය. මිතුරාගෙන් ආගිය කාරණා නොවිමසා කඳානට ගියේය. එදා ධර්මදාස චිත්‍රපටයකට ගීයක්‌ ගැයීය. එය යුග ගීතයකි. ඔහුගේ සහාය ගායිකාව වූයේ ලතා ජෙනට්‌ ප්‍රනාන්දුය. ඒ අපූරු ගීතය විය. ලතා ධර්මදාසගේ කටහඬ රන් රස සේ පෑහිණ. 1953 ධර්මදාස වල්පොල චිත්‍රපට ගීත ගායනයට අවතීර්ණ වන විට වයස අවුරුදු 26 කි. 


(උපුටා ගැනීම - දිවයින/ ගී අරණ)




සුභ ප්‍රාර්ථනා කියමන් ...

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

මා වටකර සතර දෙසින්

ගිලිහෙන මුත් මුවට මුවින්

ඔබේ මුවින් නැති පැතුමන්

මට නැත අගනේ

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


මා ඈ කර මාල බඳින්නේ

ඔබෙ නෙත් තරු සැලී දිළෙන්නේ

මා ඈ ගත සළු පළඳන්නේ

ඔබෙ නෙත් අග කඳුළු පිරෙන්නේ

ගිගුම් හඬින් මගුල් සිලෝ

පෝරුව දෙදරයි


සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


මධුසමයට මඟට බහින්නේ

ඔබෙ නෙත් පෙර මඟ හමුවන්නේ

රහසින් බැඳි පෙම සිහිවන්නේ

අප මින් මතු නැත හමුවන්නේ

ඔබ අන්සතු ළඳක් කියා

ඇයි මට කීවේ


සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - ලූෂන් බුලත්සිංහල

තනුව - විශාරද ගුණදාස කපුගේ


මෙම ගීතය පිළිබඳව පදරචක ලූෂන් බුලත්සිංහලයන් අදහස් දක්වමින් "මගේ සමීපතම මිත්‍රයෙක් හිටියා. එයා විවාහ වීමට පෙර විවාහක කාන්තාවක් සමඟ අනියම් ප්‍රේමයක් තිබුණා. ඔහුට ඇයව අයින් කරන්නම බැරි තැන වෙනත් කාන්තාවක් සමඟ විවාහ වුණා. එදා ඔහුගේ උත්සවයට පෙර කියූ අනියම් පෙම්වතියත් පැමිණියා.


මිත්‍රයාගේ අනියම් සම්බන්ධතාව දැනගෙන සිටි මමත් ඒ විවාහ මංගල උත්සවයට සහභාගි වුනා. ඒ මොහොතේ මගේ සිතේ ඇතිවුණ හැඟීම මං ‘සුබ ප්‍රාර්ථනා කියමන්’ කියන ගීතයෙන් ඉදිරිපත් කළා. මේ ගීතයේ තවත් විශේෂත්වයක් තියෙනවා. මගේ මිත්‍රයකු වුණ ගුණදාස කපුගේට මං ලියූ ප්‍රථම ගීතය වුණේ මේ ගීතයයි.


(උපුටා ගැනීමකි)




Tuesday, December 22, 2020

ඩැෆඩිල් මලේ ...

හිත මා සොරාගෙන

ගියේ ඇයි ද

ඩැෆඩිල් මලේ

හිම වාගෙ සුන්දර

හස කැන් රඳවා හදේ

මුමුනා කියන්නෙ

නල රැලින්

කඳු මානයේ

ඔබ තාම මාගෙමයි

වසත් කල යෞවනියේ

ඔබ තාම මාගෙමයි

වසත් කල යෞවනියේ


දුර ඈත ගං තෙරේ

සැඩ සීත මාරුතේ

වෙලී ගත ඈ

දෑත ගෙන මා

හීන් වැහි කෝඩයේ

මුව කමල ආදරෙන්

සිපගතිමි සීරුවෙන්

හැඟුම් සොඳුරුයි

රැඳුන නෙතගේ

එවන් සැන්දෑ කලේ


හිත මා සොරාගෙන....


විලෝ තුරු මං පෙතේ

සඳ උවන පිපි රැයේ

කෝල ලෙස ඈ

දෑත සැලුවේ

දෑල වැල් පාලමේ

හද විලම ආදරෙන්

සසල විය මුදු සරින්

හැඟුම් සොඳුරුයි

රැඳුණ මතකේ

එවන් සැන්දෑ කලේ


හිත මා සොරාගෙන...


ගායනය - දයාන් විතාරණ 

පදරචනය - චාමින්ද රත්නසූරිය 

සංගීතය - මහේන්ද්‍ර පැස්කුවල්


මේ ගීතයට පසුබිම් වූ හේතු පිළිබඳව චාමින්ද රත්නසූරිය අදහස් දක්වමින් "මට 1999 දී විතර දයාන් විතාරණ මුණගැහෙන්නේ. කිත්සිරිගේ මම ලියපු ‘නිසල සඳ කිරණේ‘ කියන ගීතය සංගීතවත් කළේ සමන්ත පෙරේරා. ඔහු තමයි මාව දයාන්ට අඳුන්වලා දෙන්නේ. කොහොම හරි අපි අතරේ ලොකු සම්බන්ධයක් හැදුණෙත් නෑ. ඒත් දවසක් දයාන් මට කැසට් කෑල්ලක් තියලා ගිහිං තිබුණා ස්ටුඩියෝ එකේ. දවසක් සුනන්ද මෙත්තසිංහ අපේ සවුන්ඩ් කරන මිත‍්‍රයා කතාකරලා අහනවා අර දයාන් අයියා උඹට දුන්න තනුවට සිංදුවක් ලිව්වාද කියලා. 


මම විලියම් වර්ඞ්ස්වර්ත්ගේ කවි රසිකයෙක්. වර්ඞ්ස්වර්ත්ගේ කවියක් තියෙනවා. ඩැෆර්ඩිල් මල මට අහුවෙන්නේ මේ කවියෙන්. ඒ එක්කම තමයි ‘ඩැෆර්ඩිල් මලේ‘ කියන ගීතය අර මෙලඩියට ලියවෙන්නේ. මේ කවියට අමතරව තව දේවල් ගොඩක් මේ ගීතය අස්සේ තියෙනවා. මගේ යාළුවෙක් හිටියා, ඔය බොස්නියා පැත්තෙන් ඉතාලියට පැන්න. බොස්නියා යුද්ධය එහෙම තියෙන කාලේ ඒ හරහා යනකොට ඔහුට බොස්නියාවලදි, හිතාගන්න බැරි විදිහේ ලස්සන කෙල්ලෙක් හමුවෙනවා. ඔහුට ලංකාවෙදි කෙල්ලෙක් හිටියේ නෑ. ඉතාලියට යන්න වෙනකොට ඔහුට මේ කෙල්ල දාලා තමයි යන්න වෙන්නේ. ඔහු ඒ දුක මට එහේ ඉඳලා ලියුමකින් ලියනවා. ඒකත් මගේ හිත අස්සේ කැරකි කැරකි තමයි තිබුණේ. 


තව මගේ මිත‍්‍රයේ හිටියා ටුවරිසම් කරපු, දවසක් එයා නුවරට ප්‍රංශ කෙල්ලෙක් එවනවා, මචං මෙයාව නුවරඑළියට ගිහිං අරලවපං කියලා. මම මේ කෙල්ල කැන්ඩි ස්ටේෂමෙන් අරගෙන නුවරඑළියේ යනවා. මේ යන අස්සේ අපි දෙන්නා අතර ආදරයක් ගොඩනැගෙනවා. නුවරඑළියේ විලෝ ගස් ගොමුවක් අස්සේදී ඇය මට කිස් එකක් දෙනවා. ඒ කාලේ ප්‍රංශ හාද්දක් කියන්නේ ලේසිද? කොහොම වුණත් මම අමාරුවෙන් එයාව නුවරඑළියේ නතර කරලා කොළඹ එනවා. මේ සේරම කතාවල එකතුවක් තමයි, ‘සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ‘ කියන සිංදුව අස්සේ තියෙන්නේ. මේ සිංදුවට දැන් අවුරුදු 20ක් වෙනවා. ඒත් තාමත් මට මේක දැනෙනවා.

(උපුටා ගැනීම - anidda.lk) 




Monday, December 21, 2020

වද කහ සුදිය ...

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

දවාලෙදී රෑ උන ඒ දවසේ

එමලි ගියා පිලිකන්නට විගසේ

කලුවට සිටි එමලී පැනගෙන දුව ආපී

දෙයියො තමයි දන්නෙ සිද්දිය


ලංකාවට පුදුම දෙයක් බෝ උනා

සීමාවක් නැතුව පැතුරුනා

සුදු වෙන්නට හිතපු දනා

සුදිය නිසා මෝඩ උනා

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය


පරන දෙයක් මතක් කරල දෙන්නද

වදකහ සුදියෙ සුලමුල

සුදු වෙන්නට හිතු එමලී

සුදිය නිසා මෝඩ උනී

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය


තරුන කමේ නියම රසය දැනගෙන

තිරිහන් වෙන්න හදනවා

සුදු කෙස් කලු කරලා

බොරු දත් පෙළ දමලා

අදත් තරුන වෙන්න හදනවා

සුදු කෙස් කලු කරලා

බොරු දත් පෙළ දමලා

අදත් තරුන වෙන්න හදනවා

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය


පදරචනය/ තනුව හා ගායනය - වොලී බැස්ටියන් 


1955 සිදුවූ සූර්‍ය්ග්‍රහණය පාදක කරගනිමින්  නිර්මාණය කර ගායනා කරන්නට යෙදුණු, ‘බිව්වා නේද වදකහ සුදිය‘ බයිලා ගීතය, අද වන විට සෑම සාජ්ජයකදීම ඇසෙන බයිලාවක් බවට පත්ව ඇත. මෙම මුල් ගීතය බයිලා රජු වොලී බැස්ටියන් විසින් රචනා කොට ගායනා කොට ඇත. (මෙම මුල් ගීතය සොයාගැනීමට අපහසුය)


මීට අමතරව මොරටුවේ ප්‍රථම ගායක කණ්‌ඩායම පිහිටුවා ගෙන සිටි ජනප්‍රිය ගායකයෙක්‌ වූ සී. එල්. ෆොන්සේකා මෙම සිදුවීම ගැන කල්පනා කරමින් ඔබ-මොබ ඇවිද්දේය. ඔහුගේ මොළයට අදහස්‌ ගලා එන්නට විය. ඔහු තම කාමරයට වැදී දොර වසා ගත්තේය.

"බිව්ව නේද වදකහ සුදිය - සුදු වෙන්නට හිතපු දනා - සුදිය නිසා මෝඩ වුණා - බිව්ව නේද වදකහ සුදිය" ඔහු ප්‍රබන්ධ කළ අතර මෙරිල් පීරිස්‌ එහි අඩුපාඩු සකස්‌ කළේය.


තමාගේ ගායක කණ්‌ඩායම සමග පැදුරු සාඡ්ජවලට යන සී. එල්. ෆොන්සේකා එම සාඡ්ජවලදී මෙම ගීතය ගායනා කළේය. අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ "බිව්ව නේද වදකහ සුදිය" ගීතය ඔහු ගුවන්විදුලි වැඩසටහනකටත් ගායනා කළේය.


(පසුකාලීනව වොලී බැස්ටියන් විසින් ගායනා කල ගීතය විවිධ ගායකයින්, සංගීත කණ්ඩායම් ඔවුන්ට අවශ්‍ය පරිදි ගීතයේ වචන වෙනස් කර ගායනා කර ඇත.)


1955 ජූනි 20 වැනිදා ලංකාවටම අමතක නොවන දිනයකි. ඒ, එදා දහවල රටම මහා රෑ ඝන අදුර මෙන් කරුවල වී ගිය හෙයිනි. එදා ජූනි 20 වැනි සඳුදාවකි. සූර්යග්‍රහණය නිසා ලංකාවේ සියලුම පාසල්වලට රජය නිවාඩු දී තිබිණි. 20 වැනිදා උදේ 8.11 න් ඇරැඹෙන මේ අපූරු සිදුවීම දැකබලා ගැනීමට, විදෙස් රටවල ග්‍රහ විද්‍යාඥයෝ ලංකාවට පැමිණ, පොලොන්නරුව, කදුරුවෙල, හිඟුරක්ගොඩ, සීගිරිය, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට වී කඳවුරු බැඳගෙන, ඒ මොහොත එළැඹෙන තුරු බලා සිටියෝය.


සූර්යග්‍රහණය බැලීමට, වෛද්‍යවරුන් එදා අනුමත කළ කණ්ණාඩි බොහෝ සෙයින් විකිනිණි. ඒ මොහොතේ, රට පුරා විහාරස්ථානවල සෙත්පිරිත් සජ්ඣායනයට සූදානම් කර තිබිණි. සමහරු මන්ත්‍ර ජප කළහ. සෝවියට් සමූහාණ්ඩුව ඉල්ලීම් කළත්, එවකට මෙරට සිටි බලධාරීන් මෙය අධ්‍යයනය කිරීම සඳහා ඔවුන්ට මෙරටට ඒමට අවසර නොදුන් බව පැවසේ.

එවකට සිටි එක්තරා දේශීය වෛද්‍යවරයකු විසින්, සුර්යග්‍රහණ වෙලාවේදී පානය කිරීම සඳහා සුදුසු අපූරු බෙහෙතක්, 1955 ජූනි 19 වැනි දින පළ වූ ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කර තිබිණි. ඒ, වද කහ යුෂයි. වද කහ සියුම්ව අඹරා, ඒ සඳහා විවිධ අනුපාතවලින් පානය කළහොත්, ශරීරයේ විවිධ ආබාධ දුරු වී, සුවදායක තත්ත්වයක් මතුවන බව, එහි සඳහන්ව තිබිණි.


තැඹිලි වතුරෙන් බී විට බුද්ධිය වර්ධනය වන බවත්, කොත්තමල්ලි වතුරෙන් බී විට රූප ශෝභාව වැඩිවන බවත් ආදී ලෙසින් මාත්‍රා පහකින් වදකහ බීමට නියම කර තිබිණි. වතුර බේසමකට නිල් දිය කර සූර්යග්‍රහණය බැලීමට හෝ කළු කණ්ණාඩියකින් හෝ කළු සෙලෝටේප් පටියකින් හෝ බැලීමට නියම කර තිබිණි. කෙළින්ම සූර්යග්‍රහණය පියවි ඇසින් බැලුව හොත් ඇස් අන්ධ වන බව එදා පුවත්පත්වල සඳහන් විය. හැම වෙද ගෙදරකම වදකහ බෙහෙත නියමිත මාත්‍රාවලින් සකස් කර, ජනයාට ලබා දුනි. බෙහෙත් බඩු කඩෙන් ගත් විවිධ පුද්ගලයන්, තමන්ට සිතැඟි මාත්‍රාවලින් වද කහ සාදා ගත්තේය.


සූර්යග්‍රහණය වෙලාවේ විවිධ මාත්‍රාවලින් වද කහ බීමෙන් රූප‍ශෝභාව වැඩි වීමට, බුද්ධිය වර්ධනයට, කාලාන්තරයක් තිස්සේ පැවැති ලෙඩ රෝග සුව වීමට හා කටපාඩම් හිටීම සිදු වේ යැයි සිතූ අය, වද කහ බීමට යුහුසුලුව බලා සිටියේය.


නියමිත ජූනි 20 වැනි දිනය උදාවූ බව පවසමින්, වටින් ගොඩින් එළි වන්නට විය. එම සඳුදා උදේ ඔර්ලෝසු මත 8.11 සිට 8.15 වේලාව සටහන් වන විට, සූර්යග්‍රහණය ඇරැඹිණි. රටම අඳුරේ ගිලී ගියේය. කපුටන් ඇතුළු කුරුලු රෑන් කෑ ගසමින්, සිය කූඩු කරා නැවත පියඹා යන්නට විය. උදේ දිගෙලි කර වතුවල තණ කමින් සිටි හරකුන්, රාත්‍රිය එළැඹී ඇතැයි සිතා, ගාල් නොකළ බැවින්, බියවී කෑ ගසන්ට විය. රාත්‍රියේ පිපෙන මල්, පිපෙන්නට විය. නැවත එළිය වැටීමත් සමඟ ඈත මෑත පියාඹමින් වල්මත් වී සිටි පක්ෂීන්, කීචි බීචි හඬ නඟමින් මහත් ප්‍රීතියෙන් යුතුව නැවතත් පුරුදු ජීවන රටාවේ නියැළුණු අයුරු, එකල පුවත්පත් මඟින් කියැවුණි. පක්ෂීන් පමණක් නොව, දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි අලි ඇතුන්, ව්‍යාඝ්‍රයන් ඇතුළු සතුන් අමුතු ආකාරයකින් හඬනැඟීමට පටන් ගත් බවද කියැවේ.

බොහෝ පිරිස් විවිධ මාත්‍රාවලින් සෑදූ වදකහ බොන්නට ගත්හ. සමහරු වැරදි මාත්‍රාවෙන් වදකහ බොන්නට වූහ.

වද කහ බිව් බොහෝ දෙනාට වමනය හා බඩඑළිය යෑම ආදී රෝග මතු විය. රට පුරා එකවර වැඩිම පිරිසක් රෝහල්වලට ඇතුළු වූ ඉතිහාසයේ පළමු දවස මෙය විය. රූපශෝභාව වැඩි වීමටත්, බුද්ධිය වැඩි අරබයාත්, බොහෝ පිරිස් නියමිත මාත්‍රාව ඉක්මවා වදකහ බීවෝය.

සූර්යග්‍රහණය බැලීමට ගොස් දෙනෙක් මැරී වැටුණහ. දෙදෙනකුගේ ඇස් අන්ධ විය.

ලංකාදීප පුවත්පත පසු දිනයේදී වමනයට බෙහෙත් ද සඳහන් කර තිබිණි.

රටේම අය වද කහ බී ලෙඩ වීම නිසා, ලංකාදීප පුවත්පතේ වදකහ බෙහෙතට එරෙහිව දිනමිණ ‘වද කහ’ නමින් තීරු ලිපියක්ද පටන්ගෙන තිබිණි. ඉන්පසු එය ටික කලකින් නැවතුණි. ලංකාවට දර්ශනය වූ එම සූර්යග්‍රහණය පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස සටහන් වී ඇති අතර, ලංකාව හැරුණු විට එය දර්ශනය වී ඇත්තේ සියමය, වියට්නාමය, පිලිපීනය යන රටවලට පමණි. විනාඩි 7 යි තත්පර 8 ක් පුරා සිදු වූ මේ සූර්යග්‍රහණය, දර්ශනය වූ විශාලතම සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වේ.


(උපුටා ගැනීමකි) 










Friday, December 18, 2020

මම නම් ආසයි ...

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්

දෙනෙත පියාගෙන කියන්න මුමුණා

එක වදනක් හෝ කෝල ලෙසින්

වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ

ඉර හඳ පමණයි කවදත් උන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා

මා හා හිනැහුණු අහිංසකාවිය

අදත් එදා මෙන් දකින්න ඇත්නම්

මට පෙම් කල මුදු නිසංසලාවිය

මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ

පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්

ලෝකය යනතක ගමනේ යද්දෙන්

පුංචි දැරිය යුවතියක වුනාදෙන්

මගේ බොළඳ හිත මට තිබුනාදෙන්

ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ

දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ


මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්

දෙනෙත පියාගෙන කියන්න මුමුණා

එක වදනක් හෝ කෝල ලෙසින්

වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ

ඉර හඳ පමණයි කවදත් උන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


ගායනය හා සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි 

පදරචනය - මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර 


ඔබේ ආදරණීය බිරිඳට ලියූ ගීයක්ද මම නං ආසයි අහන්න නයනා ගීතය? 

එහෙම ම කියන්නත් බෑ ඉතිං. ඔහේ ලිව්වා. හැබැයි ඇගේ නම නයනා තමයි. අපි පාසල් කාලේ මුණගැහුණේ. ගීතය මං ලියලා තිබුණා. ඒ දවස්වල සනත් අයියලාගේ ගෙදර මගේ පොත් තිබුණා. මං නිතරම සනත් අයියා ඇසුරු කළා. එහෙ යනවා. පොත් අරං යනවා පැය දෙක තුනක් ඉන්නකොට පාඩම් කරනවා. මට වෙනම දීලා තිබණා මේසයක් එහෙම වාඩිවෙලා වැඩ කරන්න, නිදියගන්න, කන්න බොන්න දෙනවා ඉතිං එයාලා. ඉතිං එහෙ මගේ කටු සටහන් පොතක් තිබුණා. ඒක සනත් අයියා දන්නවා. එකේ ලියලා තිබුණ එකක් තමයි සනත් අයියා ඔය මටත් නොකියා රෙකෝඞ් කරලා තිබුණේ. මං කතරගම ද කොහෙද ගිහිල්ලා එනකොට සනත් අයියා ගීතය කරලා තිබුණා. මේක දෙවැනි ගීතය. මට මතක හැටියට උසස්පෙළ කාලේ වගේ ලිව්වේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




වලා අතුල සිරියහනේ ...

වලා අතුල සිරියහනේ

උණුසුම් හිරු කෙඳි පොරවා

ඉන්ද්‍රචාප කුමාරයා

නිදා වැටෙනවා


මල් සුගන්ධයෙන් නැළැවෙන

ලතා මඬුල්ලේ ලැගගෙන

රෑන් රෑන් සියොතුන් ගී

සින්දු කියනවා


ජීවිතය වගේ මුමුණන

ආදරය වගේ දිලිහෙන

දිය තරංග පොකුරක්

එළියෙන් නලියනවා


නොදරුවෙකු අතින් බොඳවුන

සිතුවමක් ලෙසින් සුන්දර

පාට රෑනකින් දස අත

රටා වියනවා


කිරිවැදී නටන ගොයමට

මිහිදුමින් වැටුනු පිණිකැට

රන්දමක් වගේ ගෙල වට

රනින් දිළෙනවා


හෙටක් ගැන යමක් නොදකින

හෙටක් තිබේ දැයි නොසිතන

කෙනෙක් මධුවිතක් තොල් අග

තවරගන්නවා


වලා අතුල සිරියහනේ

උණුසුම් හිරු කෙඳි පොරවා

ඉන්ද්‍රචාප කුමාරයා

නිදා වැටෙනවා


මල් සුගන්ධයෙන් නැළැවෙන

ලතා මඬුල්ලේ ලැගගෙන

රෑන් රෑන් සියොතුන් ගී

සින්දු කියනවා


ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - සුනිල් රත්නායක

තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

දළ රළ පෙළ ටෙලි සිතුවමෙන්


සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ ජනප්‍රිය නවකතාවක් වුණු දළ රළ පෙළ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍ය​ය පිළිබඳව මතකය තවමත් අපේ ප්‍රේක්ෂකයා තුළ රැඳී තිබෙනවා. ඒකට එක හේතුවක් වන්නේ “වලා අතුල සිරි යහනේ” ටෙලි නාට්‍ය තේමා ගීතය. ඊට අමතරව එහි ප්‍රධාන චරිත නිරූපණය කළ සොමී රත්නායක සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ රඟපෑම. ගැමි පරිසරයක උපත ලබන තරුණියක් තමන් මෙහෙකාරියක ලෙස සේවය කිරීමට පැමිණි නිවසේ ස්වාමියා සමඟ ඇති කරගන්නා සම්බන්ධතාවයක මානුෂික ස්වරූපය මේ ටෙලි නාට්‍යය තුළින් කතාබහට ලක් වුණා.


අපූර්ව සංගීතයකින් හා සිත ස්පර්ශ කරන අයුරින් කරන ගායනය සඳහා සරල බසින් මෙම ගීතය රචනා කර තිබෙන්නේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කල ටෙලිවිව් ආයතනයේ අධිපති සුනිල් රත්නායක මහතා.


(උපුටා ගැනීමකි)






Monday, December 14, 2020

පෙම් ලෝකෙ පුරා ...

පෙම් ලෝකෙ පුරා

ඔබ සෙව්ව සුදා

මල් මාල ගොතා

පළඳන්න ගෙලේ දාලා


ගේ ගාව දොළේ

මල් පිපුණු කැලේ

එනකන් සිටියා

ඔබ කොහෙද ගියේ දාලා


අත ගන්න ඔබේ

මම විඳපු දුකේ

හැටි දන්නෙ මෙමා විතරයි ...//


ඔබ දැක නොබලා

මට ඉන්නට බැහැ

ඒ හින්ද තමා

මම එන්නේ ඔබව සොයා


කවදද මන්දා

ජය කොඩි බන්දා

එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//


ඒ සුබ සිහිනේ

ඇයි එළි නූනේ

පෙම් රජ දහනේ

තනි වේවිද අපි දෙන්නා


කවදද මන්දා

ජය කොඩි බන්දා

එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//


ඒ සුබ සිහිනේ

ඇයි එළි නූනේ

පෙම් රජ දහනේ

තනි වේවිද අපි දෙන්නා


පෙම් ලෝකෙ පුරා

ඔබ සෙව්ව සුදා

මල් මාල ගොතා

පළඳන්න ගෙලේ දාලා


ගේ ගාව දොළේ

මල් පිපුණු කැලේ

එනකන් සිටියා

ඔබ කොහෙද ගියේ දාලා


ගායනය - ක්‍රිස්ටෝපර් පෝල්

පද රචනය - බැසිල් එම්. සිල්වා

තනුව - 1960 දී එල්විස් ප්‍රීස්ලි ගැයූ වුඩ්න් හාට් ගීයෙන් උපුටා ගෙන ඇත.


Wooden Heart ගීයේ පද


Can't you see

I love you

Please don't break my heart in two

That's not hard to do

Cause I don't have a wooden heart


And if you say goodbye

Then I know that I would cry

Maybe I would die

Cause I don't have a wooden heart


There's no strings upon this love of mine

It was always you from the start

Treat me nice

Treat me good

Treat me like you really should

Cause I'm not made of wood

And I don't have a wooden heart


Muss i denn, muss i denn

Zum Stadtele hinaus

Stadtele hinaus

Und du, mein Schatz, bleibst hier?


There's no strings upon this love of mine

It was always you from the start

Sei mir gut

Sei mir gut

Sei mir wie du wirklich sollst

Wie du wirklich sollst

Cause I don't have a wooden heart


"බෙල්ලෝ මුතු බෙල්ලෝ" ඒ ගීතයෙන් පස්සෙත් හරි අහඹු විදිහට ගීත කිහිපයක් නිර්මාණය වුණා නේද?


ඔව්. එක ගීතයක් ජනප්‍රිය වෙලා බැහැනේ. ඒ නිසා මට තවත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න ඕන වුණා. ඒ කාලේ සිංහල සංගීතය අහනවා අඩුයි. වැඩිපුර බටහිර සංගීතය තමයි ඇහුවේ. එල්විස් ප්‍රේස්ලිගේ Wooden Heart ගීතය හරිම ජනප්‍රියයි. මම මේක මගේ යාළුවා බැසිල්ට අහන්න දීලා “ඕකටත් සිංහල වචන ටිකක් දාලා දීපන් මම රෙකෝඩ් කරන්නම්.. කියලා දුන්නා. ටික වේලාවකින් බැසිල් 


පෙම් ලොකේ පුරා ඔබ සෙව්වා සුදා

මල්මාලා ගෙනා පළදින්න ගෙලේ මාලා


කියලා ලියලා දුන්නා. ඒකත් ලියවුණේ සල්ගාදු හෝටලේදීම තමයි. ඒකත් හොඳට ජනප්‍රිය වුණා. ඊට පස්සේ මම එතනිනුත් නැවතුනේ නැහැ. බටහිර තනුවකට සිංහල වචන දාලා මුලින්ම ගුවන් විදුලියේ ගීත ගයපු මුල්ම ගායකයා වුණේ මමයි. බොහෝ දෙනා හින්දි තනුවලට ගීත නිර්මාණ කළාට මම බටහිර තනුවලට තමයි වැඩිපුරම ගීත නිර්මාණය කළේ. මේ ගීතයට අම්මෝ පුදුමාකාර ප්‍රතිචාර ලැබුණා. ගුවන් විදුලියෙන් දිගටම ප්‍රචාරය වෙන්න පටන් ගත්තා.

(උපුටා ගැනීමකි)











Thursday, December 10, 2020

ඉස්සර විදියට

ඉස්සර විදියට දුවපැන යන එක

මතකද තහනම් කරපු දිනේ...

සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද

කියන්න පොඩි හාමුදුරුවනේ...


කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්

රෑ තුන්යම රජ මඟුල් කතී..

පාළුව දැනුනම මෙරු රැළ තරහින්

වැලි මාලිග වට කුලල් කති...


ඉස්සර විදියට...//


රෑ කල තනි යහනේ සැතපෙන විට

දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..

බුදු බණ එතකොට සිහියට එනවද

කියන්න පොඩි හාමුදුරුවනේ...


ඉස්සර විදියට...//


ගායනය - එඩ්වඩ් ජයකොඩි 

පදරචනය - අමරසේන කංකානම්ගේ 

සංගීතය - රෝහණ වීරසිංහ 


ඉස්සර විදිහට දුව පැන යන” ගීතය නම් අදටත් කා අතරත් ජනප‍්‍රියයි?

 

අමරසේන කංකානම්ගේ අදහස් දක්වමින් "ඒකත් එඩ්වඩ්ගේ ඉල්ලීමට ලියූ ගීතයක්. දවසක් ඔහු මට කිව්වා පොඩි හාමුදුරු කෙනෙක් ගැන ගීතයක් ලියලා දෙන්න කියලා. මං ඉතිං ඒ කාලේ මට තේරෙන විදිහට ගීතයක් ලියලා දුන්නා. එඩ්වඩ් මොකද කළේ මේක බලලා විසි කරලා දැම්මා මේවා සින්දුද කියලා. මට හරි ලැජ්ජයි. දැන් ඉතිං මට අභියෝගයක් තියෙනවා. මේක හොඳ නිර්මාණයක් කරන්න වෙනවා මෙයාගේ ඉස්සරහා. මේ නිර්මාණය කරන්න බැරි උනොත් මට ලැජ්ජයි. ඒක නිසා මං හිතලා හිතලා පළවෙනි පද දෙක ලියලා, මං හාමුදුරු කෙනෙක් ළඟට ගෙනිහිල්ලා මං ඇහුවා මෙහෙම මේ පොඩි හාමුදුරුවන්ට අවවාද අනුශාසනා දෙනවා නේද කියලා මහණ උනහම. ඔව් එහෙම තමයි කිව්වා. ඊට පස්සේ මම ගීතය නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ ගීතය මං විසි පාරකට වැඩිය ලිව්වා. මොකද අර ලැජ්ජාවෙන් බේරෙන්න ඕන හින්දා. ලියලා ලියලා මගේ හිතට ඇති වෙනකං, කම්මැලිකම කියන එක අයින්කරලා දාලා මම ලිව්වා. ලියලා ලියලා ඉවරවෙලා මේ දැන් ජනප‍්‍රිය වෙලා තියෙන ගීතය මං දුන්නා එඩ්වඩ්ට. ඒක බලලා මුකුත් කිව්වේ නෑ වචනයක්වත් කතා කළේ නෑ එහෙමම නාවලා සාක්කුවේ දා ගත්තා. හැබැයි මට මෙහෙම කතාවක් කිව්වා. මං අපේ හාමුදුරුවන්ටත් දුන්නයි කිව්වා හාමුදුරු කෙනෙක් ගැන ලියන්න කියලා සිංදුවක්. බලමු කිව්වා දෙකෙන් කෝකද හොඳ කියලා. මං කිව්වා ඔව් හොඳ එකක් ගන්න කියලා. කොහොම හරි ඊට මාසෙකට විතර පස්සේ එඩ්වඩ් ඇවිත් මට කිව්වා අන්න සිංදුව කළා; හරි ලස්සනයි කියලා. ඇත්තෙන්ම ඒ ගීතයේ පොඩි හාමුදුරුවන්ගේ පුංචි කාලේ තමන්ගේ ජීවිතයේ තියෙන දහසකුත් දුක් කම්කටොලූ තමයි කියවෙන්නේ. 83 සැප්තැම්බර් මාසේ දහඅට වෙනිදා මේක ලියලා තියෙන්නේ. හරිම ලස්සනට සංගීතය මුසු කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ කැසට් පටයේ නමත් ගීතයේ නමින් ඉස්සර විදිහටමයි. 

අපි මේ අහන්නේ ඔබ ලියූ සාර්ථක වූ ගීතය. එඞ්වඞ් ජයකොඩි විසිකර දැමූ ගීතයේ පද මතකද? 

ඒක මතක නෑනේ දැන් මට. හැබැයි මේක ප‍්‍රථම පුරුෂයෙන්නේ ලියන්නේ. අර විසි කරපු එක ලිව්වේ හාමුදුරු කෙනෙක් කියන හැටියට උත්තම පුරුෂයෙන්. ඒක එච්චර රසවත් වුණේ නෑ. ඒකනේ එඩ්වඩ් ඇහුවේ මේවා සිංදු ද කියලා. මට මතකයි මගෙත් එක්ක හිටියා පොඩි හාමුදුරු කෙනෙක්. ඉස්කෝලේ හතරේ හෝ පහේ ඉන්න කාලේ වෙන්න ඕන. අති දක්ෂ හාමුදුරු කෙනෙක්. ඒ කාලේ පොඩි හාමුදුරුවරු පන්සලේ ඉඳන් බණ දහම් පොත් කට පාඩම් කරනවා, පාලි හා සංස්කෘත භාෂා වර නගලා කට පාඩම් කරනවා, තාලයට පිරිත් පොත් කියනවා, තාලයට ගාථා කියනවා, මේවනේ ඒ කාලේ කළේ. ඒ කාලේ ඒ පොඩි හාමුදුරුවොයි මායි ඉස්කෝලේ ඇරිලා ආවම අහල පහල පොඩි පොඩි ලඳු කැලෑවල දන්, කරඳ, බෝවිටියා, කිරිල්ල කඩන් කනවා. මට ඒ පුංචි කාලේත් මතකයට ආවා මේ ගීතය ලියද්දි. අනික අපි දන්නවනේ පොඩි හාමුදුරුවන්ට තනියෙන් වැඩ කර ගන්න බෑ. නහයෙන් අඬ අඬ පොඩි කාලේ ජීවත්වෙන ආකාරය දන්නවනේ. අම්මලා ළඟ හිටියා නං කවදාවත් අම්මලා ඔය තත්ත්වෙට මේ දරුවාව පත් කරන්නේ නෑනේ. අවුරුදු දහහතර පහළොව විස්ස උනත් දරුවන්ගේ සේරම දේවල් අම්මලා කරලා දෙනවා. පන්සලට ගියාම තමන්ම තමයි තමන්ගේ හැමදේම කරගන්න ඕන. ඉතිං ඒක නිසායි ඒ අන්තිම පදේ ලියන්නේ බුදු බණ එතකොට සිහියට එනවද කියන්න පොඩි හාමුදුරුවනේ කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින)




Monday, December 7, 2020

රජ මැදුරක ඉපදී ...

රජ මැදුරක ඉපදී සිටියා නම්

නුඹත් රජෙකි පුතුනේ

හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි

අද නුඹෙ සිරියහනේ...

හීනෙන් හිනා නොවී

මා හඬවාපන් මේ රෑ යාමේ...


පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලී

දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී

අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ

හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...


රජ මැදුරක...//


ඉද හිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ

දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ

ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ

හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...


රජ මැදුරක...//


ගායනය: විශාරද මාලනී බුලත්සිංහල

ගී පද: ලූෂන් බුලත්සිංහල

සංගීතය: එච්. එම්. ජයවර්ධන 


රජ මැදුරක ඉපදී සිටියා නම් ගීතයට පදනම් වූ ඔබේ ළමා කාලයේ මතකය?

ඉස්කෝලේ ඉන්දැද්දී අපි ගීත නාට්‍ය එහෙම කරනවා. ඒ කාලේ ජනප‍්‍රිය ගීතවලට මම මගේ වචන දානවා. ඒවා සභාවේ කියනවා. එහෙම තමයි මං ගීත රචනය මුලින්ම කළේ. ඒ එක්කම රඟපාන්න මං ආසයි. ඉතිං මාත් එක්කම හිටියා ලයනල් රණසිංහ කියලා මගේ යාලූවෙක්. බොහොම දක්ෂයෙක්. මට මතකයි ගුවන්විදුලියේ එයාට තිබුණා සම්බන්ධයක්. ඉතිං ඒ ලයනල් රණසිංහ තමයි මාව ගුවන්විදුලියට පළවෙනි වතාවට එක්කං ගියේ. ඒ කාලේ දරිද්‍රතාවය හුඟක් තදින් තිබුණා. තාත්තා විතරයි හම්බ කළේ. අපේ කියලා කිසිම දෙයක් අපිට තිබුණේ නෑ. අපේ තාත්තා තද බල සමසමාජ කාරයෙක්. එයා බොහොම තද විදිහට වෘත්තීය සමිති කටයුතු කළා වරායේ. ඒවත් අපිට බලපෑවා ජීවිතේට. දුප්පත්කම තමයි ඉතිං අපි වැඩියෙන්ම ඇසුරු කරපු දේ. රජ මැදුරක ඉපදී සිටියා නම් අපේ කතාව. එක්තරා මොහොතක තාත්තා ලෙඩ දුක්වලට ගොදුරු වෙනවා. ඒ ඔක්කොම මැද්දේ අපි බොහොම අමාරුවෙන් ඉහ ගහගෙන හිටියේ. ඒ කාලේ තිබුණා රෝහල් ලොතරැයිය කියල එකක්. අපේ තාත්තා ඉතිං දුප්පත්කම හින්දා වෙන්නැති හැමදාම ඒ කාලේ ලොතරැයියක් ගන්නවා. එක සැරයක් මං අපේ ලොකු නැන්දගේ ගෙදර ඇවිත් ඉන්නකොට තාත්තා ඇවිල්ලා මට චෙක් එකක් පෙන්නලා මගෙන් ඇහුවා මේ ගාණ කියන්න පුළුවන්ද උඹට කියලා. මං කිව්වා රුපියල් තිස්දාස් එකසිය විසි පහයි කියලා. අපේ තාත්තට අර ලොතරැයියේ දෙවැනි තෑග්ග ඇදිලා. ඉතිං අපි රත්මලානේ හිටපු අපේ ඒ දරිද්‍රතාවයෙන් මදක් මිදිලා පාමංකඩට ආව. මේ අත්දැකීම් තමයි ගීයේ තියෙන්නේ. 

ලූෂන් බුලත්සිංහල තම “සෙවණැලි නොමැකේ නම්” ගීත සංග්‍රහයේ එක් පිටුවක මෙලෙස අතීත කතාවක් දිග හරියි. මාලනී බුලත්සිංහල තම පළමු ගුවන් විදුලි සරල ගී වැඩසටහනට සිංදුවක් ඉල්ලා සිටින්නේ ලූෂන් බුලත්සිංහලයන් ගෙනි. “රජ මැදුරක ඉපදී සිටියා නම්” යනු එම ගීතය බව පවසන ලූෂන් මෙසේ විග්‍රහ කළේය.

“රජ මැදුරක ගීයට මාලනී වගේම එච්. එම් ජයවර්ධනත් ආදරය කළා. හැමවෙලාවෙම ඒ ගීතයට ඔහුගේ ඇති ආධ්‍යාත්මික සමීපතාවය ගැන උද්දාම වුණා. දුප්පත්කම අපි තුන්දෙනාගේම ජීවිත වලට විශාල ආලෝක දහරාවක් එල්ලකොට තිබීම මේ උද්දාමයට හේතුවයි. අපේ බාල සන්දියේ දී දුප්පත්කම එක්ක අපි සෙල්ලම් කළ හැටි තමයි මේ ගීතයේ අන්තර්ගත වෙලා තියෙන්නේ”


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




සොඳුරු අතීතයෙ ...

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී

මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී

ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි

ආදරයෙන් හමුවෙන්න ඇතී...


කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද

භවය පුරා ළඟ ඉන්න ඇතී

එදත් මගේ සිත අද මෙන් කැපවී

ඔබේ නමට පුද දෙන්න ඇතී...


නොසැලී නොතැවී බාධක හමුවේ

ආ හින්දා ජය ගන්න ඇතී

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමු වෙන්න ඇතී


ගී පද - මාලනී ජයරත්න

තනුව - රෝහණ වීරසිංහ

ගායනය - ටී. එම්. ජයරත්න


මේ සිංදුව ලියුවේ මම බිරිඳක්‌ වූ පසුවයි. ඒ අසූ දෙක අසූ තුන කාලෙදි. අසූ හතරෙදි ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට තමයි මගේ මහත්තයා මේ සිංදුව ගායනා කළේ. රෝහණ වීරසිංහ තනුව හැදුවා. ආදරය කියන්නේ පූජාවක්‌. ඒ පූජාව පිවිතුරු විය යුතුයි. සොඳුරු අතීතය කියලා මම අදහස්‌ කළේ යහපත් අතීතය. යහපත්වූ අතිතය හරිම සුන්දරයි. ගී පද රචිකාව පැවැසුවා.

ආත්මයෙන් ආත්මය එකට බැඳී ඉන්න බොහෝ පෙම්වතුන්. පෙම්වතියන් පෙරුම් පුරනවා. අඹුසැමියනුත් එහෙමයි. ඒත් ඒ විදිහට සංසාරෙන් සංසාරෙට එක්‌ වෙන්න වාසනාව ලැබනේනේ කීයෙන් කී දෙනාටද?

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී

මගෙ හද තුල ඔබ ඉන්න ඇතී

ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි

ආදරයෙන් හමුවෙන්න ඇතී


අපි අද ආදරෙන් බැඳිලා. මේ බැඳීම සංසාරගත පුරුද්දක්‌ වෙන්නැති. ඉහත ආත්මෙදිත් අපි දෙන්නා එකට ඉන්න ඇති. සමහරවිට ආත්ම ගණනාවක්‌ මගේ පිවිතුරු පැතුම වෙන්න ඇත්තේ ඔයාම තමයි. ඒ අතීත ආත්මවල අපේ ජීවිත අතිශයන්ම සුන්දර වෙන්න ඇති. ඒ හින්ද තමයි අපි ආයෙත් මේ ආත්මෙදි ආදරෙන් එකතුවෙන්න ඇත්තෙ.

බිරිඳකගේ සුන්දර පැතුමක්‌ ගයන්නේ ඇගේම සැමියා. මාලනී ජයරත්ත ගීපද රචිකාව. ගීය ගැන දැක්‌වූ අදහස මේ.

මේක පෙම්වතෙක්‌ පෙම්වතියත් අතර ඇතිවන කතාවක්‌ නොවේ. බිරිඳක්‌ සහ සැමියෙක්‌ අතර බැඳීමක්‌. ඕනෑම පවුලක වගේම මටත් ප්‍රශ්න තිබුණා. ඒත් ඒවා ජයගත් බව මට දැනුනා. ආදරය තුළ හිඳිමින් ඕනෑම ප්‍රශ්නයක්‌ ජයගන්න අපිට පුළුවන්. ප්‍රේමය කියන්නේ බැඳීමක්‌. ඒ ගැන තමයි මේ ගීයෙන් මම කියන්නේ.


කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද

භවය පුරා ළඟ ඉන්න ඇතී

එදත් මගේ සිත අද මෙන් කැපවී

ඔබේ නමට පුද දෙන්න ඇතී


ආදරේ කරමින් යන ගමනේදී ඉවසීම අවශ්‍යයි. කැපවීම අවැසියි. එහෙම යන ගමනේදී සෝ සුසුම්, කඳුළු ආගන්තුක නෑ. සතුට සිනාව. ඒත් එහෙම තමයි. ඉතින් විටෙක කඳුළු සලමින්. සුසුම් හෙළමින් තවත් වෙලාවක සතුටු වෙමින් සිනාසෙමින් මේ භවය පුරාම ඔයා මා ළඟ ඉන්න ඇති. මේ භවයෙදි වගේම ඒ භවයෙදිත් මම ඔයා වෙනුවෙන්ම කැප වෙන්න ඇති.

නොසැලී නොතැවී බාධක හමුවේ

ආ හින්දා ජය ගන්න ඇති

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමු වෙන්න ඇතී


ආදරවන්තයන්ට, අඹුසැමියන්ට තරම් බාධක තවත් කාටද. ඒත් අපි ඒ බාධක හමුවේ නොසැලී සිටියා. හරියට මහ සාගරය මැද තියෙන ගල්පරයක්‌ වගේ. සැඩ සුළඟ කොතරම් බිහිසුණු වුණත්, රළ පහර කොතරම් ප්‍රචණ්‌ඩ වුණත් ගල්පරය සැලෙන්නේ නෑ. ඒ වගේ කිසිම බාධකයකට බැරිවුණා අපව වෙන් කරන්න. ඒ නිසාම තමයි අපේ පෙම ජයගන්න ඇත්තේ. බුදු හාමුදුරුවෝ මේ සංසාරෙදි නිවන් දකිනතුරු යසෝදරාවන්. උන්වහන්සේ පසුපස ආත්ම ගණනාවක්‌ ආවේ හරියට හෙවැනල්ලක්‌ වගේ. ඒ වගේම මේ හැම ආත්මෙකදිම අපි දෙන්නට අපි දෙන්න පුරුදුයි. අපි අද වාගෙම ඒ හැම ආත්මෙකදිම ආදරයෙන් එකතුවෙලා ඉන්න ඇති.

ආදරය, සෙනෙහස පූජාවක්‌. ඒ පූජාව පිවිතුරු විය යුතුයි. ඕනෑම දුකක්‌ කරදරයක්‌ විඳගැනීමට විශේෂයෙන්ම බිරිඳකට පුළුවන් වෙන්න ඕන. එවිට ජිවිතය ජයගන්න පුළුවන්. මාලිනි ජයරත්න පැවසුවා.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)




Thursday, December 3, 2020

පාරු පාලමෙන් ...

පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා

ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා

සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා

කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා


කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා

බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා

කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා

සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා


මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා

නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා

ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා

ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා


පාරු පාලමෙන්...


ගායනය : සුනිල් එදිරිසිංහ 

පද රචනය: අශෝක කෝවිලගේ

සංගීතය: රෝහණ වීරසිංහ

සුනිල් එදිරිසිංහයන් විසින් ගයන ලද ‘පාරු පාලමෙන් එගොඩට ගැල්පේළිය සැපත් වුණා‘ ගීතය නිර්මාණය වූ ආකාරය සම්බන්ධයෙන් අශෝක කෝවිලගේ අදහස් දක්වමින් "මං එක්තරා දවසක ප්‍රංශ තානාපති කාර්යාලයට සම්බන්ධ ආයතනයක තිබුණු ඡායාරූප ප්‍රදර්ශනයක් නරඹන්නට ගිය මොහොතකදියි. විදෙස් ඡායාරූප ශිල්පියකු විසින් ගත් ඡායාරූප ප්‍රදර්ශනයක් වූ එහි පැරැණි කොළඹ තේමාව කරගත් අපූරු ඡායාරූප ගොන්නක් තිබුණා. වර්ෂ 1900 හා 1910 අතර කාලවකවානුවේ කොළඹ නගරයේ දසුන් මේ ඡායාරූප පෙළ අතර තිබුණා. ඒවා මගේ හිතට තදින්ම කාවැදුණා. පාරු පාලමෙන් ගීතය බිහි වුණේ ඒ අනුවයි. එය හරි අපූරුවට සුනිල් එදිරිසිංහයන්ගේ හඬට ගැළපුණා. ඊටම සරිලන අපූරු සංගීත සංයෝජනයක් රෝහණ වීරසිංහයන් නිර්මාණය කළා."


(උපුටා ගැනීමකි)




Monday, November 30, 2020

අවන්හලක ඉපදී...

අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං //


මෙහි ඇති සුළු කලක විනෝදේ

මත දෙවියන් යැයි රඟන මෙවේලේ

මළ පසු මට හිමි සොහොන් කොතේ

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ


අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං


අමතක කර ආදර ලෝකේ

සැමදා බොමු මේ ජය පානේ

ජීවත් වන මේ සුළු කාලේ

මගෙ මිතුරා වේ මධු පානේ

මගෙ මිතුරා වේ මධු පානේ


අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං //

මේ අවන්හලේ මං


ගායනය - ෂෙල්ටන් මුතුනමගේ

පදරචනය - ජයන්ත ප්‍රනාන්දු

සංගීතය - ජයන්ත ප්‍රනාන්දු


අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ නමින් ෂෙල්ටන් ගායනා කළ, ගීතය ගැන චෝදනා එල්ල වුණා නේද?

‘ඒ ගීතය නැව්වල වැඩකරපු මගේ මිතුරෙකු වන ජයන්ත ප්‍රනාන්දු ලියල හදාගෙන කියපු ගීතයක්. පස්සෙ මම ඉල්ලගෙන ගායනා කළා. මම ගායනා කළාම ‍රසිකයන් අතරට ගියා. සමහරු මේ ගීතයේ අදහස ගැන විවිධ මත පළ කරල තිබුණ තමයි. ඒත් මධුලෝලියකුගේ සිතුවිලි කියවෙන ගීතයක් හැටියට මේ ගීතයට කැමති පිරිසක් ඉන්නවා.’

ඔය ගීතය මගේ අදහසක්වත් මම කියලා ලියවගත්ත එකක්වත් නෙවෙයි. ගීතය ගැයුවාට ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් හෝ කැමැත්තකුත් නෙවෙයි. ඇත්තටම මෙය මුළු ජීවිතයම මීවිත කියලා හිතන කෙනෙක්ගේ සිතුවිලි ගැන කියවෙන ගීතයක්. මෙය ලිව්ව ජයන්තගේ මාමා  කෙනෙක් ඉන්නවාලු "කෙනත්" කියලා. ඔහු මත්පැන් තමන්ගේ ජීවිතය කියලා හිතන කෙනෙක්ලු. ජයන්තගේ මේ මාමාගේ ක්‍රියාකලාපය මුල්කරගෙන තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. මේ ගීතයේ "මේ සසරේ පින්කර ඇති  එකම කෙනා මං" කියන පදවල "කෙනා" නමින් හඳුන්වලා තියෙන්නේ කෙනත් කියන නම කෙටි කරලයි. මොකද බොහෝ දෙනෙක් ඔහුව අමතලා තියෙන්නේ "කෙනා" කියලයි. මේ කෙනත් මාමා තමන්ගේ ජීවිතය මත්පැන් කියලා හිතපු පුද්ගලයෙකු ලු. 

මේ ගීතය රසිකයන් අතරට වේගයෙන් ගියා. බොහෝ දෙනා හිතුවේ මම මත්පැන්වලට ගිජු වෙලා ඒක ගැන සින්දුවක් කියනවා කියලා. නමුත් ඇත්ත කතාව තමයි මේක.


(උපුටා ගැනීම - සාරවිට ශාන්ත කුමාර විතාන) 




නින්ද නැති රැයේ ...

නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


කිළිපොලා සැළී යමින් නොහිමි සීතලේ

තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


ගායනය - ගුණදාස කපුගේ

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

තනුව - ගුණදාස කපුගේ


"නින්ද නැති රැයේ" ගීතය පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් අදහස් දක්වමින්.... 

මාව මොනරාගලට මාරු කළාට පස්සේ මං හිටිය නවාතැන ඉස්සරහට පේනවා මරගල කන්ද. ඒ කන්ද මීදුමෙන් වැහිලා යනවා. ඒක උඩින් හඳ පායනවා. පොද වැස්සක් වැටෙනවා. මට ඉතිං පරිසරයත් එක්ක මතක් වෙනවා ඇය. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නේ ඇයිද ප‍්‍රථම පේ‍්‍රමයේ. හඳ කඳුළු මීදුමක හැංගිලා අඬනවා. මං කල්පනා කරනවා ඒ ඇය තමයි. ගෙදර තනිකරලා දාලා ආපු ඇගේ ඒ නිල් ඇස් වල එළිය කාන්තිය නිවිලා යනවා. ඒ කියන්නේ අඬන්න සූදානම් වෙනවා. වැහි බිංදු වැටේවි, ඔන්න අඬන්න පටන් ගන්නවා. තොල් සැලෙන්න පටන් ගන්නවා. මාසෙකට විතර සැරයක් ඇවිල්ලා ආයේ ඉක්මනටම මං ආයේ මගේ සේවයට යන්න පිටත් වෙන්න ඕන ආයේ අවදිවෙලා පහුවෙනිදා. 

ඇය වෙනුවෙන් හුඟක් කවි ලියා තියෙනවා ගීතවලට වඩා. මේක විවාහයට පෙර ලියවුණු ගීතයක්.

මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරණයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහයකට විතර පස්සෙ නැවත පටිගත කරනවා. ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිටපිටම වසර 03 ක් පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි. 

(උපුටා ගැනීමකි)







පින්න මලේ සුද ...

පින්න මලේ සුද ඇන්න ගිහින්වද

මුහුණ පුරා පෙම් පිරිලා

ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර

කන්ද කපා හඳ ගෙට එන්නා //


දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්

අන්න බලාපන් අත වනතේ

මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට

ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ


පින්න මලේ....


ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ

එන්නෙ අළුත් අවුරුදු කාලේ

ගන්න එපා පර දේස සිරිත් නෙක

මේක අපේ සිංහල දේසේ


පින්න මලේ....


ගායනය - එඩ්වඩ් ජයකොඩි

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - අමරසේන කංකානම්ගේ


 "පින්න මලේ සුද" පේ‍්‍රම ගීතය පිළිබඳව අමරසේන කංකානම්ගේ අදහස් දක්වමින්......

 

එඩ්වඩ් දවසක් මට කිව්වා ”අමරේ, මට කැසට් එකක් කරන්න නං ඕනකම තියෙනවා. මට සිංදුවක් හෝ දෙකක් දෙන්න” කියලා. මං ඇත්තමයි එඩ්වඩ්ට කිව්වා අනේ එඩ්වඩ් මං සිංදු ලියලා නං නෑ, කැසට් ඒවා මේවා ගැන මට කිසි අවබෝධයකුත් නෑ කියලා. ඒ ගමන එඩ්වඩ් කිව්වා කමක් නෑ කමක් නෑ ඔයාට ලියන්න පුළුවන්. මං දන්නවා ඔයාට ලියන්න පුළුවන් බව. බැරිඋනොත් අපි හරිගස්සගමු කෝ කියලා, කොහොම හරි සිංදු දෙකක් ලියලා දෙන්න කිව්වා එයාගේ කැසට් එකට. අන්තිමේදී මම සිංදු දෙකක් ලිව්වා. එකක් තමයි පින්න මලේ කියන ගීතය. අනිත් ගීතය තමයි නිල් නුවන් කියන ගීතය. මේ ගීත දෙකේම සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ගීත දෙකම ජනප‍්‍රිය වුණා.

 

ගීතය ලියද්දි නිකමටවත් හිතුනද මෙතරම් ජනප‍්‍රිය වෙයි කියලා? 

අනේ නෑ. මොකද මං දන්නේ නැහැනේ ඉතිං ඇත්තටම ගීතයක තියෙන්නා වූ ක‍්‍රමවේදයන් මොකක්වත්. අහපු පළපුරුද්ද විතරයි මට තිබුණේ. කවි ලිවීමේ හැකියාවක් තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. එඩ්වඩ් ආවට පස්සෙවත් මං ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට එහේ සෑහෙන ගායකයෝ හිටියා. මර්වින් පෙරේරා, ප‍්‍රියා සූරියසේන, ලීලානන්ද රත්නායක වගේ අය. නමුත් කවදාවත් ඒ කාටවත් මං සිංදු ලියලා දුන්නේ නෑ අනේ මේක කියන්න කියලා. එඩ්වඩ් මගෙන් බලෙන් ඉල්ලා ගත්තා. ඒක හින්දා තමයි බලෙන් මට ලියන්න වුණේ. මං එඩ්වඩ් ගෙන් ඇහුවා මොනවගේ ගීත ද ඕන කියලා. ඔයා නිදහසේ ලියන්න; මට ඒකෙ කිසි ප‍්‍රශ්නයක් නෑ කියලා කිව්වා. පින්න මලේ ගීතය මම එහෙම නිදහසේ ලියපු ගීතයක්. නිල් නුවනුත් එහෙමයි. කෙටියෙන්ම කියතොත් එඩ්වඩ් නැත්නම් මං කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නෑ. 

මං දන්නා ළමයෙක් හිටියා තමන්ගේ ජීවිතේ පිළිබඳ හරිම නොසැලකිලිමත්. හරියට අඳින්නේ නෑ. හරියට හිස පීරන්නේ නෑ. තරුණ ළමයෙක්. නමුත් පසු කාලයකදී මම එයාව දැක්කා බොහොම හොඳට ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. මට හිතුනා ඇත්තටම මේකට මොකක් හරි හේතුවක් තියෙනවා කියලා. මෙයා මොකක් හරි පේ‍්‍රම සම්බන්ධතාවයක පැටලිලයි කියන හැඟීම මගේ ඔලූවට ආවා. මං ඒ ළමයාගෙන් ඇහුවේ නෑ ඔයා මොකද මෙහෙම ඉන්නේ කියලා. නමුත් මට එහෙම හිතුනා. ඒ සිතුවිල්ල තමයි ඔය ගීතයට හේතු වුණේ. 

පින්න මල කියන උපමාව හුඟ දෙනකුට හුරු නෑ. හුඟ දෙනෙක් හිතන්නේ අර කනතුවල අරහේ මෙහෙ තියෙන පින්න මල් කියලා. නෑ එහෙම පින්න මලක් නෙමෙයි මේ. මේක නෙලූම් මලක් වගේ. හරිම සුවඳයි. වෙල් දෙණිවල තමයි මේ මල පිපෙන්නේ. පින්න මල කොයි තරම් සුදුද කිව්වොත් පෙත්ත වටේ ලා රෝස පාටක් තියෙනවා. හැන්දෑ වෙනකොට ඒක පරවෙනවා. ඒ තරම් ලස්සනයි. මං ඒක තමයි උපමාවට ගත්තේ ඒ පින්න මල. අනික ඒ ගීතය ලියනකොට ගමේ මිනිස්සුන්ගේ සිරිත් විරිත්, ඒවත් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඇවැස්ස නෑකම. ඇවැස්ස මස්සිනා තමයි මේ ගීතය කියන්නේ, නෑනට.

 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




Monday, November 23, 2020

රූ රැසේ අඳිනා ...

රූ රැසේ අඳිනා ලෙසේ අත්

ලෙළ දි දී විදුලිය පබා

රන් රසේ එක් වන ලෙසේ වෙණ

නාදනූ පා තබ තබා..


කම් පසේ දෙන සැර ලෙසේ දෙස

බල බලා නෙතඟින් සබා..

මම් කෙසේ පවසමි එසේ වර

සුර ළඳුන් දුන් රඟ සුබා....


පුන් මදාරා මල් දමින් මුදු

දිගු සුනිල් වරලස ගොතා..

මන්මදා කිතු ලිය ලෙසින්

උරතුර සරා දිලි මුතු ලතා....


මන් නදා වන මිණි මෙවුල් නද

වෙණ නදින් එක්කොට ඉතා..

උන් එදා දුන් රඟ දුටොත් තව

සක් සැපත් කවරෙක් පතා...


පිපි සමන් කුසුමන් පටින් තන

රන් හසුන් මෙන් මන් බැඳේ..

ලඹ සවන් දිගු රන් පසින් දන

නෙත් නුවන් බඳිමින් තදේ....


මඳ පවන් වැද ලෙළ පහන්සිළු

මෙන් රැඟුම් දෙන රන් බඳේ...

දිලි ඔවුන් රූ සිරි නුවන් වන්

බඹ වුවත් දැහැනින් මිදේ


ගායනය - සුසිල් ප්‍රේමරත්න හා ලතා වල්පොල 

සංගීතය - සුසිල් ප්‍රේමරත්න 

ගුත්තිල කාව්‍යය ඇසුරින් නිර්මාණය කළ ගීතයකි.


සුසිල් ප්‍රේමරත්න මහතා කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි ඉතාම දක්ෂ ගායකයෙක්. එතුමාගේ පියා ලංකාවේ බිහිවූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීයෙකු වූ සාර්ලිස් මාස්ටර්. මේ ගීතය ගයන ලතා වල්පොලගෙ මුල්ම නම රීටා ජෙනිවීව්. ගායන කටයුතු වලට ගැලපෙන විදිහට ඇයට ලතා කියල නම දාල තියෙන්නෙත් සුසිල් ප්‍රේමරත්න මහතා විසින්. 

මේ ගීතයෙන් කියවෙන්නෙ ගුත්තිල-මූසිල වීණාවාදන තරඟයෙදි ගුත්තිල ගුලි තුනක් උඩ දැම්ම හා දිව්‍ය ලෝකයෙන් මිහිපිටට පැමිණෙන දිව්‍යාංගනාවන් දැක්වූ රැඟුම් විසිතුරු වර්ණනාවයි.

අසූව දශකයේ රූපවාහිනීයෙන් දක්නට ලැබුණු සුසිල් ප්‍රේමරත්න රූ රැසේ අඳිනා ලෙසේ ගීතය ගායනා කරමින් දෙවඟනක් චිත්‍රයට නඟන අයුරු එවක අපගේ සිත්ගත් මතකයේ රැඳුණු දසුනක්.  

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා

රන් රසේ එක් වෙණ ලෙසේ වෙත් නාද නූපා තබ තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් පබා

මම කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා.....


මේ කවිය තරම් ජනප්‍රිය වූ තවත් කවියක් පුරාණ කාව්‍යවලීන්හි ඇත්දැයි සිතීමද දුෂ්කරය. එපමණ අලංකාර වූ මේ කවිය ඇත්තේ, නොපරදින මෙවන් කවි 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යයේය. පන්සිය පනස් ජාතක කථා වලින් 235 වන ජාතකය වන ගුත්තිල ජාතකය ඇසුරෙන්. "ගුත්තිල කාව්‍යය" රචනා කරනු ලබන්නේ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, 1450 දී පමණය.

පෘතුගීසී ආධිපත්‍ය පැතිරයමින් හා දේශපාලන ප්‍රවාහය අවුල් වියලු වෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම යුගයක් වන කෝට්ටේ යුගය එකළු කරමින් ස්වර්ණමය සාහිත්‍ය යුගයක් බිහිකළ මෙකල සාහිත්‍ය නිර්මාණ අතරින් මුල් තැනක ගුත්තිල කාව්‍ය වැජඹේ.

තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පරිවේණාධිපතිකම දැරු ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගෝල නමක් වූ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, "ගුත්තිල කාව්‍ය" රචනා කරනු ලබන්නේ තම ගුරු හිමියන් සමඟ වූ ඇතිවූ ආරවුලකදී, කොපමණ ආරවුල් පැමිණීයද තමන් ගුරුන් වහන්සේ අභිබවා නොයන බව පෙන්වා දීම සඳහායැයි මතයක් පවතී.  

රාහුල වෑත්තෑවේ ගුරු ගෝල සම්බන්ධය, වෑත්තෑවේ හිමිගේ සාමනේර අවධියේ සිටම ඉතා ප්‍රබලව පැවතුනි. දෙදෙනා අතර විශාල වයස් පරතරයක් ද නොතිබිණී. එය විදාගම මෛත්‍රී හා රාහුල අතර පැවති ගුරු ගෝල සම්බන්ධය තරම්ම දැඩි විය. තම ගෝලයා දිනෙන් දින ශාස්ත්‍ර දියුණුවට පත් වන අයුරු දුටු රාහුල හිමිද මහත් සතුටට පත් විය. විජයබා පිරිවෙනේ අධිපති තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ප්‍රධාන ගෝලයා බවට වෑත්තෑවේ හිමි නිරායාසයෙන්ම පත්වීම පිළිබදව රාහුල හිමිගේ අනෙකුත් ගෝලබාලයන්ගේ ඉරිසියාවට හේතු විය. රාහුල හිමි හා වෑත්තෑවේ හිමියන් අතර තිබූ අන්‍යොන්‍ය ගුරු ගෝල බන්ධනය බිඳ දැමීමට අනෙකුත් ගෝලයන් නිතර උත්සාහ කලහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනා අතර විරසකයක් ඇතිවිය. මෙහිදී රාහුල හිමියන් විසින් වෑත්තෑවේ හිමියන්ගේ ආහාර පිඟානේ කීප පළකට පළා මැල්ලුම් බෙදීමෙන්, පල නොකියා පළා බෙදුවේ යැයි කියමනක්ද ඇතිවිය.

මේ තත්වය මත, තමන් කිසිවිටෙක ගුරුවරයා ඉක්මවා කටයුතු කරන බව සනාථ කිරීමට, වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය ලියා, ගුරු ස්වාමීන් වහන්සේට පිළිගැන්වීය. එහි ආරම්භය මෙසේ විය...


සියපින් සිරින් සරු

දෙතිස් ලකුණින් විසි තුරු

කෙලෙසුන් කෙරෙන් දුරු

වඳිම් මුනි උතුමන් තිලෝගුරු


කාව්‍ය දුටු සැණීන් ශාස්ත්‍රාණුකූලව, කාව්‍ය ඇරඹී ඇත්තේ වායු ගණයෙන් බව වටහා ගත් රාහුල හිමියන්ට, වෑත්තෑවේ හිමියන්ට සිවුර පමණක් නොව රට හැර යන්නටද සිදුවන බව ප්‍රත්‍යක්ෂ විය. ජනප්‍රවාදයේ එන්නේ තම ගෝල හිමිනම වූ වෑත්තෑවේ හිමි ලියූ ගුත්තිල කාව්‍යය බැලූ ගුරු හිමි වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් "වෑ වැත්තේ මේ වැත්තේ - නැව් නොනැගත්තේ (වෑත්තෑවේ මේ වතාවේ නැව් නොනඟීද?) යනුවෙන් ඇසූ බවය.

එලෙසම ග්‍රත්තිල කාව්‍ය රාහුල හිමියන්ට පිදූ වෑත්තෑවේ හිමියෝ, සිවුරු හැරදා - විදෙස් ගත වූ බව සඳහන්ය.  


(උපුටා ගැනීමකි)




මගෙ අමල් බිසෝ ...

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා

හොඳ පරිස්සමින් ඉඳපන්

මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ

නුඹ මූදුකරේ තනියෙන්


යස ඉසුරු අරන් සුදු මහත්වරුන්

ඒරොප්පෙ ඉඳන් ඇවිදින්

මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි

නුඹ නොදැක්ක සේ ඉඳපන්


මගෙ අමල් බිසෝ…


ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්

ගෙට එබී බලයි හොරැහින්

මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්

නුඹ හෝදිසියෙන් ඉඳපන්


මගෙ අමල් බිසෝ… //


ගායනය - සුනිල් එදිරිසිංහ 

පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ

සංගීතය - රෝහණ වීරසිංහ


 "මගේ අමල් බිසෝ” ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්.... 

විවෘත ආර්ථික ක‍්‍රමයත් එක්ක විදේශ සංචාරකයින්ගේ පැමිණීමත් එක්ක අපේ රටේ ඇතිවෙච්ච කලබගෑනි ප‍්‍රශ්න තිබුණා. මූහුදු බඩ පළාත්වල ඒ සංචාරක ව්‍යාපාරය නිසා ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවුණා. ඇතැම් වෙලාවට මත්කුඩු වගේ දේවල් නිසා. සමහර තැන්වල මේ ළදරු තවාන් කියලා වචනයක් අපේ සංස්කෘතියට එකතු වෙනවා. කුඩා දරුවන් එක තැනකට එකතු කරලා ඒ දරුවන් මුදලකට විකුණනවා සංචාරකයින්ට. ඒ කාලේ මාධ්‍යවල මේක ප‍්‍රචාරය වුණා කියවන්න ලැබුණා. ඉතිං එක අහලා මට ඇතිවෙච්ච හැඟීම තමයි මං ගීතයක් හැටියට ගොනු කළේ.

ගීතය ලියනකොට මට මතක් වුණේ අපි කුඩා කාලයේ අත්දැකපු ජනප‍්‍රවාදයේ එන කතන්දරයක්. ඒක තමයි අමල් බිසෝ කතන්දරේ. ගීතයේ හැටියට ගීතයේ ඉන්න පුද්ගලයා රට ගිය කෙනෙක්. මූහුදු බඩ පළාතක තමයි පවුලේ අනිත් උදවිය ඉන්නේ. රට ගියාට බයයි පවුලේ අයට අතවරයක් කරදරයක් වෙයිද කියලා. ඒක හින්දා ඒ රට ඉඳගෙන පවුල අමතා කියන ආමන්ත‍්‍රණයක් හැටියට තමයි ඒ ගීතය ලියවුණේ. ඒ දෙකම මං ඒකට සම්බන්ධ කරගත්ත. රෝහණ වීරසිංහ මේ ගීතය අවබෝධ කරගෙන ඉතා උචිත නාද මාලාවක් සකස් කළා. සුනිල් එදිරිසිංහ ඉතා හැඟීම්බරව ගායනා කළා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Wednesday, November 18, 2020

එගොඩ ගොඩේ මල් නෙලනා ...

එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ

මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ

එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ

නුඹ කාගෙද නුඹ කාටද මල් එතනෝ


දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා

දෙවැට දිගේ කලයට දිය ගෙන එනවා

ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා

පාළු කුඹුර නුඹ් හින්දම වපුරනවා

මගෙ පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා


කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා

පැදුරු වියා ලස්සන රටා මවනවා

අඳුර මකා හවසට හඳ පායනවා

සොඳුර නිසා ගමටම කිරි උතුරනවා

ප්‍රිය සොඳුර නිසා ගමටම කිරිඋතුරනවා


ගී පද - රවී රණසිංහ 

සංගීතය - මිල්රෝයි ධර්මරත්න 

ගායනය - පෝල් ප්‍රනාන්දු


ගී පදරචක රවී රණසිංහ මෙම ගීතයට පසුබිම පැහැදිලි කරමින්....


"ගොළු හදවත විවර කරන්න" ගීතයට පෙරාතුව පෝල් ප්‍රනාන්දුට නිර්මාණය කර දුන්නේ ‘මල් එතනෝ’ ගීතයයි. සැබැවින්ම මේ ගීතය පෝල්ගේ ගායන දිවියේ සුවිශේෂී කඩඉමක් කිව්වොත් ඒක වඩා නිවැරැදියි.

පෝල් මගේ හැකියාව දැනගෙන හිටියා. ඔහු නිතරම ‘ගැමි’ ශෛලියට ගීතයක් හදලා දෙන්න කියලා මට කියනවා. දවසක් අපි යාළුවෝ කට්ටිය එක්ක ඉන්න වෙලාවක කටුබැද්දේ මල්ලිකා හෝටලයේදී මම මේසෙට තට්ටු කරමින් මේ ගීතය කිව්වා. ඒක අහපු පෝල් එකපාරටම කිව්වා "අන්න මචං මට ඕනෑ සිංදුව" කියලයි. මේසෙට තට්ටු කරමින් පෝල්ට එදාම මම ඒ ගීතය පුහුණු කළා. පස්සේ ගීතය පටිගත කළා. පුදුම විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ‘බයිලා කුමාරයා’ හැටියට ප්‍රසිද්ධ වෙලා ඉඳපු පෝල්ගේ ගායන ශෛලිය එහෙම පිටින්ම කනපිට හැර වූ ගීතය එයයි

මේ ගීතයට පසුබිම් වූ "මල් එතනා" මගේ හදේ ඇඳුණු රුවක්. හැබැයි පුංචි අත්දැකීමක් අනුසාරයෙන් තමයි මේ ගීතය මගේ අතින් රචනා වෙන්නේ. එක්තරා අවස්ථාවකදී මම ගියා ඥාතියකුගේ තුන් මාසේ දානෙකට අම්බලන්ගොඩ පැත්තේ. දවස් කිහිපයක් මම එහේ නතර වෙලා හිටියා. ඒ පැත්තේ අය නාන්න යන්නේ වැවට. වැවේ ඕලු මල් පිරිලා, හරිම සුන්දරයි. දවසක් අපි කොල්ලෝ හතර පස් දෙනෙක් වැවට ගිහින් නාගෙන එද්දී, රේල් පාර දිගේ ගෑනු ළමයි කට්ටියක් නාලා යනවා. චීත්ත, හැට්ට ඇඳගෙන, උකුළු මුකුළු කරමින්, හරි සැහැල්ලුවෙන්, විනෝදයෙන් ඔවුන් ගියේ. මෙන්න මේ පුංචි සිදුවීම තමයි මට ‘මල් එතනෝ’ ගීතය ලියන්න පාදක වුණේ.


(උපුටා ගැනීම - සරසවිය පුවත්පත)




Tuesday, November 17, 2020

ජීවිතේ කවියක් ...

ජීවිතේ කවියක්, ආදරේ එහි සොඳුරුතම වදනක්

කඳුලැලි බිදක් හසරැලි පොදක්

එකට එක් වූ විට දැනේ

පෙර නොවිදි රසයක්...


පසුපසින් හඹා එන අතවර

හැරදමා යා නොහැක බෝ දුර

දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා

හැඟුම් අවදිව නැගේ තනිකම


ජීවිතේ කවියක්...


සෙනෙහසින් රැදී උන් නෙක දන

පලා යයි නොකියාම ඈතට

පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ

කවුරු නම් ලං වේද තනියට


ජීවිතේ කවියක්..


ගායනය - නන්දා මාලිනී 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 


මෙය 1990 දශකයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ "දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.

"ජීවිතේ කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්”  ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්.... 

මම රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන කාලේ තමයි ගජමන් නෝනා කියන ටෙලි නාට්‍යය රූප ගත කරන්න පටන් ගත්තේ මගේ අධීක්ෂණය යටතේ. ඒ සඳහා ගජමන් නෝනාගේ ජීවිතය හොයාගෙන යන ගමනට මටත් එකතුවෙන්න පුළුවන් වුණා. ඇගේ ජීවිතය පිළිබඳව තොරතුරු හොයලා බැලූවා, පිටපත ලියන්න කලින්. ගජමන් නෝනා ගැන අහලා තිබුණ විදිහ නෙමෙයි ගජමන් නෝනාගෙ ජීවිතය කියලා ඉන් පස්සේ අපට තේරුණා. අසීමිත දුක් කන්දරාවක් අනුභව කරපු කාන්තාවක් තමයි ගජමන් නෝනා. 

අපට එහෙම චරිතයක් හම්බවෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ පටාචාරා. මං හිතන්නේ පටාචාරාවට වඩා දුකක් අනුභව කළා ගජමන් නෝනා. පටාචාරාවට අවසානයේ බුදු හාමුදුරුවෝ පිහිට වෙනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා ඇය රහත් භාවයට පත් වෙනවා. ගජමන් නෝනාට එහෙම පිහිට වෙන්න කව්රුත් හිටියේ නෑ. ඇය හැබැයි ජීවිතයේ සියලූ දේවල් අනිත්‍යයි කියලා අවසාන කරගන්නේ නෑ, ඇය මැරෙනතුරුම ජීවත්වෙනවා. ඒ ජීවත්වෙන්න ඇයට තිබිච්ච එකම හයිය තමයි එකම ශක්තිය තමයි කවිය. ඇය කිවිඳියක්. ඒ කවිකම තමයි ඇයට ආශිර්වාදයක් වුණේ. කඳුලයි හසරැල්ලයි මැද්දෙන් ගත කරපු ජීවිතයක් තමයි ගජමන් නෝනා ගෙ තිබුණේ. මධුර තනුවක් නිර්මාණය කළා රෝහණ වීරසිංහ. ඉතා හැඟීම්බරව ගායනා කළා නන්දා මාලිනී. ඒ නිසා ඒ ගීතයත් අදටත් අප අතර පවතිනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)





Friday, November 13, 2020

සිනා දොළක් වන් සිනාමලී ...

සිනා දොළක් වන් සිනාමලී

මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී

බලා උන්නෙ එනතුරු පෙර වාගේ

ඇයි පිට පාරෙම අද...


පෙරට වඩා අද හැඩකාරයි

ආඩම්බර පාටයි

නාඳුනන ලෙස කෝල බැලුම් නෙත

නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ

ඇයි සිනා නැතුව අද...


වදුලු පුරා දං හිඹුටු සොයා

කෙළිදෙළෙන් නිදැල්ලේ

දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය

නුඹේ ළපටි සිත දෙගුරුන් අවුල් කළාදෝ

ඇයි කතා නැතුව අද...


පද රචනය -  කුලරත්න ආරියවංශ

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය පිළිබඳව කුලරත්න ආරියවංශයන් අදහස් දක්වමින්..... 

අපි ගමේ හැදිච්ච අයනේ. ඒ කාලේ අපේ ගම්වල පිරිමි ළමයි ගැහැනු ළමයි එකට සෙල්ලම් කරනවා. දුව පනිනවා. ඔහොම ඉඳලා ගැහැනු දරුවෙක් වැඩිවිය පැමිණුනාට පස්සේ ඒ කාලේ අපිටත් ඇහෙනවා ඉතිං මේ අම්මලා වැඩිහිටියෝ එහෙම කියනවා පිරිමි ළමයි එක්ක සෙල්ලමට යන්න එපා දැන්, ඔයා ලොකු ළමයෙක්නේ වගේ දේවල්. ඒගොල්ලන්ට ඒ අර සිදුවීම ටිකක් බරපතළ කරලා ජීවිතේ කියලා දෙනවා ඉතිං. දරුවාගේ තියෙන අර කෙළිලොල් නිදහස් පැවැත්ම ඊට පස්සේ පොඞ්ඩක් වෙනස් වෙනවා. ගැමි පරිසරයේ සිද්ධ වෙච්ච අපි පොඩි කාලේ තිබිච්ච දෙයක්. 

ඉතිං ඔය අත්දැකීම තමයි මං ඔය වික්ටර් රත්නායකයන්ට පස්සේ කාලෙක ගීතයක් රචනා කරද්දී ලිව්වේ. සංගීතය එතුමාගෙමයි. ගීතය තමයි ‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය. හැත්තෑව දශකයේ මුල්ම කාලයේ ගායනා කරපු ගීතයක්. මට දැනගන්න ලැබුණා ගුවන් විදුලියෙන් මුල්ම කාලේ මේ ගීතය වාදනයට පොඩි තහනමක් ආව කියලා. මොකද මේ ගීතයේ අර මල්වර නැකතින් දොරට වඩින කියන වචන නිසා වෙන්න ඕන, ඉන්පස්සේ ඒ තහනම ඉවත් වෙලා. කොහොම හරි ඊට පස්සේ ඒ ගීතය ජනප‍්‍රිය වුණා.

කුලරත්න ආරියවංශයන් එය වික්ටර් අතට පත් කිරීමට පෙර කපුගේටද පෙන්වූයය. එහි ස්ථායි කොටස අවසන් වන්නේ ‘ඇයි පිට පාරෙම අද?’ යනුවෙනි. මේ ගීතයේ අන්තරා කොටස් දෙකම අවසන් වන්නේ ‘ඇයි හිනා නැතුව අද?’ සහ ‘ඇයි කතා නැතුව අද?’ යනුවෙන්ය. ඒ ගීතය දෙස ස්වල්ප වේලාවක් නෙත් යොමා සිටි කපුගේ “ඇයි කුලේ මේ අවසාන පේළි තුනටම හිටි අඩියේ කැඩෙන පේළි තුනක් යෙදුවේ?” යි විමසුවේය. කුලේ “මං මේක වික්ටර් අයියාට දෙන්නයි ලීවේ...” කියද්දී විසිතුරු තනු නිර්මාණ ශිල්පියකු වූ කපුගේ තවදුරටත් කිසිත් නොකිය‍ා සිනා සුණේ වික්ටර්ගේ නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳ මනා අවබෝධයක් හා විශ්වාසයක් ඔහු සතු වූ නිසාය.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Wednesday, November 11, 2020

කන්දේ ලන්දේ ...

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ

මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ


වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ

ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ

ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී

සංකේත වූ වාසනාවේ... ගම්මානේ...


කන්දේ ලන්දේ...


ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ

පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ

මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ

යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...


කන්දේ ලන්දේ...


ගායනය - රෝහණ බැද්දගේ

සංගීතය - රෝහණ බැද්දගේ

ගී පද - රෝහණ බැද්දගේ


රෝහණ බැද්දගේ තම ගමේ සුන්දරත්වය ගැන අපූරු ගීතයක් රචනා කොට ගයා ඇත.  

“අපේ ගමට කියන්නේ උඩුව කියලා. හොරණ නගරයේ ඉඳලා මහ පාර දිගේ ආවොත් හැතැප්ම හතරක් විතර තියෙනවා. උඩුව කියන්නේ විශාල ගමක්. මහඋඩුව, කුඩාඋඩුව දෙකට බෙදිලා තියෙනවා. දකුණු උඩුව, උඩුව කියලා තවත් විදිහකින් බෙදිලා තියෙනවා. අපි ඉන්නේ මහ උඩුවේ. මගේ ලිපිනය උඩු ගොඩක් තියෙන නිසා මම ලියන්නේ කුඩා උඩුව කියලා. ගම මැදින් වැටී තියෙන කඳු වැටියක කෙළවර තමයි අපේ වත්ත තියෙන්නේ. දවසක් දා හැන්දාවේ මට හිතුණා ටිකක් විවේක ගන්න වත්ත උඩහ ගල්තලාවට යන්න. වටින් ගොඩින් ඇඳිරි වැටිල තියෙන බව දැක්කට පස්සේ තමයි ගල්තලාවෙන් පහළට බැහැලා ගෙදර යන්න හිතුණේ. එදා පුංචි කාලෙ ගමේ සුන්දරත්වයෙන් බිඳක් ගීතයට නැගුවා.

ඒ සුන්දරත්වය තුළම සැඟවුණු වේදනාවෙන් යුතුව රචනා කළ ගීතයක්. 

ඇත්තටම මේ ගීතයෙන් අපිට කියන්නේ, ගමක් නාගරීකරණය වෙලා යන එක ගැන. බැද්දගේ ශූරීන් තමන්ගේ ගමට වෙන්න යන දේ ගැන ඉතාම සංවේදී සහ  සංවේගජනක ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ. වෙල්යාය, දොල පාර, වැව, ගඟ, ගුරුපාර වගේ ගමක තියෙන ස්වාභාවික සම්පත්. මේවා ගමක තියෙන වාසනා සංකේත හැටියටයි එතුමා හඳුන්වන්නේ.

ඇල්හේන, විහාරය, දේවාලය බෙර නාදය, ගැමි ගිත රාවය වගේ ගැමියාගේ අභිචාර විධි ගැන. ඔවුන්ගේ ගායනය, නර්තනය, තොවිල් පවිල්, ඇදහිලි විශ්වාස ගැන කියනවා. අන්තිම පදයෙන් තමයි මේ ඔක්කෝම නැතිවෙලා යනවා කියලා තියෙන්නේ. "යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ". ගම නාගරිකරණය වීමෙන් සොබාදහම වියැකී යාහැකි ආකාරය ඉතාමත් සූක්ෂ්මව ප්‍රකාශ කරලා තියෙනවා.


(උපුටා ගැනීම - ලංකාදීප ඒ.ඩී. රංජිත් කුමාර)







Monday, November 9, 2020

මහ වරුසාවට ...

මහ වරුසාවට පසුව නැගෙන සඳ

වෙනදාටත් වැඩියෙන් එළියයි

නෝක්‌කාඩුවට පසුව ඔබේ වත

ඒ එළියට වැඩියෙන් එළියයි


ඇළ දොළ පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොඳුරු සෙනේ

අද නොදකින ඔබ හෙට දකිනාතුරු

මඟ බලමින් මා සිත ලතැවේ


ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවඳයි

විටකදි නැගුනත් සැක බිය ශෝකය

පිවිතුරු සෙනෙහස හද උතුරයි


පදමාලාව - සුනිල් සරත් පෙරේරා

තනුව - රෝහණ වීරසිංහ

ගායනය - සෝමතිලක ජයමහ


ආදරය කරද්දී පෙම්වතුන් එකිනෙකා අතර සැක සංකා ඇතිවීම සාමාන්‍ය දෙයක්‌. ඒත් දෙදෙනා හොඳ අවබෝධයෙන් යුක්‌ත නම් සැක සංකා සබන් බෝලයක්‌ බඳුයි... සැණෙකින් බිඳී විසිරී යනවා.


මහ වරුසාවට පසුව නැගෙන සඳ

වෙනදාටත් වැඩියෙන් එළියයි

නෝක්‌කාඩුවට පසුව ඔබේ වත

ඒ එළියට වැඩියෙන් එළියයි


මහා වර්ෂාවකට පස්‌සේ පායන හඳ වෙනදාට වඩා වැඩියෙන් ලස්‌සනයි. එළියයි. පායන හඳ කවදත් එකයි. සඳ සඳක්‌මයි වෙනසක්‌ නෑ. ඒත් ගී පද රචකයා සුනිල් සරත් පෙරේරා මේ හඳ දකින්නේ වෙනස්‌ විදියකට. වැස්‌සට පසු පායන හඳ ඔහුට ලස්‌සනයි. වැස්‌සෙන් වට දිය බිඳු ගහ කොළ මත පතිතවෙලා... හඳ එළිය ඒ මත වැටෙද්දී ඉපිදෙන ආලෝකය ගීත රචකයා දකින්නේ හඳේ අලුත් එළියක්‌ විදිහටයි.

ඒ වගේ තමයි මේ පෙම්වතියත්. අමනාපයෙන් පසුව ඇගේ මුහුණ අර හඳ එළියටත් වඩා වැඩියෙන් ලස්‌සනයි.

මම රාජ්‍ය පරිපාලනයේ වැඩ කරද්දී අසූ ගණන්වල සුනිල් සරත් පෙරේරා ආවා අපේ ඇමැතිතුමා හමුවෙන්න. ඒ ඇවිත් යන ගමන් මාවත් හමුවුණා. අපි හත්වැනි තට්‌ටුවේ තියෙන කැන්ටිමට ගියා තේ එකක්‌ බොන්න. තේ එක බිබී ඉඳිද්දි සුනිල් සරත් කිව්වා "තව ගමනක්‌ යන්නත් තියෙනවා" කියලා. මම "කොහේද" කියා අසද්දී සිංදුවක්‌ ලියුවා. කෙනෙකුට දෙන්න යනවා ඔහු පැවසුවා. මම ඒ සිංදුව ඉල්ලාගෙන කියවා බැලුවා. ඒක ආයෙත් ඔහුට දෙන්න මට හිතුණෙ නෑ.. "මේක මම ගන්නවා" කියලා බලහත්කාරයෙන්ම සිංදුව මම අරගත්තා. දින කීපයකට පස්‌සේ ගීයට රෝහණ වීරසිංහ තනුවක්‌ දැම්මා. සරල ගී වැඩසටහනට ගීය ගැයුවා. පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා. ගීය ගයන සෝමතිලක ජයමහ අපේ ප්‍රධාන ශිල්පියා පැවසුවා.

ඇල දොළ පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොඳුරු සෙනේ

අද නොදකින ඔබ හෙට දකිනාතුරු

මඟ බලමින් මා සිත ලතැවේ


අපේ දෙහදම ආදරයෙන් බැඳිලා. ඒක සුන්දර ආදරයක්‌. ඒත් ඒ ආදරය හරියට ඇල දොළ ළඟ ගොලු වූ ගීයක්‌ වගේ. ඔයාව දවසක්‌ දැකගන්න බැරිවුණොත් ඊළඟ දවසෙ දකිනතුරු මට ඉස්‌පාසුවක්‌ නෑ. මම මගේ හිත ලතවෙමින් මඟ බලා ඉන්නවා. ඔයාගේ දසුන නෙත් හමුවට එනතුරු.

මේක විරහ ගීයක්‌ම නොවේ. විරහවක්‌ නැත්තෙම නෑ. තම හිතේ තියෙන ප්‍රේමය ගැන තියෙන අවිනිශ්චිතතාව තමයි මේ ගීයෙන් කියන්නේ. ප්‍රසාංගික වේදිකාවේදී රසිකයන් මගෙන් නිතරම ඉල්ලන අනිවාර්ය ගීතයක්‌ තියෙනවා. ඒ සැඳෑ අඳුර ලොව. ඉන් පස්‌සේ වැඩියෙන්ම ඉල්ලන්නේ මේ ගීයයි.

ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවඳයි..

විටකදි නැඟුනත් සැකබිය ශෝකය

පිවිතුරු සෙනෙහස හද උතුරයි....


ඔහු ඇය නිතර හමුවුන මල් මාවත හරිම සුන්දරයි. සුවඳින් පිරිලා ඒත් අද වෙනදාටත් වඩා වැඩියෙන් සුවඳක්‌ දැනෙනවා. හරියට අර වැස්‌සට පස්‌සෙ පායන හඳ වගේ. ඒත් ඇය අහිමිවේවි කියන බියක්‌ සැකයක්‌ ඔහුගේ සිත තුළ උපදිනවා. අවිනිශ්චිත බවක්‌ දැනුනත් ඒ ටික වෙලාවයි. ඉන් පස්‌සේ ඔහුගේ හදවත තුළ ඈ කෙරෙහි උපදින ආදරය උතුරා පිටාර ගලනවා.

මේ ගීය එදත් අදත් ජනප්‍රියයි. ඊට හේතුව පදමාලාවේ තිබෙන සාර්ථකත්වය, සෝමතිලකයන්ගේ ගායන ලීලාව වගේම රෝහණ වීරසිංහයන්ගේ තනුව. මේ තුන එකට එක්‌ වූ කල මිහිරි ගීයක්‌ නිමා වී තිබෙනවා.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)




Friday, November 6, 2020

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සැබෑ වුණ සුබ සිහිනයයි

සෙනෙහසින් කුලගෙට පියනගන්නේ

සනුහරේ අභිමානයයි //


මං මලක් ලෙස නුඹ නොහැදුවේ

පෙති හැලී පරවෙන නිසාමයි

දුක දිනා හිනැහෙන හැටි දුවේ

නුඹ දැන උගත් පාඩම තමයි

මිල මුදල නිල බල යා නොදෙයි //

කළ හොඳම විතරක් ඉතිරිවෙයි //


දුවේ නුඹ මගෙ...


අප මී මුතුන් මිත්තන් එදා

සිය ලේ කඳුළු දහදිය පුදා

පරපුරෙන් පරපුරට රැගෙන ආ

ඒ ගෞරවය මගෙ දුව තමා

නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //

ගෙනියන්නෙ ඒ අභිමානයයි //


දුවේ නුඹ මගෙ...


ගායනය - සුනිල් එදිරිසිංහ

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ 


දියණියකගේ විවාහ උත්සව ආශ‍්‍රිතව වැඩි ගීත ප‍්‍රමාණයක් බණ්ඩාර ඇහැලියගොඩ  රචනා කර තිබෙනවා. ඒ අතරින් සුවිශේෂීම ගීතය වන "දුවේ නුඹ මගේ ප්‍රාණයයි" ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්..... 

 

විවාහ උත්සව වලට වැඩිම ගීත ගණනක් ලියන්න ඇත්තේ මම වෙන්නැති. පළවෙනියට ලිව්වේ ”දුවේ නුඹ මගේ ප‍්‍රාණයයි”. ඒක ලියන්න හේතු වුණේ සැම්සන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් වන නන්දදාස රාජපක්ෂ මහතා කරපු ඉල්ලීමක් නිසා. ඔහු මට කිව්වා ඔහුගේ දුවගේ විවාහ මංගල්‍යය උත්සවය පැවතුණා ලොකුවට. එහිදී එක එක ගීත අහන්න ලැබුණා. ඒ ඔක්කොම අඳෝනා වගේ. මේ දුක කියන්නේ නැතිව අපිට බැරිද දුවෙක් කියලා කියන්නේ පරම්පරාවක අභිමානය කියලා හිතෙන විදිහේ ගීතයක් ලියන්න කියලා මගෙන් ඇහුවා. 


ඔය අදහස වචන වලට පෙරළද්දී මගේ හිතට ආව පළවෙනි දේ තමයි ඉස්සර අපේ ගම්වල මඟුල් ගෙදරකදී කටයුතු ඉවරවෙලා යන්න ලෑස්ති වුණහම තියෙනවා පොඩි උත්සවයක් දෙපැත්තේම කට්ටිය එකතු වෙලා ගාථා ශ්ලෝක කවි කියලා ජීවිතේ ගෙවන්නේ මෙහෙමයි කියලා අවවාද අනුශාසනා සමූහයක් දෙනවා. මට ගීතය ලියන වෙලාවේ හිතුනා මේක ඉතා හොඳ අවස්ථාවක් දුව පිළිබඳව කියන්න. දුව චාරිත‍්‍ර ඉවරවෙලා පිටත්වෙන වෙලාවට තාත්තා කෙනෙක් තුළ ඇතිවන හැඟීම. ලියලා පළවෙනි වතාවට මං ඒක නන්දදාස මහත්මයට යැව්වාම එතුමා හරියට සතුටට පත්වෙලා මේක අපි ඉක්මනින්ම පටිගත කරන්න ඕන කිව්වා. සංගීතය රෝහණ වීරසිංහයන් නිර්මාණය කරලා සුනිල් එදිරිසිංහ ගීතය ගායනා කළා. ඒ කියපු දවසේ ඉඳන් අද දක්වාම සෑම මඟුල් ගෙදරකම පාහේ මේ ගීතය ගායනා වෙනවා. ඒක මට හරි සතුටක්. 


ඊට පස්සේ ගීත ගණනාවක් දුවලා පිළිබඳ ලියවුණා. "අතිනත අරං යනවිට සෙමෙන් නව නෑ සියන් සමගින්" මෙම ගීතය සංඛනි එදිරිසිංහ ගායනා කරන්නේ. තව ගීතයක් සුනිල් එදිරිසිංහ ගයනවා පුතා ගැන "නුඹ වන් පුතෙක් ලද මවක් වේ නම් ඇයද සැනහේ මැයි, නුඹ වන් පුතෙක් ලද පියෙක් වේ නම් ඔහුද සැනහේ මැයි" කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




Wednesday, November 4, 2020

දෙනෝ දාහක් ...

දෙනෝ දාහක් නුවන් අතරේ

කවුරුදෝ මා

තනි කළේ

තනි කළේ

පාසල් බිමේ


සිනා කෙළිලොල් තෙපුල් රහසේ

දෙඩූ තැන් අද ගොළු වෙලා

සොඳුරු පාසල් පියස

කඳුළින් බොඳ වෙලා

කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා


නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්

සෙවණ දුන් ගහ කොළ පුරා

බිමට බර වුණු කැකුළු

අතු ඉති මැලවිලා

දුකින් හදවත ගොළු වෙලා


දෙනෝ දාහක් නුවන් අතරේ...


චිත්‍රපටය - වජිරා

ගායනය - නන්දා මාලිනී

ගී පද - කුලරත්න ආරියවංශ

සංගීතය - වික්ටර් රත්නායක


සිංහල සිනමාවේ 473 චිත්‍රපටය ලෙස සිංහල සිනමා කර්මාන්තය ආරම්භ වී 34 වසරකට පසු රිදී තිරයට ආ “වජිරා” චිත්‍රපටයෙන් පාසල් ප්‍රේමයත් හිරිමල් යෞවනයත් හරි අපූර්ව ආකාරයෙන් මවන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නට පුළුවන් වෙලා තියෙනවා. ගීතයක් ලියන එකයි ගීතයක් ලියැවෙන එකයි දෙකක්. වැඩියෙන්ම ගීත, නිසඳැස් ලියැවෙන්නේ මිනිසුන්ගේ සතුටට වඩා දරා ගන්නට අපහසු තරම් වේදනාවන් දැනුනු වෙලාවට. අපේ රටේ පාසැල් අධ්‍යාපනය ලැබූ සෑම ගැහැනියක පිරිමියෙකුගේම ප්‍රථම ප්‍රේමය පාසල් ජීවිතෙන් ආ බව රහසක් නොවේ. වයස අවුරුදු හයේ ඉඳන් පාසල් යන අපේ රටේ ප්‍රේමණීය හැඟීමක් ඇති වුණේ ප්‍රථම වතාවට කවදාදැයි කල්පනා කරනවා විනා හරිම උත්තරයක් දීම පහසු වෙන්නේ නෑ. පාසල් ජීවිතය එතරම්ම මිහිරියි.


එනිසාම පාසල ගැන පාසැල් ජීවිතය ගැන පාසල් ප්‍රේමය ගැන ගීත නාට්‍ය චිත්‍රපට නවකතා නිර්මාණය වෙනකොට නොදැනීම එම නිර්මාණ මිනිසුන් අතරේ ජනප්‍රිය වීමත් සමාජගත වීමක් වැළැක්විය නොහැකියි. ගොළු හදවත, ගැහැනු ළමයි ආදී නිර්මාණ කොයි කාලෙත් අපේ රටේ මිනිසුන්ගේ මතකයේ තියෙන්නෙ ඒ හින්දා.

“වජිරා” චිත්‍රපටයත් ඒ වගේම පාසල් යෞවන ප්‍රේමය ගැන බොහොම සුන්දරව නිර්මාණය වූවක්. “වජිරා” චිත්‍රපටයේ පාසැල් පෙම්වතුන් ලෙස භාව ප්‍රකාශනයෙන් ප්‍රේක්ෂකයා උමතු කරවන තරමේ යථාර්ථවාදී රංගනයෙන් පොහොසත්ව අමරසිරි කලංසූරිය නිමල් ලෙසත් නදීකා ගුණසේකර වජිරා ලෙසත් රංගනයට අපුරු සාදරනයක් ඉෂ්ට කර තිබෙනවා. වික්ටර් රත්නායකගෙ සංගීතයෙන් සහ නන්දා මල්ලිගේ මාලනීගේ ස්වර ගායනයෙන් තමයි “දෙනෝදාහක් නුවන් අතරේ” ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. “වජිරා” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කුලරත්න ආරියවංශ ගීත රචකයාට පවසන්නේ මේ චිත්‍රපටයේ මව්පිය බලපෑමෙන් වජිරා සහ නිමල් වෙන් වීමෙන්, නිමල් නොමැති හුදකලාවෙන් වියෝගයෙන් සිටින වජිරාගේ හිතේ නළියන අතීතයේ මතක වේදනාව වචනයෙන් කිව නොහැකි දහසකුත් දේ ගීත පද කීපයකින් ලියා ගන්නට උවමනා බව පවසා ඇත.

මේ ගීතය සම්බන්ධයෙන් කුලරත්න ආරියවංශ පවසන්නේ එම චිත්‍රපටයේ බල පුළුවන්කාර වජිරාගේ දෙමව්පියන් දරිද්‍රතාවයෙන් පෙලෙන නිමල්ට කරන බලපෑම චිත්‍රපටයේදී පැහැදිලිව පෙන්නුම් කරන බවත්, එමෙන්ම මේ දෙදෙනාගේ ප්‍රේමය යෞවන පාසල් ප්‍රේමයක් නිසා කුඩා දරුවන්ට අඬන්න කියලා දෙන්න ඕන නෑ වගේ පාසල් ප්‍රේමයේ වෙන්වීම, හු‍දකලාව, පාළුව කාන්සිය ගැන අමුතුවෙන් ඉතාම ලියැවුණු බවයි. ලියූ ගීතයකට වඩා ලියැවුණු චිත්‍රපට ගීතයක් වුවත් අවශ්‍යතාවය මත ලියැවුණු ගීතයක් තමයි දෙනෝදාහක් නුවන් අතරේ ගීතය. වජිරා පාසලේ තනිවීම, නිමල්ව මතක් වීම, වියෝගය සම්මිශ්‍රණය වී ඇති අයුරු ගීත රචනාවේ ඉතා සියුම්ව හා පොදු අනුමැතියක් ලෙස සරලව ලියවී ඇති අතර සුනිල් ආරියරත්නගේ ඉල්ලීම මත ආරියවංශ සංවේදී හැඟීම් අතරේ කිමිදී ඇත්තා සේය.


(උපුටා ගැනීමකි)










අන්න බලන් ඉදිකඩ ළඟ ...

අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//


පුංචි දුවේ නුඹ යනකොට

සුදු පාටින් ඉස්කෝලෙට

පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...

ලඳු දෙනි මැද දෙවැට දිගේ

දොළ පාරින් එගොඩ වෙලා

මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


එක පුටුවක වාඩි වෙලා

එක පැන්සල දෙකට කඩන්

අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...

මං නොදුටුව නව ලෝකය

කිරුළු පලන් රැජින වෙලා

පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 

"අන්න බලං ඉඳිකඩ ළඟ" ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩ අදහස් දක්වමින්.....  

ඒ ගීතය පුරාම තියෙන්නේ මගේ ළමා කාලය. මට දුවලා දෙන්නෙක් එතකොට හිටියේ පුතා පස්සේ හම්බුනේ. ඒ දුවලා දෙන්නා උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති කරනකොට සුදු පාටට ගවුම් අන්දලා ලෑස්ති කරනකොට මට මතක් වෙනවා මගේ ඉස්කෝලේ ගමන. අපිට එහෙම සුදු පාට ඇඳුම් කියලා එකක් තිබුණේ නෑ. අපි ඉතිං අහුවෙච්ච එකක් ඇඳන් තමයි මම ඉස්කෝලේ ගියේ. මුල් කාලේ මං ඉස්කෝලේ ඇන්දේ සරමක්. හුඟක් වෙලාවට ඉස්කෝලේ අරලිය ගහයට හෙවනේ තමයි අපිට ඉගැන්නුවේ. මොකද ශාලා ඒකයි තිබුනේ. තව එකක් තිබුණා පොල් අතු වලින් හෙවිල්ලලා. ඔය දෙකේ උගන්වන්න ගියාම සද්දේ වැඩි නිසා අපිව එක්කගෙන යනවා අරලිය ගහ යටට. වැස්සට ඉස්කෝලෙට දුවගෙන එනවා. පායන දවස්වලට අරලිය ගහ හෙවනට යනවා. ඔහොම තමයි අපි ඉගෙනගත්තේ. අපට පුටුත් මදි. අපි පුටු දෙකක් එකට තියලා තුන්දෙනෙක් ඉඳ ගන්නවා. එක්කෝ බංකුවේ මේ කෙරෝලේ ඉඳන් ඒ කෙරවලටම කට්ටිය වාඩිවෙලා ඉන්නවා. "එක පුටුවක වාඩිවෙලා එක පැන්සල දෙකට කඩන් අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ" කියල ලියවුණේ ඒ මතකයන්. දරුවා පිළිබඳ ලියවුණ ගීතයක් හින්දා දරුවා ගැන තියෙන බලාපොරොත්තුව මං නොදුටුව නව ලෝකය කිරුළ පැළඳ රැජින වෙලා කියලා මං ලිව්වා. රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට දීපිකා ප්‍රියදර්ශනී මේ ගීතය අලංකාරව ගායනා කළා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Monday, November 2, 2020

බිළිදා නැලවේ උකුලේ ...

මේ ලෝකයේ..

සෑමා රසේ..

මූණේ ඔබේ...

බිළිදු පුතේ මගේ...


බිළිදා නැලවේ උකුලේ

හිනැහේ මලසේ කැකුලේ

මවගේ සෙනෙහේ පැතිරේ

රුධිරේ කිරිවේ ඉතිරේ


දෝත නගා මොළවා

සුර ලාළනියෝ ඒලවා

ගීත අසා මවගේ

නොදොඩා නොහඩා හිනැහේ

පාද ගසා නටලා

බිළිදා මතුවේ මිනිසා

ලෝ දහමේ නගිනා බසිනා

දුක සැප අතරේ වසනා


සෑමදෙනා කැදවා

පොදු අාදරයේ රදවා

මූණ බලා සැමගේ

නොදොඩා නොහඩා හිනැහේ

ජීවිතයේ සිහිනේ

සැනසීම තිබේ මුහුනේ

මෑණී පියා දෙදෙනා බදිනා

නිවසේ පහණයි බිළිදා

බිළිදා නැලවේ උකුලේ

හිනැහේ මලසේ කැකුලේ

මවගේ සෙනෙහේ පැතිරේ

රුධිරේ කිරිවේ ඉතිරේ


පදරචනය - ඇලන්සන් පියදාස 

ගායනය - සී.ටී. ප්‍රනාන්දු 

සංගීතය - සී.ටී. ප්‍රනාන්දු 


සී.ටී.ප්‍රනාන්දු මහතාට 1951 වසරේ ධනා නම් තම ගීතවලට පෙම් බැඳි රසිකාවක් හැඳින ගැනීමට ලැබිණි. බදුල්ලේ උපත ලැබූ ධනා බදුල්ල උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනගත් 17 හැවිරිදි තරුණියකි. ඇය ගුවන් විදුලියෙන් නිතර ඇසෙන පින් සිදුවන්නේ බාල ළමුන්නේ නම් සී.ටී. ගේ ගීතයට තිබූ අසීමිත කැමැත්ත නිසා රසිකාවියක් ලෙස ලිපියක් යැව්වාය. ලිපියට ඔහුගෙන් පිළිතුරු ලැබිණි. ධනාට මෙය කප්රැකක් පහළ වූවා සේය. ඇය ආදරය සෙනෙහස මුසු කළ පිළිතුරු ලිපියක් යැව්වාය. මේ ලිපි හුවමාරුව ආදරයකට පෙරළිණි. ඇගේ දෙමාපියෝ මේ සම්බන්ධයට විරුද්ධ වූහ. 1951 වසරේ තනි කැමැත්තට ඔවුහු අතිනත් ගත්හ. ඔවුන්ට සහායට හිටියේ ගායිකා ලතා ප්‍රනාන්දු (පසුව වල්පොල) පමණි. ඔවුහු හැඳල පදිංචිව පසුව දෙහිවල ගෙයක් තනා පදිංචි වූහ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය. මේ බිළිඳු පුතාගේ නම ප්‍රියන්තය. සී.ටී. පුතා වෙනුවෙන් ගීයක් ඇලන්සන් පියදාස ලවා රචනා කර ගත්තේය.

මේ බිළිඳා නැළවේ ගීතයේ හරිම අපූරු කතාවක් තියෙනවා. මෙහි ආරම්භයේ තියෙනවා කුඩා දරුවෙක් හඬන ශබ්දයක් ඔබට ඇහෙනවා. ඒ දිනවල සී.ටී. මහතාගේ මේ ගීතය පටිගත කිරීම සඳහා එල්.ආර්.එන්.එච්. පෙරේරා මහතා කටයුතු කරනවා. මෙයට දරුවෙක් අඬන ශබ්දය ඇතුළත් කරන්න එතුමාට අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් දවසක් එතුමා කෙටි විවේකයකට ලංකා ගුවන් විදුලියේ සිට තමන්ගේ පාගොඩ පිහිටි නිවසට පැමිණි පසු පාරේ ඒ අවස්ථාවේ කිරි විකුණන පුද්ගලයෙක් ගිහින් තියෙනවා. එවිටම පෙරේරා මහත්මයාගේ සිඟිති දියණියක් හඬා තිබෙනවා. ඒ හඬ ඇසුණු කිරිකාරයාත් බිළිඳු හඬ අනුකරණය කරමින් "ඔහෑ...." යනුවෙන් හඬා තිබෙනවා. ඒ ඇසුණු වහාම පෙරේරා මහතා, "තව ගෙවල් කිහිපයකට කිරි විකුණන්නට තියෙනවාද? ඉක්මනට ගිහින් එන්න. මාත් එක්ක Radio Ceylon එකට යන්න තියෙනවා" යනුවෙන් පවසා ඔහුව රැගෙන ගොස් බිළිඳු හඬ පටිගත කරගෙන තියෙනවා. පසුකාලීනව මේ පුද්ගලයාට ගුවන් විදුලියේ ළමා වැඩසටහන් වල විවිධ හඬ අනුකරණයේ යෙදෙන්නට අවස්ථාව ලැබී තිබෙනවා. "පෙත්තප්පු" යන අන්වර්ථ නාමයක් මේ පුද්ගලයාට පසු කාලීනව ලැබෙනවා. පෙරේරා මහතා පසුකාලීනව මේ පුද්ගලයාට රැකියාවක් පවා ලබා දී තිබෙනවා.


(උපුටා ගැනීමකි)








Wednesday, October 28, 2020

වන්නි වන පෙතේ..

වන්නි වන පෙතේ..

ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..

වෙසතුරු සදිසි පියවරුන්..

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..


කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා

ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..

ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී

බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..


වන්නි වන පෙතේ...


කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල

මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්

කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද

දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..


වන්නි වන පෙතේ...


ගායනය : සුනිල් එදිරිසිංහ

පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ

සංගීතය : රෝහණ වීරසිංහ


සුනිල් එදිරිසිංහයන් ගායනා කරන "වන්නි වන පෙතේ” ගීතයට පසුබිම් වූ හේතුව පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩ අදහස් දක්වමින්..... 

අපේ තාත්තා බොහොම පිටිසර අමුඩේ ගහපු කොන්ඩේ බැඳපු ගොවියෙක්. අපේ ගෙදර ලොකු ඉස්තෝප්පුවක් තිබුණා. එතන වැල් ඇඳක් තිබුණා. පොඩි මිටි බංකුවක් තිබුණා. හවසට අයියලාගේ යාළුවො ආවහම එකතුවෙලා දාන් අදින්නේ පංච කිරන්නේ ඔක්කොම ඔය ඉස්තෝප්පුවේ තමයි. අපේ ගේ මිදුල උඩින් මිනිස්සු ගියා. එතන පාර නෙමෙයි. පාර වෙනම තියෙනවා. පාර ටිකක් දුරයි. ඒක හින්දා මිනිස්සු ලේසියට මිදුල උඩින් තමයි යන්නේ. ඒක අපේ ගෙවල්වල කාටවත් ප‍්‍රශ්නයක් වුණේ නැහැ. අද වාගේ වැටවල් ගහගෙන තාප්ප බැඳගෙන ගෙවල් ඇතුලේ බන්ධනාගාරගත වෙලා හිටියේ නෑ අපේ ගම්වල මිනිස්සු. 

ඉතිං ඔහොම යනකොට අර වැල් ඇඳ උඩ ඉඳන් බත් කන තාත්තා පාර දිගේ යන අයට තාත්තා කතා කරනවා. සිරිසේන ළමයෝ වරෙන්කො බත් ටිකක් කන්න. ඒ තාත්තගේ හැටි. පුරුද්දක්. ඇත්තටම ඒක මේ අපේ තාත්තගේ විතරක් නෙමේ අපේ ගම්වල තාත්තලාගේ පුරුද්දක් ඒක. අපේ ගෙදර නව දෙනෙක් හිටියා අම්මයි තාත්තයි එක්ක. අපේ අම්මා පහළොවකට විතර උයනවා. ලොකු බත් හැලියක් තම්බනවා. කොස් ටිකක් කූරු ගාලා හාල් මැස්සන් හොද්දක් හදලා එච්චර තමයි ආහාරවේල. නැත්නම් මඤ්ඤොක්කා ටිකක් කූරුගාලා කරවල හොද්දක් හදනවා. කව්රුහරි අමුත්තෙක් ආවොත් පරිප්පු ටිකක් හදලා පපඩමක් බදිනවා. එහෙම නැත්නම් සැමන් එකක් කඩෙන් අරං ගිහිල්ලා හදනවා. ඒ ඇරෙන්න වෙන නෑ. හැම තැනම එක වගේ ආහාර වට්ටෝරු තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. හුඟක් වෙලාවට දෙතුන් දෙනෙක් වරදින්නේ නෑ ඉතිං. තාත්තා කුඹුරට ගියත් අම්මා ඇඹුල අරං එනකොට තාත්තා වක්කඩෙන් අත පය හෝදගෙන කමතට ගොඩවෙලා අහල පහල ඉන්න එක්කෙනා දෙන්නට කතා කරනවා තේ ටිකක් බොන්න වරෙන්, බත් ටිකක් කන්න වරෙන් කියලා. එහෙම දීලා කාලා පුරුද්දක් තියෙන අය තමයි අපේ ගම්වල හිටියේ. වෙස්සන්තර පාරමිතාව පුරනවා වගේ එහෙම එකක් තමයි මං දැක්කේ. 

ඔහොම ඉඳලා තාත්තා අන්තරා වෙනවා. මම එතකොට කුලී ගෙදරක. දරුවෝ පාසල් යනවා ආණ්ඩුවේ රස්සාවක් කළේ. ඒ වැටුපෙන් තමයි ජීවත්වෙන්නේ. මාස භාගයක් යනකොට පඩිය ඉවරවෙනවා. අපි බොහොම සීමාසහිත ක‍්‍රමයකට ජීවත්වෙන්න ඕන. ඉතිං මං තාත්තගේ මළ ගෙදරට ගිය වෙලාවේ ගමේ හිටපු හැමෝම කියපු දෙයක් මට ඇහුනා ”අනේ ඉතිං ගමටම කන්න දුන්න මනුස්සයනේ මේ” කියලා. ඒ කටයුතු ඉවරවෙලා ඇහැලියගොඩින් බස් එකට නැගල මං එනකොට දෝංකාර දුන්නේ ඔය වචන ටික විතරමයි. එතකොට මට මතක් වුණා ගමටම කන්න දුන්න මනුස්සයගේ පුතා කොළඹට වෙලා මාස භාගයක් පඩියෙන් ජීවත්වෙලා ඉතුරුබාගේ ණය වෙලා සමාජයේ කටයුතු කරගෙන ළමයින්ගේ කටයුතු කරගෙන අමාරුවෙන් ජීවත් වෙනවා. අපේ අම්මලා තාත්තලා කරපු දේවල් අපට කරගන්න බෑ. අපේ අම්ම්ලාට තාත්තලට වගේ අපිට දාන පාරමිතාව පුරන්න හැකියාවක් නෑ. ඒ හැඟීම තමයි තාත්තාගෙන් මරණින් පස්සේ මං ඒ ගීතයෙන් ලිව්වේ. පුරුදු පරිදි ගීතය ලියලා සුනිල්ට දුන්නා මං. සුනිල් ඒක රෝහණට දීලා සංගීතය නිර්මාණය කරලා ගායනා වුණා. අද දක්වාම ඒ ගීතය මිනිස්සු අතර තියෙනවා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)





Monday, October 26, 2020

පුංචි සිතේ පුංචි සිනා ...

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ

රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ //


පුංචි දේට කතා වෙලා 

රණ්ඩු වෙලා ‍වෛර බැඳන්

කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා

අම්මාලාට හොරෙන් ඇවිත් 

සෙනෙහෙ සිතින් යාළු වෙලා

පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ


පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ

රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ


දෙමාපියන් කතා නැතුව 

වෛර වුණත් ඒ වාගේ

පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ

මල් වාගේ දුවේ පුතේ 

ලොකු අයටත් අඬ ගහලා

ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ


පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ

රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ ///


ගායනය – නීලා වික්‍රමසිංහ

සංගීතය – රෝහණ වීරසිංහ 

ගේය පද – කුලරත්න ආරියවංශ

නීලා වික්‍රමසිංහ ගායනා කරන "පුංචි සිතේ පුංචි සිනා" ගීතයට පසුබිම් වූ වස්තු බීජය කුලරත්න ආරියවංශයන් පැහැදිලි කරමින්... 

නීලා වික‍්‍රමසිංහගේ පළවෙනි කැසට් ඒකට ඒ ගීතය ලිව්වේ. මම හැදුනේ වැඩුනේ බෙන්තර. මේ ගම ලඳු දෙණි ඕවිටි කුඹුරු හේන් ඇළ වේලි කඳු වැටි මිටියාවත් ඔය ඔක්කෝම තියෙන ගම්මානයක්. අපේ ගෙවල් කිට්ටුව තිබුණා එක පවුලක සහෝදර සහෝදරියන්ගේ ගෙවල් තුනක්. ඉඩම් ආරවුල් වලට කට්ටිය තරහයි. හැබැයි මේ ගෙවල්වල දරුවෝ ටික අපේ ගෙවල් වලට පල්ලෙහා තිබුණ දිග වෙල් යායේ, ඉපනැල්ලේ අපිත් එක්ක සෙල්ලං කරනවා. ඉතිං අර තරහ ගෙවල්වල දුවලා පුතාලා මට මතකයි ඒ ගෙවල්වල දෙමව්පියන්ට හොරෙන් ඇවිල්ලා මේවායේ සෙල්ලම් කරනවා. දරුවන් පුංචි කාලේ දරුවන්ගේ හිත්වල මේ කුහකකම් වෛර ඒ වගේ දේවල් නෑ. ඒගොල්ලන්ගේ හිත් බොහොම පිවිතුරුයි කියන එක තේරනවා. දරුවෝ එකට ඉන්නවා. ඔන්න ඔය අත්දැකීම මට ඒ දවස්වල දැනිච්ච දෙයක්. පස්සේ කාලෙක ඕක තමයි ලිව්වේ ගීතයකට. පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ කියලා ලියැවුනේ. මේකෙත් සංගීතය රෝහණ වීරසිංහයන්ගේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)  




Monday, October 12, 2020

සියාතුවේ මා මිතුරේ ...

සියාතුවේ මා මිතුරේ //

අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //

සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්

ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්

වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්

දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්

සියාතුවේ...

හඞලා කුමටද මිතුරේ සියාතුවේ

හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ

ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ

ගලනා දිය අපි හැමටයි සියාතුවේ

සියාතුවේ...

ගායනය - සුනිල් එදිරිසිංහ 

පදරචනය - වසන්ත කුමාර කොබවක 

සංගීතය - රෝහණ වීරසිංහ 

සුනිල් එදිරිසිංහයන් ගයන "සියාතුවේ මා මිතුරේ" ගීතයට පසුබිම් වූ හේතුව වසන්ත කුමාර කොබවකයන් පැහැදිලි කරමින්......

විශ්වවිද්‍යාල ජීවිතෙන් පස්සේ ගුරු වෘත්තීය අවුරුදු එකහමාරක් වගේ සුළු කාලයක් කරපු මම හිතේ ආසාවට රාජ්‍ය දැව සංස්ථාවේ වෘත්තියක් තෝරා ගත්තා. එතැනදී රාජ්‍ය දැව සංස්ථාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කරන ලද ව්‍යාපෘතියකට අපිව කැඳවා ගත්ත. මේ කැඳවීම ලද අය එතකොට විවාහ ජීවිතයට ඇතුල් වෙලත් නැති තරුණයෝ. අපි හය දෙනෙක් හිටියා. ඒ ව්‍යාපෘතියේ මුල්ම අවස්ථාවේදී අපිට යන්න වුණේ මඩකලපු, පොලොන්නරුව, අම්පාර, මොනරාගල වගේ ඈත පැතිවල ස්වභාවික වනාන්තරවල පිළිබඳ සමීක්ෂණ කටයුතුවලට. ඉතිං අපි දුර බැහැර ගිහිල්ලා සමහර වෙලාවට කඳවුරුවල එහෙම නැත්නම් අපි හොයාගත්ත තාවකාලික නිවහනක තමයි නතරවෙලා දිනපතා අපි කැලෑවලට යන්නේ. නිල වාහනයේ ගිහිං නතර කරලා එතනින් පස්සේ අපි පයින් යන්න ඕන. ඔහොම යනකොට අපි ගෙනියන වතුර ප‍්‍රමාණය සහ කෑම ඉවරවෙනවා. වතුර ගොඩක් ඔසවාගෙන යන්නත් බෑ හුඟක් දුර. ඒ වෙලාවට අපි ගැමි ගොවි ගෙදරකින් හරි පිරිසුදු ජලය තියෙන තැනකින් හරි තමයි ජලය සපයා ගන්නේ.

මෙහෙම එක වතාවක අපි ඈත ගොවි බිම් හරහා ගිහිං ආපහු එනකොට ගෙනිච්ච වතුර ඉවරවෙලා කට්ටියම බොහොම පිපාසයෙන් හිටියේ. වතුරත් හොයාගෙන කැලෙන් එළියට ආවම අපි වැටුණේ වැවක් පාමුල තියෙන පොඩි හේන් යායකට. ඒ හේන් යායට ආසන්නව කුඹුරක් තිබුණා. හොඳටම වියළි කාලය නිසා සරු සාරව තිබිච්ච හේන් යායත්, කුඹුරු යායත් කරවෙලා ගිහිං තිබුණා. නමුත් උඩින් පේන්නේ වැවක්. අපි ඒ ගොවි ගෙදරට ගියාම පොඩි ළමයි එළියේ සෙල්ලම් කර කර හිටියා. ගැමි, ගොවි ලියක් එළියට ආවා. බොහොම දරිද්‍රතාවයෙන් දුක්බර ජීවිතයක් ගත කරන බව පෙනුනා ඔවුන්. අපි වතුර හොයාගෙන ආවා කිව්වහම ඒ කාන්තාව විපිළිසර වෙලා මං දිහා බලලා කිව්වා මහත්තයෝ ගෙදර ඇත්තෝ තව ටිකකින් එයි කියලා. ඇය හයියෙන් කෑ ගැහුවා ඇහුනද එන්න, මේ මහත්තයලා කට්ටියක් ඇවිල්ලා කියලා. අපි බලං හිටියා දැන් ගොවි මහත්තයා එනකං. බැලූවහම අනේ එක කකුලක් නැහැ. මං හිතන්නේ මාරු වැලකට හරි වෙඩිල්ලකට හරි අහුවෙලා වෙන්න ඇති, කිහිලිකරුවකින් ඔහු ආවා. අපි වතුර ගැන ඇහුවහම ඉන්න මහත්තයෝ වතුර ටිකක් දුරින් ගේන්න ඕන කියලා කිව්වා. 

ඊට පස්සේ මේ තනි කකුලෙන් යන මනුස්සයට කියලා වතුර ගෙන්නන්නෙ කොහොමද? අපි ඇහුවා වැව එහායින් පෙනෙද්දී වතුර හිඟය මොකද කියලා. අනේ මහත්තයෝ ඔහොම තමයි වතුර මෙහෙ බෙදා හරින විදිහ. අපි ඉතිං දෙස් දෙවොල් තිය තියා කන්නලව් කරනවා. ඒ වුණාට අපිට ඉතිං වතුර ලබන්නේ නෑ හරියකට කියලා ඔහු කිව්වා. ඔය සිද්ධිය අපිව හරියට සසල කළා. අපි එනකොටත් කතා කර කර ආවේ මේ වගේ අහිංසක ගොවි ජනතාව, ජල කළමනාකරණයේ තියෙන අඩුපාඩු සහ මේ ප‍්‍රශ්නය නිසා මොනතරම් විදිහට හුදකලා වෙනවද දුක් විඳිනවද කියලා. සරුසාරව වවන්න පුළුවන් ගොවිබිම් කොයිතරම් නිකං විනාශ වෙලා යනවද. අපි අහලා තියෙනවනේ අටු කොටු පිරුණේ වැව්වලින් ආපු දියවරෙන් කියලා. ඒ වැවම තමයි මේ අදටත් තියෙන්නේ. නමුත් අද නිසි කළමනාකරණයක් නැතිකම සහ ගොවියන්ගේ ඒ අඬහැරය නිලධාරීන්ට දැනෙන්නේ නැති එකයි ප‍්‍රශ්නේ. ඉතිං මෙතන කොතන හරි අවනඩුවක් තියෙනවා. ඒ සිද්ධිය හරියට මගේ හිතේ තිබුණා. පොඩි කාලේ කතා පොත්වල අපි දැකලා තියෙනවා සියාතු කියලා ගොවියන්ගේ නම. ඉතිං මං එතනින්මයි පටන් ගත්තේ ගීතය ලියන්න. රෝහණ වීරසිංහයන් මේ ගීතයට කොතරම් ආත්ම ගත වුණාද කියනව නං ගොවියන්ගේ අඬහැරය සියාතුවේ මා මිතුරේ කියන තැන පසුබිමින් ඇසෙන අඬහැර ආකාරය සුනිල් එදිරිසිංහයන් එක්ක සමගාමී වෙමින් ගායනා කරන්නෙත් රෝහණ වීරසිංහයන්. සමාජ යථාර්ථය ගැන මා අතින් ලියැවුණු ගීත අතර මා ඉතාම කැමති ගීතයක් සියාතුවේ. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




Friday, October 9, 2020

අජානේය ස්කූටර් ...

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා

කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා

බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා

විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා //


සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා

පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා

මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා

ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා


අජානේය ස්කූටර්..... 


සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා

උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා

රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා

කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා


අජානේය ස්කූටර්.. //


ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

සංගීතය – රෝහණ විරසිංහ

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය පසුබිම පිළිබඳව අදහස් දක්වමින් "ස්කූටර් කියන වචනය ගීතයක එන පළමු අවස්ථාව අජානීය ස්කූටර් ගීතයේ මං හිතන්නේ. ඉස්සර මගේ වැඩිමල් මිත‍්‍රයෙක් හිටියා කැලණිය විශ්වවිද්‍යාලයේ. ඔහු උපාධිධාරියෙක්. ඒ කාලේ උපාධිධාරීන් හුඟක් රස්සා නැතුව හිටියා. මගේ මිත‍්‍රයා තාවකාලිකව වැඩ කළා රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ. ඒකෙ මාර්ග කම්කරුවෙක්ම නෙමෙයි. කම්කරුවන්ගේ වැඩ මෙහෙයවන වැඩ මූලිකයෙක් විදිහට. උපාධිධාරියෙක් වෙලා ඔහු ඒ වැඩ කළා. නමුත් ඔහුට ගැළපෙන රැකියාවක් නෙමෙයි ඒක. එයාට විශ්වවිද්‍යාලයේ පේ‍්‍රමයක් තිබුණා. නමුත් ඒ පෙම්වතිය ඔහුට පිටුපාලා ඉහළ පැලැන්තියේ පෙම්වතෙක් හොයාගෙන යනවා. දවසක් මගේ මිතුරා අර පාරක් හදන තැනක වැඩ කරද්දී එයා දකිනවා එයාගේ පැරණි පෙම්වතිය තමන්ගේ සැමියා හෝ අලූත් පෙම්වතා සමග මෝටර් සයිකලයක නැගිලා ඔටුන්නක් වගේ හෙල්මට් එකත් දාගෙන බොහොම උජාරුවට යනවා උරහිසේ එල්ලිලා. මොහු අඳුන ගන්නවා ඇයව. ඇය මොහුව දැකලා අහක බලා ගන්නවා. ඕක තමයි සිද්ධිය. ඔය වගේ සිද්ධියක් තියෙනවා උම්මග්ග ජාතකයේ. සිරි කාලකණ්ණි ප‍්‍රශ්නය. දිසාපාමොක් ළඟ ඉගෙන ගන්නවා පිංගුත්තර කියලා දක්ෂ ශිෂ්‍යයෙක්. දක්ෂතම ශිෂ්‍යයාට හම්බවෙන තෑග්ගක් හැටියට හම්බවෙනවා දිසාපාමොක්ගේ දුව. සාම්ප‍්‍රදායික තෑග්ගක් හැටියට ඔහු භාර ගත්තත් ඔහුගේ ඇයට කිසි ආදරයක් නැහැ. ගමට යද්දී කැලෑව මැද්දෙන් බඩගිනි දැනිලා ගහකට නැග්ගම පලතුරක් කඩන් කන්න, පිංගුත්තර වහා ගහෙන් බැහැලා ඇයට බහින්න බැරි වෙන්න කටු අතු දාලා පැනලා යනවා. ඔතනින් යන වේදේහ රජු ඇය දැකලා තම බිසව කරගෙන, දවසක් දෙදෙනා උයන් කෙළියට යද්දී දකිනවා පාරේ පුරුෂයෙක් වැඩ කරනවා. ඒ තමයි පිංගුත්තර. ඔහු දැකලා ඇයට හිනා යනවා. රජතුමා ඇය නිකරුනේ හිනා වූයේ යැයි කිපෙනවා. රාජ උදහසින් ඇය බේරා ගන්නේ මහෞෂධ පඬිතුමා. ඉතිං අර මගේ මිත‍්‍රයාගේ කතාවයි ඔය කතාවයි ගලපලා තමයි ‘අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා’ ගීතය ලිව්වේ.

සිය පෙම්වතිය හැර යාමේ දුකට වඩා ඇයගේ නව කල්ක්‍රියාව හේතුවෙන් හටගන්නා සංවේගය පෙම්වතා ඉදිරිපත් කරයි. අජානේය අශ්වයා යනු බෞද්ධ සාහිත්‍යයේ යෙදෙන වචනයකි. හෙණ ගසන කල්හි තැති නොගන්නාවූ ශ්‍රේෂ්ඨ සත්වයන් සිවු දෙනකු පිළිබඳ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ 6,7,8 සූත්‍රවල සඳහන් වේ. එනම් රහතන් වහන්සේ (භික්ඛු ච ඛීණාසවො), අජානේය හස්තියා (හත්‍ථාජානීයො), අජානේය අශ්වයා (අස්සාජානියො), සිවුපා රජ වූ සිංහයා ( සීහො ච මිගරාජා ) යන සිව්දෙනාය. අජානේය අශ්වයා ශක්තිමත් බල සම්පන්න සත්ත්වයෙකි. ගීත රචකයා එම අශ්වයාට සමාන කරන්නේ මෝටර් බයිසිකලයයි. වාතයේ වේගයෙන් යන එම බයිසිකලයේ පිටුපස අසුනට වී ඔහුගේ පැරණි පෙම්වතිය නගරයේ සිරි නරඹන්නීය. ඇය එසේ සිරි නරඹනුයේ තම අලුත් පෙම්වතාගේ උරහිස් දෙකට අත්තබා මදක් එසැවීගෙනය. ඉතින් ඒ යන විලාසයට ඇගේ කිරුළ බිම වැටේදැයි පැරැණි පෙම්වතාට සැක සිතී ඇත. කිරුළ යන වචනය තුළ ගැබ්වන අර්ථය ඉතාමත් ගැඹුරුවක් පෙන්නුම් කරයි. කාන්තාවකගේ කිරුළ පතිවෘත්තාවයි. ඉතින් මේ යන ගමනට සිය පැරණි පෙම්වතියගේ කිරුළ අහිමිවේදැයි ඔහු කල්පනා කරයි.

‘සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා‘ යන වැකියෙන් ඔහු තමා ඉගෙනගත් ශිල්පය හා ලද රැකියාව විග්‍රහ කරයි. ශිල්ප හැට හතරක් ඉගෙන ගෙන පරතෙරට ගිය බව ඔහු කියයි. තමා පාරේ වැඩකරන කම්කරුවෙක් බව ඔහු නොසඟවයි. උදැල්ල ලැබී ඇත්තේ ඒ සඳහාය. තමා උගෙන ගත් ශිල්පයන්ට අනුව කම්කරු රැකියාවද හොඳින් කළ හැකි බව ඔහු පෙන්නුම් කරයි. ඔහු සිය පැරණි පෙම්වතිය නව පෙම්වතා සමග මෝටර් බයිසිකලයෙන් යන මාර්ගයේ වැඩකරමින් හිඳී. තමාගේ තුරුළට වී එකල පෙම් සුව විඳි සිය පැරණි පෙම්වතියට දැන් තමාගෙන් පිටවන දහදිය දුගඳක් වී ඇත. ඔහු එය කියන්නේ ව්‍යංගයෙනි. තම ගතින් වැටෙන දා බිඳුවලින් පිටවන දුගඳ නිසා මෝටර් සයිකලයෙන් යන පෙම්වතියට ඉවසිය නොහැකි තැන සිය ලේන්සුව ගෙන ඇය නහය වසා ගන්නීය. එයද විලවුන් සුවඳ තැවරූ ලේන්සුවකි. රසික හද කම්පනය කරවන සුලු වාක්‍ය ඛණ්ඩ යොදා ගනිමින් රචකයා පෙම්වතියගේ පිටුපෑම විග්‍රහ කරයි.

ඊළඟ පද පෙළෙහි ඔහු උපමාවක් භාවිතා කරයි. ඒ උදුම්බරා මලයි. උදුම්බරා මල පිපෙන්නේ රාත්‍රී කාලයටයි. එය රෑ පුරා සුවඳ විහිදුවා යළි උදෑසන මිලිනව යයි. එබැවින් රචකයා පෙම්වතුන්ගේ සදාකාලික සිහින උදුම්බරා මලට උපමා කරයි. එවැනි උදුම්බරා මලක් සෑම පෙම්වතකුගේම සිතෙහි පිපෙන බව කියන රචකයා තමාට අහිමි වුණු පෙම්වතිය ගැන දොස් නොකියයි. ‘කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා‘ යනුවෙන් ඔහු සිය හැඟීම් ප්‍රකාශ කරන්නේ සිත හදා ගැනීමට අවැසි සියලු සාධකයන් ගෙනහැර දක්වමිනි.

ප්‍රේමයේ එක් පැතිකඩක් මනාව විවරණය කරන රත්න ශ්‍රී විජේසිංහයන් අපූරු සංකල්ප රූපයක් මෙම ගීතය හරහා විද්‍යාමාන කරයි. ප්‍රේමයේ විරහවට වඩා වැඩි යමක් මේ ඔස්සේ රසික සිත්හි ජනනය කරවීමට ඔහු සමත්කම් දක්වයි. කරුණාරත්න දිවුල්ගනේගේ මධුර හඬ ස්වරය ගීතයට ආදරණීය හා ශෝකාකූල විඳීමකට අවැසි ඉඩ හසර මනාව ලබා දෙයි.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින හා ලංකාදීප)





Thursday, October 8, 2020

කියයි මිහිරි කතා ...

කියයි මිහිරි කතා නිතර රසට ගොතා

බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා

ඔමරි කරන ලතා සුවද සමන් ලතා

ආවෙමි හද පතා හිනා වෙයන් ලතා


රුන්ද රුන්ද ගත මල වට බඹරු නටන්නේ

ඇයි මන්ද මන්ද මගෙ හදවත ඔබට ඇදෙන්නේ

නුවන් බදන රුවන් දසුන

ඔබයි සොදුර සිත නළවන

සැපතකි මට ඔබේ සෙවන

එන්න දයාවී


කියයි මිහිරි කතා නිතර රසට ගොතා

බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා

ඔමරි කරන ලතා සුවද සමන් ලතා

ආවෙමි හද පතා හිනා වෙයන් ලතා


මන්ද මන්ද මැණිකේ ඔය ඇස් දෙක රතු වී

මම සන්ඩු වුනේ ඔච්චමටයි එදා තරහ වී

සවන පිනන මන බන්ධන

ගී අසමින ඔබට ගයන

මගේ පුන්චි පැල ඇතුලට

එන්න දයාවී


කියයි මිහිරි කතා නිතර රසට ගොතා

බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා

ඔමරි කරන ලතා සුවද සමන් ලතා

ආවෙමි හද පතා හිනා වෙයන් ලතා


ගායනය - ධනපාල උඩවත්ත 

පදරචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ 

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන 


මෙම ගීත රචනයට පසුබිම් වූ හේතුව සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විස්තර කරමින්. මගේ බිරිඳ දයාලතා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. 

අපි විවාහ වෙන්න කලින් ඉස්සරම, පුන්සිරි සොයිසාගේ "සෙව්වන්දියකට පෙම් බැන්ඳා" ගීතය ලියපු කාලේ පුන්සිරි අපේ ගෙදරට ආවාම කිව්වා සමන් අයියා ධනේටත් (ධනපාල උඩවත්ත) සිංදුවක් ලියලා දෙන්නකෝ කියලා. මං ඉතිං ගීතයක් ලියලා දුන්නා. දවසක් මේගොල්ලන්ගේ ගෙවල් කිට්ටුව පානදුරේ තිබුණා සංගීත සංදර්ශනයක්. ධනපාලත් ඒකෙ සිංදු කියනවා. මං ධනේට කිව්වා ධනේ ඔය සිංදුව පොඞ්ඩක් කියන්න කියලා. ධනපාල උඩවත්ත එදා ඒ සංගීත ප‍්‍රසංගයේදි ඒ ගීතය ගායනා කළා. ඒ ”කියයි මිහිරි කතා” ගීතය. ඒ මට දයාලගේ ගෙදරට යන්න වරම් නැති කාලේ, අර ප‍්‍රසංගයට පහුවෙනිදා මං යනකොට මෙයාලගේ ගෙවල් පාරෙන් දයාගේ අම්මා කියනවා ගෙදරට ඇවිත් කියන්න බැරි එව්වා ලවුඩ් ස්පීකර් වලින් කියෝනව කියලා. ඇය එහෙම කිව්වට කමක් නෑ ඉතිං. මොකද මං මේක මගේ බිරිඳට ලියපු ගීයක්. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)







රෑ වැඩ මුරය ...

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට

නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට


තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ

නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ

මල් විය නොවෙද මේ දියකර හරින්නේ

මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ


රෑ වැඩ මුරය ...


නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ

හද සුසුමන්ද පවනක් වී හමන්නේ

තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ

ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ


ගායනය - සුනිල් එදිරිසිංහ 

පද රචනය: බන්දුල නානායක්කාරවසම්

සංගීතය: රෝහණ වීරසිංහ

ඇඟළුම් ක්ෂේත‍්‍රය ගැන කතා කරනකොට අදටත් ප‍්‍රමුඛව කතා කරන්නේ බන්දුල නානායක්කාරවසම්ගේ රෑ වැඩ මුරය ගීතය පිළිබඳව. අවුරුදු 35 ක් තිස්සේ මේ ගීතය එක ලෙස ජනප‍්‍රියතත්වයේ තියෙනවා. මේ සුලබ ප‍්‍රස්තුතය ගැන විවිධ ගීත ලියවුණත් ඒ කිසිවක් මේ ගීතය තරම් කතා බහට ලක්වුණේ නෑ කියන එකයි විචාරකයින් ගේ මතය.

මේ ගීතය පිළිබඳව බන්දුල නානායක්කාරවසම් අදහස් දක්වමින් "සුනිල් අයියගෙන් මට විශාල කීර්තියක් ලැබුණේ රෑ වැඩ මුරය සහ වියෝ වූ පසුවයි ගීත දෙකෙන්. කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලා ගැන අහලා තිබණනට ඒ කාලේ කොග්ගල ඇඟළුම් කර්මාන්ත පුරය එහෙම තිබුණේ නෑ. කුරණ, කටුනායක තමයි මේ කර්මාන්තයේ ළමයි අපිට දකින්න පුළුවන් වුණේ. අපි දවසක් මළගෙදරක යද්දී මහ රෑ යාමෙක මේ ළමයි කෑ කෝ ගහගෙන කර්මාන්ත ශාලාවට යනවා දැක්කා. අපි මළගෙදර ගිහිං එනකොට ඒක ඉතා නිහඬව නිසංසලව තිබුණා. ඒක ඇතුළේ කිසි සද්දයක් බද්දයක් නෑ. අපි එද්දී එතැන ටිකක් නැවැත්තුවා. එතැන සුදු බිත්තියක් තිබුණා. උඩ සිවිලිමක් තිබුණා. ඒ දෙක අතරින් නියෝන් එළිය එළියට ගලාගෙන යනවා. කර්මාන්ත ශාලාවේ ලස්සන තණ බිමේ නියෝන් එළිය විහිදිලා විසිරිලා දොරේ ගලලා ගිහිං තිබුණා. මට හිතුණා මේක ඇතුළේ මේ ළමයින්ගේ තාරුණ්‍යය පුදුම විදිහට දියවෙනවා කියලා. මේ ගීතය ජනකවි ආරට ලිව්වේ. සිංහල ජනකවි වලට මං හරි කැමතියි. කුලේ අයියයි සුනිල් ආර්. ගමගේ දෙන්නා තමයි මේ ගීතය ලියන්න පසුබිම හැදුවේ.

අතීත ජන සමාජය තුල පුද්ගල වෘත්තීය දිවිය හා බැඳුනු ජන කවි අප අසා ඇත්තෙමු.. ඔවුන් ඉන් බලාපොරොත්තු වුයේ සිය වෘත්තීය දිවියේ ඇති කටුක කටෝර, දුක්ඛිත ස්වභාවය මදක් හෝ අස්වසා ගැනීමයි. එකල ඔවුහු ස්වයන්පෝෂිත වුහ. යුගයෙන් යුගයට සියලු දෑ අලුත් වෙද්දී ආර්ථිකය සංවර්ධනය කරා ගමන් කරවීමට පාලක පිරිස් උනන්දු විය. විවෘත්ත ආර්ථික ප්‍රතිපත්ති බිහිවිය. රට යම්තාක් දුරකට හෝ සංවර්ධනය වන්නට ඇත. නමුත් ඒ හා බැඳුන නොයෙක් සාමාජීය ගැටළු, පුද්ගල ජීවිතයේ සංවර්ධන ගැටළු විටින් විට අහන්නට දකින්නට ලැබිණි.

බන්දුල නානායක්කාරවසම් ගීත රචකයා මේ ගීතයෙන් සියුම්ව ස්පර්ශ කරන්නේ එවකට දැඩි කතාබහට ලක් වූ සමාජයේ තවත් වෘත්තියකි. ඒ ඇඟලුම් වෘත්තියයි. අපනයන වෙළඳ කලාප වශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි වෙද්දී ඒ හරහා රැකියා දහස් ගණනින් නිර්මාණය විය. ග්‍රාමීය සහ අර්ධ නාගරික දරිද්‍ර තාවය හේතුවෙන්ම නොයෙක් ප්‍රදේශ වලින් ශ්‍රමය මේ බිහි වන රැකියා වෙත ඇදෙන්නට විය. නගරයේ සමාජ විෂමතාවන් ගැන නොදත් ගමේ ගමේ අහිංසක යුවතියන්ද ඔවුන්ට තිබු සිහින කිහිපයක් මල්ලක දමාගෙන නගරයට ආවේ ඉන් කිහිපයක් හෝ සැබෑ කර ගැනීමේ අරමුණ පෙරදැරිවයි. නගරයේ ජීවිතය ඔවුන් සිතූ තරම් සුන්දර නොවූ තැන, නගරයේ ඔවුන්ගේ කියා කිසිවෙකු නොසිටි තැන සිදු වුයේ හමු වූ, කතා කල පමණින් යමෙකුගෙන් පිහිට පැතීමයි. අතිශය ආත්මාර්ථකාමී සමාජයේ ඔවුන් රවටා ඔවුන්ගෙන් සිය වුවමනා සපුරා ගැනීමට පිරිසක් බිහි වන්නේ මෙලෙසයි. ඔවුන් මුහුණ පාන ජීවිතය රචකයා දකින්නේ මෙලෙසයි.

රෑ වැඩ මුරය අවසන්වන කණිසමට

නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට

නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට….

රාත්‍රී වැඩ මුරය නිමා කල ඇඟලුම් යුවතිය දැඩි වෙහෙසට පත්වීම නිසාම ඇගේ මුහුණ පර වී ගිය මලක් සේ දිස් වෙයි. කිසිඳු සතුටක් සිනාවක් ඒ තුල නෑ. රෑ වැඩ නිමා වී නවාතැන් බලා යන ඔවුන්ට රාත්‍රිය උදා වෙන්නේ උදෑසනයි. නින්දක් කියා සුළු විවේකයක් හෝ ඔවුන්ට ඇත්තේ උදෑසන පමණකි. එය සැබෑවටම පෙර කල පවක් ගෙවනා සේම දුකකි..

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ

නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ

මල්විය නොවෙද මේ දියකර හරින්නේ

මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ..

ඇයට මෙන්ම ඇගේ දෑඟිලි වලටද එක දිගට මැසීම හැරෙන්නට කිසිඳු විවේකයක් නැත. ඇගේ සුන්දරත්වය මැහුම් ශාලාවේ කෘත්‍රිම ආලෝකයටම වියැකී යැයි.. මේ ගෙවී යන්නේ ජීවිතයේ විඳින්නට තියන මල් වයසම නොවේද.. මැෂිමේ ශබ්දයට මුවා වී ඇගේ හදවතේ දුක නිසාම නිරන්තරයෙන්ම හඬයි.. “මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ”.. ගීතයේ පද සියල්ලෙන්ම රසික හදවත එක එල්ලයේම ස්පර්ශයට සමත් එක් පද පේලියකි.

නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ

හද සුසුමන් ද පවනක් වී හමන්නේ

තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ

ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ…

ඈ හෙලන කඳුළු සයුරක මහා දිය කන්දට සමයි.. හෙලු සෝ සුසුම් හමන සුළඟට සමයි.. නගරය තුල තමාට තමා පමණක්ම වෙයි. ඇයගේම කියා ඈට පිහිට වන්නට කිසිවෙකුත් නැත. ඇය මැෂිමක් සමග දැඩි වෙහෙස වී මේ සිදු කරන්නේ ඇඳුම් මැසීම පමණක් වුවත් ඒ පිටුපස සැඟවී ඇති ඇගේම ජීවිතයේ, ඇගේ පවුලේ අඩුපාඩු සපුරාලීම ඇගේ එකම අරමුනයි..

“ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ” ගීතය තුල ඇති තවත් විශේෂ පද පේලියකි. නිසැකවම රසික හද කම්පාවට පත් කරවන සුලුය…


(උපුටා ගැනීමකි)




Tuesday, October 6, 2020

කවිකාරියේ ...

කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා //


දෙකනේ රිදී තෝඩු ලා

නළලේ කොකුම් පාට ලා

වීණා වයා තාලෙටා

කවි ගී අසා ආවේ මා


වීණා වයා කවි ගී ගයා

අපි යන්නේ රුපියල් සොයා


කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා


හිඟමන් නොයා මාවතේ

මහදේ රැ‍ඳෙන් රූපිකා

සසරේ ගෙනා ආදරේ

අඳුරයි ඔබේ දෝතටා


දෙවි සාමිනේ මංදා අනේ

සිත මාගේ චංචල වෙලා


කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා //


ගායනය - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර

සංගීතය - මහින්ද බණ්ඩාර

ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ


"කවිකාරියේ සින්දු කියනා ලඳේ" ගීතයට පසුබිම් වූ ප්‍රස්තුතය සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් පැහැදිලි කරමින්.........

කීර්ති පැස්කුවෙල්ගේ හුඟක් ගීත මම ලියපුවා. ඒ කාලේ අපේ පානදුරේ ගෙවල් කිට්ටුව හරස් පාරක ගාඩි රැහේ අය ඇවිත් වාඩිලා ගෙන හිටියා. ඉතිං එතන ඉන්නවා, සුදු පාට ලස්සන නෙමෙයි, තලෙළු පැත්තෙනුත් කළු පැත්තට බර යුවතියක්. ඇය පොල් කටු වීනාව ගගහා ඔතන සිංදු කියනවා. හැන්දෑවට එහෙ මෙහෙ යනවා. මේ හුඟක් ඉස්සර. ඉතිං ඇය මා එක්ක කතා කරනවා බයෙන් බයෙන්. මට පේ‍්‍රමණීය හැඟීමක් පහළ වෙලා තිබුණේ නැහැ ඇය පිළිබඳ. නමුත් අතනින් යනකොට අර ඇය ගයන ගී අහගෙන ඉඳලා යන්න කැමැත්තක් තිබුණා. 

දවසක් දා හම්බවෙච්ච වෙලාවේ එක පාරටම ඉඳන් කිව්වා ‘සාමි අපි හෙට යනවයි’ කියලා. එතකොටයි මං දැනගත්තේ මේ ගොල්ලෝ සුමානයකට වැඩිය ඉන්නේ නෑයි කියලා. එතන කුකුලෝ එළුවෝ ඔක්කොමත් එක්ක ඉන්නේ ඔවුන්. හැබැයි හරි සුන්දරයි මේ යුවතිය. මේ සිදුවීම මගේ ඔලූවේ තිබුණා. දවසක් දා මහින්ද බණ්ඩාර කීර්තිටයි ධම්මිකාටයි ගීතයක් ලියන්න කියලා මෙලඩි එකක් මට දුන්නා. ඒ මෙලඩි එක අහනකොටම මට හිතුනේ ඒකට ගැලපෙයි කියලා අර සිද්ධිය. ඉතිං ඒ වෙලාවේ තමයි ලිව්වේ කවිකාරියේ සිංදු කියනා ළඳේ. ඉතාම ජනප‍්‍රිය වුණා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




මා වවුලන් රෑ පුරාම ...

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා

මං එනතුරු හඬා වැටෙද්දී

නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ

හොල්මන් ගැන කතා කියද්දී

මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

පද රචනය - කුලරත්න ආරියවංශ

තනුව - රෝහණ වීරසිංහ


අමරදේවයන්ගේ ”මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා” ගීතය රචනා කිරීමට පසුබිම් කාරණය පිළිබඳව කුලරත්න ආරියවංශයන් අදහස් දක්වමින්...... 

ගමක තනිවෙච්ච අයියා කෙනෙක්ගේ ශෝකී හැඟීම් තමයි ඔය ගීතයේ තියෙන්නේ. අපේ මහ ගෙවල්වලට උඩින් තිබුණා කුරුඳු කැලෑවක්. අපිත් යාලූවෝ එක්ක යනවා දන් හිඹුටු කඩන්න. පස්සේ කාලෙක යනකොට බෙදලා දීලා තිබුණා ඉඩ කඩන් එළි කරලා කට්ටියට ඒ කැලෑව. දවසක් පරණ පුරුද්දට උඩහට කැලේට ගියාම මම දැක්කා එක ගෙදරක ඉන්නවා වයසක අයියා කෙනෙක් තනියම නිකං ගේ කෑල්ලක් අටෝගෙන. බැලූවම දැන් තනියම ඉන්නේ අම්මා තාත්තා නැතිවෙලා. මෙයා මේ හුදකලාවේ ඉන්නේ. මට පස්සේ නිකං හිතුනා ඒ චරිතය මම උනා නං මොකද වෙන්නේ කියලා. ඊළඟට දවසක් ඔය කුරුඳු කැලේ යනකොට අපේ මල්ලිව මග ඇරිලා මට මතකයි එහෙම සිදුවීමක්. ඔන්න ඔය අතීත සිදුවීම් කිහිපයක් එක්ක තමයි ඔය ගීතය ලිව්වේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...