Monday, November 30, 2020

පින්න මලේ සුද ...

පින්න මලේ සුද ඇන්න ගිහින්වද

මුහුණ පුරා පෙම් පිරිලා

ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර

කන්ද කපා හඳ ගෙට එන්නා //


දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්

අන්න බලාපන් අත වනතේ

මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට

ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ


පින්න මලේ....


ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ

එන්නෙ අළුත් අවුරුදු කාලේ

ගන්න එපා පර දේස සිරිත් නෙක

මේක අපේ සිංහල දේසේ


පින්න මලේ....


ගායනය - එඩ්වඩ් ජයකොඩි

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - අමරසේන කංකානම්ගේ


 "පින්න මලේ සුද" පේ‍්‍රම ගීතය පිළිබඳව අමරසේන කංකානම්ගේ අදහස් දක්වමින්......

 

එඩ්වඩ් දවසක් මට කිව්වා ”අමරේ, මට කැසට් එකක් කරන්න නං ඕනකම තියෙනවා. මට සිංදුවක් හෝ දෙකක් දෙන්න” කියලා. මං ඇත්තමයි එඩ්වඩ්ට කිව්වා අනේ එඩ්වඩ් මං සිංදු ලියලා නං නෑ, කැසට් ඒවා මේවා ගැන මට කිසි අවබෝධයකුත් නෑ කියලා. ඒ ගමන එඩ්වඩ් කිව්වා කමක් නෑ කමක් නෑ ඔයාට ලියන්න පුළුවන්. මං දන්නවා ඔයාට ලියන්න පුළුවන් බව. බැරිඋනොත් අපි හරිගස්සගමු කෝ කියලා, කොහොම හරි සිංදු දෙකක් ලියලා දෙන්න කිව්වා එයාගේ කැසට් එකට. අන්තිමේදී මම සිංදු දෙකක් ලිව්වා. එකක් තමයි පින්න මලේ කියන ගීතය. අනිත් ගීතය තමයි නිල් නුවන් කියන ගීතය. මේ ගීත දෙකේම සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ගීත දෙකම ජනප‍්‍රිය වුණා.

 

ගීතය ලියද්දි නිකමටවත් හිතුනද මෙතරම් ජනප‍්‍රිය වෙයි කියලා? 

අනේ නෑ. මොකද මං දන්නේ නැහැනේ ඉතිං ඇත්තටම ගීතයක තියෙන්නා වූ ක‍්‍රමවේදයන් මොකක්වත්. අහපු පළපුරුද්ද විතරයි මට තිබුණේ. කවි ලිවීමේ හැකියාවක් තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. එඩ්වඩ් ආවට පස්සෙවත් මං ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට එහේ සෑහෙන ගායකයෝ හිටියා. මර්වින් පෙරේරා, ප‍්‍රියා සූරියසේන, ලීලානන්ද රත්නායක වගේ අය. නමුත් කවදාවත් ඒ කාටවත් මං සිංදු ලියලා දුන්නේ නෑ අනේ මේක කියන්න කියලා. එඩ්වඩ් මගෙන් බලෙන් ඉල්ලා ගත්තා. ඒක හින්දා තමයි බලෙන් මට ලියන්න වුණේ. මං එඩ්වඩ් ගෙන් ඇහුවා මොනවගේ ගීත ද ඕන කියලා. ඔයා නිදහසේ ලියන්න; මට ඒකෙ කිසි ප‍්‍රශ්නයක් නෑ කියලා කිව්වා. පින්න මලේ ගීතය මම එහෙම නිදහසේ ලියපු ගීතයක්. නිල් නුවනුත් එහෙමයි. කෙටියෙන්ම කියතොත් එඩ්වඩ් නැත්නම් මං කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නෑ. 

මං දන්නා ළමයෙක් හිටියා තමන්ගේ ජීවිතේ පිළිබඳ හරිම නොසැලකිලිමත්. හරියට අඳින්නේ නෑ. හරියට හිස පීරන්නේ නෑ. තරුණ ළමයෙක්. නමුත් පසු කාලයකදී මම එයාව දැක්කා බොහොම හොඳට ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. මට හිතුනා ඇත්තටම මේකට මොකක් හරි හේතුවක් තියෙනවා කියලා. මෙයා මොකක් හරි පේ‍්‍රම සම්බන්ධතාවයක පැටලිලයි කියන හැඟීම මගේ ඔලූවට ආවා. මං ඒ ළමයාගෙන් ඇහුවේ නෑ ඔයා මොකද මෙහෙම ඉන්නේ කියලා. නමුත් මට එහෙම හිතුනා. ඒ සිතුවිල්ල තමයි ඔය ගීතයට හේතු වුණේ. 

පින්න මල කියන උපමාව හුඟ දෙනකුට හුරු නෑ. හුඟ දෙනෙක් හිතන්නේ අර කනතුවල අරහේ මෙහෙ තියෙන පින්න මල් කියලා. නෑ එහෙම පින්න මලක් නෙමෙයි මේ. මේක නෙලූම් මලක් වගේ. හරිම සුවඳයි. වෙල් දෙණිවල තමයි මේ මල පිපෙන්නේ. පින්න මල කොයි තරම් සුදුද කිව්වොත් පෙත්ත වටේ ලා රෝස පාටක් තියෙනවා. හැන්දෑ වෙනකොට ඒක පරවෙනවා. ඒ තරම් ලස්සනයි. මං ඒක තමයි උපමාවට ගත්තේ ඒ පින්න මල. අනික ඒ ගීතය ලියනකොට ගමේ මිනිස්සුන්ගේ සිරිත් විරිත්, ඒවත් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඇවැස්ස නෑකම. ඇවැස්ස මස්සිනා තමයි මේ ගීතය කියන්නේ, නෑනට.

 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...