Wednesday, March 31, 2021

උතුරු කොනේ ...

උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


කොතැනක සිටියත් ඉපැදුණු  මියයන බිම එකනේදෝ

ඒ බිම එක් වී සුරකින යුතුකම

අප සතු නේදෝ


උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


එක මවකගෙ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා

නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොමවන්නයි කිසිදා


උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - චන්ද්‍රා වාකිශ්ඨ

තනුව - විශාරද ගුණදාස කපුගේ


උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ලියන්න බලපෑ පරිසරය පිළිබඳ කළ විමසීමක දී චන්ද්‍රා වාකිෂ්ඨ මහතා සිය මතකය අවදි කළා.


”මගේ තාත්තා උඩරට ප‍්‍රදේශයේ වෙළෙඳ කටයුතු කළ කෙනෙක්. තලවාකැලේ තමයි බිස්නස් කළේ. තාත්තගේ කඩකාමරය අවට ඔක්කොම වගේ හිටියේ දෙමළ අය. ඒ අයයි අපියි අතර පුදුම බැඳීමක් තිබුණා. මටත් ඒ කාලේ දෙමළ කතා කරන්නත් පුළුවන්. අම්මගේ ගම මාතර. අපි මාතර ඉඳලා තලවාකැලේ යද්දි එහේ ඉන්න දෙමළ අයට මාළු ඇඹුල්තියල්, කොණ්ඩ කැවුම්, අටුකොස් වගේ දේවල් ගෙනියනවා. අපි ගියාම තාත්තගේ කඩකාමරය නිදාගන්න ඉඩමදි නිසා ඒ අවට දෙමළ අයගේ ගෙදරක තමයි නිදාගන්න සූදානම් කරන්නේ. ඉතින් ඒ අය අපි ගියාම මුරුක්කු, උළුඳු වඬේ, තෝසේ, පොල් රොටී වගේ එක එක ජාතියේ කෑම හදාගෙන එනවා. මට තාමත් ඒ සුවඳ මතක් වෙනවා. නිදාගන්න ඒ අයගේ කොට්ට පැදුරු එක්ක පෙරවන රෙදි ට‍්‍රංකා පෙට්ටි ඇතුළෙන් අරන් දෙද්දී තිබුණු සැවැන්දරා මුල් සුවඳ. ඉතින් ඒ බැඳීම මේ ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ලියන්න බලපෑවා.”

කෙසේ වෙතත් එම ගීතය මුල්වරට ජනතාව අතරට පත්වූ ආකාරය ගැන විවිධ අදහස් තිබේ. එය මුලින්ම කොළඹ සරසවියේ ‘ප‍්‍රාර්ථනා’ ගී ප‍්‍රසංගයේ දී ගායනා කෙරිණි. ඉන්පසුව එය ගුණදාස කපුගේ විසින් තෝරාගෙන ගුවන්විදුලි ගීයක් බවට පත් කළ බවට අදහසක් තිබේ. එහෙත් එය ගුවන්විදුලියේ ප‍්‍රචාරය වූවාදැයි නිශ්චිත නැත. ගීත රචක චන්ද්‍ර වාකිස්ට පවසන ආකාරයට එම ගීතය සරසවි ප‍්‍රජාවට පරිබාහිර සමාජයේ දී පළමුවෙන්ම ප‍්‍රසිද්ධියට පත් වූයේ 1977 දීය. ඒ කොළඹ නගර සභා පරිශ‍්‍රයේ පවත්වන ලද "චේ ගුවේරා" සැමරීමේ උළෙලකදීය.

”ඒක සංවිධානය කරලා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ. අද ජීවතුන් අතර නැති ජ.වි.පෙ. නායකයන් රැසක් එදා එතන හිටියා. ඉතින් එදා සමරු උළෙලින් පස්සේ තිබුණු සංදර්ශනයක දී ගුණදාස කපුගේ මහතා ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ගායනා කරලා තිබුණා.”

(උපුටා ගැනීම - අජන්තා එම්. ජයසේකර/ජනරල)




මිනින්දෝරු කන්තෝරුවේ ...

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික

සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද

ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන

තරහ අවසරයි යනවද දංවැල් අරගෙන


පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන

හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන

රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...


දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග

තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල

වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට

වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

සංගීතය - එච්.එම්. ජයවර්ධන

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ


රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙම ගීතය පිළිබඳව අදහස් දක්වමින් "මිනින්දෝරු කන්තෝරුව’ හරිම අපූරු අත්දැකීමක්. මම සමෘද්ධි අමාත්‍යාංශයේ සේවය කරන කාලයේ අනුරාධපුර, දඹුල්ල පාරේ සිවලාකුලම තෝඩාමඩු ගම්මානයට ගියා. අපේ රාජකාරි කටයුතු අතරතුර මට අධික තිබහක් දැනුණා. මම ඒ අසල තිබුණු ගෙදරකට ගියා වතුර ටිකක් බොන්න. ඒ ගෙදර මධ්‍යම පන්තියේ නිවෙසක්.

මේ ගෙදර එක් පැත්තක විශාල නුග ගහක් තිබුණා. මේ නුග ගහ පාමුල පහන් වැටක් ඉඳී කොට තිබුණේ හරිම පිළිිවෙළට. ඒ පහන් පැල අවට ලස්සනට මල් වවලා තිබුණා. මං එතනට යන මොහොතෙත් අසූ වියැති පුද්ගලයෙක් මේ බිම අමදිමිනුයි හිටියේ. මේ මාමණ්ඩිගෙ නම මුතු බණ්ඩා. මං මේ මාමණ්ඩිගෙන් වතුර ඉල්ලුවා. මාමණ්ඩි අපිට බඩ පිරෙන්න වතුර දුන්නා.

වතුර බීල අහවර වුණාම මං දැක්කා ලූනු වගයක් තිබෙනවා. අපි ලූනු ඉල්ලුවාම මුතුබණ්ඩා මාමණ්ඩි ලූනු වඩි දෙකක් පුරවලා දුන්නා. අපි සල්ලි දුන්නට ඒක තරහෙන් ප්‍රතික්ෂේප කළා.

මේ පහන් පැල මට දැන් ප්‍රශ්නයක්. මං ඇහුවා ‘මාමණ්ඩියේ මෙතන මොකද මෙච්චර ලස්සනට තියාගෙන ඉන්නේ’ කියලා. මේ තමයි මහත්තයෝ මගේ පවුල ඉන්න තැන කියලා මාමණ්ඩි හයියෙන් තාලයට ලස්සනට කවියක් කිව්වා.

‘කපා කොටා බටු තිබ්බටු සිඟිත්තේ

රන් මැණිකා අද නිදිදෝ කනත්තේ


මේ කවියත් එක්කම මාමණ්ඩිගේ දෑසට කඳුළු ඉණුවා.

‘මහත්තයෝ මට මගේ පවුල වෙනුවෙන් වතාවත් කොරන්ඩ ලැබෙන්නෙ තව ටික දොහයි’ මාමණ්ඩිය කිව්වේ කණස්සල්ලෙන්.

‘ඉතාම ඉක්මනට මේ ඉඩම මැනලා වෙන් කරන්න අපේ මලයගෙ දරුවො නඩුවක් දාලයි තියෙන්නේ. එතකොට මගේ පහළ ඉන්න තැන මායිමෙන් එහාට පනිනවා. ඊට පස්සේ මේ ගරු සැලකිලි කරන්ට ලැබෙන එකක් නෑනෙ මහත්තයෝ.

මුතුබණ්ඩා මාමණ්ඩිගෙ මේ කතාව මගේ හිතට ගෙනාවේ දැඩි සංවේගයක්. මේ කතාව ගීතයකට නඟන්න හොඳම තැන තමයි මිනින්දෝරු කන්තෝරුවෙ උදවිය ඉඩම මැනල මේ නුග ගහ එහා වත්තට අයිති වෙන්න විදිහට වැට ගහන තැන. මං ගීතය ලියුවා.

මුලින්ම ලියුවේ ‘සරුව ජනෙල් කන්තෝරුවෙ මූලාදෑනි ටික’ කියලා. සරුව ජනෙල් කිව්වේ ‘සර්වේ ජර්නල්’ කියන එක. නමුත් දිවුල්ගනේගේ ඉල්ලීම පිට හැමෝටම දැනෙන මිනින්දෝරු කන්තෝරුව කියලා යෙදුම භාවිත කළා.

(උපුටා ගැනීම - සරසවිය චතුර ගීතනාත් බණ්ඩාර) 




මිනිසා ...

මිනිසා

මරණ තුනක් ඇති මිනිසා

බලා සිටී

නිරුවත් දෑසින්

බලන්න කන්‍යාවී


ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිඳිද්දී

සංත්‍රාසයෙන්

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්

වයන්න වීණා

කන්‍යාවී


නියඟලා මල් පාට දේදුණු

දෙබෑ කර එන ගිරා පොව්වන්

පියුම් කැකුළක් තුඩින් පාරා

බලෙන් පුබුදන

හංසයා

බලන්න නිරුවත් දෑසින්

ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කළඑළි ගන්වා

වයන්න වීණා

කන්‍යාවී


මිනිසා.....

මරණ තුනක් ඇති මිනිසා


ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිඳිද්දී

සංත්‍රාසයෙන්

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්

වයන්න වීණා

කන්‍යාවී


ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - ලූෂන් බුලත්සිංහල

තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


අසුව දශකයේ දවසක ලුෂන් බුලත්සිංහල හොයාගෙන පරාක්‍රම නිරිඇල්ල එනවා ඔහුගේ සිරිමැදුර චිත්‍රපටයේ තිරනාටකයත් අරගෙන චිත්‍රපටියට ගීතයක් ලියාගන්න. තිරනාටකය කියවපු ලුෂන්ට සිහියට එනවා අපේ පැරණි කවියක්.


"වනේ ගිජිදාය දුටුවොත් වනසාය

ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය.

අතකින් කරවැලකි අතකින් දඬුබෑය

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය"


චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය අනතුරකින් කශේරුව ආබාධිතයෙක් වීම නිසා කතා කිරිමේ හැකියාව නැතිවු කෙනෙක්. ඔහු සංගීතඥයෙක්. ඒ නිසාම ඔහු සංගීතයට ඇලුම් කරන සහෝදරයාගේ බිරිඳත් එක්ක සම්බන්ධතාවයක් ඇතිවෙනවා. නමුත් නිවසේ මෙහෙකාරිය තමයි ඔහුගේ සියලු අවශ්‍යතා ඉටුකළේ. ඔවුන් දෙදෙනා අතරත් සම්බන්ධයක් තියනවා. මේ තුන්කොන් අරගලය එක්ක ලුෂන් අතින් ලියවෙනවා මෙහෙම පදවැලක්.


දඩුවැල් බෑයයි සේද සළුවයි

දරා දෝතින්

මේ බලන්න සරස්වතී

මරණ තුනක් ඇති මිනිසා

බලා සිටී.

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිදිද්දී


පරාක්‍රම නිරිඇල්ලයි, කේමදාස මාස්ටර් එක්ක කාරෙකේ යන ගමන් ලුෂන් මේ පදවැල කියවනවා. පදවැල අහගෙන හිටපු මාස්ටර් කාර් එක නවත්තනවා.

"මරණ තුනක් ඇති මිනිසා බලා සිටී ඒක තමයි ලයින් එක. ලුෂන් එතනින් සිංදුව පටන් අරන් ආපහු ලියන්න."

තරමක සංකීර්ණ වුවත් සංකල්ප රූප වලින් අලංකාර වූ මේ ගීතය රචනා වෙන්නේ එහෙමයි. 


ලුෂන් අතින් ලියවුනු මේ ගීතයේ යොදා ඇති උපමා රූපක මෙන්ම ඉපැරිණි සාහිත්‍යයේ ඇති සියුම් තැන් ආභාෂයෙන් ලබාගත් දැනුම, මිනිස් සිතේ ගැඹුරුම පතුලින් නැගෙන හැඟීම් පිළිබඳව උද්දීපනය කිරීමට යොදාගෙන ඇත. 


නියඟලා මල් පාට දේදුනු

දෙබෑ කරගෙන එනු ගිරා පොව්වන්

පියුම් කැකුලක් තුඩින් පාරා

බලෙන් පුබුදන හංසයා බලන්න නිරුවත් දෑසින් 

මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය. මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.


ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කල එලි ගන්වා

වයන්න වීණා කන්‍යාවී

ලාංකේය සංගීතයේ කඩතුරාවන් විවර කළ ගාන්ධර්වයා වූ ප්‍රේමසිරි

කේමදාස මේ ගීය වෙනුවෙන් තමාගේ ප්‍රතිභාව නොපිරිහෙලා ඉටුකර ඇත. අමරසිරි පීරිස් ගේ මෝහනීය හඬට කෙතරම් වටිනාකමක් ගෙනාවාද යත් ” සිරිමැදුර ” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේ ගීයට 1989 සරසවි සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් “වසරේ හොඳම ගායකයා ලෙසද පිදුම් ලැබීය.

(උපුටා ගැනීමකි)




Monday, March 22, 2021

ප්‍රේමවතී මන්ම්පේරි ...

ප්‍රේමවතී මන්ම්පේරි තරුණිය

කතරගමේ විසූ රූප රැජිනිය

පතිවත කෙලසලා ඇගේ

මැරුවා තිරිසෙනෙක් වගේ

ඒ සිත් පිත් නොමැති උදවිය


එක්දාස් නමසීය හැත්තෑ එකේ වරුෂයේ

සිදුවුනු සිද්දියක් මේ අපේ ලංකාද්වීපයේ

රුහුණේ කදිර සුරිඳුන් වැඩ විසූ භූමියේ

උන අපරාධය පවසමි ශුද්ධ භූමියේ

කතරගමේ රූප රැජිනිය මනම්පේරි නමගත්

ඇගේ හැඩරුවට වශී උනා කාගෙත් නෙත් සිත්

ණැනවත් තරුණියක් ඇය පවුලක දුප්පත්

ඇයට සිදුවුනු දේ අමතක වෙනවද කවදත්


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


මනම්පේරි මේ සුන්දර රූප රාජිනි

ඇයව සොයා හදිසියේ ජිප් එකක් පැමිනුනි

කිසිවක් කරකියාගන්ට ඇයට බැරින්වුනි

ඒ නිළධාරින් ඈ කැඳවන් යන්න සැරසුනි

මේ ලෙස මා ගෙනයන්නට කල වරද කුමක්ද

ඒයි මන්ම්පේරි කතා නැතුව එනවාද නැද්ද

අකමැත්තෙන් වුව ඇයට යන්න සිද්ද

ඔය පාලු කුටියකට ඇය කැඳවන් ගියේ මන්ද


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


එම පාලු කුටිය තුල තරුණිය හිර කරලා

කැඳවන් ගිය සැම දෙනා එතැන රොක් වෙලා

විලි වසා සිටි වස්තරේ ගලවන්න අන කලා

විලි ලැජ්ජයි දැන් ඇය වැළපුනි කඳුලු සල සලා

ඇයව වැදු මවයි කුඩා සොයුරියයි සිහිවිය

සුකුමල මුව කමල කඳුලින් තෙත් විය

මට යන්න දෙන්න හෙලි නොකරමි කල විපැත්තිය

ඇගේ ඉල්ලීමට කන් දුන්නද මරුග කට්ටිය


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


දණ ගස්වා නිර්වස්ත්‍රව ඇඳන් යන විට

වෙඩි උන්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවෙට

පිට පිට වෙඩි උණ්ඩ නිකුත් උනා හනිකට

හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද

ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගේ මුලු සිරුරෙන්

කලින් කපා තිබුනු වලක් තුලට හිටි ගමන්

වල වසා දමන්නට එතැනට පැමිනිනු ඇලඩින්

හිතුවය මෙලසටයි පැවසුවේ ඉකිබිඳමින්


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


අවසාන මොහොතේ උදව්වක් කරන්න පා දයා

ඔබට බුදු බව අත්වේවී ඇලඩින් අයියා

මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා

ඇයට පවසන්න ජීවතුන් අතර මෙමං නැත කියා

එපමනයි ලැබුනේ ඈට ඔහු හට පවසන්න

තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට

අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට

අවසන් හුස්ම හෙලා නෙත් පියා ගත්තා සදහට…


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


ගායනය, තනුව හා පදරචනය - ඇන්ටන් ජෝන්ස් 


කතරගම වන සත්ව දෙපාර්තමේන්තුවේ මුරකරුවකු වශයෙන් සේවය කළ හෙන්ද්‍රික් අප්පුහාමිගේ හා ලීලාවතී ඔබේසිංහ යන අයගේ වැඩිමහල් දියණිය වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනයට ලක්වන විට 22 වැනි වියේ පසුවූවාය. කතරගම විද්‍යාලයේ දීප්තිමත් සිසුවියක වූ ඇය, විද්‍යාලයේ එකල අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් සියල්ල උසස් අන්දමින් සමත් වූ අතර කතරගම ප්‍රදේශයේ සිටි උගත් බුද්ධිමත් තරුණියක ලෙසට ද, ප්‍රදේශවාසීන් අතර පිළිගැනීමට ලක්ව සිටියාය. ධර්මාචාර්ය විභාගයට මුහුණ දුන් අතර එයින්ද ඉහළින්ම සමත්ව කතරගම දහම් පාසලේ දහම් ආචාර්යවරියක ලෙස සේවය කරන්නට ද අවස්ථාව ලැබුවාය.


කතරගම අවුරුදු කුමරිය වශයෙන් අභිෂේක ලබන්නට තරම් රූසපුවකින් යුක්තව සිටි ඈ කතරගම සිට තිස්සමහාරාමය දක්වා වූ මහා මාර්ගය අසල වූ නිවසක පදිංචි වී සිටියාය. අවුරුදු කුමරිය ලෙස ඔටුණු පැලඳීමත් සමග බොහෝ පිරිමින්ගේ ඇස් ඇය දෙසට යොමුවීම නැවැත්විය නොහැකි විය. මේ අතර ප්‍රේමවතී දෙස ගිජු බැල්මෙන් බැලූ තවත් අයෙකු ද වූයේය. අවුරුදු උත්සවය දා ප්‍රේමවතීට වේදිකාවේ දී සුබ පැතූ එවකට කතරගම පොලීසියේ ස්ථානාධිපතියි. ඒ උත්සවය අවසන් වී දින කිහිපයකට පසුව ස්ථානාධිපති ප්‍රේමවතී මුණ ගැසුණේය. ඇය කෙරෙහි තමාගේ මනාපයක් ඇති බවට ප්‍රකාශ කර සිටියේය. එසේ ඔහු දින කිහිපයක්ම බලපෑම් කරමින් ප්‍රේමවතී හමුවීමට පැමිණිය ද ඇය කතරගම ස්ථානාධිපතිව ගණන් නොගත්තාය. ස්ථානාධිපති සැරසෙන්නේ තමාගෙන් අයුතු ප්‍රයෝජන ගෙන තමාව වනසන්න යැයි ප්‍රේමවතී හොඳින්ම වටහාගෙන තිබුණාය. ඇයගෙන් පිළිතුරක් නොලද තැන හොඳයි මම බලාගන්නම් යයි ස්ථානාධිපති කේන්තියෙන් පවසා පිටත්ව ගියේය.


එකල රාජ්‍ය බලය හෙබවූ සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය බලයෙන් පහකර රටේ පාලන බලය සියතට ගැනීම රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ කැරලිකරුවන්ගේ ඒකායන අරමුණ වී තිබුණු අතර ඒ අනුව 1971 අප්‍රේල් මස ආයුධ සන්නද්ධ කැරැල්ලක් දියත් කරනු ලැබිණි. ඔවුහු ඒ සඳහා දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන කිහිපයකටම එකවර ප්‍රහාර එල්ල කළහ. ජවිපෙ විසින් එලෙස ප්‍රහාර එල්ල කරන ලද පොලිස් ස්ථාන අතර එක් පොලිස් ස්ථානයක් වී තිබුණේ කතරගම පොලිස් ස්ථානයයි. කතරගම පොලිස් ස්ථානයට එල්ල කළ පළමු ප්‍රහාරය යම් තරමකට සාර්ථක වී තිබුණද, එය කැරලිකරුවන් බලාපොරොත්තු වූ තරමින්ම සාර්ථක ප්‍රතිඵල අත්කර දී නොතිබුණේය. 1971 අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා කතරගම තම පාලනයට යටත්කරගෙන තිබූ කැරලිකරුවෝ හමුදාව පැමිණීමත් සමග පසුබැස්සහ. කතරගම හමුදා පාලනයට නතුවීමත් සමග යටපත්ව තිබූ කේන්තිය මතුවී ඒමෙන් පොලිස් ස්ථානාධිපති අර කැරලි නායිකාව අරගෙන යන්න ඕනෑ යයි පොලිස් භටයන්ට කීවේය.


දිනය අප්‍රේල් 16 වැනිදා වෙලාව පෙ.ව. 9 පමණ වී තිබුණි. ප්‍රේමවතී මනම්පේරි සුපුරුදු පරිදි නිවසේ රැඳී සිටියාය. අම්මාද ඇය අසලින් සිටි අතර තම නිවස දෙසට පැමිණෙන වාහනයක හඬක් ඇසුණේය. පැමිණ තිබුණේ කතරගම පොලිස් ස්ථානයේ ජීප් රථයයි. නිලධාරීහු දෙදෙනෙක් වාහනයෙන් බැස ගොස් ප්‍රේමවතීව කොණ්ඩෙන් ඇදගෙන ජීප් රථය ඉදිරියට ගෙන ආහ. ප්‍රේමවතීගේ අම්මා හිස අත්බැඳ කෑගැසුවාය. සහෝදර සහෝදරියන් හඬා වැටුණහ. නමුත් පොලිස් නිලධාරීහු ප්‍රේමවතීව අත්නොහැරියහ. ප්‍රේමවතී පටවාගත් පොලිස් රිය පැමිණ නතර වී තිබුණේ කතරගම ලංගම විශ්‍රාම ශාලාවේ හමුදා කඳවුර වෙතය. කතරගම ප්‍රදේශයේ ජවිපෙ ප්‍රධානම පෙළේ කැරලිකාර නායිකාවක් බවට ප්‍රකාශ කරමින් ප්‍රේමවතී මනම්පේරිව භාරදෙන ලද්දේ, කතරගම හමුදා කඳවුරේ ස්වේච්ඡා භටයකු හා ලුතිනන්වරයකු වන ඇල්ෆ්‍රඞ් විජේසූරිය නම් නිලධාරියාටය. අප්‍රේල් කැරැල්ලේ කතරගම ප්‍රදේශයේ ප්‍රේමවතී මනම්පේරීගේ දායකත්වය පිළිබඳව ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු ලුතිනන් විජේසූරිය ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරන ලද නමුත් අඩු තරමින් පන්ති පහට සහභාගිවී තිබේදැයි යනුවෙන් කරන ලද ආරෝපණය පවා ඇය එකලෙසම ප්‍රතික්ෂේප කළාය.


1971 අප්‍රේල් 17 වැනිදා කතරගම පූජා නගරයේදී ඇයව නිරුවත් කොට දෑත් ඔසවා මා පන්ති පහට සහභාගි වූවායි කියමින් මහ පාරේ ගමන් කරන ලෙසට කරන ලද අණ හමුවේ පවා ඇය කැරැල්ලට දායකත්වය දැක්වූ බවට කරන ලද ආරෝපණය පිළිගත්තේ නැත. ඈ වීදිය මැද්දෙන් මිනිසුන් ඉදිරියේ ලැජ්ජාව නොඉවසිය හැකිව මහමග හඬමින් ගමන් කළාය. ඇයට පිටුපසින් ගිනි අවිය මානාගෙන ලුතිනන් හා තවත් සොල්දාදුවන් දෙදෙනෙකු අණ දෙමින් ගමන් ගත්හ. අසල පිහිටි ගුණසිරි හෝටලයේ හුන් දෙතුන් දෙනෙක් ඇස් අදහාගත නොහැකි ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී ඉවත බලාගත්හ. එක අතක් හෝ පහත් කොට විළි වසාගන්නට තැත් කළ හොත් වෙඩි තබන බවට කාමුක සෙබළා අනතුරු හඟවා තිබුණ ද, ප්‍රේමවතීගේ දකුණත මිනිසුන් ඉදිරියේ ලිහිල්ව පහත් වන්නට විය. ඇය එසේ කළේ ලැජ්ජාව නොඉවසිය හැකිව මහ හඬින් හඬමිනි.


තුවක්කුව පත්තු විය. ප්‍රේමවතී මදක් වැනෙමින් දෑතින්ම විළිවසා ගනිමින් මොහොතක් සිට ඇද වැටී ඇඹරුණාය. නිරායුධව, නිර්වස්ත්‍රව වෙඩි තබා බිම හෙළනු ලැබූ තරුණියට නැවත ද තුවක්කුව එල්ල විය. වෙඩි හඬ දෙක තුනක් පිටවිය. ලේ ගලාගෙන ගියේය. මහ පොළවේ හතර රියන් වළක් කැපී අවසාන වනතෙක් ප්‍රේමවතී මනම්පේරි නොසැලී උන්නාය. ඇයට ප්‍රාණය තිබෙන්නට ඉඩක් ඇතැයි කිසිවෙක් නොසිතූහ. එහෙත් තරුණියට පණ තිබෙන බවත්, ඇය හුස්ම ගන්නවා පමණක් නොව සිහින් හඬින් කෙඳිරි ගාන බවත්, ඇය වළදමනු සඳහා දෑතින් හා දෙපසින් එල්ලා ගෙන වළ සමීපයට ගෙන යද්දී තේරුම් ගත හැකි විය. නැවතත් සාහසිකයන්ගේ රයිපලය ඇගේ හිසට එල්ල විය. ප්‍රේමවතීගේ සිරුරේ හිල් නොකළ එකම තැන වූ හිසද ඔවුන් හිල් කළ හෙයින් හිසින්ද ලේ ගලා ගියේය. ප්‍රේමවතීව එම ස්ථානයේදී වළ දැමිණි.

ඝාතනය සියැසින් දුටු ඩෙස්මන් වයිට් මහතාගේ තොරතුරු දැනුම්දීමෙන් පසුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹුණේය. 1971 මැයි 24 වනදා ප්‍රේමවතී මනම්පේරිගේ මිනිය ගොඩගෙන පරික්ෂණ පවත්වන ලදී. පසුව මේ පිළිබඳ නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින්  ගාල්ලේ අපරාධ නඩු අධිකරණය වෙත යොමු කරන ලදී. ඒ අනුව මෙම නඩුව විභාග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඩී. කිව්. ඇම්. සිරිමාන්න මහතා විසිනි. පැමිණිල්ල මෙහෙය වූයේ රජයේ නීතිඥ කෙනත් සෙනවිරත්න මහතාය. නඩු විභාගය අවසානයේදී පළමු විත්තිකාර ලුතිනන් ඇල්ෆ්‍රඞ් විජේසූරිය හා දෙවන විත්තිකාර සැරයන් රත්නායක චෝදනාවන්ට වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර 16 ක සිරදඬුවමක් නියම විය. පසුව ඔවුන් එම තීන්දුවට එරෙහිව අපරාධ අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළෝය. ඒ. සී. අලස් (සභාපති) වී. තාමෝදරම් හා ඩී. විමලරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ එය විභාගයට ගනු ලැබූ අතර එහිදී කලින් තීන්දුවම අනුමත වූ අතර සිරදඬුවම්වල වෙනසක් නොවීය.


වසර 16 ක සිරදඬුවමක් විඳිමින් සිටි විජේසූරිය ඊට වසරකට පසු බන්ධනාගාරයේදී හෘදයාබාධයකින් මිය ගියේය. සිරදඬුවම් විඳ නිදහස් වී පැමිණි රත්නායක දෙවිනුවර සිය නිවසේ සිටිය දී 1988 - 89 භීෂණ සමයේදී ජවිපෙ සාමාජිකයන් විසින් පිහියෙන් ඇන ඝාතනය කළ බව වාර්තා විය.


“මේක මගේ කරුමෙ... මං කා එක්කවත් තරහ නෑ..” යනුවෙන් මිය යන මොහොතේ ඇය පවසා සිටි බව සඳහන්ය. මිනිසුන්ගේ පහත් ආශාවන් සපුරාලීමට අකමැති වූ අහිංසක තරුණියකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණේ එලෙසිනි. ඇගේ චරිතය ඉතිහාසය පුරා සදාකල් පවතිනු ඇත. ඇයට හිමි ඒ තැන ලබාදීම යුක්තිගරුක පුරවැසියන් වශයෙන් අප සැමගේ යුතුකමයි.


(උපුටා ගැනීම - එම්. තාරික්)






Wednesday, March 17, 2021

අම්මා සඳකි ...

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී...

ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි..

රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..

පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී..


සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..

කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..

මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..

පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..


මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ..

මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..

පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..

අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..


ගායනය : ටී.එම්. ජයරත්න

පද රචනය : මාලනී ජයරත්න

සංගීතය : රෝහණ වීරසිංහ


ඔබේ ජනප‍්‍රිය වෙච්ච පළවෙනි ගීතය ”අම්මා සඳකි” ගීතය නේද?

 

මේ ගැන මාලිනී ජයරත්න මහත්මිය අදහස් දක්වමින් "කාලයක් තිස්සේ මගේ පපුවේ තිබිච්ච ප‍්‍රශ්නයක් ඔය. අම්මලා විතරද බුදුවෙන්නේ කියන ප‍්‍රශ්නය. මොකද මම දියණියක් හැටියටත් දැක්කේ අපේ ගෙදර උනත් වටපිටාවේ ගෙවල් උනත් දරුවෝ ළංවෙලා ඉන්නේ අම්මට. තාත්තලා උදේට වැඩට ගිහිල්ලා හවස්වෙලා එන්නේ. ආදරේ තිබ්බට තාත්තට ළංවෙන්න එදා කාලේ දරුවෝ හරි බයයි. අපට අවවාදයක් දෙන්න වරදක් දැක්කොත් දඬුවම් දෙන්න එහෙම මිසක තාත්තා දවසෙම ඇත්තෙත් නැහැනේ අම්මා වගේ. ටික ටික තේරුම් යනකොට මට දැනෙනවා තාත්තා අපි වෙනුවෙන් නේද මේ උදේට ගිහිල්ලා හැන්දෑවට එන්නේ. රස්සාවකට නේද මේ යන්නේ. තාත්තා ගේන සල්ලිවලින් නේද අම්මා මේ ඔක්කොම කරන්නේ. මට හරි දුකක් දැනෙනවා තාත්තා ගැන. එතකොට මගේ පපුව තුළ නිරායාසයෙන් ලෙන්ගතුකමක් ඇතිවෙනවා. ඒකත් එක්කම මං විවාපත් වුණාම මම දකිනවා මගේ දරුවොත් මගේ පස්සෙන් තමයි. මොකද මගේ ස්වාමිපුරුෂයා සෑහෙන කාර්යබහුල කෙනෙක් වෙලා හිටියේ මගේ දරුවෝ පොඩි කාලේ. ඒගොල්ලෝත් අම්මා අම්මා ගගා දුවයි පුතයි දෙන්නා අත් දෙකේ එල්ලීගෙන තුරුල් වේවි මගේ පස්සෙන්ම තමයි. ඒ කාලේ මහත්තයට රෙකෝඩින්ග්ස් තියෙනවා, අලූත් කැසට් බිහිවෙනවා, ගුවන්විදුලි වැඩසටහන් තියෙනවා, රාත‍්‍රී කාලවලදී ප‍්‍රසංග වලට යනවා, වගේම රැුකියාවකුත් කරනවා ගුරු සේවය. එතකොට ඔහු හරිම කාර්ය බහුලයි ඒ කාලේ. කෑම ටික කන්න වෙලාවක් නෑ. ඒ කාලේ ඔහුට වඩා දරුවෝ දෙන්නම මගේ ඇසුරේ තමයි හැදෙන්නේ. එතකොට මට දැනෙනවා මං පුංචි කාලේ ලබපු අත්දැකීම මේ දරුවන්ටත් ලැබෙනවා ඇති කියලා මං පුළුවන් තරං ඒගොල්ලන්ට තාත්තගේ අගය කියලා දෙනවා. පුතේ අප්පච්චි කන්නවත් වෙලාවක් නැතුව ඉන්නේ, ඔයගොල්ලෝ නිසා තමයි මේ ඔක්කොම කරන්නේ. අම්මා උයන්නේ අප්පච්චි ගෙනල්ලා දෙන බඩු. පුංචි ලෝකෙට දැනෙන්න මම හෙමින් කියලා දෙනවා අප්පච්චිගේ ඇති වටිනාකම. අප්පච්චි හොඳටම ආදරෙයි. හුරතල් කරනවා තුරුල් කරගෙන ඉන්නවා සෙල්ලං කරනවා. නමුත් දරුවන්ට මං ඒ දේවල් කියලා දුන්නා මම කුඩා කාලේ දැකපු දේ නිසා. ඔය අතර මට පුද්ගලිකව අත්දැකීම් දෙකක් ලැබෙනවා. ඒ දෙක තමයි ප‍්‍රබලව බලපෑවේ මේ ගීතය ලියන්න.

 

මොකක්ද ඒ සිදුවීම? 

මගේ ස්වාමියාගේ හිතවත්ම යහළුවෙක් හිටියා. මහත්තයා විවාහ වෙන්න කොළඹ ඇවිත්

 

ඒගොල්ලන්ගේ ගෙදර තමයි නැවතිලා හිටියෙත්. එදා ඒ හැමදේම කළේ ඒ යුවල. නිතර අපි ගෙවල්වල යනවා එනවා. ඔය අතරේදී එක කාලයක් ගෙවුනා අපි දෙගොල්ලන් ට යන්න එන්න මුණගැහෙන්න බැරිවුණ. දවසක් හැන්දෑවක අපි පිටකෝට්ටේ පන්සලට ගිහිං එමින් ගමන මං මහත්තයට කිව්වා අපි යන්කො පොඞ්ඩක් බලල එන්න කියලා. පන්සල පිටුපස්සේ තමයි එයාලගේ ගේ තිබුණේ. කුලී ගෙයක උනත් මධ්‍යම පංතියේ හොඳ සැප පහසුකම් සියල්ලෙන් පිරුණු නිවසක් ඔවුන්ට තිබුණේ. පුදුමයි අපි යනකොට ලයිට් එකක්වත් දාලා නෑ. දොරට ගහලා ගහලා කව්රුත් නැති තැන එන්න හැරෙනකොට මෙන්න දොර ඇරුණා. එදා ඒ අපේ හිතවතා හිටපු හැටි දැක්කම පුදුමයි, සරමක් ඇඳගෙන කොන්ඬේ අවුල්වෙලා, ලොකු වෙනසක්. ගෙයි බඩුමුට්ටු මුකුත් නෑ. එක කාමරේක දරුවෝ ටික බිම නිදි. මට හිතාගන්න බෑ. අපේ මහත්තයා ඇහුවා ඇයි මේ කියලා. එතකොටත් අර මාස අටේ දරුවා ඇහැරගෙන අඬනවා. ”චුටි දුව නිදාගන්නේ නෑ, ඇත්තටම ජයේ මට කරන්න දෙයක් නෑ, මං මේ පිරිත් කියනවා දුව නිදිකරන්න” කියලා කිව්වා. මම ඒ පාර දරුවා වඩාගෙන තුරුල් කරන් ඔලූව අතගානකොට දරුවට ඉබේම නින්ද ගියා. බලපුවම එයාගේ බිරිඳ දරුවෝ හතරදෙනා එයාට දාලා, එයාව දාලා ගිහිං වෙන අනියම් සම්බන්ධයක් තිබිලා. ඊටපස්සේ ඔහු මේ දරුවන්ගේ යුතුකම් ඔක්කොම කළා. ඒ පුදුමාකාර තාත්තා ගැන දරුවෝ ගැන ඔවුන්ව එදා දැකපු විදිහට මගේ හිතට ආවේ පුදුමාකාර කම්පනයක්. ඔය සිද්ධිය අතරේ අපේ තවත් අසල්වාසී පුතෙක් එය ගේ තාත්තව ගේ හදනකන් තියාගත්තා මුරකාරයා වගේ වැඩකාරයා වගේ. එයා ටිකෙන් ටික ඉහළට යනකොට තාත්තව හෙමින් ඈතකට ගිහිං ඇරලූවා. ඉන්පස්සේ අර ජීවත්වෙන පියා නැති විදිහට හැමතැනම කතාවක් පැතුරුවා. ඔය අතරේ තාත්තා ආපහු ආවා ඒ ගෙදරට. පස්සේ කාලේ මේ පැත්තට ඇවිල්ලා මට විස්තර කිව්වා. මෙතනින් යන එනකොට මගේ පුතා එහෙම කොන්ඩ සීයේ කියනවා. කොණ්ඩයක් බැඳලා තිබ්බේ ඒ සීයා. ඒ සීයා පුංචි පුංචි කතන්දර කියනවා මේගොල්ලන්ට. දවසක් මාව දැකලා අනේ නෝනේ කියාගෙන ආවා. මං ඇහුවා කොහෙද සීයේ ගිහිල්ලා හිටියේ සීයා කියලා. එතකොට තමයි කිව්වේ පුතා ජීවත්වෙන මට මරණ සහතිකෙකුත් හැදුවනේ නෝනේ කියලා. ඒ වෙලාවේ මම හිතාගන්න බැරි වේදනාවකට පත්වෙලා තමයි මේ ගීතයේ අවසන් කොටස ලියලා අවසන් කළේ. ඔන්න ඔය වගේ කරුණු හේතු ගොඩක් උඩ තමයි මගේ අතින් ඔය ගීතය ලියවුණේ. ඒක අතිසාර්ථක ගීතයක් වුණා. ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහන පටිගත කරලා දින විසි එකක් ඇතුළත වැඩිම වාරයක් ප‍්‍රචාරය වූ ගීතය හැටියට මේක වාර්තාවක් තිබ්බා. මගේ මුලින්ම ජනප‍්‍රිය වුණේ මං හිතන්නේ ඒ ගීතය තමයි.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින)




Monday, March 15, 2021

තාර පාර දිග ...

තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ ...//


රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය

කාසි තරඟයට සූදු කෙළිනවා

ජීවිතයේ රණබිමට වඩින්නට

මලේ නුඹට කලදවසක් එනවා


තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ


බෝල ලොසින්ජර දිව රස කෙරුවත්

බඩ ගින්දර නැහැ නිවා දමන්නේ

කීරි ගැහෙන කල වාරු නැති දෙපා

කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ


තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ


ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල

පද - ප්‍රණීත් අභයසුන්දර

තනුව - ආනන්ද ගමගේ

 

මෙම ගීතයට පසුබිම් වූ කාරණය සම්බන්ධයෙන් ප්‍රණීත් අභයසුන්දර මහතා අදහස් දක්වමින් "ඉතිං කොහොම හරි ගීත ලෝකෙට ටික ටික එන්න පුළුවන් වුණා. කුලරත්න අරියවංශ, රෝහණ සිරිවර්ධන සනත් අයියා, මල්කාන්ති අක්කත් විශේෂයෙන් අත දුන්නා. ඔහොම ඉන්න අතරේ මාලිනි බුලත්සිංහල මහත්මිය මට කිව්වා ගීයක් ලියලා දෙන්න කියලා විශ්වවිද්‍යාලයේ යන කාලේම. ඒ වෙලාවේ මං ගීත දෙක තුනක් ලියලා දුන්නා. ඇය ඒකෙන් එකක් තෝරාගෙන තිබුණා. ඒක තමයි තාරපාර දිග පාට පාට කඩ කියන ගීතය. ආනන්ද ගමගේ මහත්මයා සංගීතය නිර්මාණය කළේ ඒ ගීතයට. ඒ කාලේ ලංකාවේ ආර්ථිකය එහෙම වෙනස්වෙලා තරමක් වෙනස් පරිසරයක් ගොඩනැඟුණු කාලයක්. ඒ දවස්වල රිට්ස් සිනමාහල ළඟ තිබුණා වීඩියෝ ගේම් කරන තැනක්. දැන් නම් ඒවා දකින්නත් නැහැ මං හිතන්නේ. ඉතිං ඔතනින් මං පයින් එනකොට බොරැුල්ල හරියේදී පොඩි යාචක දරුවෙක් ඒ දිහා බලං ඉන්නවා මං දැක්කා. ඒක ඇතුළේ ලයිට් පත්තු වෙනවා, සද්ද ඇහෙනවා. පොඩි කලිසම් කොටයක් ඇඳ ගෙන, කටේ ඇඟිල්ල ගහගෙන බලං හිටියා මං දැක්කා. මේක නිකං අමුතු ලෝකයක්නේ. මේ දරුවෝ දැන් මේවට වශී වෙලානේ. ඒ වෙලාවේ තමයි මට හිතුණේ මේ දරුවන්ගේ අනාගතේ මොනව ගේ වෙයිද කියලා. විශ්වවිද්‍යාලයේ යන කාලේ ඉඳලා, ඉස්කෝලේ යන කාලේ ඉඳලා මානව දයාව වගේ දේවල් ගැන හරියට හිතේ තිබුණා. කුඩා කාලයේ දහම් පාසල් යනවා. අපේ හිත් අනුකම්පාවෙන් පිරිලා තිබුණේ. එතකොට රූපවාහිනියත් ආව විතරයි. ඔය කාලේ තමයි ඕක ලිව්වේ මං. ඒ ගීතය ඉතා හොඳට ආනන්ද ගමගේ මහත්මයා සංගීතවත් කරලා මාලිනි අක්කා ගායනා කළා. ඒ ගීතය ඒ කාලයේ ජනප‍්‍රිය වුණා. දැනුත් ප‍්‍රචාරය වෙනවා ඇහෙනවා. සමාජ ගැටලූවක් විස්තර කෙරෙන ගීතයක්. සංස්කෘතික ආර්ථික දේශපාලනික ජීවිත වෙනස්වීමත් එක්ක පුංචි දරුවෙක් සම්බන්ධ කරගෙන තමයි මං ඒක ලිව්වේ. අපි ඉතිං මුල ඉඳලම ගීත ලියනකොට පේ‍්‍රම ගීතනේ ලිව්වේ. මේක මගේ වෙනස් මඟක ගිය ගීතයක්.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




හිතුමතේ ...

මා දෙස නෙත් නොපියා බලාපූ

හෙමිහිට බලපොරොත්තු ගෙනාපූ

වැඩිපුර මාත් එක්ක නොආපූ

මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ


ඔබ තවමත් ඇය තමයි  ///

මගෙ හිත හදාපූ


හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ

ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ//


පපුවට තුරුලු වී හිඳ හඩාපූ

ලංවී තොඳොල් බස් මට දොඩාපූ

හිත ලඟ හීනෙන් නිදි වරාපූ

සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ


මට තවමත් සුවඳ දෙයි///

මලකින් හමාපූ


හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ

ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ//


ගායනය - රොමේෂ් සුගතපාල 

පදරචනය - වසන්ත දුක්ගන්නාරාළ

තනුව හා සංගීතය - ඉරාජ් වීරරත්න 


”හිතුමතේ” ගීතය ඔබ ලද අත්දැකීමක් කියලා ඔබේ හිතවතුන් කියනවා නේද?

 

වසන්ත දුක්ගන්නාරාළ මහතා අදහස් දක්වමින් "නිර්මාණයක් කළාම මිනිස්සු හිතනවා ඒක රචකයාගේ සම්පූර්ණ අත්දැකීමක් වෙන්න ඇති කියලා. එහෙමම වෙන්නේ නෑ. කොහේ හරි පොඩි තැනක අපිට කෙනිත්තුනහම ඒක ලියැවෙනවා. ඒ ලියැවෙන්නේ වෙන අයගේ අත්දැකීමුයි, අපේ අත්දැකීමුයි සමාජයෙන් අහපු කතා ඔය ඔක්කොම එකතු වෙලා. නිර්මාණයක් කියන්නේ ඒක. එතකොට හිතුමතේ ගීතයේ තියෙන්නෙ පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් බොහොම හිතවත්ව හිටියානං, යාළුකමට වඩා එහා ගිය දෙයක් මිනිසුන්ට පේනවා. මේ දෙන්නා යාලූවෝ නෙවෙයි නිකං පෙම්වතුන් වගේ කියලා. ඒ වුණත් එහෙම දෙයක් තිබිලා නෑ. එවන් යාළුකමක් දිගින් දිගටම තිබී, පිරිමියාගේ පැත්තෙන් වින්ඳ හැටි තමයි මං ඔය ලියලා තියෙන්නේ. යාළුවෝ වුණාට, මචං අරහේ මෙහෙ කියලා කතා කළාට, පිරිමි යාළුවට හිටපු ගමන් හිතෙනවා මෙයාට ආදරෙයි කියලා කියන්නද කියලත්. ඒ වගේ සියුම් අදහසක් තමයි හිතුමතේ ගීතයේ ලියවුණේ. සමහර මගේ මිත‍්‍රයෝ කියනවා විශ්වවිද්‍යාලයේ හිටපු හිතවතියකට මං මේ ගීතය ලිව්වේ කියලා. නමුත් එහෙම සෘජුවම එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් අත්දැකීමක් නෙවෙයි ඒක. අනික මේක මං ලිව්වේ රොමේෂ්ට නෙවෙයි. වෙනත් ගායන ශිල්පියකුට. ඒ ගායන ශිල්පියාට මේ ගීතය හරියට ගායනා කරන්න බැරි වුණා. ඒ නිසා කලකට පස්සේ ඉරාජ්ට රොමේෂ්ව මුණගැහුණයින් පස්සේ එය රොමේෂ් ගයනවා. ඔහු මේක ඉතාම අලංකාර ලෙස ගායනා කරලා 2006 වසරේ ජනප‍්‍රියම ගීතය, ජනප‍්‍රියම ගීත රචකයා මම, ජනප‍්‍රියම සංගීතඥයා ඉරාජ් බවට පත් කළා ඒ වසරේ.

 

මේ ගීතයත් ඔබේ බොහෝ ගීත මෙන් ඔබ පසුව වචන යෙදු ගීතයක් නේද? 

 මං හුඟක් සිංදු ලියලා තියෙන්නේ මෙලඩියට. සීයට අනූ පහක්ම ට‍්‍රැක්වලට ලිව්වේ. හිතුමතේ ට‍්‍රැක් එක අරං ඉරාජ් අපේ ගෙදරට එන්නේ උදේ හයට. ගුවන්තොටුපළට ගිහිල්ලා එයාගේ හිතවතියක් ඇරලලා ඇවිල්ලා තමයි ඔහු මට ඔය ට‍්‍රැක් එක දෙන්නේ. සමහර වෙලාවට එයා ඒ ඇරලවලා ආවේ එයා ගේ පෙම්වතිය වෙන්නත් ඇති කියලා මට නිකං සැක හිතුනා ඔහු හිටපු හැඟීම්බර විදිහ දැක්කම. ඉතිං ඔය ඔක්කොම එක්ක විනාඩි පහළොවකින් මං ඔය සිංදුව ලියලා ඉවර කළා. ඒ කියන්නේ හයට මට ට‍්‍රැක් එක හම්බවෙනවා. හයයි කාල වෙනකොට සිංදුව ලියලා ඉවරයි. ඒ ගීතයේ තියෙන අරුමයේ තව කොටසක් ඒක.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින) 




Wednesday, March 10, 2021

ඉවාන් පවුළුෂා...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//


ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

ඇයි හොරැහින් ම දෙස බලන්නේ

නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//


ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...


නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..

ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..

බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..

මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//

ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....


හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..

කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..

එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..

සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ..

නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..


දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...


ගායනය - අප්සරා ද සිල්වා

සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්

පද රචනය - චාරුක සුරවීර


ඉවාන් පාවුලුශා ගීතයේ ගේය පද රචක චාරුක සුරවීර මහතා, සංගීත අධ්‍යක්ෂණය කල ප්‍රියන්ත ඩිරෙක්ස් මහතා හා එහි මියුරු හඬ සුගායනය කල අප්සරා ඩී සිල්වා මහත්මිය සමඟ “Colombo Beacon“සිදු කල සොඳුරු කතාබහයි.


ඉවාන් පාවුලුශා ගීතය රචනා වෙන්නේ රුසියන් නව කතාවක් ආශ්‍රයෙන්ද

නෑ…මෙහෙමයි , අපිට ඒ දවස්වල රුසියන් ජිප්සීස්ලා ගැන සිංහලින් ගීතයක් ලියන්න ඕනකම තිබුනා. කැම්පස් එකේ සෝවියට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තිබුනා. ඒකේ ”ජිප්සි කැම්ප් වැනිෂශ් ඉන් ටු ද බ්ලූ” කියන චිත්‍රපටය පෙන්නුවා. ඒ චිත්‍රපටිය හැදුවේ ගෝර්කිගේ “මකාර් චුද්‍රා” කෙටි කතාවෙන්.අපි ඒ පොතත් කියවලා තිබුණා.ඊට පස්සේ රුසියන් නව කතා පොත් ගොඩක් කියවලා චාරුක තමා සිංදුව ලිව්වේ. මුලින්ම විනාඩි විස්සක් විතර කියන්න පුලුවන්  දිග සිංදුවක් චාරුක ලියාගෙන ආවා. පස්සේ ඉතින් පද පේලි උඩ යට මාරු කරලා, වෙනස් කරලා විනාඩි පහේ සිංදුවක් කරගත්තා. ඔහොම තමයි “ඉවාන් පාවුලුශා” ගීතය සඳහා අපට අදහසක් එන්නේ.


”ඉවාන් පාවුලුශා” ගීතයේ නිර්මාණ කටයුතු කල ආකාරය ගැන කතා කරන්න කැමතියි.

මේ ගීතයට අපි බලාපොරොත්තු වුනේ ජිප්සීස් මියුසික් එකක්. (අහිගුණ්ඨික ජන සංගීතය) එකෝඩියන් එකයි වයලීන් එකයි හැර අනිත් ඔක්කොම සංගීත භාණ්ඩ වාදනය කලේ අපේ කැම්පස් එකේ ලමයි.ඊට පස්සේ ඒ දවස් වල නීති පීඨයේ කලා උළලේ හොඳම ගායිකාව වුනු අප්සරා ඩී සිල්වා අපි මේ ගීතය ගායනා කරන්න තෝරගත්තා. ගීතය රෙකෝඩ් කලේ බොරැල්ලේ බිශොප් පැලස් එකේ. ඒ දවස්වල කැලණිය කැම්පස් එකේ ඉගෙන ගත්ත සෙනේශ් ජාතික රූපවාහිනියේ වැඩසටහනක් කලා “යාත්‍රා” කියලා. සෙනේශ්ව හමුවුනා අපේ පීච්චම ළඟ තෙල් බැම්මේ දී. දැන් ඔය කැෆටේරියා, කැන්ටිම් කියලා පොශ් නම් තිබුනට ඉස්සර කිව්වේ පීච්චම කියලා සෙනේශ් කිව්වා අපි හරියට ගීතය කලොත් ඒක රූපවාහිනියේ එයාගේ වැඩසටහනට ගන්නවා කියලා. සෙනේශ්ලා තමයි ගීතයේ රූප රචනය ඒහෙම කලේ. අපිත් ඉතින් ගියා  නුවරඑලියේ රඟපාන්න. විනාඩි පහේ ගීතයට මුලු දවසක්ම රඟපෑවා. අප්සරා ගීතයට ඕන කල විදියේ ජිප්සීස් නැටුම්  ඉගෙන ගන්න රුසියන් බැලේ ඩාන්ස් ගැන ඒ දවස් වල හොඳට ඉගෙන ගෙන හිටිය රුවිනීතා සුබසිංහ පෙරේරා ගාවටත් ගියා.


”ඉවාන් පාවුලුශා” ගීතයෙන් ඉස්මතු කරන කතාව මොකද්ද?

ගීතයක් ඕනම විදියට ඕනම කෙනෙක්ට රස විඳින්න පුලුවන්.ඒ සඳහා බලපාන්නේ රසිකායගේ ගීතය රස විඳීමේ හැකියාවේ ප්‍රමාණය. මේ ගීතයෙන් කියන්නේත් නිදහස් ජීවිතයක් ගතකරන්න කැමැති අහිගුණ්ඨික තරුණියක් ඒ ජීවීතය බෙදාගන්න තවත් අහිගුණ්ඨික තරුණයෙක්ට කරන ප්‍රේමනීය ආරාධනාවක් වගේ එකක්. මෙහෙමයි රසිකයෙක්ට තමන්ට චිත්‍ර රූප මැවෙන විදියට මේ ගීතය ගැන අපි හිතන්නේම නැති දෙයක් දැනෙන්න පුලුවන්. ඒක පුද්ගලබද්ධයි.


”ඉවාන් පාවුලුශා ” ගීතයේ සංගීතය ගැන කතා කරමුද?

අහිගුණ්ඨිකයෝ නැත්නම් ජිප්සීස්ලා නිර්මාණය වෙන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ ඒ අය යුරෝපයටත්, පෙරදිග අනිත් රටවලටත් සංක්‍රමණය වුනාලු. ඒ හේතුව නිසා එයාලා ලඟ තියන සංගීතයටත් හින්දුස්තානී රාගධාරී සංගී‍තයේ ආභාෂය තියනවා. අපි අදාල විදියට රුසියානු ජිප්සීස් සංගීතය තනුවට යොදාගත්තා අපේ ක්‍රමයට.

(උපුටා ගැනීම - Colombo Beacon)




Monday, March 8, 2021

මා ආදරණීය මගේ ...

මා ආදරණීය මගේ අම්මා වෙතටයි

මේ ලියන්නෙ අරක්ෂක කදවුරේ සිටයි

අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැක ගන්නයි

මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි

අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි


අව්ව වැස්ස රෑ දහවල් එකයිනෙ අපට

එකම සිතින් අවිත් ඉන්නෙ අපි සේවයට

කිසිම බයක් දැනෙන්නෙ නෑ කොහොමත් හිතට

සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට

මම සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට


මා ආදරණීය....


වීර පුතුන් බිහි කර රට රකින්න පුදනා

අම්මවරුන් පායුග වැඳ පුදන්න ඕනා

අම්මේ ඔබ කළ සේවය සදහට අගනා

ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා

ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා


අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න

මේ සටනින් මා මියගිය දිනයක ඔන්න

මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න

බාල පුතත් හමුදාවට බාර කරන්න

ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න


මා ආදරණීය....


ගායනය - ධනපාල උඩවත්ත 

පදරචනය - හෙක්ටර් විජේසිරි

සංගීතය - වර්නන් පෙරේරා 


ඔබ ලියූ ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි’ ගීතය වඩාත් ජනාදරයට පත්වූ ගීතයක්. රණවිරු ගීත කලාවේ ආරම්භකයා ඔබද?

 

මේ ගීතයේ පසුබිම පිළිබඳව හෙක්ටර් විජේසිරි මහතා අදහස් "යුද්ධ වකවානුවේ, උතුරේ ආරම්භය තියෙන කාලේ ලියූ ගීතයක්. කොහොමත් පොඩි කාලේ ඉඳලම රට ගැන මට ආදරයක් කැක්කුමක් ඇතිවුණා. හේතුව ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගෙන් තමයි මම වැඩිපුර ඉගෙනගත්තේ. අයන්නේ ඉඳලම ඉගෙනගත්තේ. ඉතිං උන්වහන්සේගේ ආභාසය නිසා මට රට ගැන පොඩිකාලේ ඉඳලම ලොකු ඇල්මක් ඇතිවෙලා තිබුණා. යුද්ධය ඇරඹුණු දවස්වල රටට ඇතිවෙන තත්ත්වේ ගැන, හානිය ගැන මගේ හිතේ ඇතිවුණේ බොහොම වේදනාත්මක හැඟීමක්. සිංග් ලංකා ආයතනයට තමයි මට මේ ගීතය ලියන්න අවස්ථාව ලැබුණේ. ධනපාල උඩවත්ත තමයි මේ ගීතය ගායනා කළේ. වර්නන් පෙරේරා තනුව යෙදුවේ. ඒ වෙලාවේ අපේ රටේ රණ ගී එතරම් බිහිවෙලා තිබුණේ නෑ. රණ ගී සම්ප‍්‍රදායක් සංස්කෘතියක් බිහිවුණේ මේ ගීතයෙන් වගේ තමයි පස්සේ මට දැනුනේ. ඒක මිනිස්සු අතර බොහොම ජනප‍්‍රිය තත්වෙට පත්වුණා. මොන හේතුවක් ද මන්දා. රට ගැන තියෙන ඇල්ම වෙන්නැති. ඒ ගීතය මගේ ජීවිතේටත් ආලෝකයක් වගේ වුණා. පසුව සමාගම්වලින් මට ආරාධනා කරන්න පටන් ගත්ත මෙවැනි ගීත ලියන්න කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)


ඇයි ඔබට රණවිරු ගීත ගයන්න හිතුණේ?


ධනපාල උඩවත්ත මහතා අදහස් දක්වමින් "අසූව දශකය ආරම්භයේදී මම කැසට් පටයක් කළා. එහිදී හෙක්ටර් විජේසිරි කියන ගීත රචකයා ලියූ පදමාලාවක් මගේ අතට ලැබුණා. ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි, මේ ලියන්නෙ ආරක්ෂක කඳවුරේ සිටයි’ යනුවෙන් ගීතය ලියැවී තිබුණා. ඔය කාලේ අපේ රටේ යුද ගිනි ඇවිලෙමින් තිබුණ කාලයක්. මම හිතුවා මේ ගීතය ගැයීමට වඩාත් සුදුසු කාලය මේක කියලා. මොකද එතකොට මෙවැනි රණවිරු ගීත තිබුණේ නැහැ. වෙනත් මාතෘකා යටතේ ඕනෑ තරම් ගීත තිබුණා. මම කොහොමත් වෙනස් ගීත කියන්න ආසයිනේ. ඒ හින්දා මේ ගීතය කාලීන අවශ්‍යතාවක් ලෙස සලකලා මම කියන්නට තීරණය කළා.


නමුත් ඔබ ගීතය පටිගත කළ යුතු දිනයේ පටිගත කළේ නැහැ? ටික දිනක් කල් දැම්මා?


ඒකට ප්‍රධානම හේතුව මෙන්න මේකයි. සිංදුවේ මැද හරියේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්.


අව්ව වැස්ස රෑ දහවල එකයිනෙ අපට

එකම සිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට

වාසි පතන අතළොස්සක් රට වනසන්ට

සැහැසි ලෙසින් යොමු වෙයි අපරාධ කරන්න


මට එහි තෙවැනි සහ හතරවැනි පේළි දෙක හිතට ඇල්ලුවෙ නැහැ. මොකද එය ලියවිලා තිබුණේ රණවිරුවන්ට නෙවෙයි. ඒ කාලේ කලබල කළ පුද්ගලයින්ට රිදෙන්නයි ඒ පේළි දෙක යොදාගෙන ඇත්තේ කියලා මට හිතුණා. මම සිංදුවේ කොලෙත් අරගෙන ගෙදර ගියා. කල්පනා කරලා අර පේළි දෙක අයින් කරලා ‘කිසිම බයක් දැනෙන්නෙ නැහැ කොහොමත් සිතට, සේවය කරනෙමි මිය යනතුරු ලක්බිමට’ යනුවෙන් මම ලිව්වා. යළිත් පටිගත කිරීම යොදා ගත් දින මම එය හෙක්ටර්ට පෙන්නුවා.


මොන වගේ ප්‍රතිචාරයක් ද ඔහුගෙන් ලැබුණේ?


ඔහුගේ බැල්ම අතිශය දරුණු වුණා. දෙපාරක් තුන් පාරක් මං ලියපු පේළි දෙක කියවලා බලලා ඔහු කොළය ගුලි කරලා පොළවෙ ගැහැව්වා. ‘මම උඹට ආයේ සිංදු ලියන්නේ නැහැ’ කියලා ශබ්දාගාරයෙන් නික්මුණා. කිව්වත් වගේම ඔහු ආයෙ මට කවදාවත් සිංදු ලිව්වේ නැහැ.


ඔබ එදා ගීතය පටිගත කළාද? ඔව්.


මා ආදරණීය ගීතය හින්දා ඔබට මරණ තර්ජනත් ආවලු නේද?


රත්ගම ෂෝ එකකට මම ගියා. ඔන්න ඉතින් සිංදු කියනකම් ස්ටේජ් එක පිටිපස්සට වෙලා මමයි එම්.එස්. අයියයි පොඩි කතාවක් දාගෙන හිටියේ. ඒ 83 ජූලි කලබල සිදුවන කාලේ. එක පාරටම නාඳුනන කෙනෙක් මම ළඟට ඇවිත් මට කිව්වා ස්ටේජ් එක එහා පැත්තේ දෙන්නෙක් ඔයාව මුණ ගැහෙන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. මම ගියා බලන්න. මෙන්න ඉන්නවා මිනිස්සු දෙන්නෙක් මූණ කට කළු රෙද්දකින් වහගෙන. එකෙක් අතේ තිබුණු තුවක්කුව ඔළුවට තියලා කිව්වා මා ආදරණීය ගීතය ගැයුවොත් මරනවා කියලා. ඔන්න එතකොටම නිවේදකයා මගේ නම කිව්වා. ඒ කලබලේ මැද මම ස්ටේජ් එකට දිව්වේ මරණ බයෙන්. එදා මම ඈ නීල වරල පීරලා ගීතය පස් වතාවක් කියලා ඒ ෂොක් එකට. අන්තිමේ ගිටාර් ගහපු මල්ලි කනට කරලා කිව්වා අයියේ ඔයා නොන්ස්ටොප් ඈ නීල කිව්වා කියලා. තව දවසක් බහරේන්වල මම ඔය ගීතය කිය කියා ඉන්න කොට ආවා ලොකු වීදුරු බෝතලයක් ස්ටේජ් එකට. වාසනාවට වැදුණේ නැහැ. බහරේන් එකල හැඳින්නුවේ පුංචි යාපනය කියලා. එහි හිටපු එල්.ටී.ටී.ඊ කාරයෝ තමයි මට බෝතලයෙන් ගහලා තියෙන්නේ. ඒ මොහොතෙම මම සිංදුව නැවැත්තුවා.


(උපුටා ගැනීම - සරසවිය)




බැහැයි කියලා බැහැයි කියලා බෑ ...

බැහැයි කියලා බැහැයි කියලා බෑ

බැහැයි කියලා බැහැයි කියලා බෑ

බෑ කියලා බැරිය මලේ බෑ කියලා 

බැරිය නගේ

බැහැයි කියලා බැහැයි කියලා බෑ


මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ

තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ

අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ

මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ


අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ

රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ

යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ

නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ’


ගායනය: "ලා තණකොළ පෙත්තාස්"

(දීපිකා ප්‍රියදර්ශනී පීරිස්,රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ සහ පිරිස)

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව හා සංගීතය: සෝමසිරි ඉලේසිංහ


අපේ ළමා කාලයේ රූපවාහිනියෙන් ප්‍රචාරය වූ දොස්තර හොඳ හිත සැකිලි රූ කතාංගයකට ප්‍රේමකීර්ති රචනා කළ “බෑයි කියලා බෑයි කියලා බෑ” ගීය රචනා කළ ආකාරය ගැනද අපූරු කතාවක් ඇත. මෙම වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් මහඟු මෙහෙවරක් කළ ටයිටස් තොටවත්තයන් එකී කතාංගය සඳහා තේමා ගීයක් ලියන ලෙස ප්‍රේමකීර්තිට කියා ඇත. ටික කලක් ගත වුණත් ප්‍රේමකීර්ති අතින් යෝජිත ගීය ලිවීම අතපසු වී ඇත. දිනක් ප්‍රේමකීර්ති වෙත පැමිණි ටයි මහතා විසින් ටිකක් සැරෙන් “උඹට බැරි නම් බැහැයි කියපන්” යැයි ප්‍රේමකීර්තිට කියා ඇත. ප්‍රේමකීර්ති එකී ගීය පටන් ගෙන ඇත්තේ කනට ඇසුණ එම වචන කිහිපයෙන් ක්ෂණිකව ගීතය ලියා ටයිටන් තොටවත්තයින් වෙත ලබාදී ඇත.


ධනාත්මක චින්තයක් ගැන පැය ගණනක දේශනයකින් අත්නොවිඳින දෑ එම ගීතයෙන් උකහා ගත හැකිය.


මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගළපමින් ප්‍රේමකීර්ති ද අල්විස් නමැති දක්ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කථාංගය වූ "බෑයි කියල බෑ" කථාව සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්ම ටයි මහතාගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක් ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතාගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙහි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහවීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි.


දොස්තර හොඳ හිත කථා මාලාවට අන්තර්ගතව කාටුන් සංගීත කණ්ඩායමක් විය. ටයි මහතා විසින් එය නම් කරන ලද්දේ "ලා තණ කොළ පෙත්තාස්" යනුවෙනි. ප්‍රේම්ගේ පද්‍යවලට සෝමපාල රත්නායකගේ තනු වලට එම කණ්ඩායම් ගීත ගායනා කරන ලද්දේ දීපිකා පි‍්‍රයදර්ශනී ප්‍රමුඛ අතුල රන්සිරිලාල්ගේ කළුබෝවිල ගෝල බාල පිරිස විසිනි. දීපිකාගේ ප්‍රථම ගායන ප්‍රවේශය ද මෙය විය. පසු කලෙක දී ප්‍රාසංගික කලාව ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනාවෙන් සුරු විරුකම් පෑ රවීන්ද්‍ර මුණසිංහ ද එම ගායනා අත් වැලෙහි නිත්‍ය ගායකයෙකු විය.


(උපුටා ගැනීමකි)




Wednesday, March 3, 2021

ඔබට වරම් නැති ...

ඔබට වරම් නැති මටද වරම් නැති

සෙනෙහස කොතැනද සැඟව ගියේ

ඉවත ගලා ගිය කඳුළක දියවී

ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...


ඔහුට පුදන්නට පූජාසනයේ

නොකිලිටි මල් පිපුණිද ළඳුනේ

පෙති ගිලිහී ගිය පරසතු කුසුමක

සුවඳ කොහේ කොතැනද රැඳුනේ...


ආ මග වැරදී ඔහුද ඔබද මා

දෛවයෙ තුංමංසල හමුවේ

බලා හිඳිනු මිස හඬා වැටෙන්නට

කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ...


පද රචනය - රංජිත් රූබසිංහ

සංගීතය - නාලක අංජන කුමාර

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ


හා හා පුරා කියා කරන ආදරය කොයිතරම් පිවිතුරුද.... ඒත් ඒ පළමු පෙම විවාහයෙන් කෙළවර වෙනවා නම්..... නැහැ. හැම පෙම්වතෙකුටම ඒ වරම් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනාගේ ප්‍රථම ප්‍රේමය තාවකාලිකයි. කෙටි කලකින් මේ ආදර බැම්ම බිඳී යනවා.


ඔබට වරම් නැති මටද වරම් නැති

සෙනෙහස කොතැනද සැඟව ගියේ

ඉවත ගලා ගිය කඳුළක දියවී

ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ


ඔබේ ආදරය මටත් මගේ ආදරය ඔබටත් හිමිවෙන්න තරම් අපි වාසනාවන්තයින් නොවෙයි. අපි දෙන්නටම වරම් නැති ආදරය කොහේදොa සැඟවෙලා යන්න ගිහින්. නෙතගින් වැටුණ කඳුළු බිඳුවත් එක්‌කම දියවෙලා බොඳවෙලා නොපෙනී ගියේ අපේ ප්‍රථම ප්‍රේමයයි.


අවංකව ආදරය කළ පෙම්වතෙකුගේ හිත ශෝකබරිතව කතා කරනවා. රංජිත් රූබසිංහ මේ ගීය ලියුවේ රජරට සේවයේ වැඩකරන අතරේ. ඔහු තවමත් ඉන්නේ රජරට සේවයේ.


මම මේ ගීය ලියුවේ අසූව දශකය මුල. දිවුල්ගනේගේ සරල ගී වැඩසටහනක්‌ රජරට සේවයේ තිබුණා. එදා ඔහු එක්‌තරා ගීයක්‌ ගයන්න තෝරාගෙන හිටියා. ඒ ගීයේ තනුව නාලක අංජන කුමාරගේ. නාලකට ඒ දවස්‌වල වයස අවුරුදු දහසයක්‌ විතර ඇති. පාසල් සිසුවෙක්‌ වුණත් නිතර රජරට සේවයට එනවා. ඉතින් මේ තෝරාගෙන තිබූ ගීයේ පදමාලාවට දිවුල්ගනේ කැමැති වුණේ නෑ. රංජිත්, නාලකගේ මේ මෙලඩි එකටම ලස්‌සන වචන ටිකක්‌ දාමු කියලා දිවුල්ගනේ මට කිව්වා. එක්‌වෙන්න බැරිවුණ පෙම්වතුන් දෙදෙනෙක්‌ ගැන විරහ ගීයක්‌ හදමු කියා කිව්වා. මම ලියුවා. ඒ මගේ ළඟම මිතුරෙකුට වූ සත්‍ය අත්දැකීමක්‌ පාදක කර ගනිමින්.


මගේ මිතුරා සහ මම ඒ කාලේ කාර්මික විද්‍යාලයක ඉගෙන ගත්තා. ඔහුට රස්‌සාවක්‌ තිබුණේ නෑ. ගැහැනු ළමයෙක්‌ එක්‌ක යාළු වුණා. ඒ ඔහුගේත් ඇයගේත් කුලුඳුල් පෙම. මම තමයි උදව් කළේ. ඔහු ඇයට මා ලවා කවි ලියවා ගත්තා. ඔහු ඇත්තටම ඇයට ආදරය කළා.


ඔබට පුදන්නට පූජාසනයේ

නොකිලිටි මල් පිපුණිද ළඳුනේ

පෙති ගිලිහී ගිය පරසතු කුසුමක

සුවඳ කොහේ කොතැනද රැඳුණේ


ඈ ඔහු දමා ගියා. දෙමව්පියන්ගේ විරෝධතාව නිසාම. හේතුව පෙම්වතාට රැකියාවක්‌ නැතිකම. ඇයට ඔහුගෙන් වෙන් වෙන්න හිත දුන්නෙම නැහැ. ඒත් දෙමව්පියන්ට අකීකරු වෙන්නේ කොහොමද දෙදෙනාගේ ආදර සබඳකම හොඳින්ම දැන සිටි පවුලේ ඥතියකු එක්‌කම අවසන ඈ විවාහ වුණා. පෙම්වතාට පුද කළ පළමු පෙම හරියට නොකිලිටි මලක්‌ වගේ. ඒත් ඒ නොකිලිටි මල ප්‍රේම පූජාසනයෙන් ආයෙත් අරගෙන තවකෙකුට පුදන්න පුළුවන්ද තවකෙකුට පුදන්නට නොකිළිට මල් පිපෙනවද... ඇය තවකෙකුට පිදුවේ පිවිතුරු වූ පළමු පෙම නොවේ. පෙති ගිලිහිලා විසිරී ගිය පරසතු මලක සුවඳක්‌ දැනෙනවද.. එදා ඔහුට පිදූ නොකිලිටි මල් සුවඳ කෝ කොතැනද...


මගේ මිත්‍රයා රට හැර ගියා. ඇයට දරදඬු තීරණයක්‌ ගන්න ඔහු ඉඩ තැබුවේ නෑ. දෙමව්පියන්ගේ කැමැත්තට අකමැත්තෙන් හෝ එකඟ වෙන්න. ඈ තීරණය කළා දෙමව්පිය නෑ සබඳකම් නිසා ඇයට කරකියාගන්න දෙයක්‌ නැතිවුණා. ඒත් අද ඇය හොඳින් පවුල් ජීවිතය ගත කරනවා.


ආ මග වැරදී ඔහුද ඔබද මා

දෛවයෙ තුංමං සල හමුවේ

බලා හිඳිනු මිස හඬා වැටෙන්නට

කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ


අපි ආ මග වැරදුණා. තුංමංසලක අපි තුන්දෙනා බලා ඉන්නවා. පළමු පෙමට ආයුබෝවන් කියා. මා සිටි මංසලෙන් මා ඉවත් වෙන්නම්. තවත් හඬන්නට මගේ ඇස්‌වල කඳුළු නැහැ. මං ඔබට සමුදෙන්නම්. මගේ හිතේ වෛරයක්‌ නෑ.


මේ ගීයට එදා රජරට සේවයේ වාදක මණ්‌ඩලය විසින් පසුබිම් සංගීතය සැපයුවා.


(උපුටා ගැනීම - ගීයක මිහිර)




Monday, March 1, 2021

ආසයි බයයි ...

 

සයුර බලා බඳ ලෙලවා

ඉවුරු තලා ගලා ගියා

මාතර ගං කොමලි නිල්වලා

මෙතර සිටිය අය කැඳවා

මරු තුරුලට අරං ගියා

මුළු සිරිලක දුකෙහි ගිල්වලා


වෙසක් සිරි නරඹන්නට

මාතර පුරවරය වෙතට

නොයෙක් දෙසින් සෙනග පැමිනුනා

නිල්වලා ගඟ ඔස්සේ

බෝට්ටුවට නැගි සතොසේ  ‍

සමහරෙකුට යන්නට හිතුනා


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


බෝට්ටුවට ගොඩ වන්නේ

සතුටින් ඉපිලෙන්නේ

වේගයෙන් දියඹට ඇදුනේ

අත්තක බෝට්ටුව හැපුනේ

නොදැනිම ජලයේ ගිලුනේ

ඉරණම සැමගේම විසඳුනේ


වෙසක් සඳ නැග එද්දි

මළ කඳන් පාවෙද්දි

නෑදෑ හිතවතුන් වැළපුනේ

හද සෝකෙන් ලත වෙද්දි

නෙත් කදුලින් බර වෙද්දි

මළ මිනි ගොඩට ගෙනෙන්නේ


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


පිහිනන්නට බැරුව නියා

පෙම්වතා ගිලි ගියා

පෙම්වතී ලොවේ තනිවුනා

කරුමය මෙලෙස කියා

අන්තිම ගමන ගියා

මව්පියො හිතවතුන් වැළපුනා


ඒ සිදුවු විපත අසා

රුහුණම දු‍කෙන් වසා

දින ගණනක් දුක පල කෙරුවා

අහසට දෑතම ඔසවා

දෙවියන් යැද කීවා

මෙවැනි විපත් යලි නොමවේවා


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


ගායනය  - ඇන්ටන් ජෝන්ස්

ගී පද - ඩී.බී.ටී. එදිරිසිංහ


අද මෙන්ම එදාද වෙසක් අසිරිය නැරඹිමට විශාල ජනතාවක් වෙසක් පො‍හොය දිනවල මාතර නගරයට එක් වෙති. එසේ පැමිණෙන ජනතාව නිල්වලා ග‍ඟේ බෝට්ටු චාරිකාවකට එක්වෙන්නටද අමතක නොකරති. මේ බෝට්ටු චාරිකාවට තිත තබමින් ආසයි බයයි ගීතය නිර්මාණය වුයේ ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නොව ලොවම කම්පාවට පත්කළ සිදුවීමක් ඇසුරිනි. එනම් 1977 වර්ෂයේ මැයි මස 3 වැනි දින ආසයි බෝට්ටුව පෙරළි අහිමි කළ ජිවිත 36 කි.කාලයාගේ ඇවෑමෙන් එය අඳූරු අතීතයක සැගව ගියද “ආසයි බයයි” බෝට්ටුවේ බිහිසුණු මතකය අවදිකරන්නට සිද්ධිය සියසින් දුටුවන් කිහිපදෙනෙකු මෙන්ම බෝට්ටුවේ කපිතාන්වරයාද තවමත් මාතර ප්‍රදේශයේ ජිවත් වෙති. එදා ආසයි බයයි බෝට්ටුව අනතුරට පාදකවූ කඩාවැටි තිබූ කෝන් ගහේ බෝ පැලයක්ද මේ දිනවල දැක ගත හැකිය.


අඩි 36 එක් දින යාත්‍රාවක් වන ආසයි බයයි බෝට්ටුව අයිති සමිතියේ සභාපතිවරයා වන්නේද ලීලයියා නමින් හඳුන්වන ලබන පුද්ගලයෙකි. අප ඔහුගේ නිවසට ගියේය. ඔහු නමින් පී.බී ලීලාරත්නය.


72 හැවිරිදි වියේ පසුවන ලීලයියාට බොහෝ දේ මතකයේ ඇත. සිය හඩ මෙසේ ඔහු අවධි කළේය.


“අපේ කොටුවේ ධීවර සමිතියට බෝට්ටු තුනක් තිබුණා. මේ බෝට්ටු පැදෙව්වේ සමිතියේ සාමාජිකයන්මයි. එදා වෙසක් පොහෝයදා. විශාල සෙනගක් මාතරට ඇවිත් තිබුණා. මාතර නගරයේ අසිරිය බලන්න අප සාමාන්‍යයෙන් එක ගමනකට 30 ක් පමණ රැගෙන යනවා. මේ අය පටවගෙන මැද්දවත්ත හන්දියට ගිහින් නැවත එනවා. එක් අයෙකුගෙන් අය කරන්නේ ශත විසි පහයි. මේ ආපු පිරිස මේ බෝට්ටුවට 50 -60 ක් අතර පිරිසක් පැටෙව්වා. මම ඒ අයට කිව්වා. මේච්චර ගණනක් ගෙනියන්න බැහැ කියලා. ඒ අය ඇහුවේ නැහැ. මා දන්නවා සෙනග වැඩිවුණහම හරවන කොට අපහසු වන බව දැනගෙන හිටිය.


පිට ගම්මානවල අය තමයි වැඩියෙන්ම ඇවිත් හිටියේ. එන්න එන්නම සෙනග වැඩි වුණා. එහෙම පටවාගෙන ගිහින් මැද්දවත්තෙන් බෝට්ටුව හරවල නැවත එනවා. මේ බෝට්ටුව පැදෙව්වේ ටී.එච් සිරිපාලයි. මම සිරි ට කිව්වා බලාගෙන සිරි යන්නේ කියලා. මට මතකයි බෝට්ටුවේ සල්ලි එකතු කළේ පීටර් කියලා කෙනෙක්. පසුව මම පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න. ටික වේලාවකින් අපේ බෝට්ටුව පෙරලී ඇති බව ආරංචි වුණා. මා එහෙමම දිව්වා.


කෝංගහ නැමිලා තිබුණේ. මෙම ගසේ ගෙඩි කැඩීමට බෝට්ටුවේ ගියපු අය උත්සාහ කරලා තියෙනවා. ඒත් එක්කම සමබර බව නැතිවෙලා කෝංගහේ බදින්නට හරවද්දී බෝට්ටුව පෙරළිලා තියෙන්නේ”


අනතුරුව මෙම බෝට්ටුව පැදවූ ටී.එච් සිරිපාලගේ නිවැසට ගිය අතර රෝගාතුරව ඇඳ මත සිටිනු දක්නට ලැබුණි. කාලයක සිට ඔහු මෙසේ රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිය අප සමග පැවසුවාය.මේ පිළිබඳ අතීතය අවදි කරන්න සිරිපාල එතරම් කැමැත්ක් දැක්වූයේ නැත. එහෙත් බිරියගේ ඉල්ලීමත් සමඟ මෙසේ තම හඩ අවදි කළේය.


අපි හවස 1.30 ට පමණ තමයි සෙනග අදින්න පටන් ගත්තේ. මැයි මාසේ දිය හරිම සැරයි. දෙවන සැරේට සෙනග ගෙනියන කොට සෙනග එකසිය ගණනන් නැග්ගා. මට මතකයි යාන්තන් කෝංගහේ වැදුනා.‍ බෝට්ටුව හරවා ගන්නා බැරි වුණා. එක සැරේටම කට්ටිය කෝන් ගහේ එල්ලුනා. කෝන්ගහේ අත්ත කැඩුණා. එක පොදියටම ග‍ඟේ ගිලුනා. මාත් දියට වැටුනා. කොහොම හරි පීනලා ගොඩට ආව. මට මතකයි එහිදී පිරිමි ළමයෙක් බේරා ගත්තා. ඒ ළමය මාව බේර ගන්න කියලා කෑ ගැහුවා. ඒ බෝට්ටුවේ ගියේ එක ගෑනු ළමයයි. ඒ ළමයා ඉමදුවේ ප්‍රදේශයේ පුෂ්පරානි කියලා. එයාගේ මහත්තයා ගඟට වැටුනේ පුෂ්පරානිගේ අතේ සෙරෙප්පුව ඉතිරි කරලා.


මොවුන් දෙදෙනා අලුත විවාහවු අයෙකි. එතනින් එහාට මතකයක් නැහැ. මට සිහිය එන විට මා හිටියේ මාතර රෝහලේ. පසුව පොලිසියෙන් ඇවිත් මා අත්අඩංගුවට ගත්තා. ඔහු අපහසුවෙන් මේ කරුණු අනාවරණය කළේය. ඔහුගේ මතකය අලුත් කරමින් අප සමඟ සිරිපාල ගේ බිරිය එච්.ජී සෝමාවතිද කථා බහට මෙසේ එකතු වුවාය.


අප ‍මේ අනතුර සිදුවන විට හිටියේ ගංඟාවේ පහළ කොටසේ මෝයේ ගෙයක් හදා ගෙන. මට දෙවන දරුවා ලැබෙන්න හිටියා. හරියටම දස මසක් වෙනවා. මහත්තයා ධීවර කටයුතු කළේ. අමතර ආදායමක් ගන්න තමයි මේ බෝට්ටු සවාරි ගියේ. එදා මගේ මහත්තයා හොයන්න මා රෝහල පුරාම ඇවිද්දා.මෝචරියේ පවා ‍හෙව්වා. පසුව රෝහලේ ප්‍රතිකාර ලබන බව දැන ගන්න ලැබුණා. මගේ මහත්තයා මේ සිදුවීමෙන් වසර ගණනාවක් මාව බේරගන්න කියලා. හීනෙන් කෑගහන බවත්, මේ සිදුවීම අවදිකරන්න මහත්තයා මැලිකමක් දක්වන බවද ඇය අප සමග කීවාය.


මේ බෝට්‌ටුවේ නිල්පාටයි, රතු පාටයි, සුදු පාටයි ආලේප කරලා තිබුණේ. නිල්පාට පසුබිමේ සුදුපාට අකුරින් තමයි 'ආසයි බයයි' කියලා නම ලියා තිබුණේ. සිද්ධියෙන් පසුව මේ බෝට්ටුව අලුත්වැඩියා කර දෙවිනුවර පියසේන නැමැති අයෙකුට විකුණා තිබෙනවා. පසුව එම බෝට්ටුව නම් කරල තිබෙන්නේ 'යළි ඉපදේ ' යන්නයි.


(උපුටා ගැනීම - ටී.කේ. මහින්ද වැලිගම දිනමිණ සමූහ)







දන්නෝ බුදුන්ගේ ...

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා

පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...//

ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ //

රහතුන් නිවසනා පාය ප්‍රකාශේ //


භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ

පේනා මෙපුර මුණි සාසන වාසේ ...//

එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ //

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ //


මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී

ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...//

සේරූ පන්තී පන්තී පීනති බෝසේ //

අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ //


ගායනය - ලෝරන්ස් පෙරේරා 

පද රචනය - නීතිඥ ජෝන් ද සිල්වා

තනුව - විශ්වනාත් ලව්ජි

සිරි සඟබෝ (1903) නෘත්‍යයෙන්.


මුල් ගීතයේ පද රචනය ආරම්භ වූයේ ‘දන්නෝ බුදුන්ගේ’ ලෙසින් නොව ‘ධර්ම බුදුන්ගේ’ යනුවෙනි. පසු කාලීනව මෙය ශබ්ද රසය හා මාත‍්‍රා පිහිටීම මත 'දන්නෝ බුදුන්ගේ' ලෙසින් වෙනස් කොට ගායනා කරන ලදි. මුල් වකවානුවේදී ගීතය ගායනය කළ ශිල්පීන්..


W.A.ලෝරන්ස් පෙරේරා

W.A.අප්පුසිංඤො

W.D.S. ජේමිස්

හර්මන් රාජපක්ෂ (1920 මුල් ගායනය සොප‍්‍රානෝ ඔපෙරා ශෛලියෙන් 


පසු කාලීනව විවිධ පුද්ගලයන් විසින් ගායනා කරණ ලදී.


රුක්මනී දේවි

අමරදේව

නන්දා මාලිනී

බුදු සසුන සශ්‍රීකව බැබළුණ ඒ අසිරිමත් යුගය අලලා ජෝන් ද සිල්වා නම් වූ දේශප්‍රේමි නාට්‍යවේදියාණන් විසින් මීට සියක් වසරකට පෙර ‘සිරි සඟබෝ’ නාට්‍යය උදෙසා රචනා කරන ලද “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නමැති ගීතය එම විෂය අරභයා ලෝක ඉතිහාසයේම රචනා වූ එකම ගීපද රචනය ලෙස දැක්විය හැකිය. ගීතයේ පසුබිම ලෙස වර්ණනා කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ වැඩ විසූ රහතන් වහන්සේලා පිටු දුන් පරිසරයය. එම ගීතයේ විශේෂය නම් අනුරාධපුර පූජනීය පරිසරයකට ආගන්තුකව සපැමිණුන කුමාරවරුන් තිදෙනෙකුගේ තුන්විධ මනෝභාවයන් අනාවරණය වීමය.

වංශ කථා තොරතුරු අනුව ව්‍යවහාර වර්ෂ තුන්වැනි සියවසේ මුල් කාලයේ මහියංගණය මිනිපේ ජනපදයේ ප්‍රාන්ත පාලකයකු වූ ලම්භකර්ණ වංශික සේලාභය කුමරුන්ගේ පුතුන් තිදෙනා වූ සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන කුමාරවරු නන්ද තෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි රාජ්‍ය උරුමය සොයාගෙන අනුරාධපුරයට පැමිණෙති. කෙමෙන් පූජනීය නගරයට පිවිසෙන ඔවුන් නෙතට හසුවන පරිසරය පිළිබඳ සිතැඟි වදන්වලට නැඟී ප්‍රකට වන පරිද්දෙන් ගීතය නිර්මාණය වී ඇත.

සංඝතිස්ස :


“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා

පේ වී රකිති සොඳ සීල නිබන්ධා

ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේ ය බෝ සේ

රහතුන් නිවසනා පාය ප්‍රකාසේ”


සංඝබෝධි :


“භූ ලෝ මතේහී දෙව් ලෝ පෑවා සේ

පේනා මෙපුර මුනි සාසන වාසේ

එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ”


ගෝඨාභය :


“මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී

ඇත්තේ පොකුණුවල බෝ ජල රාසී

සේරූ පන්ති පන්තී පීනති බෝ සේ

අනුරාධ නගරය දැන් පෙනේ ඕසේ”

කුමාරවරුන් තිදෙනා පියවරින් පියවරට කෙමෙන් කෙමෙන් අනුරාධපුර නුවර මධ්‍යයට පා ගමනින් යන ආකාරය ධ්වනිත කෙරෙන සේ ගීතයේ පද මාලාව සංවිධානය කොට තිබේ. හැම වදනකම දැවටී ඇත්තේ පුරවරයේ ආගමික හා පාරිසරික සමෘද්ධිය ධ්වනිත කෙරෙන හැඟීම්ය.

සංඝතිස්ස කුමරා පෙර තමන් අසා තිබූ බෞද්ධාගමික පරිසරයත්, එහි වෙසෙන ගිහි පැවිදි උතුමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණයත් පිළිබඳ ප්‍රසාදය පළ කරමින් පෙරටුව ගමන් කරයි. කෙමෙන් නගරයට අවතීර්ණ වන සංඝබෝධි කුමාරයාගේ සිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇලලී යයි. ඔහුගේ උද්දාමය පළ කිරීම සඳහා උචිත භාවික වදන් ජෝන් ද සිල්වා සූරින් යොදා ඇති ආකාරය අතිශයින් ගැළපෙයි. සංඝබෝධි කුමරු අනුරපුරය දකින්නේ මහ පොළව මත දිව්‍ය ලෝකය පහළ වූවා සේය. ඊට හේතුව බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනුරපුර රජදහන වසා පැතිර පැවතීමයි. අහසින් වැඩම කරන්නා වූ සිය දහස් ගණන් රහතන් වහන්සේලා කුමරුන්ගේ ඇස ගැටෙයි. අහසින් වැඩම කරන ‘රහතුන්ගේ සෙවණැල්ලෙන් හිරු රශ්මිය වැළකී යනු’ එතුමා දකියි. වී පැදුරක්වත් වේළා ගැනීමට නොහැකි තරමට රහතන් වහන්සේලා ඒ සමයේ අහසින් වැඩි බවට ජනප්‍රවාදයෙහි පවත්නා සඳහන සඟබෝ කුමරු පැවසූ අර කියුම හා සැසඳෙන අපූරුව කදිමය.


රාජ්‍ය ලෝභය යටි හිතේ දරා පැමිණෙන ගෝඨාභය කුමරුන්ගේ මනෝභාවයන් සිය දෙටු කුමරුන්ගේ සිතැඟිවලට වඩා හාත්පසින් වෙනස්ය. ඔහු බුදු සසුන ගැනවත්, රහතන් වහන්සේලා ගැනවත් කිසිවක් නො කියයි. ඔහුට පෙනෙන්නේ යස ඉසුරින් සපිරුණු අනුරාධපුර නගරයේ භෞතික හා සෞන්දර්යාත්මක පරිසරයයි. මානෙල් නෙළුම් හා ඕලු ආදි පුෂ්පයෙන් ගැවසී ගත් වැවු සමූහය මහා පොකුණු සේ ය ඔහු දකින්නේ. වැවු තලා මතින් පීනා යන සේරුන් පන්ති එකිනෙකා ලුහුබැඳ දිවයන්නා මෙනි. අනුරාධපුර නගරය සිත් සේ (ඕසේ) දැකබලා ගන්නා ඔහු ලෞකික ආශාවන්ගෙන් ප්‍රබෝධයට පත්වෙයි.

ලක්දිව කැත්කුල පරපුරක දෙවැනි පරපුර ඇරඹෙමින් ලමැණි ගොත් රාජ පෙළපතට රාජ්‍ය බලය මාරුවන අවස්ථාව සංඝතිස්ස රජුගෙන් ඇරඹෙයි. ජෝන් ද සිල්වා නාට්‍යවේදියාණන්ගේ අරමුණ වී ඇත්තේ සිරිලක බෞද්ධ රාජාවලියේ මුදුන් මල්කඩක් බඳු සිරි සංඝබෝධි බෝසත් චරිතය නිරූපණය කොට සිංහල බෞද්ධ උරුමය සමකාලීන ලාංකේය ජන සමාජය වෙත ඉස්මතු කොට දැක්වීමයි.

දහනව වන සියවසේ අගභාගය වන විට බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතේ බුදු දහම හා සිංහල භාෂාව යටපත් වී ගිය පසුබිමක පහළ වූ දේශප්‍රේමියකු ලෙසත්, කලාකරුවකු ලෙසත් නිතීඥ ජෝන් ද සිල්වා සිරිසඟබෝ නාට්‍යයෙන් පමණක් වුව ද ලක්වැසි ජනතාවගේ සදා බුහුමනට ලක්විය යුතු වෙයි. තම නිවසේදීවත් සිංහල කතා කිරීම, සිංහල සිරිත් අනුව ජීවිත ගත කිරීම හෙළා දුටු සමයක, ශ්‍රී ජයවර්ධනපුර ඇතුල්කෝට්ටේ සිංහල පවුලක දරුවකු ලෙස උපන් එතුමා දේශවාත්සල්‍යය හා බෞද්ධ උරුමය පණ ගැන්වීම සඳහා මාධ්‍ය කොට ගත්තේ වේදිකා නාට්‍යයයි.

දහඅටවැනි සියවස අග වන විට අනුරාධපුරය පොළොන්නරුව ආදි පැරණි නටඹුන් නගර ඝන කැලෑවෙන් වැසී පැවතිණ. සියවස් ගණනාවක් පරසතුරු උවදුරුවලට හසුවී ජනශුන්‍යව පැවති රජරට පෙර පැවතී ශ්‍රී විභූතිය නාටක මගින් හෙළි කොට ඊට උචිත සංගීතයෙන් පණ පොවා බෞද්ධ ජනකාය අවදි කිරීමේ උදාර කාර්යය ජෝන් ද සිල්වාගෙන් ඉටු විය. තත් කාලවකවානුවේ දී මේ කාර්යය අනගාරික ධර්මපාලතුමාගේ දේශනයෙන් ද, පියදාස සිරිසේන නවකථාවෙන් හා කවියෙන්ද, බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පුරාවිද්‍යා තොරතුරු සම්පාදනයෙන් හා බෞද්ධ උරුමය රැක ගැනීමෙන් ද ඉටු කළහ.

හින්දුස්ථාන් සංගීතඥයකු වූ විශ්වනාත් ලව්ජි ලවා සිංහලයෙන් ගීත රචනා කිරීමට පොළඹවාගෙන ඔහු ගායනා කොට පෙන්වූ ‘පෙයාර් නිර්මල තේරී’ නම් හින්දුස්ථාන් ගීතයට අනූව ජෝන් ද සිල්වා රචනා කළ මුල්ම බෞද්ධ ගීතය වූයේ ‘තේරී නිර්මල ධර්ම තිලෝනා’ නම් ගීතයයි. එතැන් සිට සිංහල නාට්‍ය නිෂ්පාදනයේ යෙදුණ ඔහු ‘සිරිසඟබෝ’ නාට්‍යය නිර්මාණය කරමින් සර්වකාලීන අගයෙන් යුතු විශිෂ්ට බෞද්ධ ගීතයක් සිංහල ජාතියට දායාද කොට දුන්නේය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය හෙළ බසින් පැතිර ගිය ආකාරයත්, ඒ නිසා මෙරට ජනතාව සමෘද්ධිමත් වූ සැටිත්, ඉන් පරිසරය පවා ප්‍රබෝධවත් වූ අයුරුත් “දන්නෝ බුදුන්ගේ” නම් ගීතයෙන් වර්ණිතය. එදා මෙදා තුර ශ්‍රාවක ජන සමූහයා ආගමික හා දේශ වාත්සල්‍යයෙන් ප්‍රබෝධවත් කරවන මේ ගීතය දේශ දේශාන්තර වල ප්‍රචලිත වී ඉංග්‍රීසි හෝ වෙනත් බසක වැරදි උච්චාරණයෙන් ගැයුවත් රසය අඩු නොවන අපූර්වතම භක්ති ගීතයක් වන්නේය.

(උපුටා ගැනීම - මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති)


දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය වර්ෂ 1903 දී වේදිකාගත වූ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ සිරිසඟබෝ නූර්තියට ඉන්දීය සංගීතඥ විශ්වනාත් ලව්ජි සංගීතවත් කළා වූ මෙම ගීතය නූර්තිය සඳහා රඟපෑමෙන් ඉදිරිපත් කළේ ලෝරන්ස් පෙරේරා නම් නූර්ති ශිල්පියකු විසින් යැයි පිළිගැනීමක් ඇත. දේශීය සංගීතයේ ප්‍රථම ස්වතන්ත්‍ර ගී තනුවක් වශයෙන් මෙම ගීතයේ තනුව හඳුන්වාදිය හැක. නමුත් මෙම තනු නිර්මාපකයා ඉන්දීය ජාතිකයෙකි. 

දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල් ග්‍රැමෆෝන් තැටි සොයාගැනීම ඉතාම දුෂ්කරය. සමහරවිට තැටියක් දෙකක් කොතැනක හෝ තිබෙන්නට ද පුළුවන. වර්ෂ 1906 දී සිංහල ගීත තැටිගත කිරීම් ආරම්භ වූ නිසා නාඩගම්වල ග්‍රැමෆෝන් ගීත අඩුවෙන් නිෂ්පාදනය වූවා සේ 1906 ට පෙර නූර්ති වල ගීත ද ග්‍රැමෆෝන් තැටි වලින් නිකුත් වූයේ නැති දැයි සැකයක් මතු වේ. කෙසේ නමුත් සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිතව තිබූ මෙම ගීතයට නව මුහුණුවරක් එක්කරමින් 1940 දශකයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි නිවේදකයකු වූ හියුබට් රාජපක්ෂ මහතා විසින් "Lanka Film Company" තැටියකටත් "H.M.V" තැටියකටත් ඉංග්‍රීසි ගීතයක ශෛලියෙන් සිංහල උච්චාරණය කර ගායනා කරන ලදි. මෙය ඔපෙරා ශෛල්‍යයෙන් ගායනා කරනු ලැබුවේ යැයි ද කියති. මෙම ගීතය ඉංග්‍රීසි ගීතයක තනුවක් යැයි සමහරුන් වරදවා වටහාගෙන ඒ පිළිබඳව මත පළකරති. නමුත් මෙය කිසිම තැනකින් උපුටාගත් තනුවක් නොව විශ්වනාත් ලව්ජි සංගීතඥයාගේ නිර්මාණයකි. 

ධම්ම බුදුන්ගේ නමින් හියුබට් රාජපක්ෂ මහතා මෙම ගීතයේ ගා‍යන ස්වරූපයේ වෙනස් කිරීමට හේතුවක් ද ඇත. එනම් මෙම වකවානුවේ ලංකාවේ ග්‍රැමෆෝන් පැවතියේ පිටිසරබදව නම් ගමකට එකක් හෝ දෙකකි. වැඩිවශයෙන් නාගරිකව මධ්‍යම පන්තියේ සහ දනවත් පවුල් වල ඉංග්‍රීසි පැලැන්තියට හුරු වූ ජනතාව අතර ග්‍රැමෆෝන් යන්ත්‍ර තිබූ අතර ඔවුන් ඉංග්‍රීසි ගීත ශ්‍රවණයට වැඩි රුචියක් දැක්වීය. සිංහල ගීතයක් ඉංග්‍රීසි ගීතයක ශෛල්‍යයෙන් ගායනා කිරීමෙන් මෙම ගීතයත් ඉංග්‍රීසි භාවිතා කළ ජනතාව අතර ජනප්‍රිය වේ යැයි සිතන්නට ඇත. පසුගිය කාලයේ රාජ්‍ය උත්සවයකට කිෂාණි ජයසිංහ නම් ඔපෙරා ගායිකාවක් හියුබට් රාජපක්ෂ මහතාගේ ගායනය මෙන් මෙම ගීතය ගායනා කිරීමෙන් විවිධ මත පළවී ඇත.


(උපුටා ගැනීම - සචින්ත කුලසේකර මද්දුමගේ)


















නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...