Monday, March 1, 2021

ආසයි බයයි ...

 

සයුර බලා බඳ ලෙලවා

ඉවුරු තලා ගලා ගියා

මාතර ගං කොමලි නිල්වලා

මෙතර සිටිය අය කැඳවා

මරු තුරුලට අරං ගියා

මුළු සිරිලක දුකෙහි ගිල්වලා


වෙසක් සිරි නරඹන්නට

මාතර පුරවරය වෙතට

නොයෙක් දෙසින් සෙනග පැමිනුනා

නිල්වලා ගඟ ඔස්සේ

බෝට්ටුවට නැගි සතොසේ  ‍

සමහරෙකුට යන්නට හිතුනා


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


බෝට්ටුවට ගොඩ වන්නේ

සතුටින් ඉපිලෙන්නේ

වේගයෙන් දියඹට ඇදුනේ

අත්තක බෝට්ටුව හැපුනේ

නොදැනිම ජලයේ ගිලුනේ

ඉරණම සැමගේම විසඳුනේ


වෙසක් සඳ නැග එද්දි

මළ කඳන් පාවෙද්දි

නෑදෑ හිතවතුන් වැළපුනේ

හද සෝකෙන් ලත වෙද්දි

නෙත් කදුලින් බර වෙද්දි

මළ මිනි ගොඩට ගෙනෙන්නේ


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


පිහිනන්නට බැරුව නියා

පෙම්වතා ගිලි ගියා

පෙම්වතී ලොවේ තනිවුනා

කරුමය මෙලෙස කියා

අන්තිම ගමන ගියා

මව්පියො හිතවතුන් වැළපුනා


ඒ සිදුවු විපත අසා

රුහුණම දු‍කෙන් වසා

දින ගණනක් දුක පල කෙරුවා

අහසට දෑතම ඔසවා

දෙවියන් යැද කීවා

මෙවැනි විපත් යලි නොමවේවා


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


ගායනය  - ඇන්ටන් ජෝන්ස්

ගී පද - ඩී.බී.ටී. එදිරිසිංහ


අද මෙන්ම එදාද වෙසක් අසිරිය නැරඹිමට විශාල ජනතාවක් වෙසක් පො‍හොය දිනවල මාතර නගරයට එක් වෙති. එසේ පැමිණෙන ජනතාව නිල්වලා ග‍ඟේ බෝට්ටු චාරිකාවකට එක්වෙන්නටද අමතක නොකරති. මේ බෝට්ටු චාරිකාවට තිත තබමින් ආසයි බයයි ගීතය නිර්මාණය වුයේ ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නොව ලොවම කම්පාවට පත්කළ සිදුවීමක් ඇසුරිනි. එනම් 1977 වර්ෂයේ මැයි මස 3 වැනි දින ආසයි බෝට්ටුව පෙරළි අහිමි කළ ජිවිත 36 කි.කාලයාගේ ඇවෑමෙන් එය අඳූරු අතීතයක සැගව ගියද “ආසයි බයයි” බෝට්ටුවේ බිහිසුණු මතකය අවදිකරන්නට සිද්ධිය සියසින් දුටුවන් කිහිපදෙනෙකු මෙන්ම බෝට්ටුවේ කපිතාන්වරයාද තවමත් මාතර ප්‍රදේශයේ ජිවත් වෙති. එදා ආසයි බයයි බෝට්ටුව අනතුරට පාදකවූ කඩාවැටි තිබූ කෝන් ගහේ බෝ පැලයක්ද මේ දිනවල දැක ගත හැකිය.


අඩි 36 එක් දින යාත්‍රාවක් වන ආසයි බයයි බෝට්ටුව අයිති සමිතියේ සභාපතිවරයා වන්නේද ලීලයියා නමින් හඳුන්වන ලබන පුද්ගලයෙකි. අප ඔහුගේ නිවසට ගියේය. ඔහු නමින් පී.බී ලීලාරත්නය.


72 හැවිරිදි වියේ පසුවන ලීලයියාට බොහෝ දේ මතකයේ ඇත. සිය හඩ මෙසේ ඔහු අවධි කළේය.


“අපේ කොටුවේ ධීවර සමිතියට බෝට්ටු තුනක් තිබුණා. මේ බෝට්ටු පැදෙව්වේ සමිතියේ සාමාජිකයන්මයි. එදා වෙසක් පොහෝයදා. විශාල සෙනගක් මාතරට ඇවිත් තිබුණා. මාතර නගරයේ අසිරිය බලන්න අප සාමාන්‍යයෙන් එක ගමනකට 30 ක් පමණ රැගෙන යනවා. මේ අය පටවගෙන මැද්දවත්ත හන්දියට ගිහින් නැවත එනවා. එක් අයෙකුගෙන් අය කරන්නේ ශත විසි පහයි. මේ ආපු පිරිස මේ බෝට්ටුවට 50 -60 ක් අතර පිරිසක් පැටෙව්වා. මම ඒ අයට කිව්වා. මේච්චර ගණනක් ගෙනියන්න බැහැ කියලා. ඒ අය ඇහුවේ නැහැ. මා දන්නවා සෙනග වැඩිවුණහම හරවන කොට අපහසු වන බව දැනගෙන හිටිය.


පිට ගම්මානවල අය තමයි වැඩියෙන්ම ඇවිත් හිටියේ. එන්න එන්නම සෙනග වැඩි වුණා. එහෙම පටවාගෙන ගිහින් මැද්දවත්තෙන් බෝට්ටුව හරවල නැවත එනවා. මේ බෝට්ටුව පැදෙව්වේ ටී.එච් සිරිපාලයි. මම සිරි ට කිව්වා බලාගෙන සිරි යන්නේ කියලා. මට මතකයි බෝට්ටුවේ සල්ලි එකතු කළේ පීටර් කියලා කෙනෙක්. පසුව මම පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න. ටික වේලාවකින් අපේ බෝට්ටුව පෙරලී ඇති බව ආරංචි වුණා. මා එහෙමම දිව්වා.


කෝංගහ නැමිලා තිබුණේ. මෙම ගසේ ගෙඩි කැඩීමට බෝට්ටුවේ ගියපු අය උත්සාහ කරලා තියෙනවා. ඒත් එක්කම සමබර බව නැතිවෙලා කෝංගහේ බදින්නට හරවද්දී බෝට්ටුව පෙරළිලා තියෙන්නේ”


අනතුරුව මෙම බෝට්ටුව පැදවූ ටී.එච් සිරිපාලගේ නිවැසට ගිය අතර රෝගාතුරව ඇඳ මත සිටිනු දක්නට ලැබුණි. කාලයක සිට ඔහු මෙසේ රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිය අප සමග පැවසුවාය.මේ පිළිබඳ අතීතය අවදි කරන්න සිරිපාල එතරම් කැමැත්ක් දැක්වූයේ නැත. එහෙත් බිරියගේ ඉල්ලීමත් සමඟ මෙසේ තම හඩ අවදි කළේය.


අපි හවස 1.30 ට පමණ තමයි සෙනග අදින්න පටන් ගත්තේ. මැයි මාසේ දිය හරිම සැරයි. දෙවන සැරේට සෙනග ගෙනියන කොට සෙනග එකසිය ගණනන් නැග්ගා. මට මතකයි යාන්තන් කෝංගහේ වැදුනා.‍ බෝට්ටුව හරවා ගන්නා බැරි වුණා. එක සැරේටම කට්ටිය කෝන් ගහේ එල්ලුනා. කෝන්ගහේ අත්ත කැඩුණා. එක පොදියටම ග‍ඟේ ගිලුනා. මාත් දියට වැටුනා. කොහොම හරි පීනලා ගොඩට ආව. මට මතකයි එහිදී පිරිමි ළමයෙක් බේරා ගත්තා. ඒ ළමය මාව බේර ගන්න කියලා කෑ ගැහුවා. ඒ බෝට්ටුවේ ගියේ එක ගෑනු ළමයයි. ඒ ළමයා ඉමදුවේ ප්‍රදේශයේ පුෂ්පරානි කියලා. එයාගේ මහත්තයා ගඟට වැටුනේ පුෂ්පරානිගේ අතේ සෙරෙප්පුව ඉතිරි කරලා.


මොවුන් දෙදෙනා අලුත විවාහවු අයෙකි. එතනින් එහාට මතකයක් නැහැ. මට සිහිය එන විට මා හිටියේ මාතර රෝහලේ. පසුව පොලිසියෙන් ඇවිත් මා අත්අඩංගුවට ගත්තා. ඔහු අපහසුවෙන් මේ කරුණු අනාවරණය කළේය. ඔහුගේ මතකය අලුත් කරමින් අප සමඟ සිරිපාල ගේ බිරිය එච්.ජී සෝමාවතිද කථා බහට මෙසේ එකතු වුවාය.


අප ‍මේ අනතුර සිදුවන විට හිටියේ ගංඟාවේ පහළ කොටසේ මෝයේ ගෙයක් හදා ගෙන. මට දෙවන දරුවා ලැබෙන්න හිටියා. හරියටම දස මසක් වෙනවා. මහත්තයා ධීවර කටයුතු කළේ. අමතර ආදායමක් ගන්න තමයි මේ බෝට්ටු සවාරි ගියේ. එදා මගේ මහත්තයා හොයන්න මා රෝහල පුරාම ඇවිද්දා.මෝචරියේ පවා ‍හෙව්වා. පසුව රෝහලේ ප්‍රතිකාර ලබන බව දැන ගන්න ලැබුණා. මගේ මහත්තයා මේ සිදුවීමෙන් වසර ගණනාවක් මාව බේරගන්න කියලා. හීනෙන් කෑගහන බවත්, මේ සිදුවීම අවදිකරන්න මහත්තයා මැලිකමක් දක්වන බවද ඇය අප සමග කීවාය.


මේ බෝට්‌ටුවේ නිල්පාටයි, රතු පාටයි, සුදු පාටයි ආලේප කරලා තිබුණේ. නිල්පාට පසුබිමේ සුදුපාට අකුරින් තමයි 'ආසයි බයයි' කියලා නම ලියා තිබුණේ. සිද්ධියෙන් පසුව මේ බෝට්ටුව අලුත්වැඩියා කර දෙවිනුවර පියසේන නැමැති අයෙකුට විකුණා තිබෙනවා. පසුව එම බෝට්ටුව නම් කරල තිබෙන්නේ 'යළි ඉපදේ ' යන්නයි.


(උපුටා ගැනීම - ටී.කේ. මහින්ද වැලිගම දිනමිණ සමූහ)







No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...