Thursday, July 23, 2020

අපි ඈතට ඈතට පා නගලා ...

”අපි ඈතට ඈතට පා නගලා” කියන ගීතය ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අදහස් දක්වමින්.

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ...//

කාත් කවුරුත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙස ද ගැලවෙන්නේ

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..///

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

මම හිතන්නේ ඇත්තටම එදා මෙදා තුර විශාල වශයෙන් පීඩාවට පත්වන කණ්ඩායමක් තමයි තරුණ පෙම්වතුන් සහ පෙම්වතියන්. පාරේ අත් දෙක අල්ලන් ගියොත් ඒ දිහා මිනිස්සු බලනවා. බස් හෝල්ට් එකක කතා කර කර හිටියොත් ඔක්කොම මිනිස්සුන්ගේ ඇස් යන්නේ ඒ කතා කර කර ඉන්න දෙන්නා කෙරෙහි. ඊළඟට මුහුදු වෙරළේ කතා කර කර හිටියොත් පොලිසියෙන් අල්ලං යනවා. කිසිම තැනක මේ රකුසන්ගෙන් සහ උකුසන්ගෙන් බේරි, නොගැලවී මේ තරුණ පෙම්වතුන්ට මේ සමාජයේ ජීවත් වෙන්න බෑ අපේ රටේ. ඉතිං මේක මගේ හිතේ පැසවමින් තිබ්බ කාරණාවක්. ඒ අතරේ තමයි මම රයන්ස් ඩෝටර් කියන ඉංග‍්‍රීසි චිත‍්‍රපටය නැරඹුවේ. එහි ප‍්‍රධාන චරිත දෙක ආදරේ කරන්න මහා වනන්තරේ ඇතුළට ඇවිදගෙන යනවා වඩාත්ම රමණීය සහ මිනිසුන්ගෙන් විනිර්මුක්ත තැනක් හොයාගෙන. ඉතිං මගේ හිතේ අර පැසවමින් තිබ්බ අදහස ගීතයක් බවට පත්වෙන්න මේ චිත‍්‍රපටයේ ඒ ජවනිකාවත් තදින් බලපෑවා. ඒ නිසා තමයි මගේ අතින් ලියවෙන්නේ ‘අපි ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමංවෙමු වසන්ත මල් ගොමුවේ’ කියලා. ඉතිං පෙම්වතුන් සහ පෙම්වතියන් ගැන මගේ හිතේ ඇතිවෙච්ච කම්පාව තමයි ඒ ගීතය ලියවෙන්න මාව පෙළඹුවේ.

(දිවයින)



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...