Monday, July 6, 2020

ලොව නිසසල වී නවතින මොහොතේ...

ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී...

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී...

ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

සරල ගී පරීක්‍ෂණයට සහභාගි වෙන දවස්වල ඉඳලම මම පේ‍්‍රමකීර්ති ද අල්විස්ට කියලා තිබුණා මට ගීතයක් ලියලා ඕනෙ කියලා...

ඒත් සරල ගී වැඩසටහන ලැබෙනකම්ම පේ‍්‍රමකීර්ති අයියා මට ගීතයක් ලියලා දුන්නෙ නෑ.

මම දැන් ඉන්නෙ හරිම අවුලක. මම දයා අක්කටත් කිව්වා හරි වැඬේනෙ වුණේ.. පේ‍්‍රමකීර්ති අයියා මට සිංදුවක් ලියලා දුන්නෙ නැහැනෙ කියලා. ඔන්න එදා හවස පේ‍්‍රමකීර්ති අයියා දුවගෙන ආවා. ඇවිත්,

‘‘නංගී... හෙට උදේ හත වෙනකොට ඔයා වික්ටර්ගෙ ගෙදරට එන්න..’’ කියල කිව්වා.

‘‘හෙට උදේ?’’

මම ඇහුවේ ඇස් දෙක නළලට අරන්..

එතකොටත් මගෙ පපුව ගැහි ගැහි තිබුණේ.

මගෙ පළවෙනි සරල ගී වැඩසටහන නිසා මේකෙ ගීත ගයන එක මට හුඟාක් ලොකු වැඩක්.

‘‘හෙට උදේනෙ මට සරල ගී වැඩසටහන පටිගත කරන්න තියෙන්නෙත්.’’

මම කිව්වෙ චෝදනාවක හඬින්

‘‘හරි ඉතින් රෙකෝඩින් එක තියෙන්නෙ කීයටද?’’

පේ‍්‍රමකීර්ති අයියා බොහොම සැහැල්ලූවෙන් ඇහුවා.

‘‘අට හමාරට’‘

‘‘ඒකනෙ ඔයා හත වෙද්දී වික්ටර්ගෙ ගෙදරට එන්න. ඔයා එනකොට වික්ටර් සිංදුවක් හදලා තියයි. ඇවිත් ටිකක් පුරුදු වෙන්න පැයක්ම තියෙනවා...’’

හිනාවෙලා එහෙම කියපු පේ‍්‍රමකීර්ති අයිය යන්න ගියා.

ඒ වෙනකොට අනිත් සිංදු ටික මම පුරුදුවෙලත් ඉවරයි.

පේ‍්‍රමකීර්ති අයියා කොහොම කිව්වත් මං හිටියෙ පුදුම විදිහට බයවෙලා. සිංදුවක් කියනව කියන්නෙ ලේසි පාසු වැඩක්ද?

කොහොම හරි පහුවෙනිදා උදේ හය හමාර වෙනකොට මම වික්ටර් අයියගෙ ගෙදරට ගියා. ඒ කාලෙ වික්ටර් අයිය හිටියෙ පාගොඩ පාරෙ ගෙදරක.

පේ‍්‍රමකීර්තිගෙ ගෙවල් තිබුණෙත් ඒ කිට්ටුව. ඉතින් මං වික්ටර් අයියගෙ ගෙදර යනකොට සංගීත භාණ්ඩවල සද්ද වගයක් එහෙම ඇහුණා.

‘‘එන්න.. එන්න නංගී....’’

පේ‍්‍රමකීර්ති අයියයි වික්ටර් අයියායි දෙන්නම කිව්වෙ එකට..

‘‘අපි ඔයාගෙ සිංදුව හදලා ඉවරයි. දෙපාරක් කියන කොට ඔයාට මේ සිංදුව පුරුදු වෙයි නංගි කියලා පේ‍්‍රමකීර්ති අයියා මට එයා ලියපු සිංදුව දුන්නා. මම ඒ වචන ටික කියෙව්වෙ පසුව ගැහි ගැහි...

ලොව නිසසල වී නවතින මොහොතේ

යටිහිත් මතුකොට සිනාසලා

ලොව දොඩමළු වී නෙත් මානන කල

අපි දෙදෙනා ඉමු තරග වෙලා..

පුදුම ලස්සන වචන ටිකක්.

ඒ වෙද්දී මම හිටියෙ තාරුණ්‍යයෙ එළිපත්ත උඩ... ඉතින් මේ ආදරණීය වචන ටික මගෙ සිතට පුදුම විදිහට කිට්ටු වුණේ. ඔය කියන හැත්තෑව දශකයෙදීත් යොවුන් ආදරය රහසක් විදිහට තමයි තිබුණෙ. කරුණාසේන ජයලත් ගොළු හදවතේ ලියලා තිබුණු ආදරයම තමා හැත්තෑවේදීත් තිබුණෙ.

ආදරය කියන්නේ බැල්මකට, පුංචි හිනාවකට, ලියුමකට සීමා වුණු බැඳීමක්...

චුට්ටකින් වික්ටර් අයියා වාදනය පටන් ගත්තා. මට තිබුණෙ සිංදුව කියලා ටිකක් පුරුදු වෙන්න... පළවෙනි පාර චුට්ටක් වැරදුනා දෙවෙනි පාරත් ටිකක් වැරදුණ. ඒත් තුන්වෙනි පාර හරියටම සිංදුව කියාගන්න මට පුළුවන් වුණා. තව දෙපාරක් පුරුදු වෙලා මම කෙලින්ම ගියේ ගුවන් විදුලියට. වික්ටර් අයියයි පේ‍්‍රමකීර්ති අයියයි දෙන්නත් මගෙත් එක්කම ගුවන් විදුලියට ආවා...

එදා සරල ගී වැඩසටහනේ කියපු ගීත අතරින් වැඩියෙන්ම ජනප‍්‍රිය වුණේ මේ ලොව නිසසල වී ගීතය. ගීතය ලොව නිසසල වී වුණාට මොකද මේ ගීතයෙන් ලොව සසල වුනා. නිරංජලා සරෝ්ජනී ගායිකාවක් විදිහට අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත්වුණා.

අදටත් මං ගයපු ගීත අතුරින් වැඩියෙන්ම ජනප‍්‍රිය ගීත ගොන්නේ මේ ගීතයත්, අකලට වට මහ වරුසාව ගීතයත් තියෙනවා.


විරාග රාගය අතරේ....



සම්මාන උළෙලකදී අමල් පෙරේරාට ඇතිවුන සිතුවිල්ලක් අනුව එනම්, ජ්‍යෙෂ්ඨයකු සමඟ ගීතයක් ගැයීමේ අදහසින් එම කැමැත්ත ඉටු කර ගැනීමේ අරමුණින් මෙම ගීතය  බන්දුල නානායක්කාරවසම් අතින් නිර්මාණය වූ බව අමල් පෙරේරා පවසයි. 

බන්දුල නානායක්කාරවසම්ගේ අදහසට අනුව, ආදරය පිළිබදව හෝ ආදරයේ දෙව්රුව පිළිබඳව ඔහු කොතෙකුත් ගී පද  නිර්මාණය කර ඇති නමුත්, මේ ගීතය නිර්මාණය කළේ ඔහු කැමැතිම නව කතාව පාදක කර ගෙන යනුවෙන් පවසයි. විරාගය කැමැතිම නව කතාවයි. කැමැතිම චරිතය අරවින්දයි. සමාජය විසින් අරවින්ද ආදරයේත්, ජවිතයේත් පරාජිත පුද්ගලයෙකු ලෙස හංවඩු ගසා ඇත. එම ප‍්‍රස්තුතය ඔස්සේ මේ ගීතය නිර්මාණය කළා යැයි ඔහුගේ අදහසයි. 

ඇය තරුණය. ඇයගේ සැමියා මැදිවියේය. හුදකලාව ගලා ගිය ඇගේත් ඔහුගේත් කැඳල්ලට පැමිණි පිටස්තරයා සියල්ල වෙනස් කළේ ය. නමුදු ඒ පිටස්තරයා තුළ ඇත්තේ පේ‍්‍රමය ද, රාගය ද යන්න දන්නේ ඔවුන් පමණි. ආදරය විඳිය යුතුය. ජීවිතය දිනිය යුතුය. සිතක සඟවා ඇති පේ‍්‍රමයකින් ඇයට ද, ඔහුට ද ඇති ඵලය කුමක් ද? ඔවුන්ගේ කැඳල්ලට පිටස්තරයකු පැමිණීමට ඉඩ හැරියේ ඔහු ද? මේ සියල්ල විරාග රාගය ගිතයේ ඇතුළත්ය.

ගැහැණිකයගේ මුණිවර දහම පිළිබඳව බන්දුල නානායක්කාරවසම් මේ ගීතය තුළින් අදහසක් දක්වා නොමැත. ආදරය, පේ‍්‍රමය, පතිවත පිළිබඳව ගැඔුරු විශාල යටි පෙළ අරුතක් මෙහි ගැබ්ව ඇත. ගැහැනිය එක් එක් අයුරින් විවිධ සංස්කෘතීන්ට අනුව අර්ථ දක්වනු ලැබේ. ඇනාකරලිනා නව කතාවේ ඇනා ද, එමා බොවාරි නව කතාවේ එමා ද, මළගිය ඇත්තෝහි නොරිකෝ ද නිදසුන් ලෙස දැක්විය හැකිය. ඒ අතර ශ‍්‍රී ලාංකීක විවාහක ගැහැනිය පිළිබඳව විශාල සාධාරණයක් ඉෂ්ට කිරීමට උත්සාහ ගෙන ඇති බවත්, ඇයට එල්ලවන සමාජ අපවාද සාධරණද යන්න මේ ගීතයේ පද තුළින් ඉස්මතු වේ.

විරාග රාගය අතරේ
තනි වූ 
විරාම දෙයි එක් හදකට පුදා පරාජය
විරාග රාගය අතරේ - තනි වූ ආලය                                 
දුරලයි තනිකම ලබමින් - මගේ සරාගය...
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හල දා 

ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු -
නොරිසි ඔබේ මුනිවර
මනසින් පෙම්කළ දා - ඈ අසරණ වූවා...
නුරා එගිනි දලූ - ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති - ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා...

පුමිතිර බව හා ලිංගිකත්වය අප ජන්මයෙන් දායාද කොට ගත්තාද එය ආවේණිය මතම රඳා පවතින්නක් නොවේ. අපේ හැඩරුව සේම දේහ ක‍්‍රියාකාරීත්වය හා චර්යා රටාවන් ද එයට ආවේනික ලෙස හැඩගැස්වීමේ ප‍්‍රතිඵලයකි. නමුත් මේ සියල්ලම කාලය හා පරිසරය, උෂ්ණත්වය අනුව වෙනස්වීම්වලට ලක්විය හැකිය. ආදරය ද, ජිවිතය ද එලෙසම ගතික ස්වභාවයක් ගනු ලබන හැඟීමකි. 

පේ‍්‍රමය කියන්නේ හදවත මුල්කරගත්තු කාරණාවක්. මනෝමූලික සංකල්පයක්. ජීවත් වීමේ දී අප හුරුපුරුදු කර ගත්ත සම්ප‍්‍රදාය, සංස්කෘතිය වැනි කාරණා නිසාවෙනුත් පේ‍්‍රමයට බලපෑම් එල්ල වෙනවා. අනෙක් අතට අප තුළ පේ‍්‍රමය උපදින්නේ අපට උගන්නපු රාමුවක් ඇතුළතයි. අකලංක, පරම, නිර්මල, නික්ලේෂි වගේ විශේෂණයන්ගෙන් යුක්ත වූවකි. ඒ කෙසේ වෙතත් පේ‍්‍රමය නිසාවෙන් උපදින මනෝභාවයන් ශරීරයේ ජීව විද්‍යාත්මක සංයුතුයට බලපෑම් කරන්න තරම්ම ප‍්‍රබලයි. අන්න ඒ හේතුව නිසාවෙනුයි රාගය උපදින්නේ. නමුත් ජීව විද්‍යාත්මක ඇත්ත සමඟ පමණක් අපට රාගය විඳින්නට ඉඩක් නොමැත. අපේ පේ‍්‍රමයට බලපෑම් කරනු ලබන සදාචාර නීති මාලාව ද අවි අමෝරාගෙන ඉදිරියට පැමිණේ. පේ‍්‍රමයේ දී අප කළ යුතු හා නොකළ යුතු දෑ තෝරා බේරා වෙන්කර දීමට ලියවුණු පොතක් ලෙස එය හැඳින්විය හැකිය. ආදරයේ දී අප දන්නා නමුත් නොදන්නා මෙන් සිටින ඇත්ත ද මෙයයි. 

විරාග රාගය නිර්මාණයේ දී අපිට මුණගැහෙන්නේ ගීතයෙන් කියන ආකාරයට පෙමින් තොරව කතරක් වූ විවාහක යුවලක් හා පිටස්තර පෙම්වතෙක් පිළිබඳවය. සැමියෙක්, බිරිඳක් සහ සම්මත සමාජ රාමුවට අනුව අනියම් පෙම්වතෙක්. මෙවැනි තුන්කොන් ආදර අන්දර පිළිබඳව විවිධාකාරයේ කලා ක්‍ෂේත‍්‍රයන්හි නිර්මාණ බිහි වී ඇත. මෙය සම්මත සමාජයට පොදු කරුණක් නොවුනට එසේ නැත්තෙත් නැත. කුසගින්න එක්කෙනෙකු තුළ ඇති වුව ද එය මුළු මහත් සමාජයටම බලපාන්නකි. එකම අත්දැකීම එක් ස්ත‍්‍රියක් විෂය පථය කරගත් පිරිමි දෙදෙනෙකුගේ ඇනුම්පද විලාසයෙන් දෙදෙනාම විවරණය කරනු ලබන අවස්ථාවක් ලෙස ගීතය මුළුමනින්ම දිගහැරෙන අතර අද සමාජය තුළ දක්නට ලැබෙන්නේද මේ දෙයමය. 

එකම ගැහැනිය ආදරය දෙපාරකට විඳින්නට සහ එකවිට විඳින්නට උත්සාහ දරද්දී ඇය විශාල ගැටුම්වලට මුහුණ පායි. නීතියෙන් හමුවුණු තමාගේ ස්වාමි පුරුෂයාත්,පෙම්වතාත් ඇයගේ පතිකුලයත් පවත්වා ගෙන යාමට ඇය උත්සාහ දරයි. එකම අත්දැකීම විඳින්නට පරම්පරා දෙකක දෙදෙනෙකු සූදානම් වන අරුමය,

ඔබ අඩවන් නෙතු
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හල දා
ඈ මුකුලිත වූවා 

මේ ගීතය තුළ සැමියාගේ ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම චෝදනා පත‍්‍රයකි. ඔහු තමන්ගේ විරාග රාගය පිළිගන්නා නමුත්, ඒ හිස්තැන සම්පූර්ණ කිරීමට තම කැදැල්ලට රිංගාගත් පෙම්වතාට ඇඟිල්ල දිගුකරයි. 

කර ගනු ඈ සතු
නොරිසි ඔබේ මුනිවර
මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා...

ගැහැනිය ගත් කල ඇත්තෙන්ම ආදරය හා රාගය අතරේ අතරමං වේ. ඇය සිය ජිවිතයම ආදරය කරගන්නියෙකි. ආසියාතික කලාපීය රටවල ගැහැනිය එහි දී ප‍්‍රතිමූර්තියක් බඳුය. ඒ ප‍්‍රතිමූර්තිය බිඳලනු එක් අවස්ථාවක් ලෙස තනිකම දැක්විය හැකියි. සරාගි හැඟීම් ඉස්මතු වීම නිතැතින්ම සිදුවේ. තුන්වැන්නකුගේ බලපෑම අවශ්‍යතාව මතු වීමත් ඇගේ පවිත‍්‍රතාවත් තනිකමත් සමඟම ගිලිහී යාමත් සිදුවේ. 

ඇයට අවශ්‍ය ආදරය විඳින්නටය. මනසින් පෙම් කිරීම හෝ එය වචන බවට නොපෙරලීම ඇයට වන අසාධාරණයකි. ඔහුගේ මුනිවත රකින ආදරය ඉදිරියේ ඇය සිය සතුට සොයයි.

නුරා එගිනි දලූ
ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ
තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති
ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ
දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා... 

ආදරය රාගයෙන් වියුක්ත කිරීමට හෝ රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා කිසිවෙකුට හැකි නොවිණි. එමෙන්ම අසීමාන්තික, අසම්මත බැඳීම් ද කිසිදා කිසිවෙකුට සතුටක් ශේෂ නොකරයි. කෙසේ නමුදු හෘද සාක්‍ෂියට එකඟ නොවූ හැඟීමක් බැඳීමක් සමඟ ඒ මොහතේ මතුපෙළ සතුට සමඟ කිසිදා නොමියෙන යටිපෙළ දුකක් ද පවතී. 

සත්ත්ව සංහතිය තුළ ජිවත් වන මිනිස් ජිවියා තුළ හැඟීම් සිතුවිලි වූ කලී මාරුතයක් සේය. විටෙක නිහඬව සිටින මාරුතය තවත් විටෙක චණ්ඩ මාරුතයක් වී කෙසේ හෝ ගලා යාම සිදු විය. ආදරය, පේ‍්‍රමය එහි මූල බීජය ලෙස හඳුනාගත හැකිය. 

තුන්කොන් පේ‍්‍රමයක ගැහැනිය සිටිද්දී පිරිමින් දෙදෙනා හෝ පිරිමියා සිටිද්දී ගැහැනු දෙදෙනා හෝ කතාව ඉදිරිපත් කරන්නේ නැත. ප‍්‍රධාන කතා නායකයා එක් පුද්ගලයකු නොවී මේ විප්ලවීය ගීතයේ පුද්ගලයන් දෙදෙනාම ප‍්‍රධාන කතා නායකයන් ලෙස බන්දුල නානායක්කාරවසම් පද රචන තුළින් සහෘද සිත් තුළට සමීප කරලයි.

මිනිස්සු යනු සමාජශීලී සත්ත්ව කොට්ඨාශයකි. ඒ විශේෂ සත්වයින් කිසිදා හුදකලාව හෝ තනිව ජිවත් වීම ප‍්‍රතික්‍ෂ්ප කරයි. ආදරය නැමැති බැඳිමේ දී එය මිනිසාට විශේෂයෙන් බලපානු ලබයි. එහි දී ඔහු තම හුදකලාව, තනිකමෙන් ගිලිහීමට විවිධ ක‍්‍රියාකාරකම් වල නියැලනු ඇත. එහි එක් ප‍්‍රායෝගික අත්දැකීමක් විරාම රාගය ගීතය තුළින් ඉස්මතු කරලනු දැකිය හැකිය.
                             
ඔබේ මිලින ගති 
ඇයට නොවේ රුති  පෙමින් තොරව ඇගේ
දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා...

එකඳු රාගික හැඟීමක, බැඳීමක එනම්, සම්මත යැයි නම් කල බැඳීමක තනිව ගෙවන පෘථග්ජන පුද්ගලයයෙකුට වෙනෙකෙකු පිළිබඳව රාගය ඇතිවිම නිරායාසයෙන්ම සිදුවිය හැකිය. සමාජය ඒ හැඟීම කෙසේ පිළිගනීද යන්න ප‍්‍රශ්නයකි. නමුත් එම හැඟිම ඉතා  සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීමක් ලෙස මෙම පද සංඝට්ටනාව හුවයක් සේ ගලපා ඇත. එහිදී පවුලක බිරිඳ හෝ සැමියා යන දෙදෙනාගෙන් එක් තැනැත්තෙකු ගත් කළ ඔහු අවිවේකී වීම නිසා තනිවන්නට සිදුවන පුද්ගලයාට හුදකලාවීම නිසා එමඟින් පහර විඳීමට සිදුවේ. එයින් ඇයට පරාජ සිතුව්ල්ලක් ඇති කරවයි. ඒ පරාජයනම් තනිකමයි. එය දුරුකරලීමට වෙනත් අසම්මත බැඳීමක පහස ලැබීමේ දී ඈ පරව යන බවද, ඒ ආසාවට ලොල්වන ඈ අසරණ වන බවද ගීතයෙන් කියවේ. එම සිතුවිල්ල හේතුවෙන් පවුල තුළ සිදුවන විනාශය එනම්, ඈ රාගයට පෙම් කරන බැවින් ද එයට සහේතුක කාරණාව ඈ ආදරය තුළදී තනිවීම නිසා ජිවිතය කතරක් වීම යැයි ද ඉතාම කුඩා හැඟුම් ගැඹුරින් රසිකයාගේ සිත්තුලට ප‍්‍රබල අර්ථකථනයක් දේ.

         ----------------------------------------------------------------------------------------------------------
පේ‍්‍රමය හා විරහවත් ඒ අතර මැද මුහුණ දීමට ඇති භාවාත්මක චින්තනය විරාග රාගය ගීතයේ පදවැල් තුළින් එකිනෙක ඉතා අරපරිස්සමින් බන්දුල මහතා ගැහැනියගේ හෝ පිරිමින් දෙදෙනාගේ සිත් නොරිදෙන ආකාරයෙන් දිගහරින අතර පේ‍්‍රමයනම් භාවනාවේ දී විශේෂයෙන්ම විවාහක ගැහැනියකට මෙවැනි අවස්ථාවේ දී එල්ලවන සමාජ අපවාද සාධාරණ ද අසාධාරණ ද යන්න සියුම්ව රසික බුද්ධිකලම්බනයකට ලක්කරනු ලබයි.         

කේ. ඒ. එන්. පෙරේරා විසින් රචිත ආදරය කලාවකි නමින් පරිවර්ථනය කළ එරික් ෆ්‍රොම් නමැති ජර්මාණු මනෝ විශ්ලේෂකයාගේ The Art of Loving නැමති ග‍්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. 

ලිංගික බැඳීමක් සඳහා වන ආශාව ආදරය මඟින් උද්දීපනය කිරීමට පුළුවන. එවිට කායික සම්බන්ධතා පැවැතිවීමේදී එය කෑදර ලෙස හෝ කෙනෙක් අභිභවනය කිරීමට හෝ අභිභවනය කරනු ලැබීමට ඇති කැමැත්ත ඇතිව සිදුකෙරෙන්නේ නැත. එවිට එය සිදුවනුයේ මුදු මොළොක් සියුමැලි අන්දමිනි. කායික සම්බන්ධතාවයක් පැවැත්වීමේ දී එය ආදරය මඟින් ඇති කරනු ලබන උද්දීපනය හේතුකොටගෙන සිදු නොවන්නේ නම් සහ එමෙන්ම සරාගී ආදරය යනු සහෝදර පේ‍්‍රමයක් නොවේ නම් එමඟින් කිසිවිටෙක ආවේශයක ස්වරූපයෙන් ඇතිවන ක්‍ෂණික සම්බන්ධයකට වඩා වැඩි සම්බන්ධතාවයක් ඇති කර ගැනිමට ඉඩ සැලසෙන්නේ නැත. කායිකව හමුවන මොහොතේ දී සමීප බැඳීමක් පවතින්නේය යන මායාව ලිංගික ආකර්ෂණයක් මඟින් ඇති කරයි. නමුත් කායික හමුව ආදරකින් තොරව සිදුවීමෙන් ඇතිවන ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් ඊට පෙර සිටියාටත් වඩා අමුත්තන් බවට පත්වීමය. සමහර විට ඔවුන් එකිනෙකා ලැජ්ජාවට පත්විමට හෝ එකිනෙකාට ද්වේශ කිරීමට පවා හේතු විය හැකිය.

මුනිවර ආදරයක් තුළ සරාගය සෙවීමට ඇති ස්ත‍්‍රී ආශාව නිවැරදිව තේරුම් ගැනිමට බහුතරයක් මනුෂයාට නොහැකි වී ඇත්තේ ඉහත කී පරිදි ලැජ්ජාවට පත්වීමට තරමේ ආත්මයක් ඔවුන් සතු නොවීම හේතුවෙනි යැයි සිතේ. 

ආදරයක් ගොඩනැගීමේ ආරම්භයට එක් සැණකින් ඇතිවන හදිසි හැඟීමක් හදිසි කම්පනයක් ප‍්‍රමාණවත්ය යන්න අපි දන්නා ඇත්තය. එවැනි කම්පනයකින් පස්සේ මිනිසුන්ගේ ජීවිතවල අතීත, අනාගත, වර්තමාන පෙළ කනපිට ගැහෙනා අයුරු කවියා ව්‍යංගයෙන් දක්වා ඇත.  

අද්‍යතන සමාජයේ ගීතය නම් කලාව වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ඒම වස් කරලනු ලැබූ හෝ අතිශය ගැඹුරින් පරිකල්පනය ප‍්‍රකට කරලන ගීතයක් සමජයට දායද කරලූවක් ලෙස විරාග රාගය ගිතය හඳුනාගත හැකි ය. සම්මත භාවයෙන් ඔබ්බට ගියා වූ නොසිතෙන හැඟීම් පිළිබඳව ගායකයන් දෙදෙනෙකු අමුතුම ආකාරයේ කතන්දරයක් කියන ආකාරයක් මතු කරලීමට බන්දුල නානායක්කාරවසම් උත්සාහ ගෙන ඇති අතර සමාජය තුළ නිරන්තරයෙන් සිදුවන සිදුවීමක් ඔවුනොවුන්ගේ හැඟීම් හඳුනාගෙන ඒ ඔස්සේ සිය නිර්මාණය හරහා පුද්ගල මනෝභාවයන්ට, පන්හිඳ තුඬින් බන්දුල නානායකකාරවසම් සර්ව සාධාරණයක් ඉෂ්ට කර ඇති බව මගේ හැඟීමයි. 

ඒ.එම්.ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදනය අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය




 

නීල වර්ණ නීල කොබෙයියෝ …

නීල වර්ණ නීල කොබෙයියෝ …

“ගීතය යනු සංගීතය හා භාෂාවේ අනුකූලතා පූර්වක සුසංයෝගයේ ඵලයක්. ‘නාද’ නමැති මූල ද්‍රව්‍යයත් ‘වචන’ මූල ද්‍රව්‍යයත් හරියට තෙලුයි වතුරයි වගේ පරස්පර විරෝධි වස්තු දෙකක්. ඒ දෙක අනුකූලතා පූර්වකව සුසංයෝග වෙන්න ඕනැ. එවිටයි සුභාවිත ගීතය බිහි වන්නේ.” අමරදේවයන් වරෙක සුභාවිත ගීතය අර්ථ කථනය කිරීමට යෙදුනේ එලෙසින්.

මේ අර්ථ කථනයට අනුව ගීතයක්, අර්ථ පූර්ණ, සුගායනීය සහ කාව්‍යමය පද වැලක්, ඊට අනුරුප වන සංගීතය සහ භාව පූර්ණ ගායනය ද සමගින් රසිකයන් වෙත ඉදිරිපත් වන්නේ නම් වින්දනීය ගීතයක් වනු ඇත. එනයින් බලන කළ, ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ගේ හඬින් ගැයෙන “නීල වර්ණ නීල කොබෙයියෝ” ගීතය වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන් ම සුභාවිත ගීතයක්.

එකකට එකක් ගැලපෙන උපමා රූපක රැසක් යොදා ගනිමින් ලියවී ඇති මේ ගීතය පෙම්වතියක සිය හද දිනු පෙම්වතා වෙත තමුන් ගේ සිත රැඳී ආදරයෙහි ස්වභාවයත්, ඇගේ ප්‍රාර්ථනාවනුත් විස්තර කරන්නක්.

“සිත වටකර පියා සලන සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ “

ඔහු, ඇයගේ සිත පුරාම අරක්ගෙන. ඒ අරක් ගැනීම ඇයට සහනයක්, සතුටක්.

“උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිළ නොයන්නේ”

ඔහු තරාතිරම කුමක් වුවත් ඈට කම් නැත. ඔහු ඇගේ හදවතෙහි ස්ථිරවම ලැගුම් ගෙන අවසන් සේය.

“අඳුර බිඳින සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ”

ඇගේ තැවුල්, දෝමනස්සයන් සමනය කරනු පිණිස ඇයට ඇත්තේ, ඔහුගේ ආදරය හා බැඳුනු පැතුම් ගොන්නක්. මේ පද කෙතරම් සුගායනීය සහ කාව්‍යමය වෙතත්, ඉන්ද්‍රාණි බෝගොඩ ගේ භාව පූර්ණ හඬ නොවන්නට මේ ගීතය මෙතරම් මධුර ප්‍රකාශනයක් නොවන්නට ඉඩ තිබුණු බවයි හැඟීම.

මෙහිදී “නීල කොබෙයියා” යන රූපකය යොදා ගනිමින් ඇය සිය පෙම්වතා හඳුන්වන්නේ ඔහු කාලවර්ණ තැනැත්තෙකු නිසා විය යුතු බව මගේ අදහසයි. සාමාන්‍යයෙන් සාහිත්‍යයේදී, චිත්‍ර සහ මූර්ති කලාවන්හිදී නිල් පැහැයෙන් නිරූපණය වන්නේ කළු පැහැයයි. උදාහරණ ලෙස මුගලන් හාමුදුරුවන් සහ විෂ්ණු දෙවියන් නිරුපණය වන්නේ නිල් පැහැයෙනුයි. තවද, “නීල වර්ණ කේශ කලාපය” ලෙසින් යෙදෙන්නේද කළු පැහැයටයි.

කෙසේ නමුත් රූප සටහනෙ හි දැක්වෙන පරිදි, නීල කොබෙයියා කොළ​, නිල් , සහ රතු සහ හෝ පැහැයට හුරු දුඹුරු පැහැති කුරුල්ලෙක්. ඒ අනුව සිතිය හැකි වන්නේ කුරුල්ලාගේ නියම වර්ණයන්ට වඩා පද රචකයා විසින් රූපකය තෝරා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් ම සිය අවධානය යොමු කැර ඇත්තේ “නීල කොබෙයියා” යන නාම මාත්‍රය කෙරෙහි බවයි.

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ
ගී පද - පී.එච්.කේ. රත්නසිරි



ගුම් ගුම් ගුම්...

ගුම් ගුම් ගුම්...//////

මලකට (ගුම් ගුම්) වැලකට (ගුම් ගුම්)
ගහකට (ගුම් ගුම්) හනිකට (ගුම් ගුම්)
මලකට රොනකට (ගුම් ගුම් ගුම්)
ගහකට වැලකට (ගුම් ගුම් ගුම්)
උදයට සවසට (ගුම් ගුම් ගුම්)
හෙමිහිට හනිකට (ගුම් ගුම් ගුම්)
මල් මාලා (ගුම් ගුම් ගුම්)
වැල් දාලා (ගුම් ගුම් ගුම්)
රොන් දාලා (ගුම් ගුම් ගුම්)
රුං ගාලා (ගුම් ගුම් ගුම්)

මලින් මලට ගුම් (ගුම් ගුම් ගුම්)
වැලින් වැලට ගුම් (ගුම් ගුම් ගුම්)
ගහෙන් ගහට ගුම් (ගුම් ගුම් ගුම්)
රොනින් රොනට ගුම් (ගුම් ගුම් ගුම්)
ගුම් ගුම් ගුම් //
මලින් මලට (ගුම් ගුම්)
වැලින් වැලට (ගුම් ගුම්)
ගහෙන් ගහට (ගුම් ගුම්)
රොනින් රොනට (ගුම් ගුම්)

මලින් මලට (මලකට)
වැලින් වැලට (වැලකට)
ගහෙන් ගහට (ගහකට)
රොනින් රොනට (රොනකට)
මල් (ගුම්) මල් (ගුම්) මල් (ගුම් ගුම්)
වැල් (ගුම්) වැල් (ගුම්) වැල් (ගුම් ගුම්)
රොන් (ගුම්) රොන් (ගුම්) රොන් (ගුම් ගුම්)
මල් (ගුම්) වැල් (ගුම්) රොන් (ගුම් ගුම්)

ගුම් ගුම් ගුම්...//////

මලකින් මලකින් (ගුම් ගුම් ගුම්)
වැලකින් වැලකින් (ගුම් ගුම් ගුම්)
ගහකින් ගහකින් (ගුම් ගුම් ගුම්)
රොනකින් රොනකින් (ගුම් ගුම් ගුම්)
අහරක් අහරක් (ගුම් ගුම් ගුම්)
කවරක් කවරක් (ගුම් ගුම් ගුම්)
බැහැරක් බැහැරක් (ගුම් ගුම් ගුම්)
දෙවරක් දෙවරක් (ගුම් ගුම් ගුම්)
ගුම් ගුම් ගුම්...//

උදයට (ගුම් ගුම්)
සවසට (ගුම් ගුම්)
මලකට (ගුම් ගුම්)
රොනකට (ගුම් ගුම්)
උදයට සවසට වටපිට බැලුවිට
හෙමිහිට මලකට රසමිට මිහිරට
ගුම් ගුම් ගුම්...//

ගුවන් ගැබේ (ගුම් ගුම් ගුම්)
අහස් කුසේ (ගුම් ගුම් ගුම්)
පවන් රැලේ (ගුම් ගුම් ගුම්)
පාන්දරින් (ගුම් ගුම් ගුම්)
එහා මෙහා (ගුම් ගුම් ගුම්)
රෑන් ගැහී (ගුම් ගුම් ගුම්)

රූං කියා (ගුම් ගුම් ගුම්)
පියා විදා (ගුම් ගුම් ගුම්)
පියා සලා (ගුම් ගුම් ගුම්)
නිසංසලේ (ගුම් ගුම් ගුම්)
හීන් සැරේ (ගුම් ගුම් ගුම්)
පියා හඹයි (ගුම් ගුම් ගුම්)

ගුවන් ගැබේ අහස් කුසේ පවන් රැලේ පාන්දරින් එහා මෙහා රෑන් ගැහී රූං කියා පියා විදා පියා සලා නිසංසලේ හීන් සැරේ

පියා හඹයි පියා හඹයි හීන් සැරේ හීන් සැරේ...///

මේ ගීත‍‍යේ ඇති විශේෂතවය මෙය තමා ලෝකයේ තනි ස්වරයකින් නිර්මාණය වූ ප්‍රථම ගීතය. සුනිල් සාන්තයන් විසින් රචනා කර තනු නිර්මාණය කල මේ ගීතයේ පසුබිම් ගායනයෙන් අයිවෝ ඩෙනිසුන් ඇතුළු පිරිසක් දායක වූවා.

මුලු ගීතය පුරාම වාදනය වෙන්නේ, ශුද්ධ රී ස්වරය පමණයි (D Note - ශ්‍රැතිය D Major ). මෙහි තාල වාද්‍ය භාණ්ඩය ලෙස තබ්ලාවේ බායාව නම් කොටසින් හඬක් ඇසෙනවා. එය පමණයි මුළු ගීතය පුරාම වාදනය වෙන්නේ. ආරම්භයේ දී පමණක් පියානෝවෙන් ශුද්ධ රී ස්වරය වාදනය කර ශ්‍රැතිය ලබාදෙනවා. සම්පූර්ණයෙන්ම ගීතය පුරාම පසුබිමින් ඇහෙන ගුම් ගුම් Chorus එකෙන් තමා අනෙක් සංගීත භාණ්ඩවල හඬ ආවරණය කරන්නේ. ගුම් ගුම් යන ශබ්දය කාල පරාස වෙනස් කරමින් රිද්මය වෙනස් කරනවා.

තාක්ෂණය ඕනෑවටත් වඩා සංගීතයට යොදාගන්නා මෙවැනි යුගයක, අද වැනි තාක්ෂණය දියුණු නැති යුගයේ තනි ස්වරයකින් මෙවැනි විශ්වකර්මයක් කිරීමට තරම් සුනිල් සාන්තයන්ගේ පරිකල්පන ශක්තිය කොපමන ද කියා මේ ගීතයෙන් වැටහෙනවා නේද?

දැනට සොයාගන්න තියෙන දත්ත අනුව වෘත්තීය සංගීත ක්ෂේත්‍රය ඇතුළෙ තනි ස්වරයකින් ගීතයක් නිර්මාණය කළ ලෝකයේ සිටින පළමු සංඟීතඥයා ඔහුයි. එහි යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් මෙතෙක් වාර්තා වන පළමු ඒක ස්වර සංගීත කොම්පොසිසන් එක කරල තියෙන්නේ සුනිල් සාන්ත. ඒ තමයි ‘ගුම් ගුම් ගුම්’ කියන ගීතය. පස්සේ හංගේරියන් කොම්පොෂර් කෙනෙක් මේ දේ කරල තියෙනවා. එයාද මෙයාද ඉස්සෙල්ලා කළේ කියල දන්නේ නැහැ. නමුත් මේ දෙන්නගෙ භාවිතා දෙක දෙයාකාරයි. සුනිල් සාන්ත සින්දුවක් කියන්නේ. ඔහු නාදරටාවක් තමයි නිර්මාණය කරන්නේ. දැනට තියෙන තොරතුරු අනුව සුනිල් සාන්ත තමයි මේ අත්හදා බැලීමේ ලොව පළමුවැනියා වෙන්නේ. එය ඔහු තනිව අධ්‍යනය කර කළ දෙයක් බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.



රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ...

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳීන්නද
බාලේ ඉදන් බැදි ආලේ බිඳින්නද 
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි
 
මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ ඇත්ත කතාවක්. ඒ අත්දැකීමට මුහුණ දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගම් ප්‍රදේශයේ ගොවි මහතෙක්. ඒ ගොවි මහතා තමන්ගේ අත්දැකීම රණසිංහයන්ට කියනකොට රණසිංහයන්ගේ වයස අවුරුදු 17 ක්.

නෑනා හා මස්සිනා අතර පැවති ප්‍රේමය විවාහය දක්වා ගෙන යැමට නොහැකි වූ දෙදෙනෙකු අතර සංවාදී ස්වරූපයෙන් නිර්මාණය වී ඇති අපූරු ගීතයකි,අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වඩ් ගායනා කරන රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ නැමැති ගීතය ..

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ..
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ...
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ..
මාසෙ පෝය දා වාගෙයි ගම්මානේ ..

තනිව හේනක් කොටා වගාවක් කිරීම ගැමි තරුණයෙකු ගේ විවාහ දිවියට ඇති සුදුසුකම් අතර එකක් ලෙසට ගැමියන් අතර මතයක් පවතී.මන්ද එය විවාහ දිවියක් ගත කිරීම සඳහා ඇවැසි ආර්ථික ශක්තියේ සංකේතයක් වැන්න නිසාය.අනෙක අලස අයෙකුට එවන්නක් කල නොහැක.

උක්ත තරුණයාට සිය නෑනා මතකයට එන්නේ තම හේන ආරක්ෂා කිරීම සඳහා පැල් රකින අවස්ථාවේ දී යැ. තම පාළුව කාන්සිය නිවා ගැනීමට නෑනාවත් සිටියානම්, කොතරම් දෙයක් දැයි ඔහුට සිතේ..එහිදී "කුරහන් පැහෙනා හේනේ"යන්න ශුංගාරාත්මක යෙදුම කි. ග්‍රේෂන් ආනන්දයයන් විසින් රචිත මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන "මගේ පුංචි කුමාරී "කියන ගීතයේ ඇති "ආල හැඟුම් මෝරන යාමය " සහ මෙහි "කුරහන් පැහෙනා"යන්නේ සැඟවුන අර්ථය එකම දෝ යැයි සිතේ.
ඔහුගේ නෑනා ඉදිරියේ දී පිටස්තරයෙකු සමග විවාහ වී යෑමට නියමිත බව ඔහු දනී..එසේ ඇය ගමෙන් යෑම ඔහු දකින්නේ ගම තුල ඇති ආලෝකය ඉවත් ව යෑමක් ලෙසට ය.ඔහුගේ ජීවිතය ද ඇයගෙන් ආලෝකවත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඔහුට ඇයගේ වෙන්වීම දැනෙන්නේ සඳ නැති අමාවක දිනයක් සේය.

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඬන් මස්සිනේ පෙර පිං නැතුවාට

නෑනා සිය මස්සිනාව හමුවන තැන් පිලිබඳ උක්ත කොටසින් කියැවේ..එනම් එගොඩහ ඉස්මත්ත..වැව් කණ්ඩිය..ආදී ස්ථාන ය.එගොඩ සහ මෙගොඩ ඔවුන් දෙදෙනා විය නොහැකි ද?එගොඩ හා මෙගොඩ අතර බාධක ය ,නෑනාගේ දෙමාපියන් ගේ බලපෑම/ආකල්පය විය නොහැකි ද?
ඇය සිය මස්සිනාට බහ දෙන්නේ ඇයගේ හිතුමනාපෙටය.එහෙත් ඇයගේ දෙමාපියන් එයට අකමැති වගක් පෙනේ.එනිසා ඇයව වෙන කෙනෙකුට යෝජනා කර ඇත..එහිදී මස්සිනාට අසාධාරණයක් සිදුවී ඇතැයිද කිව හැක.ඒ ඔහුට බලාපොරොත්තු ලබා දී ඔහුව මඟ හැරීමයි..සමහරවිට ඇය ද දෙමාපිය කැමැත්ත ගන්නට උත්සාහ කරන්නට ඇත..එහෙත් දෙමාපියන් එයට අකමැති වන්නට ඇත.දෙමාපියන් සමග විරුද්ධ වී හිතුවක්කාරෙට විවාහ වීම ගැමි තරුණියකට තරම් නොවන බැවින් ඇය දෙමාපිය යෝජනාවට කැමැති වන්නට ඇත.එනිසා ඇය මස්සිනාගේ සිත් අස්වසයි..ඒ පෙර පිං නැතුව ඇතැයි කියමිනි.

හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳින්න ද..
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්න ද..
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න ද..
හීනෙන් මිසක හැබැහින් එක් නොවෙන්න ද..

හේන තුලින් ආර්ථික ශක්තිය ද, ගෙපැල තුලින් ආරක්ෂාව ද සංකේතවත් වන බැවින් ද ඔහුටම කියා ඇති ගෙපැල විවාහයකට මූලික සුදුසුකමක් ලෙසට ගැමියෝ සලකති..
ගැමි තරුණයෙකුට ඇත්තේ සරල බලාපොරොත්තු ටිකකි.එනම් තරුණියක සමග විවාහ වී දරු මල්ලන් හදාගෙන සතුටින් ජීවත්වීම පමණි.ඒ සඳහා ඔහුට මාළිගා අවැසි නැත.ගෙපැල හොඳටම ප්‍රමාණවත්ය. බොහෝවිට එය නිර්මාණය වෙන්නේම ඔහුගේම මහන්සියෙනි.උක්ත මස්සිනා තම ගෙපැල හදන්නේම නෑනා සමග දිවි ගෙවීමේ අටියෙනි.එහෙත් අද නෑනා වෙන කෙනෙකු සමග විවාහ වීමට නියමිතය.එනිසා මම මේ ගෙපැල හැදුවෙ තනියෙන් ඉන්නදැයි නෑනාගෙන් ප්‍රශ්න කරයි...
බාල වියේ පටන් ආ බැඳීම බිඳින්නද හදන්නෙ?එතකොට අපිට එකතුවෙන්න වෙන්නෙ හීනෙන් විතරද?යනුවෙන් ඔහු නෑනාගෙන් අසයි..

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි...
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි .
කුරහන් කපන දා මා සිහිකරන්නයි..

ඇය ඔහුගෙන් සමුගෙන යන්නේ කැමැත්තකින් නොවන්නට පුළුවන.එහෙත් යතාර්ථට මුහුණ දිය යුතුය.එනිසා ඇය ඔහුව ආරක්ෂා කර දෙන ලෙස පත්තිනි මෑණියන්ගේගෙන් හා ගම්භාර දෙවියන්ගෙන් ඉල්ලා සිටියි.එමෙන්ම ඔහුගේ අනාගතය සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරයි.එමෙන්ම ඔහුට ධනවත් සහකාරියක් ලැබෙන්නයි ද ඉල්ලයි.එහෙත් ඔහුට ඇයව අමතක නොකල හැකි බව ඇය දනී..එනිසාම ඇය "කුරහන් කපන දා" මා සිහි කරන්න යැයි ඉල්ලයි.එයද ශුංගාරාත්මක යෙදුමකි. සිය ප්‍රථම ප්‍රේමය අමතක කිරීමට කිසිම පෙම්වතෙකුට/පෙම්වතියකට නොහැක.මෙම කාරණය නෑනා විසින් අවබෝධ කරගෙන ඇති වගක් පෙනේ.එනිසාම දෝ සිටු කුමරිය සමග විවාහ වී,ඒ ප්‍රේමයේ අස්වැන්න නෙලන අවස්ථා වේ නොහොත් " කුරහන් කපන දා " ඇයව මතකයට ගන්නා ලෙස මස්සිනා ගෙන් ඉල්ලයි...

ඒ සිදුවීම නිමිති කරගෙන අජන්තා රණසිංහයන් මේ ගීතය පසුකාලීනව ලියනවා. හැබැයි මේ ගීතය ලියන්නේ, මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් තබාගෙන "මියුරස වින්දන" ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන්. ඒ වැඩසටහන නිෂ්පාදනය කලේ ආචාර්ය දයාරත්න රණතුංගයන්.

ඒත් ඒ වකවානුවේ දී මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ පුතණුවන්ගේ මරණය සිද්ධවීම නිසා එතුමා හිටියේ ගීත ගයන්න පුළුවන් මානසික තත්ත්වයක නොවෙයි. මේ නිසා ආචාර්ය අජන්තා රණසිංහයන්, වැඩසටහනේ නිෂ්පාදක ආචාර්ය දයාරත්න රණතුංගයන්ට ඇරියුම් කරනවා අමරා රණතුංගයන් සමග ගයන්නට. නමුත් වැඩසටහනේ නිෂ්පාදකවරයා නිසා එතුමාට ගුවන්විදුලි සංස්ථා සභාපතිතුමාගේ අවසරය අවශ්‍ය වන බව පවසා එතුමාට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට සිදුවෙනවා.

අවසානයේදී අජන්තා රණසිංහයන් අබේවර්ධන බාලසූරියන්ට මේ ගීතය ලබාදෙනවා. කොහොම හරි ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මියත් සම්බන්ධ කරගෙන මේ ගීතය ගයනවා. මෙය ඉතා ක්ෂණිකව පුහුණු කිරීමට සිදුවීම නිසා සරත් දසනායකයන් පෙර පුහුණුවීමේ දී සංගීත ඛණ්ඩයබ් අතරතුර අබේවර්ධනයන් ළඟට ඇවිත් කන ගාවට කර ගීතය පුරුදු කර තිබෙනවා. 

අවසානයේදී නොසිතූ විරූ ජනප්‍රියත්වයක් මේ ගීතයට ලැබෙනවා. එය සිදුවන්නේ මෙහෙමයි. මියුරස වින්දන වැඩසටහනින් ප්‍රචාරය වූ පසු වසර 2ක් ගතවන තුරු මේ ගීතය පටිගත කල පටිගබඩාවේ පවතිනවා. එය ජනප්‍රිය කරවීමේ ගෞරවය හිමි විය යුත්තේ ඩෝල්ටන් අල්විස් මහතාටයි. එතුමා ගුවන්විදුලියේ සේවය කරන කාලයේදී රාත්‍රී වැඩසටහනකට ප්‍රචාරය කිරීමට අවශ්‍ය ගීත සොයනවිට මේ ගීතය පටි ගබඩාවෙන් සොයාගෙන තැටිගත කර ප්‍රචාරය කරනවා. ඉන්පසුවයි මේ ගීතයේ ජනප්‍රියත්වය ඇතිවන්නේ.

අබේවර්ධන බාලසූරිය යන්ගේ හඬ තුලින් සැබෑ ගැමි තරුණයා තුල ඇති හැඟීම් නියමාකාරයෙන් ඉස්මතු වේ. ත්‍යාගා එන් එඩ්වඩ් ගේ ගායනය තුලින් ද නෑනාගේ ආත්මකථනය අපූරුවට ඉස්මතු වේ..ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායකයන්ගේ සංගීතය තුලින් ගැමි සිතැඟි යාවන් අපූරුවට ප්‍රති නිර්මාණය වී තිබේ. මෙහි ගේය පද මෑතකදී අප අතරින් වියෝ වූ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේය.



කලේ පැන් ඇත නැවුම් රහ නැත ...

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටි‍ය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..

සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...

කලේ පැන් ඇත නැවුම් රහ නැත...

පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්...///

ගායනය- සුනිල් එදිරිසිංහ
පදරචනය- කේ.ඩී.කේ. ධර්මවර්ධන 
සංගීතය - රෝහණ වීරසිංහ 

හිමිදිරි පාන්දර ඔරලෝසුව මොර දෙන්නට විය. වෙනදා මා කූද්දන්නේ මගේ ආදරණීය බිරින්දෑය. අද මම නිදි යහනේන් අවදි කරන්නට ඇය නොමැත. වැතිරගත් වනම සිටි මා ඔරලෝසුව දෙස කෝපයෙන් බලා
"අනේ අනේ උඹත් අද මට ඔච්චම් කරනවා නේද්" දැයි කියමින් එය පසෙකට විසි කරන්නේය. වෙනදා පාන්දර මා අවධිවන්නේ ඇයෙගේ ආදර වදන් වලින්ය.

"ආ... නැගිටින්න... දැන් හොඳටම එළිය වැටිලා... හම්... හම්... හනේ හනේ... තාම පොරවාගෙන නේද?..."

තවත් පොඩි වෙලාවක් කම්මැලිකමට එහාට මෙහාට පෙරලෙන මා ඇයවද අතින් අල්ලා නිදියහනට ඇදගන්නේ මගේ හිතේ පාන්දරම අවධිවන ආදර හැඟීමටය. එය නොවලක්වන ඇයද මොහොතකට මා සමග නිදියහනට ගොඩවන මොහොතින් බොරු තරහක් මවාගෙන මෙසේ කියන්නීය.

"මෙන්න වැඩක්... අද වැඩට යන්නේ නැද්ද? හපෝ තියෙන කම්මැළිකමක්... මං යනවා කුස්සියට"

මෙසේ කියමින් ඇය කුස්සියට වන්නේ මා වෙනුවෙන්ම සාදන උදෑසන කිරි කෝප්පය පිළියෙල කිරීමටය. මෙවැනි නොයෙකුත් චාටුබස්ද, ආදරබස්ද මා නිදියහනෙන් නැගිට්ටුවීමට තරම් වන්නේය. හනික නැගිටින මා මීළඟට සොයන්නේ ඇගේ ආදරය පිරුණු කිරි කෝප්පයයි. එයට ලොල් බැඳි මා හනිකට නිදියහනෙන් පැන කුස්සියට වැද ඉඟිමරමින් එහි රස බලන්නේ ඉමහත් ආදරයෙනි. මෙවන් පිරුණු ඇරඹුමක් මා හට ලබා දිය හැක්කේ මගේ බිඳෑට පමණමය.

නමුත් අද ඒ කිසිවක් නැත. මා තනිවමය.

හිරු උදාවට දොස් පවරමින් අදිමදි කරමින් මා නිදියහනෙන් නැගිට හිමිහිට කුස්සිය දෙසට ඇදෙන්නේ කිරි කෝප්පයක් පිළියෙල කිරීමට සිතාගෙනය. පළමුව වතුර උගුරක රහ බැලිය යුතුයැයි සිතා කලයෙන් වතුර කෝප්පයක් නවා බීමට කටට ගත්තද එහි රසය නැති වී ගොසින්ය. වෙනදා මේ වතුර කෝප්පය දෙන්නේ මගේ බිරිඳය. අද මොනවා වෙලාද මන්දාය...

වතුරේ නැවුම් රසය අඩු වෙලාය. බීමට තරම් නොවේය.

කුස්සියේ තියෙන දෙයක් උයාගෙන බඩ පුරවාගෙන රැකියාවට යා යුතුව ඇත්තේය. එහෙයින් හාල් හුන්ඩුවක් ගෙන සෝදා ගරා ලිපේ තබන්නේ සම්බෝලයක් සදා ගැනීමට සැරසෙන අතරතුරේය. අනේ අද ලිපට මොනවා වෙලාද මන්දාය. ලිපේ ගින්දර ඇවිල්ලේ නැත්තේය. අමාරුවෙන් අවුලාගත් ලිපේ තියෙන හාල් ටික වෙලාවකින් රොස් වෙන්නේය. බත පිච්චෙන ගඳ අතරින් කෙසේ හෝ ගින්දර අඩු කරමින් මුට්ටිය බිමට බාගෙන පිඟානකට බෙදා ගන්නේ සාදාගත් සම්බෝලයත් සමහ රස බැලීමටය.

අහෝ... වෙනදා මගේ බිරිඳ සාදන සම්බෝලය කොපමණ මිහිරිද? මා කන්නට ගත් බත් පතේ කිසිදු රසක් නැත්තේය. සම්බෝලයේ මිරිස් වැඩිද මන්දාය. නැත්නම් මගේ දිවට මොනවා හරි වෙලාද මන්දාය.

රැකියාවට ගොස් ආපසු ගෙදරට එන වෙනදා නිවසට ගොඩ වූ සැනෙන් පිරිසිදු වතුර වීදුරුවක් මගේ දිව පිනවන්නේය.

"කෝ දෙන්න.... හරිම මහන්සි පාටයි..."

කියමින් අතේ ඇති බඩු සියල්ල ගෙන නොයෙකුත් කෝලකම් කරමින් ගෙතුලට මා ගෙනයන්නීය. නිවසට වන් මා හට නිවස පුරා ඇති පිරුණු බවින් මගේ වෙහෙස දුරු වන්නේය.

ඒත් අද ඇය නැත. වෙනදා මාගේ දෙසවන් පිනවන කෝල වදන් අද නැත්තේය. සිනහ බව නැත්තේය. මගේ සවන් බිහිරි වී ඇති සැටියක්ය. කිසිවක් අසෙන්නේ නැත්තේය. ගහක කොලයක වැදෙනා සිහිල් පවන් රැල් අද නොමැත්තේය.
පුරුදු නිවහනත් මට අද නුපුරුදු වී ඇත්තේය. පාළුව සෑමතැනම ගැවස ගෙනය.

අද මගේ බිරිඳ මා ලඟ නොමැත. ඇය ගමේ ගොසින්ය. ඇය නෑ ගම් ගොසින්ය.


මේ ජීවනයේ ...

පාලයියා ජෝතිට කියූ හින්දි බොරුව..

මේ ජීවනයේ, මුළු සන්සාරේ,
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.

දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ, 
දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ,
සනසා නොලාලන කාලේ, දිවි තෙක්ම සිහි කෙරේ,
ඒ නිල් දෑසේ, බැල්මෙන් කැල්මෙන්,
මා යන ගමනට දිරි දෙයි
 
මේ ජීවනයේ, මුළු සන්සාරේ, 
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ

සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා, 
සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා,
පින්සාර ඇයගේ තුරුලේ, සැනසේ රජුන් පවා,
ඒ දරුවෙකුගේ, පණ වැනි උත්තම,
අම්මාගේ ආදරයයි.

මේ ජීවනයේ, මුළු සන්සාරේ, 
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.

ගායනය - එච්.ආර්. ජෝතිපාල 
පදරචනය - කරුණාරත්න අබේසේකර 
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල 

අද ලිපියේ සිදුවීමට සම්බන්ධ සංගීතවේදීන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ නම රැන්දුවෝ වෙති.  පළමුවැන්නා ප්‍රවීණ සංගීතවේදී පී.එල්.ඒ. සෝමපාලයන්ය. 1921 සැප්තැම්බර් 13 වනදා මාලිගාකන්දේ උපත ලැබූ සෝමපාලයන් මරදානේ සෙන්ට් ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අරඹා පසුව සංගීතවේදී ලයනල් එදිරිසිංහයන් වෙත ගොස් සිතාරය වාදනය හැදෑරීය. දක්ෂ වයලීන වාදකයෙකු ලෙසද හැකියාව ප්‍රගුණ කළ පී.එල්.ඒ. සෝමපාලයන් 1943 දී එවකට රේඩියෝ සිලෝන්හි සංගීත වාදකයෙකු ලෙස එක්ව ඇත. එකල ග්‍රෑමෆෝන තැටි සදහා සංගීත දායකත්වය ලබාදුන් සෝමපාලයන්, සුනිල් ශාන්තයන් හා යුග ගායනා වලට එක්වූ චිත්‍රා පෙරේරා නම් වූ සුකොමල තරුණිය හා විවාහ වී නව සංගීත යුගයක් බිහි කළේය. චිත්‍රා සෝමපාලයන් ගැයූ ඉසුරුමුණියේ, උඩරට කදුකර, ලලිත කලා, දඹුළු ගලේ, ගාලු පුරේ සිරී ආදී ගීත සියල්ලේම තනු නිර්මාණය වූයේ ඒ ආදරණීය සැමියා අතිනි.

ජෝතිපාල හා පී.එල්.ඒ දෙදෙනා අතර පැවතියේ දැඩි ලෙන්ගතු බැදීමකි. 70 දශකයේ ඇරඹෙන ජනප්‍රිය සිනමා රැල්ල සමග ජෝතිපාලයන් ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම එසැවෙන්නේ සෝමපාලයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය ගී සමුදාය නිසාය. එකල භාරතයේ අතිශය ජනප්‍රිය එහෙත් ලංකාවේ එතෙක් ජනප්‍රියව නොතිබූ හින්දි ගීත සොයා ඒවායේ තනු උපයෝගී කරගෙන සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය වූ ගීත දායාද කළේ පී.එල්.ඒ. සෝමපාලයන් හා ජෝතිපාල යන දෙදෙනා බව කීවොත් එය අතිශෝක්තියක් නොවේ. ‘කොයි යන්නේ ‘, ‘මේ දෑස මගේ පින්වන්තයි‘, ‘ඈත දිලිසෙන හිරු සදු‘ , ‘ සුසුදු රැල්ල‘ , ආදියෙන් පටන් ගෙන සිහිපත් කළහොත් ජනප්‍රිය චිත්‍රපට ගී සිය ගණනක් සිහිපත් කර ගත හැක. ජොතිපාලයන් තමන්ට ගැයීමට ලැබෙන ඕනෑම ආකාරයක තනුවක් උපරිම මට්ටමින් ගයන්නට හැකි අති දක්ෂ ගායන ශිල්පියෙකු විය. හින්දි තනුවකට අනුව ලියැවුනු කරු අයියාගේ පද වැලක් හින්දි තනුව අමතක වී “ අපේම ගීයක්“ ලෙස ගයන්නට ජෝතිට තිබුනේ පුදුම හැකියාවකි. “එපා එන්න කියලා“, “අඞන්නෙ ඇයි සුදු මැණිකේ“ ආදී ගීත ඇසෙන විට අදත් සිහිවන්නේ ජෝතිගේම ගීයක් මිස හින්දි තනුවක් නොවේ. බොහෝ ගායක ගායිකාවනට ‘පාලයියා‘ වූ සෝමපාලයන් ජෝතිට නිකම්ම පාලය. ඒ ජෝති එතරම්ම හිතවත් මිතුරෙකු වූ නිසාය. බොහෝ විට 70 දශකයේ චිත්‍රපටයකට ගීත 9 ක් පමණ ඇතුළත් වූ අතර ඉන් තුනක් හෝ හතරක් අනිවාර්යයෙන්ම ගයන්නේ ජෝතිපාලය. ඇන්ජලීන් සමග යුග ගී කීපයක් හා එම්.එස්. ගේ ගීයක්ද ඇතැම් විට බෙග් මාස්ටර්ගේ ගීයක් ද ඒ ගොන්නට එකතු වේ. ජෝතිට ලැබෙන හින්දි තනුවක් ගයන්නට පෙර පාල සමග ඒ ගැන කතා කිරීම දෙදෙනාගේම පුරුද්දකි.

මේ අතර තවත් අළුත් චිත්‍රපටයක් වූ “ඔන්න බබෝ බිල්ලෝ එනවා“ වෙනුවෙන් ගීත නිර්මාණය සෝමපාලයන්ට පැවරිණ. පදවැල් ලියැවින. තනු නිර්මාණය විය. පටිගත කිරීම්ද සූදානම් විය. ජෝතිගේ පටිගත කිරීමේ දිනය උදාවිය. ජෝතිට පෙර පුහුණුවීම් රැසක් අවශ්‍ය නොවේ. සංගීත අධ්‍යක්ෂවරයා වරක් දෙවරක් තනුව කියාදුන් පසු “ හරි.. ගමු..“ කියා එක් වරකින්ම නිවැරදිව ගීයක් ගැයීමේ පුදුම හැකියාවක් ජෝති සතු විය. “අපරාදෙ කියන්න බෑ. ජෝතිපාල ට එක ටේක් එකයි“ කියා කියමනක් හැදුනේද ඒ නිසාමය. ඔන්න බබෝ බිල්ලෝ එනවා ගීත පටිගත කිරීමේ දී ජෝති ට අපූරු ගීයක් ගයන්නට සිදුව තිබුනි. එය හින්දි තනුවක් යැයි සංගීත අධ්‍යක්ෂ පී.එල්.ඒ. සෝමපාල කීවේ නැත. ජෝති එවැනි තනුවක් හින්දි ගීයකින් අසා තිබුනේද නැත. වරක් දෙවරක් තනුව වයා, ගයා පුහුණු කරද්දී “ අම්මට සිරි මේක මාර මෙලඩියක්නෙ පාල..“ කියා ජෝතිට කියැවින. “ එහෙම තමයි ඩෝ අපේ වැඩ..“ සෝමපාලයන් ද එලෙස කියා ගීතය පටිගත කිරීම ඇරඹීය. නැවුම් ගීයක් ගයන මාධූර්යයෙන් ජෝති ද ඉතාමත් ලගන්නා ලෙස ගීය ගැයීය. පටිගත කර අවසානයේ ගීය යළි ඇසූ ජෝති “ මේක නං මාර හිට් එකක් වෙනවා ..“ කියද්දී..“ බලපන්කො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..“ යනුවෙන් සෝමපාලයන් ගෙන් ද පිළිතුරු ලැබින.

දැන් චිත්‍රපටය අති සාර්ථක ලෙස තිරගත වන කාලයයි. රටපුරා ගීත ලෝලයන්ගේ මුවෙහි ගැයෙන්නේම ජෝති ආසාවෙන් ගැයූ එම ගීයයි. ජෝති ද මහත් සතුටට පත්ව සිටී. එකළ ගුවන් විදුලියේ වෙළද සේවයේ විවිධ වැඩ සටහන් අතරට ඒ වන විට ජනප්‍රිය චිත්‍රපටවල මුල් හින්දි ගීය සොයා වාදනය කිරීමද පුරුද්දක් වී තිබුනි. අප ගුවන් විදුලි අසන්නන් අතර එම මුල් හින්දි ගීය ජනප්‍රිය වන්නේ එවිටය. දිනක් ජෝතිට අහම්බෙන් මෙන් අසන්නට ලැබුනේ තමන් ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටයට ස්ව නිර්මාණයක් ලෙස සළකා අපූරුවට ගැයූ ගීතයේ තනුව ඇති හින්දි ගීයකි. ජෝතිට යකා නැග්ගේය. “යකෝ පාල මට බොරු කියලා තව හින්දි කොපියක්නෙ රෙකෝර්ඩ් කරවලා තියෙන්නෙ..“ කියමින් පුපුර පුපුරා පාල හමුවන තෙක් මග බලමින් සිටියේය. 

එකල ගුවන් විදුලියත් රූපවාහිනියත් අතර ඇති ටොරින්ටන් පාර බස්රථ පවා ගමන් කරන පොදු මාවතකි. දිනක් ජෝති මිතුරෙකුගේ මෝටර් රථයක නැගී තුන්මුල්ල පැත්තේ සිට පැමිණ ටොරින්ටන් පාරට හරවනවාත් සමගම ගුවන්විදුලිය දෙස බලා “ ඒයි.. තවත්තපං මචං කාර් එක. ඕකාට මම අද..“ කියද්දී මිතුරා රූපවාහිනී අයිනේ රථය නවත්වා ගත්තේද අසීරුවෙනි. අඩියට දෙකට පාර මාරුවූ ජෝති ගුවන්විදුලිය අයිනේ හිටගෙන සිටි දෙදෙනෙකු ඉදිරියේ මහ හයියෙන් කෑ ගසනවා ඇසුනු මිතුරා ද එදෙස බැලීය. හිටගෙන සිටි දෙදෙනා කරුණාරත්න අබේසේකර හා පී.එල්.ඒ. සෝමපාල විය. තිදෙනාගේ දෙබස් පැහැදිලිව ඇසේ. “අඩෝ.. පාල මොකද්ද බං උඹ කරපු කැත, පල් වැඩේ..“ ඒ ජෝතිගේ හඞයි. “ මොකද්ද පල් වැඩේ..“ වැඩි කලබලයක් කවදත් නැති පී.එල්.ඒ. අසයි. “ ඇයි උඹ කිවුවෙ නෑනෙ ... අර සිංදුව හින්දි එකක් කියලා.. එහෙම කලින් කිව්වනං මං දෙනවනෙ තවත් ඇට්ටි හැලෙන්න..“ ඒ ජෝතියි. “ හරි..හරි.. මොකද්ද සිංදුව..“ . “ ඇයි බං අර “මේ ජීවනයේ මුලු සංසාරේ“ . ඒක හෙන හින්දි කොපියක්නෙ ඩෝ. බලපං දැන් හැමදාම රේඩියෝ එකේ යනවනෙ. “හරි.. හරි.. ඒකට හේතුව මෙන්න මෙයාගෙන්ම අහලා දැනගනින්කො.. බොරුවට කෑ ගහන්නෙ නැතුව.“ පාල නිසොල්මනේ කරුණාරත්න අබේසේකරයන් පෙන්වා කියයි. “මොකද්ද.. මොකද්ද හේතුව“ ජෝති කරු ගේ ඇගට ගොඩවෙයි. කරු අයියා ද කලබල වන අයෙකු නොවේ. ඔහු සෙමෙන් කතාව අරඹයි. “මෙන්න මේකයි ජෝති උනේ.. ඔය මෙලඩි එක මට ගෙනත් දුන්නම මට නියම වචන ටිකක් ලියැවුනා.. අම්මා ගැනනෙ සිංදුව. මං තමා පාලට කිවුවෙ.. මේක හින්දි මෙලඩි එකක් කියලා ජෝතිට නොකියා රෙකෝඩිං කරවපං.. ජෝති මේක නියමෙටම කියයි.. කියලා..“බම්බුව තමා..“ ජෝති තවම කේන්තියෙනි. “ දැන් බලාපංකො ජෝති... උඹ ඒ සිංදුව හින්දි එකාටත් වඩා හොදට කියලා තියෙනවනෙ.“ කරු එලෙස කියන විටම “ බහ්..බහ්..බහ්.. ගාමින් මොනවාදෝ මුමුණමින්, අඩියට දෙකට යළි පාර පැන මිතුරාගේ මෝටර් රථයට නැගුනු ජෝති යන්නට ගියේ දකුණු අතේ අල්ල පාරෙන් අනික් පැත්තට දිගු කරමින් “උඹලා දෙන්නම බම්බු ගහපල්ලා..“ කියන්නාක් මෙන් සංඥාවක් ද කරමිනි.


කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ...

කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ

අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුනු සිත්වල මතක ලොවේ
එක්‌වන්නට බැරි නම්

කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...

සිත සිහිනයකි නෙත එක රැයකි
යළි සසඳන්න බැරි//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරි නම්

කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...
 
ගායනය - රෝහණ බෝගොඩ 
පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස් 
සංගීතය - ස්ටැන්ලි පීරිස් 

මේ ගීතය රචනා වූ ආකාරය හරිම අපූරුයි. මෙහි තනුව ස්ටැන්ලි පීරිස් මහතා විසින් පළමුව නිර්මාණය කර තිබුණා. ගීතයට ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් පද මාලාවක් රචනා කරවාගන්නට රෝහණ බෝගොඩයන්ට අවශ්‍යව තිබුණා. එක ගීතයක් නෙමෙයි. මේ ගීතය ඇතුළුව ගීත කිහිපයක්ම. නමුත් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව වැඩේට අල්ලාගන්නට හරිම අමාරුයි. ඒ නිසාම රෝහණ බෝගොඩයන්, දවසක් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව ගුවන් විදුලි සංස්ථාවෙන් පිට තැනකට කැටුව යන්නට තීරණය කරනවා. අවසානයේදී ප්‍රේමකීර්ති මහතාගේ යෝජනාව අනුව දෙදෙනා ගිහින් නතර වෙන්නේ, අවන්හලකයි!

ඒ අවන්හලේ ගීතයක් ලියනවා තියා හිතන්නවත් අමාරුයි. ඒ තරමට ගෝසාව. ඒ වෙනකොට හොඳ සිහියෙන් සිටි ප්‍රේමකීර්ති මහතා "හරි දැන් තනුව මට කනට කරලා කියපන්" යැයි බෝගොඩයන්ට කියනවා. බෝගොඩයන් එතුමාගේ කනට කොඳුරමින් තනුවේ මුල් කොටස කියා පෙන්වනවා. "මේක විරහ ගීතයක් නේද? කවුද මේ මෙලඩිය දැම්මේ?" ප්‍රේමකීර්ති මහතා ඇසූ විට "ස්ටැන්ලි අයියා දැම්මේ" යනුවෙන් පිළිතුරු ලැබෙනවා. "රයිට්" යැයි කියූ ප්‍රේමකීර්ති මහතා එතන තිබූ අත පිහින කඩදාසියක් ගෙන බොරු වචන ටිකක් නිකන් ලියනවා. ටික වේලාවකින් මධුවිත ගෙන්වාගෙන හොඳට සප්පායම් වී ඔහු අර වචන එකක්වත් ඉරකින්වත් කපන්නේ නැතිව එයට ඉතිරි වචන ටික යොදනවා. "දැන් මේ Chorus එක කියලා පෙන්නපන් අර මෙලඩියට" කිව්වාම බෝගොඩයන් නැවතත් කනට කොඳුරා තනුවේ හැටියට වචන ගයා පෙන්වනවා. අවන්හලේ සිටි අනෙක් අයට මේ වෙන දේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ. 

මේ ආකාරයටම අන්තරා කොටස් දෙකටම පදවැල් ටිකත් ලියවෙනවා. අවසානයේ අත පිහින කඩදාසි වලම රෝහණ බෝගොඩයන්ට අවශ්‍යව තිබූ ඉතිරි ගීතත් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් ලියවෙනවා. ගෝසාවෙන් පිරුණු අවන්හලක් ඇතුළත, කලින් නිර්මාණය වූ තනුවකට ක්ෂණිකව පද රචනා වූ මේ ගීතය අපි අදටත් ආදරයෙන් රසවිඳිනවා. නමුත් මෙවැනි හැඟීම්බර ගීතයක් මෙවැනි තැනක රචනා කරන්න තරම් ප්‍රේමකීර්ති ද අල්විස් යනු කුමන හැකියාවෙන් පිරි පුද්ගලයෙක් ද යන්න ඔබට වැටහෙනවා නේද?



දරදිය ඇදලා...

දරදිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා

මට බහ දීලා
සරසවි ලීලා
රැඟුම් රඟා ඈ සමඟින් ආවා
දරදිය ඇදලා….

අනේ කමෙක් නෑ
සිරි සැප වේවා
මට වූ දේ නම් ඇයට නොවේවා
දරදිය ඇදලා…

ගායනය - නාලිනී රණසිංහ 
පදරචනය - ඩෝල්ටන් අල්විස් 
සංගීතය - සරත් බාලසූරිය 

මගේ සිත තැන්පත්ය” සහ “කහවන් ගොයමට රන්දිය වැහැලා” යනු නාලිනී රණසිංහ යන නාමයද සමගින් සිහිපත් වන ගීත දෙකකි. මේ ගීත එකල අපට කට පාඩම් වී තිබුණි. ඇත්තෙන්ම නාලිනී රණසිංහ මහත්මිය ගැයූ ගීත ප්‍රමාණය අතළොස්සක් වුවත් ඒ හැම ගීතයක්ම මිහිරි වින්දනීය ගීතයන්ය. ඇයට ඇත්තේ ඇයටම අනන්‍ය වූ ඉතා සුවිශේෂී හඬකි. ඒ හඬෙහි ගැමි ආර කැපී පෙනෙයි. සුනිල් සාන්තයන් විසින් ඇය ඔහුගේ නිර්මාණ වලට සහභාගී කරවා ගැනීමෙන්ම ඈ සතුවූ ගායන කුසලතාවය වටහා ගත හැකිය. අචාර්ය කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ “මී මැස්සෝ” චිත්‍රපටයට ඇය විසින් ගායනා කරන ලද “සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල” ගීතයද මෙහිදී සිහිපත් වෙයි. එහෙත් කණගාටුවට මෙන්ම විමතියට කාරණය නම් අපේ ගීත ක්ෂේත්‍රය තුළ නාලිනී රණසිංහ මහත්මියගේ හඬින්, ඇය සතුවූ ගායන කුසලතාවයෙන් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවක් දකින්නට ලැබීමයි.

ගීතය යනු වචන ඉක්මවන කලාත්මක ප්‍රකාශනයක් බවට “දර දිය ඇදලා” ගීතය තවත් එක් උදාහරණයක් සපයයි. මෙහිදීද නාලිනී රණසිංහ මහත්මිය, වචන සහ සංගීතය හමුවන තැන සිදුවන හාව ප්‍රකාශනය උදෙසා සිය දායකත්වය මැනවින් ලබා දෙන්නීය. ඇත්තෙන්ම මේ ගීතයේ පද රචනය, සංගීතය සහ ගායනය යන ත්‍රිත්වයම එකිනෙක පරයා නැගී සිටින බවක් දැනේ.

ගීතයේ මුල සිට අග දක්වා කියැවෙන්නේ අවනඩුවෙකි;

“දරදිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා”

නව යුවළගේ ආගමනයේ දී “සරසවි ලීලා රැඟුම් රඟා” පැමිණියේ යැයි පැවසීම තුළින් ධ්වනිත වන්නේ සෝපාහාසයයි.

“මට බහ දීලා
සරසවි ලීලා
රැඟුම් රඟා ඈ
සමඟින් ආවා”

ඉන් අනතුරුව එන්නේද කෝපය මුසු සෝපාහාසාත්මක ප්‍රකාශයෙකි.

“අනේ කමෙක් නෑ
සිරි සැප වේවා
මට වූ දේ නම්
ඇයට නොවේවා”

ගීතයේ පද රචනය ඩෝල්ටන් අල්විස් සූරීන් විසින් වන අතර තනුව සහ සංගීතය සරත් බාලසූරිය ගෙනි.



දුර පෙනෙන තැනිතලා...

දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා..
පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා..

ඈත කිරි පාට - පේන සරුසාර
සෑය දිළෙනවා - සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා..///
නුවර එළි කලා...

දුර පෙනෙන තැනිතලා...

ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා..
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..///
තිසා වැව වටේ

දුර පෙනෙන තැනිතලා...

ගායනය - කාන්ති වක්වැල්ල, විවියන් ද සිල්වා බොරලැස්ස
සංගීතය - බී.එස්. පෙරේරා 

1950 වසරේ දවසක සරත් විමලවීර මහතා සහ කරුණාරත්න අබේසේකර මහතා අනුරාධපුරයේ ගුවන්විදුලි වැඩසටහනක් සඳහා පිටත්වෙනවා. අනුරාධපුර පූජනීය නගරයට ඇතුළුවෙනකොට අපේ පැරණි දාගැබ් වැව් දකින විට ඒ සොබා අසිරියෙන් මත් වූ විමලවීර මහතා කරුණාරත්න අබේසේකර මහතාට යෝජනා කරනවා "අපි දෙන්නා අනුරාධපුරය ගැන ගීත දෙකක් ලියමු." කියා. "මට මහන්සියි" කියා එම අවස්ථාවේ දී අබේසේකරයන් එයට එකඟ වෙන්නේ නැහැ.

නමුත් විමලවීර මහතා එම ගමනේ අසිරිය විඳිමින්ම මෙම ගීතය රචනා කර බී.එස්. පෙරේරා මහතාට ලබා දෙනවා තනු නිර්මාණය කිරිමට. විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මියගේ පියා, බී.එස්. පෙරේරා මහතාගේ ළඟම මිතුරෙක්. විවියන් ද සිල්වා මහත්මිය වයස අවුරුදු 8 සිටම ගුවන්විදුලියේ ගීත ගායනා කල නිසාම ඇයට කාන්ති වක්වැල්ල මහතා සමග මේ ගීතය ගායනා කිරීම සඳහා ඇගේ නිවසේ දීම තනුව නිර්මාණය කලා. එම අවස්ථාවට සරත් විමලවීර - බී. එස්. පෙරේරා - බොරලැස්ස මහත්මියගේ පියා තිදෙනාම එකතු වී තිබෙනවා.

ගීතය පටිගත කිරීම ද තරමක් අපහසුවෙන් සිදුකර තිබෙන්නේ. එවකට එම්පයර් සිනමා ශාලාව අසල පිහිටි ශබ්දාගාරයක තමා මේ ගීතය මුලින්ම පටිගත කර තිබෙන්නේ. එම ස්ථානය තහඩුවලින් ආවරණය කර තිබිලා තියෙන්නේ. නමුත් දින කිහිපයක්ම මහ වැස්සක් ඇද වැටීම නිසා තහඩුවලට වතුර වැටෙන ශබ්දය හේතුවෙන් පටිගත කරන්නට බැරිව තිබෙනවා. පසුව තමා මේ ගීතය පටිගත කර තිබෙන්නේ.



නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ ...

නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න පුිය ළදේ......
නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ.....

මියුරු තෙපුල් පවසා මා හද සනසනු මැනේ
සිරිකත මෙන් මගෙ පැළ තුළ
රැදෙන්න පියබදේ.....
සිත සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ
ඔබේ හදට ආලෝකය දෙන්නෙමි හැම වෙලේ.....

නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න පුිය ළදේ......
නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ.....

දිවිය සුවඳ මලින් පිරුණු සුව යහනක් නොවේ
හිරිහැර මැද කඳුළ සුසුම
ඇතිවිය හැක ලොවේ......
ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ
පැමිණෙන දුක සැප එක ලෙස
විඳගමි ජීවිතේ.......

නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න පුිය ළදේ......
නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ.....

ගායනය - රුක්මණී දේවී, ෆීලික්ස් ඇන්ටන් 
පදරචනය - ලීනස් මෙන්ඩිස් පියතුමා 
සංගීතය - ස්ටැන්ලි පීරිස් 

ලීනස් මෙන්ඩිස් පියතුමා එකදවසක් මාව මුණගැහිලා කිව්වා තවත් ගීත දෙකක් රචනා කරලා තියෙනවා එයින් එක ගීතයක් රුක්මණී දේවිය සමග ගායනා කරන්න ඕනැයි කියලා. එහෙම කිව්වම මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා. ඒ වගේ මහා ගායිකාවක් එක්ක මං වගේ ගායක බට්ටෙක් කොහොම සිංදුවක් කියන්නද කියලා.

කොහොම හරි හිත හදාගෙන ගියා එතුමිය මුණගැහෙන්න. ඒ දවස්වල එතුමිය නතරවෙලා හිටියේ දෙහිවල ඇගේ හෙලන් නංගිලාගෙ ගෙදර. එතුමිය අපි ඉදිරියට එන්න පැයක විතර කාලයක් ගතවුනා. ඇඳගෙන ආවේ රෙද්දයි හැට්ටයයි. මට තේරුණා හැඩවැඩ වෙන්න කාලය ගතවුනා කියලා. ඉතින් කියමුකෝ ළමයෝ ආපු කාරණය. එතුමිය මට කතා කළේ ඒ විදියට.

කිසිම පැකිලීමක් නැතුව මා සමග ගීතය ගයන්න එකඟත්වය පළ කළාම මම ගියා ගීතයට සංගීතය නිර්මාණය කර ගන්න ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා මුණගැහෙන්න. ඒ වෙනකොට ස්ටැන්ලි පීරිස් මහත්මයා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආර්ට් මාස්ටර්. මේ 1978 වර්ෂයේ. මේ ගීතය සාන්ත අන්තෝනි විද්‍යාලයේදී පුහුණුවෙනකොට අවුරුදු 16 ක විතර පොඩිකොල්ලෙක් තමයි පියානෝව වාදනය කළේ. මේ ගීතය පටිගත කරන දවසේදීත් මේ පොඩි කොල්ලා පියනෝව වාදනය කළා. පසුව මට දැනගන්නට ලැබුණා ඒ පොඩි කොල්ලා තමයි රූකාන්ත ගුණතිලක බව. ඉතින් එදා රුක්මණී දේවිය සමඟ මම ගැයූ ගීතය තමයි. ‘‘නිලම්බරේ කැලූම් පිරී සරා සඳවගේ...’’ අනිත් ගීතය ඇය ගායනා කළේ මිල්ටන් මල්ලව ආරච්චි. එක්ක ඒ තමයි ‘‘පෙම් රජ දහනේ අහස් මාළිගා...’’

ඉතින් නිලම්බරේ කැලූම් පිරී සරා සඳ වගේ ගීතය මට වාසනාව ගෙනාව නිසා ප‍්‍රසංග වේදිකාවේදී මේ ගීතය ඇය සමග ගායනා කරන්න මම ලොකු සිහිනයක් මවා ගෙන හිටියා. ඒත් ඒ වාසනාව උදාවෙන්නත් ඉස්සර මේ නිහතමානී රත්තරං ගායිකාව හදිසි අනතුරකින් අපෙන් වෙන්වෙලා ගියා.



සිකුරුලියා...

කොමල ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා 
සියුමැලියා සිකුරුලියා 

ගත සීතල පහස ලබා 
ළැම රන්වන් සුවඳ සොබා 
නිමවෙයි රොන් ලැබුව මෙමා 
සිකුරුලියා 
මාව දමා යන්න ගියා සිකුරුලියා 

කොමල ලියා...

නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ 
සිකුරුලියා 
මාව දමා යන්න ගියා සිකුරුලියා 

කොමල ලියා... 

ආදරයෙන් ඔබ හින්දා 
මා මනසින් දුක් වින්දා 
පාළුව ළඟ මා රන්දා
සිකුරුලියා 
මාව දමා යන්න ගියා සිකුරු ලියා

කොමල ලියා... 

ගායනය-ජේ.ඒ.මිල්ටන් පෙරේරා
පද රචනය-ධර්මසිරි ගමගේ
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

"උම්මග්ග ජාතකයේ" එන "දික්තල කාලගෝල" ප්‍රශ්නය ඇසුරින්, එයට නව ආරක් එකතු කරමින් එච්. ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කල සිකුරුලියා චිත්‍රපටියට ඇතුළත් වූ මේ ගීතය අපි කවුරුත් ඉතාම ආදරයෙන් වැළඳගත්ත ගීතයක්.

මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කල "ක්ලැරන්ස් විජේවර්ධන" මහතාගේ යෝජනාවකට අනුව තමයි "මිල්ටන් පෙරේරා" මහතා ගිතය ගායනා කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. එයට හේතුව තමා මිල්ටන් පෙරේරා මහතාගේ හඬ ස්වාභාවයෙන්ම දුක්බර හඬක් වීම. ඉතින් ඒ හඬ මේ ගීතයේ තේමාවට ඒක හරි අපූරුවට ගැලපිලා තියෙනවා.

ගීතය පටිගත කරපු අවස්ථාවත් හරිම අපූරුයි. මුල දී ගීතයක් සාමාන්‍යයෙන් පුහුණුවීමක් (Rehearsal) කරලා ඉවර කරලානේ ගීතය ඇත්තටම පටිගත කරන්නේ. නමුත් පුහුණුවීම කරද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්, මේ චිත්‍රපටියේ ගීතවල ශබ්ද පරිපාලක හැටියට කටයුතු කරපු "මර්වින් රොඩ්‍රිගෝ" මහතාට කියලා තියෙනවා පුහුණුවීමත් පටිගත කරගන්න කියලා. ඊට පස්සේ ඇත්තටම චිත්‍රපටියේ යොදන ගීතය විදියට එහෙම නැත්තන් Take එක විදියට පටිගත කලාලු. අහලා බලනකොට දෙකම එකවගේ. ඒ කියන්නේ, මිල්ටන් පෙරේරා මහතා කිසිම වැරදීමකින් තොරව දෙපාරම හරියට ගායනා කරලා තියෙනවා. නමුත් චිත්‍රපටියේ රූප රාමුවලට එහෙම නැත්නම් අපි මේ දකින දර්ශනයට යොදලා තියෙන්නේ, පුහුණුවීමේ දී ගත්ත රෙකෝඩින් එක. (Rehearsal Recording). ඉතින් බලන්න ඒකෙන්ම පේනවා නේද මිල්ටන් පෙරේරා මහතා කොච්චර දක්ෂයෙක් ද කියලා?

මේක රචනා කලේ ධර්මසිරි ගමගේ මහතා අතින්. ඒක ඇත්තටම මාත්‍රා 12 වසන්ත විරිතේ එන දරු නැළවිලි ගීතයක් ආකාරයෙන් තමා රචනා වෙලා තියෙන්නේ. වචන ටික දිහා බැලුවාම ඒක ඔබට පේනවා ඇති. නමුත් ක්ලැරන්ස් විජේවර්ධනයන් කවි ස්වරූපයෙන් තියෙන ඒ පදමාලාව, පේලි තුනෙන් තුනට කඩලා ඒ අතර මැද්දට "සිකුරුලියා" කියන වචනය Chorus එක වගේ යොදාගෙන තියෙනවා. ඒ නිසා කවි ස්වරූපය යටගිහින් ගීතවත් ස්වභාවය ඇවිල්ලා ඇවිත් තියෙනවා.

ජොනී බාලසූරිය චරිතය රඟ පෑ බන්දුල ගලගෙදර මහතාගේ  සම්පූර්ණ නම "බන්දුල උබයරත්න ගලගෙදරයි. උස අඩි 4 අඟල් 5යි. හැබැයි පවුලේ 6 දෙනෙක් අතරින් එතුමා විතරයි මිටි. අනික් ඔක්කෝම සාමාන්‍ය ශරීර ස්වභාවයෙන් ඉන්නේ. කැලණියේ හිඹුටුවැල්ගොඩ ගමේ උපන් එතුමා අකුරු කළේ "ධර්මාලෝක විද්‍යාලයේයි" සුනිල් එදිරිසිංහ මහතාත් එතුමා සමඟ එක බංකුවේ වාඩි වී සිටි සගයෙක්. සුනිල් එදිරිසිංහයන් කෙදිනක හෝ දක්ෂ ගායකයකු වේ යයි කියා සංගීත ගුරුතුමා අනාවැකි පළ කරද්දී බන්දුල මහතාගේ සිතෙත් කවදාහරි නළුවකු වීමේ සිහිනය රජ කරලා තියෙනවා. ඒ සඳහා එතුමාට වේදිකාව සාදා දී ඇත්තේද පාසලයි. පාසලේ කාලගෝල නාට්‍යයේ කාලගෝලට රඟපාලා හොඳම නළුවා ලෙසින් සම්මාන ලබා තිබෙනවා. එච්. ඩී. ප්‍රේමරත්න නම් ශූර අධ්‍යක්ෂවරයාට එතුමාව හඳුනාගන්නට ලැබුණාට පසු ඔහු එතුමාව රූගත කරන තැන්වලට කැඳවා ගෙන ගිහින් අත්දැකීම් ලබා දීලා තිබෙනවා. ‘සිකුරුලියා’ සිනමා පටයේ ජොනී බාලසූරිය චරිතය ලැබී තිබෙන්නේ ඉන් පසුවයි. අත්දැකීම් වලින් පිරිපුන් සෙසු ප්‍රධාන නළු නිළියන් නො මසුරුව එතුමාට සහය ලබා දීලා තියෙනවලු.

ක්ලැරන්ස් විජේවර්ධන යෙදූ තනුව මීට වඩා තීව්ර ලෙස ගැලපුණි. එම් කේ රොක්සාමි, මැතිව්, ස්ටැන්ලි පීරිස්, අපූරු සුසංයෝගයක් එක්කරමින් මේ ගීය ගීත මාදූර්යයෙන් ඹපවත් කරවීය. කැලනිය සරසවි ශබ්ධාගාරය ඊට මනා ලෙස ගැලපුනි..

උම්මග්ග ජාතකයේ එක් කතාවක ලකුණ්ටකයෙක් රූමත් කාන්තාවකට කල ආදරයක් පිලිබද දැක්වේ.චිත්‍රපටිය දිවෙන්න එම තේමාව තුලයි. මෙම ගීතය තුලද රචකයා ජනිත කරන්නේ ලකුණ්ටකයා එම තරුනියට සිතින් කරන ආදරය පිලිබදවයි.
මුල් පද පේලි තුලින් ගේය පද රචකයා විසින් චිත්‍රපටයේ කථාකායකයාගේ එනම් ප්‍රධාන චරිතයේ චිත්ත සන්තානයේ නැගෙන වියෝගය හෙවත් විප්‍රලම්භ ශෘංගාරය විශය කරයි.
ගීතයක තිබිය යුතු මූලිකාංග සුමට ලෙස යොදාගෙන තිබේ..ඉන් නොනැවතී හැඟිම් උද්දීපනය වන ලෙස වචන භාවිතාකර තිබේ.

කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා

දෙවැනි පද පේලි තුලින් තරුණයා ඇය සමඟ ඇසුරක් පැවත්වු බව නීරුපණය කරත් චිත්‍රපටියට අනුව මෙය ඔහුගෙ සිතේ හට ගන්නා වු චිත්ත රුපයක් හෙවත් මවා ගැනිමක් පමණයි. ගත උණුසුම්ය එය සීතලක් වනුයේ ලමැදින් හමනා සුවඳ සොබාවය මුසුවීමෙනි…එහෙව් ලමැදින් ලද ආශ්වාදය මතක් කරමින් හැර දමා ගිය තරුණිය පිළිඹඳව සිහිපත් කිරීමක්ම වෙයි.

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

ප්‍රේමය යනු විටෙක සැනසුමකි විටක වේදනාවකි..ප්‍රේමය සිරුරට වඩා මනසට කරන බලපෑම අතිමහත්ය. මෙම පද කිහිපයෙන් තරුණිය කෙරෙහි පවතින බලවත් අවශ්‍යතාවය හා ආදරය පෙන්නුම් කරයි. අවසානේදි ඔහු ඇය වෙනුවෙන් විදි වේදනාව ඔස්සේ වියොගය තිව්‍ර කරයි.

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

මෙම ගීතයේ පවතින විශේෂත්වය වනුයේ චිත්‍රපටියේ තෙමාවට මනාව උචිත වන ලෙස නිමවා තිබිමත් චිත්‍රපටියෙන් පරිබාහිරව විශිෂ්ට විරහ ගීයක් ලෙස අකාලිකව වින්දනය කල හැකි වීමත්ය.



සිහිල් සුළං රැල්ලේ...

සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ

සිහිල් සුළං රැල්ලේ...

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ

සිහිල් සුළං රැල්ලේ...

ගායනය - විශාරද වික්ටර් රත්නායක
පද රචනය - සේන වීරසේකර
සංගීතය - විශාරද වික්ටර් රත්නායක

1966 වර්ෂයේදී බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයෙන් සිය ගුරු භූමිකාව ඇරඹු වික්ටර්ගේ අතින්  “සිහිල් සුළං රැල්ලේ ” ගීතය නිර්මාණය වූයේ ඒ අවධියේදී දුම්රියෙන් බණ්ඩාරවෙල යන අතරතුරදීය. එම තනුවට සේන වීරසේකරයන් මනහර පදමාලාවක් ගොනු කළ අතර එය රසික හදවත් තුළට වික්ටර්ව තව තවත් ලං කරවූ ගීතයක් විය. බොදු බැති ගී ගායනයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රියත්වයට පත්වූ පළමු ගීතය වන්නේ ‘සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ’ ගීතයයි.

හෙළ හවුලේ ප්‍රකට පඬිවරයෙකු වූ ජයන්ත වීරසේකරයන්ගේ එකම පුතු ලෙස 1942 මැයි 02 වැනිදා අගනුවර දී උපත ලැබූ සේන වීරසේකර ජල තරංග වාදනයෙහි ප්‍රවීණයෙකි. 1968 ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට සම්බන්ධ වූ ඔහු මෙරට සෑම ප්‍රවීණ සංගීතඥයකු යටතේම වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කළේය. 1968 ඊවා රණවීර නිෂ්පාදනය කළ ‘ඉහළට වහළ නිල් අහසයි’ නාට්‍යයෙන් සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වැඩි ඔහු චෙරි උයන, මේස, රයිනෝසිරස්, සොක්‍රටීස් ඇතුළු නාට්‍ය රාශියක සංගීත අධ්‍යක්‍ෂණය කළේය.

‘මලට නොඑන බඹරු’, ‘ගොළු මුහුදේ කුණාටුව’, ‘සයනයේ සිහිනය’, ‘තුන්වැනි ඇහැ’, ඔහුගේ සංගීතයෙන් හැඩ ගැන්වූ චිත්‍රපට වේ.

තාරාදේවී, සෙක්කු ගෙදර, ඉසිවර ආසපුව ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක සංගීතය සැපයූ සේන මිය යන විට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කටයුතු කළේය.



ආදරණීය නේරංජනා...

ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

ඔබ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ

කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා
නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා

ආදරණීය නේරංජනා //

සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා.

"මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි.

ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:30 ට 1:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු."

කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා.

ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්‍රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ.

වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා.

(Copied මාධව විජේසේකර)



මල් වනේ රෝස කැකුළු...

කිරි කැටියකුගේ වියෝ දුක දනවන 'මල් වනේ රෝස කැකුළු' ගීතය

දෙමාපියන් දරුවන්ට කොයි තරම් ආදරේද? ඒක මනින්න මිම්මක් නැහැ. මේ දරු සෙනෙහස ගැන නිර්මාණ සිය දහස් ගණනක් නිර්මාණය වෙලා ඇති. ටිකක් පරණ වුණත් මෑතකදි බලන්න ලැබුණු La vita è bella කියන ඉතාලි චිත්‍රපටය බලන කොට දැනෙනවා තාත්තා කෙනෙක් තමන්ගේ එකම පුතාගේ ජීවිතය අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න කොයි තරම් කැපවීමක් කරනවද කියන එක. ඒත් දැන් කියන්න හදන්නේ ඒ චිත්‍රපටය ගැන නෙවෙයි ගීතයක් ගැනයි. මේ ගීතය ඇසුණු නිසයි මේ ච්ත්‍රපටය ගැන මතකයත් අලුත් වුණේ.

රූපවාහිනි සංගීත වැඩසටහනකදී නන්දා පතිරණ කියන ප්‍රවීණ ගායිකාව ගායනා කළ ගීතයක් අසන්න ලැබුණා. මේ ගීතය සෑහෙන කාලයකට කලිනුත් අසා තිබුණත් අද තමයි මෙහි වදන් සියල්ල හිතට කා වැදුනේ. ඒ තමයි ‛මල් වනේ රෝස කැකුළු’ කියන ගීතය. ඉපදිලා කිරි සුවඳත් යන්න කලින් තමන්ගේ කිරිකැටියා වියෝ වුණු මවකගේ හිතට නැගෙන වේදනාව මේ වචනවල තියෙනවා. 

මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ
නිල් වලා යහන් ගැබේ කිරි සිනා දිලේ
වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ
එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ

නිවහනේ හැම තැන කිරි සුවඳ මට දැනේ
හැම තැනේ කැකුළු සිනා මල් පිපුණු මෙනේ
හද සෙනේ බිළිඳු තොලක කිරට හැරෙන්නේ
අද දිනේ කිරට හඬන කෙනෙක් නෑ අනේ

තවුතිසා දෙව් විමනේ සැඟවුණිද කියා
රෑ යමේ සිහින දිගේ පාව එමි සොයා
මේ භවේ නොවුනද මතු භවෙක අප කරා
සුදු පුතේ එන්න අතට කිරි සිනා සළා

මේ අවස්ථාවේ නන්දා පතිරණ ගායිකාව සඳහන් කළෙ ඇය ලත් අමිහිරි අත්දැකීමක්. ඇගේ පළමු දරුවා "දර්ශන" බිළිඳු වියේදීම හදිසියේ මියයනවා. ඉන් ඇතිවුණ සන්තාපය පදනම් කරගනිමින් ගීත රචක ගාමිණී විජේතුංගයන් විසින් රචනා කොට දුන් බවයි. පළමු දරුවාගේ වියෝගයෙන් ඇතිවුණ බරපතල සංවේගය තරමක් දුරට අඩුවී තිබෙන්නේ පසුව ඇයට නිවුන් දරුවන් ලැබීම නිසා. ඔහු මේ ගීය නිර්මාණය කරන්නට ආභාෂය ගෙන තිබුණේ පැරණි ජන ගීතයක් බව එම වැඩසටහනය සහභාගී වී සිටි සමන් පනාපිටිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා සඳහන් කළා. 

දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් අතර සිටි ගෝඨයිම්බර සමඟ රිටිගල ජයසේන යුද වැදුණා. මේ අවස්ථාවේදී ගෝඨයිම්බර අහසට පැන එල්ල කළ පා පහරින් රිටිගල ජයසේනගේ හිස ගැළවී විසිවුණු බව ජනකතාවල සඳහන් වනවා. හිස සොයාගන්නට නොහැකි වූ නිසාත්, හිස නොමැතිව මළකඳක් මිහිදන් නොකළ හැකි නිසාත් වලසකුගේ හිසක් රිටිගල ජයසේනගේ කඳට සවිකොට මළගමේ වැඩ කටයුතු කළ බව පැවසෙනවා. මහසොහොන් අවතාරයත් මේ සමඟම උපන් බව සඳහන් වෙනවා. කෙසේ නමුත් මේ අවස්ථාවේදී රිටිගල ජයසේනගේ ප්‍රිය බිරිඳ සිය සැමියා පිළිබඳ ශෝක සිතින් වැළපෙමින් මේ කව කියූ බව ජනකතාවල සඳහන්. 

බස්ම නං අසුර රජුගෙ සොහොනේ ඉපදුණේ
තිස් දහස් පිරිවර හර රජව සිටිමිනේ
ඉක්මණින් ගෝඨයිම්බර සමඟ යුදවුණේ
දිස්වෙමින් ඔළුව නැතුව නිදිද හිමියනේ 

මල් වනේ රෝස කැකුළු ගීතයේ සැඟවී ඇති ජන කවිය මෙයයි. කෙසේ නමුත් ගීත රචකයා කිරිකැටියකුගේ වියෝව හොඳින් දැනෙන අයුරින් මේ ගීතය රචනා කරන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම මෙයට සංගීතය රචනා කළ බන්දුල විජේවීරයන් ද ජන ගී තනුවක්ම මෙයට යොදාගෙන තිබෙනවා.



සෙව්වන්දියකට පෙම් බැන්දා...

සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා
නටු අග කටු මත කටුක බව දැනී
හදවත පාරයි වේදනා// 

නව යෞවන හද පෙම් උයනේ
දහසක් මල් මට හිනැහෙනවා
මටම නොතේරෙන කරුණක් වේ
සෙව්වන්දියටම සිත යනවා

රුව ලස්සන නෙත් දෙකට පෙනේ
සුවඳක් නැහැයට ලංවෙනවා
එනමුදු කටු අග විෂ මතුවේ
සෙව්වන්දිය හිත රිදවනවා

ගායනය - පුන්සිරි සොයිසා 
පදරචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ 
සංගීතය - ආර්.චන්ද්‍රසේකර

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් රචනා කළ, මේ පද රචනාව සිය මෝහනීය හඬින් ගායනා කරන්නේ පුන්සිරි සොයිසා විසින්. සංගීතවත් කරන්නේ ආර්.චන්ද්‍රසේකරයන්. 
සමන් චන්ද්‍රනාත් මේ පද රචනාව කරන්නට පෙළඹෙන්නේ තම පාසැල් මිතුරෙකුගේ සත්‍ය ජීවන අත්දැකීමක් පාදක කරාගෙන. ඇත්තටම ඔහු තම පෙම්වතිය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියත්, පෙම්වතියගෙ යම්‍ යම් හැසිරීම් නිසා ඔහු ගොඩක් වේදනා විඳිනවා. 

මෙම පාසැල් මිතුරා බාලිකා පාසැලක ගෑණු ළමයෙක් එක්ක ආදර සම්බන්ධතාවක් පැවැත්වුවා. මේ සිද්ධිය මා හොඳින් දැනගෙන හිටියා. ඔහු අපේ ගෙදර ඇවිත් මේ සම්බන්ධව බොහෝ දේ කියන්න පුරුදු වී හිටියා. මේ ගෑණු ළමයා නිසා මගේ මිතුරා හුඟක් දුක් වින්දා. එක වෙලාවකට ඇය රණ්ඩු කරනවා. තවත් වෙලාවකට ආදරය කරනවා. ඊළඟට මගේ මිත්‍රයාව ගණන් ගන්නේ නැතිව ඉන්නවා. හරියටම කිව්වොත් ඔහුට මේ ගෑණු ළමයාව තේරුම් ගන්න හුඟක් අමාරු වුණා. 

කොහොම හරි එක දවසක මේ මිතුරා අපේ ගෙදර ආවේ හුඟක් ආවේගශීලිව. එහෙම ආපු ඔහු මගේ කාමරයට ඇවිත් අල්මාරියට පහර දෙමින් වේදනාව පිට කරන්න උත්සාහ ගත්තා. ඔන්න ඔය දවසේ තමයි මේ අදහස මගේ හිතට ඔහු දැම්මේ. හැබැයි සන්සුන් වුනාට පස්සේ. 

කොහොම වුණත් මා මෙයින් කියන්න අදහස් කළේ මගේ මිතුයාගේ හිතේ තෙරපෙන ප්‍රශ්නාවලියයි. කොයිතරම් හොඳ වුණත් සුවඳ වුණත් එහි කටු තිබෙනවා කියන දේ තුළින් මා කියන්නට උත්සාහ කළේ අර තරුණියගේ හැසිරීම ගැනයි. ඒ වගේම මගේ මිතුරාට ඇය කොයිතරම් නරක විදිහේ ප්‍රතිචාර දැක්වුවත් ඇයව අමතක කර දමන්න බැරි පරිසරයක ජීවත් වුණා. මෙන්න මේ දේ මම ගීතය තුළින් කතා කළා. 

සමන් චන්ද්‍රනාත් අතින් ලියවුන මේ ගීතය ඔහු එවකට ඉතා දක්ෂ සංගීතඥයෙකු වූ ආර්. චන්ද්‍රසේකරයන්ට ලබා දුන්නා. ඔහු ඉතා මිහිරි තනුවක් මේ වෙනුවෙන් නිර්මාණය කළාට පසුව තමයි පුන්සිරි සොයිසා එය ගායනා කළේ. පුන්සිරි තමන්ටම ආවේණික ශෛලියකින් මේ ගීතය ගැයීම නිසාත් ප්‍රේක්ෂකයින් ඊට යහපත් ප්‍රතිචාර දැක්වුවා. 

මේ පෙම්වතා පෙම්වතියට මුළු හදින්ම ආදරේ කරනවා. ඒ ආදරේ නිසාම ඔහු ඇයව සෙව්වන්දියකට උපමා කරනවා.ආශා දහසක් රස වින්දා කියන පදපෙළෙන් කෙනෙකුට ශෘංගාරාත්මක හැඟීම් ඉස්මතු වෙන්නත් පුළුවන්. ඒත් හැඟීයන්නේ, ඒ කෝඩුකාර පෙම්වතා තම පෙම්වතිය දැකුමින් ඔහුගෙ සිතේ ඇතිවුණු ප්‍රේමණීය හැඟුමන් මනසින් විඳ දරාගත් අන්දම තමයි මේ වදන් පෙළින් කියැවෙන්නේ. 

ඇයව දැකුමෙන් හදවත කොතෙක් ආස්වාදයෙන් පිරුණත්, ඒ හමුවන බොහෝ අවස්ථාවල වෙන්ව යන්නෙ සිත් රිදවගෙන. ඒ රිදුණු සිත වේදනා දෙනවා. ඒ වේදනාව පිළිබඳව තමයි "නටු අග කටු මත කටුක බව දැනී හදවත පාරයි වේදනා"කියන වදන් පෙළින් කියැවෙන්නේ. 

කොහොමත් යෞවනයේ පසුවන ඔහුට නව යෞවනියන්ගේ නෙතඟ බැලුම්වලින් අඩුවක් නැහැ. ඒත් ඒ එකදු බැල්මකින්වත් ඔහුගෙ සිත අවදි කරන්නට බැහැ. පෙම්වතියගෙ මතකය අමතක කරන්නත් බැහැ. එය පද රචකයා ප්‍රකාශ කරන්නේ "මටම නොතේරෙන කරුණක් වේ. සෙව්වන්දියටම හිත යනවා යනුවෙන්.

හිත පුරාම ඇදෙන්නෙ ඒ රුවේ ලස්සන. නහයට දැනෙන්නෙ ඒ සුසුමේ උණුසුම. ඉතින් කෙළෙසක නම් ඇයව අමතක කරන්නද? හැම සුසුමක් ගානේම ඒ සුවඳ තැවරිලා. ඒත් ඒ මතකයත් එක්කම ඔහුට සෙව්වන්දිය නෙළා ගන්නට බැරි බව සිහිපත් වෙනවා. ඒ නටු අග කටු මත තිබෙන විස මෙන් ඇයගෙ කටුක වදනින් රිදුණු සිත වේදනා දුන් අන්දම සිහිපත් වීමෙන්. 
ප්‍රේමයේ මන්දස්මිතය මත රැඳෙමින් ඒ මතකය තුළින් ජීවිතය සොයන සැබැවින්ම තම පෙම්වතියට සෙනෙහස දක්වන පෙම්වතෙකුගේ හදේ ජනිත වූ හැඟුමන් සමුදාය කියවෙන මේ ගීතය විරහවට ලොබ බඳින කාටත් සිය මතකය විවර කරවන්නට සමත්.



උම්බෑ කිය කියා මරණ බයේ ...

උම්බෑ කිය කියා මරණ බයේ //
කිරි ටික මුලදි බොයි
පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි
මේ එළදෙන අසයි
උම්බෑ කිය කියා මරණ බයේ //

බැරි බර පටවලා - කෙවිටෙන් තල තලා
කුර ගෙවෙනා තුරා - මැරෙනා තෙක් දිරා
රෑ දාවල් උදේ - විඳ විඳ දහ වදේ
නිරයේ දුක දකී - දරු පවුලම රකී
අන්තිමෙ මේ ගොනා -මස් කර විකුණනා
කඩයට පවරනා - මිනිසයි තිරිසනා
කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ

උම්බෑ කිය කියා මරණ බයේ //

දරුවට මව නැති - දෙවරුවෙ කිරි දෙති
ගොමටික පොහොර වෙයි - ගොඩ මඩ සරුකෙරෙයි
මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති
මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති
කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ

උම්බෑ කිය කියා මරණ බයේ //

ගායනය - මිල්ටන් පෙරේරා 
පදරචනය - කරුණාරත්න අබේසේකර 
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල 

හතර මහා නිධානය චිත්‍රපටියේ ගීතයක් ගැයීමට ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාට නියමිතව තිබුණා. ඒ සඳහා පටිගත කිරීමට ගිය මිල්ටන් පෙරේරා මහතා, චිත්‍රපටියේ අධ්‍යක්ෂ එල්. එම්. පෙරේරා මහතාට සහ චිත්‍රපටියේ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ට මෙසේ පවසා ඇත. "එල්. එම්. උඹත් හරක් මස් කන්නේ නැහැ. මමත් හරක් මස් කන්නේ නැහැ. කරු අයියාත් හරක් මස් කන්නේ නැහැනේ. අපි මේ ගැන සින්දුවක් මේ චිත්‍රපටියට බලෙන් හරි වගේ දාමු".

ඒ අදහස අනුමත කල සියලූ දෙනා මිල්ටන් පෙරේරා මහතාට නියමිත ව තිබූ ගීතය වෙනත් ගායන ශිල්පියෙකුට ලබා දීමට තීරණය කලා. මේ කතා බහ යන අතරවාරයේ ඒ අසල දෙමළ සයිවර් කඩයක ගුවන් විදුලියෙන්, දෙමළ විකට චිත්‍රපටියක වේග රිද්ම ගීතයක් ප්‍රචාරය වී තිබෙනවා. ඒ අනුව මේ ගීතයේ පද රචනාව කරුණාරත්න අබේසේකරයන් අතින් ලියවී තිබෙනවා. චිත්‍රපටියේ මේ ගීතය නැරඹූ බොහෝ දෙනා ඉන්පසු ගවමස් කෑම අතහැරිය බවත් දැනගන්නට ලැබී තිබෙනවා.

අනික මේ ගීතයේ එක්තරා විශේෂ තැනකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. "ගොමටික පොහොර වෙයි - ගොඩ මඩ සරුකෙරෙයි" කියන පේලි දෙකට පසු රබන් වාදනය කරන දර්ශනයක් ඔබට දකින්නට ලැබෙනවා. එය හරක් හම රබානට යොදාගැනීම පිළිබඳව අපට දෙන අපූරු සංකේතාත්මක දර්ශනයක්. සිංහල අවුරුදු කාලෙට රබන් ගැහුවත් ඒත් පහරදෙන්නේ, හරක් හමට බව අපිට ගීතයෙන් කියන්නේ, "මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති"යන්න දෙවරක්ම ගැයිමෙන්. මෙම රබන් වාදනය කරන දර්ශනයේ පසුබිම් හඬ වාදනය කර ඇත්තේ, අපේ රටේ ප්‍රවීණ ගායකයෙක් සහ මුල් කාලයේ තබ්ලා වාදකයෙක් වූ ටී. ෂෙල්ටන් පෙරේරා මහතායි. එතුමා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ විශාරද උපාධිය ලබා ලංකාවට පැමිණි පසු චිත්‍රපටියක පසුබිම් වාදනයට එක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. එතුමා එම රබන් කොටස වාදනය කර ඇත්තේ තබ්ලාවේ බායාවෙන් බව තම පියා තමාට පවසා ඇති බව මිල්ටන් පෙරේරාගේ පුත් ප්‍රියංකර පෙරේරා මහතා වරක් රූපවාහිනී වැඩසටහනක දී ප්‍රකාශ කලා.

මේ ගීතයේ රූප රාමුවලට පෙනී සිටින්නේ, සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ආදරණීය පියානන් වන අප අතරින් වෙන්වූ ප්‍රවීණ නළු ස්ටැන්ලි පෙරේරා මහතායි. එතුමාගේ ආදරණීය බිරිඳ, එනම් සබීතා පෙරේරා මහත්මියගේ මව වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය ද මේ චිත්‍රපටියේ චරිතයක් නිරූපණය කලා.



කඳුළු කතාවේ නිමක් දුටුව දා...

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා 
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් මැකී 
දෙගුරුන් මිතුරන්
සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනිවූයේ

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

සුසුමක පාකර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා 
ගෙවූ අතීතෙන්
අප සමුගන්නෙමු
අළුත් ලොවක රන් කිරුළු දරා

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - බුද්ධදාස ගලප්පත්ති
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

බොහෝ පෙම් කතාවලට කඳුළු උරුමයි. කොයි තරම් හොඳින් ඇසුරු කළත් ඇතැම් වෙලාවට අපට අනිත් පාර්ශවය  කරන කියන දේ නිසා කඳුළු සලන්න වෙනවා. ඒක අඩු වැඩි වෙන්නේ ඔවුනොවුන් තුල තිබෙන අන්‍යොන්‍ය අවබෝධයක් එක්කයි. වඩා හොඳ අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ඇසුරු කරන පෙම්වතුන් තුල විතරයි කඳුළු දකින්න ලැබෙන්නේ නැත්තේ. ඒත් එහෙම වෙලාවට ඔවුන් අඬන්නේ බාහිරින් එන ප්‍රශ්න නිසා. 

විශේෂයෙන් හොඳින් ගැලපෙන වඩා හොඳින් ආදරය කරන දෙදෙනෙකුට ඔවුනොවුන්ගේ ගෙවල්වල වැඩිහිටියන්ගෙන් සීමා බන්ධන ඇතිවෙන්න පටන් ගත්තොත් කොහොම වේවිද?. එතකොට ඔවුන්ගේ මුළු ආදර කතාවම කඳුළු කතාවක් වෙනවා.

ප්‍රවීණ ගීත රචකයකු වන බුද්ධදාස ගලප්පත්ති මහතාටත් එවැනි ගැටළුවක් තිබුණා මීට දශක තුනකට පමණ ඉහතදී. "ඒ කාලේ අපේ විවාහයටත් බාධා තිබුණා. නමුත් අපි දෙන්නා හිතාගත්තා මේ සියලු බාධක ජයගෙන විසඳාගෙන ඉදිරියට යනවා කියලා. අවසානයේ දී අපේ දෙමාපියන් අපට විවාහ වෙන්න අවසර දුන්නා. 

කොහොම හරි ඔය වකවානුවේම දවසක මහාචාර්ය සනත් නන්දසිරි මහතා වෙනුවෙන් මට අළුත් ගීතයක් ලියන්න අවස්ථාව ලැබුණා. මුල් කාලේ මම හුඟක් ගීත ලිව්වේ ඔහු වෙනුවෙන්. අන්න ඒ වෙලාවේ තමයි මම "කඳුළු කතාවේ" කියන ගීතය ඔහු වෙනුවෙන් ලිව්වේ.

ඇත්තටම මේ ගීතය මා අතින් ලියැවුනේ කොළඹින් පිට ගිහින් යළි එනවිට. කාලයක් පුරාවට තිබුණු සියලු බාධක ඉවත් වෙලා අපට විවාහ වෙන්න ලැබුණු සතුට මම මීට එකතු කළා. 

ගීතය සනත් නන්දසිරි මහතට දුන් පසු ඔහු දවසක් මට කිව්වා අමරදේව මහත්තයා අලුත් ගීත තැටියක් කරනවා, ඔහුට ගීත දෙකක් හදන්න ඇරයුම් ලැබී තියෙනවා. මේ ගීතයත් ඒ වෙනුවෙන් යොදා ගන්නද කියලා ?. කිසිදු ලෝබකමක් නැතුව ඔහු ඒ යෝජනාව ගෙන ආ වෙලාවේ මම ඊට ඉහලින්ම කැමැත්ත දුන්නා. 

ඇත්තටම අමරදේව මහතා හා මා අතර සබඳතාවය එදා ඇතිකළේ සනත් නන්දසිරි මහතායි. ඔහු මගේ කඳුළු කතාවේ ගීතයත්, මහාචාර්ය සුනිල් ආරියරත්න ලියු "මේ ගුරු පාරේ" ගීතයටත් ඉතා මිහිරි තනු දෙකක් හදලා අමරදේවයන්ට ලබා දුන්නා. 

බුද්ධදාසයන්ගේ බිරිඳ මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මියගියා. ඒ වනතුරු ඔවුන් ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කළා. ඒ වගේම ඔහුගේ බිරිඳ ගීතා කාන්තිත් ඔවුන් වෙනුවෙන් නිර්මාණය වුණු මේ ගීතයට බෙහෙවින් ඇළුම් කළා. "ඒක අපේ ගීතය. ඒ නිසා තමයි ඇයත් විශේෂ උනන්දුවක් ඒ ගීතයට දැක්වූවේ". බුද්ධදාස ගලප්පත්ති තමන්ගෙ පෞද්ගලික අත්දැකීමක් මුල්කරගෙන ලියූ ගීතය පසුව බොහෝ ආදරවන්තයන්ගේ පැසසුමට හා ඇගයීමට ලක්වුණා.  

මේ ලෝකේ හැමදෙනාටම තියෙන්නේ එකම ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න නැගෙන වෙලාව හා ස්වභාවය අනුව විතරයි වෙනස් වෙන්නේ. අන්න ඒ නිසා තමයි කෙනෙකුගේ අත්දැකීමකට අනුව ලියවෙන ගීතයක් වුණත් තවත් බොහෝ දෙනෙකුගේ හදවත් තුළ ලැඟුම් ගන්නේ, ඔවුන් ඇළුම් කරන්නේ.



අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්...

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ඔබ ළඟ ඉන්නට
ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට
නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිත සිත ඔබ ගැන
දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි
ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිතු පැතු සැම දේ
නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු
යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - එච්.එස්. පෙරේරා
තනුව හා සංගීතය - අ'නස්ට් සොයිසා

හිත කියන්නේ මහ පුදුමාකාර දෙයක්. විටෙක ප්‍රතික්ෂේප කරන දේ තවත් විටෙක වුවමනා වෙනවා. වෙලාවකට පුංචි වැරැද්දක් කරන්න වුණත් බයයි. ඒත් සමහර වෙලාවට මහ ලොකු වැරදි පුංචි දේවල් විදිහට හිතලා කරනවා. නොගැලපෙන දේවල් නොගැලපෙන සබඳතා පවා ඇති කර ගන්නවා. තවත් විටෙක එවැනි සබඳතා ඇති කරගන්න හැකි විදිහේ පරිසරයක් ගොඩනැඟුනත් ආයාසයෙන් ඒවා යටපත් කරගන්න උත්සාහ ගන්නවා. ඒ කැමැත්ත නිසා නෙමෙයි සමාජය තුලින් අපට නැගෙන විරෝධතා නිසා. එසේත් නැතිනම් මැසිවිලි නිසා.

මේ ගීතයත් එවැනි පරිසරයකට අයත් ජනප්‍රිය ගීතයක්. එය රචනා කළේ ජනප්‍රිය ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂ එස්.එච්. පෙරේරා මහතා විසින්. ඔහු මේ ගීතයට පසුබිම් වූ කරුණු පැහැදිලි කරමින් "මම ඉස්සර වැඩ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. ඒ කාලේ අපිත් එක්ක වැඩ කළ දෙන්නෙක් අතර අසම්මත ප්‍රේම සබඳතාවක පැටලී සිටියා. මේ දෙන්නම විවාහකයි. නමුත් ඔවුන් ඒක ගැන හිතුවේ නෑ. වැඩිපුරම කාන්තාව මේ ප්‍රේමය ගැන හිතනවා අපි දැක්කා. ඇය අනිත් පාර්ශවයට හුඟක් ආදරය කරන බව අපට දැණුනා.

කොහොම හරි කාලෙකට පසුව මට හදිසියේම ගීතයක් ලියන්න ඉල්ලීමක් ඉදිරිපත් වුණා. අන්න ඒ වෙලාවේ මේ සිද්ධිය වගේම තවත් සිදුවිමි පෙළක් මගේ හිතට ගලාගෙන ආවා. එවැනි පරිසරයක් තුළ තමයි මෙවැනි ගීතයක් ලියැවුනේ. එස්.එච්. පෙරේරා මහතා කැසට් නිෂ්පාදනයටත් සම්බන්ධයි. 

"මම ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීත ඇතුලත් කැසට් පටයක් නිෂ්පාදනය කළා. මේ කැසට් පටයට ගීත දෙකක් අඩු වුණා. අන්තිමට මම ඒ වෙලාවේ චන්ද්‍රලේඛා පෙරේරා ශිල්පිනිය ගයන "සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත්" ගීතයේ තනුව හිතේ තියාගෙන මේ වචන ලිව්වා. එහෙම ලිව්ව වචන ටික සංගීත අධ්‍යක්ෂ අර්නස්ට් සොයිසාට ලබා දුන්නා. ඔහු ඉතා මිහිරි තනුවක් හැදුවා. ඇත්තටම මේ තනුවත් ඉන්ද්‍රානීගේ හැඟුම්බර ගායනයත් මේ ගීතය ජනප්‍රිය වෙන්න බලපෑවා. සමහරු ඇහුවා මේක මගේ අත්දැකීමක්ද කියලා. 

සාමාන්‍යයෙන් බොහෝ විට නොගැලපෙන සබඳතාවලට මූලික අඩිතාලම දමන්නේ පිරිමි පාර්ශවය. ඒ වගේ වෙලාවට කාන්තාවෝ නොදැනුවත්වම ඊට සම්මාදම් වෙනවා. නමුත් කිසියම් හෝ මොහොතක ඔවුනොවුන්ට සමුගන්න සිදුවෙනවා. ඒක වේදනාකාරී වුනත් දෙපැත්තටම යහපතක් වන කාරණයක් වෙනවා. එසේ නොවුනොත් සිදුවන්නේ කිසිවෙකු අපේක්ෂා නොකරන විදිහේ අවාසනාවන්ත සිදුවීම් ගොන්නක්.


රෑ සිහිනේ...

රෑ සිහිනේ...
ඔබ ළග මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ලග සිත ලතවෙනවා

මේ බැදුනු සෙනේ
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ
කෙදිනද අප හමුවන්නේ

රෑ සිහිනේ...

ඈ සනසමින්
ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ
සෙනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද
මා ගැන නොසිතන්නේ

රෑ සිහිනේ...

මේ ගීතය නාමල් උඩුගම මහතාගේ ඉතා ප්‍රසිද්ධ ගීතයක්. ඒ කාලයේ ඔහු ගීත ගායනා නොකලත් ගායකයකු වීමට සිහින මවමින් සිට ඇත. ඔහු මහනුවර ප්‍රදශයේ සිට කොළඹ අවුත් නතර වෙලා ඉඳල තියෙන්නේ ඔහුගේ කඳානේ පිහිටි නැන්දලගේ නිවසේ. ඒ කාලයේ සිටි ඔහුගේ මිතුරෙකුගේ ප්‍රේම පලහිලව්වක් ගැන ගීතයේ සඳහන්.

ඒ කාලයේ මිතුරාගේ සිත ලොකු පවුලක ලස්සන ගැහැණු ළමයකු කෙරේ බැඳී තිබුණ. නමුත් ඒ ගැහැණු ළමය ඒක දැනගෙන හිටියේ නැහැ. ඔහු සැම විටම ඇයගේ සිත දින ගැනීමට උත්සහ කළා. කොහොම හරි මේ ගෑණු ළමයා වාහනයෙන් ඇවිත් ගෙදර ළඟ බහින වෙලාවට මගේ මිතුරා බලා ඉන්න පුරුදු වුණා. ඒ විතරක් නෙවේ ගෑණු ළමයා පෙනෙන්නට ඉන්න වෙලාවට එක එක විදිහට අවධානය දිනාගන්න දේවල් කරන්න පුරුදු වී තිබුණා.  නමුත් ඇය ඔහුව ගණන් ගත්තේ නැහැ. කොච්චර ආදරය කලත් එය යථාර්තයක් බවට පත් කරගත නොහැකි වීම නිසා නාමල්ගේ මිතුරා ඉතා අසරණභාවයට පත්ව සිටියා. 

මේ සිදුවීම මුල් කරගෙන නාමල් ඔහුගේ දෙවන ගීත රචනාව ලිව්වා. බොහෝ තරුණයෝ තරුණියන්ට වඩා මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මේ ගීතය ලියද්දී මමත් යොවුන් විය තුළ ජීවත් වූ නිසා ඒ හැඟීම බොහොම අපූරුවට වටහා ගන්න පුළුවන් වුණා.


විදුලි දුම්රියේ ...

විදුලි දුම්රියේ චංචල නාදය
සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළඳේ

ආදර සුවඳින් දසතම මතුවෙන
වසන්ත සුළඟේ හැපී
සාගර ජලමත පාවෙන උයනේ
මීවිත පුරමු අපි
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ
පුර සඳ මඩලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ
නරඹමු නිසංසලේ

විදුලි දුම්රියේ චංචල නාදය

පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
ආදර සඳුන් වනේ
නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
යෞවන අවන්හලේ
මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ
ජය පැන් තොල ගා අමරණීය වන
කුමරුන් මමය ඔබේ
කුමරුන් මමය ඔබේ

විදුලි දුම්රියේ චංචල නාදය

ගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොඩ්‍රිගෝ
සංගීතය - මොහොමඩ් සාලි
ගී පද - දයානන්ද කුමාරසිරි

ජාත්‍යන්තරව ප්‍රචලිත වූ අලුත් මාධ්‍යය අර්ථ ගැන්වීම සඳහා රූපවාහිනිය යනුවෙන් අලුත් වදනක් අපගේ ශබ්දකෝෂයට එසේ එකතු වෙද්දී, එම වචනය අරඹයා අප රටේ ජනතාවගේ කතාබහට ලක් වූ ගීතයක් ද 1972 වර්ෂයේදී සිංහල ගීත සාහිත්‍යයට එකතු වේ. දයානන්ද කුමාරසිරි යන ගීත රචකයා විසින් ලියන ලද, මෙහොමඩ් සාලි මාස්ටර් විසින් සංගීතය අධ්‍යක්ෂණය කළ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රූපා ඉන්දුමතී සහ ලක්ෂ්මන් රුද්‍රිගු යන ජනප්‍රිය ගායක යුවල විසිනි.

ගැ: විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ
කඳුළු පිරි නෛත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ

පි: සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුණෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබ ද ළඳේ

දයානන්ද කුමාරසිරි වර්තමාන ගීතයේ දිශානතිය පිළිබඳව කලකිරී මේ වන විට ගීත රචනාකරණයෙන් බැහැර වී ඇත. දැනට ඔහු මහනුවර පිහිටා ඇති හෝටලයක කළමනාකරුවෙකු වශයෙන් සේවය කරයි. ඔහුගේ ගීත රචනා අතුරෙන් වඩාත් ජනප්‍රිය වූ තවත් ගීත දෙකක් වන්නේ රූපා ඉන්දුමතී ගායනා කරන එක කුඩේ යටින් සරසවි පාරේ ගීතය සහ සංගීත් වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන සඳ මුවා වෙලා යන ගීතය වේ. 

ඒක පුදුම කතාවක්. අපේ ගෙදර මගේ දරුවන්ට ටියුෂන් කරන්න ගුරුවරයෙක් ආවා. ඔහු දයානන්ද කුමාරසිරි. කවදාවත් ඔහු ගීත ලියලා නැහැ. නමුත් මගෙන් ඇහුවා ලියපු සින්දු ටිකක් ලියලා දෙන්නද කියා. මම ඉතින් හා කියලා ගෙනත් දෙන්න කියලා කිව්වා. මම එයින් සින්දු දෙකයි තෝරා ගත්තේ. ‘එක කුඩය යටින් සරසවි පාරේ’ සහ ‘විදුලි දුම්රිය’ ගීත දෙක තමයි මම තෝරා ගත්තේ. ඔය විදියට තමයි විදුලි දුම්රිය මට ලැබුණේ.

1966 වසරේදී තුරඟ තරඟ පිටියේ පැවති ප්‍රදර්ශනයකදී රූපවාහිනීය මුල්වරට ප්‍රදර්ශනය කළා. ඉන්පසුව ඇම්.ඩී. ගුණසේන සමාගම පැවැත්වු ප්‍රදර්ශනයක් වෙලාවෙත් රූපවාහිනී යන්ත්‍රයක් ප්‍රදර්ශනය කළා. එවැනි තැන්වල ඇරුණු කොට ලංකාවේ ගෙවල්වල රූපවාහිනී තිබුණේ නෑ. එවැනි යුගයක තමයි මේ ගීතය ලියැවුනේ. ඒ හැරුණු කොට පාවෙන දූපත්, පියාඹන අවන්හල් හා විදුලි දුම්රියට අදාළ කතා මම කියවලා තිබුණා. මෙන්න මේ දේවල් තමයි මම මේ ගීතයට එකතු කර ගත්තේ. දයානන්ද කුමාරසිරි පැවසුවා.

මේ ගිතය මගේ අත්දැකීමක් නෙවෙයි. නමුත් මම දුටු සිදුවීමක් මූලික කරගෙන තමයි මේ ගීතය ලිව්වේ.  දයානන්ද කුමාරසිරි මහතා ඒ කාලේ රාජකාරි කළේ කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශයේ. මම කඳානේ සිට රැකියාවට යන්නේ දුම්රියේ. ඉතිං දවසක් මම කොටුව දුම්රිය පොළට ඇවිත් යාළුවෙක් එනතුරු රැඳී සිටියා. මම හිටියේ 1 හා 2 පදික වේදිකා යාවෙන පාලම උඩ. මේ වෙලාවේ මම දැක්කා තරුණ ගෑණු ළමයෙක් ටිකක් ලැජ්ජාවෙන් හා බියෙන්, නොසන්සුන්ගතියෙන් යුතුව පහල තිබෙන වේදිකාව දිහා බලා ඉන්නවා. ටික වෙලාවකින් වේදිකාවට දුම්රියක් ආවා. මේ දුම්රියේ ආපු තරුණයෙක් ඊළඟට බොහොම කඩිමුඩියේ ඇය ළඟට දුවගෙන ආවා. තරුණිය එකවරම අර තරුණයාගෙන් ඇහුවා මෙච්චර වෙලා මොනවාද කළේ, මම දැන් කොච්චර වෙලාවක් බලා ඉන්නවද කියලා. ඔය අතරෙදි තරුණිය ලේන්සුවෙන් කදුළු පිසදාන ආකාරයත් මා දුටුවා. 

තරුණයා මේ මොහොතේ ඇහුවා මොනවා කරන්නද? ඉලෙක්ට්‍රික් දුම්රියක් තිබුණා නම් මට ඉක්මනින් එන්න තිබුණා. මේක ආවේ හිමින් කියලා කිව්වා. 

ඔන්න ඔය සිදුවීම තමයි ගීතය ලියන්න මුල් පසුබිම වුනේ.


My Dreams are Roses for my love ...

My Dreams are Roses for my love
I drop them down for her feet
walk on them softly for my love
your feet will make them more sweet

Love is love only
When love is in love with love
I am so lonely
Come my love and love my love

Don't wake them don't break them my love
Walk on them softly and come
They are my dreams of love
I am lonesome come my lovesome

Love is love only
When love is in love with love
I am so lonely
Come my love and love my love

My Dreams are Roses for my love
I drop them down for her feet
walk on them softly for my love
your feet will make them more sweet

මේ ගීතය අතිවිශේෂ ගීතයක්. සුනිල් සාන්තයන් තමන්ගේ නොවන තනුවකට ගීත ගායනා කල එකම අවස්ථාව මෙයයි. එසේම වසර 17ක දිගු නිහැඬියාවකට 1969 දී පසු එතුමා ගැයූ ප්‍රථම ගීතයත් මෙයයි. ඒ නිහැඬියාවට හේතුව 1952 දී භාරතීය මහාචාර්ය රතන් ජංකර් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිටීම ප්‍රතික්ෂේප කළ නිසා සුනිල් ශාන්තයන්ට ගුවන් විදුලියේ රැකියාව අහිමිවීමයි. එතැන් පටන් ඔහු ජීවිකාව සඳහා වඩු වැඩ, මේසන් වැඩ, රථවාහන අළුත්වැඩියාව, ඡායාරූප ශිල්පය, ගුවන්විදුලි යන්ත්‍ර අළුත්වැඩියාව, සිල්ලර වෙළඳසලක් පවත්වාගෙනයාම වැනි නොයෙක් රැකියාවල නිරත වූවා.

මේ ගීතය එතුමා ගායනා කරන්නට ඉදිරිපත්වුණේ විශේෂයෙන් ම මර්සලීන් ජයකොඩි පියතුමා නිසායි. රේඛාව, සංදේශය වැනි විත්‍රපටිවල එතුමා රචනා කල ගීත ගැයීම නිසාම සුනිල් සාන්තයන්ව මේ ගීතය ගැයීමට සහභාගීකරවා ගැනීමට මැදිහත් වීමට එතුමාට හැකි වුණා. සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන්නේ "My dreams are roses for my love" ගීතයයි (රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ). මෙහි පද රචනය මර්සලින් ජයකොඩි පියතුමා විසින් කරනු ලැබූ අතර සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි. මෙම ගීතයේ තවත් විශේෂත්වයක් තිබේ. එනම් මෙම ගීතය ගායනා කළ සුනිල් ශාන්තයන් වෙනත් කෙනෙකු සංගීතවත් කළ ගීයක් ගායනා කළ ප්‍රථම හා එකම අවස්ථාව වන්නේ ද මෙය යි. මෙම ගීතය ගායනා කිරීමට සුනිල් ශාන්ත ප්‍රතික්ෂේප කළහොත් ඒ සඳහා අයිවෝ ඩෙනිස් යොදා ගැනීමට ෂෙල්ටන් සිතා සිටියේය.

         

      



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...