Monday, July 6, 2020

නිසංසලේ මා තනියෙන් ...

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

නිසල සිතේ ඒ සසල සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

ගායනය - අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය - කුසුම් පීරිස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

කුසුම් පීරිස් මිතුරු මිතුරියන්ට හිත හොඳ මිතුරියක වූවාය. නිතරම සිනහවකින් මුව සරසා ගත් ඒ මුහුණ මිතුරු සඟයන්ට නිහමානීකම මෙන්ම සහෝදරත්වය දිගුකළාය. ඇය දක්ෂ නිවේදිකාවක් පමණක් නොව ඉතා දක්ෂ ගීත රචිකාවියකි. ඇයගේ හැංඟී තිබූ ගීත රචනා හැකියාව මුලින්ම හඳුනාගනු ලැබුවේ නිරංජලා සරෝජණී විසිනි. 

ඒ වනවිටත් කුසුම් පීරිස් පාසලේදී නිසදැස් ලියා තිබුණ ද කිසිමදාක ගීතයක් ලියා තිබුණේ නැත. වැඩමුරය අනුව ගුවන්විදුලියේ වැඩ බාරගන්නට තිබුණ හෙයින් දවසක් කුසුම් වෙලාවටත් පෙරම ගුවන්විදුලි සංස්ථාවට පැමිණ සිටියාය. වැහි බර සැඳෑවක් වූ එදින වෙලාව සවස හයට පමණ වන්නට ඇත. හුදෙකලාවේ ගුවන්විදුලියේ විවේකාගාරයට වී සිටි කුසුම්ට ගුවන්විදුලියේ මැද මිදුල අපූරුවට පෙනුණාය. මන්දාරම් වැහි අන්ධකාරයත් සමඟ හුදෙකලා වූ කුසුම්ට අපූරු නිසදැසක් හිතට ආවාය. ඇය කුඩා කොළ කැබැල්ලක එය අකුරු කළාය. ඒ මොහොතේම නිරංජලා සරෝජණී විවේකාගාරයට පැමිණ කුසුම් අකුරු කළ කුඩා කොළ කැබැල්ලට එබිකම් කළාය. වැසි දවසක අහම්බෙන් අකුරු කළ පුංචි කොළ කැබැල්ල පසු කාලයකදී දක්ෂ ගීත රචිකාවියක කරාවීයැයි කිසිමදාක කුසුම් එදා නොසිතන්නට ඇති. නමුත් නිරංජලා සරෝජණීගේ පෙරැත්තය මත එය ගීතයක් වී අබේවර්ධන බාලසූරිය හා නිරංජලා එක්ව ගැයීමෙන් ඇය ගීත රචිකාවියක් වූවාය.


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...