Monday, July 6, 2020

ලොව නිසසල වී නවතින මොහොතේ...

ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී...

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී...

ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

සරල ගී පරීක්‍ෂණයට සහභාගි වෙන දවස්වල ඉඳලම මම පේ‍්‍රමකීර්ති ද අල්විස්ට කියලා තිබුණා මට ගීතයක් ලියලා ඕනෙ කියලා...

ඒත් සරල ගී වැඩසටහන ලැබෙනකම්ම පේ‍්‍රමකීර්ති අයියා මට ගීතයක් ලියලා දුන්නෙ නෑ.

මම දැන් ඉන්නෙ හරිම අවුලක. මම දයා අක්කටත් කිව්වා හරි වැඬේනෙ වුණේ.. පේ‍්‍රමකීර්ති අයියා මට සිංදුවක් ලියලා දුන්නෙ නැහැනෙ කියලා. ඔන්න එදා හවස පේ‍්‍රමකීර්ති අයියා දුවගෙන ආවා. ඇවිත්,

‘‘නංගී... හෙට උදේ හත වෙනකොට ඔයා වික්ටර්ගෙ ගෙදරට එන්න..’’ කියල කිව්වා.

‘‘හෙට උදේ?’’

මම ඇහුවේ ඇස් දෙක නළලට අරන්..

එතකොටත් මගෙ පපුව ගැහි ගැහි තිබුණේ.

මගෙ පළවෙනි සරල ගී වැඩසටහන නිසා මේකෙ ගීත ගයන එක මට හුඟාක් ලොකු වැඩක්.

‘‘හෙට උදේනෙ මට සරල ගී වැඩසටහන පටිගත කරන්න තියෙන්නෙත්.’’

මම කිව්වෙ චෝදනාවක හඬින්

‘‘හරි ඉතින් රෙකෝඩින් එක තියෙන්නෙ කීයටද?’’

පේ‍්‍රමකීර්ති අයියා බොහොම සැහැල්ලූවෙන් ඇහුවා.

‘‘අට හමාරට’‘

‘‘ඒකනෙ ඔයා හත වෙද්දී වික්ටර්ගෙ ගෙදරට එන්න. ඔයා එනකොට වික්ටර් සිංදුවක් හදලා තියයි. ඇවිත් ටිකක් පුරුදු වෙන්න පැයක්ම තියෙනවා...’’

හිනාවෙලා එහෙම කියපු පේ‍්‍රමකීර්ති අයිය යන්න ගියා.

ඒ වෙනකොට අනිත් සිංදු ටික මම පුරුදුවෙලත් ඉවරයි.

පේ‍්‍රමකීර්ති අයියා කොහොම කිව්වත් මං හිටියෙ පුදුම විදිහට බයවෙලා. සිංදුවක් කියනව කියන්නෙ ලේසි පාසු වැඩක්ද?

කොහොම හරි පහුවෙනිදා උදේ හය හමාර වෙනකොට මම වික්ටර් අයියගෙ ගෙදරට ගියා. ඒ කාලෙ වික්ටර් අයිය හිටියෙ පාගොඩ පාරෙ ගෙදරක.

පේ‍්‍රමකීර්තිගෙ ගෙවල් තිබුණෙත් ඒ කිට්ටුව. ඉතින් මං වික්ටර් අයියගෙ ගෙදර යනකොට සංගීත භාණ්ඩවල සද්ද වගයක් එහෙම ඇහුණා.

‘‘එන්න.. එන්න නංගී....’’

පේ‍්‍රමකීර්ති අයියයි වික්ටර් අයියායි දෙන්නම කිව්වෙ එකට..

‘‘අපි ඔයාගෙ සිංදුව හදලා ඉවරයි. දෙපාරක් කියන කොට ඔයාට මේ සිංදුව පුරුදු වෙයි නංගි කියලා පේ‍්‍රමකීර්ති අයියා මට එයා ලියපු සිංදුව දුන්නා. මම ඒ වචන ටික කියෙව්වෙ පසුව ගැහි ගැහි...

ලොව නිසසල වී නවතින මොහොතේ

යටිහිත් මතුකොට සිනාසලා

ලොව දොඩමළු වී නෙත් මානන කල

අපි දෙදෙනා ඉමු තරග වෙලා..

පුදුම ලස්සන වචන ටිකක්.

ඒ වෙද්දී මම හිටියෙ තාරුණ්‍යයෙ එළිපත්ත උඩ... ඉතින් මේ ආදරණීය වචන ටික මගෙ සිතට පුදුම විදිහට කිට්ටු වුණේ. ඔය කියන හැත්තෑව දශකයෙදීත් යොවුන් ආදරය රහසක් විදිහට තමයි තිබුණෙ. කරුණාසේන ජයලත් ගොළු හදවතේ ලියලා තිබුණු ආදරයම තමා හැත්තෑවේදීත් තිබුණෙ.

ආදරය කියන්නේ බැල්මකට, පුංචි හිනාවකට, ලියුමකට සීමා වුණු බැඳීමක්...

චුට්ටකින් වික්ටර් අයියා වාදනය පටන් ගත්තා. මට තිබුණෙ සිංදුව කියලා ටිකක් පුරුදු වෙන්න... පළවෙනි පාර චුට්ටක් වැරදුනා දෙවෙනි පාරත් ටිකක් වැරදුණ. ඒත් තුන්වෙනි පාර හරියටම සිංදුව කියාගන්න මට පුළුවන් වුණා. තව දෙපාරක් පුරුදු වෙලා මම කෙලින්ම ගියේ ගුවන් විදුලියට. වික්ටර් අයියයි පේ‍්‍රමකීර්ති අයියයි දෙන්නත් මගෙත් එක්කම ගුවන් විදුලියට ආවා...

එදා සරල ගී වැඩසටහනේ කියපු ගීත අතරින් වැඩියෙන්ම ජනප‍්‍රිය වුණේ මේ ලොව නිසසල වී ගීතය. ගීතය ලොව නිසසල වී වුණාට මොකද මේ ගීතයෙන් ලොව සසල වුනා. නිරංජලා සරෝ්ජනී ගායිකාවක් විදිහට අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත්වුණා.

අදටත් මං ගයපු ගීත අතුරින් වැඩියෙන්ම ජනප‍්‍රිය ගීත ගොන්නේ මේ ගීතයත්, අකලට වට මහ වරුසාව ගීතයත් තියෙනවා.


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...