Monday, July 6, 2020

කලේ පැන් ඇත නැවුම් රහ නැත ...

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටි‍ය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..

සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...

කලේ පැන් ඇත නැවුම් රහ නැත...

පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්...///

ගායනය- සුනිල් එදිරිසිංහ
පදරචනය- කේ.ඩී.කේ. ධර්මවර්ධන 
සංගීතය - රෝහණ වීරසිංහ 

හිමිදිරි පාන්දර ඔරලෝසුව මොර දෙන්නට විය. වෙනදා මා කූද්දන්නේ මගේ ආදරණීය බිරින්දෑය. අද මම නිදි යහනේන් අවදි කරන්නට ඇය නොමැත. වැතිරගත් වනම සිටි මා ඔරලෝසුව දෙස කෝපයෙන් බලා
"අනේ අනේ උඹත් අද මට ඔච්චම් කරනවා නේද්" දැයි කියමින් එය පසෙකට විසි කරන්නේය. වෙනදා පාන්දර මා අවධිවන්නේ ඇයෙගේ ආදර වදන් වලින්ය.

"ආ... නැගිටින්න... දැන් හොඳටම එළිය වැටිලා... හම්... හම්... හනේ හනේ... තාම පොරවාගෙන නේද?..."

තවත් පොඩි වෙලාවක් කම්මැලිකමට එහාට මෙහාට පෙරලෙන මා ඇයවද අතින් අල්ලා නිදියහනට ඇදගන්නේ මගේ හිතේ පාන්දරම අවධිවන ආදර හැඟීමටය. එය නොවලක්වන ඇයද මොහොතකට මා සමග නිදියහනට ගොඩවන මොහොතින් බොරු තරහක් මවාගෙන මෙසේ කියන්නීය.

"මෙන්න වැඩක්... අද වැඩට යන්නේ නැද්ද? හපෝ තියෙන කම්මැළිකමක්... මං යනවා කුස්සියට"

මෙසේ කියමින් ඇය කුස්සියට වන්නේ මා වෙනුවෙන්ම සාදන උදෑසන කිරි කෝප්පය පිළියෙල කිරීමටය. මෙවැනි නොයෙකුත් චාටුබස්ද, ආදරබස්ද මා නිදියහනෙන් නැගිට්ටුවීමට තරම් වන්නේය. හනික නැගිටින මා මීළඟට සොයන්නේ ඇගේ ආදරය පිරුණු කිරි කෝප්පයයි. එයට ලොල් බැඳි මා හනිකට නිදියහනෙන් පැන කුස්සියට වැද ඉඟිමරමින් එහි රස බලන්නේ ඉමහත් ආදරයෙනි. මෙවන් පිරුණු ඇරඹුමක් මා හට ලබා දිය හැක්කේ මගේ බිඳෑට පමණමය.

නමුත් අද ඒ කිසිවක් නැත. මා තනිවමය.

හිරු උදාවට දොස් පවරමින් අදිමදි කරමින් මා නිදියහනෙන් නැගිට හිමිහිට කුස්සිය දෙසට ඇදෙන්නේ කිරි කෝප්පයක් පිළියෙල කිරීමට සිතාගෙනය. පළමුව වතුර උගුරක රහ බැලිය යුතුයැයි සිතා කලයෙන් වතුර කෝප්පයක් නවා බීමට කටට ගත්තද එහි රසය නැති වී ගොසින්ය. වෙනදා මේ වතුර කෝප්පය දෙන්නේ මගේ බිරිඳය. අද මොනවා වෙලාද මන්දාය...

වතුරේ නැවුම් රසය අඩු වෙලාය. බීමට තරම් නොවේය.

කුස්සියේ තියෙන දෙයක් උයාගෙන බඩ පුරවාගෙන රැකියාවට යා යුතුව ඇත්තේය. එහෙයින් හාල් හුන්ඩුවක් ගෙන සෝදා ගරා ලිපේ තබන්නේ සම්බෝලයක් සදා ගැනීමට සැරසෙන අතරතුරේය. අනේ අද ලිපට මොනවා වෙලාද මන්දාය. ලිපේ ගින්දර ඇවිල්ලේ නැත්තේය. අමාරුවෙන් අවුලාගත් ලිපේ තියෙන හාල් ටික වෙලාවකින් රොස් වෙන්නේය. බත පිච්චෙන ගඳ අතරින් කෙසේ හෝ ගින්දර අඩු කරමින් මුට්ටිය බිමට බාගෙන පිඟානකට බෙදා ගන්නේ සාදාගත් සම්බෝලයත් සමහ රස බැලීමටය.

අහෝ... වෙනදා මගේ බිරිඳ සාදන සම්බෝලය කොපමණ මිහිරිද? මා කන්නට ගත් බත් පතේ කිසිදු රසක් නැත්තේය. සම්බෝලයේ මිරිස් වැඩිද මන්දාය. නැත්නම් මගේ දිවට මොනවා හරි වෙලාද මන්දාය.

රැකියාවට ගොස් ආපසු ගෙදරට එන වෙනදා නිවසට ගොඩ වූ සැනෙන් පිරිසිදු වතුර වීදුරුවක් මගේ දිව පිනවන්නේය.

"කෝ දෙන්න.... හරිම මහන්සි පාටයි..."

කියමින් අතේ ඇති බඩු සියල්ල ගෙන නොයෙකුත් කෝලකම් කරමින් ගෙතුලට මා ගෙනයන්නීය. නිවසට වන් මා හට නිවස පුරා ඇති පිරුණු බවින් මගේ වෙහෙස දුරු වන්නේය.

ඒත් අද ඇය නැත. වෙනදා මාගේ දෙසවන් පිනවන කෝල වදන් අද නැත්තේය. සිනහ බව නැත්තේය. මගේ සවන් බිහිරි වී ඇති සැටියක්ය. කිසිවක් අසෙන්නේ නැත්තේය. ගහක කොලයක වැදෙනා සිහිල් පවන් රැල් අද නොමැත්තේය.
පුරුදු නිවහනත් මට අද නුපුරුදු වී ඇත්තේය. පාළුව සෑමතැනම ගැවස ගෙනය.

අද මගේ බිරිඳ මා ලඟ නොමැත. ඇය ගමේ ගොසින්ය. ඇය නෑ ගම් ගොසින්ය.


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...