Monday, July 6, 2020

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ...

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී...

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ...

පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - රෝහණ වීරසිංහ

ගීතයේ අනුභූතිය සිහිපත් කරන ගේය පද රචක ලූෂන් බුලත්සිංහලගේ වචන මෙසේයි. “මේ ගීතයේ අනුභූතියත් මගේ පුද්ගලික අත්දැකීමක්. දවසක් මම මගේ පුංචි දියණිය සමඟ වැස්සේ කුඩයකට මුවා වී ගෙදර එනවා. පාරේ ගිය කාර් එකක මඩ වතුර පහරින් අපි දෙන්නාම තෙමුණා. බැලින්නම් කාර් එකේ ඉගිල්ලී ගියේ මගේ ගීතය.

කලක් මගේ පෙම්වතියව සිටි ඇය තම සැමියා සමඟ කාර් එකේ.” ගීත රචකයා විසින් ගීයෙහි අත්දැකීම පිළිබඳ කරනු ලබන අර්ථකථනයකින් තොරව වුව ද මෙම ගීය පුද්ගලික අත්දැකීමක් බව වටහා ගන්නට අපට අපහසු නොවේ. එලෙසම එම ගීයෙහි මිහිර විඳගන්නට ද අපහසු නොවේ. ජන කවියේ එන ඇතැම් පොහොසත් යෙදුම් කවීන්ට ගීත රචකයන්ට නවීන අත්දැකීමක් කීමට වුව, ප්‍රයෝජනවත් වන ආකාරය මඳක් විමසා බලන්න.

“අඳුරු බබා සෙන්කඩගල වසින්නා
අඳුරු බබා සෙන්කඩගල වැසිත් නැතී...

හන්තානට පායන සඳ ගීතයෙහි “අඳුරු ලලා වසිනා වැසි සරසවි බිම තෙමන්න වෙයි. ලූෂන් ගේ මුතුකුඩ ගීයෙහි දී අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ වෙයි.

අපූරු ගේය පද සංකල්පනාවක්, අපූරු හඬකින්, අත්දැකීමකට ම උචිත සංගීත නිර්මාණයකින් සැරසී අප හදවත ලැගුම් ගන්නේ යළි කිසිදු දිනෙක හදවත මතකයෙන් බැහැර නොයනා ලෙස යයි පැවසීම සැබෑවක්ම ය. ගීතයෙහි අන්තරා කොටසෙහි දී ඇසෙන සංගීත ඛණ්ඩය විමසිල්ලෙන් සවන් දෙන්නකුට සංගීතඥයා මේ දුක්මුසු සිත රිදවූ අත්දැකීමට උචිත, හදවතින් මතුවන ශෝකාලාපය නාද රාටාවන් ඔස්සේ ප්‍රතිනිර්මාණය කොට තිබෙන’යුරු ප්‍රශස්ත ය.

“මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිලී....”

රිය කවුළු දොරින් ‍එබුණු සඳ, ඔහුගේ දෑස් යට ගිය දවසට ඉගිල්ලී යයි. ඒ මොහොතෙහි වැහි ලේණී ඉගිලෙන්නී මුතුකුඩ ඉහළන මල් වරුසාවකය. කෙතරම් අපූරු චමත්කාරජනක පරිසරයකදී ද ඔහුගේ මතකය අතීතයට ඉගිලී යන්නේ? අඳුර වැඩෙමින් සෙන්කඩගල වැස්ස වැටේ. වැටෙන දිය දහරා දේදුන්නේ පාට ගනී. ඔවුන් දෙදෙනා එවන් වැස්සක තෙමි තෙමී ගිය මතකය සමඟ සිහිපත් වන්නේ ආදර මධු වැස්සකට තෙමි තෙමී ගිය දෙදෙනකු ලෙස ය. එහෙත් දෛවය විසින් ඔවුන් දෙදෙනා ඈත් කරනු ලැබ සිටිති. එදා ආදර මධු වැස්සේ තෙමෙමින් ගිය ආදරවන්තයෝ අද දෙමංතලයක යති.

“අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...”

ආදර ලෝකයේ සිතූවක් ම නොසිදු වේ. නොසිතූ නොපැතූ ඇදහිය නොහැකි දෑ සිදුවේ. ආදරයේ යථාර්ථය එයයි. ඔහුගේ දෑස අතීත මතකයට රැගෙන ගිය ඈ සිටියේ කොහිද? රිය ඇතුළේ උණුසුම ඇයට ලැබෙන මොහොතෙහි ඔහු සිරුර රිය රෝදයකින් තෙරපී විහිදුණු මඩ වතුරින් නැහැවේ. ඔහු ඈ සමඟ අතිනත ගෙන දේදුනු පාට දිය දහරා වැටෙන සඳ ආදර මධු වැස්සේ තෙමෙමින් ඇවිද ගිය මිහිරි මතකයෙන් සිත වෙළී ගිය බැවින් සිත නොරිදේ.

“රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ...”

ඔහු තුළ වෛරී සිතුවිල්ලක්, ක්‍රෝධ සිතිවිල්ලක් හට නො ගනී. ඔවුන් දෙදෙනාගේ අතීත ආදර සබඳතාවය කෙතරම් දැඩි එකක් වී දැයි රිය සක නොදනී යයි සිතා ඔහු සිත හදා ගනී.

“නෑ හිත රිදුණේ
අදත් එදා සිහිවී
අපේ සබඳකම්
නෑ රිය සක දන්නේ...”

යනුවෙන් ඔහු තම සිත අස්වසා ගනියි. සැබෑ ආදරය එයම නොවේද? ආදරය කළ සිතකින් වෛර කළ හැක්කේද? මේ ගීයෙහි අත්දැකීම තුළ ජීවත්වන කථකයා සැබෑ ආදරය හඳුනා ගත්තෙකි.

තමන්ට අහිමි වූ ප්‍රේමය පිළිබඳ ඒ ප්‍රේමය අහිමි කළ පෙම්වතිය පිළිබඳ තවමත් ඔහු සිත ඇත්තේ ආදරයක්ම පමණක් නොවේ ද? රෝහණ වීරසිංහගේ ගායනය ඇසෙන සෑම මොහොතක් පාසාම මසිත නැ‍ඟෙන එකම ප්‍රශ්නය වන්නේ මෙතරම් මධුර හඬක් සතු රෝහණ ගී නොගයන්නේ මන්ද කියායි. යුගායනයක නන්දා මාලිනී සමඟ රත්තරන් දුවේ ගැයූව ද රෝහණගේ ගීතය නම් මේය. මුතුකුඩ ඉහලන මල් වරුසාවේම පමණි ඔහුගේ ගීතය. අපේක්ෂා බිඳුණු පරාජිත පෙම්වතුන් සැමගේ ම තේමා ගීතය එයම නොවන්නේ ද?

බුද්ධදාස ගලප්පත්ති


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...