Monday, July 6, 2020

විදුලි දුම්රියේ ...

විදුලි දුම්රියේ චංචල නාදය
සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළඳේ

ආදර සුවඳින් දසතම මතුවෙන
වසන්ත සුළඟේ හැපී
සාගර ජලමත පාවෙන උයනේ
මීවිත පුරමු අපි
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ
පුර සඳ මඩලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ
නරඹමු නිසංසලේ

විදුලි දුම්රියේ චංචල නාදය

පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
ආදර සඳුන් වනේ
නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
යෞවන අවන්හලේ
මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ
ජය පැන් තොල ගා අමරණීය වන
කුමරුන් මමය ඔබේ
කුමරුන් මමය ඔබේ

විදුලි දුම්රියේ චංචල නාදය

ගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොඩ්‍රිගෝ
සංගීතය - මොහොමඩ් සාලි
ගී පද - දයානන්ද කුමාරසිරි

ජාත්‍යන්තරව ප්‍රචලිත වූ අලුත් මාධ්‍යය අර්ථ ගැන්වීම සඳහා රූපවාහිනිය යනුවෙන් අලුත් වදනක් අපගේ ශබ්දකෝෂයට එසේ එකතු වෙද්දී, එම වචනය අරඹයා අප රටේ ජනතාවගේ කතාබහට ලක් වූ ගීතයක් ද 1972 වර්ෂයේදී සිංහල ගීත සාහිත්‍යයට එකතු වේ. දයානන්ද කුමාරසිරි යන ගීත රචකයා විසින් ලියන ලද, මෙහොමඩ් සාලි මාස්ටර් විසින් සංගීතය අධ්‍යක්ෂණය කළ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රූපා ඉන්දුමතී සහ ලක්ෂ්මන් රුද්‍රිගු යන ජනප්‍රිය ගායක යුවල විසිනි.

ගැ: විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ
කඳුළු පිරි නෛත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ

පි: සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුණෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබ ද ළඳේ

දයානන්ද කුමාරසිරි වර්තමාන ගීතයේ දිශානතිය පිළිබඳව කලකිරී මේ වන විට ගීත රචනාකරණයෙන් බැහැර වී ඇත. දැනට ඔහු මහනුවර පිහිටා ඇති හෝටලයක කළමනාකරුවෙකු වශයෙන් සේවය කරයි. ඔහුගේ ගීත රචනා අතුරෙන් වඩාත් ජනප්‍රිය වූ තවත් ගීත දෙකක් වන්නේ රූපා ඉන්දුමතී ගායනා කරන එක කුඩේ යටින් සරසවි පාරේ ගීතය සහ සංගීත් වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන සඳ මුවා වෙලා යන ගීතය වේ. 

ඒක පුදුම කතාවක්. අපේ ගෙදර මගේ දරුවන්ට ටියුෂන් කරන්න ගුරුවරයෙක් ආවා. ඔහු දයානන්ද කුමාරසිරි. කවදාවත් ඔහු ගීත ලියලා නැහැ. නමුත් මගෙන් ඇහුවා ලියපු සින්දු ටිකක් ලියලා දෙන්නද කියා. මම ඉතින් හා කියලා ගෙනත් දෙන්න කියලා කිව්වා. මම එයින් සින්දු දෙකයි තෝරා ගත්තේ. ‘එක කුඩය යටින් සරසවි පාරේ’ සහ ‘විදුලි දුම්රිය’ ගීත දෙක තමයි මම තෝරා ගත්තේ. ඔය විදියට තමයි විදුලි දුම්රිය මට ලැබුණේ.

1966 වසරේදී තුරඟ තරඟ පිටියේ පැවති ප්‍රදර්ශනයකදී රූපවාහිනීය මුල්වරට ප්‍රදර්ශනය කළා. ඉන්පසුව ඇම්.ඩී. ගුණසේන සමාගම පැවැත්වු ප්‍රදර්ශනයක් වෙලාවෙත් රූපවාහිනී යන්ත්‍රයක් ප්‍රදර්ශනය කළා. එවැනි තැන්වල ඇරුණු කොට ලංකාවේ ගෙවල්වල රූපවාහිනී තිබුණේ නෑ. එවැනි යුගයක තමයි මේ ගීතය ලියැවුනේ. ඒ හැරුණු කොට පාවෙන දූපත්, පියාඹන අවන්හල් හා විදුලි දුම්රියට අදාළ කතා මම කියවලා තිබුණා. මෙන්න මේ දේවල් තමයි මම මේ ගීතයට එකතු කර ගත්තේ. දයානන්ද කුමාරසිරි පැවසුවා.

මේ ගිතය මගේ අත්දැකීමක් නෙවෙයි. නමුත් මම දුටු සිදුවීමක් මූලික කරගෙන තමයි මේ ගීතය ලිව්වේ.  දයානන්ද කුමාරසිරි මහතා ඒ කාලේ රාජකාරි කළේ කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශයේ. මම කඳානේ සිට රැකියාවට යන්නේ දුම්රියේ. ඉතිං දවසක් මම කොටුව දුම්රිය පොළට ඇවිත් යාළුවෙක් එනතුරු රැඳී සිටියා. මම හිටියේ 1 හා 2 පදික වේදිකා යාවෙන පාලම උඩ. මේ වෙලාවේ මම දැක්කා තරුණ ගෑණු ළමයෙක් ටිකක් ලැජ්ජාවෙන් හා බියෙන්, නොසන්සුන්ගතියෙන් යුතුව පහල තිබෙන වේදිකාව දිහා බලා ඉන්නවා. ටික වෙලාවකින් වේදිකාවට දුම්රියක් ආවා. මේ දුම්රියේ ආපු තරුණයෙක් ඊළඟට බොහොම කඩිමුඩියේ ඇය ළඟට දුවගෙන ආවා. තරුණිය එකවරම අර තරුණයාගෙන් ඇහුවා මෙච්චර වෙලා මොනවාද කළේ, මම දැන් කොච්චර වෙලාවක් බලා ඉන්නවද කියලා. ඔය අතරෙදි තරුණිය ලේන්සුවෙන් කදුළු පිසදාන ආකාරයත් මා දුටුවා. 

තරුණයා මේ මොහොතේ ඇහුවා මොනවා කරන්නද? ඉලෙක්ට්‍රික් දුම්රියක් තිබුණා නම් මට ඉක්මනින් එන්න තිබුණා. මේක ආවේ හිමින් කියලා කිව්වා. 

ඔන්න ඔය සිදුවීම තමයි ගීතය ලියන්න මුල් පසුබිම වුනේ.


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...