Monday, July 6, 2020

විරාග රාගය අතරේ....



සම්මාන උළෙලකදී අමල් පෙරේරාට ඇතිවුන සිතුවිල්ලක් අනුව එනම්, ජ්‍යෙෂ්ඨයකු සමඟ ගීතයක් ගැයීමේ අදහසින් එම කැමැත්ත ඉටු කර ගැනීමේ අරමුණින් මෙම ගීතය  බන්දුල නානායක්කාරවසම් අතින් නිර්මාණය වූ බව අමල් පෙරේරා පවසයි. 

බන්දුල නානායක්කාරවසම්ගේ අදහසට අනුව, ආදරය පිළිබදව හෝ ආදරයේ දෙව්රුව පිළිබඳව ඔහු කොතෙකුත් ගී පද  නිර්මාණය කර ඇති නමුත්, මේ ගීතය නිර්මාණය කළේ ඔහු කැමැතිම නව කතාව පාදක කර ගෙන යනුවෙන් පවසයි. විරාගය කැමැතිම නව කතාවයි. කැමැතිම චරිතය අරවින්දයි. සමාජය විසින් අරවින්ද ආදරයේත්, ජවිතයේත් පරාජිත පුද්ගලයෙකු ලෙස හංවඩු ගසා ඇත. එම ප‍්‍රස්තුතය ඔස්සේ මේ ගීතය නිර්මාණය කළා යැයි ඔහුගේ අදහසයි. 

ඇය තරුණය. ඇයගේ සැමියා මැදිවියේය. හුදකලාව ගලා ගිය ඇගේත් ඔහුගේත් කැඳල්ලට පැමිණි පිටස්තරයා සියල්ල වෙනස් කළේ ය. නමුදු ඒ පිටස්තරයා තුළ ඇත්තේ පේ‍්‍රමය ද, රාගය ද යන්න දන්නේ ඔවුන් පමණි. ආදරය විඳිය යුතුය. ජීවිතය දිනිය යුතුය. සිතක සඟවා ඇති පේ‍්‍රමයකින් ඇයට ද, ඔහුට ද ඇති ඵලය කුමක් ද? ඔවුන්ගේ කැඳල්ලට පිටස්තරයකු පැමිණීමට ඉඩ හැරියේ ඔහු ද? මේ සියල්ල විරාග රාගය ගිතයේ ඇතුළත්ය.

ගැහැණිකයගේ මුණිවර දහම පිළිබඳව බන්දුල නානායක්කාරවසම් මේ ගීතය තුළින් අදහසක් දක්වා නොමැත. ආදරය, පේ‍්‍රමය, පතිවත පිළිබඳව ගැඔුරු විශාල යටි පෙළ අරුතක් මෙහි ගැබ්ව ඇත. ගැහැනිය එක් එක් අයුරින් විවිධ සංස්කෘතීන්ට අනුව අර්ථ දක්වනු ලැබේ. ඇනාකරලිනා නව කතාවේ ඇනා ද, එමා බොවාරි නව කතාවේ එමා ද, මළගිය ඇත්තෝහි නොරිකෝ ද නිදසුන් ලෙස දැක්විය හැකිය. ඒ අතර ශ‍්‍රී ලාංකීක විවාහක ගැහැනිය පිළිබඳව විශාල සාධාරණයක් ඉෂ්ට කිරීමට උත්සාහ ගෙන ඇති බවත්, ඇයට එල්ලවන සමාජ අපවාද සාධරණද යන්න මේ ගීතයේ පද තුළින් ඉස්මතු වේ.

විරාග රාගය අතරේ
තනි වූ 
විරාම දෙයි එක් හදකට පුදා පරාජය
විරාග රාගය අතරේ - තනි වූ ආලය                                 
දුරලයි තනිකම ලබමින් - මගේ සරාගය...
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හල දා 

ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු -
නොරිසි ඔබේ මුනිවර
මනසින් පෙම්කළ දා - ඈ අසරණ වූවා...
නුරා එගිනි දලූ - ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති - ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා...

පුමිතිර බව හා ලිංගිකත්වය අප ජන්මයෙන් දායාද කොට ගත්තාද එය ආවේණිය මතම රඳා පවතින්නක් නොවේ. අපේ හැඩරුව සේම දේහ ක‍්‍රියාකාරීත්වය හා චර්යා රටාවන් ද එයට ආවේනික ලෙස හැඩගැස්වීමේ ප‍්‍රතිඵලයකි. නමුත් මේ සියල්ලම කාලය හා පරිසරය, උෂ්ණත්වය අනුව වෙනස්වීම්වලට ලක්විය හැකිය. ආදරය ද, ජිවිතය ද එලෙසම ගතික ස්වභාවයක් ගනු ලබන හැඟීමකි. 

පේ‍්‍රමය කියන්නේ හදවත මුල්කරගත්තු කාරණාවක්. මනෝමූලික සංකල්පයක්. ජීවත් වීමේ දී අප හුරුපුරුදු කර ගත්ත සම්ප‍්‍රදාය, සංස්කෘතිය වැනි කාරණා නිසාවෙනුත් පේ‍්‍රමයට බලපෑම් එල්ල වෙනවා. අනෙක් අතට අප තුළ පේ‍්‍රමය උපදින්නේ අපට උගන්නපු රාමුවක් ඇතුළතයි. අකලංක, පරම, නිර්මල, නික්ලේෂි වගේ විශේෂණයන්ගෙන් යුක්ත වූවකි. ඒ කෙසේ වෙතත් පේ‍්‍රමය නිසාවෙන් උපදින මනෝභාවයන් ශරීරයේ ජීව විද්‍යාත්මක සංයුතුයට බලපෑම් කරන්න තරම්ම ප‍්‍රබලයි. අන්න ඒ හේතුව නිසාවෙනුයි රාගය උපදින්නේ. නමුත් ජීව විද්‍යාත්මක ඇත්ත සමඟ පමණක් අපට රාගය විඳින්නට ඉඩක් නොමැත. අපේ පේ‍්‍රමයට බලපෑම් කරනු ලබන සදාචාර නීති මාලාව ද අවි අමෝරාගෙන ඉදිරියට පැමිණේ. පේ‍්‍රමයේ දී අප කළ යුතු හා නොකළ යුතු දෑ තෝරා බේරා වෙන්කර දීමට ලියවුණු පොතක් ලෙස එය හැඳින්විය හැකිය. ආදරයේ දී අප දන්නා නමුත් නොදන්නා මෙන් සිටින ඇත්ත ද මෙයයි. 

විරාග රාගය නිර්මාණයේ දී අපිට මුණගැහෙන්නේ ගීතයෙන් කියන ආකාරයට පෙමින් තොරව කතරක් වූ විවාහක යුවලක් හා පිටස්තර පෙම්වතෙක් පිළිබඳවය. සැමියෙක්, බිරිඳක් සහ සම්මත සමාජ රාමුවට අනුව අනියම් පෙම්වතෙක්. මෙවැනි තුන්කොන් ආදර අන්දර පිළිබඳව විවිධාකාරයේ කලා ක්‍ෂේත‍්‍රයන්හි නිර්මාණ බිහි වී ඇත. මෙය සම්මත සමාජයට පොදු කරුණක් නොවුනට එසේ නැත්තෙත් නැත. කුසගින්න එක්කෙනෙකු තුළ ඇති වුව ද එය මුළු මහත් සමාජයටම බලපාන්නකි. එකම අත්දැකීම එක් ස්ත‍්‍රියක් විෂය පථය කරගත් පිරිමි දෙදෙනෙකුගේ ඇනුම්පද විලාසයෙන් දෙදෙනාම විවරණය කරනු ලබන අවස්ථාවක් ලෙස ගීතය මුළුමනින්ම දිගහැරෙන අතර අද සමාජය තුළ දක්නට ලැබෙන්නේද මේ දෙයමය. 

එකම ගැහැනිය ආදරය දෙපාරකට විඳින්නට සහ එකවිට විඳින්නට උත්සාහ දරද්දී ඇය විශාල ගැටුම්වලට මුහුණ පායි. නීතියෙන් හමුවුණු තමාගේ ස්වාමි පුරුෂයාත්,පෙම්වතාත් ඇයගේ පතිකුලයත් පවත්වා ගෙන යාමට ඇය උත්සාහ දරයි. එකම අත්දැකීම විඳින්නට පරම්පරා දෙකක දෙදෙනෙකු සූදානම් වන අරුමය,

ඔබ අඩවන් නෙතු
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හල දා
ඈ මුකුලිත වූවා 

මේ ගීතය තුළ සැමියාගේ ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම චෝදනා පත‍්‍රයකි. ඔහු තමන්ගේ විරාග රාගය පිළිගන්නා නමුත්, ඒ හිස්තැන සම්පූර්ණ කිරීමට තම කැදැල්ලට රිංගාගත් පෙම්වතාට ඇඟිල්ල දිගුකරයි. 

කර ගනු ඈ සතු
නොරිසි ඔබේ මුනිවර
මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා...

ගැහැනිය ගත් කල ඇත්තෙන්ම ආදරය හා රාගය අතරේ අතරමං වේ. ඇය සිය ජිවිතයම ආදරය කරගන්නියෙකි. ආසියාතික කලාපීය රටවල ගැහැනිය එහි දී ප‍්‍රතිමූර්තියක් බඳුය. ඒ ප‍්‍රතිමූර්තිය බිඳලනු එක් අවස්ථාවක් ලෙස තනිකම දැක්විය හැකියි. සරාගි හැඟීම් ඉස්මතු වීම නිතැතින්ම සිදුවේ. තුන්වැන්නකුගේ බලපෑම අවශ්‍යතාව මතු වීමත් ඇගේ පවිත‍්‍රතාවත් තනිකමත් සමඟම ගිලිහී යාමත් සිදුවේ. 

ඇයට අවශ්‍ය ආදරය විඳින්නටය. මනසින් පෙම් කිරීම හෝ එය වචන බවට නොපෙරලීම ඇයට වන අසාධාරණයකි. ඔහුගේ මුනිවත රකින ආදරය ඉදිරියේ ඇය සිය සතුට සොයයි.

නුරා එගිනි දලූ
ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ
තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති
ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ
දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා... 

ආදරය රාගයෙන් වියුක්ත කිරීමට හෝ රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා කිසිවෙකුට හැකි නොවිණි. එමෙන්ම අසීමාන්තික, අසම්මත බැඳීම් ද කිසිදා කිසිවෙකුට සතුටක් ශේෂ නොකරයි. කෙසේ නමුදු හෘද සාක්‍ෂියට එකඟ නොවූ හැඟීමක් බැඳීමක් සමඟ ඒ මොහතේ මතුපෙළ සතුට සමඟ කිසිදා නොමියෙන යටිපෙළ දුකක් ද පවතී. 

සත්ත්ව සංහතිය තුළ ජිවත් වන මිනිස් ජිවියා තුළ හැඟීම් සිතුවිලි වූ කලී මාරුතයක් සේය. විටෙක නිහඬව සිටින මාරුතය තවත් විටෙක චණ්ඩ මාරුතයක් වී කෙසේ හෝ ගලා යාම සිදු විය. ආදරය, පේ‍්‍රමය එහි මූල බීජය ලෙස හඳුනාගත හැකිය. 

තුන්කොන් පේ‍්‍රමයක ගැහැනිය සිටිද්දී පිරිමින් දෙදෙනා හෝ පිරිමියා සිටිද්දී ගැහැනු දෙදෙනා හෝ කතාව ඉදිරිපත් කරන්නේ නැත. ප‍්‍රධාන කතා නායකයා එක් පුද්ගලයකු නොවී මේ විප්ලවීය ගීතයේ පුද්ගලයන් දෙදෙනාම ප‍්‍රධාන කතා නායකයන් ලෙස බන්දුල නානායක්කාරවසම් පද රචන තුළින් සහෘද සිත් තුළට සමීප කරලයි.

මිනිස්සු යනු සමාජශීලී සත්ත්ව කොට්ඨාශයකි. ඒ විශේෂ සත්වයින් කිසිදා හුදකලාව හෝ තනිව ජිවත් වීම ප‍්‍රතික්‍ෂ්ප කරයි. ආදරය නැමැති බැඳිමේ දී එය මිනිසාට විශේෂයෙන් බලපානු ලබයි. එහි දී ඔහු තම හුදකලාව, තනිකමෙන් ගිලිහීමට විවිධ ක‍්‍රියාකාරකම් වල නියැලනු ඇත. එහි එක් ප‍්‍රායෝගික අත්දැකීමක් විරාම රාගය ගීතය තුළින් ඉස්මතු කරලනු දැකිය හැකිය.
                             
ඔබේ මිලින ගති 
ඇයට නොවේ රුති  පෙමින් තොරව ඇගේ
දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා...

එකඳු රාගික හැඟීමක, බැඳීමක එනම්, සම්මත යැයි නම් කල බැඳීමක තනිව ගෙවන පෘථග්ජන පුද්ගලයයෙකුට වෙනෙකෙකු පිළිබඳව රාගය ඇතිවිම නිරායාසයෙන්ම සිදුවිය හැකිය. සමාජය ඒ හැඟීම කෙසේ පිළිගනීද යන්න ප‍්‍රශ්නයකි. නමුත් එම හැඟිම ඉතා  සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීමක් ලෙස මෙම පද සංඝට්ටනාව හුවයක් සේ ගලපා ඇත. එහිදී පවුලක බිරිඳ හෝ සැමියා යන දෙදෙනාගෙන් එක් තැනැත්තෙකු ගත් කළ ඔහු අවිවේකී වීම නිසා තනිවන්නට සිදුවන පුද්ගලයාට හුදකලාවීම නිසා එමඟින් පහර විඳීමට සිදුවේ. එයින් ඇයට පරාජ සිතුව්ල්ලක් ඇති කරවයි. ඒ පරාජයනම් තනිකමයි. එය දුරුකරලීමට වෙනත් අසම්මත බැඳීමක පහස ලැබීමේ දී ඈ පරව යන බවද, ඒ ආසාවට ලොල්වන ඈ අසරණ වන බවද ගීතයෙන් කියවේ. එම සිතුවිල්ල හේතුවෙන් පවුල තුළ සිදුවන විනාශය එනම්, ඈ රාගයට පෙම් කරන බැවින් ද එයට සහේතුක කාරණාව ඈ ආදරය තුළදී තනිවීම නිසා ජිවිතය කතරක් වීම යැයි ද ඉතාම කුඩා හැඟුම් ගැඹුරින් රසිකයාගේ සිත්තුලට ප‍්‍රබල අර්ථකථනයක් දේ.

         ----------------------------------------------------------------------------------------------------------
පේ‍්‍රමය හා විරහවත් ඒ අතර මැද මුහුණ දීමට ඇති භාවාත්මක චින්තනය විරාග රාගය ගීතයේ පදවැල් තුළින් එකිනෙක ඉතා අරපරිස්සමින් බන්දුල මහතා ගැහැනියගේ හෝ පිරිමින් දෙදෙනාගේ සිත් නොරිදෙන ආකාරයෙන් දිගහරින අතර පේ‍්‍රමයනම් භාවනාවේ දී විශේෂයෙන්ම විවාහක ගැහැනියකට මෙවැනි අවස්ථාවේ දී එල්ලවන සමාජ අපවාද සාධාරණ ද අසාධාරණ ද යන්න සියුම්ව රසික බුද්ධිකලම්බනයකට ලක්කරනු ලබයි.         

කේ. ඒ. එන්. පෙරේරා විසින් රචිත ආදරය කලාවකි නමින් පරිවර්ථනය කළ එරික් ෆ්‍රොම් නමැති ජර්මාණු මනෝ විශ්ලේෂකයාගේ The Art of Loving නැමති ග‍්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. 

ලිංගික බැඳීමක් සඳහා වන ආශාව ආදරය මඟින් උද්දීපනය කිරීමට පුළුවන. එවිට කායික සම්බන්ධතා පැවැතිවීමේදී එය කෑදර ලෙස හෝ කෙනෙක් අභිභවනය කිරීමට හෝ අභිභවනය කරනු ලැබීමට ඇති කැමැත්ත ඇතිව සිදුකෙරෙන්නේ නැත. එවිට එය සිදුවනුයේ මුදු මොළොක් සියුමැලි අන්දමිනි. කායික සම්බන්ධතාවයක් පැවැත්වීමේ දී එය ආදරය මඟින් ඇති කරනු ලබන උද්දීපනය හේතුකොටගෙන සිදු නොවන්නේ නම් සහ එමෙන්ම සරාගී ආදරය යනු සහෝදර පේ‍්‍රමයක් නොවේ නම් එමඟින් කිසිවිටෙක ආවේශයක ස්වරූපයෙන් ඇතිවන ක්‍ෂණික සම්බන්ධයකට වඩා වැඩි සම්බන්ධතාවයක් ඇති කර ගැනිමට ඉඩ සැලසෙන්නේ නැත. කායිකව හමුවන මොහොතේ දී සමීප බැඳීමක් පවතින්නේය යන මායාව ලිංගික ආකර්ෂණයක් මඟින් ඇති කරයි. නමුත් කායික හමුව ආදරකින් තොරව සිදුවීමෙන් ඇතිවන ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් ඊට පෙර සිටියාටත් වඩා අමුත්තන් බවට පත්වීමය. සමහර විට ඔවුන් එකිනෙකා ලැජ්ජාවට පත්විමට හෝ එකිනෙකාට ද්වේශ කිරීමට පවා හේතු විය හැකිය.

මුනිවර ආදරයක් තුළ සරාගය සෙවීමට ඇති ස්ත‍්‍රී ආශාව නිවැරදිව තේරුම් ගැනිමට බහුතරයක් මනුෂයාට නොහැකි වී ඇත්තේ ඉහත කී පරිදි ලැජ්ජාවට පත්වීමට තරමේ ආත්මයක් ඔවුන් සතු නොවීම හේතුවෙනි යැයි සිතේ. 

ආදරයක් ගොඩනැගීමේ ආරම්භයට එක් සැණකින් ඇතිවන හදිසි හැඟීමක් හදිසි කම්පනයක් ප‍්‍රමාණවත්ය යන්න අපි දන්නා ඇත්තය. එවැනි කම්පනයකින් පස්සේ මිනිසුන්ගේ ජීවිතවල අතීත, අනාගත, වර්තමාන පෙළ කනපිට ගැහෙනා අයුරු කවියා ව්‍යංගයෙන් දක්වා ඇත.  

අද්‍යතන සමාජයේ ගීතය නම් කලාව වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ඒම වස් කරලනු ලැබූ හෝ අතිශය ගැඹුරින් පරිකල්පනය ප‍්‍රකට කරලන ගීතයක් සමජයට දායද කරලූවක් ලෙස විරාග රාගය ගිතය හඳුනාගත හැකි ය. සම්මත භාවයෙන් ඔබ්බට ගියා වූ නොසිතෙන හැඟීම් පිළිබඳව ගායකයන් දෙදෙනෙකු අමුතුම ආකාරයේ කතන්දරයක් කියන ආකාරයක් මතු කරලීමට බන්දුල නානායක්කාරවසම් උත්සාහ ගෙන ඇති අතර සමාජය තුළ නිරන්තරයෙන් සිදුවන සිදුවීමක් ඔවුනොවුන්ගේ හැඟීම් හඳුනාගෙන ඒ ඔස්සේ සිය නිර්මාණය හරහා පුද්ගල මනෝභාවයන්ට, පන්හිඳ තුඬින් බන්දුල නානායකකාරවසම් සර්ව සාධාරණයක් ඉෂ්ට කර ඇති බව මගේ හැඟීමයි. 

ඒ.එම්.ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදනය අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය




 

No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...