Monday, July 6, 2020

නීල වර්ණ නීල කොබෙයියෝ …

නීල වර්ණ නීල කොබෙයියෝ …

“ගීතය යනු සංගීතය හා භාෂාවේ අනුකූලතා පූර්වක සුසංයෝගයේ ඵලයක්. ‘නාද’ නමැති මූල ද්‍රව්‍යයත් ‘වචන’ මූල ද්‍රව්‍යයත් හරියට තෙලුයි වතුරයි වගේ පරස්පර විරෝධි වස්තු දෙකක්. ඒ දෙක අනුකූලතා පූර්වකව සුසංයෝග වෙන්න ඕනැ. එවිටයි සුභාවිත ගීතය බිහි වන්නේ.” අමරදේවයන් වරෙක සුභාවිත ගීතය අර්ථ කථනය කිරීමට යෙදුනේ එලෙසින්.

මේ අර්ථ කථනයට අනුව ගීතයක්, අර්ථ පූර්ණ, සුගායනීය සහ කාව්‍යමය පද වැලක්, ඊට අනුරුප වන සංගීතය සහ භාව පූර්ණ ගායනය ද සමගින් රසිකයන් වෙත ඉදිරිපත් වන්නේ නම් වින්දනීය ගීතයක් වනු ඇත. එනයින් බලන කළ, ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ගේ හඬින් ගැයෙන “නීල වර්ණ නීල කොබෙයියෝ” ගීතය වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන් ම සුභාවිත ගීතයක්.

එකකට එකක් ගැලපෙන උපමා රූපක රැසක් යොදා ගනිමින් ලියවී ඇති මේ ගීතය පෙම්වතියක සිය හද දිනු පෙම්වතා වෙත තමුන් ගේ සිත රැඳී ආදරයෙහි ස්වභාවයත්, ඇගේ ප්‍රාර්ථනාවනුත් විස්තර කරන්නක්.

“සිත වටකර පියා සලන සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ “

ඔහු, ඇයගේ සිත පුරාම අරක්ගෙන. ඒ අරක් ගැනීම ඇයට සහනයක්, සතුටක්.

“උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිළ නොයන්නේ”

ඔහු තරාතිරම කුමක් වුවත් ඈට කම් නැත. ඔහු ඇගේ හදවතෙහි ස්ථිරවම ලැගුම් ගෙන අවසන් සේය.

“අඳුර බිඳින සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ”

ඇගේ තැවුල්, දෝමනස්සයන් සමනය කරනු පිණිස ඇයට ඇත්තේ, ඔහුගේ ආදරය හා බැඳුනු පැතුම් ගොන්නක්. මේ පද කෙතරම් සුගායනීය සහ කාව්‍යමය වෙතත්, ඉන්ද්‍රාණි බෝගොඩ ගේ භාව පූර්ණ හඬ නොවන්නට මේ ගීතය මෙතරම් මධුර ප්‍රකාශනයක් නොවන්නට ඉඩ තිබුණු බවයි හැඟීම.

මෙහිදී “නීල කොබෙයියා” යන රූපකය යොදා ගනිමින් ඇය සිය පෙම්වතා හඳුන්වන්නේ ඔහු කාලවර්ණ තැනැත්තෙකු නිසා විය යුතු බව මගේ අදහසයි. සාමාන්‍යයෙන් සාහිත්‍යයේදී, චිත්‍ර සහ මූර්ති කලාවන්හිදී නිල් පැහැයෙන් නිරූපණය වන්නේ කළු පැහැයයි. උදාහරණ ලෙස මුගලන් හාමුදුරුවන් සහ විෂ්ණු දෙවියන් නිරුපණය වන්නේ නිල් පැහැයෙනුයි. තවද, “නීල වර්ණ කේශ කලාපය” ලෙසින් යෙදෙන්නේද කළු පැහැයටයි.

කෙසේ නමුත් රූප සටහනෙ හි දැක්වෙන පරිදි, නීල කොබෙයියා කොළ​, නිල් , සහ රතු සහ හෝ පැහැයට හුරු දුඹුරු පැහැති කුරුල්ලෙක්. ඒ අනුව සිතිය හැකි වන්නේ කුරුල්ලාගේ නියම වර්ණයන්ට වඩා පද රචකයා විසින් රූපකය තෝරා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් ම සිය අවධානය යොමු කැර ඇත්තේ “නීල කොබෙයියා” යන නාම මාත්‍රය කෙරෙහි බවයි.

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ
ගී පද - පී.එච්.කේ. රත්නසිරි



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...