Monday, July 6, 2020

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්...

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ඔබ ළඟ ඉන්නට
ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට
නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිත සිත ඔබ ගැන
දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි
ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිතු පැතු සැම දේ
නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු
යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - එච්.එස්. පෙරේරා
තනුව හා සංගීතය - අ'නස්ට් සොයිසා

හිත කියන්නේ මහ පුදුමාකාර දෙයක්. විටෙක ප්‍රතික්ෂේප කරන දේ තවත් විටෙක වුවමනා වෙනවා. වෙලාවකට පුංචි වැරැද්දක් කරන්න වුණත් බයයි. ඒත් සමහර වෙලාවට මහ ලොකු වැරදි පුංචි දේවල් විදිහට හිතලා කරනවා. නොගැලපෙන දේවල් නොගැලපෙන සබඳතා පවා ඇති කර ගන්නවා. තවත් විටෙක එවැනි සබඳතා ඇති කරගන්න හැකි විදිහේ පරිසරයක් ගොඩනැඟුනත් ආයාසයෙන් ඒවා යටපත් කරගන්න උත්සාහ ගන්නවා. ඒ කැමැත්ත නිසා නෙමෙයි සමාජය තුලින් අපට නැගෙන විරෝධතා නිසා. එසේත් නැතිනම් මැසිවිලි නිසා.

මේ ගීතයත් එවැනි පරිසරයකට අයත් ජනප්‍රිය ගීතයක්. එය රචනා කළේ ජනප්‍රිය ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂ එස්.එච්. පෙරේරා මහතා විසින්. ඔහු මේ ගීතයට පසුබිම් වූ කරුණු පැහැදිලි කරමින් "මම ඉස්සර වැඩ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. ඒ කාලේ අපිත් එක්ක වැඩ කළ දෙන්නෙක් අතර අසම්මත ප්‍රේම සබඳතාවක පැටලී සිටියා. මේ දෙන්නම විවාහකයි. නමුත් ඔවුන් ඒක ගැන හිතුවේ නෑ. වැඩිපුරම කාන්තාව මේ ප්‍රේමය ගැන හිතනවා අපි දැක්කා. ඇය අනිත් පාර්ශවයට හුඟක් ආදරය කරන බව අපට දැණුනා.

කොහොම හරි කාලෙකට පසුව මට හදිසියේම ගීතයක් ලියන්න ඉල්ලීමක් ඉදිරිපත් වුණා. අන්න ඒ වෙලාවේ මේ සිද්ධිය වගේම තවත් සිදුවිමි පෙළක් මගේ හිතට ගලාගෙන ආවා. එවැනි පරිසරයක් තුළ තමයි මෙවැනි ගීතයක් ලියැවුනේ. එස්.එච්. පෙරේරා මහතා කැසට් නිෂ්පාදනයටත් සම්බන්ධයි. 

"මම ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීත ඇතුලත් කැසට් පටයක් නිෂ්පාදනය කළා. මේ කැසට් පටයට ගීත දෙකක් අඩු වුණා. අන්තිමට මම ඒ වෙලාවේ චන්ද්‍රලේඛා පෙරේරා ශිල්පිනිය ගයන "සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත්" ගීතයේ තනුව හිතේ තියාගෙන මේ වචන ලිව්වා. එහෙම ලිව්ව වචන ටික සංගීත අධ්‍යක්ෂ අර්නස්ට් සොයිසාට ලබා දුන්නා. ඔහු ඉතා මිහිරි තනුවක් හැදුවා. ඇත්තටම මේ තනුවත් ඉන්ද්‍රානීගේ හැඟුම්බර ගායනයත් මේ ගීතය ජනප්‍රිය වෙන්න බලපෑවා. සමහරු ඇහුවා මේක මගේ අත්දැකීමක්ද කියලා. 

සාමාන්‍යයෙන් බොහෝ විට නොගැලපෙන සබඳතාවලට මූලික අඩිතාලම දමන්නේ පිරිමි පාර්ශවය. ඒ වගේ වෙලාවට කාන්තාවෝ නොදැනුවත්වම ඊට සම්මාදම් වෙනවා. නමුත් කිසියම් හෝ මොහොතක ඔවුනොවුන්ට සමුගන්න සිදුවෙනවා. ඒක වේදනාකාරී වුනත් දෙපැත්තටම යහපතක් වන කාරණයක් වෙනවා. එසේ නොවුනොත් සිදුවන්නේ කිසිවෙකු අපේක්ෂා නොකරන විදිහේ අවාසනාවන්ත සිදුවීම් ගොන්නක්.


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...