Monday, July 6, 2020

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් තිදෙන...

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් තිදෙන

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි

සමකෝණී ත්‍රිකෝණයකි...

සමච්ජේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා

සමකෝණී ත්‍රිකෝණයකි...

සිංහල ගීත සාහිත්‍යයේ අමරණීය නිර්මාණ පවතී. ඒවා අමරණීයත්වයට පත්වන්නේ ඒ තුළ ඇති අපූර්වත්වය නිසා ය. පිළුණු අනුභූතීන් වෙනුවට නැවුම් අනුභූතීන් සොයා ගිය ගේය පද රචකයන් නිසා මේ අපූර්වත්වය ගීත සාහිත්‍යයට එක්වී තිබේ. මීට වසර හතළිහකට පමණ පෙර බිහිවූ මේ නිර්මාණය ද අපූර්වත්වය සඳහා කදිම නිදසුනකි. පාසල් ප්‍රේමයක රැඳි බොළඳ බව කැටිකරගත් අපූර්ව ඉදිරිපත් කිරීමක් මෙහි අන්තර්ගත ය.

මෙහි මුණගැසෙන යෞවනයාට අනංගයා මල් හී දෙකකින් සංග්‍රහ කොට තිබේ. යුවතියන් දෙදෙනෙකුගේ නේත්‍ර පූජාවට ඔහු හසුවෙයි. ඉන් ගැලවීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත. දෙදෙනා නිසා ම මේ යෞවනයා ආස්වාදයක් ලබයි. මේ තත්ත්වය අපූර්වතම රූපකයක් බවට රචකයා විසින් පත්කරනු ලබයි. ඔහුට සිහිවන්නේ පාසලේ ඉගෙනගත් ගණිත පාඩමකි.

”සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක හිටියා
නෙත් හතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා

රසිකයා තුළ සැබැවින් ම ත්‍රිකෝණයක සංකල්ප රූපයක් ජනිත කිරීමට රචකයා උත්සාහ කරයි. 

මේ කිසිදු නිර්මාණයක අනුභූතිය ගැඹුරින් ස්පර්ශ නොකළ ද මේ සෑම ඉදිරිපත් කිරීමකම චමත්කාරයක් ගැබ් වී පවතී. මෙවැනි අනුභූතීන් පාසල් සමයේ අතිශයින් සුලබයි. එහෙත් බොහෝවිට දක්නට ලැබෙන්නේ යුවතියකට තරුණයන් දෙදෙනකුගේ ඇල්ම බැල්ම වැටෙන ආකාරයයි. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ යුවතියන් දෙදෙනෙකු ගේ දෑස් එක් තරුණයකු වෙත යොමු වී තිබීමයි.

”ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙදෙනාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි...”

මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මේ යුවතියන් දෙදෙනාටම ඔහු සමසේ ප්‍රේම කිරීමයි. එකියක හෝ අතහැර දැමීමට ඔහු තුළ ඇත්තේ ලෝභයකි. මෙහි අපූර්වත්වය වන්නේ ඔහු ආශා කරන ගණිත පාඩම තවදුරටත් මේ ඔස්සේ තහවුරු කරගැනීම නිසා ය. මේ සිද්ධියෙන් ඔහු දකින්නේ සමපාද ත්‍රිකෝණයකි. 

දැන් අප තරුණයාට ද මූණදෙන්නට සිදුවී ඇත්තේ මේ හා සමාන අනුභූතියකටයි. දැන් ඔහුගේ ප්‍රේමය පුදදෙන්නේ කාටද? මේ ගැටලු ව දැන් වහා නිරාකරණය විය යුතුය.

මේ ගීයේ මතුපිටින් දිවෙන හාත්ස්‍යජනක ආකෘතිය යටපත් කරමින් ඉතා හැඟීම්බර අවසානයක් කරා ක්‍රමයෙන් ළඟාවනු දැකිය හැකි ය. තරුණයාගේ මානුෂීය බව වඩාත් ම ගීතය අවසානයේ ඉස්මතු වෙයි.

සාමාන්‍ය ජීවිතයේ දී සිදුවන්නේ, එකිනෙකාට නොදැනුවත්ව ම දෙදෙනා ම ඇසුරු කිරීමට අවස්ථාව සලසා ගැනීමයි. එහෙත් මේ තරුණයා තම හිතවතියන් දෙදෙනාට එබඳු අසාධාරණයක් සිදු නොකරයි. එකෙකුට ළං වුවහොත් අනෙකාගේ හිත රිදෙන බව ඔහු දනියි. ආදරයේ නාමයෙන් එබඳු හිතරිදවීමක් කිරීමට ඔහු පෙළඹෙන්නේ නැත. ඒ නිසාම ඔහු විශාල ආත්ම පරිත්‍යාගයක් කරයි. එනම් නිහඬව සිටීමයි. ඒ විසඳුම ද ගණිතමය විසඳුමක් වීම නිසා රසිකයා ලබන ආස්වාදය ප්‍රබල ය.

”සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලට ම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා”

මේ තරුණයා බොළඳ ප්‍රේමය වුවද අවබෝධයෙන් විඳින්නකු බව පැහැදිලි වෙයි. ත්‍රිකෝණයක් නම් සමච්ඡේදනය කොට දෙපසට සමබර ව බෙදා දැක්විය හැකිය. එහෙත් ආදරය බෙදා දිය නොහැකිය. බෙදිය හැකි වුණත් සම සම ව බෙදිය නොහැකි ය. මේ ආදරය ද එසේ බෙදන්නට හැකි ය. එහෙත් එය සමබර නොවන බව ඔහු දනී. තමා අසල නිතර ගැවසෙන එක පන්තියේ එකට ඉගෙනගන්නා මේ යුවතියන්ට එබඳු චපල ආදරයක් පිදීමට ඔහු සූදානම් නැත. ඒ නිසා හිතවත්කම් පළුදු කරගැනීම වෙනුවට මේ ආකාරයෙන්ම පැවැතීම වඩා යහපත් බව ඔහුගේ නිගමනයයි.

”අපි තුන් මුල්ලට ම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා”

නිර්මාණය ආරම්භයේ දක්නට ලැබුණු හාත්ස්‍ය රසය මැකී ගොස් ශෝකී රසයක් ගීය අවසානයේ දී ශ්‍රාවකයා අතර ඉතිරි වේ.

ත්‍රිකෝණ ප්‍රේම ගැන අපි ඕන තරම් ගීත අහලා තියෙනවා. ඒත් කාට ද පුළුවන් ගණිතමය විදියකට ඒ ගැන හිතලා ගී පද රචනාවක් ලියන්න? එහෙම නිර්මාණ ලෝකයේ තියෙනවද? ඔව්!!! වාසනාවකට අපේ රටේ එවැනි ජනප්‍රිය ගීතයක් තියෙනවා. ඒ මේ ගීතය. මේක ලියවුණු ආකාරය හරිම රසවත්.

1970 දශකයේ මුල් කාලයේ දී දවසක් සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් යනවා ගුවන් විදුලි සංස්ථාවට. ඒ ගිය විට එතුමාට මුණ ගැහෙනවා දයාරත්න රණතුංගයන්. ඒ වෙලාවේ දී එතුමා වීරසිංහයන්ගෙන් ඉල්ලීමක් කරනවා ගීතයක් රචනා කර දෙන මෙන්. ඉතින් සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් දන්නවා දයාරත්න රණතුංගයන් ගණිත විෂයට ඉතාම කැමති කෙනෙක් බව. ගෙදරට ඇවිත් කල්පනා කරනවා කොහොමද එවැනි ගීතයක් ලියන්නේ කියලා. මොකද්ද මේකට නිමිත්ත කරගන්නේ කියලා.

ඔහොම කල්පනා කරනකොට එතුමා දැක්කා එතුමාගේ නංගීගෙන් ගණිතය ඉගෙන ගන්න එන පුංචි දැරිවියක්, කඩදාසියක ත්‍රිකෝණයක් ඇඳලා එහි මැද තමන්ගේ නම ලියලා තියෙනවා. එක්වරම එතුමාට කල්පනා වෙනවා මේක ත්‍රිකෝණ ප්‍රේමයකට ඈඳලා ලිව්වොත් අපූරුයි නේද කියලා. ඒ නිසා දයාරත්න රණතුංගයන් වඩාත් කැමති ගණිතමය සංකල්පයකුත් ඔබ්බවා මේ ගීතය එතුමා අතින් රචනා වෙනවා. එතුමා පවසන පරිදි ලෝකයේම ජ්‍යාමිතිය සම්බන්ධ කරගෙන තැනුණු එකම ගීතය මෙයයි.

ගීතය අතිශයින්ම ජනප්‍රිය වෙනකොට සමහරු සමන් චන්ද්‍රනාත් මහතාගෙන් අහලා තියෙනවලු ගීතයේ එන අත්දැකීම එතුමාගේ ම ද කියලා. ඒවගේම ගීතය පටිගත කරනවිට තවත් අපූරු දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි මර්වින් ප්‍රියන්ත කියන දක්ෂ සංගීත ශිල්පියා මවුත් ඕගනය (Harmonica) නම් සංගීත භාණ්ඩය ප්‍රථම වරට ගීතයක් සඳහා වාදනය කිරීමයි.


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...