Monday, July 6, 2020

ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න...

ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න..
සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා..
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා...
මගෙ රන්කඳට මම ආදරෙයි...//

ඔබ නොදැක බැරුවා..
ඔබ නැතිව බැරුවා..//
මඟ සොය සොයා - මුව සල සලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

ඔබ එන්න...

මම පෙරුම් පිරුවා..
ඔබ එතැයි සිතුවා..//
මඟ බල බලා - නෙතු දව දවා
රත්තරන් මං මග බලා සිටියා...

ඔබ එන්න...

ගායනය - මොරිස් බානි විජේසිංහ 
පදරචනය - උපුල් ශාන්ත සන්නස්ගල 

බම්බලපිටියේ සාන්ත පීතර විද්‍යාලයේ පාසල් ගීතය ගැයූ පසළොස් හැවිරිදි ළමයෙකු උච්ච ස්වරයෙන් අනික් සිසුන් අබිබවා ගී ගයනු පාසලේ සංගීතය හා සිංහල භාෂාව ඉගැන්වූ මර්සලීන් ජයකොඩි පියතුමා වීමසිල්ලෙන් බලා සිටියේය. මේ ළමයාගේ විශේෂ ගායනා කුසලතා පියතුමා හඳුනාගත්තේ දෙහිවල සාන්ත මේරිස් දේවස්ථානයේ ගීතිකා කියන අවස්ථාවේදීය. 

ඉංග්‍රීසි ගීත ගැයූ මේ ළමයාට සිංහල ගීත ගැන උනන්දුවක් ඇති කිරීමට මුල් වූයේද ජයකොඩි පියතුමාය. සුනිල් සාන්ත හා සී.ටී. ප්‍රනාන්දුගේ ගීත කෙරෙහි බානි නම් මේ ළමයා දැඩි ලෙස උනන්දු වූයේය. ඔහුට හිමිව තිබුණේ ඔහුම කියන පරිදි දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කළ කටහඬක්ය. 

“කවුද මෙ බානි” 

මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ නම් චිත්‍රපට පසුබිම් ගායකයකු විවිධ යුරෝපීය භාෂා කිහිපයකින් තරු පහේ හෝටල්වල ගී ගැයූ ගායකයකු ගිටාර් වාදකයකු ලෙස විදේශිකයන් පුන පුනා අගය කළ සම්මානනීය ගායකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනුණේ අසූව දශකයේදීය. ඔහු කලා ක්ෂේත්‍රයට එක්වෙන්නේ තම පෙළපත් නාමයව තිබූ තමාගේත් කැමැතිම නම ව බානි නාමයත් සහිත මොරිස් බානි විජේසිංහ නමිනි. 1941 ඔක්තෝබර් 16 වැනිදා ගල්කිස්සේ උපත ලැබූ ඔහු හත් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ ශාන්ත පීටර්ස් විද්‍යාලයෙනි. 

“මම පුංචි කාලේ ඉඳලම සංගීතයට ආසා කළා. බටහිර සංගීතය ඇතුළත් ගී තැටි ඇහැව්වා. ඒ විතරක් නෙවෙයි. ස්පාඤ්ඤ ඉතාලි ප්‍රංශ ගීත අහලා ඒවා අනුකරණය කළා. පාසලේ දී මගේ හොඳම පන්ති මිත්‍රයා වූ නිහාල් ෆොන්සේකා සමග විද්‍යාලයේ ඔපෙරා සංගමයට බැඳී කටහඬ ගැන අභ්‍යාස කළා. අද මගේ මිත්‍රයා ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝවලයි. ජයකොඩි පියතුමා අපට අපේකම අපේ සංස්කෘතිය දේශීය සංගීතය ගැන උනන්දුව ඇති කළා. බටහිරටම හුරුව තිබූ ගායන ශෛලියට සිංහලකම ඇති කළේ ජයකොඩි පියතුමා. සිංහල ජනකවිය, වන්නම, ජන ගීය ගැන දැනගත්තේ මේ පියතුමාගෙන් මොරිස් කීවේය. 

මොරිස්ගේ ගායන ශෛලිය ඇලුම් කළ අපූරු සහෘදයෙක් සිටියේය. ඔහු රන්ජිත් ලාල් සිල්වා ය. රන්ජිත් ලාල් නමින් චිත්‍රපට ලෝකය හඳුනාගත්තේ 1969 ආනන්ද විද්‍යාලයේ ඉගෙනීම ලබන කාලයේදී තම මිතුරන් සමග එක්ව නිම්වළල්ල වෘත්තාන්ත චිත්‍රපටය නිර්මාණය කළ තරුණයාවය. නිම්වළල්ල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයාය. රන්ජිත් ලාල් මොරිස්ගේ හඬ ගැන අතිශයින්ම පැහැදී සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ට මොරිස් හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලය වූයේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ඉන්දුට මල් මිටක් චිත්‍රපටයේ තේමා ගීතය ගැයීමට අවස්ථාව ලබා දුන්නේ කේමදාස මාස්ටර්ය. මේ ගීතය රචනය කළේ ධර්මසිරි ගමගේය. 

මා දෙනෙතේ රසඳුන් කඳුලක් පවතිවා ඒ සිහිනේ අවසන් නොවෙමින් පවතීවා. 

පෙරදා අඳුරින් සුළඟින් පාවීලා 
සැමදා සුවදුක් දැහැනින් මුදවාලා 
මධු මී සිතකින් පැතුමන් පුරවාලා 
ඔබ මා සිටියේ සිහිනෙන් තනී වීලා 
ඔබ පෑ සඳුවන් කුලුණින් නැහැවීලා 
දුටුවේ පෙරුමන් පුරමින් සැනහීලා 
රැඳුනේ නිවමින් සැණෙකින් ගිලිහීලා 
ඔබ මා දුටුවේ සිහිනෙන් තනිවීලා 

ඉන්පසු කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කළ පාර දිගේ, හංස විලක්, සප්ත කන්‍යා, සිව්රඟසේනා චිත්‍රපට වල ගීත ගැයූ මොරිස් වෙස් මුහුණු, දෑකැති මුවහත, නෑදෑයෝ ටෙලි නාට්‍යවල ගී ගැයීය. නෑදෑයෝ ටෙලි නාට්‍යයේ ඔහු ගිටාරය වයමින් රඟපෑවේය. 

මොරිස් විජේසිංහ ගී ගැයූ කැසට් පට ගීතයක් තුළින් යළි ඉපදුනේය. මේ ගීතය රචනා කළේ උපුල් ශාන්ත සන්නස්ගල විසිනි. සංගීත නිර්මාණය නවරත්න ගමගේ ගෙනි. 

මේ ගීතය විද්‍යුත් මාධ්‍යවලින් අතිශයින්ම ජනප්‍රිය විය. ඒ ගැන සංගීතවේදී නවරත්න ගමගේ පවසන්නේ මේ කතාවය. “1983 වසරේ මම ප්‍රසිද්ධ හෝටල්වල කැලිප්සෝ ගායකයෙක්. මඩකළපුවේ පාසිකුඩා වල මමත් රංජිත් පෙරේරා ටයිටස් කියන තුන් දෙනා සින්දු කියනවා. අපේ කණ්ඩායමේ ගැඹුරු අසමාන කටහඬක් තිබුණේ රංජිත්ට. මම දවසක් ඇහැව්වා. රංජිත් ඔයා ඔය විදිහට සින්දු කියන්න ට්‍රේනිං වුණේ කොහොමද කියලා. 

රංජිත් කිව්වා ගලිකිස්සේ ඉන්නවා මොරිස් විජේසිංහ කියලා සිඟර් කෙනෙක්. එයාගෙන් මම කටහඬ ට්‍රේනිං කර ගත්තා. ගෝලයා මෙහෙම නං ගුරා කොහොම හිටියිද කියලා මම හිතුවා. ඔය කාලේ උපුල් ශාන්ත සන්නස්ගල සින්දු කැසට් එකක් කරන්න සැලසුම් කළා.”

“මේක කියන්න ගන්නේ කවුද” කියලා උපුල් ශාන්ත මගෙන් ඇහුව්වා. 

“මචං මේකට ගැළපෙන අලුත් කට හඬක් තියෙනවා. මම මිනිහව දැකලවත් නැහැ. අපි සින්දුව හදා ගෙන එයාව හමුවෙමු” 

“උඹ කැමැති නම් මට කමක් නැහැ ඉල්ලන ගාණක් දෙමු.” 

අපි ගල්කිස්සේ මොරිස් සොයා ගෙන ගියා. අපි ඔහුට ගීත අහන්න සැලැස්සුවා. එයා සින්දුවටත් තාලයටත් කැමැති වුණා. 

“මොරිස් කොහොමද ඔයාගේ අය කිරීම්. 

“මම සල්ලි පිටිපස්සේ යන කෙනෙක් නෙවෙයි. අපි මේ ගීතය හොඳට කියමු” මොරිස් කිව්වා. 

මේ ආකාරයෙන් මොරිස් ගැයූ ‘ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න” ගීතය ජනප්‍රිය වූයේ ඔය ආකාරයෙනි. 

(ලංකාදීප)


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...