Monday, July 6, 2020

සිකුරුලියා...

කොමල ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා 
සියුමැලියා සිකුරුලියා 

ගත සීතල පහස ලබා 
ළැම රන්වන් සුවඳ සොබා 
නිමවෙයි රොන් ලැබුව මෙමා 
සිකුරුලියා 
මාව දමා යන්න ගියා සිකුරුලියා 

කොමල ලියා...

නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ 
සිකුරුලියා 
මාව දමා යන්න ගියා සිකුරුලියා 

කොමල ලියා... 

ආදරයෙන් ඔබ හින්දා 
මා මනසින් දුක් වින්දා 
පාළුව ළඟ මා රන්දා
සිකුරුලියා 
මාව දමා යන්න ගියා සිකුරු ලියා

කොමල ලියා... 

ගායනය-ජේ.ඒ.මිල්ටන් පෙරේරා
පද රචනය-ධර්මසිරි ගමගේ
තනුව-ක්ලැරන්ස් විජේවර්ධන

"උම්මග්ග ජාතකයේ" එන "දික්තල කාලගෝල" ප්‍රශ්නය ඇසුරින්, එයට නව ආරක් එකතු කරමින් එච්. ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කල සිකුරුලියා චිත්‍රපටියට ඇතුළත් වූ මේ ගීතය අපි කවුරුත් ඉතාම ආදරයෙන් වැළඳගත්ත ගීතයක්.

මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කල "ක්ලැරන්ස් විජේවර්ධන" මහතාගේ යෝජනාවකට අනුව තමයි "මිල්ටන් පෙරේරා" මහතා ගිතය ගායනා කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. එයට හේතුව තමා මිල්ටන් පෙරේරා මහතාගේ හඬ ස්වාභාවයෙන්ම දුක්බර හඬක් වීම. ඉතින් ඒ හඬ මේ ගීතයේ තේමාවට ඒක හරි අපූරුවට ගැලපිලා තියෙනවා.

ගීතය පටිගත කරපු අවස්ථාවත් හරිම අපූරුයි. මුල දී ගීතයක් සාමාන්‍යයෙන් පුහුණුවීමක් (Rehearsal) කරලා ඉවර කරලානේ ගීතය ඇත්තටම පටිගත කරන්නේ. නමුත් පුහුණුවීම කරද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්, මේ චිත්‍රපටියේ ගීතවල ශබ්ද පරිපාලක හැටියට කටයුතු කරපු "මර්වින් රොඩ්‍රිගෝ" මහතාට කියලා තියෙනවා පුහුණුවීමත් පටිගත කරගන්න කියලා. ඊට පස්සේ ඇත්තටම චිත්‍රපටියේ යොදන ගීතය විදියට එහෙම නැත්තන් Take එක විදියට පටිගත කලාලු. අහලා බලනකොට දෙකම එකවගේ. ඒ කියන්නේ, මිල්ටන් පෙරේරා මහතා කිසිම වැරදීමකින් තොරව දෙපාරම හරියට ගායනා කරලා තියෙනවා. නමුත් චිත්‍රපටියේ රූප රාමුවලට එහෙම නැත්නම් අපි මේ දකින දර්ශනයට යොදලා තියෙන්නේ, පුහුණුවීමේ දී ගත්ත රෙකෝඩින් එක. (Rehearsal Recording). ඉතින් බලන්න ඒකෙන්ම පේනවා නේද මිල්ටන් පෙරේරා මහතා කොච්චර දක්ෂයෙක් ද කියලා?

මේක රචනා කලේ ධර්මසිරි ගමගේ මහතා අතින්. ඒක ඇත්තටම මාත්‍රා 12 වසන්ත විරිතේ එන දරු නැළවිලි ගීතයක් ආකාරයෙන් තමා රචනා වෙලා තියෙන්නේ. වචන ටික දිහා බැලුවාම ඒක ඔබට පේනවා ඇති. නමුත් ක්ලැරන්ස් විජේවර්ධනයන් කවි ස්වරූපයෙන් තියෙන ඒ පදමාලාව, පේලි තුනෙන් තුනට කඩලා ඒ අතර මැද්දට "සිකුරුලියා" කියන වචනය Chorus එක වගේ යොදාගෙන තියෙනවා. ඒ නිසා කවි ස්වරූපය යටගිහින් ගීතවත් ස්වභාවය ඇවිල්ලා ඇවිත් තියෙනවා.

ජොනී බාලසූරිය චරිතය රඟ පෑ බන්දුල ගලගෙදර මහතාගේ  සම්පූර්ණ නම "බන්දුල උබයරත්න ගලගෙදරයි. උස අඩි 4 අඟල් 5යි. හැබැයි පවුලේ 6 දෙනෙක් අතරින් එතුමා විතරයි මිටි. අනික් ඔක්කෝම සාමාන්‍ය ශරීර ස්වභාවයෙන් ඉන්නේ. කැලණියේ හිඹුටුවැල්ගොඩ ගමේ උපන් එතුමා අකුරු කළේ "ධර්මාලෝක විද්‍යාලයේයි" සුනිල් එදිරිසිංහ මහතාත් එතුමා සමඟ එක බංකුවේ වාඩි වී සිටි සගයෙක්. සුනිල් එදිරිසිංහයන් කෙදිනක හෝ දක්ෂ ගායකයකු වේ යයි කියා සංගීත ගුරුතුමා අනාවැකි පළ කරද්දී බන්දුල මහතාගේ සිතෙත් කවදාහරි නළුවකු වීමේ සිහිනය රජ කරලා තියෙනවා. ඒ සඳහා එතුමාට වේදිකාව සාදා දී ඇත්තේද පාසලයි. පාසලේ කාලගෝල නාට්‍යයේ කාලගෝලට රඟපාලා හොඳම නළුවා ලෙසින් සම්මාන ලබා තිබෙනවා. එච්. ඩී. ප්‍රේමරත්න නම් ශූර අධ්‍යක්ෂවරයාට එතුමාව හඳුනාගන්නට ලැබුණාට පසු ඔහු එතුමාව රූගත කරන තැන්වලට කැඳවා ගෙන ගිහින් අත්දැකීම් ලබා දීලා තිබෙනවා. ‘සිකුරුලියා’ සිනමා පටයේ ජොනී බාලසූරිය චරිතය ලැබී තිබෙන්නේ ඉන් පසුවයි. අත්දැකීම් වලින් පිරිපුන් සෙසු ප්‍රධාන නළු නිළියන් නො මසුරුව එතුමාට සහය ලබා දීලා තියෙනවලු.

ක්ලැරන්ස් විජේවර්ධන යෙදූ තනුව මීට වඩා තීව්ර ලෙස ගැලපුණි. එම් කේ රොක්සාමි, මැතිව්, ස්ටැන්ලි පීරිස්, අපූරු සුසංයෝගයක් එක්කරමින් මේ ගීය ගීත මාදූර්යයෙන් ඹපවත් කරවීය. කැලනිය සරසවි ශබ්ධාගාරය ඊට මනා ලෙස ගැලපුනි..

උම්මග්ග ජාතකයේ එක් කතාවක ලකුණ්ටකයෙක් රූමත් කාන්තාවකට කල ආදරයක් පිලිබද දැක්වේ.චිත්‍රපටිය දිවෙන්න එම තේමාව තුලයි. මෙම ගීතය තුලද රචකයා ජනිත කරන්නේ ලකුණ්ටකයා එම තරුනියට සිතින් කරන ආදරය පිලිබදවයි.
මුල් පද පේලි තුලින් ගේය පද රචකයා විසින් චිත්‍රපටයේ කථාකායකයාගේ එනම් ප්‍රධාන චරිතයේ චිත්ත සන්තානයේ නැගෙන වියෝගය හෙවත් විප්‍රලම්භ ශෘංගාරය විශය කරයි.
ගීතයක තිබිය යුතු මූලිකාංග සුමට ලෙස යොදාගෙන තිබේ..ඉන් නොනැවතී හැඟිම් උද්දීපනය වන ලෙස වචන භාවිතාකර තිබේ.

කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා

දෙවැනි පද පේලි තුලින් තරුණයා ඇය සමඟ ඇසුරක් පැවත්වු බව නීරුපණය කරත් චිත්‍රපටියට අනුව මෙය ඔහුගෙ සිතේ හට ගන්නා වු චිත්ත රුපයක් හෙවත් මවා ගැනිමක් පමණයි. ගත උණුසුම්ය එය සීතලක් වනුයේ ලමැදින් හමනා සුවඳ සොබාවය මුසුවීමෙනි…එහෙව් ලමැදින් ලද ආශ්වාදය මතක් කරමින් හැර දමා ගිය තරුණිය පිළිඹඳව සිහිපත් කිරීමක්ම වෙයි.

ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

ප්‍රේමය යනු විටෙක සැනසුමකි විටක වේදනාවකි..ප්‍රේමය සිරුරට වඩා මනසට කරන බලපෑම අතිමහත්ය. මෙම පද කිහිපයෙන් තරුණිය කෙරෙහි පවතින බලවත් අවශ්‍යතාවය හා ආදරය පෙන්නුම් කරයි. අවසානේදි ඔහු ඇය වෙනුවෙන් විදි වේදනාව ඔස්සේ වියොගය තිව්‍ර කරයි.

ආදරයෙන් ඔබ හින්දා
මා මනසෙන් දුක් වින්ඳා
පාලුව ලඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා

මෙම ගීතයේ පවතින විශේෂත්වය වනුයේ චිත්‍රපටියේ තෙමාවට මනාව උචිත වන ලෙස නිමවා තිබිමත් චිත්‍රපටියෙන් පරිබාහිරව විශිෂ්ට විරහ ගීයක් ලෙස අකාලිකව වින්දනය කල හැකි වීමත්ය.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...