Monday, July 6, 2020

නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ ...

නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න පුිය ළදේ......
නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ.....

මියුරු තෙපුල් පවසා මා හද සනසනු මැනේ
සිරිකත මෙන් මගෙ පැළ තුළ
රැදෙන්න පියබදේ.....
සිත සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ
ඔබේ හදට ආලෝකය දෙන්නෙමි හැම වෙලේ.....

නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න පුිය ළදේ......
නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ.....

දිවිය සුවඳ මලින් පිරුණු සුව යහනක් නොවේ
හිරිහැර මැද කඳුළ සුසුම
ඇතිවිය හැක ලොවේ......
ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ
පැමිණෙන දුක සැප එක ලෙස
විඳගමි ජීවිතේ.......

නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න පුිය ළදේ......
නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ.....

ගායනය - රුක්මණී දේවී, ෆීලික්ස් ඇන්ටන් 
පදරචනය - ලීනස් මෙන්ඩිස් පියතුමා 
සංගීතය - ස්ටැන්ලි පීරිස් 

ලීනස් මෙන්ඩිස් පියතුමා එකදවසක් මාව මුණගැහිලා කිව්වා තවත් ගීත දෙකක් රචනා කරලා තියෙනවා එයින් එක ගීතයක් රුක්මණී දේවිය සමග ගායනා කරන්න ඕනැයි කියලා. එහෙම කිව්වම මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා. ඒ වගේ මහා ගායිකාවක් එක්ක මං වගේ ගායක බට්ටෙක් කොහොම සිංදුවක් කියන්නද කියලා.

කොහොම හරි හිත හදාගෙන ගියා එතුමිය මුණගැහෙන්න. ඒ දවස්වල එතුමිය නතරවෙලා හිටියේ දෙහිවල ඇගේ හෙලන් නංගිලාගෙ ගෙදර. එතුමිය අපි ඉදිරියට එන්න පැයක විතර කාලයක් ගතවුනා. ඇඳගෙන ආවේ රෙද්දයි හැට්ටයයි. මට තේරුණා හැඩවැඩ වෙන්න කාලය ගතවුනා කියලා. ඉතින් කියමුකෝ ළමයෝ ආපු කාරණය. එතුමිය මට කතා කළේ ඒ විදියට.

කිසිම පැකිලීමක් නැතුව මා සමග ගීතය ගයන්න එකඟත්වය පළ කළාම මම ගියා ගීතයට සංගීතය නිර්මාණය කර ගන්න ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා මුණගැහෙන්න. ඒ වෙනකොට ස්ටැන්ලි පීරිස් මහත්මයා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආර්ට් මාස්ටර්. මේ 1978 වර්ෂයේ. මේ ගීතය සාන්ත අන්තෝනි විද්‍යාලයේදී පුහුණුවෙනකොට අවුරුදු 16 ක විතර පොඩිකොල්ලෙක් තමයි පියානෝව වාදනය කළේ. මේ ගීතය පටිගත කරන දවසේදීත් මේ පොඩි කොල්ලා පියනෝව වාදනය කළා. පසුව මට දැනගන්නට ලැබුණා ඒ පොඩි කොල්ලා තමයි රූකාන්ත ගුණතිලක බව. ඉතින් එදා රුක්මණී දේවිය සමඟ මම ගැයූ ගීතය තමයි. ‘‘නිලම්බරේ කැලූම් පිරී සරා සඳවගේ...’’ අනිත් ගීතය ඇය ගායනා කළේ මිල්ටන් මල්ලව ආරච්චි. එක්ක ඒ තමයි ‘‘පෙම් රජ දහනේ අහස් මාළිගා...’’

ඉතින් නිලම්බරේ කැලූම් පිරී සරා සඳ වගේ ගීතය මට වාසනාව ගෙනාව නිසා ප‍්‍රසංග වේදිකාවේදී මේ ගීතය ඇය සමග ගායනා කරන්න මම ලොකු සිහිනයක් මවා ගෙන හිටියා. ඒත් ඒ වාසනාව උදාවෙන්නත් ඉස්සර මේ නිහතමානී රත්තරං ගායිකාව හදිසි අනතුරකින් අපෙන් වෙන්වෙලා ගියා.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...