Monday, July 6, 2020

උම්බෑ කිය කියා මරණ බයේ ...

උම්බෑ කිය කියා මරණ බයේ //
කිරි ටික මුලදි බොයි
පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි
මේ එළදෙන අසයි
උම්බෑ කිය කියා මරණ බයේ //

බැරි බර පටවලා - කෙවිටෙන් තල තලා
කුර ගෙවෙනා තුරා - මැරෙනා තෙක් දිරා
රෑ දාවල් උදේ - විඳ විඳ දහ වදේ
නිරයේ දුක දකී - දරු පවුලම රකී
අන්තිමෙ මේ ගොනා -මස් කර විකුණනා
කඩයට පවරනා - මිනිසයි තිරිසනා
කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ

උම්බෑ කිය කියා මරණ බයේ //

දරුවට මව නැති - දෙවරුවෙ කිරි දෙති
ගොමටික පොහොර වෙයි - ගොඩ මඩ සරුකෙරෙයි
මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති
මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති
කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ

උම්බෑ කිය කියා මරණ බයේ //

ගායනය - මිල්ටන් පෙරේරා 
පදරචනය - කරුණාරත්න අබේසේකර 
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල 

හතර මහා නිධානය චිත්‍රපටියේ ගීතයක් ගැයීමට ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාට නියමිතව තිබුණා. ඒ සඳහා පටිගත කිරීමට ගිය මිල්ටන් පෙරේරා මහතා, චිත්‍රපටියේ අධ්‍යක්ෂ එල්. එම්. පෙරේරා මහතාට සහ චිත්‍රපටියේ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ට මෙසේ පවසා ඇත. "එල්. එම්. උඹත් හරක් මස් කන්නේ නැහැ. මමත් හරක් මස් කන්නේ නැහැ. කරු අයියාත් හරක් මස් කන්නේ නැහැනේ. අපි මේ ගැන සින්දුවක් මේ චිත්‍රපටියට බලෙන් හරි වගේ දාමු".

ඒ අදහස අනුමත කල සියලූ දෙනා මිල්ටන් පෙරේරා මහතාට නියමිත ව තිබූ ගීතය වෙනත් ගායන ශිල්පියෙකුට ලබා දීමට තීරණය කලා. මේ කතා බහ යන අතරවාරයේ ඒ අසල දෙමළ සයිවර් කඩයක ගුවන් විදුලියෙන්, දෙමළ විකට චිත්‍රපටියක වේග රිද්ම ගීතයක් ප්‍රචාරය වී තිබෙනවා. ඒ අනුව මේ ගීතයේ පද රචනාව කරුණාරත්න අබේසේකරයන් අතින් ලියවී තිබෙනවා. චිත්‍රපටියේ මේ ගීතය නැරඹූ බොහෝ දෙනා ඉන්පසු ගවමස් කෑම අතහැරිය බවත් දැනගන්නට ලැබී තිබෙනවා.

අනික මේ ගීතයේ එක්තරා විශේෂ තැනකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. "ගොමටික පොහොර වෙයි - ගොඩ මඩ සරුකෙරෙයි" කියන පේලි දෙකට පසු රබන් වාදනය කරන දර්ශනයක් ඔබට දකින්නට ලැබෙනවා. එය හරක් හම රබානට යොදාගැනීම පිළිබඳව අපට දෙන අපූරු සංකේතාත්මක දර්ශනයක්. සිංහල අවුරුදු කාලෙට රබන් ගැහුවත් ඒත් පහරදෙන්නේ, හරක් හමට බව අපිට ගීතයෙන් කියන්නේ, "මැරුණත් නොනවතියි - හමට ද බැටදෙති"යන්න දෙවරක්ම ගැයිමෙන්. මෙම රබන් වාදනය කරන දර්ශනයේ පසුබිම් හඬ වාදනය කර ඇත්තේ, අපේ රටේ ප්‍රවීණ ගායකයෙක් සහ මුල් කාලයේ තබ්ලා වාදකයෙක් වූ ටී. ෂෙල්ටන් පෙරේරා මහතායි. එතුමා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ විශාරද උපාධිය ලබා ලංකාවට පැමිණි පසු චිත්‍රපටියක පසුබිම් වාදනයට එක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. එතුමා එම රබන් කොටස වාදනය කර ඇත්තේ තබ්ලාවේ බායාවෙන් බව තම පියා තමාට පවසා ඇති බව මිල්ටන් පෙරේරාගේ පුත් ප්‍රියංකර පෙරේරා මහතා වරක් රූපවාහිනී වැඩසටහනක දී ප්‍රකාශ කලා.

මේ ගීතයේ රූප රාමුවලට පෙනී සිටින්නේ, සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ආදරණීය පියානන් වන අප අතරින් වෙන්වූ ප්‍රවීණ නළු ස්ටැන්ලි පෙරේරා මහතායි. එතුමාගේ ආදරණීය බිරිඳ, එනම් සබීතා පෙරේරා මහත්මියගේ මව වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය ද මේ චිත්‍රපටියේ චරිතයක් නිරූපණය කලා.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...