Monday, July 6, 2020

ගලන ගඟකි ජීවිතේ ...

ගලන ගඟකි ජීවිතේ 
දයා ලූ ලෝකයේ...
මිහිර පතා ආදරේ 
ළපලු නටයි ගංතෙරේ...... 

ගලන ගඟකි ජීවිතේ 
දයා ලූ ලෝකයේ.... 

වැලි තල කිති කවන නටන
පෙම් රළ වැල ඉවුරු බදන 
මිහි තලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැළැවෙන... 

පෙමට පෙම පුදා 
තුඬට තුඬු දි දී... 
කුරුළු ගී නඟයි.. 
ආදරේ...
බැඳීලා..

ගායනය - නාරද දිසාසේකර/ නන්දා මාලිනී
පදරචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - පණ්ඩිත් අමරදේව
චිත්‍රපටය - රන්මුතු දූව (1962)

මේ ගීතය ලියවුණ හැටි හරිම දෛවෝපගතයි. ඇත්තටම රන්මුතු දූව චිත්‍රපටියට මුල දී මේ ගීතය රචනා වෙලා තිබුණේ නෑ. වෙනත් ගීතයක් තමා ලියවිලා තිබුණේ. අමරදේවයන් ඒකට තනුවක් යොදලා තිබුණත් ඒ ගීතය චිත්‍රපටියට ගැලපෙන්නේ නෑ කියලා සහාය අධ්‍යක්ෂණය කරපු තිස්ස ලියනසූරිය, නිෂ්පාදක ශේෂා පලිහක්කාර, අමරදේව මහත්වරුන්ට අවබෝධ වුණාලු.

පස්සේ ඒ ගැන කතාකරන්න ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මුණගැහෙන්න එතුමාගේ නිවසට ගියාලු රෑ 7 ට විතර. ඒ වෙනකොට මානවසිංහයන් ටිකක් මීවිත පානය කරලා හිටියේ. කාරණාව කියලා වෙනත් ගීතයක් රචනා කරලා දෙන්න බැරිද කියලා ඇහුවාම මානවසිංහයන් හා ප්‍රශ්නයක් නෑ හැබැයි මට මේක මෙහෙම ලියන්න බෑ මගේ සුන්දරියෝ ඉන්නවා අන්න අතන කියලා මිදුලේ තියෙන පොකුණ පෙන්නුවාලු. ඒ වටේ ඇති සුන්දරියන්ගේ ප්‍රතිමා එක්ක ඉඳගෙන වෙන්න ඇති එතුමා ලියන්න ඇත්තේ. පස්සේ එතැනට විදුලි ආලෝකය සපයලා අමරදේවයන් එක්ක එතැන වාඩිවෙලා ඔන්න පලවෙනි පද පේලිය ලියනවා. අමරදේවයන් අතේ ඒ වේලාවේ මැන්ඩලිනයත් තිබුණා. ඒකත් වාදනය කරන ගමන් ඒ සමගම තමයි මේ ගීතයේ තනුව නිර්මාණය වෙලා තිබුණේ. සාමාන්‍යයෙන් මානවසිංහයන් ගීත ලියනකොට කොණ්ඩෙ අවුල් කරගන්නවාලු. ගීතය ලියලා ඉවර වෙනකොට මුළු කොණ්ඩෙම කපුටු කූඩුවක් වගේ අවුල් වෙලා!!!!

අමරදේව , මානවසිංහ නිවසේය. ඉස්තෝප්පුවේ හාර්නිමෝයම් එක දෑතින් කිති කවන අමරදේවයන්, සර්පිනා උඩ පෙට්ටියේ තැබූ පදමාලාව දෙසද බලමින් මුමුණයි. මානවසිංහයන් ඇතැම් වචනයක් අමරදේවයන්ගේ උරහිසට උඩින් බලා වෙනස් කරන්නට කියයි. හිස සලා අමරදේවයන් ඒ වෙනස කරමින් ගයයි.
 
ඊළඟට දර්ශනය එවක කොල්ලූපිටියේ පිහිටා තිබූ සරසවි චිත‍්‍රාගාරයේ. අමරදේවයන් එක පසෙකය, උස තරුණ හාදයා සමඟ ගවොමක් හැඳි සිහින් සිරුරැති කුඩා නන්දා මාලිනිය කොළයක් බලා ගීය පුහුණු වෙයි. තේ බී පිරිස පැමිණෙන්නේ හඬ පටිගත කරන්නටයි. කුඩා ගායිකාව පෙනෙන්නට නැත. අමරදේව කලබල වෙයි. එළියට ගොස් ස්ටුඩියෝවේ මිදුලට එයි. කුඩා ගායිකාව ජෑම් ගසේ පහළ අත්තේ නැගී ජෑම් ගෙඩි කමින් සිටී. යළිත් චිත‍්‍රාගාරය ඇතුළට කැපේ. හරි වැඩකි. දැරි ගායිකාව මයික‍්‍රෆෝනයට උස නැත. අමරදේවයන්ගේ උපදෙස් මත පෙට්ටියක් තබා ගායිකාවගේ මුව මයික‍්‍රෆෝනයට සම කෙරෙයි. ගායිකා රිදී සීනු හඬින් මැදිරිය දෙවනත් වෙයි. අමරදේව දෑස් සතුටින් නළියයි. 

ගලන ගඟකි අරුත විශ්වීය එකකි. ජීවිතය ගලා යන ගංගාවකි. දයාව පිරීතිරී ගිය ලෝකයේ ආලයේ ඉමිහිර පතා එගං තෙරේම ළපළු නටයි. වැලි තල හංකිතියට පෙම් රළ වැල් ඉවුරු බඳන මේ ආදරයට මිහිතලය සුවපත් වෙයි. තුඩට තුඩු දෙමින්, පේ‍්‍රමය මේ යයි කියමින් කුරුළු ගී නැගෙයි. මේ වූ කලී හුදු පේ‍්‍රම ගීතයක් නොවේය. සොබා සොඳුර දැඩිව වැළඳගත්, ලතෙත් බව පිරුණු හදවතක, සරාගය මුසු රමණීය පේ‍්‍රමාන්විත බවක වාන් දැමීමෙකි.
 
මානවසිංහ යනු පැවිදි ජීවිතයක්ද ගත කළ (පුවක්දණ්ඩාවේ ශ‍්‍රී චන්ද්‍රරතන තෙර* වෙසෙස් චරිතයකි. එබැවින් ඒ කවි සිතට ගලා එන පරිනත වාග් මාලා, සාහිත්‍ය ධාරා, දිවි යථාර්ථ සුවිශේෂීය. ඒ ගැඹුර වෙනත් රචකයින්ගෙන් ඒ ආකාරයෙන් දැක ගත නොහැකි වන්නේ ඒ සුවිසෙස් බව නිසාය.
 
ගලන ගඟකි ජීවිතේ ගීතය මහා පුදුම වාසනාවන්ත ගීයකි. එයින් නන්දා මාලනී නම් විශිෂ්ට ගායිකා දියමන්තිය ශ‍්‍රී ලංකාවට දායාද විනි. ඈ ගැයූ පළමු චිත්‍රපට ගීයෙන්. 1964 ප්‍රථම සරසවි සම්මාන උළෙලේ දී නන්දා මාලිනි මහත්මියත් නාරද දිසාසේකරයනුත් මේ ගිතය වෙනුවෙන් හොඳම චිත්‍රපට පසුබිම් ගායනාව සඳහා සම්මාන දෙකම දිනාගත්තා. එසේම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයනුත් හොඳම ගී පද රචකයා ලෙසත් සම්මානයට පාත්‍ර වූවා.


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...