Monday, July 6, 2020

සෙව්වන්දියකට පෙම් බැන්දා...

සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා
නටු අග කටු මත කටුක බව දැනී
හදවත පාරයි වේදනා// 

නව යෞවන හද පෙම් උයනේ
දහසක් මල් මට හිනැහෙනවා
මටම නොතේරෙන කරුණක් වේ
සෙව්වන්දියටම සිත යනවා

රුව ලස්සන නෙත් දෙකට පෙනේ
සුවඳක් නැහැයට ලංවෙනවා
එනමුදු කටු අග විෂ මතුවේ
සෙව්වන්දිය හිත රිදවනවා

ගායනය - පුන්සිරි සොයිසා 
පදරචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ 
සංගීතය - ආර්.චන්ද්‍රසේකර

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් රචනා කළ, මේ පද රචනාව සිය මෝහනීය හඬින් ගායනා කරන්නේ පුන්සිරි සොයිසා විසින්. සංගීතවත් කරන්නේ ආර්.චන්ද්‍රසේකරයන්. 
සමන් චන්ද්‍රනාත් මේ පද රචනාව කරන්නට පෙළඹෙන්නේ තම පාසැල් මිතුරෙකුගේ සත්‍ය ජීවන අත්දැකීමක් පාදක කරාගෙන. ඇත්තටම ඔහු තම පෙම්වතිය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියත්, පෙම්වතියගෙ යම්‍ යම් හැසිරීම් නිසා ඔහු ගොඩක් වේදනා විඳිනවා. 

මෙම පාසැල් මිතුරා බාලිකා පාසැලක ගෑණු ළමයෙක් එක්ක ආදර සම්බන්ධතාවක් පැවැත්වුවා. මේ සිද්ධිය මා හොඳින් දැනගෙන හිටියා. ඔහු අපේ ගෙදර ඇවිත් මේ සම්බන්ධව බොහෝ දේ කියන්න පුරුදු වී හිටියා. මේ ගෑණු ළමයා නිසා මගේ මිතුරා හුඟක් දුක් වින්දා. එක වෙලාවකට ඇය රණ්ඩු කරනවා. තවත් වෙලාවකට ආදරය කරනවා. ඊළඟට මගේ මිත්‍රයාව ගණන් ගන්නේ නැතිව ඉන්නවා. හරියටම කිව්වොත් ඔහුට මේ ගෑණු ළමයාව තේරුම් ගන්න හුඟක් අමාරු වුණා. 

කොහොම හරි එක දවසක මේ මිතුරා අපේ ගෙදර ආවේ හුඟක් ආවේගශීලිව. එහෙම ආපු ඔහු මගේ කාමරයට ඇවිත් අල්මාරියට පහර දෙමින් වේදනාව පිට කරන්න උත්සාහ ගත්තා. ඔන්න ඔය දවසේ තමයි මේ අදහස මගේ හිතට ඔහු දැම්මේ. හැබැයි සන්සුන් වුනාට පස්සේ. 

කොහොම වුණත් මා මෙයින් කියන්න අදහස් කළේ මගේ මිතුයාගේ හිතේ තෙරපෙන ප්‍රශ්නාවලියයි. කොයිතරම් හොඳ වුණත් සුවඳ වුණත් එහි කටු තිබෙනවා කියන දේ තුළින් මා කියන්නට උත්සාහ කළේ අර තරුණියගේ හැසිරීම ගැනයි. ඒ වගේම මගේ මිතුරාට ඇය කොයිතරම් නරක විදිහේ ප්‍රතිචාර දැක්වුවත් ඇයව අමතක කර දමන්න බැරි පරිසරයක ජීවත් වුණා. මෙන්න මේ දේ මම ගීතය තුළින් කතා කළා. 

සමන් චන්ද්‍රනාත් අතින් ලියවුන මේ ගීතය ඔහු එවකට ඉතා දක්ෂ සංගීතඥයෙකු වූ ආර්. චන්ද්‍රසේකරයන්ට ලබා දුන්නා. ඔහු ඉතා මිහිරි තනුවක් මේ වෙනුවෙන් නිර්මාණය කළාට පසුව තමයි පුන්සිරි සොයිසා එය ගායනා කළේ. පුන්සිරි තමන්ටම ආවේණික ශෛලියකින් මේ ගීතය ගැයීම නිසාත් ප්‍රේක්ෂකයින් ඊට යහපත් ප්‍රතිචාර දැක්වුවා. 

මේ පෙම්වතා පෙම්වතියට මුළු හදින්ම ආදරේ කරනවා. ඒ ආදරේ නිසාම ඔහු ඇයව සෙව්වන්දියකට උපමා කරනවා.ආශා දහසක් රස වින්දා කියන පදපෙළෙන් කෙනෙකුට ශෘංගාරාත්මක හැඟීම් ඉස්මතු වෙන්නත් පුළුවන්. ඒත් හැඟීයන්නේ, ඒ කෝඩුකාර පෙම්වතා තම පෙම්වතිය දැකුමින් ඔහුගෙ සිතේ ඇතිවුණු ප්‍රේමණීය හැඟුමන් මනසින් විඳ දරාගත් අන්දම තමයි මේ වදන් පෙළින් කියැවෙන්නේ. 

ඇයව දැකුමෙන් හදවත කොතෙක් ආස්වාදයෙන් පිරුණත්, ඒ හමුවන බොහෝ අවස්ථාවල වෙන්ව යන්නෙ සිත් රිදවගෙන. ඒ රිදුණු සිත වේදනා දෙනවා. ඒ වේදනාව පිළිබඳව තමයි "නටු අග කටු මත කටුක බව දැනී හදවත පාරයි වේදනා"කියන වදන් පෙළින් කියැවෙන්නේ. 

කොහොමත් යෞවනයේ පසුවන ඔහුට නව යෞවනියන්ගේ නෙතඟ බැලුම්වලින් අඩුවක් නැහැ. ඒත් ඒ එකදු බැල්මකින්වත් ඔහුගෙ සිත අවදි කරන්නට බැහැ. පෙම්වතියගෙ මතකය අමතක කරන්නත් බැහැ. එය පද රචකයා ප්‍රකාශ කරන්නේ "මටම නොතේරෙන කරුණක් වේ. සෙව්වන්දියටම හිත යනවා යනුවෙන්.

හිත පුරාම ඇදෙන්නෙ ඒ රුවේ ලස්සන. නහයට දැනෙන්නෙ ඒ සුසුමේ උණුසුම. ඉතින් කෙළෙසක නම් ඇයව අමතක කරන්නද? හැම සුසුමක් ගානේම ඒ සුවඳ තැවරිලා. ඒත් ඒ මතකයත් එක්කම ඔහුට සෙව්වන්දිය නෙළා ගන්නට බැරි බව සිහිපත් වෙනවා. ඒ නටු අග කටු මත තිබෙන විස මෙන් ඇයගෙ කටුක වදනින් රිදුණු සිත වේදනා දුන් අන්දම සිහිපත් වීමෙන්. 
ප්‍රේමයේ මන්දස්මිතය මත රැඳෙමින් ඒ මතකය තුළින් ජීවිතය සොයන සැබැවින්ම තම පෙම්වතියට සෙනෙහස දක්වන පෙම්වතෙකුගේ හදේ ජනිත වූ හැඟුමන් සමුදාය කියවෙන මේ ගීතය විරහවට ලොබ බඳින කාටත් සිය මතකය විවර කරවන්නට සමත්.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...