Monday, July 6, 2020

කඳුළු කතාවේ නිමක් දුටුව දා...

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා 
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් මැකී 
දෙගුරුන් මිතුරන්
සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනිවූයේ

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

සුසුමක පාකර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා 
ගෙවූ අතීතෙන්
අප සමුගන්නෙමු
අළුත් ලොවක රන් කිරුළු දරා

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - බුද්ධදාස ගලප්පත්ති
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

බොහෝ පෙම් කතාවලට කඳුළු උරුමයි. කොයි තරම් හොඳින් ඇසුරු කළත් ඇතැම් වෙලාවට අපට අනිත් පාර්ශවය  කරන කියන දේ නිසා කඳුළු සලන්න වෙනවා. ඒක අඩු වැඩි වෙන්නේ ඔවුනොවුන් තුල තිබෙන අන්‍යොන්‍ය අවබෝධයක් එක්කයි. වඩා හොඳ අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ඇසුරු කරන පෙම්වතුන් තුල විතරයි කඳුළු දකින්න ලැබෙන්නේ නැත්තේ. ඒත් එහෙම වෙලාවට ඔවුන් අඬන්නේ බාහිරින් එන ප්‍රශ්න නිසා. 

විශේෂයෙන් හොඳින් ගැලපෙන වඩා හොඳින් ආදරය කරන දෙදෙනෙකුට ඔවුනොවුන්ගේ ගෙවල්වල වැඩිහිටියන්ගෙන් සීමා බන්ධන ඇතිවෙන්න පටන් ගත්තොත් කොහොම වේවිද?. එතකොට ඔවුන්ගේ මුළු ආදර කතාවම කඳුළු කතාවක් වෙනවා.

ප්‍රවීණ ගීත රචකයකු වන බුද්ධදාස ගලප්පත්ති මහතාටත් එවැනි ගැටළුවක් තිබුණා මීට දශක තුනකට පමණ ඉහතදී. "ඒ කාලේ අපේ විවාහයටත් බාධා තිබුණා. නමුත් අපි දෙන්නා හිතාගත්තා මේ සියලු බාධක ජයගෙන විසඳාගෙන ඉදිරියට යනවා කියලා. අවසානයේ දී අපේ දෙමාපියන් අපට විවාහ වෙන්න අවසර දුන්නා. 

කොහොම හරි ඔය වකවානුවේම දවසක මහාචාර්ය සනත් නන්දසිරි මහතා වෙනුවෙන් මට අළුත් ගීතයක් ලියන්න අවස්ථාව ලැබුණා. මුල් කාලේ මම හුඟක් ගීත ලිව්වේ ඔහු වෙනුවෙන්. අන්න ඒ වෙලාවේ තමයි මම "කඳුළු කතාවේ" කියන ගීතය ඔහු වෙනුවෙන් ලිව්වේ.

ඇත්තටම මේ ගීතය මා අතින් ලියැවුනේ කොළඹින් පිට ගිහින් යළි එනවිට. කාලයක් පුරාවට තිබුණු සියලු බාධක ඉවත් වෙලා අපට විවාහ වෙන්න ලැබුණු සතුට මම මීට එකතු කළා. 

ගීතය සනත් නන්දසිරි මහතට දුන් පසු ඔහු දවසක් මට කිව්වා අමරදේව මහත්තයා අලුත් ගීත තැටියක් කරනවා, ඔහුට ගීත දෙකක් හදන්න ඇරයුම් ලැබී තියෙනවා. මේ ගීතයත් ඒ වෙනුවෙන් යොදා ගන්නද කියලා ?. කිසිදු ලෝබකමක් නැතුව ඔහු ඒ යෝජනාව ගෙන ආ වෙලාවේ මම ඊට ඉහලින්ම කැමැත්ත දුන්නා. 

ඇත්තටම අමරදේව මහතා හා මා අතර සබඳතාවය එදා ඇතිකළේ සනත් නන්දසිරි මහතායි. ඔහු මගේ කඳුළු කතාවේ ගීතයත්, මහාචාර්ය සුනිල් ආරියරත්න ලියු "මේ ගුරු පාරේ" ගීතයටත් ඉතා මිහිරි තනු දෙකක් හදලා අමරදේවයන්ට ලබා දුන්නා. 

බුද්ධදාසයන්ගේ බිරිඳ මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මියගියා. ඒ වනතුරු ඔවුන් ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කළා. ඒ වගේම ඔහුගේ බිරිඳ ගීතා කාන්තිත් ඔවුන් වෙනුවෙන් නිර්මාණය වුණු මේ ගීතයට බෙහෙවින් ඇළුම් කළා. "ඒක අපේ ගීතය. ඒ නිසා තමයි ඇයත් විශේෂ උනන්දුවක් ඒ ගීතයට දැක්වූවේ". බුද්ධදාස ගලප්පත්ති තමන්ගෙ පෞද්ගලික අත්දැකීමක් මුල්කරගෙන ලියූ ගීතය පසුව බොහෝ ආදරවන්තයන්ගේ පැසසුමට හා ඇගයීමට ලක්වුණා.  

මේ ලෝකේ හැමදෙනාටම තියෙන්නේ එකම ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න නැගෙන වෙලාව හා ස්වභාවය අනුව විතරයි වෙනස් වෙන්නේ. අන්න ඒ නිසා තමයි කෙනෙකුගේ අත්දැකීමකට අනුව ලියවෙන ගීතයක් වුණත් තවත් බොහෝ දෙනෙකුගේ හදවත් තුළ ලැඟුම් ගන්නේ, ඔවුන් ඇළුම් කරන්නේ.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...