Monday, July 6, 2020

මේ ජීවනයේ ...

පාලයියා ජෝතිට කියූ හින්දි බොරුව..

මේ ජීවනයේ, මුළු සන්සාරේ,
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.

දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ, 
දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ,
සනසා නොලාලන කාලේ, දිවි තෙක්ම සිහි කෙරේ,
ඒ නිල් දෑසේ, බැල්මෙන් කැල්මෙන්,
මා යන ගමනට දිරි දෙයි
 
මේ ජීවනයේ, මුළු සන්සාරේ, 
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ

සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා, 
සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා,
පින්සාර ඇයගේ තුරුලේ, සැනසේ රජුන් පවා,
ඒ දරුවෙකුගේ, පණ වැනි උත්තම,
අම්මාගේ ආදරයයි.

මේ ජීවනයේ, මුළු සන්සාරේ, 
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.

ගායනය - එච්.ආර්. ජෝතිපාල 
පදරචනය - කරුණාරත්න අබේසේකර 
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල 

අද ලිපියේ සිදුවීමට සම්බන්ධ සංගීතවේදීන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ නම රැන්දුවෝ වෙති.  පළමුවැන්නා ප්‍රවීණ සංගීතවේදී පී.එල්.ඒ. සෝමපාලයන්ය. 1921 සැප්තැම්බර් 13 වනදා මාලිගාකන්දේ උපත ලැබූ සෝමපාලයන් මරදානේ සෙන්ට් ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අරඹා පසුව සංගීතවේදී ලයනල් එදිරිසිංහයන් වෙත ගොස් සිතාරය වාදනය හැදෑරීය. දක්ෂ වයලීන වාදකයෙකු ලෙසද හැකියාව ප්‍රගුණ කළ පී.එල්.ඒ. සෝමපාලයන් 1943 දී එවකට රේඩියෝ සිලෝන්හි සංගීත වාදකයෙකු ලෙස එක්ව ඇත. එකල ග්‍රෑමෆෝන තැටි සදහා සංගීත දායකත්වය ලබාදුන් සෝමපාලයන්, සුනිල් ශාන්තයන් හා යුග ගායනා වලට එක්වූ චිත්‍රා පෙරේරා නම් වූ සුකොමල තරුණිය හා විවාහ වී නව සංගීත යුගයක් බිහි කළේය. චිත්‍රා සෝමපාලයන් ගැයූ ඉසුරුමුණියේ, උඩරට කදුකර, ලලිත කලා, දඹුළු ගලේ, ගාලු පුරේ සිරී ආදී ගීත සියල්ලේම තනු නිර්මාණය වූයේ ඒ ආදරණීය සැමියා අතිනි.

ජෝතිපාල හා පී.එල්.ඒ දෙදෙනා අතර පැවතියේ දැඩි ලෙන්ගතු බැදීමකි. 70 දශකයේ ඇරඹෙන ජනප්‍රිය සිනමා රැල්ල සමග ජෝතිපාලයන් ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම එසැවෙන්නේ සෝමපාලයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය ගී සමුදාය නිසාය. එකල භාරතයේ අතිශය ජනප්‍රිය එහෙත් ලංකාවේ එතෙක් ජනප්‍රියව නොතිබූ හින්දි ගීත සොයා ඒවායේ තනු උපයෝගී කරගෙන සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය වූ ගීත දායාද කළේ පී.එල්.ඒ. සෝමපාලයන් හා ජෝතිපාල යන දෙදෙනා බව කීවොත් එය අතිශෝක්තියක් නොවේ. ‘කොයි යන්නේ ‘, ‘මේ දෑස මගේ පින්වන්තයි‘, ‘ඈත දිලිසෙන හිරු සදු‘ , ‘ සුසුදු රැල්ල‘ , ආදියෙන් පටන් ගෙන සිහිපත් කළහොත් ජනප්‍රිය චිත්‍රපට ගී සිය ගණනක් සිහිපත් කර ගත හැක. ජොතිපාලයන් තමන්ට ගැයීමට ලැබෙන ඕනෑම ආකාරයක තනුවක් උපරිම මට්ටමින් ගයන්නට හැකි අති දක්ෂ ගායන ශිල්පියෙකු විය. හින්දි තනුවකට අනුව ලියැවුනු කරු අයියාගේ පද වැලක් හින්දි තනුව අමතක වී “ අපේම ගීයක්“ ලෙස ගයන්නට ජෝතිට තිබුනේ පුදුම හැකියාවකි. “එපා එන්න කියලා“, “අඞන්නෙ ඇයි සුදු මැණිකේ“ ආදී ගීත ඇසෙන විට අදත් සිහිවන්නේ ජෝතිගේම ගීයක් මිස හින්දි තනුවක් නොවේ. බොහෝ ගායක ගායිකාවනට ‘පාලයියා‘ වූ සෝමපාලයන් ජෝතිට නිකම්ම පාලය. ඒ ජෝති එතරම්ම හිතවත් මිතුරෙකු වූ නිසාය. බොහෝ විට 70 දශකයේ චිත්‍රපටයකට ගීත 9 ක් පමණ ඇතුළත් වූ අතර ඉන් තුනක් හෝ හතරක් අනිවාර්යයෙන්ම ගයන්නේ ජෝතිපාලය. ඇන්ජලීන් සමග යුග ගී කීපයක් හා එම්.එස්. ගේ ගීයක්ද ඇතැම් විට බෙග් මාස්ටර්ගේ ගීයක් ද ඒ ගොන්නට එකතු වේ. ජෝතිට ලැබෙන හින්දි තනුවක් ගයන්නට පෙර පාල සමග ඒ ගැන කතා කිරීම දෙදෙනාගේම පුරුද්දකි.

මේ අතර තවත් අළුත් චිත්‍රපටයක් වූ “ඔන්න බබෝ බිල්ලෝ එනවා“ වෙනුවෙන් ගීත නිර්මාණය සෝමපාලයන්ට පැවරිණ. පදවැල් ලියැවින. තනු නිර්මාණය විය. පටිගත කිරීම්ද සූදානම් විය. ජෝතිගේ පටිගත කිරීමේ දිනය උදාවිය. ජෝතිට පෙර පුහුණුවීම් රැසක් අවශ්‍ය නොවේ. සංගීත අධ්‍යක්ෂවරයා වරක් දෙවරක් තනුව කියාදුන් පසු “ හරි.. ගමු..“ කියා එක් වරකින්ම නිවැරදිව ගීයක් ගැයීමේ පුදුම හැකියාවක් ජෝති සතු විය. “අපරාදෙ කියන්න බෑ. ජෝතිපාල ට එක ටේක් එකයි“ කියා කියමනක් හැදුනේද ඒ නිසාමය. ඔන්න බබෝ බිල්ලෝ එනවා ගීත පටිගත කිරීමේ දී ජෝති ට අපූරු ගීයක් ගයන්නට සිදුව තිබුනි. එය හින්දි තනුවක් යැයි සංගීත අධ්‍යක්ෂ පී.එල්.ඒ. සෝමපාල කීවේ නැත. ජෝති එවැනි තනුවක් හින්දි ගීයකින් අසා තිබුනේද නැත. වරක් දෙවරක් තනුව වයා, ගයා පුහුණු කරද්දී “ අම්මට සිරි මේක මාර මෙලඩියක්නෙ පාල..“ කියා ජෝතිට කියැවින. “ එහෙම තමයි ඩෝ අපේ වැඩ..“ සෝමපාලයන් ද එලෙස කියා ගීතය පටිගත කිරීම ඇරඹීය. නැවුම් ගීයක් ගයන මාධූර්යයෙන් ජෝති ද ඉතාමත් ලගන්නා ලෙස ගීය ගැයීය. පටිගත කර අවසානයේ ගීය යළි ඇසූ ජෝති “ මේක නං මාර හිට් එකක් වෙනවා ..“ කියද්දී..“ බලපන්කො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..“ යනුවෙන් සෝමපාලයන් ගෙන් ද පිළිතුරු ලැබින.

දැන් චිත්‍රපටය අති සාර්ථක ලෙස තිරගත වන කාලයයි. රටපුරා ගීත ලෝලයන්ගේ මුවෙහි ගැයෙන්නේම ජෝති ආසාවෙන් ගැයූ එම ගීයයි. ජෝති ද මහත් සතුටට පත්ව සිටී. එකළ ගුවන් විදුලියේ වෙළද සේවයේ විවිධ වැඩ සටහන් අතරට ඒ වන විට ජනප්‍රිය චිත්‍රපටවල මුල් හින්දි ගීය සොයා වාදනය කිරීමද පුරුද්දක් වී තිබුනි. අප ගුවන් විදුලි අසන්නන් අතර එම මුල් හින්දි ගීය ජනප්‍රිය වන්නේ එවිටය. දිනක් ජෝතිට අහම්බෙන් මෙන් අසන්නට ලැබුනේ තමන් ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටයට ස්ව නිර්මාණයක් ලෙස සළකා අපූරුවට ගැයූ ගීතයේ තනුව ඇති හින්දි ගීයකි. ජෝතිට යකා නැග්ගේය. “යකෝ පාල මට බොරු කියලා තව හින්දි කොපියක්නෙ රෙකෝර්ඩ් කරවලා තියෙන්නෙ..“ කියමින් පුපුර පුපුරා පාල හමුවන තෙක් මග බලමින් සිටියේය. 

එකල ගුවන් විදුලියත් රූපවාහිනියත් අතර ඇති ටොරින්ටන් පාර බස්රථ පවා ගමන් කරන පොදු මාවතකි. දිනක් ජෝති මිතුරෙකුගේ මෝටර් රථයක නැගී තුන්මුල්ල පැත්තේ සිට පැමිණ ටොරින්ටන් පාරට හරවනවාත් සමගම ගුවන්විදුලිය දෙස බලා “ ඒයි.. තවත්තපං මචං කාර් එක. ඕකාට මම අද..“ කියද්දී මිතුරා රූපවාහිනී අයිනේ රථය නවත්වා ගත්තේද අසීරුවෙනි. අඩියට දෙකට පාර මාරුවූ ජෝති ගුවන්විදුලිය අයිනේ හිටගෙන සිටි දෙදෙනෙකු ඉදිරියේ මහ හයියෙන් කෑ ගසනවා ඇසුනු මිතුරා ද එදෙස බැලීය. හිටගෙන සිටි දෙදෙනා කරුණාරත්න අබේසේකර හා පී.එල්.ඒ. සෝමපාල විය. තිදෙනාගේ දෙබස් පැහැදිලිව ඇසේ. “අඩෝ.. පාල මොකද්ද බං උඹ කරපු කැත, පල් වැඩේ..“ ඒ ජෝතිගේ හඞයි. “ මොකද්ද පල් වැඩේ..“ වැඩි කලබලයක් කවදත් නැති පී.එල්.ඒ. අසයි. “ ඇයි උඹ කිවුවෙ නෑනෙ ... අර සිංදුව හින්දි එකක් කියලා.. එහෙම කලින් කිව්වනං මං දෙනවනෙ තවත් ඇට්ටි හැලෙන්න..“ ඒ ජෝතියි. “ හරි..හරි.. මොකද්ද සිංදුව..“ . “ ඇයි බං අර “මේ ජීවනයේ මුලු සංසාරේ“ . ඒක හෙන හින්දි කොපියක්නෙ ඩෝ. බලපං දැන් හැමදාම රේඩියෝ එකේ යනවනෙ. “හරි.. හරි.. ඒකට හේතුව මෙන්න මෙයාගෙන්ම අහලා දැනගනින්කො.. බොරුවට කෑ ගහන්නෙ නැතුව.“ පාල නිසොල්මනේ කරුණාරත්න අබේසේකරයන් පෙන්වා කියයි. “මොකද්ද.. මොකද්ද හේතුව“ ජෝති කරු ගේ ඇගට ගොඩවෙයි. කරු අයියා ද කලබල වන අයෙකු නොවේ. ඔහු සෙමෙන් කතාව අරඹයි. “මෙන්න මේකයි ජෝති උනේ.. ඔය මෙලඩි එක මට ගෙනත් දුන්නම මට නියම වචන ටිකක් ලියැවුනා.. අම්මා ගැනනෙ සිංදුව. මං තමා පාලට කිවුවෙ.. මේක හින්දි මෙලඩි එකක් කියලා ජෝතිට නොකියා රෙකෝඩිං කරවපං.. ජෝති මේක නියමෙටම කියයි.. කියලා..“බම්බුව තමා..“ ජෝති තවම කේන්තියෙනි. “ දැන් බලාපංකො ජෝති... උඹ ඒ සිංදුව හින්දි එකාටත් වඩා හොදට කියලා තියෙනවනෙ.“ කරු එලෙස කියන විටම “ බහ්..බහ්..බහ්.. ගාමින් මොනවාදෝ මුමුණමින්, අඩියට දෙකට යළි පාර පැන මිතුරාගේ මෝටර් රථයට නැගුනු ජෝති යන්නට ගියේ දකුණු අතේ අල්ල පාරෙන් අනික් පැත්තට දිගු කරමින් “උඹලා දෙන්නම බම්බු ගහපල්ලා..“ කියන්නාක් මෙන් සංඥාවක් ද කරමිනි.


No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...