Monday, July 6, 2020

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ...

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳීන්නද
බාලේ ඉදන් බැදි ආලේ බිඳින්නද 
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි
 
මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ ඇත්ත කතාවක්. ඒ අත්දැකීමට මුහුණ දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගම් ප්‍රදේශයේ ගොවි මහතෙක්. ඒ ගොවි මහතා තමන්ගේ අත්දැකීම රණසිංහයන්ට කියනකොට රණසිංහයන්ගේ වයස අවුරුදු 17 ක්.

නෑනා හා මස්සිනා අතර පැවති ප්‍රේමය විවාහය දක්වා ගෙන යැමට නොහැකි වූ දෙදෙනෙකු අතර සංවාදී ස්වරූපයෙන් නිර්මාණය වී ඇති අපූරු ගීතයකි,අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වඩ් ගායනා කරන රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ නැමැති ගීතය ..

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ..
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ...
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ..
මාසෙ පෝය දා වාගෙයි ගම්මානේ ..

තනිව හේනක් කොටා වගාවක් කිරීම ගැමි තරුණයෙකු ගේ විවාහ දිවියට ඇති සුදුසුකම් අතර එකක් ලෙසට ගැමියන් අතර මතයක් පවතී.මන්ද එය විවාහ දිවියක් ගත කිරීම සඳහා ඇවැසි ආර්ථික ශක්තියේ සංකේතයක් වැන්න නිසාය.අනෙක අලස අයෙකුට එවන්නක් කල නොහැක.

උක්ත තරුණයාට සිය නෑනා මතකයට එන්නේ තම හේන ආරක්ෂා කිරීම සඳහා පැල් රකින අවස්ථාවේ දී යැ. තම පාළුව කාන්සිය නිවා ගැනීමට නෑනාවත් සිටියානම්, කොතරම් දෙයක් දැයි ඔහුට සිතේ..එහිදී "කුරහන් පැහෙනා හේනේ"යන්න ශුංගාරාත්මක යෙදුම කි. ග්‍රේෂන් ආනන්දයයන් විසින් රචිත මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන "මගේ පුංචි කුමාරී "කියන ගීතයේ ඇති "ආල හැඟුම් මෝරන යාමය " සහ මෙහි "කුරහන් පැහෙනා"යන්නේ සැඟවුන අර්ථය එකම දෝ යැයි සිතේ.
ඔහුගේ නෑනා ඉදිරියේ දී පිටස්තරයෙකු සමග විවාහ වී යෑමට නියමිත බව ඔහු දනී..එසේ ඇය ගමෙන් යෑම ඔහු දකින්නේ ගම තුල ඇති ආලෝකය ඉවත් ව යෑමක් ලෙසට ය.ඔහුගේ ජීවිතය ද ඇයගෙන් ආලෝකවත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඔහුට ඇයගේ වෙන්වීම දැනෙන්නේ සඳ නැති අමාවක දිනයක් සේය.

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඬන් මස්සිනේ පෙර පිං නැතුවාට

නෑනා සිය මස්සිනාව හමුවන තැන් පිලිබඳ උක්ත කොටසින් කියැවේ..එනම් එගොඩහ ඉස්මත්ත..වැව් කණ්ඩිය..ආදී ස්ථාන ය.එගොඩ සහ මෙගොඩ ඔවුන් දෙදෙනා විය නොහැකි ද?එගොඩ හා මෙගොඩ අතර බාධක ය ,නෑනාගේ දෙමාපියන් ගේ බලපෑම/ආකල්පය විය නොහැකි ද?
ඇය සිය මස්සිනාට බහ දෙන්නේ ඇයගේ හිතුමනාපෙටය.එහෙත් ඇයගේ දෙමාපියන් එයට අකමැති වගක් පෙනේ.එනිසා ඇයව වෙන කෙනෙකුට යෝජනා කර ඇත..එහිදී මස්සිනාට අසාධාරණයක් සිදුවී ඇතැයිද කිව හැක.ඒ ඔහුට බලාපොරොත්තු ලබා දී ඔහුව මඟ හැරීමයි..සමහරවිට ඇය ද දෙමාපිය කැමැත්ත ගන්නට උත්සාහ කරන්නට ඇත..එහෙත් දෙමාපියන් එයට අකමැති වන්නට ඇත.දෙමාපියන් සමග විරුද්ධ වී හිතුවක්කාරෙට විවාහ වීම ගැමි තරුණියකට තරම් නොවන බැවින් ඇය දෙමාපිය යෝජනාවට කැමැති වන්නට ඇත.එනිසා ඇය මස්සිනාගේ සිත් අස්වසයි..ඒ පෙර පිං නැතුව ඇතැයි කියමිනි.

හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳින්න ද..
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්න ද..
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න ද..
හීනෙන් මිසක හැබැහින් එක් නොවෙන්න ද..

හේන තුලින් ආර්ථික ශක්තිය ද, ගෙපැල තුලින් ආරක්ෂාව ද සංකේතවත් වන බැවින් ද ඔහුටම කියා ඇති ගෙපැල විවාහයකට මූලික සුදුසුකමක් ලෙසට ගැමියෝ සලකති..
ගැමි තරුණයෙකුට ඇත්තේ සරල බලාපොරොත්තු ටිකකි.එනම් තරුණියක සමග විවාහ වී දරු මල්ලන් හදාගෙන සතුටින් ජීවත්වීම පමණි.ඒ සඳහා ඔහුට මාළිගා අවැසි නැත.ගෙපැල හොඳටම ප්‍රමාණවත්ය. බොහෝවිට එය නිර්මාණය වෙන්නේම ඔහුගේම මහන්සියෙනි.උක්ත මස්සිනා තම ගෙපැල හදන්නේම නෑනා සමග දිවි ගෙවීමේ අටියෙනි.එහෙත් අද නෑනා වෙන කෙනෙකු සමග විවාහ වීමට නියමිතය.එනිසා මම මේ ගෙපැල හැදුවෙ තනියෙන් ඉන්නදැයි නෑනාගෙන් ප්‍රශ්න කරයි...
බාල වියේ පටන් ආ බැඳීම බිඳින්නද හදන්නෙ?එතකොට අපිට එකතුවෙන්න වෙන්නෙ හීනෙන් විතරද?යනුවෙන් ඔහු නෑනාගෙන් අසයි..

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි...
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි .
කුරහන් කපන දා මා සිහිකරන්නයි..

ඇය ඔහුගෙන් සමුගෙන යන්නේ කැමැත්තකින් නොවන්නට පුළුවන.එහෙත් යතාර්ථට මුහුණ දිය යුතුය.එනිසා ඇය ඔහුව ආරක්ෂා කර දෙන ලෙස පත්තිනි මෑණියන්ගේගෙන් හා ගම්භාර දෙවියන්ගෙන් ඉල්ලා සිටියි.එමෙන්ම ඔහුගේ අනාගතය සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරයි.එමෙන්ම ඔහුට ධනවත් සහකාරියක් ලැබෙන්නයි ද ඉල්ලයි.එහෙත් ඔහුට ඇයව අමතක නොකල හැකි බව ඇය දනී..එනිසාම ඇය "කුරහන් කපන දා" මා සිහි කරන්න යැයි ඉල්ලයි.එයද ශුංගාරාත්මක යෙදුමකි. සිය ප්‍රථම ප්‍රේමය අමතක කිරීමට කිසිම පෙම්වතෙකුට/පෙම්වතියකට නොහැක.මෙම කාරණය නෑනා විසින් අවබෝධ කරගෙන ඇති වගක් පෙනේ.එනිසාම දෝ සිටු කුමරිය සමග විවාහ වී,ඒ ප්‍රේමයේ අස්වැන්න නෙලන අවස්ථා වේ නොහොත් " කුරහන් කපන දා " ඇයව මතකයට ගන්නා ලෙස මස්සිනා ගෙන් ඉල්ලයි...

ඒ සිදුවීම නිමිති කරගෙන අජන්තා රණසිංහයන් මේ ගීතය පසුකාලීනව ලියනවා. හැබැයි මේ ගීතය ලියන්නේ, මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් තබාගෙන "මියුරස වින්දන" ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන්. ඒ වැඩසටහන නිෂ්පාදනය කලේ ආචාර්ය දයාරත්න රණතුංගයන්.

ඒත් ඒ වකවානුවේ දී මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ පුතණුවන්ගේ මරණය සිද්ධවීම නිසා එතුමා හිටියේ ගීත ගයන්න පුළුවන් මානසික තත්ත්වයක නොවෙයි. මේ නිසා ආචාර්ය අජන්තා රණසිංහයන්, වැඩසටහනේ නිෂ්පාදක ආචාර්ය දයාරත්න රණතුංගයන්ට ඇරියුම් කරනවා අමරා රණතුංගයන් සමග ගයන්නට. නමුත් වැඩසටහනේ නිෂ්පාදකවරයා නිසා එතුමාට ගුවන්විදුලි සංස්ථා සභාපතිතුමාගේ අවසරය අවශ්‍ය වන බව පවසා එතුමාට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට සිදුවෙනවා.

අවසානයේදී අජන්තා රණසිංහයන් අබේවර්ධන බාලසූරියන්ට මේ ගීතය ලබාදෙනවා. කොහොම හරි ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මියත් සම්බන්ධ කරගෙන මේ ගීතය ගයනවා. මෙය ඉතා ක්ෂණිකව පුහුණු කිරීමට සිදුවීම නිසා සරත් දසනායකයන් පෙර පුහුණුවීමේ දී සංගීත ඛණ්ඩයබ් අතරතුර අබේවර්ධනයන් ළඟට ඇවිත් කන ගාවට කර ගීතය පුරුදු කර තිබෙනවා. 

අවසානයේදී නොසිතූ විරූ ජනප්‍රියත්වයක් මේ ගීතයට ලැබෙනවා. එය සිදුවන්නේ මෙහෙමයි. මියුරස වින්දන වැඩසටහනින් ප්‍රචාරය වූ පසු වසර 2ක් ගතවන තුරු මේ ගීතය පටිගත කල පටිගබඩාවේ පවතිනවා. එය ජනප්‍රිය කරවීමේ ගෞරවය හිමි විය යුත්තේ ඩෝල්ටන් අල්විස් මහතාටයි. එතුමා ගුවන්විදුලියේ සේවය කරන කාලයේදී රාත්‍රී වැඩසටහනකට ප්‍රචාරය කිරීමට අවශ්‍ය ගීත සොයනවිට මේ ගීතය පටි ගබඩාවෙන් සොයාගෙන තැටිගත කර ප්‍රචාරය කරනවා. ඉන්පසුවයි මේ ගීතයේ ජනප්‍රියත්වය ඇතිවන්නේ.

අබේවර්ධන බාලසූරිය යන්ගේ හඬ තුලින් සැබෑ ගැමි තරුණයා තුල ඇති හැඟීම් නියමාකාරයෙන් ඉස්මතු වේ. ත්‍යාගා එන් එඩ්වඩ් ගේ ගායනය තුලින් ද නෑනාගේ ආත්මකථනය අපූරුවට ඉස්මතු වේ..ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායකයන්ගේ සංගීතය තුලින් ගැමි සිතැඟි යාවන් අපූරුවට ප්‍රති නිර්මාණය වී තිබේ. මෙහි ගේය පද මෑතකදී අප අතරින් වියෝ වූ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේය.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...