Friday, July 17, 2020

මීන නුවන් යුගින් බලන් ...

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දිවයින පුවත්පතේ ඔහු විසින් රචිත ගී වලට පසුබිම් වූ කතා පිළිබඳව කරන ලද විවරණයක්.

එහිදී එතුමා ලියූ පේ‍්‍රම ගීතාවලියේ කැමති ගීතය ලෙස ”මීන නුවන් යුගින් බලන් මීනා” කියන ගීතය බව කියා ඇත. 

මීන නුවන් යුගින් බලන්

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා ...//

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත් බෑ
අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

අත් වැල් බැඳ කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු  ..//
මෘදංග නද ගැටබෙර හඩ
අපගේ දෙසවනට එකයි

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් ..
මීනා

ගායනය - නිරංජලා සරෝජිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

මේ ගීතය මං ලිව්වේ යාපනයේදී. යාපනයේ විශ්වවිද්‍යාලය ආරම්භ කරනකොට ආරම්භක කථිකාචාර්යවරුන් හැටියට පත්වීම් ලබලා ගියේ මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ සහ මම. මම ජීවිතේ පළවෙනි වතාවට තමයි යාපනේට ගියේ. ඊට කලින් වන්දනා ගමනකටවත් මම යාපනේට ගිහිං නැහැ. ඇත්තටම අපි යන කාලේ යාපනේ හුඟක් කලබලයක් තිබිච්ච් කාලයක් නෙමෙයි. දෙමළ භාෂාව සම්බන්ධයෙන් මට උනන්දුවක් ඇතිවුණේ මම යාපනේ හිටපු නිසා. බොහෝ දේවල් සිද්ධ වුණා යාපනේ හිටපු අවුරුදු කිහිපය තුළ. 

අපේ විශ්වවිද්‍යාලයේ පාලන අංශයේ හිටියා හිතවතෙක් සිංහල කෙනෙක්. එතුමා පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගත්තා යාපනේ ඔහුගේ යටතේ සේවය කරපු සේවිකාවක් සමග. ඉතාම සුරූපී තරුණියක්. ඉතිං මේ පේ‍්‍රම සම්බන්ධයට දැඩි විරෝධයක් එල්ල වුණා ඔහුගේ පාර්ශ්වයෙනුත්, ඇය ගේ පාර්ශ්වයෙනුත්. හරිම සුන්දර ජීවිතයක් අපි ඔවුන් එක්ක ගත කළා. අපි ඔවුන් එක්ක නාගදීපේ ගියා, කැශුරිනා බීච් ගියා අපිත් එක්කම තමයි ඔවුන් ගේ පේ‍්‍රමය වැඩුණේ. ගම්ලත්, පතිරාජ සහ මම සමග අපේම තව සහෝදරයෙක් වගේ තමයි ඒ මිතුරා හිටියේ. මේ පේ‍්‍රම සම්බන්ධය තමයි මේ ‘මීන නුවන් නෙතින් බලං මීනා’ කියන ගීතය ලියන්න හේතු වුණේ.
 
මේ ගීතය සිංහල දෙමළ ජාතික සමගිය පිළිබඳ ලියැවුණු පළමු ගීතය නේද?
 
ඇත්තෙන්ම සිංහල දෙමළ ජාතික සමගිය සම්බන්ධයෙන් ලියවෙච්ච පළවෙනි ගීතය විදිහට මේ ගීතයට වෙනම තැනක් ස්ථාපිත වෙනවා ගීත සාහිත්‍යයේ. ඊට කලින් කුන්ඩුමනී කියලා ගීතයක් ලියවුණා. නමුත් මෙහි කුන්ඩුමනී කියලා දෙමළ චරිතයක් ගැන කියවෙනවා මිසක් එහෙම ජාතික සමගිය පිළිබඳ කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගීතාවලියේ පළවෙනි ගීතය හැටියට මෙහි විශේෂත්වයක් තියෙනවා.

(දිවයින)



දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ...

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙළූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ
කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ
කවුදෝ දන්නේ

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන 
තනුව හා සංගීතය - නිමල් මෙන්ඩිස්

Then he kissed me " කියන්නේ 1963 දී The Crystal සංගීත කණ්ඩායම විසින් නිකුත් කරන ලද ගීතයක්.මෙම ගීතය පසු කාලීනව වඩාත් ජනප්‍රිය වෙනවා මාටින් ස්කෝසස් ගේ Goodfellas (1990) චිත්‍රපටයේ හෙන්රි සහ කැරන් සමාජ ශාලාවක මුළුතැන්ගෙය පැත්තෙන් ඇතුළු වීමේ දර්ශණයේ දී පසුබිමෙන් වාදනය වීමත් සමග. මේ ගීතය අපට ද හුරු පුරුදු එකක් විය යුත්තේ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනියගේ " දවසක් දා වසන්ත සැණකෙළියේ " ගීතයෙහි ඇත්තේ මෙම "Then he kissed me " හි තනුව/සංගීතය වීමයි

අනතුරුව The Beach Boys සංගීත කණ්ඩායමත් මෙම තනුව ආශ්‍රයෙන් 1965 දී "Then i kissed her" නමින් ගීතයක් ගයා ඇත.












සාගර තරංගා ...

සාගර තරංගා සුදු වෙරළ සිබින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් 
මේ ගයන්නේ ආදරේ ගීතයයි

මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන්සිලෙන්
ඔබේ දෙනෙතට එබී 
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුලන් දැලෙන් 
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

ගායනය - ජගත් වික්‍රමසිංහ
පදරචනය - රොඩ්නි විදානපතිරණ
සංගීතය - සුනිල් ධර්මසේන

මේ ගීතය නිර්මාණය වූයේ 1996 වසරේ දී. ඒ රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ සාගර තරංගා ටෙලිනාට්‍යයටයි. එය ශ‍්‍රී ලංකා මාලදිවයින් ඒකාබද්ධ නිෂ්පාදනයක්. රූගතකිරීම් තිබුණේ මාලදිවයින් දූපත්වලයි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුනු මෙම ටෙලිනාට්‍යයේ ජගත් වික්‍රමසිංහයන් ගී ගයමින් රඟපාන්නට නියමිතව තිබුණා. මීට අමතරව මධු මාධව අරවින්ද, නිල්මිණී තෙන්නකෝන්, අමිත්ත වීරසිංහ ඇතුළු ශ්‍රී ලාංකික නළු නිළි පිරිසක් දායකවන්නට ගියා. ඊට අමතරව මාලදිවයින් නිළියක්ද මෙහි චරිත නිරූපණය කළා. පසුබිමින් ඇයට ඇසෙන ගීතය හැටියටත් මේ ගීතය මරියසෙල් ගුණතිලක මහත්මියගේ හඬින් පටිගත වූවා.

ඒත් මේ ටෙලිනාට්‍යය අතරමග නතරවුණේ මාලදිවයින මුහුදේදි හටගත් දරුණු කුණාටුවක් නිසයි. කුණාටුවෙන් අනූ නවයෙන් දිවි බේරාගත් නළු නිළියන් සහ නිෂ්පාදක කණ්ඩායම නැවත ලංකාවට ආවා. ටෙලිනාට්‍යය නැවතුණත් ගීතය ඉතිරි වුණා. පසුව ජගත් වික්‍රමසිංහයන් විසින් ගායනා කරන ගීතය ජනප්‍රිය වුණා.    සාගර තරංගා සුදු වෙරල සිඹින්නා....

ඒ නිසා ටෙලිනාට්‍යයේ අවසානයට ඉතිරිවුනේ මේ අලංකාර ගීතය පමණයි. ඇත්තටම ජගත් වික්‍රමසිංහ මේ ගීය ගැයුවාට සාගර තරංගා ටෙලිනාට්‍යයේ අඩංගු ගීතය යුග ගීතයක්. මරියසෙල් ගුණතිලක සමගින් ජගත් වික්‍රමසිංහ තමා මේ ගීතය ගායනා කරන්නෙ. ටෙලි නාට්‍යය ගෙතුනෙත් සුසීමා වගේම සංගීත කණ්ඩායමක් වටා  පසුබිම් කරගෙන. මේ ගීතයේ රූප රාමු තුල රගපෑවේ ජගත් වික්‍රමසිංහ සමගින් නිල්මිණි තෙන්නකෝන්... නිල්මිනී තෙන්නකෝන් වෙනුවෙන් මරියසෙල් ගුණතිලක මහත්මිය මේ ගීතය ගායනා කලා.

රතුරෝස, සුසීමා, සාගර තරංගා වගේ ටෙලි නාට්‍යය 90 දශකයේ රසිකයන්ට අලංකාර ගීත රැසක්ම තිලිණ කරන්න සමත් උනා.






වැලි තල අතරේ...

වැලි තල අතරේ හෙමිහිට බසිනා  
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදුවුණදා  
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා//   

හිම කඳු වැටියේ සීතල සෙවණේ වන්දන තුරු පිහිරා   
හැපී එන මල් මුව රූ රසිනේ   
සුවඳ මුසු කෝමල මඳ පවනේ ගැටීලා පාවෙනා   
සත් සර නඟලා ටික ටික සෙලවී සිරිමහ බෝ හිමිගේ   
මනෝ හර පලු පත් අතු රිකිළි   
නටා ගිය තාලෙහි රස නැගුණා සරාගී ජීවනා   

සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා සිරිලක ගෙන ආදා   
සිටම තව මහමෙවුනා උයනේ   
නටයි කොළ වන්නම ලෙස මහ ​බෝ සුමීරී නාදෙනා”   

මේ ගිතයට තනුව නිර්මාණය කොට ගැයුවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ය.   

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වැඩිකාලයක් එකල ගත කලේ කොළඹ කොටුවේ පිහිටි ටයිම්ස් මන්දිරයේ. එවකට කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල එයයි. 1947 ලංකාදීප පුවත්පතේ ආරම්භය සනිටුහන් වෙන්නෙත් මේ මන්දිරයේ. ලංකාදීප පුවත්පත ආරම්භ කරන නැකත පවා සාදන්නේ මානවසිංහයන්මයි.
මෙම ගීතය “ලංකාදීප” පත්‍රයේ කර්තෘ මාණ්ඩලිකයකුව සිටියදී කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වැනි මහලේ දී ඔහුට ඇති වු කවි සිතුවිල්ලකිනි. ඒ ගැන ඔහු විසින්ම විස්තර කර ඇත්තේ මෙසේය.   

‘‘මම කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වැනි මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැළි වලින් වෙළි ගිය බෝ ගසක නැටෙන කොළ දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමග වෙළි ගියේය. ​මේ ලතාව ඉබේටම වාගේ මගේ මුවින් “තන තන තනෙනා - තන තන තනෙනා- තානෙන තන - තානෙන තන තනෙනා - තනානා තානෙනා” යනුවෙන් මගේ මුවට නැගෙනාත් සමගම ඒ අභිරමණීය ප්‍රභාමත් ප්‍රශාන්ත ප්‍රභාතයේ නේරංජනා නදී තීරයේ බෝරුක් සෙවණේ සව්නේ ගෙවා, දැන පහන් වී ගිය මුහුණින් යුතුව ශාන්ත සමාධි සුවයෙන් වැඩ සිටි ශාක්‍ය සිංහයන් වහන්සේගේ විලාශයත් ඉන් පසුකලෙක සඟමිත් මෙහෙණිය විසින් සිරිමා බෝ දකුණු ශාඛාව හෙළ දිවට ගෙන ආ දිනයේ ඒ බෝපත් නටා ගිය සැටිත්, මගේ මනැසෙහි ඇදී ගියේය. මේ සිදුවීම් මවිසින් වචන වැලකට එක් කළේ බෝපත් නටා ගිය ලතාව අනුකරණයෙන් උපන් තාලයට අනුවයි.   

ටයිම්ස් මන්දිරයේ ඉදිරියෙන් පිහිටි බෝධීන් වහන්සේ නමක් එවකට වැඩසිටි සිටි අතර ඒ බෝධීන් වහන්සේගේ බෝ පත් සුළඟට සෙලවෙන නාදයට දෙසවන යොමුකල විට නිරායාසයෙන් ම එතුමාට මතක්වූයේ දඹදිව ගයා ශීර්ෂයේ එදා සිදුහත් කුමරුට බුදුවීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියේ බෝ පත් සෙලවෙන්නට ඇත්තේ ද මෙලෙසින් කියායි. එය වන්නම් තාලයක් දැයි එතුමාට සිතෙනවා. මුවගට වන්නම් තාලයක් ද මතක් වෙනවා. තන තන තනෙනා - තම්දන තනෙනා. ඒ තාලයට මේ ගීතය එතුමා අතින් ලියවෙනවා.

එය වන්නම් 18 ට පසු 19 වන වන්නමක් එකතු කරන්නට සමත් වුණ බවයි බොහෝ විචාරකයින්ගේ අදහස.

මේ ගීතය පිළිබඳව මහගමසේකරයන් වරෙක මෙසේ පවසා තිබෙනවා.

ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහගෙන් ගීතයේ දියුණුවට විශාල සේවයක් සැලසුණා. ගුවන් විදුලියේ ගීත නාටක නිර්මාණය කළේ මොහුයි. ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමටත් ජාතිකානුරාගය වඩවන ගීත රචනා කිරීමටත් ඔහු විශේෂ දස්කමක් පෙන්වා තියෙනවා. මහ බෝ වන්නම මානවසිංහගේ හොඳම ගීතය කියල හිතනවා. මේ ගීතය ඇහෙන කොට ශාන්ත රසය මිශ‍්‍ර නිරාමිස පී‍්‍රතියකුයි අපට ඇති වන්නේ. මානවසිංහගේ රචනා ශෛලියටත් මේ ගීතය හොඳ උදාහරණයක්.

“මහ බෝ වන්නම” ට වස්තු විෂය වන්නේ ගලායන නේරංජනාවේ මැරෙන ඉපදෙන රළ දෙස බලමින් හිමාල කඳුවැටියේ සෙවණැල්ලේ මඳ පවනේ ලා දලු සලන ශ්‍රී මහා බෝධියයි. එහෙත් මේ නිර්මාණයේ විශේෂත්වය නිර්මාණකරුවා බෝධිය පසුබිම් කරගත් පමණින් භක්ති ගීයක් නිර්මාණය කර නොතිබීමයි. “මහ බෝ වන්නම” වූ කලී ස්වභාවධර්මයේ චමත්කාරයට ආගමික ගුණ සුවඳ තැවරූ රසිකයා තුළ නිරාමිස වින්දනයක් ජනිත කරවන්නා වූ නිර්මාණයකි.

"වැලිතල අතරේ - හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස - වැඩ සිට බුදු වුණ දා තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ සමාධී භාවනා" 

රමණීය චිත්ත රූපයක් හා ඖචිත්‍යයෙන් යුතු විරිතක් මානවසිංහයෝ මෙහිදී භාවිත කරති. සුදු වැලිතලා සිපගෙන හෙමින් හෙමින් නේරංජනා නදිය ගලා බසිද්දී ගයා ශිර්ෂයේ බෝධි වෘක්ෂයකට පිට දී සමාධි සුවයෙන් වැඩ වසනු බුද්ධත්වය ලැබු ශ්‍රමණ භගවත් ගෞතමයන්ගේ රූපකාය, රසික මනසේ සිතුවම් වෙයි.

මුළු රචනය පුරාම ‘බෝපතක් සැලෙන රිද්මය පවත්වා ගැනීමට රචකයා සමත් වෙයි. දීර්ඝාක්ෂර බහුලව භාවිතා කිරීම නිසා සංගීතමය ගුණය වඩාත් ඉස්මතු වී පෙනෙයි.

ඒ අයුරින්ම ශි‍්‍ර මහා බෝධිය අවට පරිසරයේ චමත්කාරය රචකයා තම කවි ඇසට ගොදුරු කර ගනී. හිමාලයේ සිසිල, හා නලමුදු සුවඳ, ඉන්ද්‍රිය ගෝචර ලෙස චිරන්තන ගද්‍ය සම්ප්‍රදාය සමග සම්මිශ්‍රණය කරගැනීමට මානවසිංහයෝ සමත් වෙති.

මහා මරු කතරක් මැද සිට වුවද මේ වාග් මාලාව ශ්‍රවණය කරන කල්හි සීතල පවන් රොදක් සිරුර සිපගන්නා සුළු අර්ථ හා ශබ්ද මාධුර්යයක් තම පද මාලාවට රචකයා එක් කර ගනී.

"හිම කඳුවැටියේ - සීතල හෙවණේ චන්දන තුරු පීරා - හැපී එන මල් මුවරද රසිනේ සමඟ මුසු - කෝමල මද පවනේ ගැටීලා - පාවෙනා" 

සුභාවිත සිංහල ගීතයට අප්‍රමාණ මෙහෙවරක් කළ මානවසිංහයන් භාෂාව පරිහරණය කරන ආකාරය ගවේෂණය කළ යුත්තකි. “ගලන ගඟකි ජීවිතේ” “පාරමිතා බල පූජිත පූජිත” “පිපී පිපී රේණු නටන” “ආදරියේ රුචිරාණනියේ” වැනි නිර්මාණයන්හි භාෂා භාවිතය විමසා බැලීමෙන් මේ තත්ත්වය අවබෝධ කරගත හැකිය.

"සත්සර නගලා ටික ටික සෙල වී සිරිමා බෝ හිමිගේ - මනෝහර පලුපත් අතු රිකිලී - නටා ගිය තාලෙහි රස දැනුනා - සරාගී ජීවනා" 

මහ බෝ වන්නම භක්ති ගීයක් ලෙස ලේබල් ගැසිය නොහැකි වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් ජනිත කිරීම ඒකායන අරමුණ ලෙසින් පෙනී නොයන බැවිනි. රචකයා අවසානයේ පාඨකයා රැගෙන යන්නේ අනුරපුරයේ ජයසිරි මා බෝධිය වෙතටයි. සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය සමඟ සපැමිණි ජයසිරිමා බෝ අංකුරය මේ ධරණී තලයේ රෝපණය වූ දා පටන් එදා නේරංජනා නදී තීරයේ කොළ සැලු ලතාවට ම ලා දලු බෝ පත් සලන අයුරු දැක විඳ ගත හැකි බව රචකයා සිහිපත් කරයි.








හෙමින් සැරේ පා නගනා ...

මෙම ගීතයෙන් කියවෙන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ දෙවන දියණිය වන හර්ෂණී මල්ලවාරච්චි ගැනයි.

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී

ජීවිතයේ මාළිගව සතුට පුරා දී මනාව
වාසනාව මට ගෙනාව කැකුළු සුවඳ කිරි සිනාව
මල් සුවඳයි පින් සුවඳයි

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

රෝස මලක පාට ගෑව ආකාසේ හැන්දෑවක
ඇත ඇදෙන කුරුළු රෑන ගයන ගීත ඉල්ලාගෙන
මුමුනන්නම් නළවන්නම්

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

ගායනය මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන

මෙම ගීත රචනාවට පාදක වූ සිදුවීම ඉතා අපූරු කතාවක්. දිනක් මිල්ටන්ගේ මිතුරු ප්‍රේමකීර්ති මහතා මිල්ටන්ගේ නිවසට යම් කාරණාවක් සඳහා පැමිණෙනවා. එහිදී ඔහුට මිල්ටන්ගේ කුඩා දියණිය සුරතල් කිරීමට අවස්තාවක් ලැබෙනවා. කුඩා දියණිය ඇසුරු කළ කුඩා කාලය තුල ඔහුගේ සිතට පැමිණි සිතුවිලි සමුදාය ඔහු ගීතයක් බවට පත් කරනවා. දියණියගේ නම විමසා සිටි ඔහු මිල්ටන්ගෙන් පෑනක් කොලයක් ඉල්ලා ගන්නවා. හදිස්සියේ කොලයක් සොයාගැනීමට අපහසු වූ මිල්ටන් ඔහුට තම සිගරට් පෙට්ටියේ ඊයම් කොලය ලබා දෙනවා. එක් වරම ලියා නිමකළ මේ පද මාලාවට පසුව ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ සංගීතය එකතු කර අලංකාර ගීතයක් මිල්ටන් විසින් ගායනා කරනවා.

මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සියලුම දරුවන් වෙනුවෙන් ගැයුණු ගී කිහිපයක් තිබෙනවා. ඒ "දුවේ හර්ෂණී", "දූ නදී හිනැහෙනවා ", "රනිල් පුතේ හිනැහෙන්", "මා දිවිමගේ දිලෙන තාරක පුතේ" යන ගීතයි.

(උපුටා ගැනීම - ගීයක වතගොත)



ඔබ රූ සිරියෙන් ...

ඔබ රූ සිරියෙන් මන්මත් වී මම නොකළෙම් අනුවණ කම්

චුල්ල ධනුද්ධර ජාතකය අපේ රටේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ මනමේ කතාව විදිහට. මේ කතාවට මනමේ කියන නම ලැබුණේ ඇයි කියන එක ගැන නම් විද්වතුන් අතර එකඟත්වයක් නැහැ. කොහොම වුණත් නාඩගමක් විදිහට පැවතුණු මනමේ කතාව වේදිකා නාට්‍ය​යක් බවට පත් කරලා සිංහල වේදිකාවට අලුත් ආරම්භයක් ලබා දුන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා. 

1956 වසරේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද මනමේ නාට්‍යය, විදග්ධ සිංහල නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය. මනමේ නාටකයේ චරිත අතර කැපී පෙනෙන චරිත ත්‍රිත්වය වන්නේ මනමේ කුමරු, මනමේ කුමරිය සහ වැදිරජු ය. තක්සලාවේ සිටි කුමාරවරු අතර දක්ෂතම ශිෂ්‍යයා මනමේ කුමරුයි. ඔහු තම ශිල්ප හැදෑරිම අවසන් කර කක්සලාවෙන් නික්මෙන්නේ ධනුද්දර යන නාමය සහ දිසාපාමොක් ඇදුරුතුමාගේ දියණියද කැටුවයි. කුමරා, කුමරියද කැටුව දඹදිව බරණැස් පුරයට යන ගමනේදී විශාල ඝන වනයක් පසු කළ යුතුවේ. මොවුන් දෙපළ විවාහ වීමේ ප්‍රීතියද සමගින් ගමන් කරන නිසා ඔවුන්ට වනය පෙනෙන්නේ ඉතා අලංකාරවයි.

“වසන්තශ්‍රීයෙන් අලංකාර වූ මඟුල් මඩුවකට බඳුවූ වනාන්තරයේ සෝබාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර. වන රැජිනද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නී අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නා සේය”

මෙසේ සතුටින් ගමන් කරන ඔවුන් දෙදෙනා අතරමගදී නොසිතූ කරදරයකට පත්වෙයි. ඒ නම් වනයේ වෙසෙන වැදිරජු හමුවීමයි. වැදිරජු මනමේ කුමරුට අණ කරන්නේ කුමරියව වනයේ නවත්වා යන ලෙසයි. එයට අකමැතිවන මනමේ කුමරු සමග වැදි රජ තනිවම සටන් කරයි. සටන අවසන මනමේ කුමරු වැදිරජු යටත් කරගනී. මනමේ කුමරු වැදි රජුගේ හිස සිඳලීමට කුමරියගෙන් තම කඩුව ඉල්ලයි. නමුත් මේ අවස්ථාවේදි කුමරිය කුමරුට පවසන්නේ වැදිරජුට සමාව දෙන ලෙසය.

“මේ වැදි රජුට තම සෙනග සමග එකවරට අපව විනාශ කරලන්නට ඉඩ තිබුණේ නොවේද හිමියනි. එහෙත් ඔහු ඔබ සමග තනිවම සටන් කළේය. ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ. ඔහු මරාදැමීම නොවටනේය හිමියනි. ඔහුට සමාව දෙනු මැනවි.”

මෙයින් මනමේ කුමරු කම්පනය වන අතර අවසානයේ වැදිරජ කුමරියගෙන් කඩුව උදුරාගෙන මනමේ කුමරු මරා දමයි. මේ මනමේ නාට්‍යයේ සාරාංශයයි.

ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
නොකළෙම් අනුවණ කම්
මුළා වුනේ ඔබ මුළා නොවිමි මම
මනමේ කුමාරියේ

මෙම ගීතය රචනා වී තිබෙන්නේ වැදිරජගේ ආත්ම ප්‍රකාශනයක් ලෙසිනි.“ඔබගේ රූප ශ්‍රීයෙන් මත්වී මම අනුවණ කමක් නොකළෙමි. මනමේ කුමරියනි, මුළා වූයේ ඔබ මිස මා නොවේ” සිය ස්වමිපුරුෂයාගේ මරණයෙන් කම්පිත වන ඇය වැදිරජුට චෝදනා කරයි. අවසන වනයේ තනිවන මනමේ කුමරියට වැදිරජුගේ සිත ගැනීම හැර වෙන කළ හැක්කක් නැත. ඒ ඇයට තනිවම වනය තරණය කළ නොහැනි බැවිනි. එබැවින් ඇය වැදිරජුගේ සිත ගැනීමට තැත් කරයි. විවිධ චාටු බස් කියයි. “මා කඩුව අතට ගත්තේ ඔබට දීම සඳහා මිස මනමේ රජුට දීම සඳහා නොවේ” යයි කුමරිය පැවසූ විට වැදිරජ කෝපයටත් විස්මයටත් පත්වී කුමරිය වනයේ තනිකර දමා යයි. ඉහත ගීත කොටස වැදි රජ පවසන්නේ එබැවිනි.

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
සටන් වැදිමි මම – සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අපහට හුරු වූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
සටන් වැදිමි මම – සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

මනමේ කුමරු මුළු දඹදිවටම අග රජ වුවද මේ වනයේ අගරජ වන්නේ වැදිරජු ය. එය ඔවුන්ගේ උරුමයයි. ඔවුන්ගේ නිජබිම වනයයි. දඹදිව අගරජ වුවද වනයේ වැදිරජ ඉදිරියේ පිටස්තරයෙකි. තමන් වනයට අධිපති බව මනමේ නාට්‍යයේ වැදිරජ මෙසේ පවසන්නේ එබැවිනි.

මේ අරණ් හිමගිර සිට දෙරණේ
මාගෙ සරණේ වේ මාගෙ සරණේ
නැතහොත් වේය මරණේ
මුළු දඹදිවටම තොප මහ රජ වුව – මාගෙ විජිතය මෙය මම වෙමි අගරජ
කව්ද තට මෙහි පිවිසෙන්නට කීවේ – අවසර නොමැතිව බල තට වන දේ

මනමේ කුමරිය තරම් රූමත් ස්ත්‍රියක් වනයේ නැත. මනමේ කුමරුද වැදිරජ තරමටම හී විදීම ප්‍රගුණ කළ අයෙකි. වැදිරජ තමන්ගේ නිජබිමවන වනය රැකගත යුතුය. ඔවුන්ට ඇති එකම උරුමය එයයි. ඔහු මනමේ කුමරු සමග සටන් වදින්නේ එය රැකගන්නටය යන්න මේ ගීතයෙන් පැහැදිලිවේ. මනමේ නාට්‍යය සිහිගන්වන මනරම් ගී තනුවක් යොදා තිබීම නිසා මේ ගීතය වඩාත් රසවත් වී ඇත.

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක ..//
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අප හට හුරුවූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන් ...//
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

ගීත රචනය – ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය – එඩ්වඩ් ජයකොඩි
සංගීතය – පණ්ඩිත් අමරදේව



මගේ බිසොවුනේ අසාපන්...

විශිෂ්ඨ ගේය පද රචක රත්න ශ්‍රී විජෙසිංහයන් අතින් ලියැවුනු 'මගේ බිසවුනේ අසාපන්..' වූ කලී වෙස්සන්තර ජාතකයේම තවත් එක් පැතිකඩකැයි සිතේ. එමෙන්ම එය අපූරු නිර්මාණයකි. මේ ගීතයට ඉතා සුන්දර වූත් දීර්ග වූත් පසුබිම් කතාවක් තිබේ. පද රචනයේ අදහස තවත් තීව්‍ර වන ආකාරයෙන් මෙය සංගීතවත් කොට ගායනය කරණු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ විසිනි. ගීතයේ පලමු පද කීපය මෙලෙසින් වෙයි. 

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

ගීතය බිහිවීමට ආසන්නතම හේතුව පසුවට තබා මුලින්ම ගීතයේ පදනම සකස්වූ ආකාරය විමසා බලමු. මෙම ගීතය රචනයට රත්න ශ්‍රී ට නිසැකවම ජාතක කතා පොතෙහි ඇතුලත් ප්‍රේමයේ සියුම් අවස්ථාවන් ස්පර්ශ කරන වෙස්සන්තර ජාතකයේ බලපෑම නොකිව මනාය. පසු කලෙක මෙම ජාතක කතාව නාඩගම්ක් වශයෙන්ද නැවත නීතීඥ ජෝන් ද සිල්වා විසින් නූර්තියක් ලෙසින්ද ඉදිරිපත් කරන ලදී. මෙහිදී ජාතක කතාවට සමාන හෝ එයටත් ඔබ්බට වූ බලපෑමක් වෙස්සන්තර නූර්තිය හරහා රත්න ශ්‍රී ගේ මෙම ගීතයට වී දැයි ඇතැම්විට සිතේ. පහත දැක්වෙන්නේ වෙස්සන්තර නූර්තියේ එන ගීතයක කොටසකි. 

මගෙ මන්ද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගෙ
නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
හිමාල දේසෙ වේවි
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ

ගීතයේ පද පෙලට නූර්තියෙන් ලද ආභාෂය පද විමසීමෙන් පැහැදිලි වේ.

ගීතයේ පසුබිම් කතාව නොකීවොත් එය ගීතය විඳීමට යම් ආකාරයක අඩුවක් වේ යැයි සිතන නිසා එය මෙසේ ඉදිරිපත් කරමි. රත්න ශ්‍රී විසින් රචිත බොහොමයක් ගීත වලට ඔහු තම අත්දැකීම් යොදා ගැනීම දැකිය හැක. මෙම ගීතයද තමන්ගේම අත්දැකීමක් පසුබිම් කර ගනිමින් බිහිකල ගීතයකි. මෙම කතාවේ වෙස්සන්තර රජු රත්න ශ්‍රී වන අතර මන්ත්‍රී දේවිය ඔහුගේ ආදරණීය බිරිඳ හේමමාලියයි. නමුත් මෙය යම් තාක් දුරකට වෙනස් වූ වෙස්සන්තර කතාවකි.

පලමු ගුරු පත්වීම තෙල්ලඹුරේ පාසලට ලැබුනු රත්න ශ්‍රී ට යම් හේතුවක් නිසා වෙල්ලස්සට නැතිනම් මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය විද්‍යා විදුහලට දුෂ්කර මාරුවීමක් ලැබුනි. මේ වනවිට හේමමාලිය සරණ බැඳ සිටි ඔහුට දූ සිඟිත්තියන්ද දමා යන්නට වෙන මේ ගමන සැබැවින්ම වංකගිරියට යෑමක්ම බඳු විය. ඔහුගේ සිත කම්පනය කල මෙම සිදුවීම ඔහු මුලින්ම මෙසේ කවියකට නගයි. මෙම කවිය මුල් වරට 'තරුණී' පත්‍රයේ පලවේ. ඒ 1980 ගණන්වලය.

මගේ බිසොවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණි
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ

තරුණී පත්‍රයේ පලවූ මෙම කවිය දකින ප්‍රවීන ගීත රචක ස්වර්ණ ශ්‍රී බණ්ඩාර විසින් එය මෙසේ ගීතයක් ලෙස සකසා ලියමනක් ද සමඟින් රත්න ශ්‍රී වෙත යවයි. පහත දැක්වෙන්නේ ඔහු විසින් නිර්මාණය කල ගීතය සහ යැවූ ලියමනෙහි අදහසයි.

මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණි
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
බුදුවෙන්ට ඕන නුඹලා
මට නිවන් මඟ කියල්ලා
පේලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
බෝ ප්‍රවේසමෙන් ඉන්නම්
මගෙ මෙහෙය මම කරන්නම්

හිතාදරයාණෙනි;

මෙය ලියන අප හමුව ඔබට මතක ඇතැයි සිතමි. නිරතුරුව ඔබේ කටයුතු හා තොරතුරු ලිපි මඟින් දකිමි. සොම්නසට පත්වෙමි. මේ සතියේ ‘තරුණි’ පුවත්පත දැකීමෙන් මෙය ලිවීමට සිදුවුණි. එහි පළවූ කවෙන් ඔබේ අලුත් තොරතුරු දැන ගතිමි. ඒ කවි පෙළ අගය කරමි. ඔබේ අනවසරයෙන් ‍මම ඒ කවි පෙළ ආස්සරයෙන් ඔබේ නමින් ගීයක් සකස් කොට අප මිත්‍ර ගුණදාස කපුගේ මහත්මාට දුනිමි. ඔහු එයට තනුවක් යොදා ගයන වග කීවා. මේ ඒවග ඔබට දැනුම් දීමකි. කපුගේ මහත්මාත් ඔබට ලියාවි. මෙය මගේ හිතුමනාපයට කළාට කම්නැත. මේ හා මා සැකසූ පිටපත ද ඇත. අනුරාධපුර පළාතේ ආ විටක හමුවෙමු.

ජය හිතාදර
ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

ගුණදාස කපුගේ ගායනා කරනු ලබන්නේ නැවත වරක් රත්න ශ්‍රි සංකරණය කරන ලද ඔහුගේ කවි පෙලින් නිමවූ ගීතයයි. ගීතයේ ආරම්භය මෙසේ වෙයි.

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

ඇය ඔහුට මන්ත්‍රී දේවියක්ම වෙයි. එනම් සියලු දුක් පීඩා, වේදනා ඉවසා දරා ගෙන ඔහුත් සමඟ ජීවිතය නම් වූ ගංගාව තරණය කිරීමට ඔහු අත් නොහැර ඔහුව තේරුම් ගත් ඇය ඔහුට මන්ත්‍රී දේවියක් මිස වෙන කව්ද? හේමමාලි පිලිබඳ රත්න ශ්‍රී විසින්ම රචිත පහත කාව්‍ය වලින් එය මනාවට ඔප්පුවේ. 

පහත කවි කිහිපය ඔහු විසින් රචිත 'වස්සානේ' ග්‍රන්ථය හේමමාලියට පුද දුන් ආකාරයයි.

කිරි ශිරා සියක්‌ ඉල්පී..
කෘශ ළැමට ඇදී එත්මැයි..
පියයුරෝ දෙදෙන හොරැහින්..
බිම බලාගෙන හඬත්මැයි..

ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත්මැයි
හාමතේ නොලා දෙදරුන්
රක්‍ෂා කෙරෙත්මැයි   

ඉහත කවියේද 'හාමතේ නොලා දෙදරුන්' යන පදය යෙදී ඇති අන්දම කෙතරම් සුන්දරද. 

ඔහු අයැදින්නේ වෙසතුරු රජු පසුපස පේවී පැමිණි මන්ත්‍රි දේවිය මෙන් ඔහුත් සමඟ දුෂ්කරවූ ඔක්කම්පිටියට යාමට නො එන ලෙසිනි.

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

එහි ගෙවීමට ඇති දුෂ්කර ජීවිතය ඔහු ඉහත පද පෙලින් ඉදිරිපත් කරයි. මෙහිදී වෙස්සන්තර නූර්තියේ ඇති පහත පද දෙපල ද ඒ හා සම වෙයි. 

නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
හිමාල දේසෙ වේවි
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ

මෙහිදී රත්න ශ්‍රී යන් ද 'හිමය' යන වචනය යොදා ගනී. හිමය යනු හිමාලයයි. ඔහු යන්නේ හිමාලයට නොවේ. නමුත් ගමනේ ඇති දුෂ්කර බව කියා පෑමට ඔහු වෙස්සන්තර නූර්තියෙන් ලැබූ ආභාෂය මැනවින් යොදා ගනී.

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ

මෙම ගීතයෙ එන 'නුඹ චන්ද්‍ර මඬල වැන්නේ. සාපැටව් එහි නිදන්නේ..' යන පද දෙක සුන්දරත්වය අතින් ඉහලම ස්ථානයක ඇති බවට පැහැදිලිය. මෙහිදී සඳ මඬල ලෙස සිය බිරිඳව උපමා කරන ඔහු සඳ මඬලේ නිදන සා පැටවුන් ලෙසින් දකින්නේ තම දියණියන් දෙදෙනාවයි. මෙම උපමාවද ඔහු වෙස්සන්තර කාව්‍ය සංග්‍රහය කියැවීමෙන් ලැබූ ආභාෂය හරහා සමීප වූවක් දැයි වෙස්සන්තර කාව්‍ය සංග්‍රහයේ ඇතුලත් පහත කවි පද දෙස බැලීමේදී සිතේ.

ලප සේ සඳ විලසේ දවසක් වෙන්නූ වෙම්මා
එපසේ බුදුකෙනකුන් මෙන් රැකිදැයි නිතිපෙම්මා 

මෙහිදී දරුවන් සහ මව වෙනුවෙන් උපමා රූපක වන්නෙ සඳත් සඳෙහි ලපත්ය.

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්

මෙම ගීතයේද ඉහත පදවැල සම්පූර්ණයෙන්ම වෙනම සමාජ කතිකාවතක් ගොඩ නගයි. ඔහු සියුම් ලෙස සමාජයේ පවතින සාකච්ඡාවට බඳුන් විය යුතු මාතෘකාවක් ඉදිරිපත් කරයි. 

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සාපැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

අවසාන කවියෙන් ඔහු අහිංසක ඉල්ලීමක් කරයි. එයත් ඔහු ඉදිරිපත් කරන ආකාරය කෙතරම් සුන්දර දැයි බලන්න.. 

හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

ඔහු මොණරාගල සේවය කරන කාලයේ ලියූ කවි ගීත එකතු කර 'වංකගිරිය' නමින් කවි පොතක් ද එලි දකවන ලදී. එම පොතේ මෙම ගීතය හඳුන්වා තිබුනේ 'වංකගිරියට පිටත්වීම' යනුවෙනි. 

රත්න ශ්‍රී විජෙසිංහයන් ගේ ආදරණීය හේමමාලියන්ට නිවන් සුව පතන අතරම රත්න ශ්‍රී විජෙසිංහයන්ට තවත් මෙවැනි සුන්දර නිර්මාණ එලිදක්වන්නට ලැබේවායි පතමු.

(උපුටා ගැනීම - ගී පොතයි මී විතයි)





දවසක් දා.. හැන්දෑවක..

දවසක් දා.. හැන්දෑවක..
පොතක් බලන්නට සිතුනා..
හිතුවෙත් නෑ.. ඒ ජාමෙට..
ඔබව මතක්.. වෙයි කියලා..

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා..
ඈ මගේ සිතේ සක්මන් කලා..
මා දිහා බලා සුසුමන් සලා..
ආදරෙයි කියා නොකියා ගියා..
කියා පොතේ ලියවී තිබුනා..

රේණු රේණු මල් මිටේ රේණු..
ඈට පෙම් කරන්න මට බෑ ලූ..
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ..
රොන් පීරී සැලෙන්න මල් රේණූ..

සද වත දෝ.. මා දුටුවේ..
ඔබෙ ගත දෝ.. මා දුටුවේ..
සිතුවම් දෝ.. මා දුටුවේ..
හැබහින් දෝ.. ඔබ දුටුවේ..

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා..
ඈ මගේ සිතේ සක්මන් කලා..
මා දිහා බලා සුසුමන් සලා..
ආදරෙයි කියා නොකියා ගියා..
කියා පොතේ ලියවී තිබුනා..

රේණු රේණු මල් මිටේ රේණු..
ඈට පෙම් කරන්න මට බෑ ලූ..
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ..
රොන් පීරී සැලෙන්න මල් රේණූ... //

රොන් පීරී සැලෙන්න මල් රේණූ...
ඈට පෙම් කරන්න මට බෑ ලූ...

පදරචනය, සංගීතය හා ගායනය - රූකාන්ත ගුණතිලක 

කවදත් නොමැරෙන මේ ගීතයේ පූර්ණ අයිතිය රූකාන්ත ගුණතිලක මහතාට අයිතියි. ඔහු වාග්ගේයකාරයෙක් කියලා හඳුන්වන්නට මෙය හොඳම උදාහරණයක්. තවත් ගීත ඔහු රචනා කරලා තියෙනවා. ඉතින් 1985 වසරේ දී ඔහු ස්විට්සර්ලන්තයේ සංගීත කණ්ඩායමක කටයුතු කරනවා. එක්තරා නිවාඩු දවසක ඔහුගේ මිතුරන් ටිකක් ඈත පළාතකට ගිහින්. ඔහු පමණයි කාමරයේ හිටියේ. එදා හැන්ඳෑවේ ඔහුගේ ඇඳ මත පොතක් තිබෙනවා දැක්කා ම ඒ පොත දිහා බලන්නට හිතුණා.

පොත දිහා බලනකොට ම මේ ගීතයේ මුල්වචන ටික ඔහුට හිතට නැගුණා. ඒ වෙලාවේ ඔහුගේ අතේ සංගීත භාණ්ඩයක් තිබුණේ නැහැ. ඔහු වහාම සංගීත කාමරයට දුවගෙන ගිහින්, උපකරණ ක්‍රියාත්මක කරලා රෙකෝර්ඩරයක් ළඟින් තියාගෙන තනුව නිර්මාණය කරනවා. ගීතයේ කොටසක් නිර්මාණය කරලා ඉතුරු ටික ඔහු ලංකාවට පැමිණි පසු නිමවා අවසන් කරනවා. ඉන්පසු අපිට මේ ගීතය අහන්න ලැබෙන්නේ මුල්වරට, ඔහුගේ බඹර පහස කැසට් පටයෙන්.



ඔබට සිත ආදරේ කරයි ...

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළුවී සිටි
නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
මගේ සිත වේදනා විඳි..

ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හදුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමතිදෝ මා කෙරේ..

මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ..
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේද මා වෙතේ..

ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා..
යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා..

දයාරත්න පෙරේරාගේ බොහෝ ගීත රචනා කර තිබෙන්නේ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින්. බොහෝ විට පෙරනිමි තනුවකට එතුමා විසින් ගීත රචනා කර තිබෙනවා. මේ ගීතයෙත් තනුව නිර්මාණය කර තිබුණට කිසිම පද මාලාවක් නිර්මාණය කර නොතිබූ මොහොතක දිනක් දයාරත්න පෙරේරා මහතා අපූරු අත්දැකීමක් කියනවා.

එක දවසක් "සත්සර" පත්තරේ මම ගැන පළවූ ලිපියකින් පසු මට තරුණයෙක් සුවිශේෂ ලිපියක් එවා තිබෙනවා. එහි සඳහන් වන්නේ ඔහු දිනපතාම බස් නැවතුම් පොලේ දී දකිනවා තරුණියක්. ඇය ගැන උනන්දුවක් ඇතිවනවා. හැබැයි අදහස ප්‍රකාශ කරන්න ඔහුට ශක්තියක් නැහැ. ඒ නිසාම ඔහු වේදනාවකට පත්වෙනවා. මෙසේ ඒක පාර්ශවිකව ආදරය කරන ඔහු දිනක් දකිනවා වෙනත් තරුණයෙක් ඇය සමග සමීප වෙලා සිටිනවා. ඒ දකින ඔහුට දැඩි ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. කාලයක් තිස්සේ හිතේ ආදරය තියාගෙන සිටි එම තරුණයාට මේ සිදුවීම දරාගන්න බැරි වුණා. ඔහු මානසිකව ඇදවැටෙනවා. ඒ ඇතිවූ හැඟීම තමයි ලිපියකින් දයාරත්න පෙරේරා මහතාට දන්වන්නේ.

මේ ලිපිය ධර්මවර්ධනයන්ට පෙන්වූ පසු ඔහු අපූරුවට එය චන්දන වැලිකල විසින් නිර්මාණය කළ පෙර නිමි තනුවකට පද මාලාවක් නිර්මාණය කරනවා.

ධර්මවර්ධනයන් ගීතයේ එක් තැනක මෙහෙම ලියනවා. " නුවන් දැහැනින් බැඳෙන්නට පිං නොමැති දෝ මා කෙරේ" සාමාන්‍යයෙන් ඕනෑම පිරිමි ළමයෙක් මුලදී තමන්ගෙ හිතේ තියෙන අදහස හිත ගිය ගෑණු ළමයාට එක එල්ලේ ප්‍රකාශ කරන්න තරමක් තැති ගන්නවා. ඒක ලැජ්ජාවක් බියක් මුසුවූ හද ගැස්ම නිසා සිඳුවන දෙයක්. මේ ගෑණු ළමයා තුළ වූ ආකර්ශනය නිසා තමයි පිරිමි ළමයා සෑහෙන දවසක් ඇයට කියන්න හිතාගෙන සිටි දේ නොකියා ඉඳලා තියෙන්නේ. 

මේ ගීතය පටිගත කොට ගුවන් විදුලියට බාරදුන් සැණින් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා.



නෙතු පෙලා රවටලා ...

නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා..
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා..
රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා..
සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා..

මගෙ සිතුම් රැලෙන් හද දවටා මුව සිපගත්දා

ඇගෙ සිනා දැලෙන් මා වටලා මට ලංවූදා
අත් සල සලා අපි හිනැහුනා
මුළු ලොවම හිනැහුනා...///

නෙතු පෙලා රවටලා..

දුල් මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා
සල් සුණු සුවඳින් ගත සරසා ලඟට වඩින දා
ලංවෙන තුරා හිටියත් බලා..
මා ලොවෙහි තනි වුනා...///

නෙතු පෙලා රවටලා..

මේ ගීතය පද රචනා කරලා තියෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදිකාවක වන "රංජනී විතානගේ" මහත්මියයි. ඇය අන් කවරෙකුවත් නොව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදකයෙක් වන "ආරියසිරි විතානගේ" මහතාගේ ආදරණීය නැගණියයි. මෙහි තනු නිර්මාණය කර ඇත්තේ "මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි" මහතා විසිනි. රෝහණ බෝගොඩගේ ඉල්ලීම මත සනත් නන්දසිරි මහාචාර්යතුමා විසින් යමන් කළ්‍යණි රාගය ඇසුරු කරමින් මෙහි තනුව නිර්මාණය කර තිබෙනවා.

මෙහිදී පද රචනය ඉතාම අපූරුවට රංජනී විතානගේ මහත්මිය විසින් සිදුකර තිබෙනවා. මෙය ගීත රචිකාවක් අතින් ලියවුණත් පුරුෂයෙකුගේ කථන ස්වරූපයෙන් ලියා තිබීම ඉතා මැනවින් කරලා තිබෙනවා. මේ ගීතයෙන් කියවෙන්නේ පෙම්වතෙකුගේ සාංකාව ගැනයි. ඒ සඳහා අපූරු රූපයකයක් විතානගේ මහත්මිය යොදාගෙන තියෙනවා "හිරුත් සැඟවිලා" කියලා. ඒක යොදලා තියෙන්නේ, පූර්ව ක්‍රියා කිහිපයකට පස්සේ. පෙලා, රවටලා, වෙන්වෙලා ආදී වශයෙන්. අන්තිමට හිරුත් සැඟවිලා කියන එකෙන් ප්‍රේමයේ පරාජය තහවුරු කරලා පෙන්වනවා.

පළවෙනි අන්තරා කොටසින් කියන්නේ, පෙම්වතියත් සමග කාලය ගත කල ඒ සොඳුරු අතීතය ගැන. ඒ සුන්දර මතකයන් ගෙන හැර දක්වනවා. ඒ දෙදෙනා එකතු වූ දවසේ ලෝකයම සතුටින් ඔවුන්ට ආශිර්වාද කලා කියන එක කියවෙනවා.

මෙහි වඩාත් ලස්සනම යෙදුම් යොදලා තියෙන්නේ, දෙවනි අන්තරා කොටසේ.

දුල් මිණි සඟල - දුල් කියන්නේ බැබලෙන, මිණි සඟල කියන්නේ ඇස්. එතකොට දුල්මිණි සඟල කියන්නේ, "බැබලෙන ඇස් දෙක" කියන එකයි.

සල් සුණු සුවඳින් - සුණු කියන්නේ චූර්ණ කියන එකයි. ඒ කියන්නේ කුඩු. මෙතන සල් කියලා කියන්නේ, මල්වර්ගයක්. ඒ නිසා සල් සුණු කිව්වාම "මල් රේණු" කියන එක තමයි මේ අදහස් කරන්නේ.

ඉතින් මේ ගීතයට රෝහණ බෝගොඩයන් යමන් කළ්‍යාණි රාගය යොදා ගන්න කියා යෝජනා කිරීම ඉතා හොඳ තීරණයක් කියලා හිතෙනවා. මොකද මෙතන විරහවේ සාංකාව ගැනත් කියවෙන අතර හිරු සැඟවිලා කියලත් කියනවානේ. එතකොට සන්ධ්‍යා කාලයේ දී ඒ ගැන මෙනෙහි කිරීම ගැලපෙනවා. පාළුව, තනිකම, දවසේ මැළවී ගිය ස්වරූපය හිරු බැස යන වෙලාවට හොඳට ගැලපෙනවා. ඉතින් මේ වෙලාවට ගයන හොඳම රාගය තමයි යමන් කළ්‍යාණි රාගය. මොකද එහි ගායන සමය හවස 6 - රාත්‍රී 9 දක්වා යෙදිලා තියෙන්නේ.

(උපුටා ගැනීම - මාධව විජේසේකර)



වරෙන් හීන් සැරේ ...

වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
අනේ හෙමින් හෙමින් ඇදී යන්න
වළාවේ ..

සිසිල් පවන් බිබී...
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ 
සතුන් මෙ යාමේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..

රෑ යාමයේ.. හීංසැරේ...
වරෙන් අනේ...

හාවෝ... පෙම් කෙලීයේ යන්නේ
රෑ යාමෙදෝ?...///

හාදු දිදී තණ පඳුරේ නටන්නේ...
පනින්නේ...
හාවෝ... හාවෝ...
අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..

ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ?
ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ//
අන්න මහමූණා හොරෙන් පියා හඹා යේ
වවුලෝ.... කියාපන්කො වාසි අතට හෝයියා
එහෙත් හීන් සැරේ...හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..

හඳ මාමා කිරි දෝ...ලා කිරි මුට්ටිය බිඳ දා..ලා
හීන් සැරේ බඩ ගා එනවෝ
අනේ, සුදු මූ‍ණත් රැලි වැටී...ලා නොවේදෝ!
අයියෝ, රිංගා ... ලා බඩ ගා...ලා සීරී...ලා...මාමේ...
අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...

වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..

1947 වසරේ දී සුනිල් සාන්තයන් තමාගේ ගීත ඇතුළත් කරලා "රිදී වළාව" කියලා පොතක් නිකුත් කරනවා. මේ ගීතය අඩංගු වුණේ, ඒ පොතේ. එතුමාගේ ගීත සහ ස්වර ප්‍රස්තාර සහිතව නිකුත් කරලා තවත් පොත් ගණනාවක්ම නිකුත් කරලා තියෙනවා. ප්‍රථම වරට නිකුත් කල කෘතිය තමා මේ රිදී වළාව කියන්නේ, එහි පෙරවදනේ "රැපියෙල් තෙන්නකෝන්" කිවිඳුන් කියා තියෙනවා සුනිල් සාන්තයන් ඉන්දියාවේ ගිහින් සංගීත විශාරද දක්වා ඉගෙන ගෙන ආවා වුණාට ඒ ඉන්දියානු ශෛලියට එතුමා අනුගත වුණේ නැහැ කියලා. එතුමාගේම ශෛලියක් අනුගමනය කරමින් තමා හැමවිටම නිර්මාණයේ යෙදුණේ.

සුනිල් සාන්තයන් කියන්නෙත් වාග්ගේයකාරයෙක්. පද රචනය, තනුව සහ ගායනය තුනම එතුමා විසින්ම කිරීමයි. එවැනි අය ලංකාවේ බොහෝම දුර්ලභයි. ආනන්ද සමරකෝන්, අමරදේව, සෝමතිලක ජයමහ, රෝහණ බැද්දගේ එවැනි අයට උදාහරණ.

මේ ගීතය අහනකොට ඔබට තේරෙනවා ඇති සුනිල් සාන්තයන්ගේ කටහඬ ඉහල පරාසයක ගැයෙන්නේ. එහෙම ගායනා කරනකොට වචන හරියට උච්චාරණය කරන එක ලේසි නැහැ. නමුත් සුනිල් සාන්තයන් ඒක ඉතා නිවැරදිව කරනවා. එයයි එතුමාගේ විශේෂත්වය.

අනික එතුමාගේ ගීත අරන් බැලුවොත් බෙංගාල ජන සංගීත ආභාෂය තියෙනවා. බෙංගාල ජන සංගීතයේ විශේෂත්වය තමා බොහෝ විට ගංගාවක් ඇසුරු කරගෙන ගීත නිර්මාණය වීම. ඉන්දියාවේ ගංගා නම් නදිය මුහුදට ගලන්නේ බෙංගාල ප්‍රාන්තය හරහායි. ඉතින් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ දෙනා ජීවිකාව ගෙනයන්නේ ගංගා ගඟ ඇසුරු කරගෙනයි. ඒ නිසාම ගංගා ගඟ ඇසුරු කරගෙනම ඒ සංගීතය ගොඩනැගීම අමුතු කරුණක් නොවෙයි. මෙහිදී සුනිල් සාන්තයන් විසින් වරෙන් හීන් සැරේ .. ආදී වශයෙන් දීර්ඝ ලෙස මාත්‍රා යොදාගෙන තිබෙනවා. මුළු ගීතය පුරාම එය දකින්නට තිබෙන ලක්ෂණයක්.

මේකට ප්‍රධාන හේතුව සුනිල් සාන්තයන් සංගීතය හදාරන්නට යන්නේ "රබීන්ද්‍රනාත් තාගෝර්" තුමාගේ ශාන්ති නිකේතනයට වීම. එතුමා බෙංගාල ජාතිකයෙක්. ඉතින් ශාන්ති නිකේතනය පිහිටා තිබෙන්නෙත්, වත්මන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ. මේ පාරිසරික සාධක සුනිල් සාන්තයන්ගේ නිර්මාණ වලට හොඳ පසුබිමක් වෙන්න ඇති. මොකද එතුමාගේ කීර්තිමත් ශිෂ්‍ය "අයිවෝ ඩෙනිස්" මහතාට එතුමා වරෙක කියා තිබෙනවා "සංගීතය ඉගෙන ගන්න නම් ශාන්ති නිකේතනය තරම් හොඳ තැනක් තවත් නැහැ" කියලා.

මේ ගීතය පිටුපස තිබෙන රසවත්ම කතාව මේකයි. අයිවෝ ඩෙනිසුන්, සුනිල් සාන්තයන්ගේ සිසුවෙක් වූ‍යෙත් මේ ගීතය නිසයි. එවකට සුනිල් සාන්තයන් නවාතැන් ගෙන සිටියේ කොල්ලුපිටියේ නිවසකයි. එක්‌ උදෑසනක එතුමා දිය නාමින් සිටියා. ගීය ගුවනින් ප්‍රචාරය වන අයුරු එතුමාට ඇසුණා. ඒත් එකවරම සුනිල් ශාන්තයන් දිය නෑම මඳකට නතර කළා. යළි ගීයට සවන් දුන්නා. ගායනයේ තැනක්‌ දෙකක්‌ අඩුපාඩු සහිතයි. හොඳින් ගීයට ඇහුම්කන් දුන්නා. මේ නම් තමන්ගේ හඬ නොවේ යෑයි එතුමාට ප්‍රත්‍යක්‍ෂ වුණා. "ඒ ගීතය ගැයුවේ සීදූවේ අයිවෝ ඩෙනිස්‌" යෑයි ගීය අවසන නිවේදකයා සඳහන් කළා. වැඩසටහන "ආධුනික පැයයි".

තමාගේ හඬට ආසන්න හඬකින් මේ ගීය ගැයූ ආධුනිකයා දැක ගැනීමට සුනිල් ශාන්තයන්ට අවශ්‍ය වුණා. ඔහු තම සිසුවෙකු කැඳවූවා. සිසුවා අන් කවරෙකුවත් නොව පැට්‍රික්‌ දෙනිපිටියයි. තම ගීය ගැයූ නවකයා සොයා ගැනීමේ කාර්යය සුනිල් ශාන්තයන් පැට්‍රික්‌ දෙනිපිටියට පැවරුවා. දින කිහිපයකට පසු පැට්‍රික්‌ ඔහු කැඳවා ගෙන ආවා. තොරතුරු අසා දැනගත් සුනිල් සාන්තයෝ, අයිවෝ ඩෙනිස්‌ නම් ආධුනිකයා තම පංතියට ඇතුළත් කර ගත්තා. අයිවෝ ඩෙනිසුන්, සුනිල් සාන්තයන් සෙවනේ ශිල්ප හදාරන්නට පටන් ගත්තේ ඉන්පසුවයි.









අඳුරු කුටිය තුල ...

අඳුරු කුටිය තුල
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ

පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ...

සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...

කුසම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත නැඟි දාඩිය සුවඳින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...

විශ්ව සාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝර් තුමන්ගේ ලෝ ප්‍රකට ග්‍රන්ථයක් වන "ගීතාංජලී" නම් කෘතියේ කවියක් ගීතයක් ලෙසට ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්ත යන් සිංහලට පරිවර්තනය කර, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කර ටී.එම්.ජයරත්නයන් හා අයිවෝ ඩෙනිස්‌ විසින් ගායනා කරන සුවිශේෂී ගීතයකි. අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන....කියන ගීතය.

අඳුරු කුටිය තුල
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ.....

දේවාල බොහෝමයක බොහෝ විට තිබෙනුයේ අඳුරු ස්භාවයකි. නැතිනම් දොරවල් වසා ඇත.දේව රූපය තිර රෙදි වලින් වසා ඇති අතර ඉන් යාන්තමට දේව රූපය, ප්‍රතිමාව, පෙනෙන්නට සලස්වා ඇත. දෙවියන් හමුවට යන දේව භක්තිකයන් කපු මහතුන් හරහා යාතිකා හා ගීතිකා කියවනු ලබන්නේ බාහිර සමාජයෙන් විතැන් වීය. නමුත් මෙම අදහසේ සංකල්පිකයා ඉහත අයුරින් ගයන ගීතිකා හා යාතිකා දෙවියන්හට නොඇසෙන බව පවසයි.

එවන් දෙවොල් තුල සැබෑ දෙවියන් වැඩ නොසිටින වග හා ඔවුන් වැඩසිටිනුයේ දැඩි අවුවේ වේලෙමින් සහ මහවැහි වලට තෙමෙමින් වැඩකරන ජනතාව සමීපයේ බව පවසයි. මෙම අදහස අඩංගු කෘතිය ප්‍රකාශිත වන්නේ 1912 දී ය. සියවසක් ඉක්මවා ගියද එහි අරුත වර්තමානයට කෙතරම් බද්ධ වන්නේද යන්න සලකා බැලීම වටී. තාගෝර් කිවිඳුන්ට නොබෙල් ත්‍යාගය හිමි කර දුන් ගීතාංජලිය මුලින්ම ලියන ලද්දේ වංග බසිනි. වංග බසෙහි එන ගීතවත් බව හා මිහිරි බව එම කෘතියෙහි දිදුලන බව වංග බස දත් සිංහල විද්වත්හු අවධාරණය කරති. වංග බසින් ලියෑවුණු ඒ රමණීය ගීත ගයමින් තමන්ට මතු නොව අන් අයට ද ඒ මිහිරි ආශ්වාදය ලබා දුන් විද්වත්හුද එදා විසූහ.

ඉන්දීය සමාජයේ අත්දැකීම් ඇසුරෙන් තාගෝර් තුමන් නිර්මාණය කර ඇති මෙය ලාංකීය සමාජයට බද්ධ කොට ලාංකීය අනන්‍යතාව සුරැකෙන පරිදි පරිවර්තනය කිරීමට ආචාර්ය අලවත්තයන්ගේ ප්‍රතිභාව විශිෂ්ටය.

කඩතුරාවෙන් දෑස වැසුණු කල කිසි කෙනෙකු හට යතාර්ථය නොපෙනේ. වෙසෙසින් දෙවියන් පිළිබඳ තමතමන් දකින්නේ කඩතුරාව නැමැති පාට කණ්නාඩි පැළඳ ගෙන විනා යතාර්ථවාදීව නොවේ. එනිසා කඩතුරාව හැර බැලීම නොහොත් බලන ක්‍රමය වෙනස්වීම අනිවාර්යයෙන්ම කල යුතුව ඇත.

සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළඳා
දෙවියන් රුව දක්නට හැක්කේ....

දේව ප්‍රතිමා වලට අන්දවා ඇත්තේ සිනිඳු බැබලෙන ඉස්තරම් රෙදි පිළිය. නමුත් එම රෙදි ඉවත්කොට දූවිලි මඩ සහිත ඇඳුම් අන්දවා දෙවියන්ගේ රුව දැකිය හැකි වග කියැවේ. සිනිඳු සුවැති සළු සිරසින් හැරදා යන්නෙන් දෙවියන් පිළිබඳ මිනිසුන් සිතන් සිටින ආකාරය වෙනස් කල යුතුව ඇතැයි හැඟවේ. මෙය වත්මන් සමාජයට කෙතරම් බද්ධ වී තිබේද යන්න සලකා බලනු වටී.

දෙවියන්හට මහත් බැතියෙන් සලකන බැතිමතුන් සැබෑවටම සැලකිය යුත්තන් හමුවේ කෙතරම් සංවේදී ද යන්න ගැටලුවකි. තම දරුවන් ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලන භක්තිමත් මිනිසුන් නොමසුරුව මුදල් වියදම් කර දේව පූජා පවත්වයි. නමුත් ඔවුන් රැකියා වලට ගියවිට දරුවන් රැකබලා ගන්නා මෙහෙසියට මාසික වැටුපවත් හරියට දෙනවාදෝ යන්න විමසිය යුතුය. තම වාහනය රැක දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා නිර්ලෝභීව මුදල් සමග පූජා වට්ටි පුදන මිනිසුන්ම, එම වාහනය "සර්විස්"කරන ස්ථානයේ සේවකයාට සන්තෝෂමක් දීමට මාරු සල්ලි පසුම්බිය පීරා සොයනු පෙනේ. නමුත් වාහනය ආරක්ෂා කරදෙන සැබෑ දෙවියන් එම සේවයන් වග ඔවුනට නොතේරේ. දෙවියන්ගෙන් පිහිට ඉල්ලන හැම කාරණාවක් සම්බන්ධයෙන්ම මෙම න්‍යායම ක්‍රියාත්මක වීම දෑස බැඳි කඩතුරාව නිසාම නොවන්නෙද?

අව් වැසි නොබලා වැඩකරන කම්කරුවන් හට නොදක්වන සැලකිල්ලක් දෙවියන් ඉදිරියේ දක්වන සමාජයක් තුල ඔවුන්ගේ දෑස කඩතුරාවෙන් වැසී ඇති වග පවසන රචකයා, ඔය දෙවියන් වෙනුවෙන් කරන සැලකිලි තම කම්කරු ජනතාවට දක්වන්නේ නම් මැනවැයි නොකියා කියන්නේ නොවේද?

කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගත නැඟි දාඩිය සුවඳින් සැරයි
දෙවියන් හා එක්විය හැක්කේ....

බාහිර අලංකරණයත් සැරයි දෙවියන් සමග සම්බන්ධතා පැවැත්විය නොහැකි බවත් දෙවියන් හා එක්වීමට නම් වැඩකරන ජනතාව සමග එකතුවී වැඩ කිරීම කලයුතු වගක් මින් නොහැඟෙන්නේද?

මල් සඳුන් දුම් සුවඳ සමග දෙවියන් නොදැකිය හැකි වගක් හා දාඩිය සුවඳ සමග දෙවියන් හා එක්විය හැකි බවක් ප්‍රකාශ වුවද අද කාලයේ දේව දාන, සාංගික දාන ආදිය සඳහා වැඩකරන කම්කරු ජනතාවව සහභාගි කරගැනීමට ද මැලිකමක් දැක්වීමට බොහෝ අය පෙළැඹී සිටී.

උක්ත කරුණු සැලකීමේදී සාම්ප්‍රදායික දර්ශනයන් අතික්‍රමණය කල සුවිශේෂී ගීතයක් ලෙස "අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන" ගීතය හැඳින්වීමට පිළිවන.

(උපුටා ගැනීම - බුද්ධික ප්‍රදීප්)





පියාණනී මා නැවත උපන්නොත් ...

ගීත රැසක් රචනා කළ විද්‍යෝදය විභූෂණ සාහිත්‍ය කලා ශිරෝමනි මහාචාර්ය සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාරයන්,
  
මං කතා කරන්න හදන්නේ. එහෙම කතා කරන්න කැමති ගීත අතර එක් ගීතයක් තමයි ”පියාණනි මා නැවත උපන්නොත්” කියන ගීතය.

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොවම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න
 
මේ ගීතයට පෙර තාත්තලා ගැන ගීත රචනා වෙලා නැහැ නේද?
 
මගේ දැනීමේ හැටියට මේ ගීතයට කලින් තාත්තලා ගැන ගීත රචනා වෙලා නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. කව්රුන් හෝ එහෙම ගීතයක් පෙන්වා දුන්නොත් මං ඒක නිහතමානීව පිළිගන්නවා. නමුත් මම දන්නා තරමින්, මට මතක ඇති තරමින් තාත්තලා ගැන ගීතයක් නැහැ. මේ ගීතයේ මුල හොයාගෙන යනකොට මට මතක් වෙනවා ඉස්සර නිතර ගුවන්විදුලියට යන කාලේ එහි හිටපු සභාපතිවරයකු ගේ තරුණ ලේකම්වරියක් හිටියා. ඇය දවසක් ”ඇයි ඕගොල්ලෝ තාත්තා ගැන සිංදුවක් ලියන්නේ නැත්තේ” වගේ දෙයක් ඇහුව කියලා යාන්තමින් මගේ මතකයේ රැුඳිලා තියෙනවා.
 
 ඇය කව්ද?
 
 මොන සභාපතිවරයාගේ කාලයේද? කව්ද ඒ තරුණ ලේකම්වරිය කියන එක ගැන මට පැහැදිලි අදහසක් නෑ. මට හිතෙනවා මේ ගීතය ලිවීමේ මුල් බීජය ඇතිවුණේ එතනින් කියලා. නමුත් ඒ වෙලාවේ එහෙම ගීතයක් මගේ අතින් ලියවුණේ නැහැ. එනමුත් පසු කාලයේදී ඒ ගීතය ලියවෙන්න හේතුවක් වෙනවා මගේ තාත්තා අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා රෝහල් ගත කළ අවස්ථාව. එතකොට අපි සහෝදරයෝ කීපදෙනා මාරුවෙන් මාරුවට තමයි තාත්තා ගාව පහන් කළේ. මම ගත කරපු දවස්වල අබේවර්ධන බාලසූරියත් මාත් එක්ක ඒ රාත‍්‍රී කාලයන් ගත කළා. ඒකට හේතුව මම විතරක් නෙමෙයි, අබේවර්ධන අපේ පියාගේ ළඟම හිතවතෙක් වූ නිසා. එක රාත‍්‍රියක ඔහුට ඔහුගේ තාත්තා ගැනත්, මට මගේ තාත්තා ගැනත් ගීතයක් ලිවීමට උවමනාව වුණා. ඒ අනුව තමයි මේ ”පියාණනි මා නැවත උපන්නොත්” කියන ගීතය රචනා වුණේ. ඇත්තටම මේක මගේ තාත්තා ගැන හරි අබේවර්ධනගේ තාත්තා ගැන හරි ලියවුණාට පොදුවේ තාත්තලා ගැන කියවෙනවා. ඇත්තටම හැම තාත්තා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන් ගේ දරුවා තමන්ට වඩා ඉදිරියට යෑම. අපේ තාත්තට ඔහු ගේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් වුණා. මම මහාචාර්යවරයෙක් වුණා, තව කෙනෙක් නීතිඥවරයෙක් වුණා, තව කෙනෙක් පත‍්‍ර කලාවේදියෙක් වුණා. නමුත් ඒ වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් මං හිතන්නේ හැම පියෙක්ම කරනවා කියලා. ඒ කැප කිරීම තමයි තමන් දුක් විඳිමින් තම දරුවන්ට යහපතක් සැලසීමට වෙර දැරීම. මං ඇස් දෙකෙන් දැක්කා මගේ පියත් මවත් මොන තරම් දුක් කන්දරාවක් වින්දද කියලා අපේ ජීවිත සැපවත් කරන්න. ඔවුන් නොකා නොබී හරි අපේ කුසට ආහාර දුන්නා. අපි ලොකු ලොකු රස්සාවල් කළාට, අපේ අතේ සතේ නැති වෙලාවල්වලට අපි සල්ලි කීයක් හරි ඉල්ලූවෙත් තාත්තාගෙන්. ඉතිං ඒක නිසා ඒ තාත්තා ගැන තමයි මේ ගීතය රචනා කළේ.

(උපුටා ගැනීම - දිවයින)




ශාන්තිනී තෙමා වැටෙයි ...

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් උසස් පෙළ හදාරලා ඊට පස්සේ සමත් වෙලා ප්‍රායෝගික පරීක්ශනය වෙනුවෙන් ලැබුන නිවාඩු මාස තුනේ එක් තරා තරුණයෙක් යනවා නිවාඩුව ගත කරන්න මන්නාරම් දිස්ත්‍රික්කයේ සිටින ඥාතිවරයෙකුගේ ගෙදර.. හැබැයි මේ තරුණයා මන්නාරම් යන්නේ මොහු ද්‍රවිඩ ජාතිකයෙක් හින්දා නෙමෙයි. යුද්ධය කියන ශාපය ලක් මාතාවගේ කුස පිලිසිදගන්න කලින් මන්නාරම කියන්නේ එකසිංහල ගෙදරට යාබදව එක දෙමල ගෙයක් ගානේ තිබුන තැනක්..

ඉතින් මේ තරුණයා ටිකක් මානසික සුවයක් ලබා ගන්නත් එක්ක තමයි මේ ගමන යන්නේ. ඉතින් ගිහින් ටික දවසකින් මේ අපූරු තරුණයා එක්ක ද්‍රවිඩ ජනතාව එක්කාසු වෙනවා කතාබස් කරන්න පටන් ගන්නවා.. ඇත්තටම දකුණේ නැගී එන කලාත්මක හදවතක් තිබුන මේ කතානායකයට මනුස්සයෙක්ගේ සිතකට කිමිදෙනවා කියන එක අපහසු දෙයක් උනේ නෑ. කෙටියෙන්ම කියනව නම් යන යන තැන මිනිස්සුන්ගේ හිත් දිනා ගත්ත මේ තරුණයාට මෙතන ඇතිවුන පිලිගැනීම ගැන අවිවාදයක් නැහැ..

ද්‍රවිඩ ජනතාවට තියෙන්නේ හරි උසස් සංස්කෘතියක්. තමන්ට බත සපයන්න උදවු කරපු හරකට පවා වන්දනාමාන කරන මහ පාරක උනත් ගුරුවරයෙකු දැක්කම දන නමන හැම කෝපි කඩේකම පත්තර ලෑල්ලක් මග ඇරුනේ නැති මිනිස්සු පිරිසක් ලග හරි අපූරු ගුණාත්මක තැන් වගේම අපූරු සංස්කෘතියක් තිබුනා. ඉතින් මේ සංස්කෘතිය තුල අපූරු අත්දැකීම් මේ තරුණයගේ රසගලන තැන් වුනා. මේ අතරෙදි තරුණයට ඥාති වරයගේ නිවස ලගදි හමුවෙනවා තරුණියක්

ඇය නමින් ශාන්තිනී... පලමු හමුවීමෙන්ම දෙනෙත් ආරාධනා මත තාරුණ්‍යයේ සුන්දරම අවධිය පහු කරන මේ දෙදෙනම ආදරයෙන් වෙලෙන්නේ ආදරය කියන වචනයවත් නොකියා. ඇත්තටම ප්‍රේමය කියන දේ කොයිතරම් සියුම් විදියට ගොඩනැගෙනවද ඒ ගොඩනැගීම කෙතරම් කාලයක් සුරැකිව සිතේ තැන්පත් වෙනවද කියලා මේ කතාව අවසානයේ ඔබට වැටහෙයි. ඉතින් මේ තරුණයා හැමදාම ශාන්තිනී එන තැනට එනවලු.

ඇවිත් දෙන්නා ඇස් දිහා බලාගෙන ඉදලා ආයෙම යනවලු. හේතුව ශාන්තිනීට සිංහල බෑ අපේ කතානායකට දෙමල බෑ. දවසක් තරුණයා එනකොට ටිකක් පරක්කු වෙලා. ඒත් ශාන්තිනී මයිනාහම් කඩේ ලගමලු. මේ මයිනාහම් කඩේ අදත් තියෙනවා කියලයි ආරංචිය. තරුණිය හිටියට අන්තිම බස් එකත් ගිහින් ගොඩක් වෙලා නිසා මොහු ලගට ගිහින් හස්ත බාශාවෙන් තරුණියගෙන් ඇහුවම ඇය බොහොම ආදරෙන් කියන්න ගත්තලු ඇගිලි වලින් " ඔයා ඇයි පරක්කු උනේ " කියලා

මේ විදියට ගත වෙච්ච රහස් ප්‍රේමය කොයිතරම් ආදරණීය උනත් උසස් පෙල ප්‍රායෝගික පරීක්ෂණය සදහා මන්නාරමෙන් යන්න සිද්ධ වෙනවා..

ඉතින් කාලයක් උතුර දකුණ යාකරපු මේ අපූරු මිත්‍රය සමුගැනීම වෙනුවෙන් සිංහල දෙමල මිනිස්සු සහ ඔහුගේ ඥාතීන් සංග්‍රහයක් සූදානම් කරනවා...

එදා අපේ කථා නායකයගේ ඇස් අදාහගන්නවත් ඉඩක් නොතිය අර තරුණිය මේ සංග්‍රහට එනවා. ඔහු නොදන්නවා උනාට ඇය එම නිවසට ඉතා ලග අසල්වාසියෙක්..

පස්සේ සමුගැණීමේ කතාවකරන කොට ඔහු කියනවා " මම යන්න හදන්නේ ඔයාලට ආයේ මම මුන ගැහෙයිද දන්නේ නැ "කියලා..

මිනිස්සු විශාල සංඛ්‍යාවක් බලාගෙන ඉදිද්දිම අර තරුණිය ඔහුව බලාගෙන අඩන්න ගන්නවා. ඇත්තටම එවන් ස්තානයක ඇති වෙන වේදනාකාරී හැගීම ඔබත් විදලා දැකලා ඇති. මමත් විදලා දැකලා ඇති...

තරුණයගේ ඇහෙන් වැටෙන කදුලු සිමෙන්ති පොලව සිපගන්න කොට තරුණියගේ පියා ඇයව ඉවත් කරගෙන යනවා ..

පසු කාලීනව ගුරු වෘත්තීයට ඇතුලු වෙලා මොනරාගල පාසලක උප ගුරුවරයෙකු විදියට සේවය කරන කොට ජාතිවාදී අරගල වලින් සිංහල දෙමල මිනිස්සු මරාගන්න හැටි මේ තරුණයා දකිනවා. රේඩියෝවෙන් උතුරේ බෝම්බ වෙඩි හඩ ගැන දැනගන්න ලැබෙනවා... ශාන්තිනී හොදින් ඉන්නවද අහන්නවත් අද තරමේ සන්නිවේදන උසස් තාක්ෂණයක් නොතිබුන ඒ කාලයේ ශාන්තිනී හොදින් ඇති කියලා හිතාගන්න වුනු තරුණයේ ඒ වෙනකොට ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෙක්..

ඔහු මේ අපූරු ආදරණීය නිහඩ පෙම් පුවත තුලින් සමාජයට දරුණු ටොක්කක් අනිනව..ඒ මට තේරෙන හැටි....

මේ මම කිව්ව තරුණයා වෙන කවුරුත් නෙමේ රත්න ශ්‍රී. අපි හොදින් දන්නා ඒ අපූරු කලාකරුවා රත්න ශ්‍රී විජේසිංහ. ජූලි කලබල අස්සේ ඔහුට මතක් වෙනවා මයිනර් කාර් එකේ මයිනාහම් කඩෙ පහුකරාම තියෙන මන්‍නාරම් කන්‍යා බාළිකා විද්‍යාලයේ ඉස්සරහා ශාන්තිනී ඉන්න හැටි... ඔහු ලියනවා අපූරු පද වැලක්.. අන්න ඒක තමයි ජාතිවාදී මුග්ධ සමාජයකට ඇනපු කදුලු පිරි ටොක්ක...අපි බලමු.....

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං //

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්...

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්... //

මේ ගීතයේ පහන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් කියලා කියන පද වල අරුත සුලුපටු නෑ.. ඔබ දන්නවා පහන් පැල කියන දේ කෝවිලට වගේම පන්සලටත් පොදුයි.පහන් පැලට ගිණි ඇවිලී ඒ කියන්නේ කෝවිලේ සහ පන්සලේ දෙපැත්තෙම ගිනි. ජාතිවාදී වෙලා. ශාන්තිනී දෙවියන් දැන් ඉන්නේ වෙන තැනකට පලා ගිහිල්ලා අන්න අපි ඒ දෙවියන් ඇති තැනකට යන් කියනවා......

මේ කියන්නේ අර සමුගැණීමේ සාදය ගැන. ඒ වේදනාත්මක මතකය ගැන. ඔබ දන්නවා සාමාන්‍යයෙන් උත්සව අවස්තාවකදි ද්‍රවිඩ තරුණියන් දිගු කරාඹු විශේෂයක් දානවා. මෙතන තිරුවංගල් කියන්නේ ඒවට. ඒවගේ එලිය ශාන්තිනී ගේ කදුලු වලට වැටිලා මුහුන කවියක් සේ පෙනෙන බව කියනවා. ඒ කියන්නේ ශාන්තිනී ට සිංහල පුලුවන් උනානම් රත්න ශ්‍රීටත් වඩා කවි ලියයි...ඒ තරම් ඇගේ සිත සංවේදී...

බියෙන් සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම්
බරද කියාපන්

ඒ අවස්තාවේ වැඩිහිටියන්ට බියෙන් වෙවලන අත් දෙක ගැන රත්න ශ්‍රී අහන්නේ ඒ වලලු බරද කියලා ඇත්තටම ද්‍රවිඩ සංස්කෘතිය තුල ස්ත්‍රියට ඇති නීති ගැනද කියලා දන්නේ රත්න ශ්‍රී මහත්තයම තමයි.

මේ පෙම් කතාවට ජාතීන් දෙක හරස් වෙනවා කියලා.. මෙන්න මෙතනදි රත්න ශ්‍රී මහත්තයා ඒ සිදුවීම ආමන්ත්‍රණය කරනවා එදා ඔහුට කියාගන්න බැරි ඌ ඒ කතාව ඔහු ගීතයක පද වැලකින් ලාංකීය ජන සමාජයටම පවසනවා...

සියල් සිරිත් දෑ කුළගොත් ආපසු ගන්න
මහත්වරුණි ශාන්තිනී විතරක් දෙන්න...
තිරුක්කල් පොත අරින්න
දෑස පියාගන්න
මහත්වරුණි මා නෙලු මල මට සිඹින්න දෙන්න

මුල් පද දෙක ඔබට වැටහෙන නිසා තිරුක්කල් පොතන් පටන් ගන්නම්..ද්‍රවිඩ ජනතාවගේ හින්දුආගම සහ සංස්කෘතිය එක්ක එකට මුහුවෙච්ච මේ තිරුක්කල් පොත අරින්න. ඒත් දෑස් වසාගන්න කියලා කියන්නේ. මේ සංස්කෘතිය තුලින් නෙමෙයි අපේ හදවත් වලින් බලන්න මේ සිදුවීම දිහා කියන එක...

මහත්වරුණි මා නෙලු මල මට සිඹින්න දෙන්න

ගීතය අවසාන වෙන්නේ ඔහොමයි..

කරුණාරත්න දිවුල්ගනේ ශූරීන් ගායනා කරන මේ ගීතයට සංගීතය දෙන්නේ විශාරද ගුණදාස කපුගේ මහත්තයා....

මට මතක විදියට ගුණදාස කපුගේ මහත්තයා මෙම ගීතය ගායනා කිරීම ප්‍රතිකේෂ්ප කරලා දිවුල්ගනගේට දීලා තියෙනවා..

"මට වඩා ලස්සනට දිවුල්ගනගේ මේක කියයි රත්න ශ්‍රී "කියලා කියපු කපුගේ මහත්තයා මේකට අපූරු සංගීතයක් එකතු කරනවා...

ඉතින් පස්සේ කාලෙක මේ ගීතය හැදුන හැටි කියලා රත්න ශ්‍රී මහත්තයා පොඩ්ඩක් හිනා වෙලා කිව්වලු ශාන්තිනී රාමලිංගම් දැන් වවුනියාව විදුලි බළමන්ඩලේ ඉන්නවා කියලා..

ඒත් එක්කම "එයාට දැන් ලොකු බබාලා දෙන්නෙකුත් ඉන්නවා" කියලත් කිව්වලු. මේ තරුණයා වෙත කවුරුත් නෙමෙයි මම කියලා හිතාගත්තත් කමක් නෑ කියලා රත්න ශ්‍රී මහතා පවසා තියෙනවා.



අසුරු සැණින් එක මොහොතකදී...

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..

ගායනය - යමුනා විනෝදනී 
පදරචනය - කුසුම් පීරිස් 
සංගීතය - ලෙස්ලි අසෝකා

ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේදී ඉතාම ළගම ඇසුරක් තිබුණු තරුණියක සහ තරුණයෙක් හිටියා. හැමදෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා. නමුත් එහෙම දෙයක් තිබිල නෑ.

පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරනවා රැකියාවට සමුදෙන්න. කුසුම් මහත්මිය අර ගෑණු ළමයගෙන් ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු "මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව මම ගෑනු ළමයෙක් නිසා මට ඉස්සෙල්ලාම අහන එක කරන්න බෑ නේද අක්කේ? කියලා. ඇත්තටම ඇය ඉඳලා තියෙන්නේ අර තරුණයා ගැන ප්‍රේමයෙන්.

ඇය රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් මහත්මිය තරුණයාට කියල තියනව, "ඇයි අර ළමයගෙන් ඇහුවෙ නැත්තේ? එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ" කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. එතකොට ඔහු කිව්වලු "අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තටම මම එයාට ආදරේ කලා, එයා පොඩි හරි ඉඟියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ" කියලා.

පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් මහත්මිය මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු,"අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනවා" කියලා.

මේ ගීතයට තනුව යොදලා තියෙන්නෙත් යමුනා විනෝදනී මහත්මියගේ පියාණන්, ලෙස්ලි අසෝක මහතා.



ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ...

ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැණි වාරේ ආවාදෝ..

පොකුරු පොකුරු මල් සැණකෙළි 
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර 
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි 
ඔමරි ලතාවයි..

බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා..
මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා..
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..

පොකුරු පොකුරු...

මට මතකයි මට මතකයි පුංචි කාලේ මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා..
රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා..

පොකුරු පොකුරු...

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ..
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ..
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..

පොකුරු පොකුරු...

1976 වසරේ දී කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ වාසනා චිත්‍රපටියේ අඩංගුව තිබුණු මේ ගීතය රචනා වුණ ආකාරය ආචාර්ය අජන්තා රණසිංහයන්ට කවදාවත්ම අමතක නොවු අත්දැකීමක්. ඊට හේතුව එතුමා අතින් රචනා වූ පළමු චිත්‍රපටි ගීතය මෙයයි. එතුමා පවසන පරිදි ලතා වල්පොල ශූරීන්ට ගීතයක් රචනා කරන්නට ලැබීම එතුමාගේ ජයග්‍රහණයක්.

මේ ගීතය රචනා කරන්නට එතුමාට අවස්ථාව ලැබිලා තියෙන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිසයි. ගීතය රචනා කර ගැනීමට අවශ්‍ය බව පැවසූ එතුමා පසුදිනම වෑන් රථයකින් ඇවිත් අජන්තා රණසිංහයන්ව කැටුව යනවා. එම ස්ථානයේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක කේ. ඒ. ඩබ්. පෙරේරා මහතාත් සිටිනවා. සංග්‍රහ සත්කාර කිරීමෙන් අනතුරුව කේමදාසයන් සර්පිනාව අතට ගෙන "හරි දැන් එහෙනම් සින්දුව ලියමු" කියා එතුමා මේ ගීතයේ මුල් කොටසේ එන දෝරාව (Adlib) කොටස වාදනය කලා. මේ වෙනකොට තනුව නිර්මාණය කරලා තිබුණේ. අජන්තා රණසිංහයන්ට හිතාගන්නටවත් බෑ. මොකද ඒ තරම් එතුමා තිගැස්මට පත් වෙලා හිටියේ. එම සංගීත ඛණ්ඩයේ ඇති වේගවත් භාවය නිසාත් කිසිම අදහසක් ඇවිත් නැහැ. "හරි දැන් ලියන්න ඒකට වචන ටිකක්" යනුවෙන් මාස්ටර් කියූ විට, "මෙහෙම එකපාරට ලියන්න බැහැ මට හිතාගන්නටවත් බැහැ" යනුවෙන් අජන්තා රණසිංහයන් පවසනවා. "එහෙම තමයි. චිත්‍රපට ගීත කරන කොට එහෙම තමයි" යනුවෙන් මාස්ටර් යලි ප්‍රතිඋත්තර බඳිනවා.

අජන්තා රණසිංහයන් පත්ව ඇති අපහසුතාව තේරුම් ගත් අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා චිත්‍රපටියේ මේ ගීතය ඇතුළත් ජවනිකාව ගැන පොඩි හැඳින්වීමක් කරනවා. "අජන්තා, මේ දර්ශනයේ ඉන්න තරුණිය පළමු වතාවට ආදරය ලබලා ඒ ගැන උද්දාමයට පත් වෙලා ඉන්නේ. ඇය දන්නේ නැහැ මේ ආදරය ද කියලා. අන්න ඒ හැඟීම එන විදියට ගීතය ලියන්න" යනුවෙන් කිව්වාම, ටිකක් කල්පනා කරලා අර දෝරාව කොටසට "ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝමල් පැණි වාරේ ආවාදෝ" කියන වචන ටික ලිව්වා. ඊට පසු ක්‍රමයෙන් ඉතිරිටිකත් ලියා දුන් පසු ප්‍රේමසිරි කේමදාසයන්, "ඔය තියෙන්නේ ලියලා." යනුවෙන් පවසා තිබෙනවා.

ගීතය පටිගත කරලා තිබෙන්නේ, සිලෝන් ස්ටූඩියෝ ශබ්දාගාරයේ. තමාගේ පළවෙනි චිත්‍රපට ගීතය පටිගත කරනවා බලන්න අජන්තා රණසිංහයන් එදින උදෑසන අටට ගිහින් තියෙන්නේ. පටිගත කරන්න ආරම්භ කරලා තිබුණේ උදේ නමයට වුණත් අටටම ගිහින් තියෙන්නේ, නොඉවසිල්ල නිසාමයි.

(උපුටා ගැනීම - මාධව විජේසේකර)



කදුලු බිදක් මා වෙනුවෙන් ...

බන්ධුල ජයසිංහයන්ට 1989 රෝහණ වීරසිංහයන්ගෙන් තනුවක් ලැබෙනවා ගීයක් නිර්මාණය කරන්න..

ඔහු එය සීරුවට තනුවේ උඩ පහල යන විදිහට පද පෙළක් ගලපනවා..ඔහු ඇත්තටම එය සත්‍ය කථාවක් කියන්නේ..

බන්ධුල ජයසිංහ රාගම ඉදන් නුගේගොඩ රැකියා කරන ස්ථානයට එන්නේ දුම්රියෙන්.. මිතුරු මිතුරියන් කීපයක් එක්ක.. 

ඔය අතරින් දෙන්නෙක් ප්‍රේමයක පැටලෙනවා.. ඔවුන් ටික කාලයක් පෙම්සුව වින්දත් ඒක ගෙදරට ආරංචි උන ගමන් ගැහැනු ළමයාගේ ගෙදරින් ගෑනු ළමයාව බල කරලා නවත්තගන්නවා ගෙදර

අර තරුණයට කර කියාගන්න දෙයක් නැතුව ඔහේ කලකිරීමෙන් දුක් වෙවී ජීවිතය ගත කරනවා.. ඒත් බන්ධුල ජයසිංහයන් දන්නවා කවදාවත් මේ තරුණයා ඒ තරුණියට වෛරයක් නොකරපු බව.. මොවුන්ගේ ආදරය දුම්රියෙන් පටන් ගත්තත් හරියට රේල් පීලි වගේ කවදත් එක් වෙන්නේ නෑ..එය ද බන්ධුල ජයසිංහයන් මනා ලෙස මේ ගීයට උපමා කරගෙන තියෙනවා තව දෙගුරුන් මේ ප්‍රේමයට එරෙහි උන එක ගැනැ එහෙම.අද පවතින සුලබ ප්‍රේමයට වඩා ඒ තරුණයාගේ ප්‍රේමය උතුම් නිසාත් එයට වටිනාකමක් දිය යුතු නිසාත් බන්දුල ජයසිංහයන් මෙය තමන්ගේ අත් දැකීමක් බවට පත් කරගෙන රසවත් විදිහට විරහව කැටිකරලා මේ සින්දුව ලියනවා..

කදුලු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

කුලුදුල් සෙනෙහස ඔබගේ
පුදකලා දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්

එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්

පද : බන්ධුල ජයසිංහ
තනුව : රෝහණ වීරසිංහ
හඬ : රූකාන්ත ගුණතිලක




දෙනෝදහක් ගැවසෙන සරසවියේ ...

මාතර උපන් භූමිය වූ විජය රාමනායක මහතා අධ්‍යාපනය ලද්දේ මාතර රාහුල විදුහලෙනි. උසස් අධ්‍යාපනය නිමකොට 1967 වසරේ කොළඹ ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතේ සේවයට පැමිණි විට ඔහුගේ වයස අවුරුදු විසි දෙකකි. පසුව ලේක්හවුස් ආයතනයේ දැන්වීම් නියෝජිතයෙකු වූ ඔහු ඒ හරහා හඳුනාගත් ප්‍රකට ව්‍යාපාරිකයන් හා රට පිළිගත් පුද්ගලයන් පිළිබඳව පිරුණු ලොවින් නමින් ලිපි පෙළක්ද සිළුමිණ පුවත්පතට සම්පාදනය කළේය. මැලිබන්, නවලෝක, මීමැඩුම, ඕදිරිස්, මදනායක ව්‍යාපාර නිර්මාතෘන් මෙන්ම සයිමන් මරවනාගොඩ, මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි චරිත රැසක්ද ඒ අතර විය. එම ලිපි පෙළ පසුව පොතක් වශයෙන්ද පළවිය.

දැඩි චිත්ත ධෛර්යයෙන් තම ලේඛන දිවියත්, දැන්වීම් නියෝජිත තනතුරත් කළ විජය රාමනායක මහතා එකල ඉහළම ආදායම ලද දැන්වීම් නියෝජිතයා බවටද පත්විය.

කොතරම් අතට මුදල් ලැබුණද මිතුරන් සමග ඇසුර ඉතා ප්‍රියකළ ඔහු ඉතා සංග්‍රහශීලී හිත හොඳ පුද්ගලයෙක් විය. නිහතමානී විය. මුදල් අතේ යහමින් ගැවසෙන විට මුදල් ආයෝජනය කිරීමේ අලුත් ව්‍යාපාර කෙරේ ඔහුගේ සිත නැඹුරු විය.

කලා රසාස්වාදය මැනවින් හඳුනාගෙන සිටි ඔහු ගීත තැටි නිෂ්පාදනය කොට බෙදාහැරීමේ සමාගමක් "තරංගා රෙකෝඩ්බාර්" නමින් රීගල් සිනමාහල අසල කුටියක ඇරඹුවේ මේ අතරයි. ඒ තුළින් බිහිවූ මාණික්‍ය බදු අගනා ගීත පොකුරේ චූඩාමාණික්‍යය වූයේ පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බැහැරව කරන ලද ප්‍රථම පෞද්ගලික ගීත පටිගත කිරීමයි. එම එකතුව ගීත 12ක් ලෙස වෙළෙඳපොළට පැමිණියේ විජය රාමනායකයන්ගේ "තරංගා" ලේබලයේ දීර්ඝ තැටියක් ලෙසයි. මෙසේ ගීත තැටි වෙළෙඳාම ජයටම කරගෙන යන අවධියක 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ජනපති පදවියට පත්වීමත් සමගම අප රටේ ආර්ථිකය විවෘතභාවයට පත්විය. ඉන් ලද අවසරයෙන් මැදපෙරදිගට අප රටේ ශ්‍රම බළකාය ඇදෙන්නට පටන් ගත්හ. හැත්තෑවේ දශකයේ අග භාගයේ එක්තරා දිනෙක කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සිටි මොහොතක විජය රාමනායකයන්ට මැද පෙරදිග සේවයකොට ලංකාවට සැපැත්වූ අපේ ශ්‍රම බළකාය අත අලුත් රේඩියෝවක් දකින්නට ලැබුණි.

එය එකල හැඳින්වූයේ "ටූ ඉන් වන්" නමිනි. රේඩියෝවට අමතරව එහි කැසට් පට වාදනය කොට ගීත ශ්‍රවණය කිරීමේ පහසුකම්ද විය. මේවාට අවැසි කැසට්පට නිෂ්පාදනය කළ හැකි නම් එය අලුත් ගීත අලෙවිකරණ සාධකයන් බව වටහාගත් රාමනායක මහතා ලංකාවේ පටිගත කරන ලද ගීත සිංගප්පුරුවට රැගෙන ගොස් කැසට්පට ලෙස සකසා ලංකාවට රැගෙන විත් ශ්‍රාවකයාට හඳුන්වාදීමට උත්සාහ ගත්තේය.

එවකට ජනප්‍රියව සිටි වික්ටර් රත්නායකගේ ගීත 12 ක් යොදා මුල්ම කැසට්පටය නිපදවීමට තීරණය කළ ඔහු ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට වික්ටර් සොයා ගියේ සිය මිතුරු ගායක වර්නන් පෙරේරාද සමඟය. වික්ටර්ගේ නාවින්නේ ‘ස - විචිත්‍ර’ නිවසේ ගේට්ටුව ඉදිරිපිටදී දුම්වැටියක් පත්තු කර ගත් විජය දුම්වළලු යවමින් කිසියම් කල්පනාවක නිරත විය. අනතුරුව ඔහු වර්නන්ට මෙසේ කීය.

“වර්නා, අපි යමු මිල්ටන්ගේ ගෙදර...

වර්නන් උඩ බිම බැලුවේය.

ඇයි වික්ටර්ට කතා කරන්නෙ නැද්ද? ඔහු විජයගෙන් ඇසූ විට යළිත් විජය කීවේ මිල්ටන් හමු විය යුතු බවයි. ඒ අනුව වික්ටර්ගේ ගේට්ටුවට තට්ටු නොකළ දෙදෙනා තවත් සුළු වේලාවකින් උඩහමුල්ලේ ජයපාරේ, මිල්ටන් මල්ලවආරච්චිගේ නිවසේ සිටිනු දක්නා ලදී. ගී තැටි යුගය අවසන් බවත්, කැසට් යුගයක් ඇරඹිය යුතු බවත් මිල්ටන්ට පවසා විජය රාමනායක මිල්ටන්ගේ නවතම ගීත දොළහක් යොදා කැසට්පටයක් නිපදවන්නට මිල්ටන්ව එකඟ කරවා ගත්තේය. ඒ අනුව 1978 දී Anytime Anywhare නමින් (පසුව ස‍ඳෙන් එහා නමින්) ලංකාවේ මුල්ම ගීත කැසට්පටය විජය රාමනායක විසින් නිපදවනු ලැබීය. ලංකාවේ අවසන් ගී තැටියට හා මුල්ම කැසට්පටයට ගී ගැයූ ගායකයා ලෙස මිල්ටන් ඉන් නොබිඳිය හැකි වාර්තාවක් ද පිහිටුවීය. මේ එම කැසට් පටයේ  'A'  පැත්තේ ගොනුවූ ගී හයයි.

1. පෙර එක දවසක
2. ඔබ දැන් කීවත්
3. ඔබ වෙනුවෙන් මා
4. සැන්දෑ යාමේ
5. *දෙනෝදහක් ගැවසෙන සරසවියේ* 
6. සිනහ රැල්ල

ඉහත ගී හයේ තනු හා සංගීත නිර්මානය කළේ  සරත් දසනායකයි.

කැසට් පටියේ අනෙක් පස ( 'B'  පැත්තේ) අඩංගු වූ ගී හය.

1. සඳෙන් එහා
2. දුවේ හර්ෂණී
3. මා තනිවෙලා
4. සඳළුතලේ
5. රන් හිරු කැරැල්ලේ
6. මා නොසිතූ දේ. 

මෙම කැසට්පටය නිමවා රට වටා සිටි තැටි අලෙවිකරුවන් වෙත රැගෙන ගිය විට ඔවුන් එය අලෙවි කිරීමට මැලිවූයේ අලුත් දෙයක්වූ එය ජන ආකර්ෂණයක් නොලබනු ඇතැයි සිතාය. අනතුරුව විජය රාමනායකයන්ට සිදුවූයේ රැගෙන ගිය කැසට්පට ඉන්ධන පිරවුම්හල්, පොත් සාප්පු, රෙදි සාප්පු වැනි තැන්වල අලෙවියට තබා තම නිවසට පැමිණිමටයි. දින ගණනක චාරිකාවෙන් පසු තම නිවසට පැමිණෙන විට කැසට් දමා පැමිණි තැන්වලින් අලෙවියට තවත් කැසට් ඉල්ලා දුරකථන ඇමතුම් පැමිණියේ එය ජනතා අවධානයට ලක්වෙමින් තිබූ බැවිනි.

කැසට් කඩ අලෙවිහල් රටපුරා බිහි වූයේ රෙකෝඩ් බාර් සංස්කෘතිය අප රටට හඳුන්වා දෙමිනි. 

මෙම මුල් කැසට් පටයේ මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කළ දෙනෝදාහක් ගැවසෙන සරසවියේ ගීතය විජය රාමනායක විසින් ඉතාමත් මනරම් ලෙස රචනා කර ඇත. 

දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනව නම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ ...//
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසැල් ගිය හැටි සිතට නැඟේ

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ ...//
ශිල්ප සතර රැඳුනේ නෑ මා සිත
ඒ හින්දයි අප දුරස් වුනේ

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - විජය රාමනායක
තනුව හා සංගීතය - සරත් දසනායක



අහස පොළව වටපිටාව ...

යමුනා මාලිනී පෙරේරා මහත්මිය රචනා කරපු සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ලස්සන ගීතයක් වන "අහස පොළොව වටපිටාව" කියන ගීතය ගැන තමයි කතා කරන්න හදන්නේ. රචිකාවියගේ අත්දැකීමකට ලියවුණු ගීතයක් වගේම යමුනා මාලිනී මහත්මිය ලියපු පලවෙනි ගීතයත් මේකයි. ඇය ඊට කලින් කවි රචනා තමයි කරලා තියෙන්නේ.

කොහොම හරි සුනිල් එදිරිසිංහ මහත්මයා යමුනා මහත්මිය ලියපු කවි කියවලා තිබුනලු. එක තැනම වැඩකරපු යමුනා මහත්මියගේ සැමියා (සේනක) අදුර ගත්තු සුනිල් මහත්තයා ඔහුට කීවලු ඇයගෙන් ගීතයක් ලියාගෙන එන්න කියලා.

යමුනා මහත්මියගේ විවාහය ලියාපදිංචි කරාට පස්සේ සැමියාට ශිෂ්‍යත්වයක් ලැබෙනවා රුසියාවට යන්න. මොකද ඔහුට පරාස නාට්‍යයේ හොදම නලුවා වෙන්න හැකිවෙලා ලැබිලා තිබුනු නිසා. 

ඉතින් ඔහු රුසියාවේ ඉන්නකොට යමුනා මහත්මිය මෙහේ ඉදන් ඔහු ගැන කවි කිහිපයක් ලියනවා. ඉතින් සුනිල් මහත්මයා කරපු ඉල්ලීමට ඇය මේ කවි පංතිය හදලා දෙනවා සුනිල් මහත්මයාට දෙන්න. 

සුනිල් එදිරිසිංහ මහතා.
ගීතය ලැබුනු සුනිල් මහත්තයා ගොඩක් සංතෝස උනාලු. "මේක නම් හොදට යන ගීතයක් වෙයි" කියපු ඔහු මේ ගීතය රෝහණ වීරසිංහ මහත්තයා දීලා සංගීත නිර්මාණය කළා.

රජරට සේවය සහ රුහුණු සේවයේ මේ ගීතය මුලින්ම ප්‍රචාරය වෙලා. කො⁣හොම හරි යමුනා මහත්මිය ලියපු පලවෙනි ගීතය මේ විදිහට ජනප්‍රිය උනා. අදටත් ඉතින් ගීතයේ ජනප්‍රියත්වය අදටත් කිසිම වෙනසක් නම් වෙලා නෑ...

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්...

කණක මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා 
ඔබෙ සෙනෙහස දකින තුරා

අහස පොළව...

විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැදෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා

අහස පොළව...



කිරුළ මුතු ලිහී ...

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

කිරුළ මුතු ලිහී...

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි

කිරුළ මුතු ලිහී...

මේ ගීතයට පදනම් වෙලා තියෙන්නේ කලාශූරී ආචාර්ය ශ්‍රී ජයනා නම් නර්තන ශිල්පියාණන් වෙනුවෙන් පවත්වපු උපහාර උත්සවයක් අවසානයේ රත්න ශ්‍රී විජේසිංහයන් දැකපු දෙයක්. ශ්‍රී ජයනා ගුරුන්නාන්සේ කියන්නේ, අපේ රටේ හිටපු ප්‍රවීණ නර්තන ආචාර්යවරයෙක්. කෙතරම් ප්‍රවීණයෙක් ද කියනවා නම් අපේ රටේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මෙතුමාගෙන් සුදර්ශියේ නර්තනය ඉගෙනගත් සිසුවෝ.

ඉතින් මෙතුමාට 1992 වසරේ දී විශාල උපහාර උත්සවයක් පැවැත්වූවා. එතුමාට කලාශූරී සම්මානය පවා එවකට ජනාධිපතිව සිටි ප්‍රේමදාස මැතිතුමා අතින් ලැබෙනවා. අපේ මේ ගීතය රචනා කල රත්න ශ්‍රී විජේසිංහයන්ටත් ඒ අවස්ථාවට සහභාගී වෙන්නට ආරාධනාවක් තිබුණා. ඊට හේතුව, ශ්‍රී ජයනා ගුරුන්නාසේගේ උපහාර ගීතය රචනා කල නිසා.

රාජ්‍ය නායකයෝ ඇවිත්, එතුමාට උස්සගන්න බැරි තරමේ අඩි තුන හතරක් උස සම්මානෙකුත් දීලා, විශාල ගුණකථන පවත්වලා උත්සවය ඉවර කරලා තමන්ගේ වාහනවලට නැගිලා යන්න ගියා. රත්න ශ්‍රී විජේසිංහයනුත් එතැනින් පිටවෙලා බෞද්ධාලෝක මාවත පැත්තට එනවා. සිහින් හිරි පොදක් වැටෙනවා. පාරේ දුටු දෙයින් ඔහු මවිතයට පත්වෙනවා. ශ්‍රී ජයනා ගුරුන්නාන්සේ, අර වැස්සේ තෙමි තෙමී තමන්ට උස්සගන්න බැරි සම්මානයත් වකුටු කරගෙන දෙකට තුනට නැමිලා බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා. එතුමා ගැන ගුණකථන කරපු රාජ්‍ය නායකයෝ වාහනවලින් නැගලා ගියා. හැබැයි උපාහාර ලබපු අපේ නර්තන ශිල්පියාණන් බස් එකක් එනකම් සම්මානෙත් අතේ තියාගෙන වැස්සේ තෙමෙනවා.මෙය දුටු රත්න ශ‍්‍රී මෙම පද වැල රචනා කර තියෙනවා 

අපේ රටේ ගොඩක් කලාකරුවන්ට අවසාන කාලයේ අත්වෙන ඉරණම මේක නේද?      ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට අනගිභවණීය සේවාවක් සිදු කළ නැටුම් පරපුරක් වශයෙන් අමුණුගම නැටුම් පරපුර හඳුනාගත හැකිය. අමුණුගම නැටුම් පරපුර පිළිබඳව සාකච්ඡුා කිරීමේ දී මෙම නැටුම් පරම්පරාවේ ප‍්‍රබල පුරුකක් වන කලාශූරී, ශ‍්‍රී ජයනා රාජපක්‍ෂ මහතා පිළිබඳවත් ඔහුගෙන් ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට ඉටු වූ සේවාවත් පිළිබඳව කථා කළ යුතුම වේ. වර්ෂ 1922 දෙසැම්බර් මස 16 වන දින අමුණුගම ගුන්නෑපානේ දී ජන්මලාභය ලැබූ මෙතුමා අද නර්ථන ක්‍ෂේත‍්‍රයේ සිටින අග‍්‍රගණ්‍ය කලාකරුවෙක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මියැදෙමින් සිටි ශ‍්‍රී ලාංකීය නර්ථන කලාවට නව ජීවයක් එක් කරමින් ලාංකීය නර්ථන සම්ප‍්‍රදායන් ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා මෙතුමා දක්වන ලද අනුපමේය උත්සාහයේ මල්ඵල වර්තමාන නර්ථන ක්‍ෂේත‍්‍රය විමසීමෙන් ම පැහැදිලි වන්නකි.

වර්ෂ 1940 දී එවකට ලංකාවේ පැවති මහා විද්‍යාල 17 ට ම දක්‍ෂතාව මත පදනමින් නැටුම් ගුරුවරු පත් කිරීමේ ප‍්‍රමුඛයා වී කටයුතු කළ එතුමා නැටුම් පරම්පරා අතර ක‍්‍රමශිල්ප මත පදනමින් ඇති වූ ගැටුම් සමතයකට පත් කිරීම සඳහා 1952 දී නැටුම් සංස්කරණ සම්මේලනය, උයන්වත්ත ගුරු විද්‍යාලයේ පවත්වමින් නැටුම් ශිල්පීය ක‍්‍රමවල සම්මතයක් ගොඩනැංවීමට ගත් උත්සාහය ජයනා මහතා පමණක් නොව අමුණුගම පරම්පරාවත් පොදුවේ සමස්ත නැටුම් ශිල්පීනුත් ලත් භාග්‍යක් ලෙස පෙන්වා දිය හැකිය. නැටුම් කලාව සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීමට විශාල මෙහෙයක් ඉටු කළ ජයනා මහතා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අවධානය මේ සඳහා යොමු කරවන ලදි. දේශීය තූර්ය වාදන කණ්ඩායමක් පිහිටුවීමේ ගෞරවය හිමිවන්නේ ද මෙම අමුණුගම පරම්පරාවටය. ජයනා මහතා මෙහි මූලිකත්වය ගත් අතර වර්ෂ 1970 දී මෙම තූර්යවාදන කණ්ඩායම ආරම්භ කරන ලදී.

උඩරට නැටුම් ශෛලීන් අනුව යමින් ජයනා මහතා විසින් නිර්මාණය කරන ලද මුද්‍රා නාටක කිහිපයක් ද වේදිකා ගත කරන ලද්දේ නැටුම් සම්ප‍්‍රදායන් සඳහා නව ප‍්‍රාණයක් ලබාදීමේ අරමුණෙනි. දුමින්දාගමනය, රණතිසරා, රංගධාරා, සඳකිඳුරු, ගොවිහඬ,කුස ජාතකය, සස ජාතකය, රංගලීල, සාවිත‍්‍රී, චින්තන රේඛා ආදී මුද්‍රා නාටකයන් ද කලාශූරී ජයනා මහතා අතින් උඩරට නැටුම් සම්ප‍්‍රදායන්ට අනුගතව නිර්මාණය වූ ඒවා වේ. මෙවන් බොහෝ සේවාවන් නැටුම් ක්‍ෂේත‍්‍රය උදෙසා ජයනා මහතා අතින් සිදු වූ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය. ඉන් බැබළුනේ ජයනා මහතා පමණක් නොව අමුණුගම නැටුම් පරම්පරාව ම බව අවිවාදයෙන් පිළිගත යුතුය. ශ‍්‍රී ලාංකීය නර්ථන කලාව උදෙසා මෙවන් වූ අගනා සේවාවන් රැුසක් ඉටුකළ, ඉටුකරමින් නොනිම් සේවාවක යෙදෙන උඩරට අභිමානණීය නැටුම් පරපුරක් ලෙස අමුණුගම නැටුම් පරපුර හඳුනාගත හැකිය.




දෑස වසාගමි ...

ප්‍රවීණ නිවේදිකාවක් වන දයා ද අල්විස් මහත්මිය විසින් ලියූ ගිත අතර එක්තරා සන්ධිස්ථානයක් සටහන් වන්නේ ගුවන් විදුලියේම නිවේදිකාවක හා ගායිකාවක් ලෙස සේවය කළ පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය ගේ සරළ ගී වැඩසටහනක් වෙනුවෙන් ලියැවුනු ගීතයක්.

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරලමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා...

අහසට ඔසවන විටකදී නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහි මත පියකරු දසුනක් වේ නම්
ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...

පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැලපෙනවා...

අහසත් පොළවත් ඔබම ද මාහට
නැතුවද ඔබ මා හැරයන්නේ
තහනම් දේසේහි බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමුවන්නේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි

‘‘ඔය ගීතය මා අතින් ලියැවෙන්නේ ක්‍ෂණයකින්. පුණ්‍යා මගෙන් ගීතයක් ඉල්ලුව. එය මම භාරගත්තාට කවදාවත් ලියවුණේ නැහැ. පුණ්‍යගේ සරල ගී වැඩසටහන කරන්න තියෙන අන්තිම දවස්වල ඇය මගෙන් ඒ පිළිබඳ විමසීමක් කළා. මට කරන්න දෙයක් නැතිව ගියා. මම භාරගත්ත වැඩේ කොහොම හරි කරන්න ඕන නිසා මම ඇස්දෙක වහගෙන ටිකක් වෙලා ඉඳලා ඒ පිළිබඳ සිතුවිල්ලක් ගොඩනඟා ගන්න හැදුවට එය නියමාකාර ලෙස ගොනු වුණේ නැහැ. ඉන්පසු යළිත් ඇස්දෙක වහලා අත ඔළුවට තියන් කල්පනා කර කර ඉඳල ඇස් දෙක අරිනකොටම "දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට" කියන පදවැල ක්‍ෂණයකින් මගේ හිතට ආවා. ඒ මත ඉතුරු පද පේළි ටික ආදරය හා මුසු වුණ අත්දැකීමක් ලෙස ක්‍ෂණයෙන් ලියවුණා. ගුණදාස කපුගේ විසින් නිර්මාණය කරන ලද තනුවද පුණ්‍යාගේ හැඟුම්බර ගායනයද පදවැලට ලොකු සාධාරණයක් ඉෂ්ට කළා‘‘. 

එදා පටිගත කිරීමේ දී වාද්‍ය මණ්ඩලය ලෙස ගුණදාස කපුගේ මහතා විසින් සහභාගී කරවා ගෙන හිටියේ හතර පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක්. මට ඇත්තටම චකිතයක් ඇති වුණා මේ පිරිස ඇතිද කියලා. ඔහු ඒ ගැන තැකීමක් නොකර "බලන්නකෝ" කිව්වා. ඇත්තටම ගීතය පටිගත වුණාම මට පුදුම හිතුණා. ඩී.ඩී.ගුණසේන මහතා ලවා අපූරු වයලීන් වාදනයක් ඉස්මතු කර තිබුණා. මේ ගීතය ජනප්‍රිය වෙන්න ඒ අපූරු සංගීත සුසංයෝගය බලපෑවා.

මෙය සිංහල ගීත සාහිත්‍යය තූළ බිහිවූ අනුවේදනීය හැඟුම් දනවන ගීතයකි. තහනම් ආදරයක වෙළුණු තම සහකරු වෙත දක්වන්නා වූ අප‍්‍රමාණ වූ ආදරය වචන වලට පෙරළන ලද අවස්ථාවකි. ආදරයේ තරම දක්වන්නට ගීතය පුරා යෙදෙන පද, සුවිශාලත්වය, අචල බව හා තිරසර බව දක්වන පදයන්ය. හිරු-සඳු, අහස-පොළොව, සිතිවිලි හා සුසුම්, මේ ආදරයේ සුවිශාලත්වය දැක්වීමට රචකයා භාවිතා කරයි. කල්පිත ලොවෙහි ගී පොත පෙරළන්නේත් ඔහුමය. අවසන එහි ම වූ ගීයක් වී ඔහු පිළිබඳ මතකය වැලැපෙයි.

ගීතය පුරාවටම දක්වන වචනයන් හි සංවර භාවය නිසා ආදරයෙන් මුසපත් වූ තැනැත්තියක ගේ සිතිවිලි ලෙසම ගීය ගලා යයි. ගීයෙහි කොතැනක දී වත් දොස් පැවැරීම ක් හෝ ද්වේෂ කිරිමක් දක්නට නො ලැබේ. ගීය අවසන් වන්නේ ද බහු අරුත් සපයා ගත හැකි ස්ථානයකට ශ්‍රාවකයා ඇද දමමිනි. තව ද "කල්පිත ලෝකේ ගී පොත පෙරළා ගීයක් වී ඔබ වැළපෙනවා" යන්න ගැයෙනා විට මේ පෙමවතියගේ සිත තුළ නැගෙන අදහස් රල පෙළක් මෙන් උච්ඡ ස්ථානයකට පත්වෙයි.



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...