Friday, July 17, 2020

ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ...

ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැණි වාරේ ආවාදෝ..

පොකුරු පොකුරු මල් සැණකෙළි 
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර 
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි 
ඔමරි ලතාවයි..

බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා..
මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා..
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..

පොකුරු පොකුරු...

මට මතකයි මට මතකයි පුංචි කාලේ මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා..
රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා..

පොකුරු පොකුරු...

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ..
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ..
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..

පොකුරු පොකුරු...

1976 වසරේ දී කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ වාසනා චිත්‍රපටියේ අඩංගුව තිබුණු මේ ගීතය රචනා වුණ ආකාරය ආචාර්ය අජන්තා රණසිංහයන්ට කවදාවත්ම අමතක නොවු අත්දැකීමක්. ඊට හේතුව එතුමා අතින් රචනා වූ පළමු චිත්‍රපටි ගීතය මෙයයි. එතුමා පවසන පරිදි ලතා වල්පොල ශූරීන්ට ගීතයක් රචනා කරන්නට ලැබීම එතුමාගේ ජයග්‍රහණයක්.

මේ ගීතය රචනා කරන්නට එතුමාට අවස්ථාව ලැබිලා තියෙන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිසයි. ගීතය රචනා කර ගැනීමට අවශ්‍ය බව පැවසූ එතුමා පසුදිනම වෑන් රථයකින් ඇවිත් අජන්තා රණසිංහයන්ව කැටුව යනවා. එම ස්ථානයේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක කේ. ඒ. ඩබ්. පෙරේරා මහතාත් සිටිනවා. සංග්‍රහ සත්කාර කිරීමෙන් අනතුරුව කේමදාසයන් සර්පිනාව අතට ගෙන "හරි දැන් එහෙනම් සින්දුව ලියමු" කියා එතුමා මේ ගීතයේ මුල් කොටසේ එන දෝරාව (Adlib) කොටස වාදනය කලා. මේ වෙනකොට තනුව නිර්මාණය කරලා තිබුණේ. අජන්තා රණසිංහයන්ට හිතාගන්නටවත් බෑ. මොකද ඒ තරම් එතුමා තිගැස්මට පත් වෙලා හිටියේ. එම සංගීත ඛණ්ඩයේ ඇති වේගවත් භාවය නිසාත් කිසිම අදහසක් ඇවිත් නැහැ. "හරි දැන් ලියන්න ඒකට වචන ටිකක්" යනුවෙන් මාස්ටර් කියූ විට, "මෙහෙම එකපාරට ලියන්න බැහැ මට හිතාගන්නටවත් බැහැ" යනුවෙන් අජන්තා රණසිංහයන් පවසනවා. "එහෙම තමයි. චිත්‍රපට ගීත කරන කොට එහෙම තමයි" යනුවෙන් මාස්ටර් යලි ප්‍රතිඋත්තර බඳිනවා.

අජන්තා රණසිංහයන් පත්ව ඇති අපහසුතාව තේරුම් ගත් අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා චිත්‍රපටියේ මේ ගීතය ඇතුළත් ජවනිකාව ගැන පොඩි හැඳින්වීමක් කරනවා. "අජන්තා, මේ දර්ශනයේ ඉන්න තරුණිය පළමු වතාවට ආදරය ලබලා ඒ ගැන උද්දාමයට පත් වෙලා ඉන්නේ. ඇය දන්නේ නැහැ මේ ආදරය ද කියලා. අන්න ඒ හැඟීම එන විදියට ගීතය ලියන්න" යනුවෙන් කිව්වාම, ටිකක් කල්පනා කරලා අර දෝරාව කොටසට "ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝමල් පැණි වාරේ ආවාදෝ" කියන වචන ටික ලිව්වා. ඊට පසු ක්‍රමයෙන් ඉතිරිටිකත් ලියා දුන් පසු ප්‍රේමසිරි කේමදාසයන්, "ඔය තියෙන්නේ ලියලා." යනුවෙන් පවසා තිබෙනවා.

ගීතය පටිගත කරලා තිබෙන්නේ, සිලෝන් ස්ටූඩියෝ ශබ්දාගාරයේ. තමාගේ පළවෙනි චිත්‍රපට ගීතය පටිගත කරනවා බලන්න අජන්තා රණසිංහයන් එදින උදෑසන අටට ගිහින් තියෙන්නේ. පටිගත කරන්න ආරම්භ කරලා තිබුණේ උදේ නමයට වුණත් අටටම ගිහින් තියෙන්නේ, නොඉවසිල්ල නිසාමයි.

(උපුටා ගැනීම - මාධව විජේසේකර)



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...