Friday, July 17, 2020

දෙනෝදහක් ගැවසෙන සරසවියේ ...

මාතර උපන් භූමිය වූ විජය රාමනායක මහතා අධ්‍යාපනය ලද්දේ මාතර රාහුල විදුහලෙනි. උසස් අධ්‍යාපනය නිමකොට 1967 වසරේ කොළඹ ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතේ සේවයට පැමිණි විට ඔහුගේ වයස අවුරුදු විසි දෙකකි. පසුව ලේක්හවුස් ආයතනයේ දැන්වීම් නියෝජිතයෙකු වූ ඔහු ඒ හරහා හඳුනාගත් ප්‍රකට ව්‍යාපාරිකයන් හා රට පිළිගත් පුද්ගලයන් පිළිබඳව පිරුණු ලොවින් නමින් ලිපි පෙළක්ද සිළුමිණ පුවත්පතට සම්පාදනය කළේය. මැලිබන්, නවලෝක, මීමැඩුම, ඕදිරිස්, මදනායක ව්‍යාපාර නිර්මාතෘන් මෙන්ම සයිමන් මරවනාගොඩ, මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි චරිත රැසක්ද ඒ අතර විය. එම ලිපි පෙළ පසුව පොතක් වශයෙන්ද පළවිය.

දැඩි චිත්ත ධෛර්යයෙන් තම ලේඛන දිවියත්, දැන්වීම් නියෝජිත තනතුරත් කළ විජය රාමනායක මහතා එකල ඉහළම ආදායම ලද දැන්වීම් නියෝජිතයා බවටද පත්විය.

කොතරම් අතට මුදල් ලැබුණද මිතුරන් සමග ඇසුර ඉතා ප්‍රියකළ ඔහු ඉතා සංග්‍රහශීලී හිත හොඳ පුද්ගලයෙක් විය. නිහතමානී විය. මුදල් අතේ යහමින් ගැවසෙන විට මුදල් ආයෝජනය කිරීමේ අලුත් ව්‍යාපාර කෙරේ ඔහුගේ සිත නැඹුරු විය.

කලා රසාස්වාදය මැනවින් හඳුනාගෙන සිටි ඔහු ගීත තැටි නිෂ්පාදනය කොට බෙදාහැරීමේ සමාගමක් "තරංගා රෙකෝඩ්බාර්" නමින් රීගල් සිනමාහල අසල කුටියක ඇරඹුවේ මේ අතරයි. ඒ තුළින් බිහිවූ මාණික්‍ය බදු අගනා ගීත පොකුරේ චූඩාමාණික්‍යය වූයේ පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බැහැරව කරන ලද ප්‍රථම පෞද්ගලික ගීත පටිගත කිරීමයි. එම එකතුව ගීත 12ක් ලෙස වෙළෙඳපොළට පැමිණියේ විජය රාමනායකයන්ගේ "තරංගා" ලේබලයේ දීර්ඝ තැටියක් ලෙසයි. මෙසේ ගීත තැටි වෙළෙඳාම ජයටම කරගෙන යන අවධියක 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ජනපති පදවියට පත්වීමත් සමගම අප රටේ ආර්ථිකය විවෘතභාවයට පත්විය. ඉන් ලද අවසරයෙන් මැදපෙරදිගට අප රටේ ශ්‍රම බළකාය ඇදෙන්නට පටන් ගත්හ. හැත්තෑවේ දශකයේ අග භාගයේ එක්තරා දිනෙක කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සිටි මොහොතක විජය රාමනායකයන්ට මැද පෙරදිග සේවයකොට ලංකාවට සැපැත්වූ අපේ ශ්‍රම බළකාය අත අලුත් රේඩියෝවක් දකින්නට ලැබුණි.

එය එකල හැඳින්වූයේ "ටූ ඉන් වන්" නමිනි. රේඩියෝවට අමතරව එහි කැසට් පට වාදනය කොට ගීත ශ්‍රවණය කිරීමේ පහසුකම්ද විය. මේවාට අවැසි කැසට්පට නිෂ්පාදනය කළ හැකි නම් එය අලුත් ගීත අලෙවිකරණ සාධකයන් බව වටහාගත් රාමනායක මහතා ලංකාවේ පටිගත කරන ලද ගීත සිංගප්පුරුවට රැගෙන ගොස් කැසට්පට ලෙස සකසා ලංකාවට රැගෙන විත් ශ්‍රාවකයාට හඳුන්වාදීමට උත්සාහ ගත්තේය.

එවකට ජනප්‍රියව සිටි වික්ටර් රත්නායකගේ ගීත 12 ක් යොදා මුල්ම කැසට්පටය නිපදවීමට තීරණය කළ ඔහු ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට වික්ටර් සොයා ගියේ සිය මිතුරු ගායක වර්නන් පෙරේරාද සමඟය. වික්ටර්ගේ නාවින්නේ ‘ස - විචිත්‍ර’ නිවසේ ගේට්ටුව ඉදිරිපිටදී දුම්වැටියක් පත්තු කර ගත් විජය දුම්වළලු යවමින් කිසියම් කල්පනාවක නිරත විය. අනතුරුව ඔහු වර්නන්ට මෙසේ කීය.

“වර්නා, අපි යමු මිල්ටන්ගේ ගෙදර...

වර්නන් උඩ බිම බැලුවේය.

ඇයි වික්ටර්ට කතා කරන්නෙ නැද්ද? ඔහු විජයගෙන් ඇසූ විට යළිත් විජය කීවේ මිල්ටන් හමු විය යුතු බවයි. ඒ අනුව වික්ටර්ගේ ගේට්ටුවට තට්ටු නොකළ දෙදෙනා තවත් සුළු වේලාවකින් උඩහමුල්ලේ ජයපාරේ, මිල්ටන් මල්ලවආරච්චිගේ නිවසේ සිටිනු දක්නා ලදී. ගී තැටි යුගය අවසන් බවත්, කැසට් යුගයක් ඇරඹිය යුතු බවත් මිල්ටන්ට පවසා විජය රාමනායක මිල්ටන්ගේ නවතම ගීත දොළහක් යොදා කැසට්පටයක් නිපදවන්නට මිල්ටන්ව එකඟ කරවා ගත්තේය. ඒ අනුව 1978 දී Anytime Anywhare නමින් (පසුව ස‍ඳෙන් එහා නමින්) ලංකාවේ මුල්ම ගීත කැසට්පටය විජය රාමනායක විසින් නිපදවනු ලැබීය. ලංකාවේ අවසන් ගී තැටියට හා මුල්ම කැසට්පටයට ගී ගැයූ ගායකයා ලෙස මිල්ටන් ඉන් නොබිඳිය හැකි වාර්තාවක් ද පිහිටුවීය. මේ එම කැසට් පටයේ  'A'  පැත්තේ ගොනුවූ ගී හයයි.

1. පෙර එක දවසක
2. ඔබ දැන් කීවත්
3. ඔබ වෙනුවෙන් මා
4. සැන්දෑ යාමේ
5. *දෙනෝදහක් ගැවසෙන සරසවියේ* 
6. සිනහ රැල්ල

ඉහත ගී හයේ තනු හා සංගීත නිර්මානය කළේ  සරත් දසනායකයි.

කැසට් පටියේ අනෙක් පස ( 'B'  පැත්තේ) අඩංගු වූ ගී හය.

1. සඳෙන් එහා
2. දුවේ හර්ෂණී
3. මා තනිවෙලා
4. සඳළුතලේ
5. රන් හිරු කැරැල්ලේ
6. මා නොසිතූ දේ. 

මෙම කැසට්පටය නිමවා රට වටා සිටි තැටි අලෙවිකරුවන් වෙත රැගෙන ගිය විට ඔවුන් එය අලෙවි කිරීමට මැලිවූයේ අලුත් දෙයක්වූ එය ජන ආකර්ෂණයක් නොලබනු ඇතැයි සිතාය. අනතුරුව විජය රාමනායකයන්ට සිදුවූයේ රැගෙන ගිය කැසට්පට ඉන්ධන පිරවුම්හල්, පොත් සාප්පු, රෙදි සාප්පු වැනි තැන්වල අලෙවියට තබා තම නිවසට පැමිණිමටයි. දින ගණනක චාරිකාවෙන් පසු තම නිවසට පැමිණෙන විට කැසට් දමා පැමිණි තැන්වලින් අලෙවියට තවත් කැසට් ඉල්ලා දුරකථන ඇමතුම් පැමිණියේ එය ජනතා අවධානයට ලක්වෙමින් තිබූ බැවිනි.

කැසට් කඩ අලෙවිහල් රටපුරා බිහි වූයේ රෙකෝඩ් බාර් සංස්කෘතිය අප රටට හඳුන්වා දෙමිනි. 

මෙම මුල් කැසට් පටයේ මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කළ දෙනෝදාහක් ගැවසෙන සරසවියේ ගීතය විජය රාමනායක විසින් ඉතාමත් මනරම් ලෙස රචනා කර ඇත. 

දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනව නම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ ...//
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසැල් ගිය හැටි සිතට නැඟේ

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ ...//
ශිල්ප සතර රැඳුනේ නෑ මා සිත
ඒ හින්දයි අප දුරස් වුනේ

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරණු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - විජය රාමනායක
තනුව හා සංගීතය - සරත් දසනායක



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...