Friday, July 17, 2020

දෑස වසාගමි ...

ප්‍රවීණ නිවේදිකාවක් වන දයා ද අල්විස් මහත්මිය විසින් ලියූ ගිත අතර එක්තරා සන්ධිස්ථානයක් සටහන් වන්නේ ගුවන් විදුලියේම නිවේදිකාවක හා ගායිකාවක් ලෙස සේවය කළ පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය ගේ සරළ ගී වැඩසටහනක් වෙනුවෙන් ලියැවුනු ගීතයක්.

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරලමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා...

අහසට ඔසවන විටකදී නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහි මත පියකරු දසුනක් වේ නම්
ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...

පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැලපෙනවා...

අහසත් පොළවත් ඔබම ද මාහට
නැතුවද ඔබ මා හැරයන්නේ
තහනම් දේසේහි බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමුවන්නේ...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි

‘‘ඔය ගීතය මා අතින් ලියැවෙන්නේ ක්‍ෂණයකින්. පුණ්‍යා මගෙන් ගීතයක් ඉල්ලුව. එය මම භාරගත්තාට කවදාවත් ලියවුණේ නැහැ. පුණ්‍යගේ සරල ගී වැඩසටහන කරන්න තියෙන අන්තිම දවස්වල ඇය මගෙන් ඒ පිළිබඳ විමසීමක් කළා. මට කරන්න දෙයක් නැතිව ගියා. මම භාරගත්ත වැඩේ කොහොම හරි කරන්න ඕන නිසා මම ඇස්දෙක වහගෙන ටිකක් වෙලා ඉඳලා ඒ පිළිබඳ සිතුවිල්ලක් ගොඩනඟා ගන්න හැදුවට එය නියමාකාර ලෙස ගොනු වුණේ නැහැ. ඉන්පසු යළිත් ඇස්දෙක වහලා අත ඔළුවට තියන් කල්පනා කර කර ඉඳල ඇස් දෙක අරිනකොටම "දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට" කියන පදවැල ක්‍ෂණයකින් මගේ හිතට ආවා. ඒ මත ඉතුරු පද පේළි ටික ආදරය හා මුසු වුණ අත්දැකීමක් ලෙස ක්‍ෂණයෙන් ලියවුණා. ගුණදාස කපුගේ විසින් නිර්මාණය කරන ලද තනුවද පුණ්‍යාගේ හැඟුම්බර ගායනයද පදවැලට ලොකු සාධාරණයක් ඉෂ්ට කළා‘‘. 

එදා පටිගත කිරීමේ දී වාද්‍ය මණ්ඩලය ලෙස ගුණදාස කපුගේ මහතා විසින් සහභාගී කරවා ගෙන හිටියේ හතර පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක්. මට ඇත්තටම චකිතයක් ඇති වුණා මේ පිරිස ඇතිද කියලා. ඔහු ඒ ගැන තැකීමක් නොකර "බලන්නකෝ" කිව්වා. ඇත්තටම ගීතය පටිගත වුණාම මට පුදුම හිතුණා. ඩී.ඩී.ගුණසේන මහතා ලවා අපූරු වයලීන් වාදනයක් ඉස්මතු කර තිබුණා. මේ ගීතය ජනප්‍රිය වෙන්න ඒ අපූරු සංගීත සුසංයෝගය බලපෑවා.

මෙය සිංහල ගීත සාහිත්‍යය තූළ බිහිවූ අනුවේදනීය හැඟුම් දනවන ගීතයකි. තහනම් ආදරයක වෙළුණු තම සහකරු වෙත දක්වන්නා වූ අප‍්‍රමාණ වූ ආදරය වචන වලට පෙරළන ලද අවස්ථාවකි. ආදරයේ තරම දක්වන්නට ගීතය පුරා යෙදෙන පද, සුවිශාලත්වය, අචල බව හා තිරසර බව දක්වන පදයන්ය. හිරු-සඳු, අහස-පොළොව, සිතිවිලි හා සුසුම්, මේ ආදරයේ සුවිශාලත්වය දැක්වීමට රචකයා භාවිතා කරයි. කල්පිත ලොවෙහි ගී පොත පෙරළන්නේත් ඔහුමය. අවසන එහි ම වූ ගීයක් වී ඔහු පිළිබඳ මතකය වැලැපෙයි.

ගීතය පුරාවටම දක්වන වචනයන් හි සංවර භාවය නිසා ආදරයෙන් මුසපත් වූ තැනැත්තියක ගේ සිතිවිලි ලෙසම ගීය ගලා යයි. ගීයෙහි කොතැනක දී වත් දොස් පැවැරීම ක් හෝ ද්වේෂ කිරිමක් දක්නට නො ලැබේ. ගීය අවසන් වන්නේ ද බහු අරුත් සපයා ගත හැකි ස්ථානයකට ශ්‍රාවකයා ඇද දමමිනි. තව ද "කල්පිත ලෝකේ ගී පොත පෙරළා ගීයක් වී ඔබ වැළපෙනවා" යන්න ගැයෙනා විට මේ පෙමවතියගේ සිත තුළ නැගෙන අදහස් රල පෙළක් මෙන් උච්ඡ ස්ථානයකට පත්වෙයි.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...