Friday, July 17, 2020

වරෙන් හීන් සැරේ ...

වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
අනේ හෙමින් හෙමින් ඇදී යන්න
වළාවේ ..

සිසිල් පවන් බිබී...
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ 
සතුන් මෙ යාමේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..

රෑ යාමයේ.. හීංසැරේ...
වරෙන් අනේ...

හාවෝ... පෙම් කෙලීයේ යන්නේ
රෑ යාමෙදෝ?...///

හාදු දිදී තණ පඳුරේ නටන්නේ...
පනින්නේ...
හාවෝ... හාවෝ...
අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..

ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ?
ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ//
අන්න මහමූණා හොරෙන් පියා හඹා යේ
වවුලෝ.... කියාපන්කො වාසි අතට හෝයියා
එහෙත් හීන් සැරේ...හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..

හඳ මාමා කිරි දෝ...ලා කිරි මුට්ටිය බිඳ දා..ලා
හීන් සැරේ බඩ ගා එනවෝ
අනේ, සුදු මූ‍ණත් රැලි වැටී...ලා නොවේදෝ!
අයියෝ, රිංගා ... ලා බඩ ගා...ලා සීරී...ලා...මාමේ...
අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...

වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..

1947 වසරේ දී සුනිල් සාන්තයන් තමාගේ ගීත ඇතුළත් කරලා "රිදී වළාව" කියලා පොතක් නිකුත් කරනවා. මේ ගීතය අඩංගු වුණේ, ඒ පොතේ. එතුමාගේ ගීත සහ ස්වර ප්‍රස්තාර සහිතව නිකුත් කරලා තවත් පොත් ගණනාවක්ම නිකුත් කරලා තියෙනවා. ප්‍රථම වරට නිකුත් කල කෘතිය තමා මේ රිදී වළාව කියන්නේ, එහි පෙරවදනේ "රැපියෙල් තෙන්නකෝන්" කිවිඳුන් කියා තියෙනවා සුනිල් සාන්තයන් ඉන්දියාවේ ගිහින් සංගීත විශාරද දක්වා ඉගෙන ගෙන ආවා වුණාට ඒ ඉන්දියානු ශෛලියට එතුමා අනුගත වුණේ නැහැ කියලා. එතුමාගේම ශෛලියක් අනුගමනය කරමින් තමා හැමවිටම නිර්මාණයේ යෙදුණේ.

සුනිල් සාන්තයන් කියන්නෙත් වාග්ගේයකාරයෙක්. පද රචනය, තනුව සහ ගායනය තුනම එතුමා විසින්ම කිරීමයි. එවැනි අය ලංකාවේ බොහෝම දුර්ලභයි. ආනන්ද සමරකෝන්, අමරදේව, සෝමතිලක ජයමහ, රෝහණ බැද්දගේ එවැනි අයට උදාහරණ.

මේ ගීතය අහනකොට ඔබට තේරෙනවා ඇති සුනිල් සාන්තයන්ගේ කටහඬ ඉහල පරාසයක ගැයෙන්නේ. එහෙම ගායනා කරනකොට වචන හරියට උච්චාරණය කරන එක ලේසි නැහැ. නමුත් සුනිල් සාන්තයන් ඒක ඉතා නිවැරදිව කරනවා. එයයි එතුමාගේ විශේෂත්වය.

අනික එතුමාගේ ගීත අරන් බැලුවොත් බෙංගාල ජන සංගීත ආභාෂය තියෙනවා. බෙංගාල ජන සංගීතයේ විශේෂත්වය තමා බොහෝ විට ගංගාවක් ඇසුරු කරගෙන ගීත නිර්මාණය වීම. ඉන්දියාවේ ගංගා නම් නදිය මුහුදට ගලන්නේ බෙංගාල ප්‍රාන්තය හරහායි. ඉතින් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ දෙනා ජීවිකාව ගෙනයන්නේ ගංගා ගඟ ඇසුරු කරගෙනයි. ඒ නිසාම ගංගා ගඟ ඇසුරු කරගෙනම ඒ සංගීතය ගොඩනැගීම අමුතු කරුණක් නොවෙයි. මෙහිදී සුනිල් සාන්තයන් විසින් වරෙන් හීන් සැරේ .. ආදී වශයෙන් දීර්ඝ ලෙස මාත්‍රා යොදාගෙන තිබෙනවා. මුළු ගීතය පුරාම එය දකින්නට තිබෙන ලක්ෂණයක්.

මේකට ප්‍රධාන හේතුව සුනිල් සාන්තයන් සංගීතය හදාරන්නට යන්නේ "රබීන්ද්‍රනාත් තාගෝර්" තුමාගේ ශාන්ති නිකේතනයට වීම. එතුමා බෙංගාල ජාතිකයෙක්. ඉතින් ශාන්ති නිකේතනය පිහිටා තිබෙන්නෙත්, වත්මන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ. මේ පාරිසරික සාධක සුනිල් සාන්තයන්ගේ නිර්මාණ වලට හොඳ පසුබිමක් වෙන්න ඇති. මොකද එතුමාගේ කීර්තිමත් ශිෂ්‍ය "අයිවෝ ඩෙනිස්" මහතාට එතුමා වරෙක කියා තිබෙනවා "සංගීතය ඉගෙන ගන්න නම් ශාන්ති නිකේතනය තරම් හොඳ තැනක් තවත් නැහැ" කියලා.

මේ ගීතය පිටුපස තිබෙන රසවත්ම කතාව මේකයි. අයිවෝ ඩෙනිසුන්, සුනිල් සාන්තයන්ගේ සිසුවෙක් වූ‍යෙත් මේ ගීතය නිසයි. එවකට සුනිල් සාන්තයන් නවාතැන් ගෙන සිටියේ කොල්ලුපිටියේ නිවසකයි. එක්‌ උදෑසනක එතුමා දිය නාමින් සිටියා. ගීය ගුවනින් ප්‍රචාරය වන අයුරු එතුමාට ඇසුණා. ඒත් එකවරම සුනිල් ශාන්තයන් දිය නෑම මඳකට නතර කළා. යළි ගීයට සවන් දුන්නා. ගායනයේ තැනක්‌ දෙකක්‌ අඩුපාඩු සහිතයි. හොඳින් ගීයට ඇහුම්කන් දුන්නා. මේ නම් තමන්ගේ හඬ නොවේ යෑයි එතුමාට ප්‍රත්‍යක්‍ෂ වුණා. "ඒ ගීතය ගැයුවේ සීදූවේ අයිවෝ ඩෙනිස්‌" යෑයි ගීය අවසන නිවේදකයා සඳහන් කළා. වැඩසටහන "ආධුනික පැයයි".

තමාගේ හඬට ආසන්න හඬකින් මේ ගීය ගැයූ ආධුනිකයා දැක ගැනීමට සුනිල් ශාන්තයන්ට අවශ්‍ය වුණා. ඔහු තම සිසුවෙකු කැඳවූවා. සිසුවා අන් කවරෙකුවත් නොව පැට්‍රික්‌ දෙනිපිටියයි. තම ගීය ගැයූ නවකයා සොයා ගැනීමේ කාර්යය සුනිල් ශාන්තයන් පැට්‍රික්‌ දෙනිපිටියට පැවරුවා. දින කිහිපයකට පසු පැට්‍රික්‌ ඔහු කැඳවා ගෙන ආවා. තොරතුරු අසා දැනගත් සුනිල් සාන්තයෝ, අයිවෝ ඩෙනිස්‌ නම් ආධුනිකයා තම පංතියට ඇතුළත් කර ගත්තා. අයිවෝ ඩෙනිසුන්, සුනිල් සාන්තයන් සෙවනේ ශිල්ප හදාරන්නට පටන් ගත්තේ ඉන්පසුවයි.









No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...