Monday, March 8, 2021

මා ආදරණීය මගේ ...

මා ආදරණීය මගේ අම්මා වෙතටයි

මේ ලියන්නෙ අරක්ෂක කදවුරේ සිටයි

අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැක ගන්නයි

මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි

අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි


අව්ව වැස්ස රෑ දහවල් එකයිනෙ අපට

එකම සිතින් අවිත් ඉන්නෙ අපි සේවයට

කිසිම බයක් දැනෙන්නෙ නෑ කොහොමත් හිතට

සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට

මම සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට


මා ආදරණීය....


වීර පුතුන් බිහි කර රට රකින්න පුදනා

අම්මවරුන් පායුග වැඳ පුදන්න ඕනා

අම්මේ ඔබ කළ සේවය සදහට අගනා

ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා

ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා


අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න

මේ සටනින් මා මියගිය දිනයක ඔන්න

මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න

බාල පුතත් හමුදාවට බාර කරන්න

ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න


මා ආදරණීය....


ගායනය - ධනපාල උඩවත්ත 

පදරචනය - හෙක්ටර් විජේසිරි

සංගීතය - වර්නන් පෙරේරා 


ඔබ ලියූ ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි’ ගීතය වඩාත් ජනාදරයට පත්වූ ගීතයක්. රණවිරු ගීත කලාවේ ආරම්භකයා ඔබද?

 

මේ ගීතයේ පසුබිම පිළිබඳව හෙක්ටර් විජේසිරි මහතා අදහස් "යුද්ධ වකවානුවේ, උතුරේ ආරම්භය තියෙන කාලේ ලියූ ගීතයක්. කොහොමත් පොඩි කාලේ ඉඳලම රට ගැන මට ආදරයක් කැක්කුමක් ඇතිවුණා. හේතුව ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගෙන් තමයි මම වැඩිපුර ඉගෙනගත්තේ. අයන්නේ ඉඳලම ඉගෙනගත්තේ. ඉතිං උන්වහන්සේගේ ආභාසය නිසා මට රට ගැන පොඩිකාලේ ඉඳලම ලොකු ඇල්මක් ඇතිවෙලා තිබුණා. යුද්ධය ඇරඹුණු දවස්වල රටට ඇතිවෙන තත්ත්වේ ගැන, හානිය ගැන මගේ හිතේ ඇතිවුණේ බොහොම වේදනාත්මක හැඟීමක්. සිංග් ලංකා ආයතනයට තමයි මට මේ ගීතය ලියන්න අවස්ථාව ලැබුණේ. ධනපාල උඩවත්ත තමයි මේ ගීතය ගායනා කළේ. වර්නන් පෙරේරා තනුව යෙදුවේ. ඒ වෙලාවේ අපේ රටේ රණ ගී එතරම් බිහිවෙලා තිබුණේ නෑ. රණ ගී සම්ප‍්‍රදායක් සංස්කෘතියක් බිහිවුණේ මේ ගීතයෙන් වගේ තමයි පස්සේ මට දැනුනේ. ඒක මිනිස්සු අතර බොහොම ජනප‍්‍රිය තත්වෙට පත්වුණා. මොන හේතුවක් ද මන්දා. රට ගැන තියෙන ඇල්ම වෙන්නැති. ඒ ගීතය මගේ ජීවිතේටත් ආලෝකයක් වගේ වුණා. පසුව සමාගම්වලින් මට ආරාධනා කරන්න පටන් ගත්ත මෙවැනි ගීත ලියන්න කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)


ඇයි ඔබට රණවිරු ගීත ගයන්න හිතුණේ?


ධනපාල උඩවත්ත මහතා අදහස් දක්වමින් "අසූව දශකය ආරම්භයේදී මම කැසට් පටයක් කළා. එහිදී හෙක්ටර් විජේසිරි කියන ගීත රචකයා ලියූ පදමාලාවක් මගේ අතට ලැබුණා. ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි, මේ ලියන්නෙ ආරක්ෂක කඳවුරේ සිටයි’ යනුවෙන් ගීතය ලියැවී තිබුණා. ඔය කාලේ අපේ රටේ යුද ගිනි ඇවිලෙමින් තිබුණ කාලයක්. මම හිතුවා මේ ගීතය ගැයීමට වඩාත් සුදුසු කාලය මේක කියලා. මොකද එතකොට මෙවැනි රණවිරු ගීත තිබුණේ නැහැ. වෙනත් මාතෘකා යටතේ ඕනෑ තරම් ගීත තිබුණා. මම කොහොමත් වෙනස් ගීත කියන්න ආසයිනේ. ඒ හින්දා මේ ගීතය කාලීන අවශ්‍යතාවක් ලෙස සලකලා මම කියන්නට තීරණය කළා.


නමුත් ඔබ ගීතය පටිගත කළ යුතු දිනයේ පටිගත කළේ නැහැ? ටික දිනක් කල් දැම්මා?


ඒකට ප්‍රධානම හේතුව මෙන්න මේකයි. සිංදුවේ මැද හරියේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්.


අව්ව වැස්ස රෑ දහවල එකයිනෙ අපට

එකම සිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට

වාසි පතන අතළොස්සක් රට වනසන්ට

සැහැසි ලෙසින් යොමු වෙයි අපරාධ කරන්න


මට එහි තෙවැනි සහ හතරවැනි පේළි දෙක හිතට ඇල්ලුවෙ නැහැ. මොකද එය ලියවිලා තිබුණේ රණවිරුවන්ට නෙවෙයි. ඒ කාලේ කලබල කළ පුද්ගලයින්ට රිදෙන්නයි ඒ පේළි දෙක යොදාගෙන ඇත්තේ කියලා මට හිතුණා. මම සිංදුවේ කොලෙත් අරගෙන ගෙදර ගියා. කල්පනා කරලා අර පේළි දෙක අයින් කරලා ‘කිසිම බයක් දැනෙන්නෙ නැහැ කොහොමත් සිතට, සේවය කරනෙමි මිය යනතුරු ලක්බිමට’ යනුවෙන් මම ලිව්වා. යළිත් පටිගත කිරීම යොදා ගත් දින මම එය හෙක්ටර්ට පෙන්නුවා.


මොන වගේ ප්‍රතිචාරයක් ද ඔහුගෙන් ලැබුණේ?


ඔහුගේ බැල්ම අතිශය දරුණු වුණා. දෙපාරක් තුන් පාරක් මං ලියපු පේළි දෙක කියවලා බලලා ඔහු කොළය ගුලි කරලා පොළවෙ ගැහැව්වා. ‘මම උඹට ආයේ සිංදු ලියන්නේ නැහැ’ කියලා ශබ්දාගාරයෙන් නික්මුණා. කිව්වත් වගේම ඔහු ආයෙ මට කවදාවත් සිංදු ලිව්වේ නැහැ.


ඔබ එදා ගීතය පටිගත කළාද? ඔව්.


මා ආදරණීය ගීතය හින්දා ඔබට මරණ තර්ජනත් ආවලු නේද?


රත්ගම ෂෝ එකකට මම ගියා. ඔන්න ඉතින් සිංදු කියනකම් ස්ටේජ් එක පිටිපස්සට වෙලා මමයි එම්.එස්. අයියයි පොඩි කතාවක් දාගෙන හිටියේ. ඒ 83 ජූලි කලබල සිදුවන කාලේ. එක පාරටම නාඳුනන කෙනෙක් මම ළඟට ඇවිත් මට කිව්වා ස්ටේජ් එක එහා පැත්තේ දෙන්නෙක් ඔයාව මුණ ගැහෙන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. මම ගියා බලන්න. මෙන්න ඉන්නවා මිනිස්සු දෙන්නෙක් මූණ කට කළු රෙද්දකින් වහගෙන. එකෙක් අතේ තිබුණු තුවක්කුව ඔළුවට තියලා කිව්වා මා ආදරණීය ගීතය ගැයුවොත් මරනවා කියලා. ඔන්න එතකොටම නිවේදකයා මගේ නම කිව්වා. ඒ කලබලේ මැද මම ස්ටේජ් එකට දිව්වේ මරණ බයෙන්. එදා මම ඈ නීල වරල පීරලා ගීතය පස් වතාවක් කියලා ඒ ෂොක් එකට. අන්තිමේ ගිටාර් ගහපු මල්ලි කනට කරලා කිව්වා අයියේ ඔයා නොන්ස්ටොප් ඈ නීල කිව්වා කියලා. තව දවසක් බහරේන්වල මම ඔය ගීතය කිය කියා ඉන්න කොට ආවා ලොකු වීදුරු බෝතලයක් ස්ටේජ් එකට. වාසනාවට වැදුණේ නැහැ. බහරේන් එකල හැඳින්නුවේ පුංචි යාපනය කියලා. එහි හිටපු එල්.ටී.ටී.ඊ කාරයෝ තමයි මට බෝතලයෙන් ගහලා තියෙන්නේ. ඒ මොහොතෙම මම සිංදුව නැවැත්තුවා.


(උපුටා ගැනීම - සරසවිය)




බැහැයි කියලා බැහැයි කියලා බෑ ...

බැහැයි කියලා බැහැයි කියලා බෑ

බැහැයි කියලා බැහැයි කියලා බෑ

බෑ කියලා බැරිය මලේ බෑ කියලා 

බැරිය නගේ

බැහැයි කියලා බැහැයි කියලා බෑ


මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ

තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ

අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ

මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ


අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ

රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ

යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ

නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ’


ගායනය: "ලා තණකොළ පෙත්තාස්"

(දීපිකා ප්‍රියදර්ශනී පීරිස්,රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ සහ පිරිස)

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව හා සංගීතය: සෝමසිරි ඉලේසිංහ


අපේ ළමා කාලයේ රූපවාහිනියෙන් ප්‍රචාරය වූ දොස්තර හොඳ හිත සැකිලි රූ කතාංගයකට ප්‍රේමකීර්ති රචනා කළ “බෑයි කියලා බෑයි කියලා බෑ” ගීය රචනා කළ ආකාරය ගැනද අපූරු කතාවක් ඇත. මෙම වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් මහඟු මෙහෙවරක් කළ ටයිටස් තොටවත්තයන් එකී කතාංගය සඳහා තේමා ගීයක් ලියන ලෙස ප්‍රේමකීර්තිට කියා ඇත. ටික කලක් ගත වුණත් ප්‍රේමකීර්ති අතින් යෝජිත ගීය ලිවීම අතපසු වී ඇත. දිනක් ප්‍රේමකීර්ති වෙත පැමිණි ටයි මහතා විසින් ටිකක් සැරෙන් “උඹට බැරි නම් බැහැයි කියපන්” යැයි ප්‍රේමකීර්තිට කියා ඇත. ප්‍රේමකීර්ති එකී ගීය පටන් ගෙන ඇත්තේ කනට ඇසුණ එම වචන කිහිපයෙන් ක්ෂණිකව ගීතය ලියා ටයිටන් තොටවත්තයින් වෙත ලබාදී ඇත.


ධනාත්මක චින්තයක් ගැන පැය ගණනක දේශනයකින් අත්නොවිඳින දෑ එම ගීතයෙන් උකහා ගත හැකිය.


මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගළපමින් ප්‍රේමකීර්ති ද අල්විස් නමැති දක්ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කථාංගය වූ "බෑයි කියල බෑ" කථාව සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්ම ටයි මහතාගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක් ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතාගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙහි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහවීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි.


දොස්තර හොඳ හිත කථා මාලාවට අන්තර්ගතව කාටුන් සංගීත කණ්ඩායමක් විය. ටයි මහතා විසින් එය නම් කරන ලද්දේ "ලා තණ කොළ පෙත්තාස්" යනුවෙනි. ප්‍රේම්ගේ පද්‍යවලට සෝමපාල රත්නායකගේ තනු වලට එම කණ්ඩායම් ගීත ගායනා කරන ලද්දේ දීපිකා පි‍්‍රයදර්ශනී ප්‍රමුඛ අතුල රන්සිරිලාල්ගේ කළුබෝවිල ගෝල බාල පිරිස විසිනි. දීපිකාගේ ප්‍රථම ගායන ප්‍රවේශය ද මෙය විය. පසු කලෙක දී ප්‍රාසංගික කලාව ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනාවෙන් සුරු විරුකම් පෑ රවීන්ද්‍ර මුණසිංහ ද එම ගායනා අත් වැලෙහි නිත්‍ය ගායකයෙකු විය.


(උපුටා ගැනීමකි)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...