Tuesday, August 18, 2020

ලියතඹරා ...

ලියතඹරා මෘදු කුසුමකි ඈ

තවුසන්ගේ දැහැනේ සම බිඳිනා

නෑ ලෝකෙ ජීවේ ඇයයි...//


මායාව මායාව ‍ලොව රවටනා

සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා

වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි

මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

ලියතඹරා...//

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා

දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා

නිල් නයන බිගුකැලකි නෙත් සරය සුමුදුයි

මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

ලියතඹරා...//

ගායනය, සංගීතය - ආත්මා ලියනගේ

පද රචනය - රෝහණ ජයසිංහ 

ආත්මා ලියනගේ ඔහු හඳුන්වන්නට එකම එක ගීතයක මුල් පද දෙක පමණක්ම සෑහේ. ඔහු ගේ නමත් ගීතයත් දහස් ගණනක් හදවත් දිනා ගන්නේ එක් රැුයකිනි. ඔහුටම අවේනික හඬ, ගීතයත් රසික රසිකාවියන්ගේ ආත්මයත් වෙලා ගන්නේ සියලූ උස් මිටිකම්, ජාති ආගම් පසෙකලා කලාව විශ්වීය භාෂාවක් බව කාට කාටත් යළි යළිත් මතක් කරමිනි. භාෂාව හෝ ජාතිය හෝ වෙනත් කිසිවක් මේ ගීතයේ ජනප‍්‍රියත්වයට බාධාවක් වූයේ නැත. ලිය තඹරා ගීතය, එම ගීතය ගැයූ සහ එම ගීතයේ තනුව නිර්මාණය කෙරූ ආත්මා ලියනගේ යනු ආත්ම දෙකක් නොව එකක්මය. 

සුන්දර 90 සහ ලියතඹරා ගැන කතා කළොත්? 

මුලින්ම මගේ ලියතඹරා ගීතය නන්දන වින්දන වැඩසටහනේ තමයි විකාශය වුනේ. ඒ 89 අන්තිම. 90 දි තමයි ගීතය හොඳටම ජනප‍්‍රිය වුනේ. පද රචනය රෝහණ ජයසිංහ කියලා මගේ යාලූවෙක් කළේ. මගේ සිහින ලොවේ මායා ගීතය ලිව්වෙත් රෝහණ. දෙකේම තනු නිර්මාණය මගේ. අපේ තිබ්බා ඩොට් ඇන්ඞ් ඩෑෂ් කියලා සංගීත කණ්ඩායමක්. මම කණ්ඩායමේ ගීත ගායනා කළා. කී බෝඞ් එක වාදනය කළා. එහෙම ඉන්න අතරේ ඉතිං මට හිතුනා මගේම ගීතයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඉතිං ඒකට මම මුලින් තනුව නිර්මාණය කරලා මගේ මිත‍්‍රයා රෝහණට කිව්වා මෙන්න මේ අදහසට මට ගීතයක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ අපි එකට ඉඳගෙන ගිටාර් එක ගගහා මම එයාට තනුව හම් කරනකොට රෝහණ ලිව්වා ලිය තඹරා. එහෙම තමයි ඒ ගීතය නිර්මාණය වුනේ. රෝහණ ඇත්තටම බෑන්ඞ් එකට සම්බන්ධයක් නෑ. අපේ මිත‍්‍රයෙක්. 

එතකොට කැසට් එක කළේ? 

මට මගේ යාලූවෙක්, අයියා කෙනෙක් හම්බුනා උපාලි රංජිත් පතිරගේ කියලා. 

එයාගේ මාර්ගයෙන් තමයි එයාගෙත් මිත‍්‍රයෙක් හරහා ගීත හයක කැසට් එකක් කළේ. ඊට පස්සේ තමයි කැසට් එක හරහා රූපවාහිනියෙන් ආරාධනා ලැබුනේ නන්දන වින්දන වැඩසටහනට. කැසට් එකේ නමත් ලියතඹරා. නන්දන වින්දන එකේ විකාශය වුන ගමන් ගීතය ජනප‍්‍රිය වුනා. 

ඒත් ලියතඹරා ඔබ ඊට කලින් ගායනා කළා නේද? 

ඇත්තටම මේ ගීතය 77 වගේ හදපු ගීතයක්. බෑන්ඞ් එකේ සිංදු කියන ගමන් තමයි කැසට් එකට මං ගීත ටික කළෙත්. ලිය තඹරා කලින් නිර්මාණය කළත් 89 වෙනකන්ම එලියට දාන්න හම්බුනේ නැහැ. ඔහේ එහෙ මෙහෙ වේවි හිටියා. අපේ බෑන්ඞ් එකේ ගයද්දීත් මං මේ ගීතය ගයනවා. නමුත් ජනතාව අතරට යාමක් තිබුනේ නැහැ. මගේ මිත‍්‍රයා හරහා කැසට් එක කරන්න ලැබීමත්, කැසට් එක නිසා නන්දන වින්දන සඳහා අරාධනා ලැබිලා ගීතය එහි ප‍්‍රචාරය වීමත් තමයි ගීතය ජනතාව අතරට යන්න බලපෑවේ. වයස්, උස් පහත් කිසිම භේදයකින් තොරව 

 මිනිස්සු මාව බොහොම ආදරෙන් වැළඳ ගත්තා. දැනටත් ඉන්නවා එහෙම රසිකයෝ. ජාති භේද පවා නොසලකා මිනිස්සු ඒ ගීතය වැළඳ ගත්තා.


(උපුටා ගැනීම - දිවයින)






සිහින නෙළුම් මල් ...

සිහින නෙළුම් මල් පොකුණු පුරා

මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා

මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා

කිරි සුවඳ දේ මුවගේ පවන් සලා


බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ

මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ

සුළැඟිල්ල පටලා හෙට යං පුතේ

ඇවිදින්නට මා හා මිදුලේ වටේ


අම්මා කියූ නාමේ ම‍ට දුන් පතේ

රාජිණියකි දැන් මා පුතුගේ පිනින්

හැම මව්වරුන් සේ අම්මා නුඹේ

සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්


පුතු දකින උදයේ හැමදාම දැං

නව දවසකි මට නම් දෙන වාසනා

හිරු සඳු දවල් රෑ මට පායනා

පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ


සිහින නෙළුම් මල් පොකුණු පුරා

මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා

මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා

කිරි සුවඳ දේ මුවගේ පවන් සලා


ගායනය - මරිසසෙල් ගුණතිලක

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය - රොෂාන් ද සිල්වා

මරියසෙල් ගුණතිලක මහත්මිය මෙම ගීතය පිළිබඳව පැහැදිලි කරමින් "මගේ ජීවිතයේ යම් තැනකදි මම විවාහ වුණා. මම හිටියේ විදේශ ගතවෙලා මම අම්මත් සමඟ ලංකාවට ආවා. මම දැනගෙන හිටියේ නෑ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඇවිත් සුමානයකට විතර පස්සේ තමයි දැන ගත්තේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඊටත් සුමානයකට විතර පස්සේ බබා නැතිවෙන්න ගියා. එතකොට මට හස්බන්ඩ් රිටර්න් ටිකට් එවලා තිබුණා ආපහු යන්න. නමුත් දොස්තරලා කිව්වා යන්න එපා කියලා. දරුවා බේර ගන්න ඕන නිසා මම ගියේ නෑ. ගිය නැති එකෙන් විවාහය දෙදරුවා. හැබැයි මට දරුවා ඉතුරු වුණා. දරුවත් සමඟ මට ඇතිවුණ බැඳීම මට වචන වලින් විස්තර කරන්න බෑ. මම තේරුම් ගත්තා මම මවක් විතරක් නොවෙයි. මම දැන් පියෙකුත් වෙන්න ඕන කියලා. මවයි පියයි දෙන්නම වෙනුවෙන් දරුවාට ඉෂ්ට කරන්න ඕන යුතුකම් මම කරන්න ඕන කියන එක තේරුම් ගත්තා. හැබැයි තාමත් පසුතැවෙන තැන් තියෙනවා. තාත්තා කෙනෙක් පුතෙක් එක්ක කරන දේවල් මට කරන්න බෑනේ. එතැනදි පොඩි පොඩි අඩුපාඩු වුණා. තනි මවක් හැටියට ගෙවපු ජීවිතේ නිසා මට හිතෙනවා යම් දුරකට මගේ මියුසික් ලයිෆ් එක කිසියම් පසුබෑමකට ලක්වුණා කියලා. හැබැයි කිසිම කනගාටුවක් නෑ. ඔරලෝසුව වෙනස් කරලා මට ආපහු එතැනට යන්න පුළුවන් වුණත් මම කිසි දෙයක් වෙනස් කරන්නේ නෑ. මම මවක් හැටියට ලබපු අත්දැකීම් අනෙක් හැම දෙයටම යටයි. පුතා සමඟ මට තියෙන බැඳීම, පුතා එක්ක ගත කරපු කාලෙ සේරම තරාදියක තියලා තිබ්බොත් ඒ පැත්ත අනිත් සේරටම වැඩිය බර වැඩියි.

මේ බැඳීමේ තරම ඇය අපට මෙහෙම කියනවා.

සිහින නෙළුම් මල් පොකුරු පුරා 

මගේ පුතුගේ කිරි සිහිනේ සුවඳ කළා 

මගේ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා 

කිරි සුවඳ දේ මුවඟින් පවන් සලා

සිහින නෙළුම් මල් ගීතය මම කිව්වේ මගේ එකම පුතාට. මේ සින්දුව හදනකොට එයාට වයස අවුරුද්දයි. මේ ගීතය රචනා කලේ ආචාර්ය අජන්තා රණසිංහ. සිහින නෙළුම් මල් ලියන්න මම ආරාධනා කලේ ආචාර්ය අජන්තා රණසිංහට. අජන්තා අපේ ගෙදර ආවා. ඔහු ඉස්සරලාම දැක්කෙ බබාව. එතකොට කවුරුත් දන්නේ නෑ මම විවාහ වෙලා කියලවත්. අජන්තා දරුවා දිහා බලලා පුදුම වුණා. පස්සේ මාත් එක්ක ටිකත් කතා කළා. මගේ පළවෙනි චිත්‍රපට ගීතයත් මම කලේ අජන්තා එක්ක. ඒ නිසා එයා මාව හොඳීන් දැනගෙන හිටියා. එදා අජන්තා ලියලා දුන්න ගීතය තමයි ඔය. ගී තනුව දැම්මේ රොෂාන් ද සිල්වා. රොෂාන් මට පුතාගේ පළවෙනි උපන් දිනයට ඔය ගී තනුව හදලා දුන්නේ. සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් මට ලැබිලා තියෙන්නේ අහම්බෙන්. 

හැබැයි පුදුම දේ කියන්නේ ඔය ගීතය මම ගායනා කරන හැම සැරයක්ම මට වෙනස් ගීතයක්. එදා මට පුතා ගැන දැනුන දේ අද මට ගායනා කරත්දි දැනෙන්නේ වෙනස් විදියකට. මට මේ ගීතයෙන් ඇසෙන්නේ මගේ හඬ නෙවෙයි . මගේ හැඟීම්. ඒ හැඟීම් එක්ක හඬ වෙනස් වෙනවා. සමහර අය මගෙන් අවසර ඉල්ලුවා මේ ගීතය ගායනා කරන්න. මම කියන්නේ මේ ගීතයේ හැඟීම දැනෙන්නේ හා එහි අයිතිය මටයි තියෙන්නේ. මේ හැඟීම් තව කෙනෙකුට දැනෙන්නේ වෙන විදියකට විය යුතුයි. අදටත් මම මේ ගීතය ගයද්දී අඬනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ .ඒ දුකකට නෙවෙයි. ඒ හැඟීම මට විස්තර කරන්න අමාරුයි. 

ජීවිතේ මට මහ ලොකු බලාපොරොත්තු නෑ. මගේ පුතා ගැන එක බලාපොරොත්තුවක් තියෙනවා .පල්ලියේ වේදිකාවේ ගිටාර් එකක් තියාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන ගීතයක් මගේ පුතා ගායනා කරනවා බලන්න කලින් මගේ දෙනෙත් පිය‍වෙන්න එපා කියන ප්‍රාර්ථනය මට තියෙනවා.

(උපුටා ගැනීම - සරසවිය පුවත්පත නිශ්ශංක විජේරත්න)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...