Tuesday, August 18, 2020

සිහින නෙළුම් මල් ...

සිහින නෙළුම් මල් පොකුණු පුරා

මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා

මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා

කිරි සුවඳ දේ මුවගේ පවන් සලා


බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ

මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ

සුළැඟිල්ල පටලා හෙට යං පුතේ

ඇවිදින්නට මා හා මිදුලේ වටේ


අම්මා කියූ නාමේ ම‍ට දුන් පතේ

රාජිණියකි දැන් මා පුතුගේ පිනින්

හැම මව්වරුන් සේ අම්මා නුඹේ

සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්


පුතු දකින උදයේ හැමදාම දැං

නව දවසකි මට නම් දෙන වාසනා

හිරු සඳු දවල් රෑ මට පායනා

පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ


සිහින නෙළුම් මල් පොකුණු පුරා

මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා

මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා

කිරි සුවඳ දේ මුවගේ පවන් සලා


ගායනය - මරිසසෙල් ගුණතිලක

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය - රොෂාන් ද සිල්වා

මරියසෙල් ගුණතිලක මහත්මිය මෙම ගීතය පිළිබඳව පැහැදිලි කරමින් "මගේ ජීවිතයේ යම් තැනකදි මම විවාහ වුණා. මම හිටියේ විදේශ ගතවෙලා මම අම්මත් සමඟ ලංකාවට ආවා. මම දැනගෙන හිටියේ නෑ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඇවිත් සුමානයකට විතර පස්සේ තමයි දැන ගත්තේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඊටත් සුමානයකට විතර පස්සේ බබා නැතිවෙන්න ගියා. එතකොට මට හස්බන්ඩ් රිටර්න් ටිකට් එවලා තිබුණා ආපහු යන්න. නමුත් දොස්තරලා කිව්වා යන්න එපා කියලා. දරුවා බේර ගන්න ඕන නිසා මම ගියේ නෑ. ගිය නැති එකෙන් විවාහය දෙදරුවා. හැබැයි මට දරුවා ඉතුරු වුණා. දරුවත් සමඟ මට ඇතිවුණ බැඳීම මට වචන වලින් විස්තර කරන්න බෑ. මම තේරුම් ගත්තා මම මවක් විතරක් නොවෙයි. මම දැන් පියෙකුත් වෙන්න ඕන කියලා. මවයි පියයි දෙන්නම වෙනුවෙන් දරුවාට ඉෂ්ට කරන්න ඕන යුතුකම් මම කරන්න ඕන කියන එක තේරුම් ගත්තා. හැබැයි තාමත් පසුතැවෙන තැන් තියෙනවා. තාත්තා කෙනෙක් පුතෙක් එක්ක කරන දේවල් මට කරන්න බෑනේ. එතැනදි පොඩි පොඩි අඩුපාඩු වුණා. තනි මවක් හැටියට ගෙවපු ජීවිතේ නිසා මට හිතෙනවා යම් දුරකට මගේ මියුසික් ලයිෆ් එක කිසියම් පසුබෑමකට ලක්වුණා කියලා. හැබැයි කිසිම කනගාටුවක් නෑ. ඔරලෝසුව වෙනස් කරලා මට ආපහු එතැනට යන්න පුළුවන් වුණත් මම කිසි දෙයක් වෙනස් කරන්නේ නෑ. මම මවක් හැටියට ලබපු අත්දැකීම් අනෙක් හැම දෙයටම යටයි. පුතා සමඟ මට තියෙන බැඳීම, පුතා එක්ක ගත කරපු කාලෙ සේරම තරාදියක තියලා තිබ්බොත් ඒ පැත්ත අනිත් සේරටම වැඩිය බර වැඩියි.

මේ බැඳීමේ තරම ඇය අපට මෙහෙම කියනවා.

සිහින නෙළුම් මල් පොකුරු පුරා 

මගේ පුතුගේ කිරි සිහිනේ සුවඳ කළා 

මගේ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා 

කිරි සුවඳ දේ මුවඟින් පවන් සලා

සිහින නෙළුම් මල් ගීතය මම කිව්වේ මගේ එකම පුතාට. මේ සින්දුව හදනකොට එයාට වයස අවුරුද්දයි. මේ ගීතය රචනා කලේ ආචාර්ය අජන්තා රණසිංහ. සිහින නෙළුම් මල් ලියන්න මම ආරාධනා කලේ ආචාර්ය අජන්තා රණසිංහට. අජන්තා අපේ ගෙදර ආවා. ඔහු ඉස්සරලාම දැක්කෙ බබාව. එතකොට කවුරුත් දන්නේ නෑ මම විවාහ වෙලා කියලවත්. අජන්තා දරුවා දිහා බලලා පුදුම වුණා. පස්සේ මාත් එක්ක ටිකත් කතා කළා. මගේ පළවෙනි චිත්‍රපට ගීතයත් මම කලේ අජන්තා එක්ක. ඒ නිසා එයා මාව හොඳීන් දැනගෙන හිටියා. එදා අජන්තා ලියලා දුන්න ගීතය තමයි ඔය. ගී තනුව දැම්මේ රොෂාන් ද සිල්වා. රොෂාන් මට පුතාගේ පළවෙනි උපන් දිනයට ඔය ගී තනුව හදලා දුන්නේ. සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් මට ලැබිලා තියෙන්නේ අහම්බෙන්. 

හැබැයි පුදුම දේ කියන්නේ ඔය ගීතය මම ගායනා කරන හැම සැරයක්ම මට වෙනස් ගීතයක්. එදා මට පුතා ගැන දැනුන දේ අද මට ගායනා කරත්දි දැනෙන්නේ වෙනස් විදියකට. මට මේ ගීතයෙන් ඇසෙන්නේ මගේ හඬ නෙවෙයි . මගේ හැඟීම්. ඒ හැඟීම් එක්ක හඬ වෙනස් වෙනවා. සමහර අය මගෙන් අවසර ඉල්ලුවා මේ ගීතය ගායනා කරන්න. මම කියන්නේ මේ ගීතයේ හැඟීම දැනෙන්නේ හා එහි අයිතිය මටයි තියෙන්නේ. මේ හැඟීම් තව කෙනෙකුට දැනෙන්නේ වෙන විදියකට විය යුතුයි. අදටත් මම මේ ගීතය ගයද්දී අඬනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ .ඒ දුකකට නෙවෙයි. ඒ හැඟීම මට විස්තර කරන්න අමාරුයි. 

ජීවිතේ මට මහ ලොකු බලාපොරොත්තු නෑ. මගේ පුතා ගැන එක බලාපොරොත්තුවක් තියෙනවා .පල්ලියේ වේදිකාවේ ගිටාර් එකක් තියාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන ගීතයක් මගේ පුතා ගායනා කරනවා බලන්න කලින් මගේ දෙනෙත් පිය‍වෙන්න එපා කියන ප්‍රාර්ථනය මට තියෙනවා.

(උපුටා ගැනීම - සරසවිය පුවත්පත නිශ්ශංක විජේරත්න)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...