Friday, July 3, 2020

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි...

ඉසුරු දෙවිඳු උමයංගන සේ
පෑහෙන්නයි
විෂ්ණු බ‍්‍රහ්ම මෙහෙසුරු දෙවි
පිහිට ලබන්නයි
පවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි

කුල කතකගෙ සුරතුර බඳු
සුරත ලබන්නයි
තල් වැට බිඳ නිල් වන රොදකට
යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත්
නොගන්නයි
පෝරුව තුළ හිඳුවා කර මාල
බඳින්නයි

කෝවිල කොත් කැරලි කැලුම්
නෙත දැවටෙන්නයි
දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
පිච්ච මලින් යහන සැදෙන්නයි
රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

අතපැන් වත්කොට සුළැඟිලි
එකට බඳින්නයි
තැලි පිළි අන්දා පෙර කුල සිරිතරකින්නයි
බුලත් හුරුළු දී නෑයන් අවසරගන්නයි
සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්නයි

පද රචනය - තිලකරත්න කුරුවිට බණ්ඩාර
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය - අබේවර්ධන
බාලසූරිය සමඟ නිරංජලා සරෝජිනි

සරුංගලේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න

අපට මේ ගීතය අසන්නට දකින්නට ලැබෙන්නේ හැත්තෑව දශකයේ අග භාගයේ පමණ සිංහල පේ‍්‍රම වෘත්තාන්තයක් ද සහිතව එළි දැක්වුණු සරුංගලේ නැමැති සිනමා පටයෙනි. එහි වැඩිභිටි දෙමළ පෙම්වතාගේ චරිතය මහා නළු සක්විති ගාමිණී ෆොන්සේකා මහතාද සිංහල පෙම්වතියගේ චරිතය වීණා ජයකොඩි මහත්මියද පණ ගන්වයි. චිත‍්‍රපට කථාව ගීතය රස විඳීමට මහත් රුකුලක් වෙයි. චිත‍්‍රපටියේ රූගත කිරීම් සිදුවන කාලය ආසන්නයේ සිංහල , දෙමළ වර්ගවාදී ගිනිමැළය ඇවිළි තිබිණ. ජාතික සමගිය පොදු මාතෘකාවක් බවට පත්විය. මේ චිත‍්‍රපටිය නිපැදවෙන්නේ ඒ පරිසරය හාත්පස තිබියදීය. අනුවේදනීය කතා පුවතක් අරබයා ඉල්ප වූ මානව දයාව චිත‍්‍රපටය තුළින් බොහෝ දේ විවරණය විය. එහි නඩරාජා නම් පිරිමි චරිතය දකින මනෝ චිත‍්‍රයක් චිත‍්‍රණය කරනු පිණිස මෙම ගීතය රූපණය කෙරේ.

”ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි”

ඉසුරු හෙවත් ඊශ්වර දෙවියෝ දේව කතා වලට අනුව පෙම්වතෙකු නොවෙති. හේ සර්ව බලධාරී මහා දෙවියාය. උමයංගනා හෙවත් හිමාල දුහිතෘව වූ පාර්වතිය හා ඊශ්වරගේ බැඳීම හොඳින් පෑහුණු දැඩි බැඳීමකි. ලොව මවන්නාද පවත්වන්නාද වනසන්නාද ඊශ්වර යැයි ඊශ්වරවාදී හූ දක්වති. හේ ප‍්‍රකෘතියෙන්ම පුරුෂත්වය සංකේත කරන දෙවියෙකි. උමයංගන ප‍්‍රකෘතියෙන්ම ස්තී‍්‍රත්වය සංකේත කරයි. මේ දෙදෙනා පෑහීම අතින් ඉහළ තැනක වැජබෙන බැවින් කවියා එය සිය උපමාවක් බවට පත් කර ගනී. ස්තී‍්‍ර‍ පුරුෂ පෑහීම පිළිබඳව සිංහල සාහිත්‍යකරුවා සුලභව නොයෙදු අපූරු උපමාවක් නඟන්නට ගීත රචකයා සමත් වී ඇති. මේ එක් වීමෙන් ගණ දෙවියෝත් කන්‍ද කුමාරයෝත් උපන්හ. මේ දෙදෙනා ද හින්දුන්ගෙන් මෙන්ම සිංහල බොදුනුවන්ගෙන්ද පුද ලබන අපේම දෙවිවරු බවට පත්වූහ. ප‍්‍රස්තුතයේදී මේ පෑහීම සිංහළ දෙමළ පෑහීමක් බව කවියා ධ්වනිත කරන්නේ අප දෙපක්ෂයම මේ දෙවිවරුන් අදහන කළ ඒ හරහා අපේ පෑහීම සිදුවෙතැයි ඉඟි කරමිනියි හැඟෙයි.

මෙහිදී විෂ්ණු බ‍්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පැතීමක් ද කරයි. බ‍්‍රහ්ම වාදයට අනුව මවන්නා බ‍්‍රහ්මද පවත්වන්නා විෂ්ණු ද නසන්නා ඊශ්වරද වේ යැයි පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. පිහිට පැතෙන්නේ මේ ති‍්‍රත්වයෙනි. සිංහල බෞද්ධයා කෙරෙහි බ‍්‍රහ්ම හා ඊශ්වර ඇදහීමක් නොපෙනුණත් විෂ්ණු ඇදහීම දකින්නට ලැබේ. එය අනුරාධපුර යුගය තරම් ඈතක සිට පැවැතෙයි. මහ විෂ්ණුන් වහන්සේ - මහ විෂ්ණු හාමුදුරුවෝ ආදී වශයෙන් අපේ යාදිනි කන්නලව් වල දැක්වේ. මේ තිදෙනාම හින්දු දෙවිවරුය. සිංහල පෙම්වතිය පෙම්වතාගේ පාර්ශ්වය අදහන ති‍්‍රමුර්තියෙන් පිහිට පතන බවක් පෙනේ. එයද අපූරු අරුත් ගැන්වීමකි. එවැනි පද යෙදුම් සිංහල චිත‍්‍රපටි ගී අතර ඇත් දැයි සැක සිතේ.

"තවිල නදින් සවන් පිරෙන්නයී"

මෙහි තවිල් සදින් ගැනෙනුයේ තාවිල් බෙරයයි. එය දකුණු ඉන්දිය සාම්ප‍්‍රදායික අවනද්ධ භාණ්ඩයකි. කොස් දැව හා මී හරක් හම් යොදා ගනිමින් සාදනු ලබන මේ බෙර විශේෂය එක් අතෙක කුඩා රිටක් දරමින් සහ අනෙක් අතේ ඇඟිළි වලට දිදාල වැනි මුදු වෙසෙසක් දමා වාදනය කරනු ලබන්නෙකි. මෙම නම පසු කලෙක තොවිල් බෙරයට අනුවර්තනය වූ බව ඇතැමෙක් සළකති. මෙයින් නැගෙන ශබ්ද ධ්වනිය හින්දු කෝවිල් වලින් නිතර ඇසෙන භක්තිය දනවන නාදයක් බව පැහැදිලිය. මෙහි එන තවිල් නද සවන් පිරෙන්නැයි පැතීම හින්දු දෙමළ සංස්කෘතිය හා සදාචාරය මේ යුවල කෙරේ ඇති වේවා යි යන පැතුම සඟවා කියයි යැයි හැඟේ. නළලත කොකුමඟරා ඇඳීම සස්වාමික හින්දු දෙමළ කාන්තාවන් නොවරදවා කරන්නකි. අපුංස්කාවකට හිමියා මළ කතකට කොකුමඟර හෙවත් කුංකුම අංගරාග යෙදීම නිෂිද්ධය. සදා සස්වාමික වේවා යනු අදහසයි.

කාන්තා පක්ෂයෙන් කියැවෙන කුල කතකගේ සුරතුර බඳු සුරත ගැඹුරු අරුත් දනවයි. කුල කත වූ කලී ආර්ය සිංහල සමාජයේ හෙළ කුල සිරිත් අනුව සුශික්ෂිතව හැදුණු වැඩුණු තැනැත්තියකි. ලැජ්ජා භය ඇති කාන්තාවකි. එවැනි කාන්තාවක් විවාහ කර ගැනීමට ලැබීම පුරුෂයකුට ලැබෙන මහාර්ඝ සම්පතකි. ඇගේ සුරතුර බඳු සුරත හිමියාට සිතූ පැතූ සම්පත් ගෙන දෙයි. සුරතුර වනාහී සිතූ පැතූ සම්පත් ලබා දෙන දිව්‍ය වෘක්ෂයම වන්නේය. ලැජ්ජා භය ඇතිව ආරිය සිංහල කුල සිරිතට හැදුණු වැඩුණු කතකගේ සුරත පිරිමියකුට සුරතුරක්ම වේ. ඇය හිමියා අනුව යන අභීෂ්ට භාර්යාවක් වන්නීය. ගෘහණියකව ඇය පවුල හසුරුවන්නීය. දරුවන් වදා හදා වඩා ගන්නීය. රසවතියෙන් රස අහර දෙන්නීය. ගෙහිමියා ගෙට ගෙනෙන දෑ රකිමින් ඉතිරි කරන්නීය. පතිවත රැක ගෞරවයෙන් ජීවත් වන්නීය. සැමියා අභිබවා නොයා අනුව ඉඳ ලොව ජය ගන්නීය. උගත් සිරිමත් නැණවත් දරුවන් සමාජයට යවන්නීය. සැමියාගේ දුකෙහි සැපෙහි මවක මෙන් පවතින්නීය. සියලු දුක් දරා බර දරා වැය දරා පවුල් ඒකකය තුළින් සමාජය හසුරුවන්නීය. එවිට ඇය හිමියාට සුරතුරක් නොවන්නීද?

තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි

තල් වැට යන වදන යෙදීමෙන් මේ රටේ උතුරුකරයද කර්කශ දේශගුණයද සංකේත කරයි. තල් වැට උතුරේ ජන විඥානය දකුණට කාන්දු වීම වැළැක්වූ බාධකයක් හඟවතියි ද මට සිතේ. නිල් වන රොද දකුණුකරය ප‍්‍රතීකයක්ව ගෙන දකුණේ  සිහිල දිය පොද පිරි සරු බව සිත් තුළ ඇති දයාව පිළිබිඹු කරයි. උතුරේ පැවති නොසන්සුන් බව බිඳ හෙවත් තල්වැට බිඳ සිහිල දනවන නිල් වන රොදට යා ගන්ට පෙම්වතා සිතයි. යා ගන්ඩ, නොගන්ඩ, බඳින්ඩ, රකින්ඩ,යන්ඩ ආදී වදන් දෙමළ උසුරු වීමක් පෙන්වයි.

වර්ගවාදී ඇතැම් නායකයින් සිය අනුගාමිකයන්ට හුවා දැක්වූ දකුණේ භීතිය හා උතුරේ භීතිය පිළිබඳ ස්පර්ශ කිරීමක් මේ පද යෙදුම් වලින් ධ්වනිත නොවේ යැයි කාට නම් කිව හැකිද ?

පතිනිය යැයි මුඛ්‍යාර්ථයෙන් භාර්යාව හඟවතත් පතිනි යන වදන සංස්කෘත පත්නී යන්නෙහි දෙමළ බිඳීමට අනුව පත්තිනි යැයි හැඟේ. එය තත්සමයි. සිංහලේ දී එය පතිනිය වේ. පත්තිනි වූ කලී ද්‍රවිඩ සිලප්පදිගාරමේ කණ්ණගීය. ඇය පතිව‍්‍රතාවේ දිව්‍යාංගනාව වන්නීය. ඇගේ ලංකාගමනය සිදුවන්නේ දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම මතය. එසේ පැමිණෙන ඇය කිහිරැළි සමන් බොක්සැල් විභීෂණ ආදී ලංකාරක්ෂක දේව මණ්ඩලයට ඇතුලු වී ලංකාව රැකීමෙහි යෙදෙන්නීය. සිංහල ජනතාවගේ නොමද ගෞරවරයට බඳුන් වන්නීය. පෙම්වතා මෙහිදී සිය බිරිය වන්නට යන්නියගෙන් එවන් පත්නියක්ම අපේක්‍ෂා කරයි. ඔහුට ඇයගේ පති භක්තියම සෑහේ. පාක්කුඩම් අනවශ්‍ය බව කියවේ. පාක්කුඩම් යනු දෙමළ බසින් සිංහල බසට ආ දෙමළ තත්සම පදයකි. පාඩුර තෑග්ග තෑගි බෝග කප්පම දැකුම ආදී අරුත් එහි ඇතුළත්ය.

විවාහයේදී මනාලියගේ පාර්ශවයෙන් මනාලයාට ලැබෙන මිල මුදල් දේපොළ ආදිය එයින් නොකියැවේ. දෑවැද්ද සිංහල නාම ප‍්‍රකෘතික පදයකි. එම පද යෙදුම මෙහි නොයොදා ද්‍රවිඩ ඌරුවට පාක්කුඩම් යැයි යෙදීම ඖචිත්‍යය පිළිබඳ හොඳ නිදසුනකි. විවාහයේදී දෙමළ තරුණයකුට ලැබෙන දෑවැද්ද හැටියට කවියා මෙහිදී පාක්කුඩම් සළකා ඇත. අවශ්‍ය වන්නේ ඉහත කී අයුරින් පෙම්වතියයි. පතිනියයි. ඒ පතිනිය සිංහල තාලෙට මගුල් සිරිත් විරිත් අනු දැන පෝරුව පිට සිටුවා කැඳවාගෙන යන්ට සිහින දකියි.

ආගමික පසු බිමක් ඇති කුල සිරිත්, මුල් බැස ගත් ද්‍රවිඩ සංස්කෘතියේ අවශ්‍යාංගයකි. එහි ප‍්‍රධානම ස්ථානයක් හිමි වන්නේ කෝවිලටය. කෝවිල සම්ප‍්‍රදායික හින්දු දෙමළ ජන ජීවිතයේ පුරෝගාමියා බවට පත්වේ. සියලු සුබා සුබ කාර්යයන්හිදී කෝවිල සම්බන්ධ කර ගැනීම ඔවුන්ගේ ජන විඥානය තුළින් නැගී එන ජානපදික වූ කි‍්‍රයාකාරකමකි. කෝවිල කොත් කැරළි කැළුම් නෙත දැවටෙන්නයි දීප ධූපයෙන් දිවි මඟ සුවඳ කරන්නයි කීමෙන් යට කී සම්ප‍්‍රදායානුකූල භාවයෙන් පේ‍්‍රරිත පවුල් ජීවිතය දීප ධූපාදියෙන් හෙවත් පහනින් හා සුවඳ දිමෙන් සුවඳවත් වේවායි පැතුම් නඟයි. මේ ද්‍රවිඩ සංස්කෘතියට අනුව සාම්ප‍්‍රදායික පුරුෂාර්ථ මත ගොඩ නැඟෙන සාර්ථක පවුල් ජීවිතයක් පිළිබඳ සිහිනයකි.

පිච්ච මල් යහන පවිත‍්‍රත්වය සංකේත කරයි. පිච්ච මල් යහනේ මඟුල් රැයේ සැතැපෙන මනාලියකගේ පරම පවිත‍්‍රත්වය ආරිය ජන සමාජය මහ ඉහළින් ගත්තකි. රාධා කි‍්‍රෂ්ණා පේ‍්‍රමය විශ්වය වසඟ කළ දිව්‍යමය පේ‍්‍රමයකි. කිසිදා නොබිඳෙන අතිශය සුන්දර වූ පේ‍්‍රමයේ ආහ්ලාදය දැනවීමට යෙදෙන සම්ප‍්‍රදායික උපමාවකි. සංස්කෘත ද්‍රවිඩ ආදී නොයෙක් සාහිත්‍ය කෘතීන්ට වස්තු විෂයවූ සුන්දර කථාවකි. ශ‍්‍රී ජයදේවයන්ගේ සුප‍්‍රසිද්ධ ගීත ගෝවින්ද කාව්‍යයටද වස්තු විෂය වන්නේ මෙකී පේ‍්‍රම වෘත්තාන්තයයි. ශඨමුක්ත චලමුක්ත ස්නේහයේ පරමාදර්ශය මෙම පෙම්වතුන්ට ද ගන්වා ඇති සැටියෙකි.

දුරාතීතයේ සිට පැවත ආ ආර්ය ජන සමාජය පුරා අධ්‍යාපනය ලැබීම කෙනෙක් පාසා නොහැසුරුණද ආර්ය සිරිතින් සමාජය මෙහෙය වුණේ මේ චිරාගත චාරිත‍්‍ර නොපිරිහෙළා රැකීමෙන් හා ඉටු කිරීමෙනි. ඒ මතින් ජන සමාජය පුරා වැතිරිණු ශික්ෂණය ලැජ්ජා භය හිරි ඔතප්ප සමාජය යහපත් අයුරින් ඉදිරියට මෙහෙය වේ. සිංහල දෙමළ යැයි එහි වෙනසක් නැත. මංගල කටයුතු වලදී සිව්පස නෑයින් එකතු වූ කල අළුත් ඈයින් නෑයින් වෙන කල මේ ජාන ගත සිරිත් විරිත් වැඩි වැඩියෙන්ම ඉස්මතු විය.

වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමයේ සංස්කෘතිය පාලන ක‍්‍රම සිරිත් ආදිය පෙරදිග රටවල් ගිල ගැනීමෙන් පසු බිහිවූ නව ආකූල සමාජ ගත උපන් පුහු මානය ඇති ගැමියන් පවා මේ සිරිත් විරිත් නූගතුන්ගේ ග‍ම්‍ය ව්‍යවහාර යැයි ග‍ම්‍ය සිරිත් මේවා අකාරුණිකවද උපහාසාත්මකවද ඉවත දැමීය. අත පැන් වැක් කිරීම සුළඟිලි බැඳීම තැලි පිළි ඇන්දවීම බුලත් දී නෑයන් අවසර පැතීම ආදී මේවා සිංහල මංගල චාරිත‍්‍ර වශයෙන් අද අඩු වැඩිවත් වීම නිසා ඉතිරි වූ නෂ්ටාවශිෂ්ට සිරිත් වශයෙනුත් දැකිය හැකිය.

පාවාඩ පිට කැඳවා ගෙන යාම නිර්මල භාවයද හැදියාවේ පවිත‍්‍රත්වය ගෞරවාදරය ද හඟවන්ට යෙදු යෙදුමක් ලෙස දකිමි. සිලෝ ගැයුමද එසේයි. සිලෝ එළු සිලෝ හා සකු සිලෝ යැයි අසා ඇත්තෙමු. මේවා ආශිර්වාදාත්මක ඒවාය. ඉන් අනාගතයට ආසිරි පැතීම හා හාත්පසින් ලැබිය යුතු ආරක්ෂාව සංකේත කරයි. පද යෙදුමෙන් උපමා රූපක ගැන්මෙන් බස හැසිරුවීමෙන් පාන අපූරුව නිසා මේ ගීය සාර්ථක නිර්මාණයක් වේ.

සිංහල දෙමළ සංස්කෘතීන් දෙකක් එක්ව ගත් සුන්දර සාර්ථක චිත‍්‍රපටි ගීයක් මින් පෙනේ. සංගීත රචනයේදී හා ගායනයේදී දෙමළ ඌරුව ඒ ආර සියුම්ව ස්පර්ශ කරන්ට තනු හා සංගීත රචක ප‍්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් ගත් වෑයම ඉතා හොඳින් පල දරා තිබෙනුද පෙනේ. සිංහල චිත‍්‍රපටි ගීයට ද්‍රවිඩ සංගීතය  දැනුමෙන් මුහු කළ අපූර්ව අවස්ථාවක් වශයෙන්ද අනුගාමී සංගීතවේදීන්ට වඩාත් හොඳ පූර්වාදර්ශයක් වශයෙන්ද ප‍්‍රස්තූතාර්ථය නොකෙළෙසා ගීතයේ සාර්ථකභාවය රකිනුයේ කෙළෙස දැයි ඇසූවකුට හොඳම  නිදසුනක් පාන ගීතයක් වශයෙන්ද මේ ගීතය රස විඳිමි.

ලංකාදීප



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...