Wednesday, November 4, 2020

දෙනෝ දාහක් ...

දෙනෝ දාහක් නුවන් අතරේ

කවුරුදෝ මා

තනි කළේ

තනි කළේ

පාසල් බිමේ


සිනා කෙළිලොල් තෙපුල් රහසේ

දෙඩූ තැන් අද ගොළු වෙලා

සොඳුරු පාසල් පියස

කඳුළින් බොඳ වෙලා

කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා


නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්

සෙවණ දුන් ගහ කොළ පුරා

බිමට බර වුණු කැකුළු

අතු ඉති මැලවිලා

දුකින් හදවත ගොළු වෙලා


දෙනෝ දාහක් නුවන් අතරේ...


චිත්‍රපටය - වජිරා

ගායනය - නන්දා මාලිනී

ගී පද - කුලරත්න ආරියවංශ

සංගීතය - වික්ටර් රත්නායක


සිංහල සිනමාවේ 473 චිත්‍රපටය ලෙස සිංහල සිනමා කර්මාන්තය ආරම්භ වී 34 වසරකට පසු රිදී තිරයට ආ “වජිරා” චිත්‍රපටයෙන් පාසල් ප්‍රේමයත් හිරිමල් යෞවනයත් හරි අපූර්ව ආකාරයෙන් මවන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නට පුළුවන් වෙලා තියෙනවා. ගීතයක් ලියන එකයි ගීතයක් ලියැවෙන එකයි දෙකක්. වැඩියෙන්ම ගීත, නිසඳැස් ලියැවෙන්නේ මිනිසුන්ගේ සතුටට වඩා දරා ගන්නට අපහසු තරම් වේදනාවන් දැනුනු වෙලාවට. අපේ රටේ පාසැල් අධ්‍යාපනය ලැබූ සෑම ගැහැනියක පිරිමියෙකුගේම ප්‍රථම ප්‍රේමය පාසල් ජීවිතෙන් ආ බව රහසක් නොවේ. වයස අවුරුදු හයේ ඉඳන් පාසල් යන අපේ රටේ ප්‍රේමණීය හැඟීමක් ඇති වුණේ ප්‍රථම වතාවට කවදාදැයි කල්පනා කරනවා විනා හරිම උත්තරයක් දීම පහසු වෙන්නේ නෑ. පාසල් ජීවිතය එතරම්ම මිහිරියි.


එනිසාම පාසල ගැන පාසැල් ජීවිතය ගැන පාසල් ප්‍රේමය ගැන ගීත නාට්‍ය චිත්‍රපට නවකතා නිර්මාණය වෙනකොට නොදැනීම එම නිර්මාණ මිනිසුන් අතරේ ජනප්‍රිය වීමත් සමාජගත වීමක් වැළැක්විය නොහැකියි. ගොළු හදවත, ගැහැනු ළමයි ආදී නිර්මාණ කොයි කාලෙත් අපේ රටේ මිනිසුන්ගේ මතකයේ තියෙන්නෙ ඒ හින්දා.

“වජිරා” චිත්‍රපටයත් ඒ වගේම පාසල් යෞවන ප්‍රේමය ගැන බොහොම සුන්දරව නිර්මාණය වූවක්. “වජිරා” චිත්‍රපටයේ පාසැල් පෙම්වතුන් ලෙස භාව ප්‍රකාශනයෙන් ප්‍රේක්ෂකයා උමතු කරවන තරමේ යථාර්ථවාදී රංගනයෙන් පොහොසත්ව අමරසිරි කලංසූරිය නිමල් ලෙසත් නදීකා ගුණසේකර වජිරා ලෙසත් රංගනයට අපුරු සාදරනයක් ඉෂ්ට කර තිබෙනවා. වික්ටර් රත්නායකගෙ සංගීතයෙන් සහ නන්දා මල්ලිගේ මාලනීගේ ස්වර ගායනයෙන් තමයි “දෙනෝදාහක් නුවන් අතරේ” ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. “වජිරා” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කුලරත්න ආරියවංශ ගීත රචකයාට පවසන්නේ මේ චිත්‍රපටයේ මව්පිය බලපෑමෙන් වජිරා සහ නිමල් වෙන් වීමෙන්, නිමල් නොමැති හුදකලාවෙන් වියෝගයෙන් සිටින වජිරාගේ හිතේ නළියන අතීතයේ මතක වේදනාව වචනයෙන් කිව නොහැකි දහසකුත් දේ ගීත පද කීපයකින් ලියා ගන්නට උවමනා බව පවසා ඇත.

මේ ගීතය සම්බන්ධයෙන් කුලරත්න ආරියවංශ පවසන්නේ එම චිත්‍රපටයේ බල පුළුවන්කාර වජිරාගේ දෙමව්පියන් දරිද්‍රතාවයෙන් පෙලෙන නිමල්ට කරන බලපෑම චිත්‍රපටයේදී පැහැදිලිව පෙන්නුම් කරන බවත්, එමෙන්ම මේ දෙදෙනාගේ ප්‍රේමය යෞවන පාසල් ප්‍රේමයක් නිසා කුඩා දරුවන්ට අඬන්න කියලා දෙන්න ඕන නෑ වගේ පාසල් ප්‍රේමයේ වෙන්වීම, හු‍දකලාව, පාළුව කාන්සිය ගැන අමුතුවෙන් ඉතාම ලියැවුණු බවයි. ලියූ ගීතයකට වඩා ලියැවුණු චිත්‍රපට ගීතයක් වුවත් අවශ්‍යතාවය මත ලියැවුණු ගීතයක් තමයි දෙනෝදාහක් නුවන් අතරේ ගීතය. වජිරා පාසලේ තනිවීම, නිමල්ව මතක් වීම, වියෝගය සම්මිශ්‍රණය වී ඇති අයුරු ගීත රචනාවේ ඉතා සියුම්ව හා පොදු අනුමැතියක් ලෙස සරලව ලියවී ඇති අතර සුනිල් ආරියරත්නගේ ඉල්ලීම මත ආරියවංශ සංවේදී හැඟීම් අතරේ කිමිදී ඇත්තා සේය.


(උපුටා ගැනීමකි)










අන්න බලන් ඉදිකඩ ළඟ ...

අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//


පුංචි දුවේ නුඹ යනකොට

සුදු පාටින් ඉස්කෝලෙට

පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...

ලඳු දෙනි මැද දෙවැට දිගේ

දොළ පාරින් එගොඩ වෙලා

මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


එක පුටුවක වාඩි වෙලා

එක පැන්සල දෙකට කඩන්

අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...

මං නොදුටුව නව ලෝකය

කිරුළු පලන් රැජින වෙලා

පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 

"අන්න බලං ඉඳිකඩ ළඟ" ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩ අදහස් දක්වමින්.....  

ඒ ගීතය පුරාම තියෙන්නේ මගේ ළමා කාලය. මට දුවලා දෙන්නෙක් එතකොට හිටියේ පුතා පස්සේ හම්බුනේ. ඒ දුවලා දෙන්නා උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති කරනකොට සුදු පාටට ගවුම් අන්දලා ලෑස්ති කරනකොට මට මතක් වෙනවා මගේ ඉස්කෝලේ ගමන. අපිට එහෙම සුදු පාට ඇඳුම් කියලා එකක් තිබුණේ නෑ. අපි ඉතිං අහුවෙච්ච එකක් ඇඳන් තමයි මම ඉස්කෝලේ ගියේ. මුල් කාලේ මං ඉස්කෝලේ ඇන්දේ සරමක්. හුඟක් වෙලාවට ඉස්කෝලේ අරලිය ගහයට හෙවනේ තමයි අපිට ඉගැන්නුවේ. මොකද ශාලා ඒකයි තිබුනේ. තව එකක් තිබුණා පොල් අතු වලින් හෙවිල්ලලා. ඔය දෙකේ උගන්වන්න ගියාම සද්දේ වැඩි නිසා අපිව එක්කගෙන යනවා අරලිය ගහ යටට. වැස්සට ඉස්කෝලෙට දුවගෙන එනවා. පායන දවස්වලට අරලිය ගහ හෙවනට යනවා. ඔහොම තමයි අපි ඉගෙනගත්තේ. අපට පුටුත් මදි. අපි පුටු දෙකක් එකට තියලා තුන්දෙනෙක් ඉඳ ගන්නවා. එක්කෝ බංකුවේ මේ කෙරෝලේ ඉඳන් ඒ කෙරවලටම කට්ටිය වාඩිවෙලා ඉන්නවා. "එක පුටුවක වාඩිවෙලා එක පැන්සල දෙකට කඩන් අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ" කියල ලියවුණේ ඒ මතකයන්. දරුවා පිළිබඳ ලියවුණ ගීතයක් හින්දා දරුවා ගැන තියෙන බලාපොරොත්තුව මං නොදුටුව නව ලෝකය කිරුළ පැළඳ රැජින වෙලා කියලා මං ලිව්වා. රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට දීපිකා ප්‍රියදර්ශනී මේ ගීතය අලංකාරව ගායනා කළා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...