Thursday, September 17, 2020

පෙම්බර කුමරාණ ...

පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


කල්පය ගතවේවී

පෙම් සිළ වියැකේවී ...//

යෞවනයට රොන් පූදින පිනිමල් වැස්සේ

සංකාවට කවුළු හරින සුසුමද පවනේ

ළඟ දැවටෙන්නේ

සිත බිය වෙන්නේ


පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


ගං දිය නොසැලේවී

කෙවිලිය නොගයාවී ...//

තුන් හිත ළඟ මන්දාරම් අඳුර ගලන්නේ

ඔබ නැති යාමේ

රෑ තනි යානේ


පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී

පද රචනය - වසන්ත කුමාර කොබවක

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


දශක ගණනාවක් පුරා, පරම්පරා කිහිපයක ජනප‍්‍රියත්වය එක ලෙස රැඳී ගීත ගණනාවක් රචනා කළ වසන්ත කුමාර කොබවක මෙම ගීතයට පසුබිම් වූ හේතුව විස්තර කරමින්.

අතිශය පෞද්ගලික මගේ කුටුම්බ ජීවිතය සම්බන්ධ සිදුවීමක් තමයි දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් ගායනා කරන පෙම්බර කුමරාන ගීතයට ප‍්‍රස්තුත වුණේ. මම ඒ කාලේ මගේ තුන්වෙනි වෘත්තිය විදිහට තෝරාගන්නවා රේගු දෙපාර්තමේන්තුවේ රේගු නිලධාරී තනතුර. ඉතිං බේරුවල ප‍්‍රදේශයේ මුහුද අයිනේ තියෙනවා රේගු නිවාරණ කාර්යාලයක්, ඒකට මාව අනුයුක්ත වෙනවා. එතකොට මගේ වැඩිමල් පුතා ඉපදුන අලූතමයි. ඔහු කිරිකැටියෙක්. අනිත් එක අපි අපේ අලූත් නිවස හදාගෙන යන කාලේ. ඉතිං මගේ බිරිඳයි දරුවයි තනි කරලා මට එහෙ ගිහිං රැකියාව කරන්න වුණා. දවල් දවසේ අනිත් සේවා මඬුල්ල එක්ක රාජකාරි කරන වෙලාවේදී ඒ තරං තනියක් දැනෙන්න නැහැ. නමුත් හැන්දෑ උනාට පස්සේ හුඟක් වෙලාවට සිහිවෙනවා දරුවා අඬනවා ඇත්ද, සියලූම දේවල් තනියෙන් කරගෙන මගේ බිරිඳ කොහොම ඉන්නවා ඇත්ද, කියලා. අපි නව නිවස තනන්න පටන් ගත්ත ස්ථානයත් හරි පාලූ තැනක්. කුඹුරක් අයිනේ. කැලෑව ඈතින්. ඉතිං තාරුණ්‍යයේ සිටින බිරිඳකට ඒක දරාගන්න පුළුවන් දෙයක්ද දන්නේ නැහැ. දැන් වගේ ජංගම දුරකථන තිබුණෙත් නැහැ. හරි තනිකමක් දැනෙනවා. එතකොට කාර්යාලයේ මගේ නිවහන තියෙන්නේ ඉහළ මාලයේ. එතන ඉඳන් මුහුද දිහා බැලූවහම මට මුහුදු රැල්ලත් එක්ක හඳ එළියේ පිළිබිඹුව මැකිලා යනවා. අන්ධකාර වෙනවා. ආයේ එළිය එනවා. මං ඉතිං ? වෙනකං සඳලූ තලයේ ඉඳන් මුහුද දිහා බලාගෙන ඉන්නවා. මුහුදේ ඝෝෂාවයි. හඳ එළියයි. ඉතිං ගෙදරදී හඳ හොඳට පැහැදිලි දවසට අපි පොඩි පුතාවත් වඩාගෙන හඳ පෙන්න පෙන්න කියන කතා මට මතක් වුණා. මෙතනදී හඳ එනවා යනවා, නිකං මගේ ගෙදරින් මාව අමතනවා වගේ. නිදා ගන්න ගියත් නිදිමතක් එන්නෙත් නෑ. පස්සේ මං කොලයක් අරං මොකක් හෝ කුරුටු ගානවා කියලා හිතං ලියනකොට මේ පද ටික ලියවුණා. ”පෙම්බර කුමරාන, නුඹ නැති සඳ පාන, මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවි” කියලා.

නමුත් මේ ඇගේ කතාව නේද?

ඇත්තටම ගීතයේ මුල් ටික ලියලා බැලූවහම මගේ අත්දැකීම බිරිඳට ආරෝපණය වෙලා පෙම්වතියක ලියන ආකාරයෙන් තමයි ගීතය ලියවුණේ. ඊට පස්සේ මං නින්දට ගියා. පහුවෙනිදා උදේ පහට විතර ඇහැරෙන කොටත් මුහුදේ රළ ඝෝෂාව ඇහෙනවා. හඳ බැහැලා ගිහිල්ලත් නෑ. මං ආයෙත් විදුලි ලාම්පු පත්තු කරගෙන අර ලියපු සිංදුව කල්පනා කර කර ඉන්නකොට ඉතුරු පද ටික ලියවුණා. ඇත්තටම බිරිඳක විසින් සිතන ආකාරයට එහා ගිය පෙම්වතියක්, හුදකලාව ඉන්න ආකාරයට තමයි ගීතය නිර්මාණය වෙලා තිබුණේ. එවක දීපිකා ළාබාල ගායිකාවක්. පසුව ඇයගෙන් ගීත සමුච්චයක් සඳහා ගීතයක් ලියන්නට මට ඇරයුම් ලැබෙනවා. එතකොට මට වහාම හිතුනා මේ ගීතය දීපිකාට දිය යුතුයි කියලා. හුදකලා තරුණියකගේ මනෝ භාවයන් හොඳන් උද්දීපනය වන ආකාරයෙන් රෝහණ සංගීතය නිර්මාණය කළා. දැන් දශක තුනකටත් වැඩියි. නමුත් මං හිතන්නේ යෞවනියන් අතර සහ සුභාවිත ගීතය ඇසුරු කරන සියලූ දෙන අතරම මෙය ජනප‍්‍රිය ගීතයක්. ඒ වගේම පෞද්ගලිකව මම සහ මගේ බිරිඳ වඩා ප‍්‍රිය කරන ගීතයක් මේක. මොකද අපේ මුල් කාලයේ අත්දැකීමක් ඇසුරින් ලියවෙච්ච ගීතයක් නිසා.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)







නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...