Tuesday, September 28, 2021

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති

සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති

අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ

ඈතට පාවි පාවි ගිය හැටි මතකයි


ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන

කාලය තුල දිව යනවා

කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව

සෙවනැල්ලක් වගේ


විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති

එලෙසම සමහරක් දේවල් ඈත් වෙති

අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ

ඈතට පාවි පාවි ගිය හැටි මතකයි


ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන

කාලය තුල දිව යනවා

කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව

සෙවනැල්ලක් වගේ //


ගායනය - සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ

සංගීතය, ගී පද - සේනක බටගොඩ


 ජීවිතය .... 


කොච්චර දේවල් හිත්වල දරාගෙන තරගකාරී ලෝකෙක අපි දුවනවද. අපිට ලැබිල තියන සීමිත කාලයක අසීමාන්තික ආශාවන පස්සෙන් කොච්චර වේගයකින් හඹා යනවද. මේ මොන දේ කලත් අන්තිමට අපිට ඉතුරු අපි කරපු දෙයක් කියපු දෙයක් විතරයි .. ඒක අපේ මරණ මංචකය දක්වාම අපේ හෙවනැල්ල වගේ අපි ළඟම තියනවා. නිතරම නැතත් සිහියට එනවා. 


ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන

කාලය තුල දිව යනවා

කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව

සෙවනැල්ලක් වගේ.


රැයවල් ගණන් නිදි නැතුව නිදිවරාගෙන සමහරවිට අපි කල්පනා කරල ඇති, නැත්නම් කල්පනා ලෝකෙක නිරායාසයෙන් තනි වෙලා ඇති. ඉමක් කොනක් නොපෙනෙන සිතුවිලි සමුදායක් නැගෙන හැඟුම් සයුරක .. 

ඒත් මේ කිසිදේකින් අපිට සැනසිල්ල සතුට ලැබුණාද !!!

ප්‍රශ්නයක්???

අපේ හිතට නැගෙන ප්‍රශ්න , සිතුවිලි වැඩි මිසක් අඩුවක් නෑ ..

ඇයි කියල අපි නිකමට නැවතිලා හිතුවද .. 

අන්තිමට මේ කඳුළු සාගරයත් නිකම්ම මීදුම් පටලයක් විතරයි ..

පාවෙලා ඈතට ඇදිල ගිහින්. නොදැනම

නිමේශයකින්.

කෝ අපි ප්‍රාර්ථනා කරපු සැනසිල්ල ...


නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති

සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති

අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ

ඈතට පාවි පාවි ගිය හැටි මතකයි.


අපි ආස කරන දේවල් අපිට ලැබෙනවා. නැති වෙනවා. ඒක මේ ලෝකෙ එක ධර්මතාවයක්.

කැමතිම අය ඈත් වෙනව අකමැති අය ළං වෙනවා. ස්වභාවික දෙයක්. මේ හැමදේම තේරුම් ගත්ත කෙනා , අවබෝධ කරගත්ත කෙනා මීදුම් පටලයෙන් එහා ලෝකය මීදුම් අතරිනුත් දකීවි. හරිම  ලස්සනට පරම නිරාමිස සතුටත් විඳීවි ..

හැබැයි පවතින ලෝකයෙන් බැහැර වෙලා කරන්න අමාරුයි කියල අත්හැරල දාන කෙනා මේ කිසි දෙයක් නොදැන කල්පනා සයුරක ඔරුවක් හබල් ගසාවි .. 


විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති

එලෙසම සමහරක් දේවල් ඈත් වෙති

අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ

ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ...


 සේනක බටගොඩ හරිම අපූරු කලාකරුවෙක් .. 

මවන ස්වර වර්ණාවලිය ව්‍යාකූල මනස සනසවන්න දිව ඔසුවක් 

ඒ වගේම රචනා කරන ගේය පද අරුම පුදුම වචනත් නෙවෙයි 

හරිම සරල වචනමාලාවක් ..

ඒත් අර්ථය ... 

සියොළඟ කිළිපොලන අර්ථ රසයක් වගේම මිහිරියාවක් ...

අහල බලන්න ගිටාරයේ මියුරු තත්සරයෙන් මවන සංගීත සංයෝජනය එක්ක මේ ගීතය ..

(උපුටා ගැනීම - Dinesh Ndes)







Tuesday, September 21, 2021

මුහුදු තෙරේ...

මුහුදු තෙරේ...

මුහුදු තෙරේ සැන්දෑවේ

ඔබ මා හමු වූ වේලේ

සැළෙන ඔබේ හද රාවේ

ආදරයයි මට කීවේ

මුහුදු තෙරේ සැන්දෑවේ


වසන්තයේ එක සැන්දෑ යාමෙක

ඔබ හමුවූ දින මට මතකයි //

දහසක් දෙනුවන් අතරින් දුටුවේ

ඔබගේ නිල්මිණි නෙත් යුගලයි


මුහුදු තෙරේ සැන්දෑවේ...


පෙර අත් භවයෙක එක් වී සිටියෙද

මගේ සිතට සැකයකි නැගුනේ //

නැතිනම් කෙලෙසද දුටුව මුල් දිනේ

ඔබ වෙත මෙතරම් සිත බැඳුණේ


මුහුදු තෙරේ සැන්දෑවේ...


ගායනය - ලෙස්ලි ප්‍රනාන්දු ප්‍රමුඛ බෙන්තොට බීස්

සංගීතය - මර්වින් පෙරේරා

ගී පද - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ


මීට දශක කිහිපයකට පෙර තම පෙම්වතිය සමග මුහුදු වෙරළට යාමට හැකි වන්නෙ ඇයට කිහිපවිටක් ඇවිටිලි කල පසුවය .එලෙස මුහුදු වෙරළට පැමිණෙන ඇය ලොකු වරදක් කල මුවැත්තියක මෙන් බියෙන් සැලෙමින් සිටී .ආදරය නිසාම මෙලෙස පැමිණෙන ඇයගෙ ගැහෙන හදේ රාවය මුහුදු රැළෙ රාවය පරදා හඳුනා ගත් පෙම්වතුන් එදා විය.මෙම සුන්දර අත්දැකීම ඔබත් මමත් අත්විඳි ලෙස අද පෙම්වතුන් විඳගනීද ?


සැලෙන ඔබේ හද රාවේ..

ආදරයයි මට කීවේ..

මුහුදු තෙරේ හැන්දෑවේ...


එදා ගුවන් විදුලියේ අප ඇසූ හැම ගීතයක්ම පාහේ හරිම සුන්දර සුවිශේශි ගීත. බොහෝ ගීත වල ගලා යන කතාවක් විනාඩි තුනක වැනි කාලයකින් කියවෙනවා..


එක්කෝ සංගීතය ලස්සනයි, නැත්නම් හඬ, අර්ථය ලස්සනයි. නැතිනම් මේ ඔක්කොම, ලස්සනයි. මේ ගීතයත්, ඒ සියළුම අංගයන් පරිපූර්ණ ගීයක්. එහි අර්ථය, කතාවක්. සැණෙකින් සිදුවන හමුවීමක්, කෙටි කාලයක් තුල, උපදින සිතුවිලි මාලාවක්. සිතිවිලි වලට යා හැකි දුර....


එදා නිවේදකයෙක් ලෙසින් අපට මුණ ගැසුනු ධර්මශ්‍රී වික්‍රමසිංහ, මහත්තය මේ ගීය ලියන්නෙ. තනුව සංගීතය තුලින් අපව මුහුදු වෙරළක සැන්දෑවකට ගෙනයන්නෙ මර්වින් පෙරේරා මහත්මයා.


ගීතය, ගායනා කරන්නෙ ලෙස්ලි ෆර්නෑන්ඩු මහත්මයා ප්‍රමුඛ බෙන්තොට බීස් සංගීත කණ්ඩායම. වැඩිය, හඬ අසා නැතිමුත්, ඔහුගේ මේ ගීතය එදා  ඉතා ජනප්‍රිය උනා. අදත් එසේමයි. නව පරපුරේ සංගීත කණ්ඩායම් වලද නව අත්හදා බැලීම් වලට ලක්වූ පැරණි නොවන ගීතයක්.


(උපුටා ගැනීමකි)



දියවන්න කුමාරියේ ...

දියවන්න කුමාරියේ

නුඹ නිදනා නිසොල්මනේ

දෙරණට සඳ පලුව එබෙනවා


හීන පේන සීනි බෝල

තක්ෂිලාව වට කරලා

මගේ පුතා අකුරු කරනවා

සුවට නිදන්නේ 

සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා

නුඹව රකිනවා ...


හුස්ම බෙදන රූස්ස ගස්

යාය පිටින් කාසි වෙලා

ඉඩෝරයට හේතු හොයනවා

දළ දිලිසෙන හස්ති රජුන්

හෙමින් හෙමින් නිදි කරලා

ස්වර්ගයට යන්න හදනවා

සුවට නිදන්නේ 

සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා

නුඹව රකිනවා ...


පත්තිනියේ නුඹ නාඩන්

ඇය එතෙරක කාසි සොයයි

ඒ කාසි රජුන් තනනවා

රේණු තලා මල්ද තලා

තෙල් මල් ගෙන දෝත දරා

නිවන් යන්න පාර අහනවා

සුවට නිදන්නේ 

සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා

නුඹව රකිනවා ...


ගායනය - දුමාල් වර්ණකුලසූරිය, චන්දික ලිලාන්, සංජය උදයකුමාර, සුපුන් පීරිස්, ප්‍රකාශ් රණසිංහ 

පදරචනය - ඉරේෂ් වන්නකුකෝරාල

සංගීතය - නාද

දියවන්නා කුමාරියේ

නුඹ නිදනා නිසොල්මනේ

දෙරණට සඳ පළුව එබෙනවා.."

දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව රටට එබෙනවා.

"හීන පේන සීනී බෝල

තක්ශීලාව වට කරනා

මගේ පුතා අකුරු කරනවා"

වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා. මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා.

"සුවට නිදන්නේ සිතුවිලි යහනේ

වාමනයින් පවන් සලනවා

නුඹව රකිනවා.."

රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව. ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය.

"හුස්ම බෙදන රූස්ස ගස්

යාය පිටින් කාසි වෙලා

ඉඩෝරයට හේතු හොයනවා.."


සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ...

"දළ දිලිසෙන හස්ති රජුන්

හෙමින් හෙමින් නිදි කරලා

ස්වර්ගයට යන්න හදනවා"


රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ අපල දුරු වෙන්න, මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත්

"පත්තිනියේ නුබ නාඩන්

ඇය එතෙරක කාසි සොයයි

ඒ කාසිය රජුන් තතනවා"

පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා.

"රේණු තලා මල්ද තලා

තෙල් මල් ගෙන දෝත පුරා

නිවන් යන්න පාර අහනවා.."

පීඩිතයාව පාගලා. ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා.

වර්තමානයට ගැළපෙන ඉතා වටිනා ගීතයක්.

(උපුටා ගැනීමකි)



Friday, September 10, 2021

ඈ මගේ නෙළුම් මල...

ඈ මගේ නෙළුම් මල

රොන් සුවඳ බෙදා දෙන

වන්නි ගම් දොරක පීදෙන

පුංචි පැටව්නට


හේනට එන ගිරවුන්ගෙන්

අකුරු ඉගෙන ගෙන

අහසේ තරු ගණන් කරන

ගල්කැට ඇහිඳින

පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල


ඉල්මාසේ වැහි එනතුරු

නියගෙට වේලෙන

නෙළුම්මලට මල්යායට සීතල අරගෙන

වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට


ගී පද – රත්න ශ්‍රී විජේසිංහ

තනුව - එච්. එම්. ජයවර්ධන

ගායනය – ගුණදාස කපුගේ


සෑම කවියක්ම ගීයක් නොවේ. එහෙත් සාර්ථක ගීයක් තුළ සාර්ථක කවියක් පවතී. කාව්‍යක්කාරයන්ගේ ගේය පද රචනාවෙහි මේ කවිතා ගුණය, බහුල ව දැකිය හැකි ය. රත්න ශ්‍රී විජේසිංහයන් කාව්‍යකාරයකු බැවින් ඔහුගේ ගේය පද තුළ මේ කවිතා ගුණ බාහුල්‍යය ප්‍රදර්ශනය වන අවස්ථා එමටය. ගුණදාස කපුගේ ගයන මේ ගීතය ඒ සඳහා මනා නිදර්ශනයක්මය.

මට ඈත වන්නියේ කුඩා පාසලක් සිහිවේ. ඒ පාසලේ කොට්ටම්බා ගසක් යට පුංචි දරුවන් වටකරගෙන උගන්වන ඔසරියකින් සැරසුණු තරුණ ගුරුවරියක් මා ඉදිරියේ සිටියි. සැබැවින්ම ඇය මගේ නොවුණත් නෙළුම් මලකි. මඩ කලල මත බොහෝකල් දුක්විඳ ගුරු සේවයට පිවිසි සුවඳ විහිඳුවන නෙළුම් මලකි. මේ නෙළුමට පෙම්බැඳි හංසයකු කොහේ හෝ සිටිය හැකිය. ඇතැම්විට ඔහු ළඟ පාතක නොව දුර ඈතක සිටිනවා විය යුතුය. රත්න ශ්‍රී සමීප වන්නේ ඒ දුර ඈත සිටින නෙළුම්මලට පෙම්බැඳි සිතක මනෝභාවයන් වෙතය. සමාජ ආර්ථික දේශපාලන පසුබිම මත දෙපයෙන් සිටගෙන රත්න ශ්‍රී විජේසිංහයෝ ඒ මනෝභාවයන් ස්පර්ශ කරති.


”ඈ මගේ නෙළුම් මල

රොන් සුවඳ බෙදා දෙන

වන්නි ගම් දොරක පී දෙන

පුංචි පැටව්නට”


ඇය ඔහුට නෙළුම්මලක් වන්නේ රූප ශෝභාව නිසා පමණක් නොවේ. ඇය ජීවිතයේ බොහෝ දුක් වළඳා එහි ඵලයක් ලෙස ගුරුවෘත්තියට පිවිසි බැවිනි. ඇය දුප්පත් දරුවන්ට සතුටින් ශිල්පදානය දෙන බැවිනි. ඇගේ සුවඳින් දහසක් දිළිඳු දරුවන් සුවඳවත් වන බැවිනි. කෙනකු තම රැකියාව උදෙසා පය නොතබන ශුෂ්ක, කටුක වන්නියට පය තබා ඇති බැවිනි. ඇගේ ප්‍රේමවන්තයා මේ ශුෂ්ක වන්නියෙන් ඈ මුදාගෙන තම ළඟට කැන්දා ගැනීමේ මානසිකත්වයක නොමැතිය. තම ආදරණීය නෙළුම්මල වන්නි ගම්දොර සුවඳවත් කරන ආකාරය දකිමින් ඔහු උද්දාමයට පත්වෙයි. “ඈ මගේ නෙළුම්මල” යනුවෙන් ඔහු පවසන්නේ වන්නිගම් දොර පුංචි දරුවන් වෙනුවෙන් ඈ කරන අපරිමිත මෙහෙවර වෙනුවෙන් ඇතිවූ උද්දාමය මුසු ආඩම්බරයකිනි.


”හේනට එන ගිරවුන්ගෙන්

අකුරු ඉගෙනගෙන


අහසේ තරු ගණන් කරන

ගල්කැට ඇහිඳින

පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල”


නෙළුම්මලට කරන නමස්කාරයට යටින් වර්තමාන අධ්‍යාපනයේ විෂමතාවයද රචකයා විසින් මතුකරනු ලබයි. බහුතරයක් වන්නි දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සිදුවන්නේ ස්වභාවධර්මයෙනි. ඔවුන් ගේ ගුරුවරු හේනට එන ගිරවු ය.

ගණිතය හැදෑරිය යුත්තේ තරු ගණන් කිරීමෙන් හෝ ගල්කැට අහුලමිනි. අධ්‍යාපනයේ යටිතල පහසුකම් බෙදීගොස් ඇත්තේ එලෙසිනි. මේ නෙළුම්මල පිපී ඇත්තේ එබඳු මරුකතරකයි. අව් වැසි සුළං ගොරතර වන සපුන්ගෙන් මෙන්ම ඒ හා සමාන විවිධාකාර සමාජ ගැටලුවලින් අවට පරිසරය පිරීපවතී. එබඳු පරිසරයක මේ නෙළුම් මල රැක ගැනීමේ වගකීම පුංචි පැටවුන්ට බාර දීම කොතරම් අපූරු කාව්‍යොක්තියක් ද?


”පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල”


ගුණදාස කපුගේ

තම ආදරවන්තිය කෙරෙහි පමණක් නොව මේ අහිංසක දරුවන් කෙරෙහිද රචකයා මවන, පෙම්වතා තුළ පවතින්නාවූ ළෙන්ගතුකම මෙයින් ප්‍රකටවේ. සැබැවින්ම මේ පෙම්වතා තුළ තම මානව දයාව ජීවත් කරවීමට රත්න ශි‍්‍ර විජේසිංහයෝ සමත් වෙති.


ඉල්මාසේ වැහි එනතුරු

නියඟෙට වේලෙන

නෙළුම් මලට මල් යායට

හීතල අරගෙන

වැවක් වෙන්න ඉඩදෙනවද

හීනෙන්වත් මට


නෙළුම්මල පමණක් නොව ඈ වටා ඇති පුංචි මල් යායම නියඟයට වේලෙයි. කිසිදු යටිතල පහසුකමක් භුක්ති නොවිඳින ගුරුවරුන් මෙන්ම දරුවන් මුණගැසෙන වන්නිකරය රචකයා යළි යළිත් සිහිපත් කරයි. ඒ පිළිබඳ කම්පාවක් නෙළුම් මලට පෙම් බඳින්නා තුළ පවතී. එහෙත් තම ආදරණීය නෙළුම් මල ඒ පරිසරයෙන් ඈත් කිරීමට උත්සාහ නොකරන කවියා ඇයව ඒ අහිංසක දරුවනට පුද කරයි. ඔවුන්ව රැකබලා ගැනීමට තමන්ට කළ හැකි දෙයක් නොමැති වීම පිළිබඳ ව ඔහු වේදනාවට පත්වෙයි.


”වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට” යන යෙදුමන් තුළින් ඒ පසුතැවිල්ල මනාව සන්නිවේදනය කිරීමට රත්න ශ්‍රී විජේසිංහයෝ සමත් වෙති. මේ තරුණ ගුරුවරිය ගැන මෙන්ම ඇයගේ පෙම්වතා ගැන ද යම් සසල කිරීමක් රසිකයා තුළ ඉතිරි කරමින්, වන්නි ගම් දොර අකුරු කරන පුංචි පැටවුන් පිළිබඳව ද කම්පාවක් රචකයා රසිකයන් තුළ ඇති කරයි. රත්න ශි‍්‍ර විජේසිංහයන්ගේ ප්‍රේම ගී වල දැකිය හැකි විශේෂත්වය වන්නේ ඔහු වාස්තවික සමාජය මත දෙපය තබාගෙන ප්‍රේම ගීත නිර්මාණය කිරීමයි. 


ප්‍රේමයට ජීවිතයේ කටුක යථාර්ථය සමඟ ද විටෙක මුසුවන්නට සිදුවේ. එහෙත් කලා කෘතියකදී ඒ කටුක යථාර්ථය රසයක් බවට පත් කළ හැකිවෙයි.

ගුණදාස කපුගේ සතු ඔහුගේ සැබෑ හඬ මේ ගීය පටිගත කරද්දී ඉතිරි වී තිබුණේ නම් මීටත් වඩා හදවත්වලට සමීප වීමේ හැකියාව මේ ගීය සතුව පවතින බව මගේ හැඟීමයි. දුර ඈත වන්නියේ කුඩා පාසලක අකුරු උගන්වන තම පෙම්වතියගේ සුවදුක් විමසා ආපසු යන තරුණයකු මා ඉදිරියේ මැවෙයි. ඔහු පාසල් ගේට්ටුවෙන් පිටවී ආපසු හැරී පාසල දෙස බලයි. කුඩා දරුවන් වටකරගෙන සිටින ඇය ඔහුට සිනහවෙන් සංග්‍රහ කරයි. කුඩා දරුවෝ ඔහුට අත වනති.


”පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල” ඔහු තනිව මුමුණයි.


(උපුටා ගැනීම Silumina - ධම්මික බණ්ඩාර)




සිහින මවන්නැති ...

සිහින මවන්නැති අහස උසට තනියම

ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර

ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට

හදට දැනෙන දේවල් ඇයි එතරම් බර


සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක

නිදහසේ ඉගිලිලා යමු එක රෑනක


සෑම දෙයම නිමවිය හැක නිමේෂයක

එහෙම උනෝතින් මොනව හිතන්නද

සිහින විමන්වල කවුළු පියන් හැරුනම

අනන්තයට යනවාමයි ඒ මොහොතෙම


සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක

නිදහසේ ඉගිලිලා යමු එක රෑනක


සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක

නිදහසේ ඉගිලිලා යමු එක රෑනක


ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ


පරම්පරා දෙකට ම ගැළපෙන ආකාරයේ අපූරු ගීතයක් වූ "සිහින මවන්නැති අහස උසට තනියම" ගීතය සේනක බටගොඩගේ විශිෂ්ඨත්වය පෙන්වන ගීතයකි.


"මේ ගීතය බොහොම සරලයි. එය යම්කිසි ආකාරයක සිතුවිලි ප්‍රකාශනයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. එහි කිසිසේත්ම මහා බරක් අන්තර්ගත වී නැහැ. සංගීතමය වශයෙනුත් මධ්‍ය ස්වරවල සිට උච්ච ස්වර දක්වා ගැයෙන ගීතයක්. විනෝද චාරිකාවක්, ප්‍රිය සාදයක් වැනි අවස්ථාවක වගේම සාමූහිකව කණ්ඩායමක් එක්වන අවස්ථාවක, කණ්ඩායම් ගීතයක් ලෙස අපූරුවට ගයන්නට හැකි ගීතයක් ලෙසත් මේ ගීතය දැනෙනවා.


"සිහින මවන්නැති අහස උසට තනියම

ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර

ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට

හදට දැනෙන දේවල් ඇයි එතරම් බර"


ජීවිතයේ ඉතාම සුළුකොට තැකිය හැකි පෞද්ගලික කටයුතුවල සිට පොදු බැරෑරුම් කටයුතු දක්වා විවිධ පරාස ඇතුළේ විවිධ ආකාරයෙන් ශාරීරිකව හෝ මානසිකව දරාගත යුතු බරවල් අපට තිබෙනවා. "අල බහින තුරු ඉන්න පුළුවන් - තැම්බෙන තුරු ඉවසන්න බැහැ" කියන පැරැණි කියමන වගේ බොහෝ බරවල්වලින් සැහැල්ලුවක් ලබා ගන්නට.. එහෙමත් නැත්නම් බර බිම තියන්නට ආසන්න වන විට ඒ බර පෙරට වඩා තදින් සහ බරට අපට දැනෙනවා.


මේ ගීතයෙන් ඉතාම සරලව ගැඹුරු මනෝභාවයක් විවරණය කරනවා. මහා ලොකු වචන හරඹයක් නොවුණත්, බස හැසිරවීම ආදිය සමඟ සමස්තයක් වශයෙන් මේ ගීතය ඉතාමත් ආකර්ෂණීය තැනක තිබෙනවා. ගීතයේ ඇති එම ගුණය නිසාම ජීවිත කාලය පුරා වරින් වර ඇලුම් කළ ගීත කීපයක් අතරට මෑතක සිට මේ ගීතයත් එකතු වී තිබෙනවා."


ගීතයක් රසයෙන් පරිපූර්ණ විය යුතුය. එසේම හෘදයාංගම විය යුතුය. ගීයක මිහිර හදවතින්ම වැලඳ ගත හැකි වන්නේ එවිටය.


"රසය වගේම ගීතය තුළ හදවත් සුවපත් කිරීමේ ගුණය තිබිය යුතුයි. හදවතක් බිඳ දමනවාට වඩා හදවත් එකිනෙකට යා කරන්නට ගීතයකින් හැකි වෙනවා නම් එය බොහොම අපූරුයි. එදා මෙදා තුර ඇලුම් කළ ගීතවලින් සිත වැඩියෙන්ම බැඳගත්තේ හදවත් යා කරන්නට හැකි ගීත. එබඳු ගීතවලට නොමැකී හදවත තුළ ජීවත් වෙන්නට පුළුවන්. ඒ ගී ගොන්නට මේ ගීතයත් එකතු වෙන්නේ ඒ නිසයි."




Wednesday, August 25, 2021

නුහුරු නුපුරුදු රහස පිළිබඳ ...

නුහුරු නුපුරුදු රහස පිළිබඳ

මිහිර ආදරයයි කියා...//

පවුරු බැදගෙන ‍සිතක වැජබුනු

රසවතී නැ කොයි ගියා..//


ආදරෙයි මම ආදරෙයි..//

දම්මි තවමත් ආ..දරෙයි

මවා පියකරු සිහින සිතුවම්

මතුකලා රසබර හැගුම්

දයාවන්තය යොවුන් සිතුවිලි

රසකලා ඔබෙ නෙත් කැළුම්..//


ආදරෙයි මම ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි...//

අසිමත් ලෙස වැඩුනු දේදුනු

කළුවලා පෙම් යට වුනා

මිහිරියාවිය අනේ දවසක

ඔබේ හදවත ‍ගොළුවුනා..


ආදරෙයි මම ආදරෙයි..//

දම්මි තවමත් ආදරෙයි..

ආදරය එක අතක ප්‍රේමය

තව අතක මා නැති වුනා

සාගරය වැනි වේදනාවක

අ‍හෝ හිතවත තනිවුනා..


ආදරෙයි මම ආදරෙයි..//

සුගත් තවමත් ආදරෙයි

ආදරෙයි මම ආදරෙයි..//

දම්මි තවමත් ආදරෙයි


ආ..දරෙයි...///


ගායනය - සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න

සංගීතය - සිසිර සේනාරත්න

පද රචනය - කරුණාසේන ජයලත්


ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ඉන්ද්‍රාණි විජයබන්ඩාර මෙසේ කියන්නීය


ජයලත් දවසක්‌ කඩිමුඩියේ අප නිවසට පැමිණියා මෙය සරල ගී වැඩසටහනක්‌ උදෙස යොදාගන්නා ලෙස පවසා සිසිර අත තබනු ලැබුවා


සිසිර විසින් එයට අතිශය සුන්දර තනුවක්‌ යොදනු ලැබුවා


පසුව ඒ ආසන්න දිනයක අප දෙදෙනා සහභාගි වූ ගුවන් විදුලි සරළ ගී වැඩසටහනකදී මෙය පටිගත කරනු ලැබුවේ 1962 වසරේදීයි


මෙහි එදා සිදුකල මුල්ම පටිගතකිරීම සඳහා වාද්‍ය වෘන්දයේ නැසිගිය එම් කේ රොක්‌සාමි වයලීන් වාදනයෙන්ද නැසිගිය පැට්‍රික්‌ දෙණිපිටිය ගිටාර් වාදනයෙන්ද සහභාගි වූ බව මතකය


මෙය ගුවන් විදුලි සරළ ගීතයක්‌ ඊට වසර කිහිපයකට පසු තිරගත වූ ගොඵ හදවත සිනමා පටය හා මේ අතර සබැඳියාවක්‌ නැති බව සඳහන් කළ යුතුය


(මේ ගීතය පසුව කිහිප වාරයක්‌ වෙළඳ තැටි කැසට්‌ පට හා සිඩී සඳහා පටිගත කරනු ලැබුවේ එහි අසිමිත ජනප්‍රියතාවය නිසයි)


වෙළඳ තැටියක්‌ උදෙසා 70 මැද භාගයේදීද යළිත් කැසට්‌ තාක්‍ෂණයේ ආරම්භක යුගයේ දීද එය ඔවුන් යළි යළිත් තම ආදරණිය රසිකයන් වෙනුවෙන් ගැයූහ.




Wednesday, August 18, 2021

යමුනා ගංතෙර ...

යමුනා ගංතෙර 

තමලුලතා සෙවනේ

යොහොඹු කුසුම් යහනේ

රාධා බලා සිටී

ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා


නලලත බබලන සඳනතලාවයි

සිරුරත ගණ නිල් මේග වලාවයි

මානස විල මැද රණ තිසරානෙනි

වෘන්දා වනයේ වසන්තයයි

ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා


මලය ගිරේ මධු ගීත කලාවයි

තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි

වන රේඛාවේ රණ මොණරාණෙනි

තරුද නොපායන රාත්‍රියයි

ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා


රචනය- සුනිල් ආරියරත්න

සංගීතය- රෝහණ වීරසිංහ

ගායනය- නන්දා මාලිනී


සිංහල ගීත සාහිත්‍ය තුල ඉන්දියානු පුරාවෘත්ත ආශ්‍රිතව නිර්මාණය වූ ගීත අතර රාධා ක්‍රිෂ්ණා පෙම් පුවත සූවිශේෂි ප්‍රස්තුතයක් බව පසක් වනුයේ ගීත රාශියක් ඒ ඔස්සේ ලියවී ඇති නිසාවෙනි. ශ්‍රි ජයදේව ගෝස්වාමි නම් සෘෂිවරයා විසින් රචිත ජවනිකා හෙවත් ගීත ගෝවින්දය මීට අදාළ මූලාශ්‍රය බව කියැවේ. 


ක්‍රිෂ්ණා (ගොපලු තරුණයෙක්, නිතරම බටනලා පිඹිනවා), රාධා (ගොපලු තරුණියක්)  මොවුන්ගේ වාසස්ථානය යමුනා ගංගාව ආශ්‍රිතව ඇති වෘන්දා වනයයි. රාධා ක්‍රිෂ්ණා සමග පෙමින් වෙලී කාම සම්භෝගයේ යෙදෙනවා. මානුෂීය සම්බන්ධතාවයකට වඩා ඔවූන් අතර තිබූ කායික සබදතාව වඩා ප්‍රබල බවයි මෙහිදී සදහන් වන්නේ. නමුත් ක්‍රිෂ්ණා වෙනත් ගොපලු තරුණියන් සමගද කාම සම්භෝගයේ යෙදෙනවා. දිනක් රාධාට එවැනි අවස්ථාවක් අතටම හසුවෙනවා. ඉන්පසු දෙදෙනා අතර විරසකයක් ඇතිවෙනවා.  දෙදෙනා විරසක වූවත් දෙදෙනාටම එකිනෙකා නොමැතිව සිටීමට නොහැකි නිසා ඉන් පීඩාවිදිනවා, ශෝකී වනවා. 


සුනිල් ආරියරත්නයන් මෙම ගීතයට පාදක කරගනු ලබන්නේ මෙකී අවස්ථාවයි. එනම්,  ක්‍රිෂ්ණා නොමැති සොවින් වැලපෙන රාධාගේ හැගීම්ය. මෙහිදී රාධා "සපත්නී රෝෂයෙන්" පෙලුණු බව සදහන්. (සපත්නී රෝෂය යනු සම භාර්යාවන් අතර එකිනෙකා කෙරෙහි හටගන්නා ඊර්ෂ්‍යාවයි). රාධා, ක්‍රිෂ්ණා සමග විරසක වූවත් ඇය සිතින් දුක් විදිනවා.මෙහිදී වඩාත් ඔවුන් දුක්වනුයේ අහිමි වූ සම්භෝග සුවය නිසා බව කියැවේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත " ගොවිඳුනි මේ සිරියහනේ" ගීතයේ "රති කෙළි රමණි සිහි කර පැරණි යමුනා නදියද කැළඹේ" යනුවෙන් සදහන් වනුයේ මෙකී කාරණයයි. ඇයට ක්‍රිෂ්ණා සමග සතුටින් ගතකල කාලය, ඔහු සමග කාම සම්භෝගයේ යෙදුනු ආකාරය සිහිවෙනවා. ඇය කෙතරම් ක්‍රිෂ්ණා කෙරෙහි උමතූව සිටියාද කිවහොත්, "ක්‍රිෂ්ණා මායි" නමැති මායාවෙන් වෙලී සිටි බවත් කියවෙනවා. මේ ගීතය ලියවෙන්නෙ එවැනි වටපිටාවක් තුල, රාධාගේ යටි සිතේ අපේක්ෂාවක් ලෙසින් අහිමි වූ කාම සම්භෝගය ආයාචනා කරමින්. කාන්තාවක් සාමාන්‍යයෙන් විවෘතව මෙවැනි ඇරයූමක් පිරිමියෙකුට නොකරන නිසා, මෙහිදී අපට උපකල්පනය කිරීමට සිදු වෙනවා, මෙය ඇත්තෙන්ම ඇගේ යටි සිතේ ඇති වූ හැගීම් කියා.


මෙම ගීතයට සංගීතය සපයන්නේ රෝහණ වීරසිංහ විසිනි. ගීතයට  භිම්පලාසි රාගය ඇසුරින් සංගීතය නිර්මාණය කර ඇත. සංගීත භාණ්ඩ හා එහි නාද රටාව තුල මැවෙනුයේ භාරතීය සංගීතයට සමීප හඩකි. නන්දා මාලනීගේ ගායනය තුලත් රාධාගේ වියෝව හා ශෝකී හැගීම් මනා ලෙස ගැබ්ව ඇති බව පෙනේ.


(උපුටා ගැනීමකි) 




Thursday, August 12, 2021

කෙටල පටානෝ...

කරලිය ලඟා කර ඉණිමන් ගැටගසන

වැඩිහිටි මහළු තුරු වෙසෙනා තැන කොතැන


කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ


හැන්දෙන් කමින් හැන්දට ගරහා සිටින

දුප්පත් එවුන් වෙනුවෙන් යයි හඩ තලන

පීඩිත අහිංසක ඇරයුම්   ඉවතලන

කුමටද අපේ කට මුණිවත රැක තිබෙන


කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ


දරු සෙනෙහසින් අත අල්ලා පෙරටු කරන්

පිනිපා මුලින් අප   කරලිය තුලට අරන්

ඇසුවිට මහල්ලගෙ වතගොත කනින්කොනින්

ඉහිලිය නොහැකි බර පොදිබැඳ එලොව ගිහින්


කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ


ගායනය - විශාරද ගුනදාස කපුගේ 

සංගීතය - විශාරද ගුනදාස කපුගේ 

පදරචනය - ඒ.එච්.එල් යසවර්ධන


කැලණි ගඟානෝ -  නිතරම වතුර ගලානෝ

කෙටල පටානෝ -      නිතරම උඩ යට යානෝ

මී හරකානෝ -           නිතරම ඔලූව වනානෝ

ඇටිකිති ජානෝ - නිතරම ජෙග ජෙග ගානෝ


සියනෑ කෝරළයේ හෝ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැඩිදෙනෙකු අසා පුරුදු මේ ජන කවිය අප රටේ සිටි සිවිල් සේවා නිලධාරියෙකු සහ විශිෂ්ට ජනශ‍්‍රැති පර්යේෂකයෙකු වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් විසින් 1964 වසරේ සම්පාදනය කළ ‘‘සිංහල කාව්‍ය සංග‍්‍රහය - මාතර යුගය’’ කෘතියෙහි (පිටුව 200) ද සඳහන්ය. මෙය ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයකි.


ඉහත සඳහන් ජන කවියෙහි මතුපිට අරුත වනුයේ වරින් වර පිටාර ගලන කැලණි ගඟ නිසා ගඟ දෙපස ඇති කෙටල පඳුරු වරින් වර දියෙන් යටවී යළිත් මතු වී පෙනෙන බවය. මේ අතර ගඟ ආසන්නයේ බැඳ සිටින මී ගවයන් හිස වනන අයුරුත් ඇටිකිත්තන් යනුවෙන් හැඳින්වෙන ජලාශ‍්‍රිත කුඩා මැඬි විශේෂය නිතර හඬනගන අයුරුත් ඉන් පැවසේ.


නමුත් පසුගිය කාලයේ සියනෑ කෝරළයේ ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ ගවේෂණයක යෙදුණු මට එම ජන කවියෙන් මතුවන ඊට වඩා ගැඹුරු ද්වනිතාර්ථයක් පිළිබඳව අනාවරණය කර ගත හැකි විය. ඉන් පැවසී ඇත්තේ සියනෑ කෝරළයේ විසූ මහා ධනකුවේරයෙකුගේ ලිංගික ජීවිතය පිළිබඳව බව එහිදි අනාවරණය කර ගැනීමට මට හැකි විය.


ඔහු දහඅටවන සියවසේ අග භාගයේ හෝ දහනව වන සියවසේ මුල් භාගයේ දී සියනෑ කෝරළයෙහි විසූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැක. අක්කර සිය ගණනක පොල්වතු ඇතුළු සුවිසල් දේපළකට හිමිකරුවෙකු වූ මොහු තමන් යටතේ වැඩකරන සේවකකාරකාදීන්ගේ රූමත් අඹුවන් සොයා ගොස් ඔවුන් සමඟ අයථා සබඳතා පැවැත් වූ අයෙකි. ඔහුගේ ප‍්‍රතාපය නිසා මෙම සංසිද්ධිය සෘජුව කීමට නොහැකි වූ ජන කවියා ‘‘කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ’’ යනුවෙන් පවසා ඇත්තේ ඔහුගේ එම ලිංගික චර්යාවයි.


මෙහි "වතුර ගැලීම" යනුවෙන් අදහස් කරන්නේ ගං දිය පහළට ගලා ඒම නොවේ. එය පිටාර මට්ටම ඉක්මවා දෙපසට ගලා යාමයි. එහි පිටාර මට්ටම යනු සම්මතය වන අතර පිටාර මට්ටමෙන් ඉවතට ගැලීම යනුවෙන් ජන කවියා අදහස් කර ඇත්තේ එම ප්‍රභූ වරයාගේ අසම්මත ලිංගික චර්යාවම බව පැහැදිලිය.


එහි දෙවන පදයෙන් පැවසෙන ‘‘කෙටල පටානෝ නිතරම උඩයට යානෝ’’ යනුවෙන් පැවසෙනුයේ ඔහුගේ ලිංගික ආධිපත්‍යයට නතු වූ එම කාන්තාවන් පිළිබඳව ය. මෙහිදී ‘‘වතුර ගැලීම’’ සහ ‘‘උඩ යට යාම’’ යන්නෙන් ලිංගිකත්වය පිළිබඳ සියුම් ඉඟි පළ කෙරන අතර ඇතැම් විට වරින් වර හිමිවන ඔහුගේ ඇසුර නිසා එම කතුන්ගේ උඩඟු බව අඩුවැඩි වීම ද ජනකවියා එලෙසින් දකින්නට ඇත. යමෙකුගේ උඩඟු බව දැක්වීම පිණිස ‘‘දැන් එයා සෑහෙන්න උඩ ගිහින්’’ යනුවෙන් සමාජයේ පොදු වහරක් ඇති බව අපි කවුරුත් දනිමු.


මෙහි ඊළඟ පදයෙන් පැවසෙන ‘‘මීහරකානෝ නිතරම ඔලූව වනානෝ’’ යන්නෙන් එම බිරියන්ගේ සැමියන් පිළිබඳව පැවසෙන බව මෙහිදී අනාවරණය කර ගැනීමට මට හැකිවිය.  මක්නිසාද යත් එම ප‍්‍රභූවරයාගේ දාසකාරකාදීන් වන ඔවුනට තමන්ට සිදුවන කිනම් අසාධාරණයක් හෝ ‘‘ඔලූව වනා’’ අනුමත කිරීම හැරුණු කොට ඊට එරෙහිව නැඟීසිටීමේ හැකියාවක් එකල සමාජයේ නොතිබූ බැවිනි.


මෙහි වඩාත්ම උපහාසයක් ද්වනිත කරවනුයේ එහි ‘‘ඇටිකිති ජානෝ නිතරම ජෙග ජෙග ගානෝ’’ යන්නෙනි. මෙහි ඇටිකිත්තන් යනු කුඩා මැඬිවිශේෂයක් බව මම ඉහත සඳහන් කළෙමි. එහෙත් ඒ සමඟම යෙදෙන ‘‘ජානෝ’’ යන වචනයෙන් හැඟවෙනුයේ ජනතාව යන්න ය. ඒ අනුව එම ‘‘ඇටිකිති ජානෝ’’ යන්න අවශේෂ ජනයා ලෙස අර්ථකතනය කිරීමේ නොහැකියාවක් නැත.


සමාජයේ ප‍්‍රභූවරයෙකු විසින් ප‍්‍රසිද්ධියේ සිදුකරන මෙම සදාචාර විරෝධී ක‍්‍රියාවට, ලිංගික සූරාකෑමට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වීමට හෝ අභියෝග කිරීමට හැකි සමාජ පරිසරයක් මෙකල නොතිබුණි. එබැවින් අවශේෂ ජනයාට හැකි වූයේ ඒ පිළිබඳව නිරතුරුවම ඔවුනොවුන් අතරේ රහස් කතිකාවක් ගොඩනංවා  ගැනීමට පමණි.  කවියෙහි එය හැඳින්වෙනුයේ ‘‘ජෙග ජෙඟ’’ ගෑම ලෙසිනි.


මෙහි තවත් විශේෂත්වයක් තිබේ. අරාබි බසින් ලිංගික ක‍්‍රියාව හඳුන්වන පහත් ඕලාරික වදනක් වනුයේ ‘‘ජිගි ජිගි’’ යන්න ය. මෙය ජිගි යන්න ඉංග‍්‍රීසි ශබ්දකෝෂවල සඳහන් වන්නේ Haveing Sex යන්නෙහි අවියත් වදනක් ලෙසිනි.


තම ප‍්‍රදේශයේ ප‍්‍රභුවරයෙකුගෙන් සිදුවන ලිංගික සූරාකෑමක් පිළිබඳව කැලණි ගඟ මුල්කොට මෙසේ උපහාසාත්මක යටි අරුතක් පළ කළ ඒ අප‍්‍රකට ජන කවියාගේ චින්තනය, සෞන්දර්යාත්මක ප්‍රතිභාව කැලණි ගඟටත් වඩා ගැඹුරු බව නම් නොකියාම බැරිය.


ඒ.එච්.එල් යසවර්ධන විසින් මෙම කවියෙහි එක් පේලියක් ගෙන ගීතයක් බවට පෙරලා එම ගීය විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරයි.


(උපුටා ගැනීම - තිලක් සේනාසිංහ)




සිහිනෙන් පවා...

සිහිනෙන් පවා රෑ රැඳුණත් සිතේ

මට හිමි නොවේ ඔබෙ ආදරේ

කඳුළැල් කතාවේ ඔහු හා ඔබේ

සුසුමකි විලාසේ ඉන්නම් මෙසේ


සෙනෙහස පුදාලා ඔහු හට ඔබේ

සුසුමක්‌ වුණා යෑයි ඔබ කී දිනේ

ඔබ හා දයාවෙන් බැඳුණත් සිතේ

අසරණ වුණේ මා ඔබේ ආදරෙන්


අවනත නොවූවත් ඔහු ඔබෙ ලොවේ

ඔබ ආදරේමයි මා ඇයට සේ

හිමිකම් නොකීවත් අහිමි සෙනේ

දැකුමෙන් ඔබේ රූ සැනසුම් ගෙනේ


පද රචනය - විපුල් ධර්මප්‍රිය ජයසේකර

ගායනය හා සංගීතය - විශාරද ෂර්ලි වෛජයන්ත


හිතේ තියෙන දුක්‌ කන්දරාව ළෙන්ගතු හදවතක්‌ ඉදිරියේ කියන්න තියෙනව නම් හිතට දැනෙන්නේ පුදුමාකාර සහනයක්‌. සමහර පෙම්වතුනුත් එහෙමයි. පෙම්වතා නිසා දුක්‌විඳින පෙම්වතිය ඇයට වඩාත් හිතවත් කෙනකු හමුවේ තම දුක කියනවා. පෙම්වතාත් සමහර වෙලාවට එහෙමයි. ඇය ගැන ඔහු ඔහුට ළෙන්ගතු කෙනකු හමුවේ පවසනවා.


සිහිනෙන් පවා රෑ රැඳුණත් සිතේ

මට හිමි නොවේ ඔබෙ ආදරේ

කඳුළැල් කතාවේ ඔහු හා ඔබේ

සුසුමක්‌ විලාසේ ඉන්නම් මෙසේ...


හැබැහින් විතරක්‌ නොවෙයි හීනෙනුත් මගේ හිතේ ඔයාගේ රුව රැඳී තියෙනවා. ඒත් මට ඔයාගේ ආදරේ හිමි නැති බව මම දන්නවා. ඔබ දෙපළගේ කඳුළු කතාව අහලා සුසුම් ලන්නේ මම. මම ඒ සුසුම විදිහටම හැමදාම ඉන්නම්...


ඔහු හිතෙන් විඳවනවා... මේ විඳවන්නේ පෙම්වතා නොවේ. හිතවත් තරුණියක්‌ සහ ඇයගේ පෙම්වතා වෙනුවෙන් මේ සුසුම්ලන්නේ වෙනත් හදවතක්‌.


ගීය ලියුවේ විපුල් ධර්මප්‍රිය ජයසේකර "මම මේ ගීය ලියුවේ බොහෝ කලකට පෙර ෂර්ලිගේම සඟවන්නෙපා හසරැල් සී. ඩී. එකට. ෂර්ලිට වැඩිපුර ගීත ලියන්න ඇත්තේ මම "ඔහුගේ හිතවතකු මුහුණ පෑ සැබෑ සිදුවීමක්‌ මේ ගීයට පාදක වූ බවයි විපුල් කියන්නේ.


"මගේ හිතවතෙක්‌ ඉන්නවා ඔහු විවාහකයි. කාර්යාලයේ තරුණියක්‌ ඔහුට හරිම හිතවත්. පෞද්ගලික දේ පවා ඇය හා ඔහු කතාබහ කරනවා. ඒ තරමට ළෙන්ගතු කමක්‌ තියෙන්නේ. ඒ ප්‍රේම සම්බන්ධයක්‌ නොවෙයි. දැඩි මිතුදමක්‌. ඉතින් මේ තරුණියගේ පෙම්වතා ගැනත් ඇය ඔහුට කියනවා. එයා හරිම අමුතුයි. මාව වැඩිය ගණන් ගන්නේ නැහැ. "මේ විදිහට ඇය කඳුළු සලමින් මගේ මිත්‍රයාට දුක කියනවා. ඔහුට ඇය කෙරෙහි පුදුම අනුකම්පාවක්‌ ඇති වෙන්න පටන් ගන්නවා.


සෙනෙහස පුදාලා ඔහු හට ඔබේ

සුසුමක්‌ වුණා යෑයි ඔබ කී දිනේ

ඔබ හා දයාවෙන් බැඳුණත් සිතේ

අසරණ වුණේ මා ඔබේ ආදරෙන්...


ඔහු ඇයට සෙනෙහස දක්‌වනවා. අනේ මේ වගේ අහිංසක කෙල්ලෙකුට ඇයි ඇගේ පෙම්වතා දුක්‌ දෙන්නේ. මේ වගේ කෙනෙක්‌ මට හිමි වුණානම් දුක අහපු ළෙන්ගතු හිතට ඇය ගැන ආදරයක්‌ උපදිනවා අනුකම්පාව ආදරයකට පෙරළෙනවා. "එයාට ආදරේ කරන්න ගිහින් මගේ ජීවිතේට කැළැලක්‌ වුණා කියා ඔයා කියපු දවසේ මගේ හිතේ ඔයා කෙරෙහි ආදරයක්‌ ඇති වුණා. ඒත් ඒ ආදර සිතිවිල්ලත් එක්‌ක මම අසරණ වුණා. " ඔහු හිතන්න පටන්ගන්නවා. ඔහුගේ හිතේ ඇය ගැන ආදරයක්‌ ඉපැදුණත් ඒ බව ඇයට කියාගන්න බැහැ. ඒ ඔහු විවාහක නිසා. තහනම් පෙමක්‌ ගැන හිතුවොත් අසරණ වෙන්නේ අහිංසක බිරිය.


අවනත නොවූවත් ඔහු ඔබෙ ලොවේ

ඔබ ආදරේමයි මා ඇයට සේ

හිමිකම් නොකීවත් අහිමී සෙනේ

දැකුමෙන් ඔබේ රූ සැනසුම් ගෙනේ


මට ඔයා ගැන ආදරයක්‌ හිතුණත් ඒක පවසන්නේ කොහොමද. පෙම්වතා ඔයාට අවනත නොවුණත් ඔයා ඔහුට ආදරෙයි. හරියට මම මගේ ආදරණීය බිරියට ආදරය කරනවා වගේ. මට ඔයාගේ ආදරේ හිමි නැහැ. ඔයා මට අයිති නෑ. ඒත් ඔයාගේ රූපය දැකීමත් මට සැනසුමක්‌.


ඔහු අවසානයේදී හිතන්නේ එහෙමයි. මේ ගීය වෙනස්‌ම අර්ථයක්‌ ගෙන දෙන පදමාලාවක්‌.


(උපුටා ගැනීම - නිහඬ සිතුවිලි බ්ලොග් අඩවිය)




කොළඹ දුවන්නියේ...

කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්

මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපං

කීවාම මොකද බං මටනං බයත් හිතේ දැං

උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං


කොළඹ දුවන්නියේ.....


එක යාළු රැළක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ

ඔය කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ

එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා

ගංගොඩේ ඉතිං ඒ ගැන කුචු කුචු ගාන්නෙපා


කොළඹ දුවන්නියේ.....


දිග පීලි උඩිං කොහොමද උඹ නොවැටී යන්නේ

බිං ගෙවල් මැදිං කළුවරේම පාර දකින්නේ

මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා

අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා


කොළඹ දුවන්නියේ.....


ගායනය - සමිතා මුදුන්කොටුව

පදරචනය - දිලීප අබේසේකර 

සංගීතය - නලීන් පෙරේරා 


මතුපිටන් පෙනෙන ආකාරයට මෙහි කෝච්චියක් මුල් වූ කතාවක් සාමාන්‍ය රසිකයා තුලට ගෙන යයි. ඇත්තෙන්ම මෙහි ගේය පද රචකයාගේ දක්ෂතාවය අගය කළ යුතුය. ඔහු මෙහි කොච්චියකට ආරූඪ කර ඇත්තේ පිටිසර ගමක සිට රැකියාව සඳහා කොළඹ බලා පැමිණෙන තරුණියකයි. මෙහිදී ඔහු භාවිතා කර ඇති වචන මාලාවද පිටිසර ගැමි වදන්වලින් සැදුම්ලද්දකි.


මෙම කතාවේ තරුණියන් දෙදෙනෙකි. එක් අයෙක් වසර ගණනාවක් කොළඹ රැකියාව කර කොළඹ පිළිබඳ මනා අවබෝධයක් ඇති යෙහෙළියකි. සරළව කිවහොත් කොළඹ පරිසරයෙන් හොඳට තෙම්පරාදු වී ඇති තැනැත්තියකි. අනෙක් තැනැත්තිය ගමේ ජීවිතය පමණක් හුරු කොළඹට ආධුනික අපේ කතානායිකාවයි. මෙම කතානායිකාව තම යෙහෙලියගෙන් උපදෙස් ගෙන කොළඹ රැකියාවකට යාමට සූදානම් වෙයි. ගැමි පරිසරයක සිට කොළඹ රැකියාවක් කරා පැමිණෙන තරුණියකට මුහුණ දීමට සිදුවන සිදුවීම් පිළිබඳ අමුතුවෙන් මතක් කළ යුතු නොවේ.


කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්

මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපං

කීවාම මොකද බං මටනං බයත් හිතේ දැං

උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං


කතානායිකාව තම මිතුරියව කොළඹ දුවන කෝච්චියක් ලෙස හදුන්වයි. පසුදා උදෑසන කොළඹ බලා යාමට සිතා සිටින ඇය මතුරියට පවසන්නේ තමා එනතුරු දුම්රිය නැවතුම්පලේ සිටින ලෙසයි. යම් හෙයකින් ඇය නොසිටියහොත් තමා මං මුලා වන බව පවසයි. ඒ ගැන බියෙන් පසුවන ඈ මිතුරිය පිළිබඳ විශ්වාසය තබන්නේ මිතුරිය හොඳ පුරුදුකාරියක් බව දන්නා බැවිනි. “උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං”  යනුවෙන් ඇය පවසන්නේ ඒ බව ඒත්තුගැන්වීමටයි.


එක යාළු රැළක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ

ඔය කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ

එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා

ගංගොඩේ ඉතිං ඒ ගැන කුචු කුචු ගාන්නෙපා


කොළඹ, ගමේ වගේ නෙවෙයි. එහේ එක එක යාළුවොන්ගෙ කල්ලි තියෙනවා. ඒ යාළු රැළක් එක්ක මුළු කොළඹම කරක් ගහපු මිතුරියක් ඇයට සිටින්නේ. එය ඉතා අපූරුවට පෙන්වන්නේ “කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ ” යන වදන් පෙළිනි. එය ඇතැම් විට සාමාන්‍යයෙන් කොළඹ රටේ සංචාරය කර ඇති බවක්ම නොවන්නට පුළුවනි. බොහෝ විට ඉන් කීමට තැත් කරන්නේ කොළඹ රටේ පෙම්වතුන් සමඟ ඇගේ මිතුරිය නොගිය තැනක් නැති බවය. ගස් ගල් යනුවෙන් සංකේතවත් කර ඇත්තේ එය විය හැකිය. ඇයට වගේම මටත් කොළඹ රටේ අලුත් යහළුවන් (පෙම්වතුන්) මුණගැහෙන්නත් පුළුවනි. හැබැයි ඒ දේවල් ගැන ගමේ ගිහින් නොකියන ලෙසට ඉල්ලා සිටී. මොකද කොළඹ රටේ ගස් ගල් හැඳුනුවත් ගමේ ගස් ගල්වලට ඇස් , කන් ඇති නිසා. 


දිග පීලි උඩිං කොහොමද උඹ නොවැටී යන්නේ

බිං ගෙවල් මැදිං කළුවරේම පාර දකින්නේ

මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා

අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා


ඇත්තෙක්ම විටෙක තම මිතුරිය පිළිබඳ පුදුම සහගතයි. මෙතරම් දරුණු අවිනිශ්චිත කොළඹ සමාජයේ ඇය ආරක්ෂාකාරීව ජීවත් වෙයි. හරියට වේගයෙන් යන දුම්රියක් පීලි උඩ නොවැටී යනවා වගේ. ඉදිරියට එන්න තියෙන අනතුරු කලින් දැනගෙන ඒවා මගහරිමින් යන්නේ හරියට බිංගෙවල් තුලින් කරුවලේම පාර සොයා යන ලෙසටයි. ඒ වුනත් මට නම් තාම ඒ වගේ මේ සමාජයේ කරදරවලින් බේරී සිටීමට දැනුම් තේරුම් නැහැ. නොදැනුවත්කම නිසාම මම වැරදි පාරෙ ගිහින් ජීවිතේ විනාශ කරගනීද දන්නෙත් නැහැ යන අදහස හොඳින්ම ගෙනහැර දක්වන්නේ “මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා” යන ඉතා අනර්ඝ යෙදුම්වලිනි. කතාව තවමත් දුවන්නේ කෝච්චිය මත පදනම්ව නිසා ඊළඟ යෙදුමද අවස්ථාවට උචිතය. “අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා”


ඉතා වටිනා අදහසක් ව්‍යංගයෙන් සමාජගත කිරීමට ගීත රචකයාගේ භාෂාව, යෙදුම්, උපමා සියල්ල මනාව ගැලපී ඇත. එලෙසම ගීතය සමාජගත කීරීමට අවශ්‍ය උචිත සංගීත රටා සංගීත නිර්මාණ ශිල්පියා යොදාගෙන ඇත. මේ සියල්ල සමාජගත කිරීමට ගායන ශිල්පිනියගේ හැකියාව උපරිමයෙන් දායක වී ඇත. අප සමාජය තුළ මෙවැනි කොළඹ දුවන්නියන් කොතරම් ඇත්ද...?


(උපුටා ගැනීම - ගීතයකට වැඩියමක්)




පාළු සුසානේ ප්‍රේම පුරාණේ...

පාළු සුසානේ ප්‍රේම පුරාණේ 

කඳුළු විලාපේ මා තමයි 

අප දෙදෙනාගේ එදා සෙනෙහේ 

සැමරුම් කිසිදා මැකී නොයේ 

මට අමතක නෑ ඔබට මතක නෑ....


ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී

ආදරයක් මිය යාවිදෝ

හදවත ගොළු වී ඔබේ නාමයෙන්

ජීවිතයක් නවතීවිදෝ

මා විමසන්නෙමි කියන්නකෝ මට

කෙලෙසද මේ ලෙස කුරිරු වුණේ....


මගෙ අත්තටු බිඳ පියා සලාලා

යන්නට ඔබ පැතු චේතනා

ඔබයි දිනූවේ පරාජිතයි මා

මේකද මට දුන් වාසනා

ආදර රේඛා සුසුම් හෙලාවී

කම්පා කරවා මහී තලේ....


දෛවය මෙය නම් සුදු අපි නාඬමු

හමුවෙමු මතු සංසාරය‍ෙ

කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා

ඇවිලෙන මේ ගිනි මා ළයේ

ඔබ නොව ළඳුනේ මමයි සදාකල්

අසරණ වූයේ කුමාරියේ....


පද - ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය - සරත් ද අල්විස්

ගායනය - එච්.ආර්. ජෝතිපාල


සරත් ද අල්විස් නමැති සුප්‍රකට සංගීතඥයා මුලින්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින්නේ 1985 දී තිරගත වූ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයෙනි.   

ඔබට දිවුරා කියන්නම් පසු කලෙක ආදායම් වාර්තා බිඳ හෙලූ අධ්‍යක්ෂවරයකු වන සුනිල් සෝම පීරිස්ගේ ප්‍රථම චිත්‍රපටයයි. සිංහල චිත්‍රපට රාශියක රඟපාමින් ජනප්‍රිය වූ ශෂී විජේන්ද්‍රගේ ද මුල්ම චිත්‍රපටයයි. එහි රඟපෑ අනෝජා වීරසිංහ වුවද කලාත්මක චිත්‍රපට රාමුවෙන් පිට පැන රඟපෑ චරිතයක් එහි විය.   


ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත හයක් ඇතුළත් විය. ජෝති ඉන් එක් ගීතයක් ගායනා කළේ මායා දමයන්ති සමගය. ඔබට දිවුරා කියන්නම් නිෂ්පාදනය වන 1980 ගණන් වලදී ජෝති ගායකයකු ලෙස ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ වැජඹුණේය. ඔහුට සන්දර්ශනවලින්, චිත්‍රපටවලින් අඩුවක් නොවීය. කෙතරම් ජනප්‍රියත්වයේ සිටියද ජෝතිට විචාරක ප්‍රශංසාව නම් නොලැබුණේය. එය ජෝති දැන සිටියේය. ඔහුට තම ගායන ජීවිතයේදී ජනප්‍රිය සම්මාන කීපවරක්ම ලැබුණද හොඳම ගායකයා ලෙස සරසවි සම්මාන ලද්දේ දෙවරකි. 


ජෝතිට ප්‍රථම වරට හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස සම්මානයක් ලැබෙන්නේ 1983 දීය. ඒ සරත් දසනායක සංගීතවත් කළ මිහිදුම් සිහින චිත්‍රපටයේ “සරාසඳේ” ගීතය වෙනුවෙනි. ඊළඟට ජෝති හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස දෙවැනි වරට හා අවසන් වරට සම්මාන ලබන්නේ 1985 පැවැති සරසවි සම්මාන උළෙලේදීය. ඒ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ “පාළු සුසානේ” ගීතයටය. එහිදී හොඳම ගීත රචකයා ලෙස සම්මාන ලැබුවේද එම ගීතය ලියූ ආචාර්ය අජන්තා රණසිංහය. සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්ගෙනි.   


ප්‍රථම වරට තමා සංගීත අධ්‍යක්ෂණය කළ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයේ පාළු සුසානේ ගීතයට ජෝතිට හා අජන්තාට සම්මාන ලැබුණද සරත් ද අල්විස්ට සම්මානයක් නොවීය. 


“සම්මානයක් ගන්න හිතාගෙනද මේ ගීතය නිර්මාණය කළේ?”


“මොන පිස්සුද සම්මාන ගැන අදහසක්වත් තිබුණේ නෑ. මේ සින්දුව ලියන්න දුන්නෙ අජන්තාට නෙමෙයි, වෙනත් ප්‍රසිද්ධ ගීත රචකයකුට. සාමාන්‍යයෙන් මම කලින්ම කරන්නෙ මෙලඩිය හදල ඒක හම් කරල කැසට් පටයක් යවනවා ගීත රචකයාට. චිත්‍රපටයකට ගන්න සින්දුවක් නිසා අදහස කියනවා. විශේෂයෙන්ම කතා තේමාව. මේ ගීතයත් ඒ විධියට හම් කරල යවල කතා තේමාව ගැනත් මේ ගීතය ගායනා කරන අවස්ථාව ගැනත් ගීත රචකයාට විස්තර කළා. 


ඉන් පස්සෙ අපි රෙකෝඩින් වලට දින දාගත්තා. දැන් ජෝතිටත් දිනය වෙලාව සේරම දීලා. රෙකෝඩින් තියෙන්නෙ හෙට නම් අද රෑ තමයි එම ගීත රචකයා මේ තරම් පොඩි තනුවකට ඒ තරම් ලොකු අදහසක් ලියන්න බෑ කියල දැනුම් දුන්නෙ. දැන් ඉතින් මොකද කරන්නෙ? අධ්‍යක්ෂක සුනිල් සෝමයි මමයි පටිගත කිරීම් දාගත්ත දවසේ උදේ හයට අජන්තාව හොයාගෙන ගියා. ගිහින් විස්තරේ කියල උදේ දහයට සින්දුව ඕනෙයි කිව්වා. හම් කරපු ට්‍රැක් එක දීල විස්තරේ කිව්වෙ ගේට්ටුව ළඟ ඉඳගෙන. අජන්තා ට්‍රැක් එක ගත්තෙ ගේට්ටුවට උඩින්.   


අජන්තා සින්දුවත් අරගෙන උදේ දහයට ස්ටූඩියෝ එකට එනවා කියල පොරොන්දු වුණා. කිව්ව වගේම අජන්තා උදේ දහයට ස්ටූඩියෝ එකට ආවා.   


පාළු සුසානේ හදිසියේම ලියාගෙන පටිගත කළේ එහෙමයි. අපි කාටවත් සම්මාන ගැන හැඟීමක් තිබුණෙ නෑ කියල ඒකෙන්ම තේරෙනවනේ. අපිට ඕන කළේ සින්දුව වෙලාවට කරගන්නයි.   


සරසවි සම්මාන උත්සවය සංවිධානය වෙමින් පවතින කාලෙ සම්මාන උත්සවේ සංවිධායකවරයෙක් මගෙන් ඇහුව මේ තනුව හින්දි එකක්ද කියලා. මම කිව්වා සම්මානවලදී හැම දෙයක්ම හොයනව නම් මේකත් හොයල බලන්න කියලා. හොඳම ගීතය වුණාට සංගීත අධ්‍යක්ෂණයට මට සම්මාන ලැබුණෙ නෑ. කොහොම හරි සම්මාන උත්සවේ ඉවරවෙලා එනකොට සනත් අයියා (මහාචාර්ය සනත් නන්දසිරි) මට කිව්වා ගායකයා ගීත රචකයා දෙන්නටම හොඳම ගීතයට සම්මාන ලැබුණා. එතකොට තනුවක් සංගීත අධ්‍යක්ෂ කෙනෙක් නැතුවද මේ ගීතය ගායනා කරල තියෙන්නෙ කියල. ඕවයේ හැටි ඔහොම තමයි. කියල අන්තිමට කිව්වා.” ඔබට දිවුරා කියන්නම්. ප්‍රථම සංගීත අධ්‍යක්ෂණයෙන්ම ජෝතිට දෙවැනි සම්මානය හිමිවූ ගීතය නිර්මාණය කළ සරත් ඉන්පසුව චිත්‍රපට හාරසියයකට පමණ සංගීතය නිර්මාණය කර ඇත. 


(උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප රොඩ්නි විදානපතිරණ






Wednesday, June 30, 2021

සිහිනයකි ඔබ ...

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා..

සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ

නිහඬ මා හද සනසනා...


ඉරකි ඔබ මට සදකි ඔබ මට

කිසිදු කිසි විට සමුනොගන්නා...

සයුරු රළ ඔබ ඈත සමුදුර

සයුරුතෙර මා හමුවනා...


සිහිනයකි ඔබ...//


යුග ගණන් අප වෙන්ව ආ මඟ

සොදුරු නිම්නෙක එක්වෙලා...

දුක් සුසුම් නැති අපේ ලොව තුල

සිනා මල් පෙති විසිරිලා...


හිරුට තනි නැත සදුත් නැත තනිවී

එකම අහසක හමුවෙලා...

ලොවම සසලව බලා සිටියාවේ

යලිදු අප හද ලංවෙලා...



ගායනය - නිරංජලා සරෝජිනී, බණ්ඩාර අතාවුද

සංගීතය - එච්.එම් ජයවර්ධන

ගී පද - කුසුම් පීරිස්


ප්‍රවීණ ගේය පද රචිකාවියක් වෙන කුසුම් පීරිස් මහත්මිය හොඳින් අඳුනන යුවලක් වෙනුවෙන් තමයි මේ ගීතය ලියවුණේ. අද වෙද්දී ඒ දෙන්නා බොහොම සතුටින් විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.


කලකට ඉහතදී මේ දෙදෙනා එකිනෙකාට ආදරය කරත්, ඒ බව මුවින් පැවසුවේ නැහැ. යාලුවෝ විදියට තමයි ආශ්‍රය කළේ. ඉතින් නියම කල වයස ආවම, මේ තරුණිය ඇයට ගෙදරින් ගෙනාව විවාහ යෝජනාවකට කැමති වුණා. ඇය විවාහ වුණාම, අර තරුණයට දැනුණේ දරාගන්න බැරි දුකක්. ගෙදර කීමට විවාහ වුණත්, ඒ තරුණියගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්නෙත් නැහැ. ඇගේ සැමියා බේබද්දෙක්. ඉතින් වැඩි කල් නොයා ඔවුන් දෙන්නා දික්කසාද වෙනවා.


මේ ගැන දැනගන්න ඇයට ආදර කරපු තරුණයා ඇය සොයා ගිහින්, තමන්ගේ හිතේ එදා වගේම අදටත් තියෙන ආදරේ ගැන ප්‍රකාශ කරනවා. බටහිර රටවල්වල කෙසේ වෙතත්, ලංකාවේ සමාජය දික්කසාද වුණු තරුණියක් දිහා බලන්නේ වපර ඇහින්. අඩු තරමේ ඇය ඒ තත්ත්වෙට වැටුණේ කාගේ වරදින්ද කියලවත් හොයලා බලන්නේ නැතුව, දෝෂාරෝපණය කිරීම තමයි ඔවුන් කරන්නේ. ඒ ගැටලුවට මේ තරුණියටත් මුහුණ දෙන්න වුණා. නමුත් ඇයට ආදරය කරපු තරුණයාට ඇය දික්කසාද වුණු එක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් දෙදෙනා සාමාන්‍ය යුවලක් විදියටම විවාහ දිවියට එළඹුණා.


"ලොවම සසලව බලා සිටියාවේ" කියලා මේ ගීතයේ තියෙන්නෙත්, ලෝකය කුමක් කිව්වත් මට එයින් කමක් නැතැයි කියන තරුණයාගේ හැඟීම බවයි කුසුම් පීරිස් මහත්මිය පවසන්නේ. කරදර, විවේචන, බාධක සියල්ල මැද්දේ විවාහ වුණු මේ යුවළ වෙනුවෙන් ලියවුණු මේ ගීතය ගායනා කෙරුණේ බණ්ඩාර අතාවුදයන් සහ නිරංජලා සරෝජිනියන් විසින්.


(උපුටා ගැනීමකි)



Tuesday, June 22, 2021

ඇරඹුමම කඳුලක් වෙලා ...

ඇරඹුමම කඳුලක් වෙලා

මා බලා ඉද්දී ඒ දිහා

ආ දුරත් දුර වැඩි නිසා

අවසානයට පෙර ඈ ගියා...//


දුක්බරම කවියක් ලියා

එහි පද පෙලක් අඩුවෙන් තියා...//

අරුත පසිදින්නට කියා

අවසානයට පෙර ඈගියා...


ඇරඹුමම කදුලක් වෙලා...//


ශෝකාන්තය එන තුරා

එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//

අනන්තය ලඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා...


ඇරඹුමම කදුලක් වෙලා...//


ගායනය - කසුන් කල්හාර

පද රචනය - දිලීප අබේසේකර

සංගීතය - නාලක අංජන කුමාර


කසුන් කල්හාර විසින් ගැඹුරු හඬින් ගායනා කරන මේ ගීතය ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ පුත් දිලීප අබේසේකර විසින් ලියන ලද්දක්. ඔහුගේ අදහස අනුව මෙම ගීතයෙන් කියවෙන්නේ විවාහයෙන් කෙළවර නොවන වර්තමානයේ වැඩි වශයෙන් දැකිය හැකි අස්ථිර ආදරය ගැන. ගීතය දිලීප අබේසේකර විසින් රචනා කරල තියෙන්නේ ගුවන්විදුලි වැඩසටහනකට. නාලක අංජන කුමාරයන්ගේ සංගීතයෙන් යුතුව කසුන් කල්හාර විසින් ගායනා කල මේ ගීතය ඔහුගේ රොමැන්ටික් ඔපෙරා ඇල්බමයට ඇතුලත් කළා.


ආදරය බොහෝ විට කෙළවර වෙන්නේ විවාහයෙන්. ඒ එදා ඒත් අද ආදරය කරන්නේ විවාහ වෙන්නමද. අද අපේ සමාජ සංස්‌කෘතියත් ගොඩාක්‌ දුරට බටහිර පන්නයට නැඹුරුවෙලා. ආදරය කියන්නේත් මේ සමාජ සංස්‌කෘතියේම කොටසක්‌නේ. ඒ නිසා සමාජ සංස්‌කෘතියත් සමගම ආදරයන් බටහිර ක්‍රමයට නතුවෙලා. ඒ නිසා තමයි ආදරයේ කෙළවර විවාහය නොවන බවට බොහෝ තරුණ තරුණියන් හිතන්නේ. අද ආදරයට ඉලක්‌කයක්‌ අරමුණක්‌ නැහැ. ගමනක්‌ තියෙනවා. ඒත් යන්න තැනක්‌ නැහැ. ඒ වගේ තමයි ආදරයත් තියෙනවා. ඒත් ඊට අරමුණක්‌ හේතුවක්‌, ඉමක්‌ කොනක්‌ නැහැ.


කසුන් කල්හාරගේ ගැඹුරු හඬින් ඉතා සංයමයෙන් වගේම හැඟුම්බරව ගැයෙන මේ ගීය විරහව විඳින කාටත් පොදු වූවක්‌.


ඇරඹුමම කඳුළක්‌ වෙලා

මා බලා ඉද්දී ඒ දිහා

ආ දුරත් දුර වැඩි නිසා

අවසානයට පෙර ඈ ගියා


මේ පෙම්වතා ගේ ආදරය පටන් ගන්නේම කඳුළකින්. ඒ කියන්නේ පටන් ගනිද්දීම ඒ ආදරයේ අවුලක්‌ තියෙනවා. ඉවරයක්‌ දකින්නෙ නැහැ. ආදරයේ කෙළවරට කලින්ම ඈ ඔහු දමා යනවා.


අපේ ප්‍රවීණතම ගීත රචකයා කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා දිලීප අබේසේකර මේ ගීය ගැන කියන්නේ මෙවන් අදහසක්‌.


මේ සිංදුවට මහා විශාල නිමිත්තක්‌ නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක්‌ දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්‌කයක්‌ නැති ප්‍රේමයක්‌ විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ.


දිලීප මේ ගීයේ සිදුවූ වෙනසක්‌ ගැනත්, සිහිපත් කළා. මම මුළින්ම ලියුවේ "ආ දුරත් දුර නැති නිසා කියලා. ඒත් කසුන්ට දෙවැනිවර ගීය රෙකෝඩ් කරද්දී ආ දුරත් දුර වැඩි නිසා කියලා වැරදිලා කියෑවුණා. දැන් හිතෙනවා ඒ වැරැද්ද හරි කියලා.


දුක්‌බරව කවියක්‌ ලියා

එහි පද පෙළක්‌ අඩුවෙන් තියා

අරුත පසදින්නට කියා

අවසානයට පෙර ඈ ගියා


සාමාන්‍යයෙන් කවියක්‌ නම් පද හතරක්‌ තිබිය යුතුයි කියා පිළිගැනීමක්‌ තියෙනවා. ඒක සම්මතයක්‌ම නොවේ. පද හතරක්‌ නැතිනම් කවියක්‌ සම්පූර්ණ වන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. අවසාන පදය නොතිබුණොත් ඒ කවිය අප්‍රබංසයක්‌.


දිලීප පවසන ආකාරයට මේ පෙම්වතාට ඔහුගේ පෙම්වතිය අප්‍රබංසයක්‌ ලියා දීලා. ඒක දුක්‌බර කවියක්‌ ඒත් පදපෙළේ අඩුවක්‌ තියෙනවා. හරියට තේරවිල්ලක්‌ වගේ අර්ථය තියෙන්නේ අන්තිම පදයේ. ඒත් ඈ ඒ පදය ලියා නැහැ. අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්. ඔහුට මෙය ප්‍රහේළිකාවක්‌ ඔන්න ඔය ආකාරයට තමයි අද පෙම්වතුන් ආදරය කරන්නේ යම්කිසි දුරකට එනවා ඒත් ඒ ඇවිත් අතරමැද නතර වෙනවා.


ශෝකාන්තය එන තුරා

එහි රැඳෙන්නට සිත් නැති නිසා

අනන්තය ළඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා


මේ විදිහට ගියොත් අවසානය ශෝකාන්තයක්‌ වන බව ඇය දන්නවා. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය වෙතට ගමන් කරන්නේ ඇයි. එසේ සිතන පෙම්වතිය ඔහුව අවසානයක්‌ නොදකින තැනක දමා පිටව යනවා.


අනන්තය ළඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා


අද තියෙන්නේ මේ වගේ ඕපපාතිකව පටන් අරන් නිමාවක්‌ නොදකින ආදරයක්‌. ඒක තමයි මට මේ ගීයට නිමිත්ත වුණේ. දිලීප ගීයේ නිමිත්ත සඳහන් කළා.


මේ ගීයේ තේරුම ගැන සමහරු විවිධ විදියට අර්ථ දක්‌වනවා. කවුදෝ කෙනෙක්‌ දවසක්‌ කසුන්ගෙන් ඇහුවාලු ඔයා ඔය ගායනා කරන්නේ ඔයාගේ අම්මා ගැනද කියලා. කසුන්ට මේකට තරමක්‌ කේන්ති ගිහිං. කීප දෙනෙක්‌ම මගෙනුත් ඇහුවා. ඔයා ඔය යම්කිසි කතාවක්‌ ගැන ලියපු ගීයක්‌ද කියලා.


නාලකගෙයි කසුන්ගෙයි දායකත්වය නිසා මේ ගීය ගැඹුරටම ගෙන ගියා. ගීයේ හැම විදියකින්ම අර්ථවත් වන්නේ අරමුණක්‌ නැති ස්‌වභාවයක්‌ ගැනයි. මේ දෙදෙනාගෙන් පළමුව යන්නේ පෙම්වතිය.


දිලීප එහෙම කියන්නේ මේ ගීය පිරිමි හඬකින් ගැයෙන නිසා ඒත් මේ ගියේ පද මාලාවේ ඈ යන්න වෙනස්‌ කර ඊට ඔහු කියා දමා කාන්තා හඬකින් ගැයුවොත්.....


මෙහි අරුත දෙපැත්තටම ගත හැකියි. ඒ මේ අත්දැකීම දෙපාර්ශවයටම පොදු නිසා.


මම මේ ගීතය හැදුවේ අවුරුදු හතරකට පහකට විතර කලින්. ගුවන් විදුලියේ අලුත් ගීත හදන වැඩසටහනකට. එහි මූලිකත්වය අරන් කටයුතු කළේ ඒරානන්ද හෙට්‌ටියාරච්චි තවමත් අලුත් ගීත හැදෙන්නේ ගුවන් විදුලියෙන්. ඒක වැදගත්. මේ ගීය තෝරා ගනිද්දී මමවත්, නාලකවත්. කසුන්වත් එකට හමුවුණේ නැහැ. අපි තුන්දෙනා එකතුවෙලා හදපු ගීතයක්‌ නොවේ. මේ ගීයට ඉඩකඩ හැදුවේ ගුවන් විදුලියයි.


(උපුටාගැනීම - දිවයින)



Thursday, June 17, 2021

ලක්වැසියන් කෙරෙහි නැමී ...

ලක්වැසි ජනතාවගේ දරුවන්ගේ සිත් තුළ ළදරු අවධියේ සිටම ජාතිකාභිමානය දැනවීම සඳහා ඔවුන්ගේ මහරු අතීතය සිහිපත් කරවන ළමා කාව්‍ය සාහිත්‍යයක් අප සතුව ඇත. මින් දශක නවයකට පෙර යුගයේ *ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් විසින් පබඳින ලද පද්‍ය අනූ පහකින් යුතු ‘දරු නැළැවිල්ල හෙවත් ජාතික තොටිල්ල’* ඒ අතර උසස් තැනක් ගනියි. ඒ පද්‍ය සංග්‍රහයෙන් තෝරාගත් පද්‍ය අටක් සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬින් සිංහල ගීත සාහිත්‍යයට එකතු වී ඇත. එහි පළමු පද්‍යය මෙසේය:


ලක්වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමී

පෙව්වේ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එමී


ඇස්. මහින්ද හිමියන්ගේ ජාතික තොටිල්ල කාව්‍ය සංග්‍රහයේ දසවැනි පද්‍යයෙන් ආරම්භ වන එම ගීතය සනාතන වටිනාකමින් යුතු වන අතර අද යුගයට එය අතිශයින්ම වැදගත් වෙයි. මිහිඳු මහරහතන් වහන්සේ සදහම් අම මී පොවා වැඩූ සිංහල සභ්‍යත්වය වර්තමාන යුගය වන විට මිසදිටු ඇදහිලි විශ්වාසයන්ගෙන් ආකූල ව්‍යාකූල වී පවතී. ඒ විසකුරු දෘෂ්ටි හා පුද්ගලයන් හඳුනාගෙන එයින් මිදී අරහත් මහ මිහිඳු හිමිපාණන් එදවස ලක්වැසියන් හට පෙවූ සදහම් මී යළි අප දරුවන් වෙත පෙවිය යුතු කාලය එළඹ තිබේ.


මවුබිමේ ඉතිහාසය නොදන්නා අධ්‍යාත්ම ශක්තියෙන් පිරිහුණු ජනකායකගේ දරුවන්ගේ සිත් තුළට බුදු දහමින් පෝෂණය වූ අතීත සභ්‍යත්වයේ මහිමය අනුක්‍රමයෙන් පිවිස වන ආකාරයට, ‘දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල’ කාව්‍යයේ කවි තෝරාගෙන ගීතයට එක් කොටගෙන තිබේ.


ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ


සිංහල ජාතිය නමැති රන් විමානයේ දැල්වූ මිණි පහන නම් සම්බුද්ධ ශාසනයයි. එම රූපකය සුනිල් එදිරිසිංහයන් ගයන වෙනත් ගීතයකින් කියැවුණේ ‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ’ යනුවෙනි. ඒ පින්බිමට විපත් පත් හැම විටම එය රැක ගැනීම සඳහා වීර පුරුෂයෙකු බිහි වූ අයුරු සිංහල මහාවංශයේ ලියැවී ඇත. ඒ යුගය දැන් උදා වී ඇති බැවින් පුතණුවනි මේ ඔබට අවස්ථාවයි.


මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝ වේ

මේ ගැන වැඩ කළොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ


බුදු දහමේ මිණි පහනින් එළිය වූ උතුම් ලංකාද්වීපය දුසිරිත් ආකාරයක් බවට පත්ව තිබේ. එය වළකා රට නැඟුවොත් පුතණුවනි, ඔබගේ නම රන් අකුරින් ලියැවෙනු ඇත.


ඉටු කොට කළ යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන් නම්

නුඹයි මගේ පුතා උතුම්


කලක් මිසදිටු ඇදහිලි වලට, දුසිරිතට, නිවට ගැති පිළිවෙතට යොමුව සිටි රටක් නැගුම ලෙහෙසි පහසු කාරියක් නොවේ. දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීම, වර්ග බෙදුම්වාදීන් මැඩීම ලොවෙත් ගැරහුම් ලැබීමට හේතුවන ක්‍රියා වෙයි. ඒවා ඉවසා රට නැගුමේ පිළිවෙතට උර දීම උතුම් ලක් පුතෙකුගේ කාරිය වන්නේය.


තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොළොත් උඹෙන් පුතේ

මෙලොවට කිසි ඵලක් නැතේ


අප උපන්දා සිට වැඩුණේ මේ රන් දිවයිනේ සාරය උරා බීමෙනි. දෙරණ ලිය දෙන භව භෝග සම්පත් භුක්ති විඳිමින්, මුනි සිරිපා, සිරි දළදා, සිරිමහබෝ, රන්වැලි සෑ දාගැබ් පිසගෙන හමන සුළං රැල් උරමින් අපි හැදී වැඩුණෙමු. එබඳු අනුප්‍රාණයක් ලබා දුන් රටට අප දිවි පෙවෙතින් කොටසක් – එනම් මෙහෙවරක් අප ලබා දිය යුතු ය. එය කළ හැක්කේ ශ්‍රම ශක්තියෙන් හා නැණ නුවණ මෙහෙයා කරන සේවයෙනි.


මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකත් හිරිහැරයත්

නිවනට සම කොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්


තමන් උපන් රටට, ජාතියට, ආගමට ළැදිව සේවය කිරීමෙන් අප ලබන තෘප්තිය ඉමහත්ය. අප ඉන් ලබන වෙහෙස, දුක්ගැහැට, හෙළන දහදිය බිඳු අපගේ මෙන් ම සියලු රටවැසියන්ගේ යහපත උදෙසාය. 


කාටත් හිමි පොදු දේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරවිරුකම්


අටලෝ දහම හුරු දිවි පෙවෙතකට උරුමකම් කියන හෙළදිව ජනතාව, තමන්ට මුහුණ පෑමට සිදුවන හිඟපාඩුකම් – අවහිරකම් විඳ දරා ගැනීමට ශක්තිය ඇත්තෝය.


එම හැකියාව අප ලැබුවේ බුදු දහම විසින් අප ජාතියට උරුම කොට දෙන ලද නොසැලෙන අධිෂ්ඨාන වීර්යය නිසාවෙනි. එය වූ කලී අප්‍රමාදයෙන් ප්‍රමාදය ජය ගැනීම පිළිබඳ ධීරයකු සතු ගුණයයි.


උස් තැන් දැක හැකිළෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ


ආදී සිංහල ජනයා කවරම බලවේගයක් හමුවේ වුවද නිවටුන් ලෙස හැකිළුණේ නැත. ජාතිය නිසා හෝ ආගම නිසා හෝ පුතුන් නිසා හෝ ධනය නිසා හෝ අධර්මයෙන් ජයග්‍රහණයක් නොපැතූ ඔවුහු කිසිදු කරුණක් නිසාවත් අසරණයන් නොපෙළුෑහ. තමන් අබිමුව වැටුණ පරාජිතයින්ට පවා ගෞරව කළහ. එසේ කටයුතු කිරීමෙන් ඉහළ තැනකට නැඟෙන පුතා අන් ජාතීන්ටද සුව සෙත සලසමින් සිංහල ජාතිය බබුළුවන්නේය. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේය.


ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් මම පොවමි එමී


ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය ‍රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ


මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කොලොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ


ඉටු කොට කල යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන්නම්

නුඹයි මගේ පුතා උතුම්


තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොලොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ


මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරිකොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්


කාටත් හිමි පොදුදේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරු විරුකම්


උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ


ගායනය :සුනිල් එදිරිසිංහ

පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

සංගීතය : රෝහණ වීරසිංහ


(උපුටා ගැනීම – දයාපාල ජයනෙත්ති)




Friday, June 11, 2021

කඳුළ නිවන්නම් ...

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්

තනියට ඉන්නම් තනි නොකරනවා නම්

මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්

සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්


මල් පූදින්නේ දැඟිලි අතරේ

තැලී පෙලී මියෑදෙන්න නොවේ

සෙනෙහෙ පුදන්නේ සෙනේ ලබන්නයි

හිත රිදවුම් සඟවන්න නොවේ


සඳ පායන්නේ හිරු නැති ලෝකේ

ඝනදුර දුරු කරවාලන්නයි

සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ

හිතකට එළියක්‌ ලැබ දෙන්නයි


පද රචනය හා තනුව  අශෝක කෝවිලගේ

ගායනය - ප්‍රියානි ජයසිංහ


ආදරය හරිම සුන්දරයි පවිත්‍රයි  ආදරයේ සුන්දර බව පවිත්‍රත්වය රඳා පවතින්නේ දෙදෙනාම එකිනෙකා ගැන එක හා සමානව හිතනවා නම් විතරයි. දෙදෙනාගේම හැඟීම් එක හා සමාන විය යුතුයි. හරියට තරාදියක්‌ වගේ. තරදිය සමබර වෙනවා වගේ තමයි දෙදෙනාගේ ආදරයත්. එක පැත්තක්‌ අඩු වුණොත් සමබරතාවය බිඳෙනවා. ආදරයේ සුන්දර බව පවිත්‍ර බව අඩුවෙලා යනවා.


කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්

තනියට ඉන්නම් තනි නොකරනවා නම්

මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්

සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්


මගේ නෙතට කඳුළු නොදුන්නොත් මම ඔයාගේ දුක්‌ කඳුළුත් නිවා දමන්නම්. මාව තනි කරන්න එපා. මාව තනි නොකළොත් මමත් ඔයාගේ තනියට ඉන්නම්. මාව අමතක නොකළොත් මම ඔයාගේ මතකයේ රැඳී ඉන්නම්. මගේ හිතට රිදවුම් ගෙන නොදුන්නොත් මම ඔයාට ආදරය කරන්නම්...


තරුණියකගෙන් තරුණයකුට කොන්දේසි මාලාවක්‌. ආදරය කරනවා නම් දෙදෙනාම සමබර විය යුතු බවයි මේ කියන්නේ. ආදරයේ සමබරතාව ගැන කියන මේ ගීය ලියුවේ අශෝක කෝවිලගේ. තනුවත් ඔහුගේමයි. දැන් අපි අශෝකට මඳක්‌ සවන් දෙමු.


මේ සිංදුව කරලා අවුරුදු පහළොවක්‌ විතර ඇති. ඒ මම සංගීත ක්‍ෂේත්‍රයට ආ අලුත. මගේ පළමු ගීය "සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ" ගයන්න මාලිනී බුලත්සිංහල ශිල්පිනිය ඉල්ලා ගත්තා. ඉන්පසු තමයි මම මේ කඳුළු නිවන්නම් ගීය ලියුවේ.. ඒත් ගීතය පටිගත කරද්දී සමහර වචන වෙනස්‌ වුණා. මේ ගීය හදල අපේ බෑන්ඩ් එකේ ගායනා කරන්න ප්‍රියානිට ආරාධනා කළා. ඇගේ හඬට ගීය ගැලපුණා. අපි මංගල සාදවල මේ ගීය ගැයුවා. එක්‌ මංගල සාදයකදී තුන්සැරයක්‌ම කඳුළ නිවන්නම් ගායනා කරන්න ප්‍රියානිට සිද්ධ වුණා. ඒ තරමට ගීයට ප්‍රතිචාර ලැබුණා. ඉන් පස්‌සේ තමයි අපි තීරණය කළේ ගීය පටිගත කරන්න. අපි නොහිතපු ලෙස ගීතය ජනප්‍රිය වුණා.


මල් පූදින්නේ දෑඟිලි අතරේ

තැලී පෙලී මියෑදෙන්න නොවේ

සෙනෙහෙ පුදන්නේ සෙනේ ලබන්නයි

හිත රිදවුම් සඟවන්න නොවේ


පිපුන මලක හැඩ දෙනෙත්වලට කොයිතරම් සුන්දරත්වයක්‌ ගෙන දෙනවද. පිපුණු මලක ලස්‌සන වඩාත් වැඩියෙන් විඳින්න පුළුවන් වන්නේ ගසේම තියෙද්දී නටුව අගට වී සුළඟට සෙලවෙමින් දසත සුවඳ පතුරන මල කෙතරම් පිවිතුරුද. මලක්‌ පූදින්නේ මේ සුන්දරත්වය ලබාදෙන්න මිස නටුව අගින් කඩා අතැඟිලි අතර තැලී පොඩි වී විනාශ වෙන්නද. නැහැ ඒ වගේ තමයි ආදරයත්. ආදරයක්‌ නැති හදවතකට නොවේ පෙම පිදිය යුත්තේ. ආදරය පිදිය යුත්තේ ආදරයක්‌ ලබන්න මිසක්‌ දුක කඳුළ සඟවා ජීවත්වෙන්න නොවේ.


සඳ පායන්නේ හිරු නැති ලෝකේ

ඝනඳුර දුරු කරවාලන්නයි

සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ

හිතකට එළියක්‌ ලැබ දෙන්නයි


හිරු බැස ගිය විට මුළු ලොවම අන්ධකාරයෙන් වෙළාගනී. ඒ ඝනඳුර දුරු කරන්නයි සඳ පායන්නේ. හඳ එළියත් හරියට පිවිතුරු ආදරය වගේ. හුදෙකලා වූ අඳුරු හිතකට පිවිතුරු ආදරයක්‌ පුද කළොත්. ඒ ජීවිතය අනිවාර්යයෙන්ම එළිය වෙනවා. හරියට සඳ එළියෙන් රැයේ ඝනඳුර මැකී යනවා වගේ.


ලස්‌සන ගීයක්‌. ප්‍රියානිගේ හඬ ගීයේ අරුත වඩාත් උද්දීපනය කරනවා. ගීය හොඳින් අසන්න. තනුවේත් අමුත්තක්‌ දැනෙන බව කිව යුතුමයි.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන් / දිවයින)



Monday, May 31, 2021

හිම දියවී හිමාලයේ ...

ලාංකීය සුභාවිත ගීත සාහිත්‍යයේ හමුවන අපූර්ව ගීතයක්. සදාතනික ආදරවන්තයන් වූ රාඨා සහ ක්‍රිෂ්ණා යොදාගෙන ප්‍රේමයේ හිනිපෙත්තටම නැග ශෘංගාරය ඉදිරිපත් කරයි.


හිම දියවී හිමාලයේ යමුනා ගගඟ 

නගයි තරංගා..සුදු පෙණකැටි බලන්න රාධා....

සුළඟ හමයි සීතල සාදා..

සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..


හිමාලයේ හිම දියවී යමුනා ගඟ උතුරන අවස්ථාවක ගඟ අසල දෙදෙනාගේ හමුවීම සිදුවෙයි. හිම දියවී ඇත්තේ දෙදෙනාගේ ප්‍රේමයේ ඇති උණුසුම නිසාය..


සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාශේ

පීනන මේ ස්වර්න හංසයෝ..

අකීකරුද මෙතරම් රාධා..


වත නැමැති නීල ජලාශයේ පීනන ස්වර්ණ හංසයන් ඇගේ ලැම යි. හංසයෝ අකීකරුවීම යනු ඇගේ ලැමෙහි ඇති ආකර්ශනීය බවයි..


ඉඩදී දෙන්නට දඬුවම්

දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..


"මාගේ ලැම හංසයන්ට ඔබ කැමති දඬුවමක් දෙන්න මම එය දෑස් පියාගෙන රසවිඳින්නම්" ශෘංගාරයේ රසය අපූරුවට ඉදිරිපත් කරන අවස්තාවක්..


මල්පෙති පොඩි වී ඉකිලන මේ හෝපලු

යහන් තලාවේ

සඳ දිය මිණිමෙවුලට වැටිලා

දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණිකැට

දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..


දෙදෙනා හමු වී ඇත්තේ රාත්‍රියේ සඳ සෙවනකය. සඳ එළිය මිණිමෙවුලට වැටිල දෑස නිලංකාර වෙලා.. සංකල්ප රූප..


ඇත්තටම මොකක්ද මේ මිණිමෙවුල...!!!! ම්ණි මෙවුල යනු අතීතයේ කතුන් තම රහසඟ වැසෙන සේ පැලඳි ආභරණයකි ...


ගායනය    :  අමරසිරි පීරිස් සමඟ වසන්තා තිලකාංගනී

පද රචවය : ධම්මික බණ්ඩාර (ආදී ආනන්දීයෙකි) මගේ පුංචි රෝස මලේ, හන්තානට පායන සඳ, ඇය ආයෙමත් ඇවිදින් යන ගීත රචනා කොට ඇත.

සංගීතය : ඩැනිස්ටර් පෙරේරා




Wednesday, May 19, 2021

මිටින් මුදා හැර බැලුවෙමි ...

මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//


සැඟෙව්වාට වලාකුළක් දුහුලින්

කලා සපිරි සඳ වැසුණාදෝ

හමා ගියද මාරුතයක්

සුළඟට තරු එළියත් නිවී යාවිදෝ


මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී


ගරා වැටෙන මහ වැස්සට සේදී

මලෙක පැහැය දියව යාවිදෝ

සමුගන්නට සිදු වූවත්

අපට දැනුන සුවඳ මැකී යාවිදෝ


මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//


ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග

පද - රත්මලේ බන්දුල ගුණවර්ධන

තනුව - විජේරත්න රණතුංග


මිටින් මුදා හැර බැලූවෙමි” කලක් ගීත දර්ශකවල එක දිගට ප‍්‍රචාරය වූ ගීතයක්?

 

රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මං දන්න දෙන්නෙක් හිටියා. මේ පෙම්වතා සහ පෙම්වතිය ඉතා සමීපව ඇසුරු කරන පවුල් දෙකක දරුවෝ දෙන්නෙක්. මේ දෙන්නගේ පවුල් දෙක කොතරම් සමීපද කියනවා නම් මේ දෙන්නට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරගන්න හැකියාවක් ධෛර්යයක් තිබුණේ නැහැ. දෙන්නම ගෙවල්වල අයට මේ ගැන කියන්න බය වුණා. හැබැයි ඔවුන් යටි සිතින් දැඩි ලෙස ආදරය කළා දෙන්නට දෙන්නා. මේ තරුණයට ආත්ම ශක්තියක් තිබුණේ නෑ මේ කාරණාව මේ යුවතියට ඉදිරිපත් කරන්න. නමුත් ආදරය දළුලා වැඩිලා එහෙමම ගියා. ආදරයක් කරලා ආදරවන්තයන් සේ ප‍්‍රකාශයට පත් නොවුණත් හදවතින් සිතින් ආදරවන්තයන්ට වඩා ඔවුන් ළංවෙලා හිටියා. ඒ අතරේ අවසාන කාලය වෙනකොට ආදරේ ප‍්‍රකාශ නොකර ඉන්න බැරිවෙලා කොහොම හරි අහම්බෙන් ආදරය ප‍්‍රකාශ කරනවා මේ තරුණයා තරුණියට. නමුත් එතකොට අර යුවතියට විවාහ යෝජනා ඇවිල්ලා. ඇයට සමුගන්න සිද්ධ වෙනවා. ප‍්‍රමාද වැඩියි. ඉතිං ඔහුගේ ප‍්‍රමාදය පසුතැවිල්ලකට හේතු වුණා. ඒත් ඔවුන් තරහා වුණේ නැහැ, ඒ සුහදතාව ඒ විදිහටම තියා ගත්තා. ප‍්‍රකාශයට පත් නොකරපු ඒ ආදරයේ මිහිරියාව ඔවුන් තුළ අදටත් ඒ විදිහටම තියෙනවා. ඕක තමයි කතාව. මට මතකයි මේ ගීතයට දුරකථන ඇමතුම් ලැබුණා මට හරියට. මේක ඔයාගේ ගීතය නෙමෙයි මේක මගේ ගීතය කියලා බොහෝ දෙනෙක් කිව්වා. ඒ කියන්නේ මේ ගීතයේ අත්දැකීම ගොඩක් අයට ඇති.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Monday, May 17, 2021

රූකඩ මඩු යාග පොලේ ...

රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ

ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...


ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට

ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු

මලට ළොලේ පිණි කඳුළේ

නිතර රැඳී උන් බඹරින්දු....


යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා

මාල හතක වරම ගන්න දෑත වනන්නා

නිබඳ මගේ පිරුණු සෙනේ

නුඹ නොදනී මල්මද ලන්දු...


පද රචනය - වසන්ත කුමාර කොබවක

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


කතා ව්‍යවහාරයම ගීතයට තිඹිරි ගෙය වන්නට ඇත. හේතුව කතාවද නාදයකි. එසේ නම් ගීතය ද නාදයක්‌ම බව අපි දනිමු. මේ නිසාම ගීතය සෙසු සාහිත්‍යාංග පරයා ජනතාවට ඉතාමත් සමීප සාහිත්‍යාංගය ලෙස දැක්‌වීම වරදක්‌ නොවේ. අංග සම්පූර්ණ ගීතයක්‌ පහළවීමට පද, අර්ථය, රසය, භාවය, නාදය, ශ්‍රැතිය, ස්‌වරය, රාගය, ඡන්දස, වෘන්දය, ලළනය, කාලය මැනවි සුසංයෝජනය විය යුතුය. එවිට අප පතන තෘප්තිය, මානසික සුවය, හා ආධ්‍යාත්මික ආනන්දය හදවතේ ගැඹුරුම තැන ස්‌පර්ශ කරනා අපූරුව මොනවට පැහැදිලිය.


වසර විසිහයකට ඔබ්බෙහි ඉහත සඳහන් රසභාව උද්දීපනය කළ ගීතයක්‌ තවමත් සහෘද හදවතේ ජීවත්වීම ආනන්ද ජනක ලකුණකි. ආදරය, විරහාව, ප්‍රේමය, සෙනෙහස, තේමාව කරගත් එදා මෙදා තුර ඇසුණු ගීත සම්භාරය සුළුපටු නොවේ. නමුදු චිරාත්කාලයක්‌ එකසේ ජනප්‍රිය වූ ගීත ඇත්නම් ඒ අතළොස්‌සකි.


රූකඩ මඩුයාග පොලේ

කෝළ නුඹේ රුවට ලොලේ

ආල පිරූ මා ගැන් දැන්

නැද්ද නිනව්වක්‌......


කොළඹ සඳ එළිය ගමේ සඳ එළිය තරම් අවිහිංසක නැත. කොළඹ පිපෙන මල් ගමේ පිපෙන මල් තරම් සුන්දර නොමැත. ගමේ උපදින ආදරය ද එසේමය. සෞම්‍යය. පාරිශුද්ධය. හැඟුම්බරය. මේ සියල්ලටමත් වඩා සංවරය. විනීතය. සදාචාර සම්පන්නය. ගුරු දෙගුරුන්ට අවනතය. ඒ නිසාම ගමේ දෙහදක භද්‍ර යෞවනය මතින් කල එළි බසිනා ප්‍රේමය ද මල්ඵල දරන්නේ ගමේ යාග පොළේ, රූකඩ මඩුව සමීපයේ, සල්පිලේ වීම යට කී අවිහිංසක බව තව තවත් ත්‍රීව්‍ර කරන්නකි. මෙවන් තැනකදී ඔවුනොවුන්ට වදනක්‌ දෙකක්‌ කතා කරන්නට නොහැකි වන කළ නෙතිත් නෙත දොඩා සිත් සනහා ගැනීමට තරම් ගමේ උපදිනා පෙම් සිත් තාදි ගුණයෙන් පොහොසත්ය.


ගමේ වැල ගමේ කපුටන්ට යෑයි කතාවක්‌ තිබුණ ද, ගමේ යුවතිය ගමේම තරුණයෙකුගේ සුළැඟිල්ලේ නොදැවටෙනා තැන් ද නැතුවා නොවේ. එවන් අනුභූතියක්‌ වසන්ත කුමාර කොබවක පද අහුරකට ගොනු කළේ ජනශ්‍රැතිය ද ඇසුරු කරගෙනය. මෙවන් යුගයක ගමේ යුවතිය ගම හැර යන හේතු කාරණා බොහොමයක්‌ ඇත. ඇතැම් විට සිදාදියේ රැකියාවකට විය හැකිය. නැතිනම් සරසවියට වීමට පුළුවන. මේ දුරස්‌වීම නිසා ඇයට ඔහු ගැන නිනව්වක්‌ නොමැත. මින් මතුවෙන විප්‍රලම්භ ශෘංගාරය වසන්ත කුමාර මතු දැක්‌වූ පදවැල් හා මුසුකර ඇති ආකාරය අතිශයෙන්ම ප්‍රශස්‌තය


ඈතලන්ද දිය මංකඩ

බෝම පිපී තිබුණු මලට

ආලවන්ත බහක්‌ දෙන්න

ආ බඹරින්දූ......


ඔහුගේ බොහෝ ගීතවල දිස්‌වන්නේ එකම රටාවකි. එනම් ඒ ජන කවි ආරය. උපමා අලංකාර යෙදුම් මතින් ජන කවියට සමීප වන මේ බස්‌ වහර විධිත්, කවි බස මතුකරලීමට සමත් ය. මේ වසන්තයේ ගැමි සංස්‌කෘතියේ ප්‍රතිභා ප්‍රභාව යෑයි පැවසීම වරදක්‌ නොවේ. අජීවී ස්‌වභාවික පරිසරයට සජීවී බව ආරෝපණය කරනා රචකයා ගමේ ගොඩේ ගහේ වැලේ මලේ කොළේ රුව ගුණ ඔස්‌සේ ඇය මලක්‌ ලෙස ද ඔහු බඹරා සේ මතු කරලීමට සමත්ව ඇත.


යාය පුරා මල් උතුරා

කෝල දැරිවි කුමරි වෙලා

මාල හතක වරම ගන්න

දැත් වනන්නා...

නිබඳ මගේ පිරුණු සෙනේ

නුඹ නොදනී මල් මද ලන්දූ


ළඳ බොළඳ කම් පෑ දැරිවිය මල්වර වූ දවසේ ඔහුගේ සිතේ උපදින අව්‍යාජ විනීත ආස්‌වාදය ඇතිකරලන්නට මලෙක මෙලෙක මතුකරලීම අලංකාරය සිහිගන්වන්නකි. මෙම බස්‌වහර භාවාර්ථ මතු වනසේ මුළු ගේය පද සංකල්පනාව පුරාම ගලායැම ජන සාහිත්‍ය  විචාර සිහිගන්වන්නකි. ඇය දීග යන වයසේ පසුවනවා පමණක්‌ නොව දෙමවුපියන් ඒ සඳහා මඟ හසර ලක ලැහැස්‌ති කරදී අවසාන බවද මේ පදවැල් හීං යටි පෙළින් ශ්‍රාවක සිතට ගම්‍ය කර ඇත්තේ සංකේත භාවිතයෙනි. රූපකාර්ථවත් බස්‌ වහර මතින් ඔහුගේ චින්තාවලිය වේදනා ප්‍රවාහයක්‌ බවට පත් නොකර සංවේගයේ මන්ද මාරුතයක්‌ කරන්නට උපයුක්‌ත කර ගත් බස්‌ වහර මනාව සෑහේ.


කෝළම්, නාඩගම් සම්ප්‍රදායේ ගායනාවක්‌ මේ පදවැල හා මුසුව ඇතැයි ශ්‍රාවකයාට හැඟේ. ඒ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායකගේ හඬෙහි සුසංගතව පවත්නා පාරම්පරික ගැමිකම හේතුවෙනි. පැරැණිතම වූත් නාද නිධානය ගැබ්ව ඇත්තේ මිනිස්‌ කටහඬේ යැයි යන අදහසට උපරිම සාධාරණය ඉටු කරලීමට මුවින් හඬ රටා පමණක්‌ නොව සප්ත ස්‌වර නාද රටාව ද මුසු කිරීමට රත්නායකයෝ පොහොසත් බව පෙන්වූහ. මේ නිසා මෙවන් ගීත ඇසෙන කල අප ලබන ආනන්දය මේ විශ්වය පුරා ඇති මනුස්‌සකමේ සෙනෙහසට හා දයාවට අප පෙරළා ආදරය කළ යුතු බව මතුකරලන්නකි. ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලන්නට අප තරම් ශික්‍ෂණයක්‌ ලැබූ ජාතියක්‌ වෙන කොතැනකවත් නැත. ඒ බව පසක්‌ කෙරුමට මේ ගීතය මතින් උපන් හෘද සාක්‍ෂිය වඩාත් අප්‍රමාණිකය.


(උපුටා ගැනීම - දිවයින)




Thursday, May 13, 2021

උන්මාද සිතුවම් ...

උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ

පාළු හුදකලා සුළඟ පමණි උරුමේ

හඬා වැටෙන සිත සදාසරණ මත

තනිවේවි එක්ටැම්ගේ


උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


දහසක් මල් මැද එකම මලයි පැතුවේ

එමල කිමද සරදම් කර සැඟව ගියේ

දැනේ තවම මට මලේ සුවඳ පොද

තනිවේවි එක්ටැම්ගේ


උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


තනිවේවි එක්ටැම්ගේ ////.


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව - සරත් දසනායක


1980 දී තිරගත වූ "එක්ටැම් ගේ' සිනමා කෘතියේ ගීයකි.


සිංහල සාහිත්‍යයේ ප්‍රසිද්ධ එක් ටැම් ගෙවල් දෙකක් හමුවේ. පඩුවස්දෙව් රජුගේ දියණිය වූ උන්මාද චිත්‍රා සිය සොයුරන් විසින් සිය රාජ්‍යයත්වය පිළිබඳවු බියක් හේතුවෙන් එක් ටැම්ගෙයක සිරකර පුවත අප අසා ඇත්තේ කුඩා කාලේයෙදීය. 


දෙවන එක්ටැම් ගේ අපට හමුවන්නේ හර්බට් රන්ජිත් පිරිස් ශුරීන් විසින් අධ්‍යක්ශණය කර 1980 දී රිදී තිරයේ දිග හැරුනු එක්ටැම් ගේ සිනමා නිර්මාණයයි.

එක්ටැම් ගේ  චිත්‍රපටියේ මාලි (මාලිනි ෆොන්සේකා) ඉතා දුකසේ ජීවනෝපාය ගෙනියන මවකගේ දුවක්. මේ මවගේ ජීවනෝපාය වුයේ බත් සැපයිමයි. මෙම නිවසට නිතර යන එන විල්සන් (ජෝ අබේවික්‍රම) ස්වොත්සාහයෙන් දියුණුවන තලතුනා වයසක් කෙනෙක්. මෙම නිවස අසල ඇති වැඩපොලක සුපවයිසර් කෙනෙක් වන සරත්ට (රවීන්ද්‍ර රණ්දෙනිය) මාලි ගැන අදහසක් පහල වෙනවා. ඔහු කෙලිදෙලෙන් ගෙවන කෙනෙක් වුවත් ඔහුට මාලි ගැන ඇතිවෙන්නේ අවංක ආදරයක්. මේ අවංකකම කෙතරම්ද කියනවනම් ඔහු තමන් මීට පෙර තරුණියන් දහතුන්දෙක් හා සම්බන්දකම් පැවැත්වූ බව මාලි හා පවසනවා. ඔහුගේ අවංකකම හදුනා නොගන්නා මාලි ඔහුගේ ආදරය සැක කරනවා. මේ අතර විල්සන්ගේ මාලිට විවාහ යෝජනාවක් එන්නේ විල්සන් තම නමට ගත් ලොරිය භාරයක් ඔප්පු කිරීමට කතරගම වන්දනාමාන කරන අතරමයි. මාලිගේ මව මේ ගැන කිසිදු දෙගිඩියාවක් නැතුවම කැමත්ත දෙනවා. මාලිද සිය හිත තුල වූ සැක සංකා නිසාම විල්සන්ට කැමත්ත දෙනවා. ඒත් විල්සන් කියන්නේ මුදල් මත ජීවිතය මෙහෙයවන කෙනෙක්. මාලිගේ වයසත් සමඟ විල්සන්ගේ නොගැලපීම් මතුවෙන්නේ මාලිගේ හිතේ මතුවෙමින් යටයන පැරනි ආදරය හෙතුවෙනි. විල්සන්ගේන් ඉවත් වන ඇය, ඈ නොපිළිගත් ආදරය සොයනවා. ඒ වන විට අර සුපවයිසර්වරයා සමාජ ආශ්‍රයෙන් ඈත්ව, ප්‍රදිපාගාරයක (එක්ටැම්ගෙයකට සමාන) ජීවත්වන බව ඇයට ආරංචි වෙනවා. උන්මාද සිතුවම් මැවේ සිදේ ගීතය මතුවෙන්නේ එක්ටැම්ගේ චිත්‍රපටියේ අවසාන යාමේදී එනම් මාලි තම පැරණි පෙම්වතා බලන්න යන ගමනේදී.


උන්මාද සිතුවම් මැවේ බි‍ඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්

තනි වේවි එක් ටැම් ගේ


මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත, සරත් දසනාකයන් විසින් සංගීතය සම්පාදනය කල එක්ටැම්ගේ ගීතය ගයන්නේ අප අතරින් වියෝවූ ගුණදාස කපුගේ ශුරින් විසින්. මේ ගීතය සදහා ගායකයෙක් තෝරාගැනිම ගැන විවාදයක් ඇතිවී තියෙනවා. බොහෝ අය අමරදේවයන් යොජනා කරද්දී මේ ගීතයට ගැලපෙන්නේ කපුගේ ගේ හඬ කියා සරත් දිසානායකගේ තීරණයට හැමෝම එකඟ වෙලා තියෙනවා. කපුගේ ගේ හඬ මේ ගීතය පුරාවටම රසිකයා සලිත කරනවා. එක්ටැම්ගේ චිත්‍රපටියේ මතුවීමට මුලිකව බල පෑවේ මෙම ගීතයයි. සමස්ත චිත්‍රපටියේම විනාඩි තුනකට කැටිකීරීමට මෙම ගීතය සමත් වෙයි.


ගීතය පටන් ගන්නේ උන්මාද වචනයෙන්. එය කලින් සදහන් කල උන්මාද චිත්‍රාගේ එකටැම්ගෙට පාඨකයා සම්බන්ධ කරයි. එහෙත් වෙනසක් ඇත. උන්මාද චිත්‍රා එක්ටැම්ගේ ගතවුයේ දේශපාලන හේතුවක් ලෙස මිස ස්වකැමත්තෙන් නොවේ. එහෙත් චිත්‍රපටියේ එක්ටැම් ගතවන්නේ ස්වකැමැත්තෙන්ම මෙන්ම චිත්‍රාමෙන් නොව සමාජයෙන් ලැබෙන ඇරයුමද ප්‍රතික්ෂේප කරයි. 


අනන්ත සයුරේ බියකරු දියඹේ

පාළු හුදකලා සලඟ පමණි උරුමේ

හඩා වැටෙන සිත සදා සරණ මට

තනි වේවි එක් ටැම් ගේ


උන්මාද චිත්‍රාව එකටැම්ගෙයක සිරකරන ලද්දේ එහි සිට සමාජ සම්බන්ධතා පැවැත්විය නොහැකි නිසා විය යුතුය. එහෙයින් එකටැම්ගෙයක් ඇති පාළුව හුදකලාව ගැන වෙනත් වචන නැත.


දහසක් මල් මැද එකම මලයි පැතුවේ

එමල කිමද සරදම් කර සැගව ගියේ

දැනේ තවම මට මලේ සුවඳ පොඳ

තනි වේවි එක් ටැම් ගේ


දහසක් මල් මැද එකම මලයි පැතුවේ. ඔහු කිහිප දෙන්ක් ඇසුරු කලද ඔහු පැතුවේ මාලි පමණය. මෙම ගීතයේ සංවේදීතම තැන මෙතනයි. එය තමන්ගේ කෙලිකාරකමට ලද ත්‍යාගයකි. එහෙත් ජීවිතයේ සමහර අවස්ථා යලි නිවැරදි කල නොහැක.


(උපුටා ගැනීම - අලියා දැකීම බ්ලොග් අඩවිය)




Friday, April 23, 2021

හන්තානට පායන හද ...

හන්තානට පායන හද ලස්සනයිද කියන්න

මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න//


අඳුරු ලලා වහිනා කළ සරසවි බිම තෙමෙන්න

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න..


ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න //

මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න


හන්තානට පායන හද ලස්සනයිද කියන්න

මා නොදකින  ඒ පුර හද ඔබට හැකිය දකින්න


පද රචනය : ධම්මික බණ්ඩාර 

ගායනය : අමරසිරි පීරිස් 

සංගීතය : ඩැනිස්ටර් පෙරේරා 


මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ පෞද්ගලික අත්දැකීමක් පදනම් කොට ගෙන ගෙත්තම් කරන ලද්දකි. ඔහු ඉගැන් වූ උසස් පෙළ පංතියේ සිදුවීමක් වස්තු විෂය වී ඇත. එනම් එම පංතියේ සිටි සිසුවකුගේ හා සිසුවියකගේ ප්‍රේම සබදතාවයකි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය. නමුත් සිසුවාට සරසවි වරම් නොලබන්නට විය. කලකට පසු දම්මික බණ්ඩාරයන්ට  මෙම සිසුවා මුණගැසිණි .  ඔහුගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ " සර්, මම ඒ සම්බන්ධය නතර කරා. මට කැම්පස් යන්න බැරි වුනා.එයාගේ ලෝකය දැන් වෙනස්නේ.. මම දන්නවා ඒක හරි ලස්සනයි.. මම එයත් එක්ක හිටියම එයාට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒකයි මම එහෙම කරේ" යනුවෙනි.


ධම්මික බණ්ඩාරයන්ගේ හදවතට දැනුන මෙම සිසුවාගේ හා සිසුවියගේ විප්‍රයෝගය උපයුක්ත කොට ගනිමින් " හන්තානට පායන හද ලස්සනයිද කියන්න.. " යන ගීතයෙහි පද බදින ලදී. ප්‍රේමයේ දී පරිත්‍යාගයන් අපට ඇසෙනුයේ දකිනුයේ ඉතා කලාතුරකිනි . ප්‍රේමය වෙනුවෙන් ගුටි බැට මෙන්ම මරාගන්නා සමාජ තත්වයක මෙවන් වූ ආත්ම පරිත්‍යාගයෙන් යුතු ප්‍රේමවන්තයන් ඉතා විරලය.


මෙහි එන ප්‍රේමවන්තයා ඔහු ආදරය කළ ප්‍රේමවන්තියගෙන් මෙසේ වෙන්වෙනුයේ නිසැකවම ඇයට ආදරය නිසා ය. නොඑසේනම් සරසවියෙහි ඇති සුන්දර ලෝකයෙන් සිමා මයිම්,  තහන්චි දමා ඈ ඇද බැද තබා ඔහුගේ ලෝකයට කැන්දා ගන්නට ඔහුට තිබුනි. නමුත් ඇගේ අනාගත අභිවෘද්ධිය තකා ඇයගෙන් වෙන්වූයේ උපෙක්ෂාවෙනි.


හන්තානට පායන හද ලස්සනයිද කියන්න 

මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..


පේරාදෙණිය විශ්වවිද්‍යාලය හන්තාන කන්ද සමඟ සමීප නෑ සබඳතාවක් කියයි. විශ්වවිද්‍යාලයේ පෙම්වතුන්ගේ පාරාදීසයක් බවට හන්තාන කන්ද පත්ව ඇත. තමා පෙම් කළ ඒ යුවතියට පෙම්වතකුගේ දෑතෙහි වෙලී හන්තාන කන්දේ ඇති සුන්දරත්වය දකින්නට, විදින්නට සැලැස්වීමට ඔහු ඇයගේ ජීවිතයෙන් සමුගනියි.


අදුරු ලලා වහිනා කළ සරසවි බිම තෙමෙන්න 

කුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න..


සරසවිය තුළ පෙම්වතුන් කුඩ යටට වි පෙම් සුව විදිනා බව දන්නා නිසාම ඇය වෙනුවෙන් ඔහු ප්‍රාර්ථනාවක් එක්කරයි. ඔහු ඇගේ ජීවිතයෙන් සමුගන්නා ලද්දේ ඇගේ ජීවිතය රිසි සේ විදිමට හැකිවේවා යන අහිංසක බලාපොරොත්තුවකිනි  . හිරි පොද වැස්සේ සරසවිය තුළ අන් පෙම්වතුන්ගේ ප්‍රේම ජවනිකා ඇගෙ දෙනෙතට හසුවේ. එහෙයින්නි ඈ යන එන මග තොට ඇගේ හිතට පාළුවක්, තනිකමක් නොදනේවා යනුවෙන්  ප්‍රාර්ථනාවක් එක් කරනුයේ..


ලතා මඩුළු අත වනාවී එපා අහක බලන්න

මා  ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න


පේරාදෙණිය සරසවියත් , මහවැලි ගඟත් එකිනෙකට බද්ධ වු වස්තුන් දෙකකි.හදවත් සමඟ ගණුදෙනු කරනා තැන පෙම්වතුන්ගේ ප්‍රේමයන් පරිත්‍යාග කිරීමට තරම් උපෙක්ෂා සහගත පෙම්වතුන් පෙම්වතුන්ගේ ලෝකවල විරල ය. " ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න" මේ තුලින් ඔහු කියනුයේ සරසවි බිම තුළ පෙම්වතකු හමු වුවහොත් ඔහු හා එක්ව ජීවිතය බෙදාගන්න යන්න නොවේද? එදවස උදා වුවහොත් තමා ගැන ඇති අතීත මතකයන් සියල්ල සදහටම අමතක කරන්න යැයි ඔහු ඇයගෙන් ඉල්ලීමක් කරයි.


ඉතා කෙටි පද මලාවක් තුළින් විශාල ගැඹුරක් මවන්නට තරම් මෙම ගීතය සමත්ය.හන්තාන කඳූ වැටියේ සුන්දරත්වයත් සමඟ ශ්‍රාවකයා සංවේදි කරන්නට පද රචනයටත්, සංගීතටත්, අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬත් යන ත්‍රිත්වයෙහි සුසංයෝගයයට හැකිවිය.


(උපුටා ගැනීම - ගී මංජරී)




Monday, April 19, 2021

වසන් කරන්නට බෑ මගෙ හිත අද ...

 ආ ආ ආ ආ...

ආ ආ ආ ආ...

ආ ආ ආ ආ...

ආ ආ ආ ආ...


වසන් කරන්නට බෑ මගෙ හිත අද

පෙම් මල් පූදිනවා

සෙනෙහස ඉපදී සුවඳින් මත් වී

පෙම් මල් පූදිනවා ...//


සිහිලට දැනෙනා ගින්දර දැක දැක

සිත දොඩමලු වෙන්නේ

වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද

පෙම් මල් පූදින්නේ


වසන් කරන්නට බෑ මගෙ හිත අද

පෙම් මල් පූදිනවා

සෙනෙහස ඉපදී සුවඳින් මත් වී

පෙම් මල් පූදිනවා


දෙතොලග පීදෙන රිදී ඉරක මතු

මිහිරද පවසන්නේ

වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද

පෙම් මල් පූදින්නේ


වසන් කරන්නට බෑ මගෙ හිත අද

පෙම් මල් පූදිනවා

සෙනෙහස ඉපදී සුවඳින් මත් වී

පෙම් මල් පූදිනවා ...//


ගායනය - මාලිනී බුලත්සිංහල

පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන

තනුව - එච්.එම්. ජයවර්ධන


ඔබ කොහොමද මාලිනි, එච්. එම්. සංගීත යුවල හා ඇසුරට වැටෙන්නේ?

 

රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් "ඉස්කෝලේ යන කාලේ ලොකු ආසාවක් හිතේ තිබුණේ ලියන්න, ගීතවලට මේ සුවිශාල චරිත මේ හැමදේම ගැන. ඇත්තටම ඒක නිකං පිස්සුවක් වගේ. අපේ ඇඟ ඇතුලේ අපට ලියන්න හැකියාව තියෙනවා. නමුත් අවස්ථාව නැහැ. මේ දෙක අතර සම්බන්ධතාවක් නැහැ. ඒක කොහොමද ගොඩනගාගන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ ටෙලිෆෝන් නෑනේ එහෙමට. මම උසස්පෙළ කරනවා වගේ කාලේ. එතකොට  දුරකථන අපිට නැති නිසා, ලියුම් තමයි ලියන්නේ. ආදරණීය ගායනවේදීන්ට අපි ලියනවා. ලියන්න ආස බව කියලා ලොකු පද රචනා මල්ලක් අරිනව ලියලා ලියලා. එහෙම තමයි මේ සම්බන්ධය ගොඩනැගෙන්නේ. දවසක් මං නොහිතු විදිහට මාලිනි බුලත්සිංහල ගායනවේදිනිය මට නැවත පිළිතුරක් එවලා තිබුණා. ඒක මට මට විශාල ශක්තියක්, ඒ වෙලාවේ. ලංකාවේ අතිශය ජනප‍්‍රිය වෙච්ච ගායනවේදිනියක් පිළිතුරු ලිපියක් එවනවා කිව්වහම අපිට ආයේ වෙන මොනවද ඉතිං පාසල් කාලයේ. මහා මෙරක් වගේනේ. ඒක තමයි මේ අල්ලාගත් සම්බන්ධය. සාමාන්‍යයෙන් රසිකයෝ ලියනවනේ ඕන තරං. අපි කවියෝනේ. රසවත් ලිපි ලියනවා. බොහොම සාහිත්‍යයෙන් බර ලිපි. එවැනි ලිපි ඒගොල්ලන්ට විශේෂයි. ඒ හින්දා තමයි මේ පිළිතුරු ලිපියක් එවන්නේ. 


පසුකාලෙක තමයි මට එතුමිය එහෙම කිව්වේ. අපේ ලිපි හරිම රසවත්  ඒගොල්ලන්ට. ලියන්නේ ඒගොල්ලන්ගේ ගීත අගය කරලා සාහිත්‍ය වර්ණනාවක් ඇතුවනේ. ඒකට බොහෝ ඇල්මක් දක්වපු හින්දා තමයි එතුමිය මට මෙහෙම ලිපියක් එවන්නේ. මට මතකයි නන්දා මාලිනියට ඔහොම ඇගේ ගීත වර්ණනා කරමින් ලිපියක් යවපු වෙලාවක ඇයත් පිළිතුරු ලිපියක් එවලා තිබුණා. ඇය සඳහන් කරලා තිබුණා විශේෂයෙන්ම මේ ලිපියේ ස්වරූපය නිසාම ඇය පිළිතුරු ලියනවා, ධෛර්යයක් වශයෙන් කියලා. අපි ලියපු විදිහට එතුමියටත් පිළිතුරු නොලියා සිටීමට අපහසු වුණා මං හිතන්නේ. ඔය විදිහට තමයි මේ සම්බන්ධකම් මුල් යුගයේදී ගොඩනැගෙන්නේ. පසුකාලයේ මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවරවුණාට පස්සේ මම මාලිනි බුලත්සිංහල සහ එච්.එම්. ජයවර්ධන, මේ යුවල සොයාගෙන යනවා බොරලැස්ගමුවට. පත්තර වලින් තමයි ඒ දවස්වල ලිපිනය එහෙම ලැබුණේ. ඒ සොයාගෙන යෑමත් එක්ක මේ හිතවත්කම් පටන් ගන්නවා.

 

වසන් කරන්නට ගීතය’ ලියනකොට ඔබේ වයස කීයද?

 

උසස් පෙළ ඉවරවුණ ගමන්ම වගේ. මට මතක පාසල් ගිහිං ඉවරවුණ ගමන් වගේ ඒ ගීතය ලිව්වේ. ඕනෑම නිර්මාණකරුවකුට යම් ප‍්‍රමාණයක අත්දැකීම් භාවිතා වෙනවනේ. ඒක සත්‍යයක්. හැබැයි මේක මගේම අත්දැකීමක් විදිහට ප‍්‍රකාශ වුණාද කියන එක මං තාම හිතනවා. ඒකෙ මුලක් තියෙනවා, නැත්තේ නෑ. ඒක තමයි ප‍්‍රථම පේ‍්‍රමයේ හැඟීම. ඒ අත්දැකීමක් විඳපු ඕනෑම මනුස්සයකු ගේ හිතින් ඒක අයින් වෙන්නේ නෑ, අදටත් මතක් කරන්න පුළුවන්. වයස්ගත උනත් ඒක මතක් කරගන්න පුළුවන්. පාසල් අවධියේ ප‍්‍රථම පේ‍්‍රමය, උසස්පෙළ කාලයේ. හැබැයි ගීතය මං ලිව්වේ සියයට සීයක්ම ඒක පාදක කරගෙන නෙමෙයි. ඒ හැඟීම මගේ හිතේ තිබුණා. පොදු අත්දැකීමක් බවට ඒක නිරායාසයෙන්ම පත්වුණා. ඒක තමයි මං කලේ. අනික මේකත් කියන්නම ඕන. දැන් කාලේ ගීතයක් කරනවා තරම් ඒ කාලේ ලේසි නෑ. ඒ කාලේ හැටියට මුළු ගීතයම එකවර කියලා, වාදනය කරලා අවසන් කරන්න ඕන. ඒකට ඔවුන් හැමකෙනෙක්ම අතිශය දක්ෂ වෙන්න ඕන. ඒ කාලේ ශිල්පීන් ලොකු අභියෝගයකට මූණ දුන්නා. පස්සෙනේ මේ තාක්ෂණය ආවේ. ඒ වෙනසත් මං හරියට අත්දැක්කා ගුවන්විදුලියේ පටිගත කිරීම්වලදී. ඒක ඒ කාලේ හිටපු ගායක ගායිකාවන්ට, සංගීතවේදීන්ට ගෞරවයක් විදිහට සඳහන් කරන්නම ඕනෑ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)



බැද්ද පුරා සුදු ...

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස

ඉද්ද පනා මල් කැන් පිපිලා


බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස

ඉද්ද පනා මල් කැන් පිපිලා


සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද

සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද

නැද්ද කනෙයියෙනි රොන් හැදිලා


බැද්දට මල් වරුසාවක් වැහැලද

නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද


බැද්දට මල් වරුසාවක් වැහැලද

නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද


පාර වටේ ඇති සේරම ගස්

සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා

ගෙඩි හට ගැනිලා


පේර දිවුල් පලු වීර ඉදී එන

වාරෙ වගෙයි මේ පැනි පිරිලා


බැද්දට පැනි වරුසාවක් වැහැලද

ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද


බැද්දට පැනි වරුසාවක් වැහැලද

ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද


රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්

සීනු හඬින් රස ගී ගයලා

රස ගී ගයලා


තාන තනා තම් දාන කියා

එළිමාන වටේ කැරකේ නටලා


බැද්දට ගී වරුසාවක් වැහැලද

ගී පොද මේ හොට අස්සට පෙරිලද


බැද්දට ගී වරුසාවක් වැහැලද

ගී පොද මේ හොට අස්සට පෙරිලද


ගායනය: අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න

පද රචනය: හෙන්රි තෙන්නකෝන්

තනුව: පියසිරි විජේරත්න


ගායනය පියසිරි විජේරත්නයන්ගේ හා විශාරද අමිතා වැදිසිංහ ප්‍රභූ ගායන ශිල්පී යුවළගේය. සංගීත නිර්මාණය කරන්නේ පියසිරි විජේරත්නයන් විසිනි. ඔහු අතින් නිර්මාණය වූ සංගීත තනු රටා අතර ඔහුටම අනන්‍ය වූ මහා භාව ප්‍රකාශනයක් වූ බව සහෘද රසිකයෝ දනිති. පැදිපෙළ පුවත්පත් කලාවේදියක් වූ හෙන්රි තෙන්කොන්ගේය. හෙන්රි තෙන්නකෝන් යනු කලක් මේ සමාජ රටාව සදය විවේචනයට කර පාඨක බුද්ධිය පුබුදවනු ලැබූ ලංකාදීප පුවත්පතේ සමාජ සමයං කාටුනය නිර්මාණය කළ නිර්මාණ ශිල්පියාය.


ඔවුන් අතින් බිහිවන මේ මනරම් ගීය නොඇසූවෙක් වෙතැයි නොසිතමි. මලින් පලින් බරවන බක්මස නැඟෙනා සොබා දහමේ රිද්මය මේ තරම් සියුම් ලෙස පද පෙළක චිත්‍රනය වූ අවස්ථාවක් නොවේ. ඒ රිද්මය අපේ සංස්කෘතියේ ප්‍රහර්ෂාත්මක අංගය වූ සිංහල අලුත් අවුරුද්ද හා බද්ධ කර ඇති නන්දනීය එළැඹුම නිසා සෑම අවුරුදු වකවානුවකම මේ ගීතය ඇසේ.


අලුත් අවුරුද්දක් යනු අලුත් බලාපොරොත්තුවකි. ප්‍රාර්ථනා අලුත් කරගන්නා වකවානුවකි. එහි ගැඹුරු සංවේදනා මේ මොහොතේ ජීවත් වෙමින් සිටින බව විශ්වාස කරන මිනිසුන්ට නොදැනීම අරුමයක් වන්නේ නැත. තමන්ටත් තමන් අහිමිව බලාපොරොත්තු උපදවන අර්ථසාර දැක්මක් රහිතව ආර්ථික සමාජ පීඩාවට හසුව පරඬැල් වුණු ඔවුන්ට අලුත් අවුරුද්දම පීඩා සහිත විකාරයකි.


එහෙත් අප අත්විඳි දශක කීපයකට එපිට අපේ ළමා කාලයේ දී මේ කියන අවුරුද්දේ නැවුම් හැඟීම් දැනුණ ස්පර්ෂ වුණු බව සිහිනයක් සේ මතකය. මේ ගීතය ඒ මතකවෙත අපව රැගෙන ගියේය. එමෙන්ම ගීයක රස භාව විඳිය හැකි නූතන යෞවනයන් මේ ගීතය සිත් පුරා විඳිනු දැක පුරුදු ඇත්තෙමි.


එය ගැන කතා කරන්නට අද අපට ඉතිරිව ඉන්නේ සිංහල සුභාවිත ගීතාවලියේ ජීවමාන පුරාවෘත්තය බඳු ජ්‍යෙෂ්ඨ ගායිකා විශාරද අමිතා වැදිසිංහය. වර්ෂ 1949 දී ළදැරියක් සේ මුල්වරට ගුවන්විදුලියට පය තබන ඇය ගුවන් විදුලියේ ළමා මණ්ඩපය විසින් බලගන්වා නිර්මාණය කළ ප්‍රභාෂ්වර චරිතයකි. ඇය මේ ගීතය ගැන කතා කරන්නී මහත් වූ ආනන්දනීය හැඟීමකිනි.


“බැද්ද පුරා ගීතය නිර්මාණය වෙන්න පාදක වෙන පද පෙළ මුලින්ම පළ වෙන්නෙ ලංකාදීප පත්තරේ. කවි පිටුවේ පළවෙන මේ පද ටික නිර්මාණය කරන්නෙ හෙන්රි තෙන්නකෝන් විසින්. හෙන්රි තෙන්නකෝන් කියන්නෙ ලංකාදීප පුවත්පතේ අගය වැඩි කරපු විශිෂ්ට කාටුන් ශිල්පියා. ඒ කාලයේ ඉතාම ජනප්‍රිය වුණු සමාජ සමයං කාටුනය නිර්මාණය කළේ ඔහු. “


“මේ පැදි පෙළ දැකපු පියසිරි විජේරත්න මහත්තයා එය ඔහුගෙ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ගීතයක් විදිහට ගයන්න තෝර ගත්තා. තනුව සහ සංගීතය නිර්මාණය කරලා තිබුණේ ඔහු. මේ අවධියෙ මම ගායන ශිල්පිනියක් විදිහට හැදැරීමක් සහිතව වැඩකරමින් සිටියෙ. පියසිරි මහත්මයා මේ ගීතයට තනුව යොදලා ගායනා කරන්න හදනකොට ඔහුට කල්පනාවෙලා තිබුණා මේ ගැයුමට කාන්තා හඬක් තිබුණා නම් හොඳයි කියලා. මට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව එළඹෙන්නෙ එහෙම.“


“එතුමා ගීතයෙ තනුවයි සංගීත සැලසුමයි එක්ක මාව මුණගැහෙන්න අපේ ගෙදර ආවා. එය රසය වෑහෙන තනුවක්. හරිම අපූරු සංගීත නිර්මාණයක්. මම ඒ වෙලාවෙම කල්පනා කළා මේ නිර්මාණයට එක්වන්න ලැබීමම භාග්‍යයක් කියලා. ආපහු හැරිලා බලනකොට ඇතිවෙන්නෙ විශාල සතුටක්. මා තවමත් ඒ ගීතය විඳිනවා.“


විශාරද අමිතා වැදිසිංහ ජ්‍යෙෂ්ඨ ශිල්පිනිය සිය අතීත මතක අතර සැරිසරමින් සිටියාය.


“මට මතකයි. සරල ගී වැඩසටහනට යන්න පෙර අපේ ගෙදරම උදේ හිට රෑ වනතුරු දින ගණනක් අපි පුහුණු වුණා. පියසිරි මහත්මයගෙ තියෙන විශිෂ්ටම ලක්ෂණය තමයි ඔහුට වැඩක් අන්තිම දශමයට නිවැරදිව ඕන වීම. පුංචි වැරැද්දක්, අතපසුවීමක් සිදුවන්න බෑ. ඔහු සංගීතයෙන් මතු කරන ඉතාම සියුම් තැන් පවා ඔහුට නිවැරදිව අවශ්‍ය වුණා.“


“ඒ කාලයෙ නිර්මාණයක් සඳහා ඒ කැපවීම පුහුණු වීම අවශ්‍යයි. දැන් වගේ නැවත නැවත ගයා කෑලි එක් කරමින් ගායනයේ අඩු පාඩු හදාගන්න, වාදනයේ වැරදි නිවැරදි කරගන්න බෑ. එක්වරම ගායනය කර එය නිමා කළ යුතුයි. අවසාන මාත්‍රාව වැරදුණත් නැවත මුල ඉඳන්ම ගායනා කරන්න වෙනවා. වාද්‍ය වෘන්දයටත් එහෙමයි. හැබැයි මම දැකපු ඇත්ත තමයි ඒ වකවානුවේ මානව සම්පත තාක්ෂණයට වඩා උඩින් තිබුණ එක. වාද්‍ය වෘන්දය ඒ වෙනුවෙන් කැප වෙලා පුහුණුවීම් කළා. ගායනය සහ වාදනය ප්‍රශස්ථ මට්ටමට ආ පසුවයි පටිගත කිරීම් කළේ. ඒ කාලයේ හිටපු විශිෂ්ට නාද ශික්ෂණ ශිල්පියෝ තාක්ෂණික පහසුකම් වලට එපිටට ගිහින් සිය වෘත්තිය වගකීම කළා. ඒ හින්දා ඉතාම උසස් ගණයේ නිර්මාණ ගුවන් විදුලියෙන් බිහි වුණා. බැද්ද පුරා ගීතය ඊට කදිම උදාහරණයක්.“


ඇය කියන්නීය. බැද්ද පුරා ගීතය පරම්පරා තුනක වෙනස් අත්දැකීම අතර නොවෙනස්ව බැඳුණු රහසත් ඒ නිර්මාණයේ පද, ගැයුම, වැයුම පමණක් නොව ඉහළ ගුණාත්මක වටිනාකමක් සහිතව කලා කෘතියක් නිර්මාණය කිරීමට ලැබුණු තාක්ෂණික පිටිවහලය. නිර්මාණයක සාර්ථකත්වය යනුම ඒ නිර්මාණය වෙනුවෙන් කළ කැපකිරීම හා ඊට දැක්වූ ගෞරවය ය. බැද්ද පුරා වැනි ගීත තවමත් අප තුඩ තුඩ රැව් දෙන්නේ නිර්මාණකරුවන් නිර්මාණයට දැක්වූ ගෞරවයේ ප්‍රකාශනක් ලෙස බව සිතමි.


(උපුටා ගැනීම - රුක්මල් ජයසිංහ/ සිළුමිණ)



කොළොම් තොටින් ...

කොළොම් තොටින් නැව් නැග්ගා

අපේ රටේ මනුස්සකම

කොළොම් තොටට ගොඩ බැස්සේ

අමන කමයි ඒ වෙනුවට ...//


බෝනික්කන් ඇස් නටවන

ලස්සන හුරුබුහුටි කමට

නැවෙන් ඇවිත් කොළොම් තොටට

ගොඩබැස්සා අපූරුවට

අපෙ ඇත්තෝ බෝනික්කන්

මිලදී ගෙන කාසි වලට

කිරි දරු පැටවුන්ගෙන් නැව

පුරවන්නේ ඒ වෙනුවට


කොළොම් තොටින් නැව් නැග්ගා

අපේ රටේ මනුස්සකම

කොළොම් තොටට ගොඩ බැස්සේ

අමන කමයි ඒ වෙනුවට


මව් තුරුළේ පිපෙන මලට

ලන්සු තියන නොමිනිසුන්ය

දුප්පතුනගෙ මල් නෙළමින්

ඉසුරු සොයන බැතිමතුන්ය

කිරි දරුවන් විතරක් නොව

මාරු වෙලා කාසි වලට

කොළොම් තොටින් නැව් නැග්ගේ

අපේ රටේ මනුස්සකම


කොළොම් තොටින් නැව් නැග්ගා

අපේ රටේ මනුස්සකම

කොළොම් තොටට ගොඩ බැස්සේ

අමන කමයි ඒ වෙනුවට ...///


ගායනය – ප්‍රදීපා ධර්මදාස

පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන

තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


ඔබ රචනා කළ ප‍්‍රදීපා ධර්මදාස ගයන ”කොළොම්තොටින් නැව් නැග්ගා” ගීතය මුල් යුගයට වඩා පසුකාලීනව වඩාත් ජනප‍්‍රිය වුණා?

 

රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් "ඒකත් මං ඉස්කෝලේ යන කාලේ ලියපු ගීතයක්. විවෘත ආර්ථිකයත් එක්ක විශාල පරිවර්තනයක් වෙන්න පටන් ගත්තනේ රටේ. ගම වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. මේ ලොකු වෙනස අපි අත්දැක්කා. අපි කවදාවත් දැකල නැති දේවල්වලින් වෙළෙඳ පොළ පිරෙන්න ගත්තා. මට මතකයි මම පංතියකට ගිය ගෙදරක ඒ කුඩා දරුවෝ රිමෝට් කාර් ගෙනල්ලා සෙල්ලම් කළා. අපි ජනෙල් උඩ නැගලා පොරකකා ඒක බැලූවා පංතියේ ළමයි ටික. මට තාම මතකයි මං ජනේලයෙන් එබිලා ඒක දිහා බලාගෙන හිටපු හැටි. අනිත් යාළුවොත් මගේ ඇඟේත් නැගලා මේක බලාගෙන ඉන්නවා. ඕක තමයි මගේ ඔලූවේ තිබිච්ච සිද්ධිය. ඊළඟට පසුකාලීනව මහා ආන්දෝලනයක් ගියා දරුවන් රට විකිණීමේ ජාවාරම ගැන. ඕක දිවයින පත්තරේ තිබ්බා. කොලම්වල තදින්ම දෝෂාරෝපනය කරලා මේ ගැන තදින්ම හෙළිදරව් කරමින් පැවතුනා. මේවා කොයි තරම් උපරිමයට ගියාද කියනවා නම් ළදරු තවාන් වගේ වචනත් පාවිච්චි උනා. දරු ජාවාරම් කරන කතන්දර අපිට ඇහුනා. ඔය සංසිද්ධිය මගේ හිතේ මහා කම්පනයක් ඇතිකරලා තිබුණා. හැමදාම පත්තරවල ඕක තමයි උඩින්ම කතා කරපු මාතෘකාව. ඔය අතරේ දවසක් පත්තරයක් කියව කියව ඉන්නකොට මං දැක්කා පොඩි ප‍්‍රවෘත්තියක් ”බෝනික්කන් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි” කියලා. ඕකෙන් මට පුදුම කම්පනයක් ඇතිවුණා. අපේ දරුවෝ පිටරට යනවා. ඒ වෙනුවට එහෙ බෝනික්කෝ මෙහාට එනවා දැන්. ඕක තමයි මගේ හිතට වද දෙන්න පටන් ගත්තේ. බෝනික්කෝ උනත් ඒ කාලේ වෙළෙඳපොළේ ඒ හැටි තිබුණේ නැහැ. අපිට දකින්න ලැබුණේ ඉඳ හිට. ගම්බද අපි අවට ළමයින්ට එහෙම දේවල් තිබුණේ නැහැ. අපි සෙල්ලං කළේ පොල් පිති කෑලිවලින් වගේ දේවල්වලින්. ඔහොමනෙ අපේ ළමා කාලය ගෙවිලා ගියේ. ඒකත් එක්ක ගම්බද අපට ඕව නුහුරු අත්දැකීම්. ඒ අවධියේ දේශපාලනික දැනුමකුත් හිතේ තිබුණා. එහෙම පදනමකුත් මට තිබුණා. ඉතිං අවශ්‍ය දේවල් විතරක් නෙවෙයි අනවශ්‍ය දේවල් ගෙන්වා ගැනීම උදෙසාත් අප රට විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. ඕක තමයි අමනකම නේද? ඒ දේවලූත් මං මේකේ කතා කරනවා. අමනකම කියන වචනයත් එක්ක කිරි දරු ජාවාරමට අමතරව ආර්ථික ක‍්‍රමයේ තියෙන අපි ලබන විෂමතාවයත් මට මේකට එකතු කරගන්න ඕනකම තිබුණා. ඕක තමයි ඔය ගීතයට පදනම වුණේ.

 

මේ ගීතය මුලින් කවියක්?

 

මං මේක ඇත්තටම ඉස්සෙල්ලම ලිව්වේ තරුණ සේවා සභාවේ කාව්‍ය රචනා තරඟයට. එකේදී ලංකාවේ ප‍්‍රථම ස්ථානය මං ලැබුවා කාව්‍ය රචනයට. ඊට පස්සේ මට මේක ගීතයක් කරන්න ඕනකම තිබුණා. නමුත් කිසිම කෙනෙක් මේක භාර ගත්තේ නැහැ. මොකද ඒ කාලේ 80 ගණන්වල මේ රටේ පැවතුනු දේශපාලනික පෙරළිත් එක්ක විශේෂයෙන්ම කිසිම ගායකයෙක් ගායිකාවක් මේ ගීතය ගායනා කරන්න කැමති වුණේ නැහැ. මේක බලපු ගමන්ම අයියෝ මේවා කියන්න බෑ කියලා තමයි කිව්වේ. ඒ අතරේ මගේ හිත මිත‍්‍රයෙක් හිටියා රංජිත් ලියනගේ කියලා කළුතර පැත්තේ. ඔහුට කැසට් පටයක් කරන්න ලොකු ආසාවක් තිබුණා. ඔහු තමයි ප‍්‍රදීපාට ආරාධනා කළේ කැසට් පටයක් කරන්න. එතකොට ප‍්‍රදීපා අතිශයින් ජනප‍්‍රිය වෙලා හිටියා දුවිල්ලෙන් සැදුන ලියේ සිංදුව කියලා, වෙදහාමිනේ ටෙලි නාට්‍යයට. ඒ ජනප‍්‍රියත්වයත් එක්ක වගේම ඇගේ කට හඬේ තියෙන ප‍්‍රබලත්වයත් තේරුම් අරගෙන රංජිත් ලියනගේ තේරුම් අරගෙන ඔහු පළවෙනි කැසට් පටය නිෂ්පාදනය කරනවා දුවිල්ලෙන් සැදුන ලියේ කියලා. ඒ කැසට් එකට මටත් සිංදුවක් ලියන්න ඔහු ආරාධනා කළා. මට ඒ වෙලාවේ හිතුනා ප‍්‍රදීපාගේ කටහඬට මේක හරියටම හරි යනවා කියලා. මම මේ ගීතය දුන්නා බලන්න. ඉතිං ප‍්‍රදීපා කිසිම පැකිලීමක් නැතුව ප‍්‍රශ්නයක් නැතුව ඒ ගීතය භාරගත්තා. මට ඒ වෙලාවේ ලොකු සහනයක් දැනුනා. කතා කරන්නත් බැරි යුගයක්නේ ඒ. ඇය බයක් සැකක් නැතුව මේ ගීතය තෝරා ගත්තා සහ රෝහණ වීරසිංහයන් ඒකට බොහොම උචිත අපූරු තනුවක් දැම්මා. නමුත් ගීතය ගුවන් විදුලියේ තහනම් වුණා. මං දන්නේ නෑ මොන හේතුවක් නිසාද කියලා. ප‍්‍රදීපාගේ ගීත තුනක් විතර තහනම් වුණා ඒ කැසට් පටයේ. ඒවාට ලොකු පදනමක් මම දන්නේ නෑ අදටත්. කොහොම හරි මේ ගීතය මුලින්ම තහනම් කළා. හුඟක් පසුකාලයේ තමයි නැවත මිනිස්සු අතරට ගියේ. ඉන්පස්සේ අතිශය ජනප‍්‍රිය වුණා. අද වෙනකොට ඒ ගීතයට මං හිතන්නේ වසර තිහකටත් වැඩියි. ජනප‍්‍රියභාවය අදටත් තියෙනවා. මේක විශ්වවිද්‍යාලවල, මාධ්‍ය වැඩසටහන්වල, කතිකාවට භාජනය වෙන ගීතයක් වෙලා තියෙනවා. ඉතිං ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින)






අන්න බලන් සඳ ...

අන්න බලන් සඳ රන් තැටියෙන්

සුදු සීත ගඟුල් ගලනා

හද සෝක තැවුල් නිවනා ...//


චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී //

සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ //

ආදර බස් කියනා

හඬ දේවිනි කන් පිනනා


අත් පසුරෙන් තුරු පෙම්බරයන්

බඳ බන්දා සෙනේ සිතිනි

ලිය වැල් පැටලී ගොසිනී ....//


පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා //

මන්මද රංගන මණ්ඩපයේ මෙම //

මන්ද බලා හිඳිනේ

තව පෙම්බර මා සාමිනේ


අන්න බලන් සඳ රන් තැටියෙන්

සුදු සීත ගඟුල් ගලනා

හද සෝක තැවුල් නිවනා ...//


මුල් ගායනය - බෙන් සිරිමාන්න හා ට්‍රිලීශියා ගුණවර්ධන

පද - මහගම සේකර

තනුව - සෝමදාස ඇල්විටිගල

කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයකි.

පසු ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ සන්ධ්‍යා දීපානි


මෙම ගීතය බෙන් සිරිමාන්න විසින් ‘කුණ්ඩලකේශී’ නාට්‍යයට ගැයූ ගීතයකි. මෙම ගීතය මෙන්ම නාට්‍ය ද මහගම සේකරයන්ගේය. මෙයට වස්ථු විෂය වන්නේ ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රතනාවලියේ එන කුණ්ඩලකේශී කතා පුවතයි. කතාව සැකෙවින් මෙසේය.


භද්දා නම් සිටු දුවක්‌ මරණයට ගෙන යන සොරකු කෙරේ පෙම් බැඳ මවුපියන්ට ආයාචනා කොට මසුරන් දහසක් දී ඔහු මුදා ගෙන සිය ස්වාමියා බවට පත්කොට ගත්තාය. එහෙත් ටික දිනකින් ඔහුට ඇය එපාවී ඇය මරා ආභරණ සොරාගෙන යැමට සිතා "සොඳුර, මා මරන්ට ගෙන යන ගමනේ දෙවියන්ට භාරයක්‌ වූවා. මා නුඹට ලැබුණේ ඒ නිසාය. දැන් අපි ඒ භාරය නිදහස්‌ කළ යුතු යෑයි" පවසා ඇයත් සමග ඇයව පහලට දමන්නට කන්දක් වෙත ඇය රැගෙන යන කතා පුවතකි.


පසුව ඇය සොරාගෙන් මිදී නැවත ගිහි ජීවිතයක් ගැන නොසිතා අලුත් ජීවිතයක් ආරම්භ කරමියි සිතා පළමුව  නිගණ්ඨ ශ්‍රාවිකාවක් ලෙස කල් ගත කළාය. ඇගේ හිසෙහි කෙස් කැපූ තැනින් තැන කෙස් යළිත් පැණ නැගුණූ අතර ඒවා කරකැවී  (curls) ලෙස සැකසිනි. කුණ්ඩල යනු curls යන්නයි. ඒ නිසාම භද්දා පසු කලෙක කුණ්ඩලකේශි නමින් ප්‍රසිද්ධ විය.


මෙම නාට්‍යයේ සොරා විසින් භද්දා රවටා රැගෙන යන අවස්ථාවේ ඔවුන් වනයක් හරහා යන විට ඉහත ගීතය ගායනා කරයි. මෙය රූපක ඉතා උසස් ආකාරයෙන් යොදා ගන්නා ලද ගීතයක් බවද කිව යුතුමය.


අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු

සීත ගඟුල් ගලනා

හද සෝක තැවුල් නිවනා

චන්දන පල්ලව කෝකිල කූජන

සංගීතයේ පැටලී

සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ

ආදර බස්‌ කියනා

හඬ දේවිනි කන් පිනනා


මෙහිදී මහගම සේකරයක් සඳ උපමා කරන්නේ රන් තැටියකටය. සඳේ සඳ කැන් උපමා කරන්නේ සුදු සීතල ගඟුලකටය. මේ වචන සහ යෙදීම් කෙතරම් සුන්දරද. මේ දර්ශනය දකින කාගේ නම් සෝක ලතැවුල් පහව නොයයි ද?


එතැනින් නොනවතින ඔහු තව තවත් පරිසරයේ සුන්දරත්වය මෙසේ විස්තර කරයි. ඔහු සතු භාෂා දැනුම මෙම වචන වලින් මොනවට පැහැදිලි වේ.


චන්දන යනු සඳුන් ය. වනය පුරා සඳුන් සිහිලස සහ සුවඳ හමයි. පල්ලව යනු ලා දළු පත් ය. වනයම නැවුම් ලපටි දළු ලා අලංකාරව දිස්වේ. එපමනක් නොව කොවුලන් ගේ ඇතුලු කූචනය නැතිනම් පක්ෂී නාදයන් දස දෙස ඇසේ. මේ සියල්ල ඔහු දකින්නේ සුන්දර වූ මේ වනාන්තර ගොමුව (ගුල්ම ) නම් වූ යහන් ගබඩාව නැත්නම් නිදන කාමරය ආදර කතා කියන්නාක් මෙනි. මෙහි පලමු පද පෙල ගයන්නේ සොරා විසිනි.


අත් පසුරෙන් තුරු පෙම්බරයන්

බඳ බන්දා සෙනේ සිතිනි

ලිය වැල් පැටලී ගොසිනී


පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ

මාරුතයේ හැපිලා

මන්මද රංගන මණ්ඩපයේ මෙම

මන්ද බලා හිඳිනේ

තව පෙම්බර මා සාමිනේ


මෙම ගීතයේ එන සුන්දරම රූපක යොදා ගැනීම නම් 'අත් පසුරෙන් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ සිතිනි ලිය වැල් පැටලී ගොසිනී' යන පද පෙලයි.


අත් පසුර යනු අතේ ඇඟිලි පහ විහිදා දැක්වීම යන්නයි. මෙම වචනය ගුත්තිල කාව්‍යයේ ද අපට හමුවේ.


සැරයට ළං නොවන

ලිනිණියකු අත් පසුරෙන

ගනිමි යි තැත් කරන

එකකු මෙන් ගායනා කරමින


ඉහත ගීතයේ සේකරයන් අදහස් කරන්නේ මෙවැන්නකි.


තම අතේ ඇඟිලි වලින් තමන්ගේ පෙම්බරයන් වන වෘක්ෂ (තුරු) යන් ගේ ඉන (බඳ ) වට අත යවා (බන්දා) ස්නේහයෙන් සිටින ලලනාවන් නැමති වැල් පැටලී සිටින්නා සේය. 


මෙම පද පෙල ලිවීමට සේකරයන් විසින් මහාචාර්‍ය සරත්චන්ද්‍රයන් ගේ 'මනමේ' නාට්‍යයේ ආභාෂය ලබා ඇතැයි පහත පද පෙල අනුව සිතිය හැක.


ආලයෙන් වෙලි සැදි මෙලතා..

මණ්ඩපයෙන් චණ්ඩාතප...


මෙම කවියන් දෙදෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව මහා කවි කාලිදාසයන් ගේ පහත දැක්වෙන කවියෙහි ඇසුරක් ලැබූ බව රත්න ශ්‍රී යන් ඔහුගේ කෘතියක සඳහන් කරයි. 


තාම්බුල වල්ලී පරිනන්ද පූගා

ශ්වේලා ලතා ලිංගිත චන්දනාසු

තමාල පත්‍ර ස්ථරනාසු රන්තුර

ප්‍රසීද ශස්වත් මලයස්ථ ලීසූ


එහි අර්ථය මීට සමාන වූවක් බව රත්න ශ්‍රී පවසයි.


බුලත් වැල් පුවඟු තුරු වැලඳගත්

සඳුන් තුරු ඒ ලා වැලින්

ආලිංගනය කළ

තමලු පත් ඇතිරිල්ලෙහි

සයනයට රිසිවෙතොත්

පැහැදෙන්න මලය දෙස වසන්නට


මල් සුවඳ මුසුවූ මද නල හමන, සිත අමන්දානන්දයට පත් කරන මෙවැනි තැනක තවත් ඔබ බලා සිටින්නේ මන්දැයි අසමින් ඇය ඔහුට ආරාධනාවක් කරයි.


(උපුටා ගැනීම - ගී පොතයි මී විතයි)




Wednesday, April 7, 2021

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ...

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

රතු රෝස මලක පෙති හැලී තියේ

මට නපුරු වුණේ ඇයි දයාවියේ

මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...//


මගෙ සමරු පොතේ රෝස පිටු සොයා

මුතු අකුරු පේළියක් ලියු ඔයා ..//

සිහිවටනයක් ලෙසින් තවත් තියේ

සමනල පියාපතක් ද ජීවිතේ


නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

රතු රෝස මලක පෙති හැලී තියේ

මට නපුරු වුණේ ඇයි දයාවියේ

මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ


සිත දුරක ගියා ආදරේ සොයා

මුතු කඳුළු බිංදුවක් ගලා ගියා

සමු ගැන්ම වේදනාවකී ලොවේ

මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ


නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

රතු රෝස මලක පෙති හැලී තියේ

මට නපුරු වුණේ ඇයි දයාවියේ

මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...//


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

පද රචනය - ධර්මරත්න පෙරේරා

තනුව හා සංගීතය - නිමල් ජයකොඩි


නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ” ජනප‍්‍රිය ගීත කලාවේ සන්ධිස්ථානයක්?


ධර්මරත්න පෙරේරා මහතා අදහස් දක්වමින් "දවසක් මම ගියා අපේ යාළුවෙක්ගේ විවාහයකට අත්සන් කරන්න. මේ යාළුවා ගෑනු ළමයෙක්. ඇයගේ පොඩි පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා කෙනෙක් එක්ක. නමුත් එයාම හිතලා මේක ජයගන්න බෑ, ගෙදරින් විරුද්ධ වෙයි කියලා, ඇය ඒ සම්බන්ධය නවත්තලා වෙනත් කෙනෙක් එක්ක තමයි විවාහ වුණේ. ඉතිං අපේ පත්තරේ පත්තර යාළුවොත් ගියා මේ විවාහ උත්සවයට. ගිහිල්ලා අත්සන් කරන්න තිබුණ නිසා මං අත්සන් කරලා එහෙම ඉන්නකොට සතුටු සාදය වෙලාවේ කවුරුහරි මගේ යාළුවෙක් ඇවිල්ලා ඇහුවා ”කොහොමද දැන් අර පරණ මිත‍්‍රයා මෙතෙන්ට ආවොත් එයා මොනවා අහයිද” කියලා. මං ඉතිං එක සැනින්ම කිව්වා ”මට නපුරු වුණේ ඇයි දයාවියේ” කියයි කියලා. මට ඒක එක පාරටම කටට ආවා. කට්ටිය හිනාවුණා. මට හිතට ඇල්ලූවා ඒ වචන පෙළ. මං ගෙදර එනකොටත් මතක් කරන් ආවා තවත් දේවල්. කොහොම හරි එදා ? මං ඔය ගීතය ලිව්ව. ලියලා ඒක ඉතිං තිබුණා මං ගාව. සමහර ගායකයොත් ඕක දැක්කා, මට හොඳට මතකයි. ඕක බැලූව දැක්ක අය ඔය ගීතය මඟ ඇරලා ගියා. මං ඉතිං කාටවත් කියන්න ගියෙත් නෑ ඕක කියන්න කියලා.


එතකොට ඒ ගීතය සනත් නන්දසිරිට ලබා දුන්නේ?


ඔහොම ඉන්නකොට සනත් අයියා කැසට් එකක් කරන්න අන්තිම ගීතය මට වෙන්කරලා ලියන්න කියලා තිබුනා. මනෝජ් පීරිස්ට කියලා තිබුනා ධර්මෙට මේ පණිවිඩ තිබ්බා තාම නෑ මෙන්න මේ පණිවිඬේ කියන්න සිංදුව ගැන කියලා. පස්සේ මනෝජ් තමයි මට ඔෆිස් එකට ඔය පණිවිඩේ කිව්වේ. ”අන්න අර සිංදුවක් පරක්කුයි, සනත් අයියා කිව්වා ධර්මේ අයියට සිංදුවක් එවන්න කියලා. බලනකොට මං අමුතුවෙන් ලියන්න ඕනෙත් නෑ, මටම හිතුනා මේ සිංදුව සනත් අයියට හරියයි කියලා. මම ගිහිල්ලා දුන්නා සනත් අයියට. දුන්නහම සනත් අයියා මේක අපි දැන්ම දෙමු කියලා නිමල් ජයකොඩි සංගීතඥයාට කතාකලා. හුඟක් අය ඒක දන්නේ නෑ. සංගීත නිර්මාණය නිමල් ජයකොඩිගේ බව. ඔහු අද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ හුඟක් ඉහළ තනතුරක් දරණ කෙනෙක්. නිමල්ට ටෙලිෆෝන් එකෙන් ගීතයේ වචන දුන්නේ. නිමල් ටිකක් දුර ඉන්නේ. එයත් කව්රුහරි යාළුවකුගේ ගෙදර ඇවිල්ලා තමයි මේ වෙලාවට සනත් අයියා කතා කරනවා කියලා ඒ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. මං ඉතිං ඇහුවා නිමල් කොහොමද මේ මෙලඩි එක දැම්මේ කියලා. ”අනේ අයියේ මුකුත් නෑ, මට මුල වචන ටික දැක්කහම ඉන්ටර්ඩක්ෂන් මියුසික් ඔක්කොම මතක් වුනා”, ඉන්ටර්ඩක්ෂන් මියුසික් එක හදලා ඉවරයි කිව්වා ගෙදර යනකොට. හිතන්න බැරි ජනප‍්‍රියත්වයක් අරගෙන ආවා. මං හිතනවා හරි මිහිරියි හරි නැවුම් ඒ තනුව. සංගීතය ඇහෙනකොටත් වචන මතක් වෙනවා. ඒ තරම් ජනප‍්‍රිය වුනා ඒ ගීතය. නිමල් ලක්ෂපතිආරච්චි මං අඳුනගෙන හිටියෙත් නෑ. නමුත් දවසක් කතා කරලා මට කිව්වා ”මචං මට මේ සිංදුව හම්බුනා, මේක අනිවාර්යයෙන්ම හිට් එකක් වෙනවා” කියලා. තව දෙයක් කියන්න ඕන. මේක සිරසෙන් තමයි ජනප‍්‍රිය වුනේ හුඟක්. ඊට පස්සේ තමයි අනිත් මාධ්‍ය මේක හොයලා ප‍්‍රචාරය කරන්න ගත්තේ.


(උපුටා ගැනීම යුගන්ති යශෝධරා /දිවයින)




Tuesday, April 6, 2021

සුදෝ පොඩ්ඩක් අඬන්න ...

සිනහවයි කඳුළයි සදා

ලෝකයේ බල දෙක මහා

සිනාසී හැඬුවත් හඬා

සිනහ පෑවත් එක තමා


සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදියි

කඳුළු බිඳුවක් හෙළන්න ....//


ඔයා හෙළු කඳුළැලි අගේ

ගලන විට කම්මුල් දිගේ ...//

දිමුතු මුතු වාගෙයි පෙනෙන්නේ

ලස්සනක් නැහැ ඔය වගේ


සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදියි

කඳුළු බිඳුවක් හෙළන්න


බොරු කියා ඔබ හැඬෙව්වත්

ළපටි හදවත රිදෙව්වත් ....//

මගේ ආලය මමයි දන්නේ

නැහැ වෙනස්කම් සිතින්වත්


හො හෝ

සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදියි

කඳුළු බිඳුවක් හෙළන්න


රත්තරන් අත් දෙක තබා

අඬන විට ඔබ ඉකි ගසා ..//

මගේ ආලය තවත් වැඩිවෙයි

තවත් අඬවමි බොරු කියා


සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදියි

කඳුළු බිඳුවක් හෙළන්න ....//


ගායනය - මොරිස් දහනායක

පද - සිරිල් ඒ. සීලවිමල

සංගීතය - පැට්‍රික් දෙනිපිටිය

හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaica Farewell ගීයෙන් උපුටා ගෙන ඇත.


හැරී බෙලාෆොන්ටේ 1957 දී නිකුත් කළ ඇල්බමයකට ගැයූ ජැමේකියානු ජන ගී ආරේ ගීයකි.


මෙම ගීතයට පසුබිම් වූ කාරණය සිරිල් ඒ. සීලවිමල මහතාගේ බිරිඳ වන අනුලා අබේනායක මහත්මිය අදහස් දක්වමින් "ඔය මොරිස් දහනායක ගයන ”සුදෝ පොඞ්ඩක් අඬන්න” අපේ විවාහයට කලින් හදපු ගීතයක්. පැටි‍්‍රක් දෙනිපිටියගේ සංගීතය. සීලවිමල කියවලා තියෙනවලූ පත්තරේක ද කොහෙද ඔය පෙම්වතියව අඬවන හැටි ගැන පොඩි ලිපියක්. ඔහුටත් හිතුනලූ මාව පොඞ්ඩක් අඬවන්න ඕන කියලා. මුල් කාලේ ඉතිං අපිට අම්මගේ තරමක විරුද්ධත්වයක් තිබුණනේ. ඒක හින්දා ඔහු මට දවසක් කිව්වා ”දැන් ඉතිං මොනවා කරන්නද, අම්මත් කැමති නෑනේ, හිතින් අත් ඇරලා දාමු එහෙනං” කියලා හිතකින් නෙමෙයි විහිළුවට ඔහු කිව්වා. ”මට නං එහෙම කරන්න බැහැ” කියලා මට ඉතිං ඇඬුනා. ඒ ගමන මට කිව්වා ”එහෙනං තේ එකක් හදාගෙන එන්නකෝ” කියලා. මං තේ එකක් හදාගෙන එද්දී ඔහු ”සුදෝ පොඞ්ඩක් අඬන්න, හරිම ආසයි බලන්න, ඔයා ලස්සන අඬන විටදියි, කඳුළු බිඳුවක් හෙළන්න” ගීතය ලියලා තිබුණා


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින)






Wednesday, March 31, 2021

උතුරු කොනේ ...

උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


කොතැනක සිටියත් ඉපැදුණු  මියයන බිම එකනේදෝ

ඒ බිම එක් වී සුරකින යුතුකම

අප සතු නේදෝ


උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


එක මවකගෙ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා

නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොමවන්නයි කිසිදා


උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - චන්ද්‍රා වාකිශ්ඨ

තනුව - විශාරද ගුණදාස කපුගේ


උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ලියන්න බලපෑ පරිසරය පිළිබඳ කළ විමසීමක දී චන්ද්‍රා වාකිෂ්ඨ මහතා සිය මතකය අවදි කළා.


”මගේ තාත්තා උඩරට ප‍්‍රදේශයේ වෙළෙඳ කටයුතු කළ කෙනෙක්. තලවාකැලේ තමයි බිස්නස් කළේ. තාත්තගේ කඩකාමරය අවට ඔක්කොම වගේ හිටියේ දෙමළ අය. ඒ අයයි අපියි අතර පුදුම බැඳීමක් තිබුණා. මටත් ඒ කාලේ දෙමළ කතා කරන්නත් පුළුවන්. අම්මගේ ගම මාතර. අපි මාතර ඉඳලා තලවාකැලේ යද්දි එහේ ඉන්න දෙමළ අයට මාළු ඇඹුල්තියල්, කොණ්ඩ කැවුම්, අටුකොස් වගේ දේවල් ගෙනියනවා. අපි ගියාම තාත්තගේ කඩකාමරය නිදාගන්න ඉඩමදි නිසා ඒ අවට දෙමළ අයගේ ගෙදරක තමයි නිදාගන්න සූදානම් කරන්නේ. ඉතින් ඒ අය අපි ගියාම මුරුක්කු, උළුඳු වඬේ, තෝසේ, පොල් රොටී වගේ එක එක ජාතියේ කෑම හදාගෙන එනවා. මට තාමත් ඒ සුවඳ මතක් වෙනවා. නිදාගන්න ඒ අයගේ කොට්ට පැදුරු එක්ක පෙරවන රෙදි ට‍්‍රංකා පෙට්ටි ඇතුළෙන් අරන් දෙද්දී තිබුණු සැවැන්දරා මුල් සුවඳ. ඉතින් ඒ බැඳීම මේ ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ලියන්න බලපෑවා.”

කෙසේ වෙතත් එම ගීතය මුල්වරට ජනතාව අතරට පත්වූ ආකාරය ගැන විවිධ අදහස් තිබේ. එය මුලින්ම කොළඹ සරසවියේ ‘ප‍්‍රාර්ථනා’ ගී ප‍්‍රසංගයේ දී ගායනා කෙරිණි. ඉන්පසුව එය ගුණදාස කපුගේ විසින් තෝරාගෙන ගුවන්විදුලි ගීයක් බවට පත් කළ බවට අදහසක් තිබේ. එහෙත් එය ගුවන්විදුලියේ ප‍්‍රචාරය වූවාදැයි නිශ්චිත නැත. ගීත රචක චන්ද්‍ර වාකිස්ට පවසන ආකාරයට එම ගීතය සරසවි ප‍්‍රජාවට පරිබාහිර සමාජයේ දී පළමුවෙන්ම ප‍්‍රසිද්ධියට පත් වූයේ 1977 දීය. ඒ කොළඹ නගර සභා පරිශ‍්‍රයේ පවත්වන ලද "චේ ගුවේරා" සැමරීමේ උළෙලකදීය.

”ඒක සංවිධානය කරලා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ. අද ජීවතුන් අතර නැති ජ.වි.පෙ. නායකයන් රැසක් එදා එතන හිටියා. ඉතින් එදා සමරු උළෙලින් පස්සේ තිබුණු සංදර්ශනයක දී ගුණදාස කපුගේ මහතා ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ගායනා කරලා තිබුණා.”

(උපුටා ගැනීම - අජන්තා එම්. ජයසේකර/ජනරල)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...