Friday, February 12, 2021

ආදරේ මැණිකේගේ ආදරේ..

 රණට පැහෙන රන්වන් කෙත මැද්දෙ මේ, දුනුකෙයියා මල සේ රං මැණිකේ මගේ


ආදරේ මැණිකේගේ ආදරේ..//


සිහින මල් පිපි සැලේ

සිනිදු සේලයන් දිගේ

පා තබා කොහේද යන්නෙ

මැණිකේ මේ උදේ

ආදරේ මැණිකෙගේ ආදරේ 


අතට ගිගිරි වළලු මිනි කිකිණි නාද දේ

ඒ හඬින් සැලේවි මිහිර මහද ආදරේ

ආදරේ මැණිකෙගේ ආදරේ 


කෙතක මහිම දුටුවා නිල් ගොයම හා දිලි

වතක මහිම දුටුවා නෙත් යුවල හා වෙලී

ආදරේ.


ආදරේ මැණිකෙගේ ආදරේ 


ගායනය - එච්.ආර්. ජෝතිපාල 

පදරචනය - ප්‍රේමකීර්ති ද අල්ව්ස් 


ඒකනායක මුදියන්සේලාගෙ කොයින් මැණිකේ කොත්මලේ පදිංචිකාරිනියක්. විවාහක කාන්තාවක වූ මැනිකේ එච්.ආර්. ජෝතිපාලයන්ගෙ කට හඬට වශිවෙලා හිටියේ. ඒ වනවිට පිරිමි දරුවන් තුන් දෙනෙක්ගෙ මවක් වූ කොයින් මැණිකෙ දරුවන් ඉන්න කාන්තාවක් යැයි කිව නොහැකි තරමේ සුන්දර රූ සපුවකින් යුතු යොවුන් විනෝදකාමි කාන්තාවක් වූවාය. අතිතයේ දවසක කොළඹ පැවති සංගීත සංදර්ශණයක් නරඹන්න කොයින් මැණිකේ ගොස් තිබුනේ එච්.ආර්. ජෝතිපාලගේ ගැයුම් අහන්ටමය.


ඒ හදවත රත්තං ජෝති දකින්න ඔහුගෙ ගී අහන්න කොයින් මැණිකේ කොළඹ ගොස් තිබුනේ තමන්ගෙ කුඩා පිරිමි දරුවන් තිදෙනාද කැටුවමය. ප්‍රසංග වේදිකා භූමියේ අතුරු සිදුරු නැතිව පිරී තිබූ එදා පිරිස අතර තෙරපී වේදිකාව සමීපයට කෙසේ හෝ පැමිණි මැණිකේ ජෝතිපාල ගී ගයන අයුරු වශී වී බලා සිට ඇත. ඒ උත්තුංග දේහදාරි පුරුෂයා දෙස ඕ බලාසිට ගී ගයා වේදිකාවෙන් බසිනවාත් සමග දුවගොස් ජෝතිපාල අසල නැවති ඇත. සුරූපි නොනැසුන යෞවනය සහිත මේ ගැහැණිය දුටු මොහොතේම එච්.ආර්. ජෝතිපාලගෙ ඇසද ඈ අසල නැවති ඇත. දෛවයේ ඒ මුන ගැස්සීම එක වහලක්‍ යට පවුල් කන තැනටම දුර දිග යන්ට වැඩි කලක් ගත නොවිය .


මේ ප්‍රේම සබඳතාවට පැවති බාධක හෝ මේ ප්‍රේමය නිසා හටගත් බාධක ජෝති - මැණිකේ යුවල තඹයකට නොසලකා තිබිණ. එවකට ජෝතිපාල විවාහවී දියණියන් සිව් දෙනෙකුගෙ පියෙකු වී සිටි අතර එය හෝ කොයින් මැණිකේ විවාහවී පිරිමි දරුවන් තිදෙනෙකුගෙ මවක්ව සිටීම යන කිසිවක් මේ පෙම් කතාවේදි ඔව්හු බාධාවක් කරගෙන නොතිබිනි.


එච්.ආර්.ජෝතිපාල තමන් පදිංචිව සිටි මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවස අතැර කොයින් මැණිකේ සමග කොත්මලේ පදිංචියට ගොස් ඇත.ඉතා කෙටි කලකින් කොයින් මැණිකේද කැටුව මාලිගාවත්තද ජෝති පැමිණ තිබේ. පසුව කඩිනම් මහවැලි ව්‍යාපෘතියට කොයින් මැණිකේගෙ කොත්මලෙ ඉඩම රජය පවරා ගැනීමත් සමග ඒ වෙනුවෙන් ආනුරාධපුර තබුත්තේගමින් මහවැලි කුඹුරු ඉඩමක් කොයින් මැණිකේට හිමිව ඇත.


තඹුත්තේගමදී මැණිකේ සමඟ ජීවත් වූ කාලයෙ ඔහුගෙ කාර් එකේ පිටුපස සුමිතුරෝ චිත්‍රපටයෙ ප්‍රචාරක දැන්වීමක්ද අලවා තිබී ඇත. මැණිකේ සමඟ ගොවි ගම්මානයක ජෝති ගතකල ප්‍රේමවන්ත ජීවිතය හා මැණිකේගෙ ආදරය හේතුවෙන් ඒ අරඹයා ජෝතිගෙ හඬින් ගැයුන කදිම ගී ගොන්නක්ම සිංහල ගී ප්‍රේමීන්ට ඉතිරි වී තිබේ.


ප්‍රේමකීර්තිද අල්විස්ට කියා රචනා කරවා ගෙන මැණිකේ ගැන එච්.ආර්.ජෝතිපාල ගැයූ ‘ආදරේ මැණිකේගෙ ආදරේ ගීතය ආරම්භ  වන්නෙ සංගීත ආරම්භයට ප්‍රථම කවි ස්වරයෙන්


“රණට පැහෙන රන්වන් කෙත මැද්දෙ මේ, දුනුකෙයියා මල සේ රං මැණිකේ මගේ’ ලෙසය.


එකල ප්‍රසංග සඳහා ජෝති මැණිකේද කැටුව ගොස් ඇති බැවින් ද කලක් මැණිකෙ සමග මාලිගාවත්ත මහල් නිවාසයේද මැණිකේ ජීවත්ව ඇති බැවින් බොහො විට එකල ප්‍රේමකිර්තිද අල්විස් සියැසින් මැණිකේ දැක තිබෙන්නට ඉඩ තිබේ. ජෝති මැණිකේ ප්‍රේමය ගැන වැටහීමක් ප්‍රේමකීර්තිද අල්විස්ට තිබෙන්නට ඇත. ඔහු මැණිකේ ගැන ජෝතිට ලියා දෙන්නෙ මෙසේය.


“ආදරේ මැණිකේගේ ආදරේ..//


සිහින මල් පිපි සැලේ

සිනිදු සේලයන් දිගේ

පා තබා කොහේද යන්නෙ

මැණිකේ මේ උදේ


අතට ගිගිරි වළලු මිනි කිකිණි නාද දේ

ඒ හඬින් සැලේවි මිහිර මහද ආදරේ

කෙතක මහිම දුටුවා නිල් ගොයම හා දිලි

වතක මහිම දුටුවා නෙත් යුවල හා වෙලී

ආදරේ.


මැණිකේ ගේ ආදරේ “


ජොතී තඹුත්තේගම නිවසේ ඉන්නා දිනයන්හි ගමේ තරුණයන් හැන්දෑවේ එනිවසේ පැයක් හමාරක් ගත කරන්නට අමතක කර නැත. ජෝතී දකින්නට නිතර මේ නිවසට පැමිණ තිබේ. එයින් ජෝතිගෙ මේ නිවස ප්‍රකට වන්නට වැඩි කලක් ගොස් නැත.


ජෝති මැණිකේ යුග ජීවිතය ගත වූ හැටි සහ ජෝති කෙතරම් මැණීකෙට පෙම් කලාදැයි ජෝති මැණිකේ වෙනුවෙන් ගැයූ ගී ශාක්ෂි සපයයි. ඒ ගී එදාද අදද රසික ජනයාගෙ නොමද ආදරයට ලක්ව මුව මුව රැව් දුන්නද ඒවා ජෝති විසින් මැණිකේ සම්බන්ධයෙන් ගැයූ ලෙස පුද්ගලිකව දැකීමෙදි ඇතිවන හැඟීම සපුරා වෙනස්‍ ය.


ජෝති මැනිකේ ආදර කතාවේ නොරිස්සුම් සහ සිත් රිදීම් රැසක් තිබෙන්ට ඇත. දෙදෙනාම වෙනත් විවාහයක සිට එක් වූවෝය. ජෝතිව නිත්‍යානූකූලමව තමන් සතු කරගන්ට ඇතැම් විට මැණිකේට අදහසක් තිබෙන්නටද ඇත.


එච්.ආර්.ජෝතිපාල හෙවත් මෙරට සංගීත ප්‍රේමීන්ගෙ හදවත රත්තරං ජෝතීගෙ හදවත සොරාගත් මැණිකේ ලඟ නතරව ජීවිතය මැණිකේ සමගම ගෙවන්නට වීමේ ආදරයෙ ප්‍රතිඵලය ලෙස ඔවුනට 1982 සැපතැම්බර් 15 වැනිදා කොළඹ සොයිසා රෝහලේදි දුවක ඉපැදින. ජෝති විසින් ඈට නම තබන ලද්දෙ මිහිරි නිසංසලා ජෝතිපාල ලෙසය. ජෝති මිහිරී දුවට අතිශය ප්‍රේමයෙන් සිට ඇත. එදවස අත තිබූ මුදල් යොදවා මිහිරි නිසංසලා දුව වෙනුවෙන් ජෝති බැංකු ගිණුමක්ද ආරම්භ කර ඇත. ජෝති “මගේ නිසංසලා දුවේ ,, ගීතයත්, “මිහිරි මිහිරි දුවේ මිහිරි” ගීතයත් ගායනා කර ඇත්තේ මිහිරි නිසංසලා දියණිය වෙනුවෙනි.


තම පෙම්බර මැණිකේගෙ පැරණි විවාහයෙ පුතුන් තිදෙනාටද පියෙකු වූ ජෝති ඔවුන්ගේ අධ්‍යපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විය හියදම් දැරීම් ඉතා ඕනෑ කමින් සිදුකර තිබේ.


ජෝතිගේත් මැණිකේත් පෙම් කතාව පමණක් නොව ජීවිත කාලයද නිමාව ගොස් ඇත.ජෝතී මිය ගියදා තඹුත්තේගම සිට තනිව ජෝතිගෙ දේහය දකින්නට කොළඹට ගොස් ඇති මැණිකේට සෙනඟ පෝලිමේ සිට තප්පර කීපයක් දේහය දකින්නට පමණක් අවස්ථාව ලැබී ඇත. ජෝතී ගී ප්‍රේමීන් කිසිවෙක් නොදැන හුදකලාව ජෝතිගෙ පෙම්බරිය මැණිකේ ද මෙලොවින් නික්ම ගොස්ය.


“තාත්තා අම්මා වෙනුවෙන් ගැයූ අම්මා කැමතිම සිංදුව අජන්තා රණසිංහ මහත්තය ලියපු ‘නින්ද නේන රාත්‍රියේ. තාත්තා අම්මාට මැණිකේ කියනව වගේම කාන්ති කියලත් කතා කලා.


(උපුටා ගැනීම - අරුණ)




අපි කවුරුද ...

සී සී කඩ විසිරුණු සිතිවිලි

දිය බුබුලේ නළියන පෙන කැටි වාගේ

නැති වෑ

හුදෙකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුණා

වගේ නිමක්‌ නෑ


මොහොතින් මොහොතට

ගෙවෙනා කාලය

දැනෙනවා තාමත් එක විදිහට

ගිනියම් ඉර සඳ සිසිලස

අතරේ හොයනවා හොයනවා

මේ අපි කවුරුද


ගීයකි ලොව සිතුවම් කළ

අතරේ අහනවා බලනවා

මේ අපි කවුරුද

ඉර බැස යන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ

ගලා හැලෙන රිද්මේ

නැහැවී ඇදී යන්නේ

ඈතින් ඈතට පාවී සුළඟ සේ


පද රචනය/

තනුව - සේනක බටගොඩ

ගායනය - වායෝ


අපි කවුද කියලා සමහරවිට අපිවත් දන්නෙ නැහැ. අපි තවමත් අපිව හොයනවා. අපි ජීවත් වෙන්නේ මේ මොහොතෙ විතරයි. හෙටක්‌ ගැන හිතනවද මන්දා මේ මොහොතේ ජීවත් වෙමින් අපි අපිවම හොයනවා.


සී සී කඩ විසිරුනු සිතුවිලි

දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ නැති වෑ

හුදෙකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුනා වගේ නිමක්‌ නෑ


අපේ සිතුම් පැතුම්, සිතුවිලි හැම තැනම විසිරිලා හිත එක තැනක නැහැ. හරියට දිය බුබුලක නලියන පෙණ වගේ. ඒවා ඇතිවෙනවා නැති වෙනවා. හරියට අපේ සිතිවිලි වගේ. තනිව සිටිද්දී අපි සිහින ලෝක අතර අතරමං වෙනවා. ඒ හීන ඉවරයක්‌ වෙන්නේ නැහැ. හීන ආකාරයක්‌.


අමුතුම ගීයක්‌... ගයන්නේත් අමුතුම තාලෙකට සංගීත කණ්‌ඩායමක්‌. කණ්‌ඩායමේ නමත් අමුතුයි. වායෝ, සංගීත් විඡේසූරියගේ මූලිකත්වයෙන් හැදුන බෑන්ඩ් එකක්‌. බෑන්ඩ් එකේ හැම කෙනෙක්‌ම වගේ ගීයට වාදනයෙන් වගේම ගායනයෙනුත් එකතු වෙනවා. සිංදුව ලියුවේ සේනක බටගොඩ තනුවත් සේනකගේ.


බොහොම සරල වචන ටිකක්‌. සරල දෙයක්‌ ගැනයි කතා කරන්නේ. අපි කවුද කියල තමයි විමසන්නේ. සේනක පැවසුවා.


මොහොතින් මොහොතට ගෙවෙනා කාලය

දැනෙනවා කාටත් එක විදිහට

ගිනියම් ඉර සඳ සිසිලස

අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද...


කාලය තත්ත්පරෙන් තත්ත්පරය ගෙවිලා යනවා. එය හැම කෙනකුටම එක විදිහයි. හිරුගේ රශ්මිය, සඳුගේ සිහිලස මේවා අතරේත් අපි හොයන්නේ අපිවමයි. ඇත්තටම අපි කවුරුද කියලා තමයි මේ හොයන්නේ.


මේක හරියට ෆැන්ටසියක්‌. ඕනම කෙනකුට තමන්ට රිසි සේ මේ ගීයත් එක්‌ක ඒ ෆැන්ටසිය විඳින්න පුළුවන්.


මම වෘත්තියෙන් සංගීත ශිල්පියෙක්‌. මියුසික්‌ තමයි මගේ රස්‌සාව. මම තවත් සිංදු කීපයක්‌ම කරලා තියෙනවා. කාලයක්‌ මමත් බෑන්ඩ්වල හිටියා. ඒ වෙස්‌ටර්න් බෑන්ඩ්... වායෝ ගයන මේ ගීය සෑහෙන ජනප්‍රිය වෙමින් තියෙනවා.


ගීයකි ලොව සිතුවම් කළ

අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

ඉර බැස යන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ

ගලා හැලෙන රිද්මේ නැහැවී ඇදී යන්නේ

ඈතින් ඈතට පාවී සුළඟ සේ...


මේ ලෝකයම ගීයක්‌... පාට පාටින් සිතුවම් කළ ගීයක්‌. පාට පිරුණු ලෝකයක්‌. ඒ අතුරෙන් අපි හොයන්නේ බලන්නේ අපි කවුරුද කියලා තමයි. ඉර බැස යනවා. ගොම්මන ළඟා වෙනවා. ආකාසේ තරුවක්‌ දෙකක්‌ දිළිසෙන්න පටන් ගන්නවා. ඒත් ආකාසය අන්ධකාරයි. කලුම කලු පාටයි. අන්ධකාර අහසේ තරු එක දෙක දිලිසෙද්දී ලස්‌සන පාට පාට ගීයේ රිද්මය ගලාහැලෙනවා. ඒ රිද්මයෙන් අපේ සිතිවිලි තෙමී නැහැවෙමින් ඈතට ඈතට පාවෙලා යනවා... හරියට හුළඟක්‌ වගේ.


ගීය අපට දෙන්නේ ඔය වගේ අරුතක්‌. අපේ ජීවිතය ගැන සැහැල්ලුවෙන් කියන ගී පද පෙළක්‌. අමුත්තක්‌ දැනෙනවා. ඒ අමුත්ත විඳගන්න ඔබටත් හැකිවේවි.

මෙම ගීතයේ මුල් අයිතිකරුවා පිළිබදව අදටත් බොහෝ දෙනෙකු හරි හැටි දන්නේ නැහැ.විශේෂයෙන් රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය තුල ඔහුගේ ගීත ප්‍රචාරය නොවීම ඊට හේතු විය හැක.ඉතින් එතරම් ප්‍රසිද්ධ නැති නමුත් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට පහල වූ අග්‍රගන්‍ය මාණික්‍යයක් බදු වූ ඔහු නමින් සේනක බටගොඩයි. "Pace" නමින් ඔහුගේම සංගීත කණ්ඩායමක් ගොඩ න⁣ගාගෙන සිටින සේනක බටගොඩයන්ගේ සංගීත ශෛලිය Classic Rock ආරට අයත් වේ.ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙන් පසුව "සිංහල classic rock" ශෛලිය තුල බිහි වූ දක්ෂතම කලාකරුවා සේනක බටගොඩ බවට හැගී යන්නේ ඔහු ගායනයට මෙන්ම පද රචනයට සහ තනු නිර්මාණයටද එක ලෙසින් දස්කම් පෑම නිසාමය්.ඔහුගේ හඩ පරාසය සහ ගායන විලාශය "Elton John" සහ "Bob Seger " යන ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවන් හා සම මට්ටමක පැවතීම සැබැවින්ම විශ්මයජනකය. ඔහුගේ ගීත බොහොමයක් දැකගත හැකි වන්නේ අන්තර්ජාල මාධ්‍ය⁣ තුල පමණි. කොටින්ම ඔහුගේ බොහොමයක් ගීත වලට රූප රචනා පවා නොමැත. වායෝ සංගීත කණ්ඩායම "අපි කව්රුද ගීතය 2012 දි නිකුත් කලද සේනකයන් එය පටිගත කල ගීතයක් ලෙස මුල්වරට අන්තර්ජාලයට නිකුත් කරන්නේ 2015 දීය.ඔහුගේ දක්ෂතාවයේ තරමට ඔහු ප්‍රසිද්ධ නොවීමට එයද හේතුවක් විය හැක. නමුත් ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත වල අර්ථ රසය සහ ශබ්ද රසය වචන වලින් කියා නිමකල නොහැකි තරමටම සුන්දරය. ඒ හේතුව නිසාම ඔහුගේ බොහෝමයක් නිර්මාණ අමු අමුවේම අනුකරණය කිරීමට අපේ රටේ සමහර ශිල්පීන් උත්සාහ දරය්.ඒ කරුණ නිසාම බටගොඩයන් විසින් නිර්මාණය කරන ලද සමහර ගීත වල සැබෑ උරුම කරුවා ඔහු බවට බොහෝ දෙනෙකු නොදැන සිටීම කණගාටුවට කරුණකි.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින හා loveme.blog)









නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...