Thursday, December 10, 2020

ඉස්සර විදියට

ඉස්සර විදියට දුවපැන යන එක

මතකද තහනම් කරපු දිනේ...

සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද

කියන්න පොඩි හාමුදුරුවනේ...


කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්

රෑ තුන්යම රජ මඟුල් කතී..

පාළුව දැනුනම මෙරු රැළ තරහින්

වැලි මාලිග වට කුලල් කති...


ඉස්සර විදියට...//


රෑ කල තනි යහනේ සැතපෙන විට

දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..

බුදු බණ එතකොට සිහියට එනවද

කියන්න පොඩි හාමුදුරුවනේ...


ඉස්සර විදියට...//


ගායනය - එඩ්වඩ් ජයකොඩි 

පදරචනය - අමරසේන කංකානම්ගේ 

සංගීතය - රෝහණ වීරසිංහ 


ඉස්සර විදිහට දුව පැන යන” ගීතය නම් අදටත් කා අතරත් ජනප‍්‍රියයි?

 

අමරසේන කංකානම්ගේ අදහස් දක්වමින් "ඒකත් එඩ්වඩ්ගේ ඉල්ලීමට ලියූ ගීතයක්. දවසක් ඔහු මට කිව්වා පොඩි හාමුදුරු කෙනෙක් ගැන ගීතයක් ලියලා දෙන්න කියලා. මං ඉතිං ඒ කාලේ මට තේරෙන විදිහට ගීතයක් ලියලා දුන්නා. එඩ්වඩ් මොකද කළේ මේක බලලා විසි කරලා දැම්මා මේවා සින්දුද කියලා. මට හරි ලැජ්ජයි. දැන් ඉතිං මට අභියෝගයක් තියෙනවා. මේක හොඳ නිර්මාණයක් කරන්න වෙනවා මෙයාගේ ඉස්සරහා. මේ නිර්මාණය කරන්න බැරි උනොත් මට ලැජ්ජයි. ඒක නිසා මං හිතලා හිතලා පළවෙනි පද දෙක ලියලා, මං හාමුදුරු කෙනෙක් ළඟට ගෙනිහිල්ලා මං ඇහුවා මෙහෙම මේ පොඩි හාමුදුරුවන්ට අවවාද අනුශාසනා දෙනවා නේද කියලා මහණ උනහම. ඔව් එහෙම තමයි කිව්වා. ඊට පස්සේ මම ගීතය නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ ගීතය මං විසි පාරකට වැඩිය ලිව්වා. මොකද අර ලැජ්ජාවෙන් බේරෙන්න ඕන හින්දා. ලියලා ලියලා මගේ හිතට ඇති වෙනකං, කම්මැලිකම කියන එක අයින්කරලා දාලා මම ලිව්වා. ලියලා ලියලා ඉවරවෙලා මේ දැන් ජනප‍්‍රිය වෙලා තියෙන ගීතය මං දුන්නා එඩ්වඩ්ට. ඒක බලලා මුකුත් කිව්වේ නෑ වචනයක්වත් කතා කළේ නෑ එහෙමම නාවලා සාක්කුවේ දා ගත්තා. හැබැයි මට මෙහෙම කතාවක් කිව්වා. මං අපේ හාමුදුරුවන්ටත් දුන්නයි කිව්වා හාමුදුරු කෙනෙක් ගැන ලියන්න කියලා සිංදුවක්. බලමු කිව්වා දෙකෙන් කෝකද හොඳ කියලා. මං කිව්වා ඔව් හොඳ එකක් ගන්න කියලා. කොහොම හරි ඊට මාසෙකට විතර පස්සේ එඩ්වඩ් ඇවිත් මට කිව්වා අන්න සිංදුව කළා; හරි ලස්සනයි කියලා. ඇත්තෙන්ම ඒ ගීතයේ පොඩි හාමුදුරුවන්ගේ පුංචි කාලේ තමන්ගේ ජීවිතයේ තියෙන දහසකුත් දුක් කම්කටොලූ තමයි කියවෙන්නේ. 83 සැප්තැම්බර් මාසේ දහඅට වෙනිදා මේක ලියලා තියෙන්නේ. හරිම ලස්සනට සංගීතය මුසු කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ කැසට් පටයේ නමත් ගීතයේ නමින් ඉස්සර විදිහටමයි. 

අපි මේ අහන්නේ ඔබ ලියූ සාර්ථක වූ ගීතය. එඞ්වඞ් ජයකොඩි විසිකර දැමූ ගීතයේ පද මතකද? 

ඒක මතක නෑනේ දැන් මට. හැබැයි මේක ප‍්‍රථම පුරුෂයෙන්නේ ලියන්නේ. අර විසි කරපු එක ලිව්වේ හාමුදුරු කෙනෙක් කියන හැටියට උත්තම පුරුෂයෙන්. ඒක එච්චර රසවත් වුණේ නෑ. ඒකනේ එඩ්වඩ් ඇහුවේ මේවා සිංදු ද කියලා. මට මතකයි මගෙත් එක්ක හිටියා පොඩි හාමුදුරු කෙනෙක්. ඉස්කෝලේ හතරේ හෝ පහේ ඉන්න කාලේ වෙන්න ඕන. අති දක්ෂ හාමුදුරු කෙනෙක්. ඒ කාලේ පොඩි හාමුදුරුවරු පන්සලේ ඉඳන් බණ දහම් පොත් කට පාඩම් කරනවා, පාලි හා සංස්කෘත භාෂා වර නගලා කට පාඩම් කරනවා, තාලයට පිරිත් පොත් කියනවා, තාලයට ගාථා කියනවා, මේවනේ ඒ කාලේ කළේ. ඒ කාලේ ඒ පොඩි හාමුදුරුවොයි මායි ඉස්කෝලේ ඇරිලා ආවම අහල පහල පොඩි පොඩි ලඳු කැලෑවල දන්, කරඳ, බෝවිටියා, කිරිල්ල කඩන් කනවා. මට ඒ පුංචි කාලේත් මතකයට ආවා මේ ගීතය ලියද්දි. අනික අපි දන්නවනේ පොඩි හාමුදුරුවන්ට තනියෙන් වැඩ කර ගන්න බෑ. නහයෙන් අඬ අඬ පොඩි කාලේ ජීවත්වෙන ආකාරය දන්නවනේ. අම්මලා ළඟ හිටියා නං කවදාවත් අම්මලා ඔය තත්ත්වෙට මේ දරුවාව පත් කරන්නේ නෑනේ. අවුරුදු දහහතර පහළොව විස්ස උනත් දරුවන්ගේ සේරම දේවල් අම්මලා කරලා දෙනවා. පන්සලට ගියාම තමන්ම තමයි තමන්ගේ හැමදේම කරගන්න ඕන. ඉතිං ඒක නිසායි ඒ අන්තිම පදේ ලියන්නේ බුදු බණ එතකොට සිහියට එනවද කියන්න පොඩි හාමුදුරුවනේ කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...