Sunday, July 12, 2020

බත කා ඉවරයි ...

බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා

ගේය  පද: පරාක්‍රම කොඩිතුවක්කු
සංගීතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: සුනිල් එදිරිසිංහ

චිත්‍රපටය: වීර පුරන් අප්පු
රංගනය: රවීන්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා
අධ්‍යක්ෂණය: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්
නිෂ්පාදන: ටිරෝන් ප්‍රනාන්දු සහ ධර්මසිරි බණ්ඩාරනායක
තිරගත වූ දිනය: 1978 අගෝස්තු 08

සුනිල් එදිරිසිංහ ගැයූ "බත කා ඉවරයි" ගීතය සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම ගීයක්. ගීතය ලිව්වෙ පරාක්‍රම කොඩිතුවක්කු ඔහු සිංහල ගීත ක්ෂේත්‍රයටම ලියා ඇත්තෙ ගීත තුනක් පමණයි.එයින් එක ගීයක් නන්දා මාලනිය විසින් මීට කලකට පෙර නිකුත් කල “කිඳුරියකගේ විලාපය” ගී එකතුවට ඇතුළත් කර තිබුණා. අනෙක් ගී දෙකම ගායනා කළේ  සුනිල් එදිරිසිංහ. ඔහු “ වීර පුරන් අප්පු” චිත්‍රපටයට ලියූ “බතකා ඉවරයි” ගීය වගේම සුනිල්ට ලියූ අනෙක් ගීතයත් සොර දෙටුවෙක්" ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත් වුණා.

 ඔය ගීත හැරුනු විට පරාක්‍රම කොඩිතුවක්කු ලියූ වෙනත් ගීත සිංහල ගීත සාහිත්‍යයේදි හමුවන්නෙ නැහැ.

පරාක්‍රම කොඩිතුවක්කු අපට සිටින විශිෂ්ඨතම කවියෙක්. 70 දශකයේ ඔහු ආරම්භ කළ නව කවි සම්ප්‍රදාය සිංහල කවිවේ අලුත් මගක් ගත්තා.පසුකාලීනව බිහිවූ නූතන කවියන්ද පරාක්‍රමගේ කවි මගට අනුගත වුණා.  පොඩි මල්ලියෙ,   අකීකරු පුත්‍රයෙක්ගේ ලෝකය  සහ  අලුත් මිනිහෙක් ඇවිත් වැනි විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහ ඇතුළු කවි පොත් 15 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඔහු ලියා තිබෙනවා.පසු ගිය වසරේ ඔහු විසින් නිකුත් කල “ඔබ සමග” නවකතාවත්, “ සුළ‍‍ඟේ දිවූ කෙල්ල” කෙටිකතා එකතුවත්  පරාක්‍රම සිය කවි ම‍ඟෙන් බැහැරව නිර්මාණය කල කෘති දෙකක්. මේ පොත් දෙකම ඔහුගෙ කවි සම්ප්‍රදාය අභියෝගයට ලක් කළ කෘති දෙකක්.

පරාක්‍රම කොඩිතුවක්කු “බතකා ඉවරයි” ගීය සදහා යොදා ගන්නෙ ජන වහර එය ඔහුගෙ කාව්‍ය සම්ප්‍රදාය තුළද දකින්න පුළුවන්.

සුනිල් එදිරිසිංහ චිත්‍රපට පසුබිම් ගී විශාල ප්‍රමාණයක් ගයා නැහැ. ඒත් කලාතුරකින් හෝ චිත්‍රපට පසුබිම් ගීයක් ගායනා කලොත් එය ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත්වෙනවා. ඒ සමාජ ගත වීම සුනිල්ගේ හ‍ඬෙහි තිබෙන සෞන්දර්යාත්මක ජීව ගුණයත්, දාර්ශනික ගායන ශෛලියත් එකතු වූ තැන ඔහුගෙන් පිරිපුන් ගීයක් බිහිවීමටත් එක හේතුවක්.

ප්‍රේමසිරි කේමදාස, විසිවන සියවසේ මෙරට පහළ වූ විශිෂ්ඨතම සංගීතකරුවා. ඔහු මේ ගීය සදහා භාවිතා කරන්නෙ දේශිය සංගීත භාණ්ඩ කීපයක් පමණයි. එය චිත්‍රපටයේ ජීව ගුණයට වගේම ගීතයේ ජීව ගුණයටත් බලපා තියෙනවා. අතීතයේ කවි කොලකරුවන්ගේ කාව්‍ය රීතිය ගීතයේ තනුව සඳහා සෘජුවම භාවිතා කරනවා. ඒක තමයි කේමදාස සම්ප්‍රදාය.





මිනිසෙකු පිට නැගි අසරුවෙකි ...

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී ...//

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී

ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී  ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - එච්.එම්. ජයවර්ධන

මේ ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. 1984 දී එය "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා. 

80 දශකයේ ගුවන් විදුලි සංස්ථාව ඉස්සරහා පාර ලඟ ලොකු මාර ගහක් තිබුනා. ගසේ මුල් හැම තැකම විසිරිලා තිබුනු නිසාත් නිස්කලංක තැනක් නිසාත් සංස්ථාවේ පිරිස් විවේකයක් ගන්න මේ ගහ ලගට එකතු වෙනවා..

එක් දිනක් ප්‍රේමකීර්ති මහතා සහ මිතුරන් කිහිපදෙනෙකු සමග මදුවිතක් සප්පායම් වෙමින් සිටින අවස්ථාවක සුනිල් එදිරිසිංහ එම ස්ථානයට පැමිණ ඇත.

සරල ගී වැඩසටහනකට පෙර දිනක ගීතයක් ලියා දෙන ලෙස සුනිල් එදිරිසිංහ මහතා ඔහුට කියා තිබූ බව ප්‍රේමකීර්ති මහතාට මතක් වූයේ එවිටයි..

අවස්ථාවට අනුකූලව ප්‍රේමකීර්ති මහතා පිලිතුරක් ලෑස්ති කරගත්තේය.

"සිංදුව හරි සංස්ථාව ඇතුලේ තියෙනවා.. මගේ ලොකර් එකේ, ඒක උබට ගෙනත් දෙන්න මම ගියොත් මුන් මේක  ඉවර කරනවා.. තව මොනවා හරි වැඩක් තියෙනවා නම් කරගෙන පැය භාගෙකින් විතර එන්න"..

ප්‍රේමකීර්ති මහතා සුනිල් මහතාට ඒ කීවේ බොරුවකි. ඇත්තටම ඔහු ගීතයක් ලියා තිබුනේ නැත.

නැවතත් මිතරන් සමඟ එක්වූ ප්‍රේමකීර්ති මහතාට නුදුරින් රේස්(සූදු) පත්තරේ බලමින් සිටින පුද්ගලයෙකු පෙනිණි.

ප්‍රේමකීර්ති මහතා කොළ කෑල්ලක් රැගෙන ඒ අවස්ථාවේ ඔහුගේ හිතට ආ පදවැල ලියා සාක්කුවේ දාමා ගත්තේය.

පැය භාගයකින් පමණ නැවත පැමිනි සුනිල් එදිරිසිංහ මහතාට එම පදවැල දුන්නේය....

ඔබ අදටත් ආදරයෙන් රස විදින මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ ගීතයයි..



ආදරයේ උල්පත වූ අම්මා ...

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

ආද‍රයේ උල්පත වූ...//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

මේ ගීතය මගේ (ප්‍රේමකීර්ති) අතින් ලියැවුණේ එක්තරා උණුසුම් අවස්ථාවක. මගේ අම්මා මං ලියන හැම ගීතයක්ම වගේ ගුවන් විදුලියෙන් අහන එක පුරුද්දක් වශයෙන් කළා. ඒ ගීතවලින් ඇය අමුතු වින්දනයක් ලැබුවා. මට මතකයි, එක දවසක් දා අපි ගෙදර කතා කර කර ඉන්න වෙලාවක අම්මා මට මෙහෙම කිව්වා.   

‘‘උඹ බොරු කකුල්කාරයටයි, රූකඩේටයි, අරකටයි, මේකටයි හැම එකකටම සින්දු ලියනවා. ඒත් උඹ මං ගැන තවම සින්දුවක් ලිව්වේ නෑනෙ.’’

මම ඒ කතාව අහල අම්මට විහිළු කළා මිසක් ඊට පස්සේ ඒ කතාව අමතක වෙලා ගියා. ඔහොම ඉන්න කොට ඊට අවුරුද්දකට විතර පස්සෙ හිටි ගමන් අම්ම අසනීප වුණා. අපි අම්මාව ඉක්මනට රෝහලට ඇතුළත් කළා. වෛද්‍යවරු කිව්වා ඇගේ තත්ත්වය ඉතා බරපතළයි කියලා. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින් පිරිහුණා. ඒ වගේම පියවි සිහිය ද විකල් වුණා. කොටින්ම මා පවා අඳුන ගන්න බැරිව ගියා. මට මේක දරාගන්න බැරිව ගියා. අම්මට හිටිය එකම පුතා මං විතරයි. අම්මා බලන්න රෝහලට යන හැමවිටම මට අම්මා අර කිව්ව ඉල්ලීම මතක් වුණා. සහෝදරියන් එක්ක අපි හිටියේ හැඬූ කඳුළින්. මම ‘ආදරේ උල්පත වූ අම්මා’ ගීතය ලියලා වික්ටර් රත්නායකයන්ට දුන්නේ අම්මා ගැන දැඩි හැඟීම්වලින් පිරුණු දුක්බර හදවතකින්.
   
රත්නෙ මේ ගීතය අපි ඉක්මනට කියමු. අම්මා තවම ඉන්නේ අසාධ්‍ය තත්ත්වයක. මම වික්ටර්ට කිව්වා.   
අම්මා බොහෝ කාලයක් ගොස් යළි සුවය ලබන තුරු ඒ දිනවල මම වෙනත් ගීත ලියූවත්, මම නොඇසූ ගීතයක් වශයෙනුයි ‘ආදරයේ උල්පත’ ගීය මගේ මතකයේ ජීවත් වුණේ. එදා එය අසන්නට තරම් මානසික ශක්තියක් මට තිබුණේ නැහැ. ඊට පස්සේ මගේ අම්මගේ ප්‍රියතම ගීතය වූයේ එයයි. මෙය මගේ අති පෞද්ගලික හැඟීම්වලින් යුක්තව ලියූ ගීතයක්.”  

මේ ගීතයට ලෝකය බිහි කළ අම්මාගේ නැළවිලි ගීය පදනම් කරගත් ස්වර පද්ධතියකින් තනුව නිර්මාණය කිරීමට වික්ටර් රත්නායකයන් සමත් වී ඇත. ඒ ගීතයේ ඇත්තේ පොදු ව්‍යවහාරික ජන නැළවිලි ගී ගොනු කරගත් ස්වර ලතාවක් බව වික්ටර් කියයි. වික්ටර්ගේ නැවුම් මිහිරි ගායනා විලාසයත් හැඟීම් උද්දීපන කටහඬත් නිසා පද මාලාවේ අරුත් බර බව තව තවත් තීව්‍ර වෙයි. එහි අන්තර් වාදන සංගීත ඛණ්ඩ හා ගායනයේ පසුබිම සරසන අත්‍යන්ත නාද සමූහය ද නැළවිලි ගී ආශ්‍රිතව සකස් කර ඇත.  

වික්ටර් පවසන්නේ, මේ ගීතය ලියද්දී තම සමීප හිතවතෙකු වූ ප්‍රේමකීර්තිගේ පුද්ගලික ජීවිතය හොඳින් දැන සිටීම, ඒ දිනවල ඔහුගේ තිබුණ මානසික ස්වභාවය තේරුම් ගැනීම, දෙදෙනා අතර තිබූ දැඩි මිත්‍රත්වය හේතු කොට​ ගීතයේ සාර්ථකත්වයක් ඇතිවූ බවය.



සිංහල සිංදු කියන ...

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී….

රත්න ශ්‍රී විජේසිංහයන් අතින් මේ පද පේලි බිහි වීමට මුල් වුයේ දයාසේන ගුණසිංහ මහත්මයාගේ “සිව්දෙස” සඟරාවයි. දිනක් එහි පල වී තිබුණු පුවතක් දුටු විගසම මෙම ගීතයේ ගායක “ගුණදාස කපුගේ ” මහතාට ඒ පුවත පිළිබඳව සිය හිත මිතුරු රත්න ශ්‍රී මහතාට නොදන්වා සිටීමට නොහැකි වුනා..

එම ලිපියේ තිබු ආකාරයට මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ විනීතා ගුණසේකර නමැති තරුණිය පොලිස් සේවයට බැඳෙනවා. නමුත් ඇයට සේවය කිරීමට සිදු වන්නේ කිරුලපන පොලිස් ස්ථානයේ.. ඒ සම කාලීනවම පොලිස් සේවයට එක් වුනු තරුණයෙක් තමයි නඩේෂන්.. මේ දෙදෙනාගේ සිත් ලං වීමට නඩේෂන්ට හරි හැටි සිංහල කතා කිරීමට බැරි වීමවත් විනිතාට දමිල කතා කිරීමට තිබු නොහැකියාවවත් හරස් වුනේ නැ… කාලයේ අවෑමෙන් දෙදෙනාගේ පෙම වැඩෙද්දීම 1983 වකවානුවේදී තිබුන වාර්ගික ගැටළු නිසාම විනීතා සහ නඩේෂන්ගේ ප්‍රේමයට ඥාති, දෙමාපිය ආශිර්වාදය නම් හිමි නොවුනේ අවාසනාවට… ඒ කිසිත් නොතකා තමන්ගේ ලෝකයක් වෙත හිතුමතේ පියවර තබන ඔවුන් යුග දිවියට එළඹි දිවි ගෙවන්නට යන්නේ නඩේෂන්ගේ ගම පළාත වුනු උතුරුකරයට. තමන්ගේම ලෝකයක් ගැන සිහින මැවූ ඔවුනට අවසානයේ සිදු වන්නේ LTTE ත්‍රස්තයින් සමග එක් වීමටයි..

නඩේෂන් LTTE පොලිස් අංශ නායකයා වෙද්දී විනිතා එහිම ප්‍රබල කොටි සාමාජිකාවක් වුනා..ඇය කොටි සාමාජිකසාමාජිකාවන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ කටයුතු සිදු කළා. මොවුන්ට දරුවන් දෙදෙනකු සිට ඇත. (2009 වසරේදී මොවුන් සියළුම දෙනා මියගොස් ඇත.)

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී……………

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වසී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුණ සුරෑපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විගඟ සෙනග හඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැක ගනින් දේවතාවී….

කෙටි නොවුණු මේ වෘතාන්තය අකුරක් නෑරම ගීයකට ගොනු කරන්නට රත්න ශ්‍රී ශූරීන් තුල වූ අපූර්වතම හැකියාව පිලිබඳ මේ ගේය පද එකින් එක විග්‍රහ කිරීමෙන් ඔබව නිසැකවම මවිතයට පත්වනු ඇත..

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

පසුකාලීනව කොටි පොලිස්පති නඩේෂන් ද මෙම ගීතයට ඉමහත් ලෙස ප්‍රිය කර ඇත.



සැදෑ අඳුර ලොව ...

සැන්දෑ සමය පිලිබඳ ඉතා චමත්කාරජනක සිතුවිලි සමුදායක් අප සැමගේ සිතට නැගෙන ලෙස මේ ගීතය රචනා කර සංගීතය සපයා ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ ශූරීන්.

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණ ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි...//

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ - නිඳි ලොව වෙත
එතෙර වන්න නිඹදේ...

සැදෑ අඳුර ලොව...//

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට...//
අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ...//

සැදෑ අඳුර ලොව...//

සෝමතිලක ජයමහ මහතා මෙම ගීතය රචනා කරන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ ඔහුගේ ගුරුවරයකු වූ ඩන්ස්ටන් සිල්වා මහතාගේ රාජකාරියකට. කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුන. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. ඔහු එතැනදී දුටුවා මද දුරකින් පිහිටි ගෙයක්. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන් පත් වැහෙන වෙලාවට" ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා. මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා.

ගීතය පටිගත කරලා ගීත රචක හැටියට සෝමතිලක ජයමහ මහතා අන්වර්ථ නමක් එම්. රාජපක්ෂ කියලා දමා ඇත. මොකද ඒ කාලයේ ගීතයක් රචනය කරලා, තනුව නිර්මාණය කරලා ගායනා කළ අය සිටියේ ටික දෙනයි. සංගීතය පැත්තෙන් ඉහළටම ගිය සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව මේ අතර ප්‍රමුඛස්ථානයේ හිටියේ. මගේ නම ගීත රචනයට දැම්මා නම් ඒක නුසුදුසු ගීතයක් කියාල ප්‍රතික්ෂේප වෙන්න තිබුණා’ 

1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා.

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි...//

ගීත පද සංකල්පනාවට මුල් වූ සිදු වීම ආශ්‍රයෙන් ගීතයේ පළමු පද පේළි දෙක රචකයාගේ සිතට පහළ වූ අයුරෙන්ම ගීතයට අඩංගු වී තිබේ.

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//

පෙම්වතා මුළු රැය සිතිවිලි සයුරක යාත්‍රා කළ යුතුයි තීර්ථ යාත්‍රිකයෙක් මෙන් සිය පෙම්වතිය සමගින්.

මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
එතෙර වන්න නිඹදේ...

එහිදී ඔහු ඇයට ආරාධනා කරනවා ඇයට සිය ආදර ඔරුවේ නැගී නිදි ලොව වෙත එතෙර වන්න යයි කියා.

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...//

මෙසේ සුව සේ නිදා ගෙන රාත්‍රිය අවසන්නි වූ පසු නිර්මල පතුමකින් සිත පුරවාගෙන ඇය උදැසන කාළයේ ඇහැරෙනවා.

අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ...//

මෙසේ ඉරු නැගෙන උදැසන කාලයේ ඇය ඇහැරෙන විට ඔහු ඇරයුම් කරනවා ඇයට තම ජිවිත මල් උයනේ මලක් වී පිපි ඉන්නයි කියා.



ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ...

බ්‍රොaහියර්ට සහ සේකරට හමුවූ අවුකන පිළිමය

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැළවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

නො අදහා බුදු කෙනෙකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක්‌ යෑයි ඔබ සිතා සිටියෙමි
තෙතක්‌ හෝ කිසි දයාවක්‌ නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නොපෙනිණි

අහිංසක හදවත්හි උපදින
මෙලෙක්‌ සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබහට ම මිස ලොව
ගලින් කළ අයට නෑඟෙයි

කෙළෙස්‌ මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝ තලයේ
අනෙක්‌ පිහිටක්‌ නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක්‌ කොට ඇත

ඔබේ පා මුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක්‌ ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන
- මහගම සේකර, සක්‌වා ලිහිණි 

අති දැවැන්ත ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්‌ අබියස හිඳ තම කුදු බව නෙහොත් චූල බව පසක්‌ කර ගත්තෙකුගේ මේ ආත්ම භාෂණය මහගම සේකරයන්ගේ රචනාවකි. 1962 වර්ෂයේ දී මුද්‍රණයෙන් පළකරන ලද සේකරයන්ගේ "සක්‌වා ලිහිණි" කාව්‍ය ග්‍රන්ථයේ මෙය ඇතුළත් වන්නේ "අවුකන පිළිමය" යන හිසින් යුතුවය. පසුව මෙම නිර්මාණයෙන් තෝරාගත් පද්‍ය කිහිපයක්‌ ඩබ්. ඩී. අමරදේවයන් විසින් ගීතයක්‌ ලෙස ගයනු ලැබ 1972 දී පළවූ "මහගම සේකරගේ ගීත" නම් ග්‍රන්ථයටද ඇතුළත් කර ඇත.

අනුරාධපුරයේ අවුකන විහාරයෙහි පිහිටි සුප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාව සියෑසින් දැක ඇත්තෙකුට සේකරගේ මෙම කවි නිර්මාණය සමඟ ඒකාත්මික වීම අපහසු නොවේ. පුහුදුන් ලෝකයේ දුක්‌ඛ දෝමනස්‌සයන්ගෙන් විඩාපත් වී අසරණ වූවෙක්‌, පිළිසරණක්‌ පතා වනගත බුදු රුවක්‌ සොයා යයි. කායිකව මෙන්ම ම මානසිකව ද දුෂ්කර වූ ඒ ගමන අවසන ඔහුගේ දෑස්‌ අබිමුව මේ දැවැන්ත ශෛලමය බුද්ධ ප්‍රතිමාව දර්ශනය වන්නට වෙයි. දැවැන්ත ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්‌ අබියස සිටින්නෙකු තුළ වෙසෙසින් ම එය ප්‍රථම වරට දකින්නෙකු තුළ හටගන්නා විස්‌මයත්, ප්‍රහර්ෂයත් ස්‌වකීය පද පෙළ තුළ මුදා හරින්නට සේකර උත්සාහ දරා තිබේ. බුද්ධ ප්‍රතිමාවේ දැවැන්ත බව ඉදිරියේ කවියේ කථකයා එක්‌වරම චූල නොවැදගත් ක්‌ෂුද්‍ර ප්‍රාණියෙකු බවට පත්ව ඇති සෙයකි. කිසිවකට හෝ කිසිවෙකුට දෙවැනි නොවෙති යි සිතූ ඔහු විසින් මහත් පරිශ්‍රමයකින් ගොඩනඟාගෙන මෙතෙක්‌ රැකගනු ලැබූ ඔහුගේ මානයත්, මමංකාරයත් සුණු විසුණු වී ගොස්‌ ඇත. කඳුළු ලෙස ඔහුගේ නෙතින් වැගිරෙන්නට වන්නේ ඔහු මෙතෙක්‌ කලක්‌ තමා තුළ ඝනීභවනය කරගත් මානය නොවන්නේද?

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැළවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

සේකරගේ නිර්මාණයේ කථකයා ස්‌වකීය මානයේ වල්මත් බවෙන් මිදෙනු පිණිස වනයට පිවිසෙයි. ඒ වනගත බුදු රුවක්‌ සොයා යන අටියෙනි. අතීතයේ දිනෙක මේ අයුරින්ම වනය හෙළි පෙහෙළි කරමින් ගිය එක්‌තරා මනුෂ්‍යයෙකුට අනපේක්‍ෂිත ලෙස සෙල්මුවා බුදු රුවක්‌ මුණගැසිණි. සේකරගේ කවි නිර්මාණයේ කථකයා වනයට පිවිසියේ බුදු රුව එහි ඇති බව දැනගෙන වුවත් ඉහත කී මනුෂ්‍යයා වනය පීරමින් ගියේ බුදු රුවක්‌ එහි ඇති බවට පූර්ව නිශ්චයකින් තොරව බව ඔහුම පවසයි. ඒ අපූරු මිනිසා නම් ආර්. එල්. බ්‍රොaහියර් ය. රිචඩ් ලෙස්‌ලි බ්‍රොaහියර් හෙවත් ආර්. එල්. බ්‍රොaහියර් 1892 ඔක්‌තෝබර් 05 දින කොළඹ දී උපත ලබන්නේ ලන්දේසි බර්ගර් පවුලක (Dutch Bughers Family) දරුවෙකු ලෙසිනි. කොළඹ කාර්මික විද්‍යාලයෙන් මිනින්දෝරු පාඨමාලාව හදාරා 1910 දී මිනින්දෝරු සේවයට එක්‌වූ බ්‍රොaහියර්ට ස්‌වකීය රාජකාරියේ කටයුතු උදෙසා ලක්‌දිව අස්‌සක්‌ මුල්ලක්‌ නෑර සැරි සැරීමට සිදුවිය. රාජකාරි කටයුතු නොපිරිහෙළා ඉටු කරන අතරම රාජකාරි දිවියේදී ලත් අත්දැකීම් ලියා තබන්නට හෙතෙම අමතක නොකළේය. "Seeing Ceylon" (බ්‍රොaහියර් දුටු ලංකාව), (Discovering Ceylon) (බ්‍රොaහියර් හඳුනාගත් ලංකාව) වැනි කෘති බිහිවූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ආර්. එල්. බ්‍රොaහියර්ට අවුකන පිළිමය හමුවන්නේ රජරට ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක යෙදී සිටින අතර ඉතා අහම්බයෙනි. "Seeing Ceylon" (බ්‍රොaහියර් දුටු ලංකාව) නම් කෘතියෙහි ලා බ්‍රොaහියර් ස්‌වකීය අත්දැකීම් විස්‌තර කරනුයේ මේ ආකාරයෙනි.

"කලාවැවේ සිට සැතපුම් එකහමාරක්‌ පමණ දුරක්‌ වාහනයෙන් පැමිණි විට, මා සිතන හැටියට ලංකාවේ ඇති විශිෂ්ටතම කලා නිධානය වන අවුකන විහාරයට පැමිණිය හැකිය. මෙහි දක්‌නට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කැරුණු සුවිශේෂ කලා නිර්මාණය වන අවුකන බුදු පිළිමය ය. විශාල ගල් පර්වතයෙක නැගෙනහිර මුහුණතේ මුළුමනින්ම රවුම්වට ආශිර්වාද මුද්‍රdවෙන් නෙළා ඇති මේ මහා බුදු පිළිමය මනා සේ සුන්දර ය.

මා මේ විශිෂ්ට නිර්මාණය දුටුයේ ත්‍රිකෝණමිතික ස්‌ථානයක්‌ සඳහා උස්‌ කඳු ගැටයක්‌ සොයා ගිය ගමනකදීය. ඒ කලාවැව ආශ්‍රිතව කැලෑවෙන් වැසී තිබූ ගොවි බිම්, ජනපදවල පදිංචි වූවන් විසින් නැවත අත්පත් කර ගැනීමට වසර කිහිපයකට පෙරය. එවකට ත්‍රිකුණාමලය දුම්රිය මාර්¨ගය සාදා නොතිබිණ. අප කැලෑ එළිකරමින් ඉදිරියට යත්දී හදිසියේම අප ඉදිරියේ මේ විසල් පිළිමය දිස්‌විය. මහා වනාන්තරය තුළදී මා එය දුටු විට මම සත්‍ය වශයෙන්ම තුෂ්ණිම්භූත වීමි. මට දැනුණේ මේ මහා දැවැන්ත පිළිමය ඉදිරිපිට මා කුරුමිට්‌ටකු වූ බවයි. කෙසේ වුවද බොඳවී යමින් තිබූ මගේ අභිමානය කැටි කරගත් මම මෙහි චමත්කාරජනකත්වය නරඹන්නට වීමි. ශිල්පියා විසින් මේ පිළිමයට ආරෝපණය කොට ඇති ශාන්ත නිශ්චල අඟපසඟ, මුහුණේ මහේශාඛ්‍ය කරුණාව අතිසූක්‍ෂම සෞන්දර්යය මා සිත විනිවිද ගියේය.

බ්‍රොaහියර්ගේ මෙම අත්දැකීම් විවරණයත්, සේකරගේ සක්‌වා ලිහිණි කෘතියෙහි සඳහන් "අවුකන පිළිමය" කාව්‍ය නිර්මාණයත් බොහෝ තැන්වලදී සමපාත වන බව පෙනේ.

"නො අදහා බුදු කෙනෙකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක්‌ යෑයි ඔබ සිතා සිටියෙමි
තෙතක්‌ හෝ කිසි දයාවක්‌ නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නො පෙනිණි..."

දෙවියන් ගැන, බුදුන් ගැන විශ්වාසයක්‌ හෝ ගෞරවයක්‌ හෝ නොමැතිව මානයෙන් පසු වූ කවියේ කථකයා සුවිසල් අවුකන පිළිමය ඉදිරියේ එක්‌ වරම කුදු බවට පත්වෙයි.

"ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක්‌ කොට ඇත..."

අවුකන ප්‍රතිමාවේ භෞතික විශාලත්වය විසින් කථකයාට සිහිපත් කර දෙනු ලබන්නේ බුදුන් වහන්සේගේ අසමාන වූ පෞරුෂයේත්, ආධ්‍යාත්මයේත් දැවැන්ත බවයි. ඒ අබියස හිඳ කථකයා තමාගේ භෞතික වූත්, ආධ්‍යාත්මික වූත් කුදු බව අත්විඳියි.

සේකරගේ ගී පද ආර්. එල්. බ්‍රොහියර්ගේ අත්දැකීම් විවරණයේ මේ වදන් නැවත සිහිපත් කරනවා.

"අප කැලෑ එළිකරමින් ඉදිරියට යද්දී හදිසියේම අප ඉදිරියේ මේ විසල් පිළිමය දිස්‌විය. මහා වනාන්තරය තුළදී මා එය දුටු විට මම සත්‍ය වශයෙන්ම තුෂ්ණිම්භූත වීමි. මට දැනුණේ මේ මහා දැවැන්ත පිළිමය ඉදිරිපිට මා කුරුමිට්‌ටකු වූ බවයි. කෙසේ වුවද බොඳවී යමින් තිබූ මගේ අභිමානය කැටි කරගත් මම මෙහි චමත්කාරජනකත්වය නරඹන්නට වීමි."

සෙල්මුවා පිළිමයක්‌ තුළ කැටි කරන ලද බුදුන් වහන්සේගේ භෞතික රූපකාය විනිවිද, උන්වහන්සේගේ ආධ්‍යාත්මික රූපකාය හඳුනාගත් බ්‍රොහියර් එයිනුදු නොනැවතී ස්‌වකීය තීව්‍ර වූ දෘෂ්ටියට හසුකර ගන්නේ මේ පිළිමය නෙළු කලාකරුවාගේ අසමසම ප්‍රතිභාවයි.



දම් පාටින් ලා සඳ ...

දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි.. නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වෙන මොහොතක් නොහැගේ
දැසට ලංව තවත් මේ මොහොත
ගොළු වී ඉන්නෙමි මම් ගොළු වී ඉන්නෙමි මම්

සෙවනැළි නොමැකේ නම් එළිය කළු නොවේ නම් //
බිත්ති පුරා ඔබේ සෙවනැළි ඇන්දේ තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා

දම් පාටින් ....

රැ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් //
නෙළුම් පතක රැදී පිනි බිදුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා

දම් පාටින් ....

පදරචනය - ලූෂන් බුලත්සිංහල 
ගායනය - ගුණදාස කපුගේ හා මාලනී බුලත්සිංහල 
සංගීතය - ඔස්ටින් මුණසිංහ 

ලූෂන් බුලත්සිංහලයන්ගේ අත්දැකීමක් මෙම ගීතය රචනා කිරීමට ඔහුට පාදක වී ඇත. ඔහුට පාසැල් කාලයේ හමු වූ පෙම්වතියක් හිඳ ඇත. සරසවි වරම් හිමිවීමත් සමඟ බුලත්සිංහලයන් පේරාදෙණි සරසවියටත් පෙම්වතිය කොළඹ සරවියටත් ඇතුළු වී ඇත. යම් කාලයකට පසුව දෙදෙනා වෙසක් දවසක නිවාඩුවට කොළඹ පැමිණ පෙම්වතිය සමඟ වෙරළේ ඇවිදීමට යා ඇත. මෙසේ ඇවිද ගියත් දෙදෙනාටම එය රසවත් අත්දැකීමක් වී නැත. බුලත්සිංහලයන්ට මෙවිට ඇයගෙන් වෙන්වී යළි පේරාදෙණි සරවියට ගියා නම් හොදයි කියා සිති ඇත. මෙම මොහොත හා සිතිවිල්ල ගීතය රචනා කිරීමට නිමිත්ත වී ඇත. බුලත්සිංහලයන් පවසන අයුරින් ඔවුන් දෙදෙනාගේ සම්බන්දය පසුව අවසන් වී ඇත. නිමිත්ත මෙසේ වුවත් ගීතයෙන් නම් කියවෙන්නේ මීට වඩා සැහෙන වෙනස් පෙම් යුවලක පෙම් සම්බන්දතාවයක් ගැනයි.

මෙම ගීතයෙන් පෙම්වතුන් දෙදෙනෙකුගේ සොඳුරු හමුවීමක අවසන් මොහොතේ සිදුවන සොඳුරු සංවාදයක් කියාපායි.

දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි.. නොදොඩා ඉන්නේ ඇයි

පෙම්වතිය පෙම්වතාගෙන් අසනවා, හඳ බැසයන්නත් ලඟයි, ඒ අනුව අපගේ වෙන් වන මොහොතත් ලංවෙනවා, (මින් රචකයා ව්‍යංගාර්ථයෙන් පෙම්වතුන් රාත්‍රියේ හමුවී උදැසන වෙන්වන යුවලක් බව කියාපායි) ඒත් ඇයි කිසිවක් නොකියන්නේ.

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වෙන මොහොතක් නොහැගේ
දැසට ලංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම් ගොළු වී ඉන්නෙමි මම්

දම් පාට සඳ වගේම ඔබේ මුහුණ පෙනෙනවා ඒ හින්දා වෙන් වෙලා යන්න නොහිතේ, මුහුණට "තවත්" ලංවෙලා (දැනටමත් ලංවී හිඳ තිබෙන්නේ) ඇස දෙක දිහා බලාගෙන දැහනට සමවැද මෙන් ගොළුවී ඉන්නෙමි යයි පෙම්වතා පිළිතුරු දේ. මෙහදී මුහුණ "දම්" පාට සඳකට උපමා කර ඇත්තේ, සඳ බැසයන මොහොත අඳුරු මොහොත මෙන් පෙම්වතියගේ මුහුණද දුකබරව අඳුරු වී තිබු නිසා විය හැක. පෙම්වතාගේ "ගොළුවී" හිදිම පෙම්වතියගේ මුහුණේ ලස්සන හින්දා හෝ බොහෝදුරට පෙම්වතියගේ දුක්බර මුහුණ දැක පෙම්වතාගේ හද නැගුණ ශෝකය නිසා හෝ විය හැක.

සෙවනැළි නොමැකේ නම් එළිය කළු නොවේ නම් //

බිත්ති පුරා ඔබේ සෙවනැළි ඇන්දේ තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා

පළමුව පෙම්වතිය පෙම්වතාගේ ඇසුර නොමැතිව තමන්ගේ දවල් කාලය දැරිය නොහැකි පාලුවෙන් ගතවී යන අයුරු විස්තර කරයි. හිරුගේ ආලෝකයෙන් ඇඳුන සෙවනැළි මැකී දහවල් ආලෝකය තුරන් වී රාත්‍රිය උදා වීමට පෙම්වතියට දරා ගන්න බැරි තරම් කාලයක් ගතවන බැවින් තනිය මකාගන්නට ගෙයි බිත්ති පුරා පෙම්වතාගේ සෙවනැළි ඇඳ (බොහෝදුරට සිතේ අඳි රූ විය හැක) ඒ දෙස බලා ඉන්න බව දුක්බර ලෙස හෙළිකරයි.

රැ කල දිගුවේ නම් ලා සඳ නොමකේ නම් //

නෙළුම් පතක රැදී පිනි බින්දුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා

පෙම්වතා ඊට මෙසේ පිළිතුරු දෙනවා. එක තමයි, රැ කාලය තව දිගු වී ලා සඳ අහසේ මැකෙන්නේ නැතිව දිගටම පායා තියෙනවනම්, ඔබගේ සුවපහසු පපු තලයට හිසතියාගෙන ඉන්න තිබ්බානේ. මෙහිදී රචකයා මෙම හිස තබා හිදිම නෙළුම් පත්‍රයක රැදී පිණි බිදුවකට සමාන කර තිබෙනවා. මෙහිදී රචකයා උපමාවෙන්, පිණි බින්දු හිරු නැගෙන විට නැති වන්නා සේ හිස තබා හිදිමත් හිරු නැගෙන විට අවසන් වන බව හැගවිම හෝ පෙම්වතියගේ පපු තලය නෙළුම් පත්‍රයටද තමාගේ හිස පිණි බින්දුවට සාමාන කලා විය හැක.

මෙම ගීතය පළමු වරට ගායනා කර ඇත්තේ ඔස්ටින් මුණසිංහ සමග අනුලා බුලත්සිංහලයි.



උලලේනෝ..

“පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ.. ”

විරහව විඳින පෙම්වතෙකුට, තනිකම විඳින තනිකඩයෙකුට ගුණදාස කපුගේ ශූරීන් ගයන මේ ගීය තරම් වටිනා යමක් නොමැති තරම්ය. කෙසේ වෙතත් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගීතයට පාදක කොටගෙන ඇති වස්තුබීජය “ප්‍රේමය” මාතෘකාවෙන් තරමක් ඔබ්බට යන්නකි..

එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල තුලින් ඊට දායක වූවෙකු එයින් ලබන පරාජයත් සමග කැලයේ සැඟවී සිටිද්දී ඔහුට දැනෙන තනිකම, සගයන්ගෙන් ඈත් වීම තුලින් ඇති වූ දුක මේ ගීතය රචනා කිරීමෙහිලා රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ට හේතු වී ඇත..

උලලේනා, උලමා හා බැඳුනු විවිධ කතාන්දර හා මතයන් ගැමි සමාජය තුල පැවතිනි.සමස්තයක් ලෙස සලකද්දී උලලේනා කෙරෙහි සමාජය තුලින් ජනිත වන්නේ එතරම් සුභවාදී ආකල්පනම් නොවෙයි. උල ලේනෙක් හැඩීම ගමක ආසන්න මරණ සතක් සිදුවීමට හේතුවක් බවද ඇතැම් කතා තුල ඇතුලත්.

කෙසේ වෙතත් “උලලේනෝ” පදය භාවිතා කිරීම තුලින් ගීතය තුලින් දනවන්නට උත්සහ කරන පාළුව, දුක ,අසුභවාදී බව දෙගුණ තෙගුණ වී තිබෙනවා.

පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..

කිසිවෙකුත් නොමැතිව තනිව වනයේ දිවි ගෙවන ඔහුට මෙන්ම අනිත් සගයින්ටත් මේ උදා වී ඇත්තේ ඉතා නරක කාලයක්.. උලලේනාගේ හඬේ ඇති දුක්කිත බව නිසා අ තනිකම තවත් තීව්ර වන හෙයින් ඔහු උලලෙනාගෙන් අසරණව යදින්නේ හැඳීම නවත්වන ලෙස..

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ...

ඔහු මේ ගෙවන්නේ සැප පහසු කාලයක් නොවෙයි. සීත සුළං හිරිකඩයි යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ ඔහු සිටින අපහසු තාවයයි.. වනයේ ජීවත් වෙන ඔහු උලලේනා හට පවසනවා උලලේනාට පිහාටු පමණක් තිබෙන්නක්මෙන් ඔහුටද ඉතිරිව ඇත්තේ අටවා ගත් පැල්පත පමණක් බව.
ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ....

සිදු වූ සියල්ල සිදු වී හමාරයි දැන් තව දුරටත් හඬා පලක් නොවෙයි. තමා අවබෝධ කර ගත් දුක ඔහු උලලේනාටද කියා දෙයි.
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..

කැරැල්ල අසාර්ථක වී සිය සගයින්ද දිවි පුදා හමාරය. නමුත් ඔහු තවම සිය විමුක්තිය අත් හැර පරාජය භාර ගැනීමට සුදානම් නොමැත. එවැනි අරගලයකදී වියෝගයන් ඇතිවන බව ඔහු නොදැන සිටියා නොවේ.. මේ දුක් සියල්ල අවසන් වෙන්නේ කෙසේ හෝ ඔවුන් ඔවුනට අවැසි ලෝකය ලබා ගත් දැක්ම පමණි.. ඔහු තමන්ට සිටින එකම මිත්‍රයා උලලෙනාට පවසයි..

ගීතය එසේ අවසන් වත්ම තවත් පැනයක් සිතේ පවතියි.. ඒ “උලලේනා” යනුවෙන් මෙම ගීතයේ හඳුන්වා ඇත්තේ දුක් විඳින, අසරණව තම දුක කියා ගැනීමට නොහැකිව හඬන සමස්ත ජනතාවදෝ..කියායි..
ගීතයේ ප්‍රස්තුතය එසේ වෙද්දී ගීතය රස විඳින ශ්‍රාවකයින්ට ඔවුනොවුන්ගේ ජීවිත වලට, මාතෘකා වලට ගීතය ඈඳා ගැනීමට සම්පූර්ණ ඉඩ හසර රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඉතා විශිෂ්ට ලෙස ලබා දී ඇත..

මෙම ගීතයේ අවසානයේ දී රණබෙර හඬක් ඇතුලත් කර ඇති අතර ඒ තුලින් නැවත වරක් මෙම තරුණ කැරැල්ල ඉස්මතු විය හැකි බවට ගීත රචක අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශ කර ඇත. ඒ වගේම ඔහු පැවසු පරිදි ඊට වසර 17 කට පසු 88-89 වසර වලදී නැවත වරක් මෙම තරුණ කැරැල්ල ඉස්මතු විය. ගීත රච්කයාගේ අත්දැකීම්, පරිණත භාවය, අනාගතය දැකීම ඉතා මැනෙවින් පසක් වෙයි.

ගායනය : ගුණදාස කපුගේ
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ


කන්ද කෙන්ද කරනු පිනිස ...

කන්ද කෙන්ද කරනු පිනිස

ගායනය - මාලනී බුලත්සිංහල 
පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස් 
සංගීතය - එච්.එම්.ජයවර්ධන 


මාලනී බුලත්සිංහල මහත්මිය ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරිය වෙලා හිටිය කාලයක්.. මේ ඉන්න අතරේ එයා එක ශිෂ්‍යවකට ගොඩක් ලෙන්ගතු වෙනව.. කොච්චර හිතවත් වෙනවද කීවොත් මේ ශිෂ්‍යාවගෙ ගෙදර අය එක්කත් සමීප ඇසුරක් පවත්වනව.. ඉතින් මේ නිසාම මේ ශිෂ්‍යාවට සංගිතයෙන් ඉදිරියට යන්න මාලනී බුලත්සිංහල මහත්මිය ගොඩක් උදවු කලාලු....

මේ ශිෂ්‍යාවගේ අම්මගෙ ප්‍රසංගයක් තිබිල . ඒකෙ නිවේදන කටයුතු වලට මාලනී මහත්මියගේ මිතුරෙකු උන ප්‍රේම කිර්ති ද අල්විස් මහත්මයව කතා කරල දුන්නලු.. ඒ වගේ මේ ශිෂ්‍යාවටත් ගෙදර අයටත් මාලනී මහත්මිය උදව් කරල තියනව.... කාලය එසේ ගෙවී යද්දී දිනක් මාලනී බුලත්සිංහලයන්ට දුර බැහැර ප්‍රසංගයකට ආරාධනා ලැබුනා. ඇය අදාල ස්ථානයට ලගාවන විට බොහෝ රෑ බෝවී තිබුනා වගේම විශාල ගායක ගායිකාවන් පිරිසක්ද ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා පැමිණ සිටියා.

අධික ගායක ගායිකාවන් පිරිසක් සිටි බැවින් සහ බොහෝ දුර බැහැර සිට පැමිණිමට ප්‍රමාදවීම නිසා කාල වේලාව ගොස් තිබු බැවින් ඇයට ගායනා කිරීමට අවස්ථාව ලැබී තිබුනේ ටිකක් පහුවෙන්නටය. ඇයට පෙර ගායනා කිරීමට විශාල පිරිසක් සිටියා . එහෙත් ගමන් තෙහෙට්ටුවත් සමග ඒතරම් කාල වේලාවක් රැදී සිටීමට අපහසු බව දැනුනා. එබැවින් ඇය සංවිධායකයන් සමග කතාකර අසනීප නිසා ඉක්මනින් ගීත ගායනා කර පිටවී යෑමට අවස්ථාවක් ඉල්ලා සිටියා .

මුලින් ගීත ගායනා කිරීමට අංක ලබාගත් පිරිසක් ලැයිස්තුවේ සිටින බැවින් ඒ අය කැමතිනම් පමණක් ස්ථානය මාරු කරගත හැකි බැව් සංවිධායකයන් ඇයට පවසා සිටියා. මුලින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාසිටි පිරිසේ නාමලේඛනය පරික්ෂා කරමින් සිටි බුලත්සිංහලයන්ගේ මුහුණේ එක වරම සිහින් සිනහවක් රැදුනා , එයට හේතුව ආනන්ද බාලිකාවේ සිටි කාලයේ ඇගෙන් සංගීතය ඉගෙනගත් ශිෂ්‍යාවගේ නාමයද ඒ අතර තිබීමයි .

බුලත්සිංහලයන්ගේ පැරණි ශිෂ්‍යාවකව සිටි ගායිකාව සොයා ගියේ ඇගෙන් ඒ සුළු උපකාරය බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවුයේ ඈ කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක්නම් නොවේ. ඈ අවසථාව ලබාදීම ප්‍රතික්ෂේප කළා පමණක්ම නොව . මේ සිටින්නේ තමන්ට සංගීතය ඉගැන්වූ ගුරුවරිය යැයි කියාවත් තැකීමක් කලේ නැත. ඇයව ගනනකටවත් ගත්තේද නැත. එතැනින් ජවනිකාව අවසානවුයේ නම් ඒද කම් නැත ඇගේ අහංකාර දෙමාපියන්ගේ ඇනුම්පද ඇසීමටද මාලනී බුලත්සිංහල මහත්මියට සිදුවිය.

ඒවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවූ එතුමියට ඒ සිද්දිය නිසා ඇතිවුයේ දැඩි සිත් රිදිමකි කනගාටුවකි,. එයද දරාගෙන තවත් හෝරා කිහිපයක් රැදී සිට අවස්ථාව පැමිණි පසු ඇයද ගී ගායනා කර පිටවිය. පසු දිනක තම මිතුරා වන ප්‍රේමකිර්ති මහතා හමු වූ අවස්තාවක මේ සිද්ධිය ඇය සිත් තැවුලෙන් යුතුව පවසනවා.. ප්‍රේමකීර්ති මහතා කොලයක් පෑනක් අරගෙන පුංචි පද හතරක් ලියනව.. ලියල මාලනී මහත්මිය අතට දෙනව. ඒකෙ මෙහෙම සදහන් වෙනව.. ‍

කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

තමන් සතු වටිනාම දෙය තම ශිෂ්‍යන්ට දීල .. එයාලගෙ දියුනුව බලන් ඉන්නව.. හරිම සතුටින්.. මේ ශිල්ප ගත්ත අය හොද අය වුනත් නැති වුනත් ඇයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. හැමදේම සතුටින් විද ගන්නව..

ගහේ පිපුන මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා
බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා
ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා

මතක තියා ගමු . මල මතක නම් කවදාවත් වැටෙන්නෙ නෑ අපි.. මොන ප්‍රස්නෙට මූන දෙන්න උනත් හයිය අපිට තියනව.. මට ගරු කරපු අය කළ ගුණ සලකපු අයට වරදින්නෙ නෑ. .එයාල සමාජයෙ වැදගත් ලෙස පිලී ගනී. එත් අනික් අය සමාජය විසින්ම නැති කරල දාවි...

කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි 
මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී 
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී 
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී.



කැරකෙන රෝදේ...

කැරකෙන රෝදේ...ගීතය ලිව්වට ගුවන් විදුලි සංස්ථාවෙන් මට රුපියල් තිහක් ගෙව්වා....ඒ 1973 අවුරුද්දෙ ...

එහෙම කිව්වෙ මේ ගීතයේ ගේයපද රචකයා සිරිල් සමරකෝන් මහත්මයා...
මම 1972 ලංගම පත්වීම ලැබිලා මුලින්ම වැඩකලේ 134 - ගල්කිස්ස -  අංගොඩ පාරේ..දවසක් පිටකොටුවේ  කාර්මික  විද්‍යාලෙ හරියෙන් බස් එක යනකොට  විනාඩියකට වගේ බස් එක නැවැත්තුවා.එතකොට වැඩියෙන්ම තිබුනෙ ඩබල් ඩෙකර් බස්........ මම වැඩ කලේ උඩ තට්⁣ටුවෙ.පහල කොටසෙත් කොන්දොස්තර කෙනෙක් හිටියා.. ඒ නවත්තපු වෙලාවෙ මම දැක්ක උඩ ජනේලෙකින් ඒ කාර්මික  විද්‍යාල ඉස්සරහ පොඩි ලෑලි තට්ටුවකට රෝද හයි කරපු කරත්තයක මනුස්සයෙක්  ඉදගෙන ඉන්නවා...ඔහු ආබාධිත පුද්ගලයෙක්..කැඩුණ කුඩ දෙක තුනක්... සපත්තු කීපයක් තව පොඩි පොඩි ආම්පන්න  ටිකකුත් ඒක උඩ තිබුණා......සංවේදී ම දර්ශනේ තමයි ඒක තල්ලු කලේ අවුරුදු  දොළහක විතර පොඩි පිරිමි ලමයක්..ඒ දෙන්නත් එතන නැවතිලා හිට්යෙ..තාත්තයි පුතයි වෙන්න ඇති...ටික වෙලාවකින් අර වැඩිහිටි මනුස්සයා ඔලුව වනලා යන්...කියල අර දරුවට කිව්වා...... දරුවා අර කරත්තෙ තල්ලු කරන් යන්න පටන් ගත්තා. .......... .
මට ඒ සිද්ධියට පපුව පිච්චිලා යනවා වගේ දැනුනා..මට ගෙදර මතක් උනා ..අම්මා අප්පච්චි  මතක් උනා..මම නිකමට වගේ අතේ තිබුණ බස් ටිකට් අමුණල තිබ්බ කාඩ්බෝඩ් කෑල්ලෙ..
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
 ඉදගෙන මම ඉන්නෙ....
පදික වේදිකා පසුකර යන්නට
 තල්ලු කරන් පුතුනේ කියල  ලිව්ව..ඒක නිකංම ලියවුණේ..එදා ලිව්වෙ එච්චරයි. ඉතුරු ටික පස්සෙ දවසක ලිව්වෙ...

මම රත්මලානෙ ඩිපෝවෙ හිටියෙ ඒ දවස්වල..එහෙ නිතරම රේඩියෝව  දාලා තියෙන්නෙ.. . දවසක් ඒකෙ කිව්වා ගීත බැංකුවට අලුත් පදමාලා ගන්නවා.. එවන්න කියල..මමත් වැඩිය හිතුවෙ නෑ මේ ගීතය තැපැල් කලා..අවුුරුද්දක් විතර ගියාම මට ලිපියක් එවලා තිබුණා. ඔබේ ගීතය තෝරා ගත්තා.. අහවල් දවසෙ පටිගත කරනවා සහභාගි වෙන්න  එන්න කියලා..මමත් ගියා ඉතිං..ගීතය සංගීතවත් කලේ කලනි පෙරේරා... සරල ගී වැඩසටහනකට ගායනා කලේ එවකට නැගී එන ගායන ශිල්පියෙක් වුණ එඩ්වඩ් ජයකොඩි මහත්තයා. 

ඒ...ගේය පදරචකයාගේ...මතකය... 

කැරකෙන රෝදේ...පුංචි කරත්තේ..
ඉදගෙන මම ඉන්නේ..
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ...  //

කැඩුන පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා..
අදුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු  කරන් පුතුනේ .....//

කැරකෙන රෝදේ ...

කිරිකැටි දෙඅතේ සවිබල දියවේ
පමා උනොත් අප මහමග තනිවේ.. 
අම්මා  මග ඇති නෙත් දල්වාගෙන
තල්ලු  කරන් පුතුනේ ....//

පදරචනය  සිරිල් සමරකෝන් 
සංගීතය - කළණි පෙරේරා 
ගායනය - එඩ්වඩ් ජයකොඩි



රෑ දුරු රට මේ ...

කොතරම් හිත මිතුරන් සිටියත්, මව්බිමෙන් දුර බැහැර ඉන්නා සෑම විටම ආදරය නැති අඩුපාඩුව මහා තනිකමක් සේ දැනෙන වග රටින් දුර බැහැර සිටින සැවොම පිළිගන්නවා ඇත…

රෑ දුරු රට මේ
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින්, ඈත දේසේ
මා තනිවේ..

කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ….

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ….

රෑ දුරු රට මේ…

ගායනය - පණ්ඩිත් අමරදේව 
පදරචනය - අජන්තා රණසිංහ 
සංගීතය - සරත් දිසානායක 

දුරබැහැර සිටිනා විටෙක මේ ගීතය තරම් හිතට කාවදිනා ගීතයක් සොයාගැනීමට අපහසුය.

ක්ෂිතිජය දක්වා දිවෙන නොනිමි නිදිවර්ජිත කල්පනා දුරස් වූ පෙම්වතුන් සැමට උරුම වූවකි… බොහෝමයක් දෙනා මේ කල්පනා ලොව තනිවන්නේ නිදියහනේදීය..

අවසන් දසුන සැමදා පෙම්වතුන් මතකයේ රැඳේ.. නිදි වර්ජිතව බොහෝදෙනා ආවර්ජනය කරන්නේ ඒ සුන්දර දසුන් කිහිපයයි.. අතිනත පටලා සිටි ඒ පෙම් රැහැන, සිහින තොටුපලේදී වෙන්වී ගිය අයුර පෙම්වතුන් නිබඳවම සිහි කරති. මෙහිදී සිහින තොටුපල කියා හැඳින්වූයේ අප සාමාන්‍ය ව්‍යවහාරයේ ගැනෙන ‘ගුවන් තොටුපල’ විය යුතුය. මෙය ඉතා අගනා යෙදුමක් බව හැඟීමයි.. බොහෝමයක් පෙම්වතුන් සිය ප්‍රියයන්ගේන් වෙන්වී දුරබැහැර යන්නේ සිහින සැබෑ කරගැනීමටයි. ඒ සිහින සහ ආදරය වෙන්කරන තොටුපල සිහින තොටුපලයි.

පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් තවත් නොමැති තරම්ය. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ඈදෙන්නටම අමරදේවයන්ගේ හඞ ද මහා තනිකමක් කියාපායි. එතරම්ම අද්විතීය පද රචනයක් නොවූවත්, ආදරය දුරස්බව සහ තනිකම එකට ඈදා සැදි පේලි කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. මේ දෙදෙනාටම නොදෙවනි වන සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයට මනා සාධාරණයක් ඉටුකරයි. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සංගීතය ගීයේ අරුත ඔපදමන්නට සමත්වී ඇත.



සාගර තරංගා ...

සාගර තරංගා සුදු වෙරළ සිබින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් 

මේ ගයන්නේ ආදරේ ගීතයයි

මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන්සිලෙන්
ඔබේ දෙනෙතට එබී 
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුලන් දැලෙන් 
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

ගායනය - ජගත් වික්‍රමසිංහ
පදරචනය - රොඩ්නි විදානපතිරණ
සංගීතය - සුනිල් ධර්මසේන

මේ ගීතය නිර්මාණය වූයේ 1996 වසරේ දී. ඒ රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ සාගර තරංගා ටෙලිනාට්‍යයටයි. එය ශ‍්‍රී ලංකා මාලදිවයින් ඒකාබද්ධ නිෂ්පාදනයක්. රූගතකිරීම් තිබුණේ මාලදිවයින් දූපත්වලයි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුනු මෙම ටෙලිනාට්‍යයේ ජගත් වික්‍රමසිංහයන් ගී ගයමින් රඟපාන්නට නියමිතව තිබුණා. මීට අමතරව මධු මාධව අරවින්ද, නිල්මිණී තෙන්නකෝන්, අමිත්ත වීරසිංහ ඇතුළු ශ්‍රී ලාංකික නළු නිළි පිරිසක් දායකවන්නට ගියා. ඊට අමතරව මාලදිවයින් නිළියක්ද මෙහි චරිත නිරූපණය කළා. පසුබිමින් ඇයට ඇසෙන ගීතය හැටියටත් මේ ගීතය මරියසෙල් ගුණතිලක මහත්මියගේ හඬින් පටිගත වූවා.

ඒත් මේ ටෙලිනාට්‍යය අතරමග නතරවුණේ මාලදිවයින මුහුදේදි හටගත් දරුණු කුණාටුවක් නිසයි. කුණාටුවෙන් අනූ නවයෙන් දිවි බේරාගත් නළු නිළියන් සහ නිෂ්පාදක කණ්ඩායම නැවත ලංකාවට ආවා. ටෙලිනාට්‍යය නැවතුණත් ගීතය ඉතිරි වුණා. පසුව ජගත් වික්‍රමසිංහයන් විසින් ගායනා කරන ගීතය ජනප්‍රිය වුණා.    සාගර තරංගා සුදු වෙරල සිඹින්නා....

ඒ නිසා ටෙලිනාට්‍යයේ අවසානයට ඉතිරිවුනේ මේ අලංකාර ගීතය පමණයි. ඇත්තටම ජගත් වික්‍රමසිංහ මේ ගීය ගැයුවාට සාගර තරංගා ටෙලිනාට්‍යයේ අඩංගු ගීතය යුග ගීතයක්. මරියසෙල් ගුණතිලක සමගින් ජගත් වික්‍රමසිංහ තමා මේ ගීතය ගායනා කරන්නෙ. ටෙලි නාට්‍යය ගෙතුනෙත් සුසීමා වගේම සංගීත කණ්ඩායමක් වටා  පසුබිම් කරගෙන. මේ ගීතයේ රූප රාමු තුල රගපෑවේ ජගත් වික්‍රමසිංහ සමගින් නිල්මිණි තෙන්නකෝන්... නිල්මිනී තෙන්නකෝන් වෙනුවෙන් මරියසෙල් ගුණතිලක මහත්මිය මේ ගීතය ගායනා කලා.

රතුරෝස, සුසීමා, සාගර තරංගා වගේ ටෙලි නාට්‍යය 90 දශකයේ රසිකයන්ට අලංකාර ගීත රැසක්ම තිලිණ කරන්න සමත් උනා.



නීල බිඟු කැල ...

නීල බිඟු කැල තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා...

මාරුතේ මතුරා යතේ
සුරඹුන් නැඟූ මුකුළූ
මාවතේ අතුරා ඇතේ 
සුරඹුන් නෙළූ කැකුළූ
සුරඹුන් නෙළූ කැකුළූ...

ජීවිතේ කිරි සාගරේ 
කලඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී
සඟවා නොයන් සොඳූරී...

ගායනය - වික්ටර් රත්නායක 
පදරචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන 
සංගීතය - වික්ටර් රත්නායක 

මේ ගීතය ඇතුළත් වූයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කල රජගෙදර පරෙවියෝ චිත්‍රපටියේ. ඒ සඳහා මේ ගීතය නිර්මාණය වූ කතාව හරි අපූරුයි. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළු නිළි දෙපළ වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා සහ නීටා ප්‍රනාන්දු මහත්මිය රඟන දර්ශනයක් සඳහා ගීතයක් ඇතුළත් කරන්නට සතිස්චන්ද්‍රයන්ට අවශ්‍යව තිබුණා. ඒ සඳහා තම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණයට යොදාගෙන සිටි වික්ටර් රත්නායකයන්ගෙන් එතුමා ඇසුවා "කාට ද මේ ගීතය ලියන්න දෙන්නේ?කියලා. රත්නායකන්ගේ එකම පිළිතුර වූයේ "කේ. ඩී.කේ. ට දෙමු" යන්නයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අය පවා සිටිය දී එතුමාටම මේ ගීතය රචනා කරන්නට දීම එතුමා කල පද රචනාව මගින්ම ඉතා සාධාරණයක්ව තිබෙනවා. ඉන්පසු සතිස්චන්ද්‍රයන්ම යෝජනා කරනවා ගීතයට තරමක රිද්මයානුකූල තනුවක් නිර්මාණය වෙනවා නම් හොඳයි කියලා.

ඉතින් ගීතයට මුලින් රත්නායකයන් අතින් තනුවක් හැදුණා. ඊට පස්සේ දවසක් රත්නායකයන් ගුවන්විදුලි සංස්ථාවේ ආපන ශාලාවට ගිහින් මේසයට තට්ටු කරන ගමන්, මුමුණමින් මේ ගීතයට පද මාලාවක් කේ.ඩී.කේ. අතින් ලියවෙනවා. ඉන්පසු එදාම හවස සතිස්චන්ද්‍රයන් හමුවට දෙදෙනාම ගොස් මේ ගීතය ඉදිරිපත් කලවිට එය එකහෙලාම අනුමත වෙනවා.

පසුකාලීනව ගාමිණී ෆොන්සෙකා මහතා ආචාර්ය වික්ටර් රත්නායකයන්ට කියා තිබෙනවා එතුමා පවා මේ ගීතයට දැඩි සේ ඇලුම් කරන වග.

නීල බිඟු කැල තාමරස පෙළ ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා

තාමරස කියන්නේ නෙළුම් වලට. මී මැස්සො රංචුවක් ජලාශයක පිපිලා දිලෙන නෙළුම් මල් පේළියකට වහ වැටිලා දැවැටි-දැවැටී හෙමි හෙමින් ඉගිල්ලෙන හැටි.

මේ දෙවෙනි පෙළ. හංසයෝ විලක සරද්දී, බොහෝම ආදරෙන්... හිමින් සීරුවේ, උන්ගෙ රන්වන් පාට හොටවල තුඩුවලින් නෙළුම් කැකුළු පාරනවා. මත් වෙලා වගේ.අඩ සිහියෙන් වගේ. මෝහනයෙන්.  මේක බොහෝම ශෲංගාරය දනවන කතාවක්. සසඟයකට 
පෙර කාමී ස්නේහවන්තයෙක් හුදෙකලාවේ සුන්දර ප්‍රියාවියට තුරුල් වෙලා ඒ මිහිරාවියගේ කැකුළු පියයුරු හෙමිහිට පිරිමදිමින් ඇගේ කාමෝද්දීපනය කරන ආකාරයට.

නිල් පාට මී මැස්සො කොහෙද ඉන්නේ? නිල් වරලසක් කාටද තියෙන්නේ? ඒත් කවි ලියද්දි අපේ කවියන් කළු පැහැය නිලක් විදියට දැක්කා. තද නීල වර්ණයක්. ඕවා කවි සමයේ ගොඩක් තියෙනවා. 

මාරුතේ මතුරා යතේ - සුරන් නැඟූ මුකුළු
මාවතේ අතුරා ඇතේ - සුරඹුන් නෙලූ කැකුළු... 

සුළඟෙන් නැඟෙන ශබ්දය සුරඟනන් නඟන මුකුළු මතුර මතුරා යන ආකාරයට විස්තර කර ඇත. ඒ මාවතේ සුරඟනන් විසින් නෙලන ලද මල් අතුරා ඇති බව රචකයා විසින් පවසා ඇත. එතැන තියෙන්නේ නිශ්ශංඛමල්ල රජ්ජුරුවන්ට අත පය හතරම නැති කොටෙක් ශ්‍රීපාදය සොයා දුන් කතාවෙන් කෑල්ලක්.

ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා පුරා සඟවා නොයන් සොඳුරී.... 

සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ කිරිමුහුද කළඹාලා අමෘතය සොයාගත් බව. මේ පද වල ජීවිතය නැමති කිරිසාගරේ කළඹා දිනාගත් ලඳ කිඳුරියක් ලෙස විග්‍රහ කර ඇත. මිවිත සොරාගෙන ගිය සුරයන් ලෙස සඟවා නොයන ලෙස ඉල්ලීමක් කරයි. 

මෙම පදරචනය සඳහා අපුරු සාහිත්‍යයේ කතාවක් පදනම් වී ඇත.
ඔන්න ඈත- ඈත කාලෙක සුරයොයි අසුරයොයි අතරේ යුද්ධයක් තිබුණාලු. 

ඉතිං මෙතැනදී අපූරු යෝජනාවක් ගෙනැත්. "අපි අමෘතය බීලා අමරණීය වෙලා යුද්ධ කරමු. එතකොට කවුරුවත් මැරෙන්නේ නෑනේ. යෝජනාවට දෙපැත්තෙන්ම කාගෙන්වත්ම විරුද්ධයක් ආවේ නෑ. 

එතකොට අමෘතය තිබුණේ කිරි සාගරේ පතුලේ. ඒක උඩට එන්න නම් සයුර කලම්බවන්න ඕනේ.ඔන්න බොහෝම අසීරුවෙන් ඕනෙ කරන ආම්පන්න ටික එකතු-පහදු කරගත්තා. පත්තට ගත්තේ මහාමේරු පරුවතේ. ඊළඟට මේ පත්ත හොඳට කරකැවෙන්න නම් දිග ලණුවක් පටලවලා දෙපැත්තේ අය දෙපැත්තෙන් ඉඳලා එහාට-මෙහාට අදින්න ඕනේ. ඒ රැහැනට ඉන්න වාසුකී නාග රාජයා මනාපේ දුන්නා.

ඔන්න දැන් මහාමේරු පත්තේ වාසුකී නාරජ රැහැන වෙළලා කට්ටි දෙක දෙපැත්තට යනවා. 

කට්ට විෂ්ණු දෙයියෝ කල් ඇතිවම සුරයන්ට කියලා තිබුණා අසුරයොන්ට නයාගේ කට පැත්ත දෙන්නැයි කියලා. මොට්ට අසුරයොත් දුරදිග නොහිතා ඒ ලණුව කෑවා. 
දැන් දෙගොල්ලෝ දෙපැත්තෙන් අල්ලාගෙන රැහැන එහාට-මෙහාට අදිනවා. කිරි සාගරෙත් කැළඹිලා සුළියක් හැදෙනවා, මෙන්න. නා රජ්ජුරුවන්ගේ හොඳ පණ ගිහිල්ලා, දන්නෙම නැතිව කට ඇරිලා 
විෂ දුම් පිටවෙන්න ගත්තා. එදා ඒවා වැදුණු නිසා තමයි තාමත් 
අසුරයෝ සුරයන්ට වඩා පාටෙන් අඩු. ඔය අතරේ කිරි සාගරේ සුළියක් හැදුණා. ඒකෙන් මහාර්ඝ වස්තු 14 ක් උඩට මතුවෙලා ආවාලු. 

1.ලක්ෂ්මී දෙවඟන
2.කෞස්තුභ පාෂාණය
3.පාරිජාතක වෘක්ෂය
4.සුරාව
5.ධන්වන්තරී
6.චන්ද්‍රයා
7. කාමදායක ගවයෝ
8. එෛරාවණ හස්තියා
9.රම්භා ඇතුළු දෙවඟනන්
10.සප්තමුඛ අශ්වයා
11.කාලකූට විෂ
12.විෂ්ණුගේ දුන්න
13.ශංඛය
14.අමෘතය

මේ දේවල් සුරයන් විසින් රැඟෙන ගියාලූ.



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...