Sunday, July 12, 2020

සැදෑ අඳුර ලොව ...

සැන්දෑ සමය පිලිබඳ ඉතා චමත්කාරජනක සිතුවිලි සමුදායක් අප සැමගේ සිතට නැගෙන ලෙස මේ ගීතය රචනා කර සංගීතය සපයා ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ ශූරීන්.

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණ ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි...//

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ - නිඳි ලොව වෙත
එතෙර වන්න නිඹදේ...

සැදෑ අඳුර ලොව...//

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට...//
අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ...//

සැදෑ අඳුර ලොව...//

සෝමතිලක ජයමහ මහතා මෙම ගීතය රචනා කරන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ ඔහුගේ ගුරුවරයකු වූ ඩන්ස්ටන් සිල්වා මහතාගේ රාජකාරියකට. කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුන. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. ඔහු එතැනදී දුටුවා මද දුරකින් පිහිටි ගෙයක්. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන් පත් වැහෙන වෙලාවට" ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා. මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා.

ගීතය පටිගත කරලා ගීත රචක හැටියට සෝමතිලක ජයමහ මහතා අන්වර්ථ නමක් එම්. රාජපක්ෂ කියලා දමා ඇත. මොකද ඒ කාලයේ ගීතයක් රචනය කරලා, තනුව නිර්මාණය කරලා ගායනා කළ අය සිටියේ ටික දෙනයි. සංගීතය පැත්තෙන් ඉහළටම ගිය සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව මේ අතර ප්‍රමුඛස්ථානයේ හිටියේ. මගේ නම ගීත රචනයට දැම්මා නම් ඒක නුසුදුසු ගීතයක් කියාල ප්‍රතික්ෂේප වෙන්න තිබුණා’ 

1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා.

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි...//

ගීත පද සංකල්පනාවට මුල් වූ සිදු වීම ආශ්‍රයෙන් ගීතයේ පළමු පද පේළි දෙක රචකයාගේ සිතට පහළ වූ අයුරෙන්ම ගීතයට අඩංගු වී තිබේ.

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//

පෙම්වතා මුළු රැය සිතිවිලි සයුරක යාත්‍රා කළ යුතුයි තීර්ථ යාත්‍රිකයෙක් මෙන් සිය පෙම්වතිය සමගින්.

මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
එතෙර වන්න නිඹදේ...

එහිදී ඔහු ඇයට ආරාධනා කරනවා ඇයට සිය ආදර ඔරුවේ නැගී නිදි ලොව වෙත එතෙර වන්න යයි කියා.

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...//

මෙසේ සුව සේ නිදා ගෙන රාත්‍රිය අවසන්නි වූ පසු නිර්මල පතුමකින් සිත පුරවාගෙන ඇය උදැසන කාළයේ ඇහැරෙනවා.

අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ...//

මෙසේ ඉරු නැගෙන උදැසන කාලයේ ඇය ඇහැරෙන විට ඔහු ඇරයුම් කරනවා ඇයට තම ජිවිත මල් උයනේ මලක් වී පිපි ඉන්නයි කියා.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...